Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 20

අද දින උතුරේ රජ කවුද?

අද දින උතුරේ රජ කවුද?

“ඔහු විනාශ වන තෙක්ම ඉදිරියට යන්නේය. ඔහුගේ උපකාරයට කිසිවෙක් නොපැමිණෙන්නේය.”—දානි. 11:45.

ගීතිකාව 95 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

මේ ලිපියෙන් *

1-2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ අන්තිම හරියේ කියලා කියන්න වෙන කවරදාකටත් වඩා සාක්ෂි දැන් තියෙනවා. ළඟදීම යෙහෝවා දෙවියන් සහ යේසුස් දෙවියන්ගේ රාජ්‍යයට විරුද්ධව සටන් කරන හැම ආණ්ඩුවක්ම විනාශ කරනවා. ඊට කලින් උතුරේ රජ සහ දකුණේ රජ එකිනෙකාට විරුද්ධවත් දෙවියන්ගේ සෙනඟට විරුද්ධවත් දිගටම සටන් කරනවා.

2 දානියෙල් 11:40–12:1 සඳහන් අනාවැකිය අපි මේ ලිපියෙන් බලනවා. අද දින උතුරේ රජ කවුද කියලත් අනාගතයේදී අපිට මොන අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණත් බය නැතුව යෙහෝවා දෙවියන් ගැන විශ්වාසයෙන් ඉන්න පුළුවන් ඇයි කියලත් අපි මේ ලිපියෙන් බලන්න යනවා.

උතුරේ රජ හැටියට අලුත් රජ කෙනෙක්

3-4. අද දින උතුරේ රජ කවුද? පැහැදිලි කරන්න.

3 1991දී සෝවියට් සංගමය බිඳ වැටුණාට පස්සේ ඒ පාලනය යටතේ හිටපු දෙවියන්ගේ සෙනඟ යම් කාලෙකට නිදහස අද්දැක්කා. “සුළු වශයෙන් උපකාර ලැබෙනු ඇත” කියලා දානියෙල් කිව්වේ ඒ ගැනයි. (දානි. 11:34) ලැබුණ ඒ නිදහස නිසා කිසිම බාධාවක් නැතුව එයාලට දේශනා සේවය කරන්න පුළුවන් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සෝවියට් සංගමය යටතේ තිබුණ රටවල ප්‍රචාරකයන්ගේ ගාණ සියදහස් ගාණකින් වැඩි වුණා. කාලයත් එක්කම අලුත් උතුරේ රජ කෙනෙක් පෙනී හිටියා. ඒ රුසියාව සහ ඒකට සහය දෙන රටවල්. කලින් ලිපියේ බලපු විදිහට ආණ්ඩුවක් උතුරේ රජුගේ හෝ දකුණේ රජුගේ භූමිකාව රඟ දක්වන්න නම් මේ දේවල් තුන එයාලගෙන් දකින්න තියෙන්න ඕනේ. (1) එයාලා දෙවියන්ගේ සෙනඟට පීඩා කරනවා. (2) එයාලා කරන දේවලින් පැහැදිලි වෙනවා එයාලා යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ සෙනඟටත් වෛර කරනවා කියලා. (3) රජවරුන් දෙන්නා අතරේ බල අරගලයක් තියෙනවා.

4 අද දින උතුරේ රජ රුසියාව සහ ඒකට සහය දෙන රටවල් කියලා අපි කියන්නේ මේ හේතු නිසයි. (1) එයාලා දේශනා කිරීමේ වැඩකටයුතු තහනම් කරලා එයාලගේ පාලනය යටතේ තියෙන රටවල ඉන්න සහෝදර සහෝදරියන් දහස් ගාණකට දැඩි විරුද්ධවාදිකම් එල්ල කරනවා. (2) එයාලා කරන ඒ දේවලින් පැහැදිලියි එයාලා යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ සෙනඟටත් වෛර කරනවා කියලා. (3) එයාලා දකුණේ රජ වන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලයට වඩා බලවත් වෙන්න නිතරම උත්සාහ කරනවා. දැන් අපි බලමු රුසියාව සහ ඒකට සහය දෙන රටවල් මේ වෙන කල් මොනවාද කරලා තියෙන්නේ කියලා. එයාලා උතුරේ රජ විදිහට පෙනී ඉන්නවා කියලා ඒකෙන් ඔප්පු වෙන්නේ කොහොමද කියලත් අපි බලමු.

උතුරේ රජ සහ දකුණේ රජ බල අරගලයක යෙදෙයි

5. දානියෙල් 11:40-43 කතා කරන්නේ මොන කාල පරිච්ඡේදය ගැනද? ඒ කාලේදී සිදු වෙන්නේ මොනවාද?

5 දානියෙල් 11:40-43 කියවන්න. අනාවැකියේ මේ කොටසේ කතා කරන්නේ අවසාන කාලයේ සිදු වෙන දේවල් ගැනයි. උතුරේ රජ සහ දකුණේ රජ එකිනෙකාට විරුද්ධව සටන් කරන විදිහ ඒකේ විස්තර කරලා තියෙනවා. අවසාන කාලේදී දකුණේ රජ උතුරේ රජුට ‘විරුද්ධව පියවර ගන්නවා’ කියලා දානියෙල් ඒ අනාවැකියේ කිව්වා.—දානි. 11:40.

6. රජවරුන් දෙන්නා එකිනෙකාට විරුද්ධව පියවර අරන් තියෙන්නේ කොහොමද?

6 උතුරේ රජයි, දකුණේ රජයි නිතරම බල අරගලයක යෙදෙනවා. මොකද ඒ දෙන්නාටම ඕනෙ ලෝක බලවතා වෙන්න. උදාහරණෙකට 2වෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ සෝවියට් සංගමය යුරෝපයේ විශාල ප්‍රදේශයක් පුරා එයාගේ අණසක පතුරුවන්න පටන්ගත්තාම සිදු වුණ දේ බලන්න. දකුණේ රජ වෙනත් රටවල් එක්ක එකතු වෙලා උතුරේ රජුට විරුද්ධව බලවත් හමුදාවක් පිහිටෙව්වා. ඒක හැඳින්නුවේ නේටෝ (NATO) කියලා. ඒ වගේම උතුරේ රජයි, දකුණේ රජයි එයාලගේ හමුදාව තව තවත් බලවත් කරන්න මුදල් විශාල ප්‍රමාණයක් වැය කරනවා. ඒ විතරක් නෙමෙයි අප්‍රිකාවේ, ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ තිබුණ යුද්ධවලදී මේ රජවරුන් දෙන්නා එකිනෙකාගේ සතුරන්ට සහය දුන්නා. ඒ විදිහටත් එයාලා එකිනෙකාට විරුද්ධව සටන් කළා. මෑත කාලවලදී රුසියාව සහ ඒකට සහය දෙන රටවල් ලෝකේ පුරාම තම බලය පතුරුවලා තියෙනවා. එයාලා දකුණේ රජුට විරුද්ධව සයිබර් ප්‍රහාරත් එල්ල කරනවා. විනාශකාරී කොම්පියුටර් වැඩසටහන් හරහා රටවල ආර්ථිකය සහ ආණ්ඩු බලය බිඳලා දාන්න උත්සාහ කරනවා කියලා ඒ රජවරු දෙන්නා එකිනෙකාට චෝදනා කරගන්නවා. දානියෙල්ගේ අනාවැකියේ කිව්වා වගේම උතුරේ රජ දෙවියන්ගේ සෙනඟටත් දිගටම පීඩා එල්ල කරනවා.—දානි. 11:41.

උතුරේ රජ “අලංකාර දේශය” ආක්‍රමණය කරයි

7. “අලංකාර දේශය” කියන්නේ මොකක්ද?

7 දානියෙල් 11:41 කියනවා උතුරේ රජ “අලංකාර දේශය” ආක්‍රමණය කරනවා කියලා. මොකක්ද ඒ දේශය? අතීතයේදී අලංකාර දේශය වුණේ ඊශ්‍රායෙල් දේශයයි. මොකද ඒ දේශය “අන් සියලු දේශවලට වඩා අලංකාරයි.” (එස. 20:6) ඒත් ඒ දේශය විශේෂ වුණේ සෙනඟ යෙහෝවා දෙවියන්ට නමස්කාර කළේ ඒ දේශයේ ඉඳන් නිසයි. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ ඉඳන් “අලංකාර දේශය” පොළොවේ එක තැනකට සීමා වුණේ නැහැ. මොකද යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන සෙනඟ අද ලෝකේ පුරාම ඉන්නවා. අද “අලංකාර දේශය” කියද්දී ලෝකේ ඕනෙම තැනක ඉඳන් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ඔහුට නමස්කාර කරන්න කරන ඕනෙම කාර්යයක් අදහස් වෙනවා. ඒකට රැස්වීම් සහ දේශනා කිරීමේ කාර්යය ඇතුළත්.

8. උතුරේ රජ “අලංකාර දේශය” ආක්‍රමණය කරලා තියෙන්නේ කොහොමද?

8 අවසාන කාලේදී උතුරේ රජ කීප සැරයක්ම අලංකාර දේශය ආක්‍රමණය කරලා තියෙනවා. උදාහරණෙකට නාට්සි පාලනය යටතේ තිබුණ ජර්මනිය, උතුරේ රජ විදිහට පෙනී ඉද්දී විශේෂයෙන්ම 2වෙනි ලෝක යුද්ධ කාලේදී එයා දෙවියන්ගේ සෙනඟට දැඩි විරුද්ධවාදිකම් එල්ල කළා. එයාලගෙන් සමහරදෙනෙක්ව මැරුවා. ඒ විදිහට උතුරේ රජ අලංකාර දේශය ආක්‍රමණය කළා. 2වෙනි ලෝක යුද්ධයෙන් පස්සේ සෝවියට් සංගමය උතුරේ රජ විදිහට පෙනී ඉද්දී එයාත් දෙවියන්ගේ සෙනඟට පීඩා එල්ල කරලා එයාලව පිටුවහල් කරලා “අලංකාර දේශය” ආක්‍රමණය කළා.

9. මෑත කාලවලදී රුසියාව සහ ඒකට සහය දෙන රටවල් “අලංකාර දේශය” ආක්‍රමණය කරලා තියෙන්නේ කොහොමද?

9 මෑත කාලවලදී රුසියාව සහ ඒකට සහය දෙන රටවලුත් “අලංකාර දේශය” ආක්‍රමණය කරලා තියෙනවා. ඒ කොහොමද? 2017දී රුසියාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරලා සහෝදර සහෝදරියන් සමහරදෙනෙක්ව සිරගත කළා. ‘නව ලොව පරිවර්තනය’ ඇතුළුව අපේ ප්‍රකාශනත් තහනම් කළා. රුසියාවේ අපේ ශාඛා කාර්යාලය, සමහර නමස්කාර මධ්‍යස්ථාන සහ සමුළු ශාලා රාජසන්තක කළා. ඒ හේතු නිසා උතුරේ රජ විදිහට දැන් පෙනී ඉන්නේ රුසියාව සහ ඒකට සහය දෙන රටවල් කියලා 2018දී පාලක මණ්ඩලය නිවේදනය කළා. සාක්ෂිකරුවන්ට ආණ්ඩු බලධාරීන් මොන තරම් පීඩා කළත් එයාලා ඒ ආණ්ඩුව වට්ටන්නවත් ඒකට විරුද්ධව නැඟී සිටින්නවත් හදන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලේ කියලා තියෙන විදිහට එයාලා “උසස් නිලතල දරන සියලුදෙනා” ගැන එයාලගේ යාච්ඤාවලදී සඳහන් කරනවා. ඒකට හේතුව අපිට නිදහසේ නමස්කාර වැඩකටයුතු කරගෙන යන්න ඉඩ දෙනවාද නැද්ද කියන තීරණය ගන්න බලතල එයාලට තියෙන නිසයි.—1 තිමෝ. 2:1, 2.

උතුරේ රජ දකුණේ රජුව විනාශ කරයිද?

10. උතුරේ රජ දකුණේ රජුව විනාශ කරයිද? පැහැදිලි කරන්න.

10 දානියෙල් 11:40-45 වැඩියෙන්ම කතා කරන්නේ උතුරේ රජු ගැනයි. ඒකෙන් අදහස් කරනවාද උතුරේ රජ දකුණේ රජුව විනාශ කරනවා කියලා? නැහැ. යෙහෝවා දෙවියන් සහ යේසුස් හර්–මගෙදොන් යුද්ධයේදී හැම ආණ්ඩුවක්ම විනාශ කරන්න එද්දී දකුණේ රජ “පණපිටින්” ඉන්නවා. (එළි. 19:20) ඒක ඒ තරම් ස්ථිරව කියන්න පුළුවන් ඇයි? දානියෙල් පොතේ සහ එළිදරව් පොතේ සඳහන් මේ අනාවැකි බලන්න.

විශාල රූපයෙන් නියෝජනය වෙන බලවත් අධිරාජ්‍යයන් හර්–මගෙදොන් යුද්ධයේදී දේවරාජ්‍යය මාර්ගයෙන් සුනුවිසුනු කරනවා (11 ඡේදය බලන්න)

11. දානියෙල් 2:43-45 සඳහන් දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? (කවරයේ පින්තූරය බලන්න.)

11 දානියෙල් 2:43-45 කියවන්න. දානියෙල් විවිධ ලෝහවලින් සෑදුණු විශාල රූපයක් විස්තර කරනවා. ඒ රූපයේ එක් එක් කොටසෙන් දෙවියන්ගේ සෙනඟගෙන් වැඩිදෙනෙක් ජීවත් වුණ දේශයන් පාලනය කරපු අධිරාජ්‍යයන් නියෝජනය වෙනවා. ඒ අධිරාජ්‍යයන් පාලනය කළේ විවිධ කාලවලදී. ඒ රූපයේ පාද හැදිලා තිබුණේ යකඩ සහ මැටි කලවම් වෙලා. පාදවලින් නියෝජනය වෙන්නේ අවසාන අධිරාජ්‍යයයි. ඒ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය. දේවරාජ්‍යය මේ පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම විනාශ කරන්න එද්දී බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය පාලනය කරමින් ඉන්නවා කියලා ඒ අනාවැකියෙන් පැහැදිලියි.

12. මෘගයාගේ හත්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? ඒක දැනගන්න එක වැදගත් ඇයි?

12 යෙහෝවා දෙවියන්ගේ සෙනඟව පාලනය කරපු අධිරාජ්‍යයන් ගැන නියෝජිත යොහනුත් විස්තර කරනවා. එයා කියපු අනාවැකියේ හිස් හතක් තිබුණ මෘගයෙක්ගෙන් ඒ අධිරාජ්‍යයන් නියෝජනය කළා. ඒ මෘගයාගේ හත්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය. ඒක දැනගන්න එක වැදගත්ද? ඔව්, මොකද හත්වෙනි හිසට පස්සේ තවත් හිසක් මතු වුණේ නැහැ. යේසුස් ස්වර්ගයේ ඉන්න ඔහුගේ හමුදාව එක්ක ඒ මෘගයාව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න එද්දී පාලනය කරමින් ඉන්නේ හත්වෙනි හිසයි. *එළි. 13:1, 2; 17:13, 14.

ඉතාමත් ළඟදී උතුරේ රජ කරන්න යන්නේ මොනවාද?

13-14. “මාගොග් දේශයේ ගොග්” කවුද? දෙවියන්ගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරන්න එයා පෙලඹෙන්නේ මොකක් නිසා වෙන්න පුළුවන්ද?

13 උතුරේ රජුවයි, දකුණේ රජුවයි විනාශ කරන්න කලින් මොන වගේ දේවල් සිදු වෙන්න ඉඩ තියෙනවාද කියලා එසකියෙල් ලියපු අනාවැකියකින් අපිට දැනගන්න පුළුවන්. පේන විදිහට එසකියෙල් 38:10-23; දානියෙල් 2:43-45; 11:44–12:1 සහ එළිදරව් 16:13-16, 21 තියෙන අනාවැකිවල විස්තර කරන්නේ එකම සිද්ධීන් ගැනයි. ඒක එහෙමනම් අපිට මේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

14 මහත් පීඩාව පටන්ගත්තාට පස්සේ යම් අවස්ථාවකදී “මුළු ලොව පුරාම සිටින රජුන්” එකට එකතු වෙලා සංධානයක් ඇති කරගන්නවා. (එළි. 16:13, 14; 19:19) බයිබලේ “මාගොග් දේශයේ ගොග්” විදිහට හඳුන්වන්නේ ජාතීන්ගේ ඒ එකතුවයි. (එස. 38:2) ජාතීන්ගේ ඒ එකතුව දෙවියන්ගේ සෙනඟව සම්පූර්ණයෙන්ම විනාශ කරන අරමුණින් එයාලට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරය එල්ල කරන්න එයාලා පෙලඹෙන්නේ මොකක් නිසා වෙන්න පුළුවන්ද? ඒ කාලය ගැන යොහන් අනාවැකියක කතා කරනවා. එයා කිව්වා ඒ කාලේදී මහා විශාල හිම කැට වර්ෂාවක් දෙවියන්ගේ සතුරන් පිට වැටෙනවා කියලා. ඒ මහ හිම කැට වර්ෂාවෙන් නියෝජනය කරන්නේ යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ප්‍රකාශ කරන ප්‍රබල විනිශ්චය පණිවිඩයක් වෙන්න පුළුවන්. මාගොග් දේශයේ ගොග් දෙවියන්ගේ සෙනඟව සම්පූර්ණයෙන්ම විනාශ කරන අරමුණින් එයාලට ප්‍රහාරයක් එල්ල කරන්නේ ඒ පණිවිඩය නිසා වෙන්න ඇති.—එළි. 16:21.

15-16. (අ) දානියෙල් 11:44, 45 විස්තර කරන්නේ මොන සිදුවීම් ගැන වෙන්න පුළුවන්ද? (ආ) උතුරේ රජු ඇතුළුව මාගොග් දේශයේ ගොග්ට සිදු වෙන්නේ මොකක්ද?

15 ඒ ප්‍රබල විනිශ්චය පණිවිඩය සහ දෙවියන්ගේ සතුරන් එල්ල කරන අවසන් ප්‍රහාරය ගැනම වෙන්න ඕනෙ දානියෙල් 11:44, 45ත් (කියවන්න.) කතා කරලා තියෙන්නේ. එතන දානියෙල් කියනවා “නැඟෙනහිරෙන්ද උතුරෙන්ද අසන්න ලැබෙන ආරංචි නිසා” කැලඹෙන උතුරේ රජ, “මහත් උදහසකින්” පිටත්ව යනවා කියලා. උතුරේ රජුට ඕනෙ “බොහෝදෙනෙකුව විනාශ කරන්නයි.” අනාවැකියේ කතා කරන ඒ “බොහෝදෙනා” යෙහෝවා දෙවියන්ගේ සෙනඟ වෙන්න ඕනේ. * දානියෙල් එතන කතා කරන්නේ යෙහෝවා දෙවියන්ගේ සෙනඟට එල්ල වෙන අවසන් ප්‍රහාරය ගැන වෙන්න ඕනේ.

16 උතුරේ රජ ඇතුළුව අනිත් ආණ්ඩු දෙවියන්ගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කළාම සියලු බලැති දෙවියන් මහත් සේ උදහස් වෙනවා. හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්නේ එතකොටයි. (එළි. 16:14, 16) ඒ යුද්ධයේදී උතුරේ රජු ඇතුළුව මාගොග් දේශයේ ගොග් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එයාගේ “උපකාරයට කිසිවෙක් පැමිණෙන්නේ නැහැ.”—දානි. 11:45.

හර්–මගෙදොන් යුද්ධයේදී යේසුස් සහ ඔහුගේ ස්වර්ගික හමුදාව මේ දුෂ්ට සමාජය විනාශ කරලා දෙවියන්ගේ සෙනඟව බේරගන්නවා (17 ඡේදය බලන්න)

17. දානියෙල් 12:1 කතා කරන “ශ්‍රේෂ්ඨ අධිපතියා වන මිකායෙල්” කවුද? ඔහු දැන් කරන්නේ මොනවාද? ඔහු ඉදිරියේදී කරන්නේ මොනවාද?

17 දානියෙල්ගේ වාර්තාවේ ඊළඟ පදයේ උතුරේ රජු සහ එයා සහය දෙන ආණ්ඩු විනාශ වෙන විදිහ ගැන තවත් විස්තර සඳහන් වෙනවා. (දානියෙල් 12:1 කියවන්න.) ඒ පදයේ කතා කරන මිකායෙල් කවුද? ඒ තමයි දේවරාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස්. 1914 ඔහු දේවරාජ්‍යයේ රජ වුණ දවසේ ඉඳන් ඔහු දෙවියන්ගේ “සෙනඟ වෙනුවෙන් නැඟී සිටිනවා.” ඔහු ළඟදීම හර්–මගෙදොන් යුද්ධයේදී ඔහුගේ සතුරන්ට විරුද්ධව පියවර ගන්නවා. ඒ යුද්ධය දානියෙල් කතා කරපු ඉතිහාසයේ කවදාවත් වෙලා නැති, දරුණු “විපත්ති සහිත කාලයේ” අවසාන සිදුවීමයි. හර්–මගෙදොන් යුද්ධයේ අවසානය දක්වා දිව යන ඒ කාලය එළිදරව් පොතේ හඳුන්වන්නේ “මහත් පීඩාව” විදිහටයි.—එළි. 6:2; 7:14.

ඔයාගේ නමත් “ලියවිල්ලේ සඳහන්” වෙයිද?

18. ඉදිරියේදී මොනවා වුණත් අපිට කලබල නොවී සන්සුන්ව ඉන්න පුළුවන් ඇයි?

18 යෙහෝවා දෙවියන් සහ යේසුස් ඔවුන්ගේ සේවකයන්ව මහත් පීඩාවෙන් බේරගන්නවා කියලා දානියෙලුත් යොහනුත් කිව්වා. ඒ නිසා අපිට කිසි දේකට බය වෙන්න ඕනෙ නැහැ. දානියෙල් කියනවා ඒ පීඩාවෙන් බේරිලා එන්නේ ‘ලියවිල්ලේ නම් සඳහන්’ වෙලා තියෙන අය කියලා. (දානි. 12:1) ඒ ලියවිල්ලේ අපේ නමත් සඳහන් කරගන්න මොනවාද කරන්න ඕනේ? දෙවියන්ගේ බැටළු පැටවා වන යේසුස් ගැන අපිට තියෙන විශ්වාසය අපි ජීවත් වෙන විදිහෙන් පැහැදිලිව පෙන්නන්න ඕනේ. (යොහ. 1:29) යෙහෝවා දෙවියන්ට අපේ ජීවිත කැප කරලා බව්තීස්ම වෙන්න ඕනේ. (1 පේතෘ. 3:21) යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න අනිත් අයට උදව් කරලා අපි සහය දෙන්නේ දේවරාජ්‍යයටයි කියලා අපි අනිවාර්යයෙන්ම ඔප්පු කරලා පෙන්නන්න ඕනේ.

19. දැන් අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

19 යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න දැනුයි කාලය! දෙවියන්ගේ රාජ්‍යයට සහය දෙන්නත් දැනුයි කාලය! අපි එහෙම කරනවා නම් දේවරාජ්‍යය මාර්ගයෙන් උතුරේ රජුවයි, දකුණේ රජුවයි විනාශ කරද්දී අපි බේරෙයි.

ගීතිකාව 149 ජයග්‍රහණේ ගීතය

^ 5 ඡේ. අද දින “උතුරේ රජ” කවුද? එයා විනාශ වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න එක අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙනවා වගේම මහත් පීඩාව කාලේදී වෙන්න යන දේවලට හොඳින් මුහුණ දෙන්න දැන්ම සූදානම් වෙන්න අපිට උදව් වෙයි.

^ 15 ඡේ. වැඩි විස්තර දැනගන්න 2015 මැයි 15 ‘මුරටැඹ’ කලාපයේ 29-30 පිටු බලන්න.