Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 24

මුළු සිතින්ම දෙවියන්ගේ නාමය ගැන ගරුබියක් ඇතුව ඉන්න

මුළු සිතින්ම දෙවියන්ගේ නාමය ගැන ගරුබියක් ඇතුව ඉන්න

“මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න. යෙහෝවා, මාගේ දෙවියනි, මාගේ මුළු සිතින්ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.”—ගීතා. 86:11, 12.

ගීතිකාව 7 යෙහෝවා දෙවි අපේ ශක්තියයි

මේ ලිපියෙන් *

1. දෙවියන් ගැන ගරුබියක් තියෙන කෙනෙක් කොයි වගේද? දෙවියන්ට ආදරේ කරන කෙනෙක්ට ඔහු ගැන ගරුබියක් තියෙන එක වැදගත් ඇයි?

අපි දෙවියන්ට ආදරෙයි. ඔහු ගැන අපේ හිතේ ගරුබියකුත් තියෙනවා. ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘ආදරේ කරන කෙනෙක් ගැන බයක් තියෙන්නේ කොහොමද’ කියලා. ගරුබියක් කියන්නේ තව කෙනෙක් තමන්ට හානියක් කරයි කියලා දැනෙන බය නෙමෙයි. දෙවියන් ගැන ගරුබියක් තියෙන කෙනෙක්ගේ හිතේ ඔහු ගැන තියෙන්නේ ලොකු ගෞරවයක්. එයා කැමති නැහැ දෙවියන් අකමැති කිසිම දෙයක් කරන්න. මොකද එයාට ඕනෙ ඔහුත් එක්ක එයාට තියෙන මිත්‍රත්වය දිගටම රැකගන්න.—ගීතා. 111:10; හිතෝ. 8:13.

2. ගීතාවලිය 86:11 දාවිත් කියපු දේ අපිට අදාළ කරගන්න පුළුවන් පැති 2 මොනවාද?

2 ගීතාවලිය 86:11 කියවන්න. දාවිත් කියපු දෙයින් තේරෙනවා දෙවියන් ගැන ගරුබියක් ඇතුව ඉන්න එක දාවිත් කොච්චර වැදගත් දෙයක් විදිහට සැලකුවාද කියලා. දාවිත් කියපු දේ අපිට අදාළ කරගන්න පුළුවන් පැති 2ක් ගැන බලමු. (1) දෙවියන්ගේ නම ගැන අපේ හිතේ ලොකු ගෞරවයක් තියෙන්න ඕනෙ ඇයි? (2) දෙවියන්ගේ නම ගැන අපේ හිතේ ගරුබියක් තියෙනවා කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නන්නේ කොහොමද?

දෙවියන්ගේ නම ගැන ගෞරවයක් තියෙන්න ඕනෙ ඇයි?

3. දිගටම දෙවියන්ගේ නාමය ගැන ගෞරවයක් ඇතිව ඉන්න මෝසෙස්ට උදව් වුණේ මොන සිදුවීමද?

3 පර්වතයක තිබුණ කුහරයක හිටපු මෝසෙස් යෙහෝවා දෙවියන්ගේ තේජස එයාව පහු කරගෙන යනවා දැක්ක අවස්ථාව ගැන හිතන්න. ඒ වෙලාවේ මෝසෙස්ට කොහොම හැඟෙන්න ඇද්ද! ඒක මනුෂ්‍යයෙකුට ලැබුණ පුදුමාකාර අද්දැකීමක්. ඒ වෙලාවේ දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි. මම පරම්පරා දහස් ගණනකට මහත් ප්‍රේමයක් පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි.” (නික්. 33:17-23; 34:5-7) යෙහෝවා කියන දෙවියන්ගේ නම මෝසෙස් පාවිච්චි කරද්දී එයාට ඒ සිද්ධිය මතක් වෙන්න ඇති. ‘ගරුබිය ඇති කරවන දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට ගෞරව කරන්න’ කියලා මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට කියපු එක පුදුමයක්ද!—ද්වි. 28:58.

4. යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන ගෞරවය තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

4 යෙහෝවා කියන දෙවියන්ගේ නම ගැන හිතද්දී දෙවියන් මොන වගේ කෙනෙක්ද කියන දේ අපේ මනසට එන්න ඕනේ. ඒ කියන්නේ බලය, ප්‍රඥාව, යුක්තිය, ආදරේ වගේ ඔහුගේ ගුණාංග ගැන අපි හිතන්න ඕනේ. ඒ ගුණාංග ගැනත් ඔහුට තියෙන අනිත් ගුණාංග ගැනත් අපි හිතන්න හිතන්න ඔහු ගැන තියෙන ගෞරවය වැඩි වෙනවා.—ගීතා. 77:11-15.

5-6. (අ) දෙවියන්ගේ නමේ තේරුම මොකක්ද? (ආ) නික්මයාම 3:13, 14 සහ යෙසායා 64:8 අනුව යෙහෝවා දෙවියන් ඔහු අරමුණු කරන දේවල් ඉටු කරන්නේ කොහොමද?

5 දෙවියන්ගේ නමේ තේරුම ගැන අපි මොනවාද දන්නේ? යෙහෝවා කියන නමේ තේරුම “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියලා හුඟක් විශාරදයන් පිළිගන්නවා. ඒ තේරුම ගැන හිතද්දී දෙවියන් අරමුණු කරන දේ ඉටු කරන එකෙන් ඔහුව වළක්වන්න කිසිම කෙනෙක්ට, කිසිම දේකට බැහැ කියලා අපිට මතක් වෙනවා. දෙවියන් අරමුණු කරන ඕනෙම දෙයක් ඉටු කරන්න ඔහුට පුළුවන්. ඔහු ඒක කරන්නේ කොහොමද?

6 දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන එක විදිහක් තමයි අවශ්‍යතාවට අනුව ඕනෙම තත්වයකට පත් වෙලා ඕනෙම දෙයක් ඔහු කරන එක. (නික්මයාම 3:13, 14 කියවන්න.) දෙවියන්ගේ පෞද්ගලිකත්වයට ඇතුළත් ඒ පැත්ත ගැන හිතන්න කියලා අපේ ප්‍රකාශනවල නිතරම අපිට මතක් කරනවා. දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන තව විදිහක් තමයි ඔහුගේ සේවකයන්ව ඔහුට අවශ්‍ය ඕනෙම විදිහකින් පාවිච්චි කරන එක. (යෙසායා 64:8 කියවන්න.) විදිවලින් යෙහෝවා දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරද්දී ඔහුට හරස් වෙන්න කාටවත් බැහැ.—යෙසා. 46:10, 11.

7. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා ගැන අපිට තියෙන අගය, ගෞරවය තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

7 දෙවියන් කරලා තියෙන දේවල් ගැන හිතන එකෙන් වගේම ඔහුගේ අරමුණ ඉටු කරන්න ඔහු අපිව පාවිච්චි කරලා තියෙන විදි ගැන හිතන එකෙන් දෙවියන් ගැන අපිට තියෙන අගය තව වැඩි කරගන්න අපිට පුළුවන්. උදාහරණෙකට දෙවියන්ගේ නිර්මාණ ගැන හිතද්දී ඔහුට කොයි තරම් නම් දේවල් කරන්න පුළුවන්ද කියන හැඟීම අපේ හිතේ ඇති වෙනවා. (ගීතා. 8:3, 4) ඔහු කැමති දේ කරන්න අපිට උදව් කරලා තියෙන විදි ගැන හිතද්දී දෙවියන් ගැන අපේ හිතේ තියෙන ගෞරවය වැඩි වෙනවා. යෙහෝවා කියන දෙවියන්ගේ නාමය ඇත්තටම අපේ හිතේ ගරුබියක් ඇති කරන්නේ නැද්ද? ඒ නමට දෙවියන් ගැන හැම දේම වගේම ඔහු කරලා තියෙන, ඔහු ඉදිරියේදී කරන්න යන හැම දේමත් ඇතුළත්.—ගීතා. 89:7, 8.

‘දෙවියන්ගේ නාමය ප්‍රකාශ කරන්නෙමි’

මෝසෙස්ගේ ඉගැන්වීම් නිසා සෙනඟ ප්‍රබෝධමත් වුණා. මොකද එයා වැඩි අවධානයක් දුන්නේ යෙහෝවා කියන දෙවියන්ගේ නමට සහ දෙවියන් මොන වගේ කෙනෙක්ද කියන දේටයි (8 ඡේදය බලන්න) *

8. ද්විතීය කතාව 32:2, 3 අනුව දෙවියන්ගේ නාමය ගැන දන්න අය මොනවා කරයි කියලාද දෙවියන් බලාපොරොත්තු වෙන්නේ?

8 ඊශ්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී යෙහෝවා දෙවියන් මෝසෙස්ට ගීතිකාවක් ඉගැන්නුවා. (ද්වි. 31:19) ඒ ගීතිකාව මෝසෙස් සෙනඟට උගන්වයි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා. (ද්විතීය කතාව 32:2, 3 කියවන්න.) 2වෙනි සහ 3වෙනි පද ගැන හිතද්දී අපිට පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන් ඔහුගේ නාමය හංගලා තියාගන්න කැමති නැහැ කියලා. ඒ නම හුඟක් ශුද්ධ නිසා ඒක පාවිච්චි කරන්න, ශබ්ද කරන්න සුදුසු නැහැ කියලා දෙවියන් හිතන්නේ නැහැ. දෙවියන් කැමතියි ඔහුගේ නම හැමෝම දැනගන්නවා දකින්න. මෝසෙස්ගෙන් යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය ගැන ඉගෙනගන්න ලැබුණ එක ඊශ්‍රායෙල් සෙනඟ අගය කරන්න ඇති. පොද වැස්සකින් ගහ කොළ ප්‍රබෝධමත් වෙනවා වගේ මෝසෙස් උගන්වපු දේවල් නිසා සෙනඟ ප්‍රබෝධමත් වුණා. මිනිසුන්ට ඒ වගේ ප්‍රබෝධයක් දැනෙන විදිහට උගන්වන්න අපිට පුළුවන් කොහොමද?

9. දෙවියන්ගේ නම නිදොස් කරන්න දායක වෙන්න අපිට පුළුවන් කොහොමද?

9 සේවයේ හවුල් වෙද්දී අපිට පුළුවන් බයිබලෙන් යෙහෝවා කියන දෙවියන්ගේ නම මිනිසුන්ට පෙන්නන්න. යෙහෝවා දෙවියන් ගැන තොරතුරු ඇතුළත් ප්‍රකාශන එයාලට දෙන්නත් වීඩියෝ සහ අපේ වෙබ් අඩවියේ තියෙන ලිපි එයාලට පෙන්නන්නත් අපිට පුළුවන්. රැකියා ස්ථානයේදී, පාසැලේදී, ගමන්බිමන් යද්දී අපේ ආදරණීය දෙවියන් ගැන කතා කරන්න අපිට අවස්ථාවන් හම්බ වෙයි. මිනිසුන් සඳහා දෙවියන්ට තියෙන අරමුණ ගැන අපි එයාලා එක්ක කතා කරද්දී දෙවියන් මිනිසුන්ට කොච්චර ආදරේද කියලා මුල්ම වතාවට එයාලා දැනගනියි. දෙවියන් ගැන සත්‍ය තොරතුරු අපි අනිත් අයට කියලා දෙද්දී එයාලා තේරුම්ගනියි මෙච්චර කාලයක් දෙවියන් ගැන එයාලට උගන්වලා තියෙන්නේ බොරු කියලා. එහෙම කරද්දී දෙවියන්ගේ නම නිදොස් කරන්න අපි දායක වෙනවා. අපි බයිබලෙන් උගන්වන දේවලට වඩා ප්‍රබෝධයක් ඇති කරන ඉගැන්වීම් තවත් තියෙනවාද?—යෙසා. 65:13, 14.

10. අපිත් එක්ක බයිබලේ පාඩම් කරන අයට දෙවියන්ගේ නීති ගැන කියලා දීලා විතරක් මදි කියන්නේ ඇයි?

10 අපිට ඕනෙ අපිත් එක්ක බයිබලේ පාඩම් කරන අය දෙවියන්ගේ නම දැනගෙන ඒක පාවිච්චි කරනවා දකින්න. යෙහෝවා දෙවියන් ගැන හැම දෙයක්ම දැනගන්න එයාලට උදව් කරන්නත් අපි කැමතියි. දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම්, ඔහුගේ ප්‍රමිති, නීති ගැන විතරක් එයාලට කියලා දෙන එකෙන් ඒක කරන්න අපිට පුළුවන්ද? උනන්දුවෙන් බයිබලය පාඩම් කරන කෙනෙක් දෙවියන්ගේ නීති ගැන ඉගෙනගනියි. ඒවා ගැන එයාට අගයකුත් ඇති වෙයි. ඒත් එයා දෙවියන්ගේ නීතිවලට කීකරු වෙන්න ඕනෙ ඔහුට තියෙන ආදරේ නිසයි. දෙවියන් දීපු නීතිය ගැන ඒව දැනන් හිටියා. ඒත් ඒ නීතිය දුන්න දෙවියන් ගැන ආදරයක් එයාගේ හිතේ තිබුණේ නැහැ. ආදමුත් ඒ වගේ. (උත්. 3:1-6) ඒ නිසා අපිත් එක්ක පාඩම් කරන අයට දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේ ගැන, ඔහුගේ ප්‍රමිති ගැන විතරක් කියලා දීලා මදි.

11. අපිත් එක්ක පාඩම් කරන අයට නීති, ප්‍රතිපත්ති දුන්න දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න උදව් කරන්න පුළුවන් කොහොමද?

11 දෙවියන්ගේ නීතිවලට, ප්‍රතිපත්තිවලට කීකරු වෙන එක අපිට ප්‍රයෝජනවත් කියලා අපි දන්නවා. (ගීතා. 119:97, 111, 112) ඒත් අපි එක්ක බයිබලේ පාඩම් කරන අයට ඒ හැඟීම ඇති වෙන්න නම් දෙවියන් නීති, ප්‍රතිපත්ති දුන්නේ අපිට තියෙන ආදරේ නිසයි කියලා එයාලා තේරුම්ගන්න ඕනේ. ඒ දේ තේරුම්ගන්න එයාලට උදව් කරන්න අපිට එයාලගෙන් මෙහෙම අහන්න පුළුවන්. “දෙවියන් ඔහුගේ සේවකයන්ට එහෙම කරන්න හෝ නොකරන්න කියන්නේ ඇයි? යෙහෝවා දෙවියන් ගැන අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?” දෙවියන්ගේ පෞද්ගලිකත්වය ගැන හිතන්න, ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය ගැන ආදරයක් ඇති කරගන්න අපිත් එක්ක පාඩම් කරන අයට අපි උදව් කරනවා නම් ඒ අයගේ හිතේ බයිබලේ තියෙන නීති, ප්‍රතිපත්ති ගැන වගේම ඒවා දුන්න යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති වෙයි. (ගීතා. 119:68) ඒකෙන් දෙවියන් ගැන එයාලට තියෙන විශ්වාසයත් වැඩි වෙයි. ඉදිරියේදී මොන අමාරු දේට මුහුණ දෙන්න වුණත් ඒවා විඳදරාගන්න ඒ විශ්වාසය එයාලට උදව් වෙයි.—1 කොරි. 3:12-15.

“දෙවියන්ගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු”

මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ගරුබිය දක්වන්න දාවිත්ට එක අවස්ථාවකදී බැරි වුණා (12 ඡේදය බලන්න)

12. මුළු සිතින්ම දෙවියන්ගේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව ඉන්න දාවිත්ට එක අවස්ථාවකදී බැරි වුණේ ඇයි? ඒකෙන් වුණේ මොකක්ද?

12 ගීතාවලිය 86:11 දාවිත් කියනවා “මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න” කියලා. දාවිත් අද්දැකීමෙන්ම දැනගත්තා දෙවියන්ගේ කැමැත්ත කරන්න හිතේ ආශාවක් තිබුණාට පරෙස්සම් වුණේ නැත්නම් වැරදි දේ කරන්නත් හිත ඉඩ දෙන්න පුළුවන් කියලා. දවසක්, දාවිත් උඩුමහලේ ඉද්දී එයා දැක්කා වෙන කෙනෙක්ගේ බිරිඳක් නනා ඉන්නවා. ඒ වෙලාවේ දාවිත්ගේ හදවතේ තත්වය මොන වගේද? ‘වෙනත් කෙනෙකුගේ භාර්යාවට ආශා නොකරන්න’ කියලා දෙවියන් දීලා තිබුණ නීතිය දාවිත් දැනන් හිටියා. (නික්. 20:17) ඒත් එයා දිගින් දිගටම ඒ ස්ත්‍රිය දිහා බැලුවා. ඒ නිසා එයාගේ හිත බෙදුණා. ඒ වෙලාවේ එයාගේ හදවතේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න ආශාවක් වගේම ඒ ස්ත්‍රිය ගැන ආශාවකුත් ඇති වුණා. දාවිත් කාලයක් තිස්සේ දෙවියන්ට ආදරේ කරපු, ඔහු ගැන ගරුබියක් පෙන්නපු කෙනෙක් වුණත් ස්ත්‍රිය ගැන එයාගේ හිතේ ඇති වුණ ආශාවට එයාව පාලනය කරන්න ඒ වෙලාවේ එයා ඉඩ දුන්නා. දාවිත් වැඩ කරපු විදිහ නිසා දෙවියන්ගේ නමට ඇති වුණේ ලොකු නින්දාවක්. එයාගේ පවුලේ අය ඇතුළුව තවත් අහිංසක අය හුඟදෙනෙක් එයාගේ වරද නිසා දුක් වින්දා.—2 සාමු. 11:1-5, 14-17; 12:7-12.

13. දාවිත් ආයෙත් මුළු සිතින්ම දෙවියන්ට ගරුබිය පෙන්නුවා කියලා අපි දන්නේ කොහොමද?

13 යෙහෝවා දෙවියන් දාවිත්ව නිවැරදි කළා. ඒ නිසා දෙවියනුයි, එයායි අතරේ බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගන්න දාවිත්ට පුළුවන් වුණා. (2 සාමු. 12:13; ගීතා. 51:2-4, 17) හිතේ බෙදීමක් ඇති වෙන්න එයා ඉඩ දුන්න නිසා අද්දකින්න වුණ වේදනාකාරී දේවල් දාවිත්ට කවදාවත් අමතක වුණේ නැහැ. ආයෙත් මුළු හදවතින්ම දෙවියන් ගැන ගරුබියක් ඇතුව ඉන්න දෙවියන් දාවිත්ට උදව් කළා. මොකද දේවවචනයේ දාවිත්ව හඳුන්වලා තියෙන්නේ “යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කරපු” කෙනෙක් හැටියට.—1 රාජා. 11:4; 15:3.

14. අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නයද? ඒ ඇයි?

14 දාවිත් අතින් වුණ බරපතළ වරද අපිට අනතුරු ඇඟවීමක්. අපි යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තේ ළඟදී වුණත් කාලෙකට කලින් වුණත් අපි අපෙන්ම මේ ප්‍රශ්නය අහගන්න ඕනේ. ‘මගේ හිතේ බෙදීමක් ඇති කරන්න සාතන් උත්සාහ කරද්දී ඒකට අහු නොවී ඉන්න මං වෑයම් කරනවාද?’

ඔයාගේ හිත බෙදන්න සාතන් හැම උත්සාහයක්ම ගනියි. ඒකට ඉඩ දෙන්න එපා! (15 සහ 16 ඡේද බලන්න) *

15. හැඟීම් අවුස්සන දර්ශනයක් අපි දැක්කොත් දේවගරුබිය කොහොමද අපිට ආරක්ෂාවක් වෙන්නේ?

15 උදාහරණෙකට TV එකෙන්, ඉන්ටර්නෙට් එකෙන් හැඟීම් අවුස්සන්න පුළුවන් දර්ශනයක් ඔයා දැක්කා කියලා හිතන්න. ඒ වෙලාවේදී ඔයා මොකද කරන්නේ? ඒක අසභ්‍ය එකක් නෙමෙයි කියලා සමහරවිට ඔයාට හිතෙයි. ඒත් ඒක ඔයාගේ හිත බෙදන්න සාතන් ගන්න උත්සාහයක් වෙන්න බැරිද? (2 කොරි. 2:11) ඒ දර්ශනය ලී කොටයක් දෙකට පළන්න පාවිච්චි කරන කූඤ්ඤයකට සමාන කරන්න පුළුවන්. මුලින් ලී කොටයට කූඤ්ඤය තියලා තට්ටුවක් දැම්මාම පොඩි පැළීමක් තමයි ඇති වෙන්නේ. ඒත් ඒ කූඤ්ඤයට ගහන්න ගහන්න ඒක තව තව ඇතුළට ගිහින් ලීය දෙකට පැළෙනවා. හැඟීම් අවුස්සන ඒ දර්ශනය අපේ හිතේ බෙදීමක් ඇති කරන්න මුල් වෙන දේ වෙන්න පුළුවන්. ඒ තරම් නරක නැහැ කියලා හිතෙන දේවල් දිහා කෙනෙක් දිගින් දිගටම බලන්න ගියොත් බරපතළ වරදක් වුණත් එයා අතින් වෙන්න පුළුවන්. ඒ නිසා සුදුසු නැති කිසිම දේකට ඔයාගේ හිතට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා! යෙහෝවා දෙවියන් කැමති දේට විතරයි ඔයාගේ හිතේ ඉඩ තියෙන්න ඕනේ.

16. වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?

16 වරදක් කරන්න අපිව පොලඹවන්න සාතන් තවත් ක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේ වෙලාවට ඔයා මොකද කරන්නේ? ඒ දේවල් ඒ තරම් නරක නැහැ කියලා හිතන්න පෙලඹෙයිද? උදාහරණෙකට අපි මෙහෙම හිතයි. ‘මං මේක කළා කියලා මාව සභාවෙන් අයින් කරන්නේ නැහැනේ. ඒ නිසා ඒක ඒ තරම් බරපතළ වරදක් වෙන්න බැහැ.’ එහෙම හිතන එක වැරදියි. ඒ වෙනුවට ඒ වගේ වෙලාවලදී අපි මේ ප්‍රශ්න ගැන හිතමු. ‘මේ පෙලඹීම පාවිච්චි කරලා සාතන් උත්සාහ කරන්නේ මගේ හිත බෙදන්නද? මේ ආශාවට අනුව වැඩ කළොත් දෙවියන්ගේ නම නින්දාවට පත් වෙයිද? මේ දේ නිසා මං දෙවියන්ට තව ළං වෙයිද? නැත්නම් මං ඔහුගෙන් ඈත් වෙයිද?’ ඒ ප්‍රශ්නවලට අවංකවම උත්තර දෙන්න දෙවියන්ගේ ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න. (යාකො. 1:5) එහෙම කරන එක ඔයාට ආරක්ෂාවක්. ඒක ඔයාට උදව් වෙයි සාතන් ගේන වැරදි පෙලඹීම් යේසුස් වගේ එකහෙළා ප්‍රතික්ෂේප කරන්න.—මතෙ. 4:10.

17. අපේ හිත බෙදිලා නම් ඒකෙන් කිසිම වැඩක් නැහැ කියලා කියන්නේ ඇයි? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

17 අපේ හිත බෙදිලා නම් ඒකෙන් කිසිම වැඩක් නැහැ. සහයෝගයෙන් වැඩ කරන්නේ නැති ක්‍රීඩා කණ්ඩායමක් ගැන හිතන්න. ඒකේ ඉන්න සමහරු හිතන්නේ එයාලට හොඳ නමක් දිනාගන්න එක ගැන. කීපදෙනෙක් තරඟ නීතිරීතිවලට අනුව ක්‍රීඩා කරන්න කැමති නැහැ. තවත් කීපදෙනෙක් පුහුණුකරු කියන දේවල් ගණන් ගන්නේ නැහැ. ඒ වගේ කණ්ඩායමක් තරඟයක් දිනන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒත් කණ්ඩායමක් එකමුතුව, සහයෝගයෙන් වැඩ කරනවා නම් එයාලට ලේසියෙන්ම තරඟ දිනන්න පුළුවන්. ඔයාගේ සිතුවිලි, ආශාවන්, හැඟීම් එකම දේට යොමු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට ඕනෙ මුළු හදවතින්ම යෙහෝවා දෙවියන් කැමති දේ කරන්න නම් ඔයාගේ හදවතත් එකමුතුව වැඩ කරන ක්‍රීඩා කණ්ඩායමක් වගේ. සාතන්ට ඕනෙ ඔයාගේ හිතේ බෙදීමක් ඇති කරලා යෙහෝවා දෙවියන්ට දෙන්න ඕන තැන ඔයා වෙන දේවලට දෙනවා දකින්නයි. යෙහෝවා දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන්න ඔයාගේ හිතේ තියෙන කැමැත්තයි, වැරදි ආශාවන් ඉටු කරගන්න තියෙන කැමැත්තයි අතරේ ඝට්ටනයක් ඔයාගේ හිතේ ඇති වෙනවා දකින්න සාතන් කැමතියි. ඒත් දෙවියන් කැමති ඔයා මුළු හදවතින්ම ඔහුට සේවය කරනවාටයි. (මතෙ. 22:36-38) ඒ නිසා ඔයාගේ හදවතේ බෙදීමක් ඇති කරන්න සාතන්ට ඉඩක් දෙන්න එපා!

18. මීකා 4:5 සඳහන් වචනවලට අනුව ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

18 “මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න” කියලා දාවිත් වගේ ඔයාත් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න. ඒ යාච්ඤාවට එකඟව ජීවත් වෙන්න පුළුවන් උපරිමය කරන්න. යෙහෝවා දෙවියන්ගේ ශුද්ධ නාමය ගැන ඔයාට ගරුබියක් තියෙනවා කියලා හැම දවසකම ඔයා ගන්න තීරණවලින් පෙන්නන්න. එහෙම කරද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට දෙවියන්ගේ නාමයට ප්‍රශංසාවක් ගේන්න ඔයාට පුළුවන්. (හිතෝ. 27:11) අනාගතවක්තෘ මීකා වගේ අපි හැමෝටමත් මෙහෙම කියන්න පුළුවන් වෙයි. “අපි සදහටම අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙනවා.”—මීකා 4:5.

ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව

^ 5 ඡේ. ගීතාවලිය 86:11, 12 දාවිත් රජ යාච්ඤාවෙන් යෙහෝවා දෙවියන්ට කියපු දේ ගැන අපි මේ ලිපියෙන් බලනවා. දෙවියන්ගේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව ඉන්න කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ ශ්‍රේෂ්ඨ නාමය ගැන අපේ හිතේ ගෞරවයක් තියෙන්න ඕනෙ ඇයි? වැරදි පෙලඹීම් එද්දී දේවගරුබිය අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

^ 53 ඡේ. පින්තූරයේ අදහස: යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරපු ගීතිකාවක් මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට ඉගැන්නුවා.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: ඒව වැරදි ආශාවන්ට ඉඩ දුන්නා. වැරදි ආශාවන්ට මඟ පාදන්න පුළුවන් පින්තූර, මෙසේජස් අපි එකහෙළා ප්‍රතික්ෂේප කළේ නැත්නම් දෙවියන්ගේ නමට අගෞරවයක් වෙන්න පුළුවන්.