Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 23

“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”

“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”

“යෙහෝවා දෙවියනි, ඔබේ නාමය සදාකල් පවතින්නේය.”—ගීතා. 135:13.

ගීතිකාව 10 යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න

මේ ලිපියෙන් *

1-2. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැදගත් තැනක් දෙන්නේ මොන කාරණාවලටද?

පාලනය කරන්න යෙහෝවා දෙවියන්ට තියෙන අයිතිය තහවුරු කරන එක සහ දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන එක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි ගොඩක් උනන්දු වෙන කාරණා දෙකක්. ඒ කාරණා දෙක එකිනෙකට සම්බන්ධයි.

2 දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න ඕනෙ වගේම යෙහෝවා දෙවියන් පාලනය කරන විදිහ හොඳම විදිහ කියලා ඔප්පු කරන්න ඕනෙ කියලත් අපි දන්නවා. ඇත්තටම ඒ කාරණා දෙකම එක වගේ වැදගත්.

3. යෙහෝවා කියන නම ඇහෙද්දී අපේ මනසට එන්නේ මොන වගේ පින්තූරයක්ද?

3 යෙහෝවා කියන නම ඇහෙද්දී අපිට අපේ දෙවියන් ගැන හැම දෙයක්ම මතක් වෙනවා. ඒකට ඔහු පාලනය කරන විදිහත් ඇතුළත්. එහෙමනම් දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන එකට ඔහු පාලනය කරන විදිහ හොඳම විදිහ කියලා ඔප්පු කරන එකත් ඇතුළත්.—“ වැදගත්ම ප්‍රශ්නයට ඇතුළත් පැති” කියන කොටුව බලන්න.

4. ගීතාවලිය 135:13 දෙවියන්ගේ නම ගැන කියන්නේ මොකක්ද? අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?

4 යෙහෝවා කියන දෙවියන්ගේ නම හරිම විශේෂයි. (ගීතාවලිය 135:13 කියවන්න.) ඒ ඇයි? ඔහුගේ නමට මුලින්ම කැළැලක් ඇති වුණේ කොහොමද? දෙවියන් ඒ කැළැල ඉවත් කරන්නේ කොහොමද? දෙවියන්ගේ නම නිදොස් කරන්න දායක වෙන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැන් අපි බලමු.

නමක වටිනාකම

5. දෙවියන්ගේ නම ගැන කෙනෙක්ට මතු වෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නයක්ද?

5 “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා යාච්ඤා කරන එක ගොඩක් වැදගත් කියලා යේසුස් කිව්වා. (මතෙ. 6:9) ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘දෙවියන්ගේ නම දැනටමත් ශුද්ධයිනේ. එහෙනම් ඇයි යේසුස් ඒ ගැන යාච්ඤා කරන්න කිව්වේ’ කියලා. ඒකට උත්තරේ දැනගන්න කෙනෙක්ගේ නමට ඇතුළත් වෙන්නේ මොනවාද කියලා අපි තේරුම්ගන්න ඕනේ.

6. නමකට වටිනාකමක් ලැබෙන්නේ මොකෙන්ද?

6 නමක් කියන්නේ නිකම්ම අකුරු ටිකක් ලියන විදිහවත් ඒක ශබ්ද කරන විදිහවත් නෙමෙයි. බයිබලේ මෙහෙම කියනවා. “වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි.” (හිතෝ. 22:1; දේශ. 7:1) නමක් ඇයි ඒ තරම්ම වටින්නේ? කෙනෙක්ගේ නමක් කියද්දී එයා කොයි වගේ කෙනෙක්ද එයාගේ චරිතය මනසට එනවා. ඒ නිසා වටින්නේ නමක් ලියන විදිහවත් ඒක උච්චාරණය කරන විදිහවත් නෙමෙයි ඒ නම ඇහෙද්දී කෙනෙක්ගේ මනසට එන පින්තූරයයි.

7. මිනිසුන් දෙවියන්ගේ නම නින්දාවට ලක් කරන්න උත්සාහ කරලා තියෙන්නේ කොහොමද?

7 මිනිසුන් දෙවියන් ගැන බොරු කියද්දී එයාලා ඔහුගේ චරිතය ඝාතනය කරනවා. දෙවියන් ගැන වැරදි පින්තූරයක් මනසට එද්දී ඒකෙන් දෙවියන්ගේ නමට ඇති වෙන්නේ කැළැලක්. දෙවියන්ගේ හොඳ නම මුලින්ම නින්දාවට ලක් කරන්න උත්සාහ කළේ ඒදන් උයනේදී. ඒ ගැන දැන් බලමු.

දෙවියන්ගේ නම නින්දාවට ලක් වුණා

8. ආදම්, ඒව දැනගෙන හිටියේ මොනවාද? මතු වෙන ප්‍රශ්න මොනවාද?

8 ආදම් සහ ඒව දෙවියන්ගේ නම යෙහෝවා කියලා දැනන් හිටියා. ඔහු නිර්මාතෘ කියලත් එයාලට ජීවිතේ දුන්නේ ඔහු කියලත් එයාලා දැනන් හිටියා. ඒ වගේම එයාලා දැනන් හිටියා ජීවත් වෙන්න ලස්සන නිවහනක්, හොඳම සහකරුවෙක්, සහකාරියක් එයාලට දුන්නේ යෙහෝවා දෙවියන් කියලා. (උත්. 1:26-28; 2:18) එයාලා වෙනුවෙන් දෙවියන් කරපු ඒ හැම දේම ගැන හිතන්න එයාලා කාලේ ගනියිද? දෙවියන් ගැන එයාලට තිබුණ ආදරේ, අගය එයාලා තව වැඩි කරගනියිද? දෙවියන්ගේ සතුරා එයාලව වරදට පොලඹවන්න හදද්දී ඒ ප්‍රශ්නවලට උත්තර පැහැදිලි වුණා.

9. උත්පත්ති 2:16, 17 සහ 3:1-5 අනුව යෙහෝවා දෙවියන් මුල් යුවළට කිව්වේ මොකක්ද? යෙහෝවා දෙවියන් ගැන වැරදි පින්තූරයක් දෙන්න සාතන් ඒක පාවිච්චි කළේ කොහොමද?

9 උත්පත්ති 2:16, 17 සහ 3:1-5 කියවන්න. සර්පයෙක් කතා කරනවා වගේ පේන්න සලස්වලා සාතන් ඒවගෙන් මෙහෙම ඇහුවා. “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?” සාතන් අහපු ඒ ප්‍රශ්නේ ඇතුළේ යෙහෝවා දෙවියන් ගැන බොරුවක් හැංගිලා තිබුණා. දෙවියන් ආදම් සහ ඒවට කිව්වේ එක ගහකින් ඇරෙන්න අනිත් ඕනෙම ගහකින් කන්න එයාලට පුළුවන් කියලයි. එයාලට රස බලන්න එක එක ජාතියේ පලතුරු ගස් උයනේ තිබුණා. (උත්. 2:9) ත්‍යාගශීලී දෙවි කෙනෙක් වන යෙහෝවා එයාලට කන්න එපා කිව්වේ එක ගහකින් විතරයි. සාතන් ඒවගෙන් අහපු ප්‍රශ්නයෙන් එයා ඇඟෙව්වේ දෙවියන් ත්‍යාගශීලී කෙනෙක් නෙමෙයි කියලයි. ඒ නිසා ඒවට හිතෙන්න ඇති ‘දෙවියන් අපිට මොනවා හරි හොඳ දෙයක් නොදී ඉන්නවාද’ කියලා.

10. සාතන් දෙවියන්ගේ නමට කෙළින්ම නින්දා කළේ කොහොමද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

10 සාතන් ඒ ප්‍රශ්නය අහද්දීත් ඒව එයාගේ පාලකයා විදිහට පිළි අරන් හිටියේ දෙවියන්ව. මොකද දෙවියන් පැහැදිලිව කියලා තිබුණ දේ ඒ ප්‍රශ්නයට උත්තරේ විදිහට ඒව සාතන්ට කිව්වා. එයාලා ඒ ගහට අත තියන්නවත් හොඳ නැහැ කියලා ඒව කිව්වා. අකීකරු වුණොත් මැරෙනවා කියලා ඒව දැනන් හිටියා. ඒත් සාතන් ඒවට කිව්වේ “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ” කියලයි. (උත්. 3:2-4) දැන් වහෙන් ඔරෝ නැතුව සාතන් කෙළින්ම ඒවට කිව්වා යෙහෝවා දෙවියන් බොරුකාරයෙක් කියලා. ඒකෙන් දෙවියන්ගේ නමට කැළැලක් ඇති වුණා. ඒ විදිහට සාතන් යක්ෂයා, අපහාස කරන්නා බවට පත් වුණා. ඒව හොඳටම රැවටුණා. (1 තිමෝ. 2:14) කොච්චරද කියනවා නම් යෙහෝවා දෙවියන්ට වඩා එයා සාතන්ව විශ්වාස කළා. ඒ නිසා එයා ලේසියෙන්ම මෝඩ තීරණයක් ගත්තා. එයා තීරණය කළා යෙහෝවා දෙවියන්ට අකීකරු වෙලා දෙවියන් කන්න එපා කියපු ගහෙන් කන්න. පස්සේ එයා ආදම්ටත් ඒ පලතුර දුන්නා.—උත්. 3:6.

11. ආදම් සහ ඒව කරන්න තිබුණේ මොකක්ද? ඒත් එයාලට කරන්න බැරි වුණේ මොකක්ද?

11 හරි නම් ඒව කියන්න තිබුණේ මොන වගේ දෙයක්ද? හිතන්න, එයා මෙහෙම කිව්වා කියලා. “ඔයා කවුද කියලා මං දන්නේ නැහැ. ඒත් මගේ තාත්තා වන යෙහෝවා දෙවියන්ව මං හොඳට දන්නවා. මං ඔහුට ආදරෙයි. ඔහුව මට විශ්වාසයි. ආදම්ටයි, මටයි තියෙන හැම දේම දුන්නේ ඔහුයි. මගේ තාත්තා ගැන ඒ වගේ නරක දෙයක් කියන්න ඔයා කවුද? යනවා යන්න මෙතනින්.” ඒ වගේ දෙයක් ඒව කිව්වා නම් දෙවියන් කොච්චර සතුටු වෙයිද! (හිතෝ. 27:11) ඒත් ඒවටවත් ආදම්ටවත් දෙවියන් ගැන ඒ වගේ ආදරයක් තිබ්බේ නැහැ. ඒ නිසයි දෙවියන්ගේ නමට අපහාස කරද්දී දෙවියන් වෙනුවෙන් කතා කරන්න එයාලට බැරි වුණේ.

12. සාතන් ඒවගේ මනසට දාපු සැකය මොකක්ද? ආදම් සහ ඒවට කරන්න බැරි වුණේ මොනවාද?

12 අපි බලපු විදිහට යෙහෝවා දෙවියන් හොඳ තාත්තා කෙනෙක්ද කියන දේ ගැන සාතන් ඒවගේ මනසේ සැකයක් ඇති කළා. ඒ විදිහට සාතන් දෙවියන්ගේ නමට නින්දා කළා. සාතන් දෙවියන් ගැන අමූලික බොරු කියද්දී දෙවියන් වෙනුවෙන් කතා කරන්න ආදම්ටයි, ඒවටයි බැරි වුණ නිසා එයාලා ලේසියෙන්ම ඒ බොරුවලට අහු වුණා. සාතන් ඒකම අදත් කරනවා. සාතන් දෙවියන් ගැන බොරු කියලා ඔහුගේ නමට කැළැලක් ඇති කරනවා. සාතන්ගේ ඒ බොරු විශ්වාස කරන මිනිසුන් දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කරන්න ලේසියෙන්ම පෙලඹෙනවා.

නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරයි

13. බයිබලේ ප්‍රධාන පණිවිඩය ගැන එසකියෙල් 36:23 පැහැදිලි වෙන්නේ කොහොමද?

13 යෙහෝවා දෙවියන් ගැන කියලා තියෙන අමූලික බොරු ඔහු නිකම්ම ගණන් ගන්නේ නැතුව ඉන්නවාද? කොහොමටවත් නැහැ. ඒදන් උයනේදී ඔහු ගැන කියපු නරක දේවල් බොරු කියලා ඔප්පු කරන්න ඔහු මොනවාද කරලා තියෙන්නේ කියලා බයිබලේ පුරාම සඳහන් වෙනවා. (උත්. 3:15) බයිබලේ ප්‍රධාන පණිවිඩය දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවියන් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරලා ආයෙත් මේ පොළොවට ධර්මිෂ්ඨකම සහ සාමය උදා කරනවා කියන එකයි. දෙවියන් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්නේ කොහොමද කියලා තේරුම්ගන්න බයිබලේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා.—එසකියෙල් 36:23 කියවන්න.

14. ඒදන් උයනේ ඇති වුණ කැරැල්ල යෙහෝවා දෙවියන් හසුරුවපු විදිහෙන් ඔහුගේ නම නිදොස් වුණේ කොහොමද?

14 යෙහෝවා දෙවියන්ගේ අරමුණ ඉටු වෙන එක වළක්වන්න සාතන් එයාට කරන්න පුළුවන් හැම දේම කරලා තියෙනවා. ඒත් සාතන් ඒ හැම වෙලාවකම අසාර්ථකයි. දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න කරලා තියෙන දේවල් ගැන බයිබලේ සඳහන් වාර්තාවලින් ඔප්පු වෙනවා ඔහු ආදරණීය තාත්තා කෙනෙක් සහ හොඳම පාලකයා කියලා. ඇත්ත, සාතන් සහ එයාගේ පැත්ත ගත්ත අය දෙවියන්ට විරුද්ධව වැඩ කරන එක ගැන ඔහුගේ හිතට ලොකු දුකක් දැනුණා. (ගීතා. 78:40) ඒත් එයාලා දෙවියන්ට කරපු චෝදනාව ඔහු ප්‍රඥාවන්තව, ඉවසීමෙන්, යුක්තිසහගතව හසුරුවලා තියෙනවා. ඒ වගේම දෙවියන් ඔහුට මොන තරම් බලයක් තියෙනවාද කියලා ගොඩක් විදිවලින් පෙන්නලා තියෙනවා. ඒ හැම දේටම වඩා ඔහු කරන හැම දේකින්ම ඔහුගේ ආදරේ පේනවා. (1 යොහ. 4:8) දෙවියන් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න අත් නෑර පියවර ගන්නවා.

සාතන් යෙහෝවා දෙවියන් ගැන ඒවට බොරු කිව්වා. සියවස් ගාණක් තිස්සේ යක්ෂයා දෙවියන්ට අපහාස කරනවා (9, 10 සහ 15 ඡේද බලන්න) *

15. අදත් සාතන් දෙවියන්ගේ නමට මඩ ගහන්නේ කොහොමද? ඒකෙන් වෙලා තියෙන්නේ මොනවාද?

15 සාතන් අදටත් දෙවියන්ගේ නමට මඩ ගහනවා. එයා හදන්නේ දෙවියන් බලවත්, යුක්තිසහගත, ප්‍රඥාවන්ත කෙනෙක්ද කියන දේ ගැන මිනිසුන්ගේ හිතේ සැකයක් ඇති කරන්න. උදාහරණෙකට යෙහෝවා දෙවියන් නිර්මාතෘ නෙමෙයි කියන අදහස මිනිසුන්ගේ මනසට දාන්න එයා හදනවා. කෙනෙක් දෙවියන් ඉන්නවා කියලා පිළිගන්නවා නම් දෙවියන් වැඩ කරන විදිහ අසාධාරණයි, ඔහුගේ ප්‍රමිති නිසා අපේ නිදහස නැති වෙනවා කියන විශ්වාසය එයාගේ හිතේ ඇති කරන්න සාතන් උත්සාහ කරනවා. ඒ වගේම දෙවියන් මිනිසුන්ව අපායක පිච්චි පිච්චි ඉන්න ඉඩහරින හිත්පිත් නැති කුරිරු කෙනෙක් කියලත් උගන්වනවා. ඒ බොරු විශ්වාස කරන අය ලේසියෙන්ම පෙලඹෙනවා දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්න. සාතන්ව විනාශ කරන කල්ම එයා දෙවියන්ගේ නමට මඩ ගහන එක නවත්තන්නේ නැහැ. ඒ වගේම ඔයාවත් දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් උත්සාහ කරයි. ඒක කරන්න එයාට පුළුවන් වෙයිද?

ඔයාට කරන්න පුළුවන් දේ

16. ආදම් සහ ඒවට කරන්න බැරි වුණ මොන දේද ඔයාට කරන්න පුළුවන්?

16 දෙවියන්ගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්න දායක වෙන්න දෙවියන් අපිටත් අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් ආදම්, ඒවට කරන්න බැරි වුණ දේ කරන්න. දෙවියන්ගේ නමට මඩ ගහන, අපහාස කරන මිනිසුන්ගෙන් ඔයා වට වෙලා හිටියත් ඔයාට පුළුවන් දෙවියන් වෙනුවෙන් කතා කරන්න. යෙහෝවා දෙවියන් ශුද්ධ, ධර්මිෂ්ඨ, යහපත්, ප්‍රේමණීය කෙනෙක් කියන සත්‍යය අනිත් අයට කියන්න ඔයාට අවස්ථාව තියෙනවා. (යෙසා. 29:23) ඔයා පිළිගන්නේ දෙවියන්ගේ පාලනය කියලා පෙන්නන්නත් ඔයාට පුළුවන්. 100%ක්ම ධර්මිෂ්ඨ එකම පාලනය යෙහෝවා දෙවියන්ගේ පාලනය කියලත් හැමෝටම සාමය හා සතුට ලැබෙන්නේ ඔහුගේ පාලනයෙන් විතරයි කියන දේත් තේරුම්ගන්න මිනිසුන්ට උදව් කරන්න ඔයාට පුළුවන්.—ගීතා. 37:9, 37; 146:5, 6, 10.

17. යේසුස් දෙවියන්ගේ නාමය දැනුම් දුන්නේ කොහොමද?

17 දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න දායක වෙද්දී අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව. (යොහ. 17:26) යේසුස් ඔහුගේ පියාගේ නම මිනිසුන්ට දැනුම් දුන්නේ ඔහුගේ ඉගැන්වීම්වලදී ඒ නම පාවිච්චි කරලා විතරක් නෙමෙයි. ඔහු යෙහෝවා දෙවියන් ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලා උගන්වලත් ඒක කළා. උදාහරණෙකට පරිසිවරු කියපු කරපු දේවල් නිසා මිනිසුන්ගේ මනසේ දෙවියන් ගැන ඇඳිලා තිබුණේ වැරදි පින්තූරයක්. මිනිසුන් හිතුවේ දෙවියන් හරිම නපුරු, දරාගන්න බැරි බරක් මිනිසුන් පිට පටවලා තියෙන, මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්න, දයාවක් පෙන්නන්නේ නැති දෙවි කෙනෙක් කියලයි. ඒත් දෙවියන් සාධාරණ, ඉවසිලිවන්ත, ප්‍රේමණීය සහ සමාව දෙන කෙනෙක් කියලා තේරුම්ගන්න යේසුස් මිනිසුන්ට උදව් කළා. යේසුස් එදිනෙදා වැඩ කරද්දී ඔහුගේ තාත්තාගේ ගුණාංග 100%ක්ම අනුකරණය කරලත් යෙහෝවා දෙවියන් කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න මිනිසුන්ට උදව් කළා.—යොහ. 14:9.

18. දෙවියන් ගැන කියලා තියෙන බොරු, ඔහුගේ නමට කරලා තියෙන අපහාස ඇත්ත නෙමෙයි කියලා ඔප්පු කරන්න අපිට පුළුවන් කොහොමද?

18 අපිටත් පුළුවන් යේසුස් වගේ දෙවියන් ගැන අපි දන්න දේවල් කියලා දීලා ඔහු මොන තරම් ආදරණීය, කරුණාවන්ත කෙනෙක්ද කියලා මිනිසුන්ට උගන්වන්න. එහෙම කරද්දී දෙවියන් ගැන කියලා තියෙන බොරු, ඔහුගේ නමට කරපු අපහාස ඇත්ත නෙමෙයි කියලා අපි ඔප්පු කරනවා. ඒකෙන් දෙවියන් මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කියලා තේරුම්ගන්න මිනිසුන්ට පුළුවන් වෙන නිසා දෙවියන්ගේ නම නිදොස් කරන්න දායක වෙන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්නත් අපිට පුළුවන්. අපි පාපය උරුම කරගත්ත අය වුණත් අපිට ඒක කරන්න පුළුවන්. (එෆී. 5:1, 2) අපි කියන කරන හැම දේකදීම යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගද්දී ඔහු ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා මිනිසුන්ට තේරුම්ගන්න පුළුවන්. ඒකත් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න දායක වෙන්න අපිට පුළුවන් විදිහක්. දෙවියන් ගැන මිනිසුන්ගේ හිතේ ඇඳිලා තියෙන වැරදි පින්තූරය වෙනස් කරගන්න මිනිසුන්ට උදව් කරද්දී අපි කරන්නේ දෙවියන්ගේ නම නිදොස් කරන්න දායක වෙන එකයි. * පාපය උරුම කරගත්ත මිනිසුන්ට දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියලත් ඒකෙන් අපි ඔප්පු කරනවා.—යෝබ් 27:5.

යෙහෝවා දෙවියන් කරුණාවන්ත, ආදරණීය දෙවි කෙනෙක් කියලා තේරුම්ගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්නයි අපිට ඕනේ (18 සහ 19 ඡේද බලන්න) *

19. අපි උගන්වද්දී අපේ අරමුණ වෙන්න ඕනෙ මොකක්ද කියලා තේරුම්ගන්න යෙසායා 63:7 අපිට උදව් කරන්නේ කොහොමද?

19 දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න අපිට දායක වෙන්න පුළුවන් තව විදිහක් තියෙනවා. අපි අනිත් අයට බයිබල් සත්‍යයන් උගන්වද්දී මේ විශ්වය පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට කියන දේ අපි කාවද්දනවා. දෙවියන්ගේ පාලනය පිළිගන්න අය යටත් වෙන්න ඕනෙ නීති ගැනත් අපි එයාලට කියලා දෙනවා. ඒ කාරණා උගන්වන එක වැදගත්. ඒත් අපි උගන්වද්දී අපේ අරමුණ වෙන්න ඕනෙ අපේ තාත්තා වන යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගෙන, ඔහුට විශ්වාසවන්තව ඉන්න එයාලට උදව් කරන එකයි. එහෙම කරන්න නම් යෙහෝවා දෙවියන්ගේ ගුණාංග, ඔහු මොන වගේ කෙනෙක්ද කියන දේ ගැන එයාලත් එක්ක නිතරම කතා කරන්න ඕනේ. (යෙසායා 63:7 කියවන්න.) එතකොට දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න තියෙන කැමැත්ත නිසා ඔහුට ආදරේ කරන්න, ඔහුට කීකරු වෙන්න බයිබල් ශිෂ්‍යයන් පෙලඹෙයි.

20. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

20 යෙහෝවා කියන නම ඇහෙද්දී මිනිසුන්ගේ හිත්වල ඔහු ගැන හොඳ පින්තූරයක් ඇති කරගන්නත් ඔහුට ළං වෙන්නත් අපි හැසිරෙන විදිහ සහ අපි උගන්වන විදිහ උදව් වෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි

^ 5 ඡේ. මනුෂ්‍යයන් සහ දේවදූතයන් අවධානය දෙන්න ඕනෙ වැදගත්ම ප්‍රශ්නය මොකක්ද? ඒ ප්‍රශ්නය ඒ තරම්ම වැදගත් ඇයි? ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද? ඒ ගැනත් ඒකට සම්බන්ධ තව තොරතුරු ගැනත් දැනගද්දී යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් වෙයි.

^ 18 ඡේ. කලින් අපේ ප්‍රකාශනවල සඳහන් වෙලා තියෙනවා දෙවියන්ගේ නම නිදොස් වෙන්න කියලා අපිට කියන්න බැහැ කියලා. මොකද යෙහෝවා කියන නම දරන්න දෙවියන්ට අයිතියක් තියෙනවාද කියලා කවුරුත් ප්‍රශ්න කරලා නැහැ. ඒත් 2017 පවත්වපු වාර්ෂික රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අපිට තිබුණ අවබෝධය තවත් පැහැදිලි කළා. ඒ රැස්වීමේ සභාපති මෙහෙම කිව්වා. “සරලවම කියනවා නම් දෙවිගේ නම නිදොස් වෙන්න කියලා යාච්ඤා කරන එක වැරදි නැහැ. මොකද යෙහෝවා දෙවිගේ හොඳ නමට එල්ල වෙලා තියෙන බොරු චෝදනා, ඇති වෙලා තියෙන කැළැල අනිවාර්යයෙන්ම ඉවත් වෙන්න ඕනේ.”—jw.org® වෙබ් අඩවියේ 2018 ජනවාරි වැඩසටහන බලන්න. ලයිබ්‍රරි > JW බ්‍රෝඩ්කාස්ටිං යටතේ බලන්න.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: දෙවියන් බොරුකාරයෙක් කියලා ඒවට කියපු වෙලාවේ සාතන් කළේ දෙවියන්ගේ නමට මඩ ගහපු එකයි. දෙවියන් කුරිරු කෙනෙක්, මිනිසුන්ව නිර්මාණය කළේ ඔහු නෙමෙයි වගේ බොරු ඉගැන්වීම් පහුගිය සියවස් ගාණ පුරාම සාතන් පතුරුවලා තියෙනවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් බයිබල් පාඩම කරද්දී යෙහෝවා දෙවියන්ගේ ගුණාංග ගැන ශිෂ්‍යයාට කාවද්දනවා.