Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 17

“මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි”

“මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි”

“මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි. මගේ පියාණන් මට කියා දුන් සෑම දෙයක්ම මම ඔබට කියා දුන්නේ ඒ නිසයි.”—යොහ. 15:15.

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

මේ ලිපියෙන් *

1. ඔයා කෙනෙක් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් කෙනෙක් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න නම් ඔයා ඒ කෙනා එක්ක කාලේ ගත කරන්න ඕනේ. ඔයාලට හිතෙන, හැඟෙන දේවල් එකිනෙකා එක්ක කතා කරද්දී ඔයාලා අතරේ බැඳීමක් ඇති වෙනවා. අපිට ඕනෙ යේසුස් එක්කත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න. ඒත් ඒක කරද්දී අපි අභියෝග කීපයකටම මුහුණ දෙනවා. ඒ මොනවාද?

2. අපි මුහුණ දෙන පළවෙනි අභියෝගය මොකක්ද?

2 පළවෙනි අභියෝගය තමයි අපිට යේසුස්ව කවදාවත් මුණගැහිලා නැති එක. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් හුඟදෙනෙකුටත් ඒ අභියෝගය තිබුණා. ඒ වුණත් පේතෘස් මෙහෙම කිව්වා. “ඔබ ක්‍රිස්තුස්ව කිසිදාක දුටුවේ නැතත් ඔබට ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇත. දැන් ඔබට ඔහුව නොපෙනුණත් ඔබට ඔහු කෙරෙහි විශ්වාසයක් ඇත.” (1 පේතෘ. 1:8) ඒකෙන් තේරෙනවා යේසුස්ව අපිට මුණගැහිලා නැති වුණත් ඔහුත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අපිට පුළුවන් කියලා.

3. අපි මුහුණ දෙන දෙවෙනි අභියෝගය මොකක්ද?

3 දෙවෙනි අභියෝගය තමයි අපිට යේසුස් එක්ක කතා කරන්න බැරි එක. අපේ යාච්ඤා අපි ඉදිරිපත් කරන්නේ යේසුස්ගේ නාමයෙන් වුණත් අපි කතා කරන්නේ යෙහෝවා දෙවියන් එක්ක. අනිත් අතට, යේසුත් කැමති නැහැ අපි ඔහුට යාච්ඤා කරනවාට. මොකද යාච්ඤාව කියන්නේ අපේ නමස්කාරයට අයිති දෙයක්. අපි නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට විතරයි කියලා යේසුස් කිව්වා. (මතෙ. 4:10) ඒ වුණත් යේසුස් ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න අපිට පුළුවන්.

4. අපිට තියෙන තුන්වෙනි අභියෝගය මොකක්ද? මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

4 තුන්වෙනි අභියෝගය තමයි යේසුස් ස්වර්ගයේ ඉන්න එක. ඒ නිසා ඔහු ළඟට වෙලා ඔහුත් එක්ක කාලේ ගත කරන්න අපිට බැහැ. ඒ වුණත් අපිට ඔහු ගැන හුඟක් දේවල් දැනගන්න පුළුවන්. යේසුස් එක්ක තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් 4ක් අපි බලමු. ඒත් ඊට කලින් අපි බලමු යේසුස් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න එක ඒ තරම්ම වැදගත් ඇයි කියලා.

අපි යේසුස්ගේ කිට්ටු මිතුරන් වෙන්න ඕනෙ ඇයි?

5. අපි යේසුස්ගේ යාළුවෙක් වෙන්න ඕනෙ ඇයි? (“ යේසුස්ගේ යාළුවන් යෙහෝවා දෙවියන්ගේ යාළුවන් වෙනවා” සහ “ අපේ හිතේ යේසුස්ට තියෙන්න ඕනෙ තැන” කියන කොටුත් බලන්න.)

5 අපිට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ඕනෙ නම් අපි අනිවාර්යයෙන්ම යේසුස්ගේ යාළුවන් වෙන්න ඕනේ. එහෙම කියන්න හේතු 2ක් තියෙනවා. (1) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. ‘ඔබ මට බොහෝ සෙයින් ආදරය කළ නිසා පියාණන්ට ඔබ ගැන තිබෙන්නේ මහත් ආදරයක්.’ (යොහ. 16:27) යේසුස් මෙහෙමත් කිව්වා. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහ. 14:6) යේසුස් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නේ නැතුව යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න උත්සාහ කරන එක හරියට ගෙදරක දොර පාවිච්චි කරන්නේ නැතුව ඒ ගෙට ඇතුල් වෙන්න හදනවා වගේ දෙයක්. යේසුත් ඒ වගේ උදාහරණයක් කිව්වා. ඔහු කිව්වා “බැටළුවන් ඇතුල් වන දොරටුව මමයි” කියලා. (යොහ. 10:7) (2) යේසුස් ඔහුගේ පියාගේ ගතිලක්ෂණ 100%ක්ම අනුකරණය කළා. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.” (යොහ. 14:9) අපිට යෙහෝවා දෙවියන්ව හොඳින් දැන හඳුන ගන්න පුළුවන් විදිහක් තමයි යේසුස්ගේ ජීවිතය ගැන හොඳින් අධ්‍යයනය කරන එක. යේසුස් ගැන අධ්‍යයනය කරන තරමට ඔහු ගැන අපිට තියෙන ආදරෙත් වැඩි වෙනවා. යේසුස්ට තියෙන අපේ ආදරේ වැඩි වෙද්දී ඔහුගේ පියා ගැන අපිට තියෙන ආදරෙත් වැඩි වෙනවා.

6. අපි යේසුස්ගේ යාළුවෙක් වෙන්න ඕනෙ තවත් හේතුවක් මොකක්ද? පැහැදිලි කරන්න.

6 අපේ යාච්ඤාවලට උත්තර ලැබෙන්නේ අපිට යේසුස් එක්ක හොඳ බැඳීමක් තියෙනවා නම් විතරයි. යාච්ඤාවක් අවසානයේදී නිකම්ම යේසුස්ගේ නාමයෙන් ඒක ඔප්පු කරනවා කියලා කියනවාට වඩා දෙයක් ඒකට ඇතුළත්. අපේ යාච්ඤාවලට උත්තර දෙන්න යෙහෝවා දෙවියන් යේසුස්ව යොදාගන්නේ කොහොමද කියන දේ අපි තේරුම්ගන්න ඕනේ. යේසුස් ඔහුගේ නියෝජිතයන්ට මෙහෙම කිව්වා. “ඔබ මගේ නාමයෙන් මොනව හරි දෙයක් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා.” (යොහ. 14:13) අපේ යාච්ඤා අහන්නෙත් ඒවාට උත්තර දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්නෙත් යෙහෝවා දෙවියන්. ඒ වුණත් ඒ තීරණ ක්‍රියාත්මක කරන්න දෙවියන් බලය දීලා තියෙන්නේ යේසුස්ට. (මතෙ. 28:18) අපේ යාච්ඤාවලට උත්තර දෙන්න කලින් දෙවියන් බලනවා යේසුස් දීලා තියෙන උපදෙස් අපි අදාළ කරගන්නවාද කියලා. උදාහරණෙකට යේසුස් කිව්වා “ඔබ අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබටත් සමාව දෙයි. නමුත් ඔබ ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔබේ පියාණන් ඔබේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ” කියලා. (මතෙ. 6:14, 15) එහෙමනම් යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට සලකන විදිහටම අපිත් අනිත් අයට සලකන එක කොයි තරම් වැදගත්ද!

7. යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?

7 යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබාගන්න පුළුවන් වෙන්නේ ඔහු එක්ක කිට්ටු මිත්‍රත්වයක් තියෙන අයට විතරයි. අපි කොහොමද ඒක දන්නේ? යේසුස් කිව්වේ ඔහු “මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා” කියලයි. (යොහ. 15:13) යේසුස් පොළොවට එන්න කලින් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව නමස්කාර කරපු අයටත් සිද්ධ වෙනවා යේසුස් ගැන ඉගෙනගෙන ඔහු ගැන ආදරයක් ඇති කරගන්න. ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රාහබ් වගේ විශ්වාසවන්ත අයව දෙවියන් අනිවාර්යයෙන්ම නැවත නැඟිටුවනවා. ඒත් සදාකාල ජීවිතය ලබාගන්න නම් ඒ අයත් යේසුස් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඕනේ.—යොහ. 17:3; ක්‍රියා 24:15; හෙබ්‍රෙ. 11:8-12, 24-26, 31.

8-9. යොහන් 15:4, 5 පැහැදිලි කරන විදිහට අපි යේසුස්ගේ යාළුවන් නම් අපිට කරන්න පුළුවන් වෙන්නේ මොකක්ද? අපි යේසුස් එක්ක එකට බැඳී ඉන්න ඕනෙ ඇයි?

8 දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට දේශනා කරන, උගන්වන කාර්යය යේසුස් එක්ක එකට කරන්න අපිට අවස්ථාව තියෙනවා. ඒක අපිට ලොකු සතුටක්. යේසුස් පොළොවේ ඉද්දී මිනිසුන්ට ඉගැන්නුවා. ඔහු ස්වර්ගයට ගියාට පස්සේ ක්‍රිස්තියානි සභාවේ නායකයා විදිහට දේශනා කරන සහ උගන්වන කාර්යය කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දිගටම ලබා දෙනවා. යේසුස්වත් ඔහුගේ පියාවත් දැන හඳුන ගන්න අනිත් අයට උදව් කරන්න ඔයා දරන වෑයම යේසුස් දකිනවා වගේම ඔහු ඒක හුඟක් අගය කරනවා. ඇත්තටම, ඒ කාර්යය හොඳින් කරන්න අපිට පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ උදව් ලැබුණොත් විතරයි.—යොහන් 15:4, 5 කියවන්න.

9 යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න නම් අපි යේසුස් ගැන හිතේ ආදරයක් ඇති කරගෙන ඒ ආදරේ දිගටම පවත්වගන්න ඕනෙ කියලා බයිබලේ පැහැදිලිවම කියනවා. යේසුස්ගේ යාළුවෙක් වෙන්න අපිට කරන්න පුළුවන් දේවල් 4ක් ගැන දැන් බලමු.

යේසුස්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද?

(1) යේසුස්ව හොඳින් දැන හඳුන ගෙන, (2) යේසුස් වගේ හිතන්න, වැඩ කරන්න පුරුදු වෙලා, (3) යේසුස්ගේ සහෝදරයන්ට සහය දීලා, (4) යෙහෝවා දෙවියන්ගේ සංවිධානය කරන සැලසුම්වලට සහය දීලා යේසුස්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් (10-14 ඡේද බලන්න) *

10. යේසුස් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න අපි කරන්න ඕනෙ පළවෙනි දේ මොකක්ද?

10 (1යේසුස්ව හොඳින් දැන හඳුන ගන්න. මතෙව්, මාක්, ලූක් සහ යොහන් පොත් කියවන එක ඒක කරන්න අපිට උදව් වෙයි. ඒ පොත් කියවද්දී ඔයා දකියි යේසුස් අනිත් අයට කොයි තරම් කරුණාවන්තව සැලකුවාද කියලා. ඒ වාර්තා ගැන හොඳින් හිතද්දී යේසුස් ගැන ඔයාගේ හිතේ ආදරයක්, ගෞරවයක් ඇති වෙයි. උදාහරණෙකට යේසුස් ස්වාමියා වුණත් ඔහු ඔහුගේ අනුගාමිකයන්ට දාසයන්ට වගේ සැලකුවේ නැහැ. ඒ වෙනුවට ඔහු හිතපු, ඔහුට හැඟුණු දේවල් එයාලට කිව්වා. (යොහ. 15:15) එයාලා දුකෙන් ඉද්දී ඒ දුක ඔහුටත් දැනුණා. එයාලා එක්ක ඔහුත් ඇඬුවා. (යොහ. 11:32-36) යේසුස්ගේ පණිවිඩය පිළිගත්ත අයව ඔහු සැලකුවේ යාළුවන් හැටියට කියලා යේසුස්ගේ සතුරන් පවා පිළිගත්තා. (මතෙ. 11:19) යේසුස් ඔහුගේ අනුගාමිකයන් එක්ක වැඩ කරපු විදිහ අපි ආදර්ශයට ගන්නවා නම් අනිත් අයට තව කිට්ටු වෙන්න අපිට පුළුවන් වෙයි. අපිට ලොකු තෘප්තියක්, සතුටක් අද්දකින්නත් පුළුවන්. යේසුස් ගැන අපිට තියෙන ආදරේ, අගය තවත් වැඩි වෙයි.

11. යේසුස්ගේ යාළුවෙක් වෙන්න අපි කරන්න ඕනෙ දෙවෙනි දේ මොකක්ද? ඒක වැදගත් ඇයි?

11 (2යේසුස් වගේ හිතන්න, වැඩ කරන්න පුරුදු වෙන්න. යේසුස් හිතපු විදිහ හොඳින් තේරුම් අරන් ඒ විදිහට හිතන්න අපි පුරුදු වෙන තරමට ඔහුත් එක්ක අපිට තියෙන යාළුකම තව වැඩි වෙනවා. (1 කොරි. 2:16) ඔහු හිතන විදිහට හිතන්න අපිට පුළුවන් කොහොමද? එක උදාහරණයක් බලන්න. යේසුස් තමන් ගැන හිතනවාට වඩා හැම වෙලාවෙම හිතුවේ අනිත් අයට උදව් කරන එක ගැනයි. (මතෙ. 20:28; රෝම 15:1-3) යේසුස් ඒ විදිහට හිතපු නිසා අනිත් අය ඔහු ගැන වැරදි කිව්වත් ඔහුට හැඟුණ විදිහ ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව එයාලට සමාව දෙන්න ඔහුට පුළුවන් වුණා. (යොහ. 1:46, 47) කෙනෙක් අතීතයේ කරපු වරදක් නිසා හැමදාටම එයාව නරක කෙනෙක් විදිහට යේසුස් හංවඩු ගැහුවේ නැහැ. (1 තිමෝ. 1:12-14) “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා යේසුස් කිව්වා. (යොහ. 13:35) ඔයාගෙන්ම මෙහෙම අහලා බලන්න. “මගේ සහෝදර සහෝදරියන් එක්ක සාමයෙන් ඉන්න යේසුස් වගේ මාත් මට කරන්න පුළුවන් හැම දේම කරනවාද?”

12. යේසුස්ගේ යාළුවෙක් වෙන්න අපි කරන්න ඕනෙ තුන්වෙනි දේ මොකක්ද? ඒක කරන්න පුළුවන් කොහොමද?

12 (3යේසුස්ගේ සහෝදරයන්ට සහය දෙන්න. යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් වෙනුවෙන් අපි කරන ඕනෙම දෙයක් යේසුස් සලකන්නේ ඔහුට කරන දෙයක් විදිහටයි. (මතෙ. 25:34-40) අභිෂේක ලත් අයට සහය දෙන්න පුළුවන් ප්‍රධාන විදිහක් තමයි දේශනා කරන සහ උගන්වන කාර්යයට අපි පුළුවන් උපරිමයෙන් හවුල් වෙන එක. (මතෙ. 28:19, 20; ක්‍රියා 10:42) දැනට ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යය සාර්ථකව කරන්න යේසුස්ගේ සහෝදරයන්ට වෙනත් බැටළුවන්ගේ උදව් ඕනෙමයි. (යොහ. 10:16) ඔයා වෙනත් බැටළුවන්ට අයිති කෙනෙක් නම් ඒ කාර්යයට ඔයා හවුල් වෙන හැම වතාවකම අභිෂේක ලත් අයට වගේම යේසුස්ට ඔයා කොච්චර ආදරේද කියලා පෙන්නනවා.

13. ලූක් 16:9 යේසුස් කියපු දේ අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද?

13 යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව අපේ මිතුරන් කරගන්න අපිට පුළුවන් තව විදිහක් තමයි ඒ දෙන්නාගේ මඟ පෙන්වීමෙන් සිද්ධ වෙන කාර්යයට සම්මාදම් කරන එක. (ලූක් 16:9 කියවන්න.) උදාහරණෙකට අපිට පුළුවන් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් සම්මාදම් කරන්න. දුර ඈත පැතිවල ශුභාරංචිය දේශනා කරන්නත් නමස්කාරය සඳහා පාවිච්චි කරන ගොඩනැඟිලි හදන්න සහ ඒවා නඩත්තු කරන්නත් සහන සේවා වැඩවලටත් ඒ සම්මාදම් පාවිච්චි කරනවා. සභාවේ වියදම් පියවගන්න සම්මාදම් කරන්නත් අපිට පුළුවන්. ඒ වගේම සහෝදරයෙක් අගහිඟකම්වලින් පෙළෙනවා කියලා අපි දැනගත්තොත් එයාට උදව් කරන්නත් අපිට පුළුවන්.—හිතෝ. 19:17.

14. එෆීස 4:15, 16 අනුව යේසුස්ගේ යාළුවෙක් වෙන්න අපිට කරන්න පුළුවන් 4වෙනි දේ මොකක්ද?

14 (4යෙහෝවා දෙවියන්ගේ සංවිධානය කරන සැලසුම්වලට සහය දෙන්න. සභාවේ නායකයා විදිහට යේසුස් අපිව රැකබලා ගන්න සහෝදරයන්ව පත් කරලා තියෙනවා. අපි එයාලා එක්ක සහයෝගයෙන් වැඩ කරද්දී යේසුස් එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් වෙනවා. (එෆීස 4:15, 16 කියවන්න.) උදාහරණෙකට හැම නමස්කාර මධ්‍යස්ථානයකින්ම උපරිම ප්‍රයෝජන ගන්න අදහසින් සභාවන් කීපයක් එකට එකතු කරන සැලැස්මක් සංවිධානය හඳුන්වා දුන්නා. ඒකට අනුව සභාවලට සේවය කරන්න පැවරෙන ප්‍රදේශ වෙනස් වෙනවා. ඒ සැලැස්ම නිසා ලැබෙන සම්මාදම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න සංවිධානයට පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඒකට කීකරු වෙන්න නම් සමහර ප්‍රචාරකයන්ට සිද්ධ වෙනවා එයාලා කාලයක් තිස්සේ හිටපු සභාව, කිට්ටු යාළුවන්ව දාලා අලුත් සභාවකට යන්න. එයාලගේ කීකරුකම දකිද්දී යේසුස් මොන තරම් සතුටු වෙනවා ඇද්ද!

හැමදාටම යේසුස්ගේ යාළුවන්

15. යේසුස් එක්ක අපිට තියෙන මිත්‍රත්වය අනාගතයේදී තවත් වැඩි වෙන්නේ කොහොමද?

15 අභිෂේක ලත් අයට යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න අවස්ථාව ලැබෙනවා. එයාලට හැමදාටම යේසුස්ව දකින්න, ඔහු එක්ක කතා කරන්න, ඔහු එක්ක කාලේ ගත කරන්න පුළුවන් වෙනවා. (යොහ. 14:2, 3) පාරාදීස පොළොවේ ජීවත් වෙන අයටත් යේසුස්ගේ ආදරේ අද්දකින්න පුළුවන්. ඇත්ත, එයාලට යේසුස්ව දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන් සහ යේසුස් එයාලට දෙන ලස්සන ජීවිතය සතුටින් ගත කරද්දී යේසුස් එක්ක එයාලට තියෙන යාළුකම තව තවත් වැඩි වෙයි.—යෙසා. 9:6, 7.

16. යේසුස්ගේ මිතුරන් අද්දකින ආශීර්වාද මොනවාද?

16 යේසුස්ගේ යාළුවන් වෙන්න කියලා ඔහු කරලා තියෙන ආරාධනය අපි පිළිගන්නවා නම් අපිට ගොඩක් ආශීර්වාද අද්දකින්න පුළුවන්. උදාහරණෙකට යේසුස්ගේ ආදරේ, උදව් දැනුත් අපි අද්දකිනවා. සදාකාලෙටම ජීවත් වෙන බලාපොරොත්තුව අපිට තියෙනවා. යේසුස් එක්ක අපිට තියෙන කිට්ටු මිත්‍රත්වය නිසා ඔහුගේ පියා වන යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන් වෙනවා. ඊට වඩා වටින දෙයක් තවත් තියෙනවාද? යේසුස්ගේ මිතුරන් වෙන්න අපිට අවස්ථාව ලැබුණ එක මොන තරම් ගෞරවයක්ද!

ගීතිකාව 17 “මා කැමතියි”

^ 5 ඡේ. යේසුස්ගේ නියෝජිතයන් අවුරුදු කීපයක් පුරා යේසුස්ව කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඔහුත් එක්ක කතාබහ කළා. එකට වැඩ කළා. ඒ නිසා එයාලා යේසුස්ගේ හොඳ යාළුවන් වුණා. අපිත් ඔහුගේ හොඳ යාළුවන් වෙනවාට යේසුස් කැමතියි. ඒත් නියෝජිතයන්ට තිබුණේ නැති අභියෝග අපිට තියෙනවා. ඒ අභියෝග කීපයක් ගැනත් ඒවා ජය අරන් යේසුස්ගේ හොඳ යාළුවෙක් වෙලා ඒ යාළුකම දිගටම පවත්වගන්න පුළුවන් විදි ගැනත් මේ ලිපියෙන් අපි බලමු.

^ 55 ඡේ. පින්තූරවල අදහස: (1) පවුලේ නමස්කාරයේදී අපිට පුළුවන් යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය ගැන හොඳින් අධ්‍යයනය කරන්න. (2) සභාවේදී සාමය ඇති කරන්න ලොකු වෑයමක් දරන්න අපිට පුළුවන්. (3) උපරිමයෙන් සේවයේ හවුල් වෙලා යේසුස්ගේ සහෝදරයන්ට සහය වෙන්න අපිට පුළුවන්. (4) සභාවන් එකට එකතු කරද්දී වැඩිමහල්ලන් ගන්න තීරණවලට සහය දෙන්න අපිට පුළුවන්.