Skip to content

පටුනට යන්න

තමාව පාලනය කරගැනීම දෙවියන්ගේ අනුමැතිය ලබන්න අත්‍යවශ්‍යයි

තමාව පාලනය කරගැනීම දෙවියන්ගේ අනුමැතිය ලබන්න අත්‍යවශ්‍යයි

“මගේ අයියා කෙනෙක් මාත් එක්ක රණ්ඩුවට ආපු වෙලාවේ මං එයාගේ බෙල්ලෙන් අල්ලලා මිරිකුවා. මට ඕනෙ වුණේ එයාව මරන්න.”—පෝල්.

“ගෙදරදී මට පොඩි දේටත් කිසිම හේතුවක් නැතුව කේන්ති යනවා. ඒ වෙලාවලදී මං ගෙදර තියෙන බඩු මුට්ටු, අතට අහු වෙන ඕනෙම දෙයක් පොළොවේ ගහනවා.”—මාකෝ.

අපෙන් වැඩිදෙනෙක් ඒ වගේ කේන්ති අරන් වැඩ කරන්නේ නැතුව ඇති. ඒ වුණත් සමහර වෙලාවලදී අපිට අපිවම පාලනය කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒකට හේතුව අපි ආදම්ගෙන් පාපය උරුම කරගෙන තියෙන නිසා අපි ලේසියෙන්ම වැරදි දේවල් කරන්න පෙලඹෙනවා. (රෝම 5:12) පෝල්ටයි, මාකෝටයි වගේ සමහර අයට එයාලගේ කේන්තිය පාලනය කරගන්න අමාරුයි. තවත් අයට එයාලගේ සිතුවිලි පාලනය කරගන්න අමාරුයි. උදාහරණෙකට හිතට බයක්, අධෛර්යයක් දැනෙන දේවල් ගැන එයාලා කිසිම පාලනයක් නැතුව දිගින් දිගටම හිතනවා. තවත් අයට අනාචාරයේ යෙදෙන්න එන පෙලඹීම් පාලනය කරගන්න බැහැ. තවත් සමහරු මත්පැන්වලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා.

තමන්ගේ සිතුවිලි, ආශාවන්, හැසිරීම පාලනය කරගන්නේ නැති අය එයාලගේ ජීවිතවලට කරගන්නේ ලොකු හානියක්. ඒත් අපිට පුළුවන් ඒක වළක්වගන්න. ඒ කොහොමද? ඒ අපිවම පාලනය කරගන්න ඉගෙනගන්න එකෙන්. මේ ප්‍රශ්න 3ට උත්තර බලන එක ඒක කරන්න අපිට උදව් වෙයි. (1) තමන්වම පාලනය කරගන්න කෙනෙක් කොයි වගේද? (2) ඒ ගුණාංගය වර්ධනය කරගන්න එක වැදගත් ඇයි? (3) “කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක” වෙද්දී ඇති වෙන ඒ ගුණාංගය වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? (ගලා. 5:22, 23) සමහර අවස්ථාවලදී අපිවම පාලනය කරගන්න බැරි වෙද්දී අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් බලමු.

තමාව පාලනය කරගන්න කෙනෙක් කොයි වගේද?

තමාවම පාලනය කරගන්න කෙනෙක් එයාට හිතෙන, හැඟෙන හැම දෙයක්ම කරන්නේ නැහැ. එයා දෙවියන් අසතුටු වෙන විදිහට කතා කරන එකෙන්, වැඩ කරන එකෙන් වැළකෙනවා.

තමාව පාලනය කරගන්න කෙනෙක් කොයි වගේද කියලා යේසුස් වැඩ කරපු විදිහෙන් පැහැදිලි වුණා

තමාව පාලනය කරගන්න කෙනෙක් කොයි වගේද කියලා යේසුස් වැඩ කරපු විදිහෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. බයිබලේ මෙහෙම කියනවා. “ඔහුට නින්දා කළ විට ඔහු නින්දා කළේ නැත. වධ හිංසාවලට ලක් වූ විට ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.” (1 පේතෘ. 2:23) වධකණුවේ ඇණ ගහලා හිටපු යේසුස්ට සතුරන් නින්දා, අපහාස කරද්දී යේසුස් වැඩ කළේ ඒ විදිහටයි. (මතෙ. 27:39-44) යේසුස් කියපු දේක වරදක් අල්ලගන්න අදහසින් ආගමික නායකයන් හුඟක් ප්‍රශ්න අහපු වෙලාවේ යේසුස් ඔහුවම පාලනය කරගත්තා. (මතෙ. 22:15-22) කේන්තියෙන් හිටපු යුදෙව්වන් ඔහුට ගල් ගහන්න හදපු වෙලාවේ එයාලට නපුරු විදිහට සලකනවා වෙනුවට යේසුස් “සැඟවී දේවමාලිගාවෙන් පිටතට ගියා.”—යොහ. 8:57-59.

අපිට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන්ද? 100%ක්ම බැරි වුණත් යම් දුරකට පුළුවන්. පේතෘස් මෙහෙම කිව්වා. “ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.” (1 පේතෘ. 2:21) අපි පාපය උරුම කරගත්ත අය වුණත් තමාවම පාලනය කරගැනීම සම්බන්ධයෙන් යේසුස් තියපු ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කරන්න අපිට පුළුවන්.

තමාවම පාලනය කරගන්න එක වැදගත් ඇයි?

යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න නම් අපි අපිවම පාලනය කරගන්න ඉගෙනගන්න ඕනේ. අපි අවුරුදු ගාණක් පුරා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අය වුණත් අපි කියන කරන දේවල් පාලනය කරගත්තේ නැත්නම් අපිට දෙවියන් එක්ක තියෙන මිත්‍රත්වය නැති වෙන්න පුළුවන්.

මෝසෙස් ගැන හිතන්න. එයා ඒ කාලේ “පොළොවේ ජීවත් වූ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෘදු ගුණැති කෙනෙක්.” (ගණන්. 12:3) අවුරුදු ගාණක් පුරා ඊශ්‍රායෙල්වරු මැසිවිලි නැඟුවත් එයා ඒවා ඉවසීමෙන් දරාගත්තා. ඒත් එක දවසක් එයාට කේන්ති ගියා. වතුර නැහැ කියලා ඊශ්‍රායෙල් සෙනඟ ආයෙත් සැරයක් මෝසෙස්ට කන්කෙඳිරි ගාද්දී එයා සැරෙන් සෙනඟට මෙහෙම කිව්වා. “කැරලිකාරයෙනි, දැන් ඇහුම්කන් දෙන්න. ඔබ අපට කියන්නේ මේ පර්වතයෙන් වතුර දෙන්න කියාද?”—ගණන්. 20:2-11.

කේන්තිය පාලනය කරගන්න මෝසෙස්ට බැරි වුණා. ආශ්චර්යවත් විදිහට වතුර ලබා දුන්න එක ගැන එයා යෙහෝවා දෙවියන්ට ගෞරවය දුන්නේ නැහැ. (ගීතා. 106:32, 33) ඒ නිසා පොරොන්දු දේශයට ඇතුල් වෙන්න දෙවියන් මෝසෙස්ට ඉඩ දුන්නේ නැහැ. (ගණන්. 20:12) එදා කේන්ති අරන් වැඩ කරපු එක ගැන මෝසෙස් එයාගේ ජීවිතේ තියෙන කල් දුක් වෙන්න ඇති.—ද්වි. 3:23-27.

ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? අපි අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දෙවියන්ට සේවය කරලා තිබුණත් අපිට එච්චර රුස්සන්නේ නැති අයට, නිවැරදි කිරීමක් අවශ්‍ය කරන අයට අපි කවදාවත් කේන්තියෙන් කතා කරන්න හොඳ නැහැ. (එෆී. 4:32; කොලො. 3:12) අපි වයසට යද්දී සමහර වෙලාවට ඉවසීමෙන් වැඩ කරන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. ඒත් මෝසෙස්ට වුණ දේ මතක් කරගන්න. අපිට අපිවම පාලනය කරගන්න බැරි වුණොත් යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන හොඳ නම නැති වෙයි.

අපිවම පාලනය කරගන්නේ කොහොමද?

දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. තමාවම පාලනය කරගැනීම කියන්නේ කෙනෙක් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන අයට දෙවියන් ඔහුගේ බලය දෙනවා. (ලූක් 11:13) අපිවම පාලනය කරගන්න අවශ්‍ය ශක්තිය අපිට දෙන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. (ෆිලි. 4:13) දෙවියන්ගේ බලයට පුළුවන් අපිවම පාලනය කරගන්න උදව් වෙන අනිත් ගුණාංග වර්ධනය කරගන්නත් අපිට උදව් කරන්න. ප්‍රේමය ඒ වගේ ගුණාංගයක්.—1 කොරි. 13:5.

ඔයාට ඔයාවම පාලනය කරගන්න අමාරු කරන ඕනෙම දේකින් ඈත් වෙන්න

තමාව පාලනය කරගන්න එක අමාරු කරන ඕනෙම දෙයකින් අයින් වෙන්න. නුසුදුසු, අපවිත්‍ර දේවල් ඇතුළත් වෙබ් අඩවිවලට යන්න එපා. විනෝදයට දේවල් තෝරගද්දීත් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. (එෆී. 5:3, 4) වැරදි දෙයක් කරන්න අපිව පොලඹවන්න පුළුවන් ඕනෙම දේකින් අපි සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕනේ. (හිතෝ. 22:3; 1 කොරි. 6:12) උදාහරණෙකට කෙනෙක්ට හැඟෙනවා නම් තමන් ලේසියෙන්ම අනාචාර දේකට අහු වෙන්න පුළුවන් කියලා හැඟීම් ඇවිස්සෙන චිත්‍රපටි බලන එකෙන්, ප්‍රේම නවකතා කියවන එකෙන් එයා සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක හොඳ දෙයක්.

ඒ උපදෙස අදාළ කරගන්න එක අපිට අමාරු වෙන්න පුළුවන්. ඒත් අපි අපේ පැත්තෙන් ලොකු වෑයමක් ගන්නවා නම් අපිවම පාලනය කරගන්න ඕනෙ කරන ශක්තිය යෙහෝවා දෙවියන් අපිට දෙනවා. (2 පේතෘ. 1:5-8) අපේ සිතුවිලි, අපේ කතාබහ, අපේ හැසිරීම පාලනය කරගන්න ඔහු අපිට උදව් කරනවා. ඒ දේ කරන්න ලිපියේ මුලින් කතා කරපු පෝල්ටයි, මාකෝටයි දෙවියන් උදව් කළා. ඒ නිසා එයාලට පුළුවන් වුණා කාලයත් එක්කම එයාලගේ කේන්තිය පාලනය කරගන්න. එක සහෝදරයෙක්ට වාහනේ එළවගෙන යද්දී අනිත් රියදුරන් එක්ක ගොඩක් කේන්ති යනවා. සමහර වෙලාවට එයාලා එක්ක රණ්ඩුවලටත් පැටලෙනවා. තමන්ගේ කේන්තිය පාලනය කරගන්න ඒ සහෝදරයා මොනවාද කළේ? එයා මෙහෙම කියනවා. “මං හැමදාම ඒ ගැන කියලා යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. තමාවම පාලනය කරගන්න එක ගැන තියෙන ලිපි මං අධ්‍යයනය කළා. මට උදව් වෙන බයිබල් පදත් මං මතක තියාගත්තා. අවුරුදු ගාණක් ගියත් මං ඒ දේවල් අත්හරින්නේ නැතුව දිගටම කරනවා. මං හැම දවසක්ම පටන්ගන්නේ අද දවස පුරා සන්සුන්ව ඉන්නවා කියන අධිෂ්ඨානයෙන්. මං මොකක් හරි වැඩකට යද්දී දැන් මං ටිකක් වේලාස්සනින් පිටත් වෙනවා. මොකද පරක්කු වෙලා වාහනේ එළවද්දී කේන්ති යන්න තියෙන ඉඩකඩ වැඩියි.”

අපිට අපිවම පාලනය කරගන්න බැරි වුණොත්

සමහර වෙලාවට අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වෙලාවලදී අපිට යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ලැජ්ජාවක් දැනෙයි. ඒත් ඒ වගේ වෙලාවලදී තමයි අපි යෙහෝවා දෙවියන්ගේ උදව් වැඩියෙන් ඉල්ලන්න ඕනේ. ඔයාට ඔයාවම පාලනය කරගන්න බැරි වුණොත් ඉක්මනින්ම දෙවියන්ට යාච්ඤා කරන්න. ඔහුගෙන් සමාව ඉල්ලන්න. උදව් ඉල්ලන්න. ඒ වරද ආයෙත් කරන්නේ නැහැ කියලා අදිටන් කරගන්න. (ගීතා. 51:9-11) සමාව ඉල්ලලා ඔයා කරන යාච්ඤාවලට යෙහෝවා දෙවියන් සවන් දෙන්නේ නැහැ කියලා හිතන්න එපා. (ගීතා. 102:17) නියෝජිත යොහන් කිව්වේ දෙවියන්ගේ පුතාගේ රුධිරය අපිව “සියලුම පාපවලින් පවිත්‍ර කරයි” කියලා. (1 යොහ. 1:7; 2:1; ගීතා. 86:5) යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට කියන්නේ අනිත් අය කරන වැරදිවලට ආයේ ආයෙත් සමාව දෙන්න කියලා. එහෙමනම් යෙහෝවා දෙවියනුත් අපිට ඒ විදිහටම සමාව දෙයි කියලා අපිට ස්ථිරයි.—මතෙ. 18:21, 22; කොලො. 3:13.

පාළුකරයේදී මෝසෙස්ට එයාගේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණ එක ගැන යෙහෝවා දෙවියන් සතුටු වුණේ නැහැ. ඒත් ඔහු එයාට සමාව දුන්නා. ශක්තිමත් විශ්වාසයක් තිබුණ කෙනෙක් විදිහටයි බයිබලේ මෝසෙස් ගැන කතා කරලා තියෙන්නේ. එයාව ආදර්ශයට ගන්න කියලත් ඒකේ අපිට උනන්දු කරනවා. (ද්වි. 34:10; හෙබ්‍රෙ. 11:24-28) පොරොන්දු දේශයට ඇතුල් වෙන්න දෙවියන් මෝසෙස්ට අවස්ථාව දුන්නේ නැතත් එයාට පාරාදීස පොළොවේ සදහටම ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම අවස්ථාව දෙනවා. අපිත් අපිවම පාලනය කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා නම් සදාකාලෙටම ජීවත් වෙන බලාපොරොත්තුව ඇතුව ඉන්න අපිට පුළුවන්.—1 කොරි. 9:25.