Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 9

ඔයාව සනසන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දෙන්න

ඔයාව සනසන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දෙන්න

“මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”—ගීතා. 94:19.

ගීතිකාව 44 අසරණයෙකුගේ අයැදීම

මේ ලිපියෙන් *

1. අපිට කනස්සල්ලක්, බයක් දැනෙන්න පුළුවන් ඇයි? ඒක අපිට බලපාන්න පුළුවන් කොහොමද?

ඔයාට කවදා හරි ලොකු කනස්සල්ලක්, බයක් දැනිලා තියෙනවාද? * සමහරවිට ඒකට හේතුව අනිත් අය ඔයාට කියපු කරපු දෙයක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඔයා කියපු කරපු දෙයක් වෙන්න ඇති. උදාහරණෙකට ඔයා අතින් වුණ වරදක් නිසා යෙහෝවා දෙවියන් ඔයාට කවදාවත් සමාව දෙන එකක් නැහැ කියලා හිතලා ඔයා වධ වෙනවා ඇති. ඔයා යම් දෙයක් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන නිසා ඔයාට හිතෙන්න පුළුවන් ඔයාගේ විශ්වාසය අඩු වෙලා කියලා. ඒත් ඒක ඇත්තද?

2. කනස්සල්ලක් දැනෙන්නේ විශ්වාසය අඩු නිසා නෙමෙයි කියලා පැහැදිලි වෙන්නේ බයිබලේ සඳහන් මොන උදාහරණවලින්ද?

2 බයිබලේ සඳහන් වෙන මේ උදාහරණ තුන බලන්න. අනාගතවක්තෘ සාමුවෙල්ගේ අම්මා වුණ හන්නා ශක්තිමත් විශ්වාසයක් තිබුණ කෙනෙක්. ඒත් එයාගේ පවුලේ කෙනෙක් එයාට නරක විදිහට සලකපු නිසා එයාට ලොකු කනස්සල්ලක් දැනුණා. (1 සාමු. 1:7) නියෝජිත පාවුල්ටත් ශක්තිමත් විශ්වාසයක් තිබුණා. ඒත් “සියලු සභාවන් ගැන සිතන විට මගේ සිතට මහත් බරක් දැනේ” කියලා එයා කිව්වා. (2 කොරි. 11:28) දාවිත්ට දෙවියන් ගැන කොච්චර විශ්වාසයක් තිබුණාද කියනවා නම් යෙහෝවා දෙවියන් එයාට ගොඩක් ආදරේ කළා. (ක්‍රියා 13:22) ඒත් දාවිත් අතින් වුණ බරපතළ වැරදි නිසා එයාගේ හිතට ලොකු බරක් දැනුණා. (ගීතා. 38:4) ඒ තුන්දෙනාවම යෙහෝවා දෙවියන් සැනසුවා. එයාලගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැන් බලමු.

හාන්නාගෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

3. කෙනෙක් අපේ හිත පෑරෙන විදිහට කතා කළාම අපිට කනස්සල්ලක් දැනෙන්නේ ඇයි?

3 අනිත් අය අපේ හිත පෑරෙන විදිහට කතා කළොත් නැත්නම් අපිට නපුරු විදිහට සැලකුවොත් අපිට කනස්සල්ලක් දැනෙයි. ඒ කෙනා අපේ කිට්ටු යාළුවෙක් හෝ නෑදෑයෙක් නම් දැනෙන වේදනාව තවත් වැඩියි. අපේ යාළුකම දැන් ඉවරයි කියලා හිතලා අපි දුක් වෙයි. ඒ කෙනා එච්චර හිතන්නේ බලන්නේ නැතුව වෙන්න ඇති ඒක කියන්න ඇත්තේ. ඒත් එයා කියපු දේ නිසා දැනෙන වේදනාව හරියට කඩුවකින් අනිනවා වගේ. (හිතෝ. 12:18) කෙනෙක් අපිව රිද්දන අදහසින් අපිට දෙයක් කියන්නත් පුළුවන්. ඒ දේට මුහුණ දුන්න තරුණ සහෝදරියක් මෙහෙම කියනවා. “අවුරුදු කීපයකට කලින් මං හොඳ යාළුවෙක් විදිහට සලකපු කෙනෙක් මං ගැන බොරු දේවල් පතුරුවන්න පටන්ගත්තා. මට දැනුණේ ලොකු දුකක්. මං එච්චර විශ්වාස කරපු කෙනෙක් මට ඒ වගේ දෙයක් කළේ කොහොමද කියලා මට හිතාගන්න බැරි වුණා.” ඔයාගේ කිට්ටු යාළුවෙක්, පවුලේ කෙනෙක් කරපු දෙයක් නිසා ඔයාගේ හිතට වේදනාවක් දැනෙනවාද? එහෙමනම් හන්නාගේ ආදර්ශය බලන්න.

4. හන්නා මුහුණ දුන්න දුෂ්කර දේවල් මොනවාද?

4 හන්නා ප්‍රශ්න කීපයකට මුහුණ දුන්නා. අවුරුදු ගාණක් යන කල් එයාට දරුවෝ ලැබුණේ නැහැ. (1 සාමු. 1:2) ඒ කාලේ ඊශ්‍රායෙල්වරු හිතුවේ කාන්තාවකට දරුවෝ ලැබුණේ නැත්තේ එයාට දෙවියන්ගේ ආශීර්වාදය නැති නිසා කියලයි. ඒක හන්නාට ලොකු ලැජ්ජාවක් වුණා. (උත්. 30:1, 2) එයාගේ වේදනාව තවත් වැඩි කරපු ප්‍රශ්නයකුත් තිබුණා. ඒ එයාගේ සැමියාගේ අනිත් බිරිඳ වුණ පෙනින්නා එයාට කරපු අපහාස. පෙනින්නාට දරුවෝ කීපදෙනෙක්ම හිටියත් එයා හන්නාට ඊර්ෂ්‍යා කළා. ඒ නිසා එයා “හන්නාව ලැජ්ජාවට පත් කරවන පිණිස නිතරම ඇයට නින්දා අපහාස කළා.” (1 සාමු. 1:6) ඒ ප්‍රශ්න නිසා ‘හන්නා නොකා නොබී හැඬුවා.’ එයාගේ හිතට දැනුණේ දරාගන්න බැරි ශෝකයක්. (1 සාමු. 1:7, 10) හන්නා සහනය අද්දැක්කේ කොහොමද?

5. යාච්ඤාව හන්නාට උදව් වුණේ කොහොමද?

5 හන්නා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා එයාගේ දුක කිව්වා. එයා යාච්ඤා කළාට පස්සේ එයාගේ ප්‍රශ්නය ගැන උත්තම පූජක ඒලීටත් කිව්වා. ඒලී හන්නාට මෙහෙම කිව්වා. “දැන් ඉතින් සමාදානයෙන් යන්න. ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!” ඊටපස්සේ මොකද වුණේ? හන්නා “එතැනින් පිටත්ව ගොස් කෑම කෑවාය. ඇය තවදුරටත් ඇගේ ප්‍රශ්නය ගැන කනස්සලු වූයේ නැත. ඇගේ මුහුණද මලානිකව නොතිබුණේය.” (1 සාමු. 1:17, 18) නොසන්සුන්ව තිබුණ හිත සන්සුන් කරගන්න යාච්ඤාව හන්නාට උදව් වුණා.

හිතේ සාමය ආයෙත් ඇති කරගෙන ඒක දිගටම තියාගන්න අපිට හන්නාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (6-10 ඡේද බලන්න)

6. යාච්ඤාව ගැන හන්නාගෙන් සහ ෆිලිප්පි 4:6, 7 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 අපි අත් නෑර යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා නම් හිතේ සාමය ආයෙත් ඇති කරගන්න පුළුවන්. හන්නා ස්වර්ගයේ ඉන්න එයාගේ තාත්තා එක්ක හුඟක් වෙලා කතා කළා. (1 සාමු. 1:12) අපි කරදර වෙන දේවල් ගැන, අපිට බයක් දැනෙන දේවල් ගැන, අපේ දුර්වලකම් ගැන කාලේ අරන් යෙහෝවා දෙවියන්ට කියන්න අපිටත් පුළුවන්. අපි යාච්ඤා කරද්දී වචන ලස්සනට ගළපලා, අකුරක්වත් වරදින්නේ නැතුව දෙවියන්ට කියන්න ඕනෙ කියලා හිතන්න එපා. අපේ හිතේ තියෙන දුක කියද්දී සමහරවිට අපිට ඇඬෙයි. ඒත් අපිට ඇහුම්කන් දෙන එක දෙවියන් වධයක් විදිහට කවදාවත් සලකන්නේ නැහැ. අපේ ප්‍රශ්න ගැන දෙවියන්ට කියනවාට අමතරව ෆිලිප්පි 4:6, 7 (කියවන්න.) සඳහන් වෙන විදිහට යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්නත් අපි අමතක කරන්න හොඳ නැහැ. දෙවියන්ට ස්තුති කරන්න අපිට ඕනෙ තරම් හේතු තියෙනවා. උදාහරණෙකට අපිට ජීවිතේ දුන්න එක ගැන, ඔහුගේ ලස්සන නිර්මාණ ගැන, ඔහු හැමදාටම අපිට පෙන්නන ආදරේ ගැන, අපිට දීලා තියෙන බලාපොරොත්තුව ගැන ඔහුට ස්තුති කරන්න අපිට පුළුවන්. හන්නාගෙන් අපිට තව මොනවාද ඉගෙනගන්න පුළුවන්?

7. හන්නායි, එයාගේ සැමියායි නිතිපතා කළේ මොකක්ද?

7 හන්නාට ප්‍රශ්න තිබුණත් එයා නිතිපතා එයාගේ සැමියාත් එක්ක දෙවියන්ට නමස්කාර කරන්න ෂීලෝ නුවරේ තිබුණ ශුද්ධ කූඩාරමට ගියා. (1 සාමු. 1:1-5) එහෙම ගිය අවස්ථාවකදී තමයි උත්තම පූජක ඒලී එයාට කිව්වේ යෙහෝවා දෙවියන් එයාගේ යාච්ඤාවට උත්තර දෙයි කියලා එයා ප්‍රාර්ථනා කරනවා කියලා. ඒ දිරිගැන්වීමෙනුත් හන්නා සහනයක් අද්දැක්කා.—1 සාමු. 1:9, 17.

8. රැස්වීම් අපිට උදව් වෙන්නේ කොහොමද? පැහැදිලි කරන්න.

8 අපි අත් නෑර රැස්වීම්වලට සහභාගි වෙනවා නම් හිතේ සාමය ආයෙත් ඇති කරගන්න පුළුවන්. අපේ රැස්වීම් පටන්ගද්දී සහෝදරයෙක් යාච්ඤාවක් කරලා දෙවියන්ගේ බලය ඉල්ලනවා. දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක් තමයි සමාදානය. (ගලා. 5:22) අපි කනස්සල්ලෙන් හිටියත් රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි කරන්නේ අපිව දිරිගන්වන්න සහ අපි තුළ ආයෙත් සාමය ඇති කරගන්න අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන්ටත් අපේ සහෝදර සහෝදරියන්ටත් අපි අවස්ථාව දෙන එකයි. යාච්ඤාව සහ රැස්වීම් යෙහෝවා දෙවියන් අපිව සනසවන ප්‍රධාන විදි දෙකක්. (හෙබ්‍රෙ. 10:24, 25) හන්නාගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් පාඩමක් බලමු.

9. හන්නා දිගටම මුහුණ දුන්නේ මොන දේටද? ඒත් එයාට උදව් වුණේ මොකක්ද?

9 හන්නාගේ කනස්සල්ලට හේතු වුණ ප්‍රශ්න එකපාරටම නැති වුණේ නැහැ. හන්නා ශුද්ධ කූඩාරමේ ඉඳන් ගෙදර ගියාම එයාට දිගටම ඉන්න වුණේ පෙනින්නාත් එක්ක එකම ගෙදර. පෙනින්නා හන්නාට සලකපු විදිහ වෙනස් කළා කියලා බයිබලේ කියන්නේ නැහැ. ඒ නිසා පෙනින්නා කියපු හිත රිදවන වචන දිගටම දරාගන්න හන්නාට සිද්ධ වෙන්න ඇති. ඒත් හන්නාගේ හිතට දැනුණ සාමය එයා නැති කරගත්තේ නැහැ. යෙහෝවා දෙවියන් එයාගේ යාච්ඤාවට සවන් දුන්නා කියන විශ්වාසය එයාට ඇති වුණාම එයා ඒ ගැන තවත් කනස්සලු වුණේ නැහැ. හන්නා එයාව සනසන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දුන්නා. කාලෙකට පස්සේ යෙහෝවා දෙවියන් හන්නාගේ යාච්ඤාවට උත්තර දීලා එයාට දරුවන් ලබා දුන්නා.—1 සාමු. 1:19, 20; 2:21.

10. හන්නාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 අපි මුහුණ දෙන ප්‍රශ්නය තවම තිබුණත් හිතේ සාමය ආයෙත් ඇති කරගන්න පුළුවන්. අපි කොච්චර යාච්ඤා කළත් නිතිපතා රැස්වීම්වලට සහභාගි වුණත් අපි මුහුණ දෙන සමහර ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඒත් නොසන්සුන් වුණ අපේ හිතට සැනසීමක් දෙන්න ඔහුට පුළුවන්. ඒකෙන් ඔහුව වළක්වන්න කිසි දේකට බැහැ. යෙහෝවා දෙවියන් කවදාවත් අපිව අමතක කරන්නේ නැහැ. අපි අත් නෑර විඳදරාගන්නවා නම් ඔහු අනිවාර්යයෙන්ම අපිට ආශීර්වාද කරනවා.—හෙබ්‍රෙ. 11:6.

නියෝජිත පාවුල්ගෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

11. පාවුල්ට කනස්සල්ලක් දැනුණේ ඇයි?

11 පාවුල්ට කනස්සල්ලක් දැනෙන්න හේතු වුණ දේවල් හුඟක් තිබුණා. උදාහරණෙකට සහෝදර සහෝදරියන් ගැන එයාට ආදරයක් තිබුණ නිසා එයාලා මුහුණ දෙන ප්‍රශ්න ගැන පාවුල්ගේ හිතට ලොකු බරක් දැනුණා. (2 කොරි. 2:4; 11:28) එයාගේ පැවරුම කරද්දී පාවුල් හුඟක් විරුද්ධවාදීකම්වලට මුහුණ දුන්නා. එයාට ගැහුවා. එයාව හිරේ දැම්මා. ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් හිඟ වුණ අවස්ථාවලට එයා මුහුණ දුන්නා. (ෆිලි. 4:12) අවස්ථා තුනකදීවත් එයා ගිය නැව් මුහුදුබත් වුණ නිසා ආයෙත් නැවෙන් ගමනක් යන්න වෙද්දී එයාට බයක් දැනෙන්න ඇති. (2 කොරි. 11:23-27) හිත නොසන්සුන් වුණ ඒ වගේ වෙලාවලදී පාවුල්ට උදව් වුණේ මොනවාද?

12. කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද?

12 සහෝදර සහෝදරියන් ප්‍රශ්නවලට මුහුණ දෙද්දී පාවුල්ට කනස්සල්ලක් දැනුණත් තනියම ඒ හැම ප්‍රශ්නයක්ම විසඳන්න එයා උත්සාහ කළේ නැහැ. පාවුල් එයාගේ සීමාව තේරුම්ගත්තා. සභාවේ අයට උදව් කරන්න එයා තව අයගෙන් උදව් ඉල්ලුවා. උදාහරණෙකට තිමෝති සහ තීතස් වගේ විශ්වාසවන්ත අයට එයා හුඟක් වගකීම් භාර දුන්නා. ඒ සහෝදරයන් කරපු සේවය පාවුල්ගේ කනස්සල්ල අඩු කරගන්න උදව් වෙන්න ඇති.—ෆිලි. 2:19, 20; තීත. 1:1, 4, 5.

කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න අපි පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද? (13-15 ඡේද බලන්න)

13. පාවුල්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

13 අනිත් අයගේ උදව් ඉල්ලන්න. පාවුල්ට වගේ අද ඉන්න ප්‍රේමණීය වැඩිමහල්ලන් හුඟදෙනෙක්ටත් සභාවේ ඉන්න අය ප්‍රශ්නවලට මුහුණ දෙද්දී කනස්සල්ලක් දැනෙනවා. සභාවේ හැමෝටම උදව් කරන්න තමන්ට තනියම බැහැ කියලා තේරුම්ගන්න වැඩිමහල්ලෙක් සුදුසුකම් තියෙන අනිත් අයගෙන් උදව් ඉල්ලනවා. ඒ වගේම දෙවියන්ගේ රැළ රැකබලා ගන්න එයාට උදව් කරන්න එයා තරුණ සහෝදරයන්වත් පුහුණු කරනවා.—2 තිමෝ. 2:2.

14. පාවුල් කරදර වුණේ නැත්තේ මොකක් ගැනද? එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

14 ඔයාට සහනය ඕනෙ කියලා පිළිගන්න. පාවුල් නිහතමානී කෙනෙක්. ඒ නිසා එයා පිළිගත්තා එයාට එයාගේ යාළුවන්ගේ දිරිගැන්වීම් ඕනෙ කියලා. එයාගේ යාළුවන් එයාව දිරිගන්වපු නිසා අනිත් අය එයාව දුර්වල කෙනෙක් විදිහට දකියි කියලා හිතලා පාවුල් කරදර වුණේ නැහැ. ෆිලෙමොන්ට ලියපු ලිපියේ පාවුල් මෙහෙම කිව්වා. ‘ඔබ පෙන්වූ ප්‍රේමය මගේ ඉමහත් ප්‍රීතියටත් සැනසිල්ලටත් හේතුවකි.’ (ෆිලෙ. 7) දුෂ්කර අවස්ථාවලදී එයාට සහනයක් වුණ කීපදෙනෙක් ගැන පාවුල් සඳහන් කළා. (කොලො. 4:7-11) අපිත් අපිට අනිත් අයගේ දිරිගැන්වීම් ඕනෙ කියලා නිහතමානීව පිළිගන්නවා නම් අපේ සහෝදර සහෝදරියන් කැමැත්තෙන්ම අපිට ඕනෙ කරන උදව් දෙයි.

15. අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී පාවුල් කළේ මොකක්ද?

15 දේවවචනයෙන් පෝෂණය වෙන්න. දේවවචනයෙන් සැනසිල්ල අද්දකින්න පුළුවන් කියලා පාවුල් දැනන් හිටියා. (රෝම 15:4) ඕනෙම දුෂ්කරතාවකට මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රඥාවත් දේවවචනයෙන් ලබාගන්න පුළුවන්. (2 තිමෝ. 3:15, 16) දෙවෙනි වතාවට පාවුල්ව රෝමයේ සිරගත කරලා ඉද්දී එයා දැනන් හිටියා එයාට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. පාවුල් මොකද කළේ? ඉක්මනින්ම එයාව බලන්න එන්න කියලත් එද්දී “ලියවිලි” අරන් එන්න කියලත් පාවුල් තිමෝතිට කිව්වා. (2 තිමෝ. 4:6, 7, 9, 13) පේන විදිහට එයා ගේන්න කියපු ලියවිලි හෙබ්‍රෙව් ලියවිලිවල කොටස්. එයාට ඕනෙ වුණේ ඒවා අධ්‍යයනය කරන්නයි. අපිත් නිතිපතා බයිබලේ අධ්‍යයනය කරනවා නම් අපි මොන දුෂ්කර තත්වයට මුහුණ දුන්නත් දෙවියන්ට පුළුවන් බයිබලේ පාවිච්චි කරලා අපිව සනසන්න.

දාවිත් රජුගෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

අපි අතින් බරපතළ වරදක් වුණොත් අපි කරන්න ඕනෙ දේ ගැන දාවිත්ගෙන් ඉගෙනගන්නේ මොනවාද? (16-19 ඡේද බලන්න)

16. දාවිත් අතින් බරපතළ වරදක් වුණාම ඒක එයාට බලපෑවේ කොහොමද?

16 දාවිත් අතින් බරපතළ වරදක් වුණා. එයා බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණා විතරක් නෙමෙයි බැත්ෂෙබාගේ සැමියාව මරන්නත් සැලසුම් කළා. එයා කරපු වරද හංගන්නත් උත්සාහ කළා. (2 සාමු. 12:9) දාවිත්ගේ හිත වධ දුන්නත් එයා මුලින් ඒක ගණන් නොගෙන හිටියා. ඒ නිසා යෙහෝවා දෙවියන් එක්ක එයාට තිබුණ බැඳීම බිඳුණා. ඒක එයාගේ මනසට ලොකු බරක් වුණා වගේම එයා අසනීපත් වුණා. (ගීතා. 32:3, 4) දාවිත්ට දැනුණ කනස්සල්ලෙන් ගොඩ එන්න එයාට උදව් වුණේ මොනවාද? අපි අතින් බරපතළ වරදක් වුණොත් අපි මොනවාද කරන්න ඕනේ?

17. දාවිත් අවංකවම පසුතැවිලි වුණා කියලා ගීතාවලිය 51:1-4 සඳහන් දේවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

17 සමාව ඉල්ලලා යාච්ඤා කරන්න. අන්තිමේදී දාවිත් එයා කරපු හැම වරදක් ගැනම යෙහෝවා දෙවියන්ට කිව්වා. එයා මුළු හදවතින්ම ඒ වැරදි ගැන පසුතැවුණා. (ගීතාවලිය 51:1-4 කියවන්න.) ඒකෙන් එයා ලොකු සහනයක් අද්දැක්කා. (ගීතා. 32:1, 2, 4, 5) ඔයා අතිනුත් බරපතළ වරදක් වුණොත් ඒක හංගන්නේ නැතුව යෙහෝවා දෙවියන්ට ඒ ගැන කියන්න. එහෙම කරද්දී ඔයාට දැනෙන කනස්සල්ල ටිකක් අඩු වෙයි. ඒත් යෙහෝවා දෙවියන් එක්ක ආයෙත් ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න නම් යාච්ඤා කරනවාට අමතරව තවත් දේවල් ඔයා කරන්න ඕනේ.

18. හික්මවීම් ලැබුණාම දාවිත් කළේ මොනවාද?

18 හික්මවීම් පිළිගන්න. යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ නාතාන්ව යවලා දාවිත් කරපු වරද හෙළි කළාම දාවිත් නිදහසට කරුණු කිව්වේවත් එයා කරපු දේ එච්චරම බරපතළ නැහැ කියලා කිව්වේවත් නැහැ. එයා ඒ වෙලාවෙම පිළිගත්තා එයා බැත්ෂෙබාගේ සැමියාට විරුද්ධව විතරක් නෙමෙයි යෙහෝවා දෙවියන්ට විරුද්ධවත් බරපතළ වරදක් කළා කියලා. දෙවියන් දුන්න හික්මවීම එයා පිළිගත්ත නිසා දෙවියන් දාවිත්ට සමාව දුන්නා. (2 සාමු. 12:10-14) අපි අතිනුත් බරපතළ වරදක් වුණොත් වැඩිමහල්ලන්ට අපි ඒ ගැන කියන්න ඕනේ. (යාකො. 5:14, 15) වරදේ බරපතළකම අඩු කරන්න හිතාගෙන නිදහසට කරුණු කියන්න එපා. අපිට ලැබෙන හික්මවීම පිළි අරන් ඒක ඉක්මනින්ම අදාළ කරගන්න තරමට නැති වුණ සමාදානය, සතුට ආයෙත් අද්දකින්න අපිට පුළුවන්.

19. අපි අදිටන් කරගන්න ඕනෙ මොකක් කරන්නද?

19 එකම වරද ආයේ නොකරන්න අදිටන් කරගන්න. තමන් අතින් වුණ බරපතළ වැරදි ආයේ නොකර ඉන්න නම් යෙහෝවා දෙවියන්ගේ උදව් එයාට ඕනෙ කියලා දාවිත් රජ දැනන් හිටියා. (ගීතා. 51:7, 10, 12) දෙවියන්ගෙන් සමාව ලැබුණාට පස්සේ දාවිත් අදිටන් කරගත්තා නරක සිතුවිලි පෝෂණය නොකරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දාවිත්ගේ හිතට ආයෙත් සැනසීම ලැබුණා.

20. යෙහෝවා දෙවියන් අපිට සමාව දෙන එක අපි අගය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

20 අපි අතින් වුණ වරදට අපි දෙවියන්ගෙන් සමාව ඉල්ලනවා නම්, ඔහු දෙන හික්මවීම් පිළිගන්නවා නම් සහ ඒ වරද ආයේ නොකර ඉන්න උපරිම වෑයමක් ගන්නවා නම් අපි පෙන්නන්නේ යෙහෝවා දෙවියන් දෙන සමාව අපි ගොඩක් අගය කරනවා කියලයි. ඒ දේවල් කරද්දී නොසන්සුන් වුණ අපේ හිතට ආයෙත් සැනසීමක් දැනෙයි. බරපතළ වරදක් කරපු ජේම්ස් ඒක අද්දැක්කා. “මං කරපු වරද ගැන වැඩිමහල්ලන්ට කිව්වාම මට දැනුණේ මගේ ඔළුවේ තිබුණ ලොකු බරක් අරන් පැත්තකින් තිබ්බා වගේ” කියලා එයා කියනවා. “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව ඉන්නවා. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරගන්නවා” කියලා දැනන් ඉන්න එක අපිට මොන තරම් සහනයක්ද!—ගීතා. 34:18.

21. ඔයාව සනසන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දෙන්න පුළුවන් කොහොමද?

21 මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න අපිට කනස්සල්ලක් ඇති වෙන්න තියෙන හේතුත් එන්න එන්නම වැඩි වෙයි. ඔයාගේ හිතට කනස්සල්ලක් දැනෙද්දී ඉක්මනින්ම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔහුගේ උදව් ඉල්ලන්න. උනන්දුවෙන් බයිබලේ අධ්‍යයනය කරන්න. හන්නා, පාවුල් සහ දාවිත්ගේ ආදර්ශවලින් ඉගෙනගන්න. ඔයා කරදර වෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න උදව් කරන්න කියලා ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තාගෙන් ඉල්ලන්න. (ගීතා. 139:23) ඔයාට දැනෙන කනස්සල්ල දෙවියන්ට භාර දෙන්න. විශේෂයෙන්ම ඔයාට වෙනස් කරන්න අමාරු නැත්නම් කොහොමටවත් වෙනස් කරන්න බැරි ප්‍රශ්න යෙහෝවා දෙවියන්ට භාර දෙන්න. එහෙම කරනවා නම් ගීතිකාකරු වගේ ඔයාටත් පුළුවන් වෙයි මෙහෙම කියන්න. “මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”—ගීතා. 94:19.

ගීතිකාව 4 “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

^ 5 ඡේ. අපි අද්දකින ප්‍රශ්න නිසා සමහර වෙලාවට අපි හැමෝටම කනස්සල්ලක් දැනෙනවා. කනස්සල්ලක් දැනුණ යෙහෝවා දෙවියන්ගේ සේවකයන් තුන්දෙනෙක් ගැන මේ ලිපියේ කතා කරනවා. ඒ එක් එක් කෙනාව යෙහෝවා දෙවියන් සැනසුවේ කොහොමද කියලා බලමු.

^ 1 ඡේ. පැහැදිලි කිරීමක්: මොකක් හරි දෙයක් ගැන හිතහිත කරදර වෙන එක එහෙම නැත්නම් යම් දෙයක් ගැන අපේ හිතට දැනෙන බය කනස්සල්ල හැටියට විස්තර කරන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න නිසා, අසනීප නිසා, පවුල් ජීවිතේ ප්‍රශ්න නිසා එහෙම නැත්නම් වෙනත් අභියෝගයක් නිසා අපිට කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි අතින් වුණ වරදක් නිසාත් අනාගතේදී අපිට යම් අභියෝගයකට මුහුණ දෙන්න වෙයි කියලා හිතෙන නිසාත් අපිට කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්.