Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

“අපි යන්න කැමතියි. අපිව යවන්න!”

“අපි යන්න කැමතියි. අපිව යවන්න!”

ඔයාත් ප්‍රචාරකයන් අඩු ප්‍රදේශකට ගිහින් සේවේ කරන්න ආසයිද? එහෙමනම් සහෝදර සහ සහෝදරි බෙගැම්ගේ අද්දැකීමෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

ජැක් සහ මරිලින් 1988 ඉඳන් එකට පූර්ණකාලීන සේවේ කරනවා. එයාලට පුළුවන් වුණා විවිධ තත්වයන්ට අනුව හැඩගැහෙන්න. එයාලා ග්වාඩෙලුප් සහ ප්‍රංශ ගයනාවේ විවිධ පැවරුම් භාරගත්තා. අපි එයාලගෙන් ප්‍රශ්න කීපයක් අහමු.

ඔයාලා පූර්ණකාලීන සේවේ පටන්ගත්තේ ඇයි?

මරිලින්: මං හැදුණේ වැඩුණේ ග්වාඩෙලුප්වල. ඒ කාලේ මං නිතරම අම්මාත් එක්ක මුළු දවසම වගේ සේවේ යනවා. මම මිනිසුන්ට ආදරෙයි. ඒ නිසා 1985 මං ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්ම පුරෝගාමි සේවේ පටන්ගත්තා.

ජැක්: යෞවන කාලේ මං ආශ්‍රය කරපු වැඩිදෙනෙක් පූර්ණකාලීන සේවකයන්. එයාලා සේවේට හරිම ආසයි. මාත් ඉස්කෝලේ නිවාඩු කාලේදී සහායක පුරෝගාමි සේවේ කළා. පුරෝගාමීන් සේවේ කරපු වෙනත් පැතිවලට අපි සති අන්තවල බස් එකෙන් ගිහින් එයාලත් එක්ක සේවේ කළා. මුළු දවසම සේවේ කරලා ඊටපස්සේ අපි මුහුදු වෙරළට යනවා. ඒ කාලේ හරිම සුන්දරයි.

1988 අපි විවාහ වුණ අලුත මං කල්පනා කළා ‘අපිට ලොකු වගකීම් නැති නිසා සේවේ තව වැඩි කරන්න ඕනෙ’ කියලා. ඉතිං මමත් පුරෝගාමි සේවේ පටන්ගත්තා. ඊට අවුරුද්දකට පස්සේ පුරෝගාමි පාසැලට සහභාගි වුණාම අපිට පැවරුමක් ලැබුණා විශේෂ පුරෝගාමීන් විදිහට සේවේ කරන්න. ග්වාඩෙලුප්වල පැවරුම් කීපයක්ම කළාට පස්සේ අපිට ප්‍රංශ ගයනාවේ සේවේ කරන්න පැවරුමක් ලැබුණා.

පහුගිය අවුරුදු ගාණ පුරාම ඔයාලගේ පැවරුම් විටින් විට වෙනස් වුණා. ඔයාලට ඒ වෙනස්කම්වලට හැඩගැහෙන්න පුළුවන් වුණේ කොහොමද?

මරිලින්: ප්‍රංශ ගයනාවේ බෙතෙල් එකේ සහෝදරයන් දැනන් හිටියා යෙසායා 6:8 අපේ ආසම බයිබල් පදය කියලා. ඉතිං එයාලා අපිට කෝල් කළාම විහිළුවෙන් වගේ මෙහෙම අහනවා. “ඔයාලට මතකද ඔයාලගේ ආසම බයිබල් පදේ?” එහෙම කියද්දීම අපි දන්නවා අපේ පැවරුම වෙනස් වෙන්නයි යන්නේ කියලා. ඉතිං අපි මෙහෙම කියනවා. “අපි යන්න කැමතියි. අපිව යවන්න!”

අලුත් පැවරුමක් ලැබුණාම අපි ඒක කලින් පැවරුම් එක්ක සන්සන්දනය කරන්නේ නැහැ. එතකොට අලුත් පැවරුම සතුටින් කරන්න බැහැ. අලුත් පැවරුමේදී හම්බ වෙන සහෝදර සහෝදරියන්ව හොඳින් අඳුරගන්න අපි උත්සාහ කරනවා.

ජැක්: සමහර සහෝදරයන් අපිට තියෙන ආදරේ නිසා එයාලව දාලා වෙන පැත්තකට යන්න එපා කියලා අපිට කියනවා. ඒත් අපි ග්වාඩෙලුප්වලින් එද්දී එක සහෝදරයෙක් මතෙව් 13:38 යේසුස් කියපු මේ වචන අපිට මතක් කළා. “කෙත කියන්නේ ලෝකයට.” ඉතිං අපේ පැවරුම වෙනස් වෙද්දී අපි මතක් කරගත්තා අපි කොහේ ගියත් අපි සේවේ කරන්නේ තාම එකම කෙතේ කියලා. වැදගත් වෙන්නේ තැන නෙමෙයි මිනිසුන්ට දේශනා කරන එකයි.

අලුත් ප්‍රදේශයකට ගියාම අපි දැක්ක දෙයක් තමයි ඒ පැත්තේ ඉන්න මිනිසුන් ඉන්නේ සතුටින් කියලා. ඒ නිසා අපිත් එයාලා ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. එයාලා කන බොන දේවල් අපිට අලුත්. ඒත් අපේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන ගමන් අපිත් ඒ අය කන බොන දේවල්ම කෑවා බිව්වා. අපි නිතරම අපේ අලුත් පැවරුමේ තිබුණ හොඳ දේවල් ගැන කතා කළා.

මරිලින්: අපි යන ප්‍රදේශයේ ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. මට මතකයි අපි ප්‍රංශ ගයනාවට ගිය අලුත වෙච්ච දෙයක්. එදා හොඳටම වැස්ස. අපි හිතුවේ වැස්ස නැවතුණාට පස්සේ තමයි සේවේ යන්නේ කියලා. ඒත් සහෝදරියක් මගෙන් ඇහුවා “අපි සේවේ යමුද” කියලා. මං එයාගෙන් ඇහුවා “මේ වැස්සේ කොහොමද සේවේ යන්නේ” කියලා. “කුඩෙත් ඉහළගෙන බයිසිකලෙන් යමු” කියලා එයා කිව්වා. ඒකෙන් මං පුරුදු වුණා කුඩෙත් ඉහළගෙන බයිසිකලේ පැදගෙන යන්න. නැත්නම් ඉතිං වැස්ස කාලේ සේවේ කරන්න වෙන්නේ නැහැ.

ඔයාලට 15 වතාවක් විතර පදිංචිය මාරු කරන්න වුණා. එහෙම පදිංචිය මාරු කරන අයට දෙන්න හොඳ යෝජනා තියෙනවාද?

මරිලින්: නිතර පදිංචිය මාරු කරන එක ලේසි නැහැ. ඒත් සේවේ ගිහින් ආවාම නිදහසේ වැටිලා ඉන්න පුළුවන් තැනක් තියෙන එක වැදගත්.

ජැක්: අලුත් ගෙදරකට ගියාම මං සාමාන්‍යයෙන් ගේ ඇතුළට තීන්ත ගානවා. ශාඛා කාර්යාලයේ ඉන්න සහෝදරයෝ දන්නවා නම් අපි යන තැන අපිට වැඩි කාලයක් ඉන්න වෙන්නේ නැහැ කියලා එයාලා කියනවා “ජැක්, මේ පාර නම් ගේ පේන්ට් කරන්න ඕනෙ වෙන එකක් නැහැ” කියලා.

ගෙවල් මාරු කරන්න වෙද්දී බඩු පෙට්ටිවලට දාලා ගෙනියන්න ලෑස්ති කරන්න මරිලින් හරි දක්ෂයි. “නාන කාමරේ බඩු,” “නිදන කාමරේ බඩු,” “කුස්සියේ බඩු” කියලා එයා හැම පෙට්ටියකම ලේබල් ගහනවා. අපි අලුත් ගෙදරකට ආවාම ඒ බඩු අදාළ තැන තියන්න ඒ නිසා ලේසියි. ඒ හැම පෙට්ටියකම තියෙන බඩුවල ලැයිස්තුවකුත් එයා ළඟ තියෙනවා. අපිට අවශ්‍ය බඩු ඉක්මනින්ම හොයාගන්න ඒකෙන් පුළුවන්.

මරිලින්: හැම දෙයක්ම පිළිවෙළට කරන්න අපි ඉගෙනගත්ත නිසා අලුත් තැනකට ගියාම අපිට ඉක්මනින්ම සේවේ පටන්ගන්න පුළුවන් වුණා.

“දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” පුළුවන් විදිහට ඔයාලගේ කාලසටහන හදාගන්නේ කොහොමද?—2 තිමෝ. 4:5.

මරිලින්: සඳුදාට අපි විවේකයෙන් ඉන්නවා. රැස්වීම්වලට සූදානම් වෙන්නෙත් එදාට. අඟහරුවාදා ඉඳන් සතියේ ඉතුරු දවස් අපි සේවේ යනවා.

ජැක්: අපිට මාසෙට වාර්තා කරන්න නිශ්චිත පැය ගාණක් තිබුණත් අපි ඒක මනසේ තියාගෙන නෙමෙයි සේවේ කරන්නේ. අපිට වැදගත්ම දේ මිනිසුන්ට දේශනා කරන එකයි. ගෙදරින් පිට වෙලා ආපහු ගෙදර එන කල්ම අපි උත්සාහ කරන්නේ අපිට හම්බ වෙන හැමෝටම ශුභාරංචිය ගැන කියන්න.

මරිලින්: අපි ටිකක් විනෝදෙන් ඉන්න කොහේට හරි යද්දී මං පත්‍රිකා අරන් යනවා. අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා කිව්වේ නැතත් සමහරු අපි ළඟට ඇවිත් ප්‍රකාශන ඉල්ලනවා. ඒ නිසා අපි හැම වෙලේම අපේ ඇඳුම් ගැන, අපි හැසිරෙන විදිහ ගැන ගොඩක් සැලකිලිමත්.

ජැක්: අපි අපේ අසල්වැසියන්ට උදව් කරන්නත් ඉදිරිපත් වෙනවා. ඒකත් හොඳ සාක්ෂියක්. වැටිලා තියෙන කොළ කෑලි අහුලලා කුණු බක්කියට වීසි කරන එක, වත්තේ කොළ අතුගාන එක වගේ දේවල් මං කරනවා. ඒවා දකින අපේ අසල්වැසියන් සමහර වෙලාවට මගෙන් අහනවා “මට ඔයාගෙන් බයිබලයක් ඉල්ලගන්න පුළුවන්ද” කියලා.

ඔයාලා නිතරම වගේ ප්‍රචාරකයන් නැති ඈත පළාත්වල සේවේ කරන්න ගිහින් තියෙනවා. එහෙම ගිය ගමන්වලදී අමතක නොවන සිදුවීම් වුණාද?

ජැක්: ගයනාවේ සමහර පැතිවලට යන්න අමාරුයි. හුඟක් වෙලාවට සතියක් ඇතුළත කි.මී. 600ක දුරක් කැඩිච්ච පාරවල්වල යන්න වුණා. සෙන්ට් ඒලී ගමට අපි ගිය ගමන නම් අපිට අමතක වෙන්නේ නැහැ. ඒක තිබුණේ ඇමසන් වනාන්තරයේ. එහෙට යන්න අපිට පැය ගාණක් ගත වුණා. එහෙට යන්න අපි කැලෑබද පාරවල්වල යන්න පුළුවන් වාහනයක් සහ ඊටපස්සේ බෝට්ටුවක් පාවිච්චි කළා. එහේ හිටපු ගොඩක් අය රන් පතල්කරුවන්. අපේ ප්‍රකාශන අගය කරපු සමහරු අපිට සම්මාදම් විදිහට පොඩි රත්තරන් කෑලි දුන්නා. හවස් වරුවේ අපි එහේ හිටපු අයට සංවිධානයේ වීඩියෝ එකක් පෙන්නුවා. ඒක බලන්න හුඟදෙනෙක් ආවා.

මරිලින්: ළඟකදී ජැක්ට කිව්වා කැමෝපි ගමේ සිහි කිරීමේ දේශනය දෙන්න කියලා. එහෙට යන්න අපි පැය හතරක් තිස්සේ මෝටර් බෝට්ටුවක ගියා.

ජැක්: ගඟේ වතුර මට්ටම අඩුවෙන් තිබුණ තැන්වල වතුර පාර හරිම සැරට ගල් උඩින් යනවා. ඒ වගේ තැන්වලින් පෙරළෙන්නේ නැතුව බෝට්ටුව අරන් යන්න ඒක පදවන කෙනාට හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒක අපිට අමතක නොවන අද්දැකීමක්. කැමෝපිවල සාක්ෂිකරුවන් ඉන්නේ 6දෙනෙක් විතරයි. ඒත් සිහි කිරීමට 50දෙනෙක් විතර ආවා. ආදිවාසීනුත් ඒ අතරේ හිටියා.

මරිලින්: යෙහෝවා දෙවියන්ට වැඩි සේවයක් කරන්න ඉදිරිපත් වෙන තරුණ අයටත් ඒ වගේ රසවත් අද්දැකීම් ලබන්න පුළුවන්. අමාරු අවස්ථාවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. මොකද යෙහෝවා දෙවියන් අපිට උදව් කරන විදිහ අපිට අද්දකින්න පුළුවන්.

ඔයාලා භාෂා කීපයක්ම ඉගෙනගෙන තියෙනවා. භාෂා ඉගෙනගන්න එක ඔයාලට ලේසි දෙයක්ද?

ජැක්: නැහැ. මං ඒ භාෂා ඉගෙනගත්තේ දේශනා සේවේට සහ සභාවේ වැඩවලට ඒක උදව් වෙන නිසයි. මට වුණා ස්රානන්ටොංගො * භාෂාවෙන් ‘මුරටැඹ’ පාඩම මෙහෙයවන්න. ඒ වෙද්දී මම ඒ භාෂාවෙන් බයිබල් කියවීමක්වත් කරලා තිබුණේ නැහැ. ‘මුරටැඹ’ පාඩමෙන් පස්සේ මං සහෝදරයෙක්ගෙන් ඇහුවා “මං කියපු දේවල් ඔයාලට තේරුණාද” කියලා. එයා කිව්වා “ඔයා කියපු සමහර වචන අපිට තේරුණේ නැහැ. ඒත් ඔයා හොඳට කළා” කියලා. භාෂාව ඉගෙනගන්න දරුවන්ගෙන් මට හුඟක් උදව් ලැබුණා. මට වැරදුණාම එයාලා ඒක මට කියනවා. ඒත් වැඩිහිටියෝ නම් වැරදුණාම කිව්වේ නැහැ.

මරිලින්: අපි සේවේ කරපු එක ප්‍රදේශයක මට භාෂා තුනකින් බයිබල් පාඩම් තිබුණා. සහෝදරියක් මට කිව්වා ඒ භාෂාවලින් මට අමාරුම භාෂාවෙන් තියෙන පාඩම මුලින්ම කරලා ලේසි එක අන්තිමට කරන්න කියලා. ඒක හොඳ යෝජනාවක්.

දවසක් මං මුලින්ම ස්රානන්ටොංගොවලින් තිබුණ පාඩමක් කරලා ඊළඟට පෘතුගීසි භාෂාවෙන් තිබුණ පාඩමකට ගියා. මං ඒ පාඩම පටන් අරන් ටික වෙලාවකට පස්සේ මාත් එක්ක හිටපු සහෝදරිය මට කිව්වා “මරිලින්, පොඩි ප්‍රශ්නයක් තියෙනවා” කියලා. එතකොටයි මට තේරුණේ මාත් එක්ක පාඩම කරපු බ්‍රසීල ජාතික කාන්තාවට පෘතුගීසි භාෂාවෙන් කතා කරනවා වෙනුවට මං ස්රානන්ටොංගො භාෂාවෙන් කතා කරනවා කියලා.

ඔයාලා සේවේ කරපු සභාවල සහෝදර සහෝදරියන් ඔයාලට ගොඩක් ආදරෙයි. එයාලගේ හොඳ යාළුවන් වෙන්න ඔයාලට පුළුවන් වුණේ කොහොමද?

ජැක්: “ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි” කියලා හිතෝපදේශ 11:25 කියනවා. අනිත් අය එක්ක කාලේ ගත කරන්න, එයාලා වෙනුවෙන් දේවල් කරන්න අපි අදිමදි කරන්නේ නැහැ. නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩ එද්දී සමහර සහෝදරයන් මට කියලා තියෙනවා “ඔයා වධ වෙන්න එපා. ප්‍රචාරකයන්ට පුළුවන් ඒක කරන්න” කියලා. ඉතිං මං එයාලට කියනවා “මාත් ප්‍රචාරකයෙක්නේ. කරන්න වැඩ තියෙනවා නම් මාත් කැමතියි ඒවා කරන්න” කියලා. අපිට නිදහසේ ඉන්න වෙලාවක් තියෙන එක හොඳයි. ඒත් අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ඒක අපි බාධාවක් කරගත්තේ නැහැ.

මරිලින්: අපි සහෝදර සහෝදරියන් ගැන හොයලා බලනවා. ඒ නිසා එයාලා මොකක් හරි වැඩකට ගිහින් එන කල් දරුවන්ව බලාගන්න, දරුවන්ව ඉස්කෝලෙන් ගන්න කාගේ හරි උදව් ඕනෙද කියලා දැනගන්න අපිට පුළුවන් වෙනවා. ඊටපස්සේ එයාලට උදව් කරන්න පුළුවන් විදිහට අපි අපේ කාලසටහන හදාගන්නවා. ඒ විදිහට තමයි අපි එයාලගේ කිට්ටු යාළුවන් වුණේ.

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවල සේවේ කරලා ඔයාලා ලබපු ආශීර්වාද මොනවාද?

ජැක්: පූර්ණකාලීන සේවේ නිසා අපි ගොඩක් ආශීර්වාද අද්දකිනවා. යෙහෝවා දෙවියන්ගේ නිර්මාණ දිහා බලලා ඒවා රස විඳින්න අපිට හුඟක් අවස්ථා ලැබෙනවා. අපි කොහේ හිටියත් අපේ උදව්වට යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ඉන්න නිසා අභියෝග මැද වුණත් මනසේ සාමය ඇතුව ඉන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

තරුණ කාලේදී හමුදාවට බැඳුණේ නැති නිසා ප්‍රංශ ගයනාවේ මං කාලයක් හිරේ හිටියා. දවසක මිෂනාරි සේවකයෙක් හැටියට එහෙටම ඇවිත් හිරකරුවන්ටත් දේශනා කරන්න ලැබෙයි කියලා මං හිතුවේ නැහැ. යෙහෝවා දෙවියන් ලෝභ නැතුව මට ආශීර්වාද කරලා තියෙනවා.

මරිලින්: මං වැඩියෙන්ම සතුටු වෙන්නේ අනිත් අය වෙනුවෙන් දේවල් කරලයි. යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න ලැබුණ එක අපිට සතුටක්. පූර්ණකාලීන සේවේ නිසා අපි දෙන්නා අතරේ තිබුණ බැඳීම වැඩි වුණා. සමහර වෙලාවලදී අධෛර්යය වෙලා ඉන්න යුවළක් ගැන කියලා ජැක් මගෙන් අහනවා “අපි එයාලට කෑම වේලකට ආරාධනා කරමුද” කියලා. හුඟක් වෙලාවට මං කියනවා “ආනේ, මාත් ඒ ගැන හිතුවා විතරයි” කියලා.

ජැක්: මට පිළිකාවක් තියෙනවා කියලා ළඟදී අපිට දැනගන්න ලැබුණා. මං මෙහෙම කියනවාට මරිලින් නම් එච්චර කැමති නැහැ. ඒත් මං එයාට කිව්වා “ඩාලිං, මං ඉන්නේ මැරෙන්න තරම් වයසක නෙමෙයි. ඒත් මං හෙට මැරුණත් මං දුක් වෙන්නේ නැහැ. මොකද මං ජීවිත කාලේම යෙහෝවා දෙවියන් වෙනුවෙන් සේවේ කළා. ඒ ගැන මට සතුටුයි.”—උත්. 25:8.

මරිලින්: අපිට හම්බ වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැති පැවරුම් යෙහෝවා දෙවියන් අපිට දුන්නා. අපිට කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවේ නැති දේවල් කරන්න ඔහු අපිට අවස්ථාව දුන්නා. ඔහුගේ ආශීර්වාදවලින් අපේ ජීවිත පිරිලා. දෙවියන්ගේ සංවිධානය අපිට යන්න කියන ඕනෙම තැනකට අපි යනවා. මොකද යෙහෝවා දෙවියන් අපිත් එක්කම ඉඳලා අපිට උදව් කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.

^ 32 ඡේ. ස්රානන්ටොංගො කියන්නේ ඉංග්‍රීසි, ඕලන්ද, පෘතුගීසි සහ අප්‍රිකානු භාෂාවල එකතුවකින් හැදුණු භාෂාවක්. වහලුන්ගෙන් තමයි ඒ භාෂාව බිහි වෙලා තියෙන්නේ.