Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 11

බව්තීස්ම වෙන්න ඔයා සූදානම්ද?

බව්තීස්ම වෙන්න ඔයා සූදානම්ද?

‘ඔබ දැන් ගැලවෙන්නේ බව්තීස්මය මගිනි.’—1 පේතෘ. 3:21.

ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

මේ ලිපියෙන් *

1. ගෙයක් හදන්න පටන්ගන්න කලින් කෙනෙක් කරන්න ඕනෙ මොකක්ද?

හිතන්න, කෙනෙක් ගෙයක් හදන්න තීරණය කරනවා කියලා. එයා එකපාරම අවශ්‍ය අමුද්‍රව්‍ය මිල දී අරගෙන ගේ හදන්න පටන්ගත්තොත් හරිද? නැහැ. ගේ හදන්න පටන්ගන්න කලින් එයා කරන්න ඕනෙ වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ගේ හදන්න යන වියදම ගණන් බලන එක. මොකද ගේ හදලා ඉවර කරන්න අවශ්‍ය මුදල් එයා ගාව තියෙනවාද කියලා එයා බලන්න ඕනේ. එහෙම කළොත් තමයි එයා බලාපොරොත්තු වුණ විදිහට ගේ හදලා ඉවර කරන්න එයාට පුළුවන් වෙන්නේ.

2. ලූක් 14:27-30 අනුව බව්තීස්ම වෙන්න කලින් ඔයා හොඳින් හිතන්න ඕනෙ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවියන් ගැන ඇති වුණ ආදරේ සහ අගය නිසා බව්තීස්ම වෙන්න ඕනෙ කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ගෙයක් හදන්න තීරණය කරපු කෙනා කරන්න ඕනෙ දේම ඔයාත් කරන්න ඕනේ. එහෙම කියන්නේ ඇයි? යේසුස් ලූක් 14:27-30 (කියවන්න.) කියපු දේ බලන්න. ඔහුගේ අනුගාමිකයෙක් වෙන්න කැමති කෙනෙක් කරන්න ඕනෙ දේ ගැනයි යේසුස් ඒ අවස්ථාවේදී කතා කරමින් හිටියේ. කෙනෙක් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කැමති නම් ඒකට යන “වියදම” එයාට දරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අභියෝග විඳදරාගන්න, සමහර දේවල් කැප කරන්න එයා සූදානම් වෙන්න ඕනෙ කියන එකයි. (ලූක් 9:23-26; 12:51-53) ඒ නිසා බව්තීස්ම වෙන්න තීරණය කරන්න කලින් යේසුස්ගේ අනුගාමිකයෙක් හැටියට ජීවත් වෙන්න ඔයාට පුළුවන්ද කියලා ඔයා හොඳින් හිතන්න ඕනේ. එහෙම කළොත් බව්තීස්ම වෙලා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන්න ඔයාට පුළුවන්.

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 විඳදරාගන්න වෙන අභියෝග, කරන්න වෙන කැප කිරීම් එක්ක බලද්දී යේසුස්ගේ අනුගාමිකයෙක් හැටියට බව්තීස්ම වෙන එක වටිනවාද? ඔව්! බව්තීස්ම වෙන කෙනෙක් දැනුත් අනාගතයේදීත් හුඟක් ආශීර්වාද අද්දකිනවා. දැන් අපි බව්තීස්මය ගැන වැදගත් ප්‍රශ්න කීපයක් බලමු. ඒක ඔයාට උදව් වෙයි “මම බව්තීස්ම වෙන්න සූදානම්ද” කියන ප්‍රශ්නයට උත්තරේ දැනගන්න.

කැප වීම සහ බව්තීස්මය ගැන ඔයා දැනගන්න ඕනෙ මොනවාද?

4. (අ) කෙනෙක් දෙවියන්ට කැප වෙනවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (ආ) මතෙව් 16:24 පෙන්නලා තියෙන විදිහට දෙවියන්ට කැප වෙන කෙනෙක් කරන්නේ මොනවාද?

4 කෙනෙක් දෙවියන්ට කැප වෙනවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඔයා පෞද්ගලිකව කරන යාච්ඤාවකින් යෙහෝවා දෙවියන්ට පොරොන්දු වෙනවා ඔයා සදහටම ඔහු වෙනුවෙන් සේවය කරනවා කියලා. ඒ යාච්ඤාව ඔයා කරන්න ඕනෙ බව්තීස්ම වෙන්න කලින්. ඔයා ඔයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කළාම ඒක තවදුරටත් ඔයාට අයිති නැහැ. ඒ කියන්නේ ඔයාගේ අවශ්‍යතාවලට මුල් තැන දෙනවා වෙනුවට එදා ඉඳන් ඔයා මුල් තැන දෙන්නේ යෙහෝවා දෙවියන්ගේ කැමැත්තටයි. (මතෙව් 16:24 සහ පාදසටහන කියවන්න.) ඔයාව අයිති යෙහෝවා දෙවියන්ට. ඒක මොන තරම් වරප්‍රසාදයක්ද! (රෝම 14:8) කැප වීම කියන්නේ දෙවියන්ට වෙන පොරොන්දුවක්. ඒ පොරොන්දුව ඔහුට දෙන්න කියලා යෙහෝවා දෙවියන් අපිට බල කරන්නේ නැහැ. ඒත් අපි ඒ පොරොන්දුව දුන්නොත් ඒකට එකඟව ජීවත් වෙයි කියලා ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා.—ගීතා. 116:12, 14.

5. කැප වීම සහ බව්තීස්මය අතර තියෙන වෙනස මොකක්ද?

5 කැප වීම සහ බව්තීස්මය අතර තියෙන වෙනස මොකක්ද? ඔයා ඔයාගේ ජීවිතේ දෙවියන්ට කැප කරද්දී ඒක දකින්නේ යෙහෝවා දෙවියන් විතරයි. ඒත් බව්තීස්මය කියන්නේ අනිත් අය ඉදිරියේ සිද්ධ වෙන දෙයක්. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ සමුළුවකදී. බව්තීස්ම වෙද්දී ඔයා පෙන්නනවා ඔයා ඔයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරලයි තියෙන්නේ කියලා. * ඔයා යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරෙයි කියලත් ඔයාගේ මුළු ශක්තියෙන්ම ඔහුට සේවය කරන්න ඔයා සූදානම් කියලත් සදහටම ඔහුට සේවය කරන්න ඔයා තීරණය කරලා තියෙනවා කියලත් ඔයා බව්තීස්ම වෙද්දී හැමෝම දැනගන්නවා.—මාක් 12:30.

6-7. 1 පේතෘස් 3:18-22 අනුව අපි බව්තීස්ම වෙන්න ඕනෙ මොන හේතු 2 නිසාද?

6 බව්තීස්ම වෙන්නම ඕනෙද? 1 පේතෘස් 3:18-22 (කියවන්න.) කියන දේ බලන්න. නෝවා හදපු නැව දැක්කාම එයාට දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් තිබුණා කියලා පැහැදිලි වුණා. ඒ වගේ ඔයා බව්තීස්ම වෙද්දී අනිත් අයට පැහැදිලි වෙනවා ඔයාගේ ජීවිතේ ඔයා දෙවියන්ට කැප කරලා කියලා. ඒත් අපි බව්තීස්ම වෙන්නම ඕනෙද? ඔව්. ඒකට හේතු පේතෘස් සඳහන් කළා. එකක් තමයි එයා කිව්වා බව්තීස්මය ‘ගැලවීමට’ මඟ පාදනවා කියලා. අපිට යේසුස් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නනවා නම් බව්තීස්මය අනිවාර්යයෙන්ම අපේ ගැලවීමට මඟ පාදනවා. යේසුස් අපි වෙනුවෙන් ජීවිතය පූජා කළා කියලත් ඔහුව ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිට්ටෙව්වා කියලත් ඔහු ‘දෙවියන්ගේ දකුණු පැත්තේ’ ඉන්නවා කියලත් අපිට ස්ථිරයි නම් අපි යේසුස් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා.

7 දෙවෙනි හේතුව තමයි දෙවියන් ඉදිරියේ “නිදොස් හෘදය සාක්ෂියක්” ඇතුව ඉන්න බව්තීස්මය නිසා අපිට පුළුවන් වෙන එක. අපි අපේ ජීවිතේ දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙද්දී දෙවියන් එක්ක විශේෂ බැඳීමක් ඇති කරගන්නවා. අපි අපේ වැරදි ගැන අවංකවම පසුතැවිලා යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන නිසා දෙවියන් අපේ වැරදිවලට සමාව දෙනවා. ඒ නිසා යෙහෝවා දෙවියන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න අපිට පුළුවන්.

8. ඔයා බව්තීස්ම වෙන්න තීරණය කරන්න ඕනෙ ඇයි?

8 ඔයා බව්තීස්ම වෙන්න තීරණය කරන්න ඕනෙ ඇයි? ඔයා බයිබලේ හොඳින් අධ්‍යයනය කරන නිසා යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලත් ඔහු දේවල් කරන විදිහ ගැනත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔයා ඉගෙනගත්ත ඒ දේවල් නිසා ඔහු ගැන ඔයාගේ හිතේ ලොකු ආදරයක් ඇති වුණා. බව්තීස්ම වෙන්න ඔයාව පොලඹවන්න ඕනෙ ප්‍රධානම හේතුව දෙවියන් ගැන ඔයාට තියෙන ඒ ආදරයයි.

9. “පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න” කියලා මතෙව් 28:19, 20 සඳහන් දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?

9 බව්තීස්ම වෙන්න ඔයා පෙලඹෙන්න ඕනෙ තවත් හේතුවක් තමයි බයිබලෙන් ඔයා ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම් ගැන ඔයාට ඇති වුණ විශ්වාසය. ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න කියන ආඥාව යේසුස් දුන්න වෙලාවේ ඔහු කියපු දේ බලන්න. (මතෙව් 28:19, 20 කියවන්න.) යේසුස් බව්තීස්ම කරන්න කිව්වේ “පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයවයි.” ඒකෙන් අදහස් කළේ යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ පුතා වන යේසුස් ගැනත් දෙවියන්ගේ බලය ගැනත් බයිබලේ සඳහන් සත්‍ය ඉගැන්වීම් ඔයා මුළු හදවතින්ම විශ්වාස කරන්න ඕනෙ කියලයි. ඒ සත්‍යයන්වලට පුළුවන් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. (හෙබ්‍රෙ. 4:12) ඒවායින් කීපයක් ගැන දැන් බලමු.

10-11. පියාණන් ගැන ඔයා ඉගෙනගත්ත සත්‍යයන් මොනවාද?

10 පියාණන් ගැන ඔයා ඉගෙනගත්ත මේ සත්‍යයන් ගැන හිතන්න. ඔහුගේ නම “යෙහෝවා.” ඔහු “මුළු පොළොවටම මහෝත්තම දෙවි.” ඔහුයි “එකම සැබෑ වූ දෙවි.” (ගීතා. 83:18; යෙසා. 37:16) ඔහු අපේ නිර්මාතෘ. ‘ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්.’ (ගීතා. 3:8; 36:9) පාපයෙන් සහ මරණයෙන් අපිව බේරගෙන සදහටම ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙන්න ඔහු මාර්ගය විවෘත කළා. (යොහ. 17:3) ඔයා කැප වෙලා බව්තීස්ම වෙද්දී ඔයාව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට. (යෙසා. 43:10-12) දෙවියන්ගේ නම දරන සහ ඒ නම ගැන අනිත් අයට කියලා දෙන විශාල පවුලක ඔයා සාමාජිකයෙක් වෙනවා.—ගීතා. 86:12.

11 පියාණන් ගැන සත්‍යය තේරුම්ගන්න ලැබුණ එක මොන තරම් වරප්‍රසාදයක්ද! ඒ වටිනා සත්‍යයන් ගැන ඔයාගේ හිතේ විශ්වාසයක් ඇති වෙද්දී ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඔයා පෙලඹෙයි.

12-13. පුත්‍රයා ගැන ඔයා ඉගෙනගත්ත සත්‍යයන් මොනවාද?

12 පුත්‍රයා ගැන මේ සත්‍යයන් ඉගෙනගද්දී ඔයාට කොහොමද හැඟුණේ? යෙහෝවා දෙවියන්ට පස්සේ මේ විශ්වයේ ඉන්න වැදගත්ම කෙනා යේසුස්. අපිව බේරගන්න ඔහු කැමැත්තෙන්ම ඔහුගේ ජීවිතේ දුන්නා. යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපි විශ්වාසය තියනවා කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නද්දී අපේ පව්වලට සමාව ලබාගන්නත් දෙවියන්ගේ යාළුවෙක් වෙන්නත් සදහටම ජීවත් වෙන බලාපොරොත්තුවෙන් ඉන්නත් අපිට පුළුවන්. (යොහ. 3:16) යේසුස් අපේ උත්තම පූජකයා. ජීවිත පූජාව නිසා ලැබෙන ප්‍රයෝජන අපිට ලබා දෙන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා. ඔහුට ඕනෙ දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අපිට උදව් කරන්න. (හෙබ්‍රෙ. 4:15; 7:24, 25) දේවරාජ්‍යයේ රජ යේසුස්. දෙවියන් තමන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්නෙත් දුෂ්ටකම් තුරන් කරන්නෙත් පාරාදීසයේ ජීවත් වෙන අයට සදාකාලෙටම ආශීර්වාද කරන්නෙත් යේසුස් මාර්ගයෙන්. (මතෙ. 6:9, 10; එළි. 11:15) යේසුස් අපේ ආදර්ශකයා. (1 පේතෘ. 2:21) ඔහුගේ ජීවිතේ ඔහු සම්පූර්ණයෙන්ම කැප කළේ දෙවියන් කැමති දේ කරන්නයි.—යොහ. 4:34.

13 යේසුස් ගැන බයිබලේ සඳහන් ඒ දේවල් ඔයා විශ්වාස කරද්දී දෙවියන්ගේ ආදරණීය පුතා ගැන ඔයාගේ හිතේ ආදරයක් ඇති වෙනවා. ඒ ආදරේ ඔයාව පොලඹවනවා යේසුස් කළා වගේ දෙවියන්ගේ කැමැත්තට ඔයාගේ ජීවිතේ මුල් තැන දෙන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න ඔයා පෙලඹෙයි.

14-15. දෙවියන්ගේ බලය ගැන ඔයා ඉගෙනගත්ත සත්‍යයන් මොනවාද?

14 දෙවියන්ගේ බලය ගැන මේ සත්‍යයන් ඉගෙනගත්තාම ඔයාට මොනවාද හිතුණේ? බයිබලේ දෙවියන්ගේ බලය ගැන කතා කරද්දී ඒක යොමු දක්වන්නේ නොපෙනෙන පුද්ගලයෙක්ට නෙමෙයි. බයිබලේ ලියන්න දෙවියන් මිනිසුන්ට මඟ පෙන්නුවේ ඔහුගේ බලය යොදාගෙන. බයිබලේ තියෙන තොරතුරු තේරුම්ගන්න, ඒවා අදාළ කරගන්න දෙවියන් අපිට උදව් කරන්නේ ඔහුගේ බලය මාර්ගයෙන්. (යොහ. 14:26; 2 පේතෘ. 1:21) යෙහෝවා දෙවියන් “සාමාන්‍යය ඉක්මවූ බලය” අපිට දීලා දේවල් කරන්න අපිව ශක්තිමත් කරනවා. (2 කොරි. 4:7) ශුභාරංචිය දේශනා කරන්න, වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කරන්න, අධෛර්යය කරවන හැඟීම්වලින් යටපත් නොවී ඉන්න, පීඩා දරාගන්න අපිට උදව් කරන්නේ දෙවියන්ගේ බලයයි. ‘දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙද්දී’ දෙවියන් සතුටු වෙන ගුණාංග වර්ධනය කරගන්න අපිට පුළුවන්. (ගලා. 5:22) දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන සහ ඔහුගෙන් බලය ඉල්ලන අයට ඔහු කැමැත්තෙන්ම ඔහුගේ බලය දෙනවා.—ලූක් 11:13.

15 යෙහෝවා දෙවියන්ගේ බලයේ උදව් ලැබෙන නිසා අත් නෑර ඔහුට සේවය කරන්න ඔහුගේ සේවකයන්ට පුළුවන් කියලා දැනගන්න ලැබුණ එක මොන තරම් දිරිගැන්වීමක්ද! දෙවියන්ගේ බලය ගැන ඔයා ඉගෙනගත්ත ඒ සත්‍යයන් ගැන විශ්වාසයක් ඇති වෙද්දී දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න ඔයා පෙලඹෙයි.

16. මේ වෙන කල් අපි ඉගෙනගත්තේ මොනවාද?

16 යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න ඔයා ගන්න තීරණය ගොඩක් වැදගත්. අභියෝග විඳදරාගන්න, සමහර දේවල් කැප කරන්න ඔයාට වෙනවා කියලා දැනගෙනයි ඔයා ඒ තීරණය ගන්නේ. ඒත් අපිට ලැබෙන ආශීර්වාද ඊට වඩා ගොඩක් වැඩියි. බව්තීස්මය ඔයාගේ ගැලවීමට මඟ පාදනවා. බව්තීස්මය නිසා දෙවියන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න ඔයාට පුළුවන්. ඒත් ඔයා බව්තීස්ම වෙන්න තීරණය කරන්න ඕනෙ ප්‍රධානම හේතුව යෙහෝවා දෙවියන් ගැන ඔයාට තියෙන ආදරයයි. ඒ වගේම පියාණන් ගැන, පුත්‍රයා ගැන සහ දෙවියන්ගේ බලය ගැන ඔයා ඉගෙනගත්ත සත්‍යයන් ගැන ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි මේ වෙන කල් ඉගෙනගත්ත දේවල් ගැන හිතලා බලද්දී “මම බව්තීස්ම වෙන්න සූදානම්ද” කියන ප්‍රශ්නයට ඔයා දෙන උත්තරේ මොකක්ද?

බව්තීස්ම වෙන්න කලින් ඔයා මොනවාද කරන්න ඕනේ?

17. බව්තීස්ම වෙන්න කලින් කෙනෙක් ගන්න ඕනෙ පියවර මොනවාද?

17 බව්තීස්ම වෙන්න ඔයා සූදානම් කියලා ඔයා හිතනවා නම් යෙහෝවා දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න අවශ්‍ය පියවර ඔයා දැනටමත් අරන් ඇති. * ඔයා නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන නිසා යෙහෝවා දෙවියන් ගැනත් යේසුස් ගැනත් ඔයා ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. දෙවියන් ගැන ඔයාට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. (හෙබ්‍රෙ. 11:6) යෙහෝවා දෙවියන්ගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ඔයාට නිසැකයි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්න ඔයාට පුළුවන් කියලා ඔයාට විශ්වාසයි. ඔයා අතින් වුණ වැරදි ගැන ඔයාට දැනෙන්නේ ලොකු දුකක්. ඒ නිසා ඔයා යෙහෝවා දෙවියන්ගෙන් ඒවාට සමාව ඉල්ලලා තියෙනවා. ඔයා කලින් ගත කරපු නරක ජීවිතේ සම්පූර්ණයෙන්ම අත්හැරලා දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ඔයා පටන් අරන් ඇති. (ක්‍රියා 3:19) ඔයා විශ්වාස කරන දේවල් ගැන අනිත් අයට කියන්න ඔයාට තියෙන්නේ ලොකු ආසාවක්. ඒ නිසා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් විදිහට සභාවේ අය එක්ක එකතු වෙලා ඔයා සේවයේ යනවා ඇති. (මතෙ. 24:14) ඔයා කරන ඒ හැම දෙයක් ගැනම යෙහෝවා දෙවියන් හුඟක් සතුටු වෙනවා.—හිතෝ. 27:11.

18. බව්තීස්ම වෙන්න කලින් ඔයා තව මොනවාද කරන්න ඕනේ?

18 බව්තීස්ම වෙන්න කලින් ඔයා කරන්න ඕනෙ තවත් දේවල් කීපයක් තියෙනවා. අපි කලින් බලපු විදිහට ඔයා යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා යෙහෝවා දෙවියන්ට පෞද්ගලිකව යාච්ඤාවකින් පොරොන්දු වෙනවා එදා ඉඳන් ඔයාගේ ජීවිතේ දෙවියන් වෙනුවෙන් දෙනවා කියලා. (1 පේතෘ. 4:2) ඊටපස්සේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරකට ඔයා බව්තීස්ම වෙන්න කැමතියි කියලා කියන්න. එයා ඔයාත් එක්ක කතා කරන්න කියලා වැඩිමහල්ලන් කීපදෙනෙක්ට කියයි. එයාලා එක්ක කතා කරන්න බය වෙන්න එපා. ඒ සහෝදරයෝ දැනටමත් ඔයාව හොඳින් අඳුරනවා. එයාලා ඔයාට ආදරෙයි. එයාලා ඔයාත් එක්ක ඔයා බයිබලෙන් ඉගෙනගෙන තියෙන මූලික ඉගැන්වීම් ගැන කතා කරයි. එයාලට ඕනෙ ඔයා ඒ ඉගැන්වීම් තේරුම් අරන් ඉන්නවාද කියලා බලන්නයි. ඒ වගේම කැප වීම සහ බව්තීස්මය කොයි තරම් වැදගත්ද කියලා ඔයා තේරුම් අරන් ඉන්නවාද කියලා දැනගන්නයි. ඔයා බව්තීස්ම වෙන්න සූදානම් කියලා එයාලට තේරුණොත් එයාලා ඔයාට දැනුම් දෙයි ඊළඟ සමුළුවේදී බව්තීස්ම වෙන්න ඔයාට පුළුවන් කියලා.

බව්තීස්ම වුණාට පස්සේ ඔයා මොනවාද කරන්න ඕනේ?

19-20. බව්තීස්ම වුණාට පස්සේ ඔයා මොනවාද කරන්න ඕනේ? ඒක කරන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

19 බව්තීස්ම වුණාට පස්සේ ඔයා මොනවාද කරන්න ඕනේ? * ඔයා දෙවියන්ට කැප වෙලයි ඉන්නේ. ඒක පොරොන්දුවක් කියලා අමතක කරන්න එපා. ඔයා ඒ පොරොන්දුව රකියි කියලා යෙහෝවා දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ පොරොන්දුව රකින්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

20 සභාවේ අයත් එක්ක කිට්ටුවෙන් ඇසුරු කරන්න. ඔයා බව්තීස්ම වුණාම ඔයාගේ සභාවේ ඉන්න සහෝදර සහෝදරියන් ඔයාගෙම පවුලේ අය වගේ වෙනවා. (1 පේතෘ. 2:17) නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙද්දී එයාලගේ කිට්ටු යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්. හැමදාම බයිබලේ කියවලා කියවපු ඒ කොටස ගැන කාලේ අරන් හොඳට හිතන්න. (ගීතා. 1:1, 2) එතකොටයි ඒ තොරතුරු ඔයාගේ හිතට යන්නේ. “නොකඩවා යාච්ඤා කරන්න.” (මතෙ. 26:41) ඔයා මුළු හදවතින්ම යාච්ඤා කරද්දී ඔයා තවත් යෙහෝවා දෙවියන්ට ළං වෙයි. දේශනා සේවයට ඔයාගේ ජීවිතේ වැදගත් තැනක් දීලා ඔයා ‘නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙනවා’ කියලා පෙන්නන්න. (මතෙ. 6:33) ඔයා නිතිපතා සේවයේ හවුල් වෙද්දී ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා වගේම සදාකාල ජීවිතේ ලබාගන්න තව අයට උදව් කරන්න ඔයාට පුළුවන් වෙයි.—1 තිමෝ. 4:16.

21. බව්තීස්මය නිසා ඔයාට ලැබෙන්නේ මොනවාද?

21 යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න ගන්න තීරණය තමයි ඔයා ඔයාගේ ජීවිතේ ගන්න වැදගත්ම තීරණය. ඒකට යම් වියදමක් දරන්න වෙනවා. ඒ කියන්නේ අභියෝග විඳදරාගන්න, සමහර දේවල් කැප කරන්න ඔයාට වෙයි. ඒ වියදම දරන එක වටිනවාද? ඔව්! අනාගතය එක්ක බලද්දී මේ කාලේ ඔයාට අද්දකින්න වෙන ඕනෙම දුෂ්කරතාවක් ‘සුළු පීඩාවක්. ඒක පවතින්නේ කෙටි කාලෙකට.’ (2 කොරි. 4:17) ඔයා බව්තීස්ම වුණාම ඔයාට දැන් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වගේම අනාගතයේදී “සැබෑ ජීවිතය” ලබාගන්න ඔයාට මඟ විවර වෙනවා. (1 තිමෝ. 6:19) ඒ නිසයි අපි ඔයාගෙන් ආදරෙන් ඉල්ලන්නේ දෙවියන්ට යාච්ඤා කරලා “මම බව්තීස්ම වෙන්න සූදානම්ද” කියන ප්‍රශ්නයට ඔයා දෙන උත්තරේ ගැන හොඳට හිතන්න කියලා.

ගීතිකාව 50 කැපවීමේ යාච්ඤාව

^ 5 ඡේ. ඔයා බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමනම් මේ ලිපිය විශේෂයෙන්ම ලියලා තියෙන්නේ ඔයාට. මේ ලිපියෙන් අපි බව්තීස්මය ගැන වැදගත් ප්‍රශ්න කීපයක් බලනවා. ඒ ප්‍රශ්නවලට ඔයා දෙන උත්තරවලින් ඔයා බව්තීස්ම වෙන්න සූදානම්ද කියලා ඔයාටම තේරුම්ගන්න පුළුවන්.

^ 19 ඡේ. ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ සහ ‘දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු’ කියන පොත් දෙක ඔයා පාඩම් කරලා ඉවර නැත්නම් ඒ පොත් දෙකම ඉවර වෙන කල් ඔයා පාඩම කරන්න ඕනේ.