Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 27

ඔයා ගැන ඕනෑවට වඩා හිතන්න එපා

ඔයා ගැන ඕනෑවට වඩා හිතන්න එපා

“මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.”—රෝම 12:3.

ගීතිකාව 130 සමාව දෙන්න

මේ ලිපියෙන් *

1. ෆිලිප්පි 2:3 අපිට දෙන උපදෙස මොකක්ද? ඒක අදාළ කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

අපිට හොඳම දේ මොකක්ද කියලා දන්නේ යෙහෝවා දෙවියන්. නිහතමානී කෙනෙක් ඒක තේරුම් අරන් දෙවියන්ගේ ප්‍රමිතිවලට කීකරු වෙනවා. (එෆී. 4:22-24) තමන් කැමති දේට වඩා යෙහෝවා දෙවියන් කැමති දේට මුල් තැන දෙන්නත් අනිත් අය අපිට වඩා උසස් කියලා හිතන්නත් නිහතමානිකම අපිට උදව් වෙනවා. නිහතමානී කෙනෙක්ට යෙහෝවා දෙවියන් එක්කත් සහෝදර සහෝදරියන් එක්කත් හොඳ බැඳීමක් තියාගන්න පුළුවන් ඒ නිසයි.—ෆිලිප්පි 2:3 කියවන්න.

2. පාවුල් කිව්වේ මොකක්ද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?

2 පරෙස්සම් වුණේ නැත්නම් ලෝකේ ඉන්න උඩඟු, ආත්මාර්ථකාමී අයගේ ආකල්ප අපිටත් බලපාන්න පුළුවන්. * මුල් සියවසේ හිටපු සමහර ක්‍රිස්තියානීන්ට ඒ ආකල්ප බලපෑවා. ඒ නිසයි රෝමයේ හිටපු අයට පාවුල් මෙහෙම ලිව්වේ. “මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.” (රෝම 12:3) පාවුල් කියපු දෙයින් තේරෙනවා අපි අපි ගැන යම් දුරකට හිතන එක වැරදි නැහැ කියලා. ඒත් අපි නිහතමානී නම් අපි අපි ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. අපි ගැන ඕනෑවට වඩා හිතන්න පෙලඹෙන්න පුළුවන් පැති තුනක් ගැනත් එහෙම හිතන්නේ නැතුව ඉන්න නිහතමානිකම අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියේ බලනවා. ඒ පැති තුන තමයි (1) විවාහ ජීවිතයේදී, (2) සංවිධානයේ අපිට තියෙන විවිධ පැවරුම් ඉටු කරද්දී, (3) සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරද්දී.

විවාහ ජීවිතේදී නිහතමානී වෙන්න

3. විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? සමහරු ඒ ප්‍රශ්න විසඳගන්න හදන්නේ කොහොමද?

3 විවාහක යුවළක් සතුටින් විවාහ ජීවිතය ගත කරනවාට යෙහෝවා දෙවියන් කැමතියි. ඒත් අපි හැමෝම අතින් වැරදි වෙන නිසා යුවළක් අතරේ එකඟ නොවීම් ඇති වෙන්න පුළුවන්. විවාහ වුණු අයට යම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා කියලා පාවුලුත් කිව්වා. (1 කොරි. 7:28) සමහර යුවළයන් හැම තිස්සෙම රණ්ඩු වෙනවා. ඒ නිසා එයාලට හිතෙයි ‘අපරාදේ බැන්දේ’ කියලා. ලෝකේ අදහස් එයාලට බලපාලා නම් ‘වැඩියෙන්ම වටින්නේ මගේ සතුටනේ. ඒ නිසා දික්කසාද වෙන එක තමයි හොඳම විසඳුම’ කියලා එයාලා හිතයි.

4. අපි කොහොම හිතන එකෙන්ද වළකින්න ඕනේ?

4 ‘මේ විවාහය හරි යන්නේ නැහැ’ කියලා හිතන එකෙන් අපි වළකින්න ඕනේ. බයිබලේ දික්කසාදයට ඉඩ දීලා තියෙන එකම හේතුව අනාචාරය විතරයි කියලා අපි දන්නවා. (මතෙ. 5:32) අපි උඩඟු අය නම් විවාහ ජීවිතේ ප්‍රශ්න එද්දී අපි මෙහෙම හිතයි. ‘සැමියා, බිරිඳ මං ගැන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට ලැබෙන්න ඕනෙ ආදරේ මට ලැබෙන්නේ නැහැ. වෙන කෙනෙක් එක්ක මට මීට වඩා සතුටින් ඉන්න පුළුවන්.’ එහෙම හිතනවා නම් අපි කරන්නේ අපේ සැමියා, බිරිඳ ගැන හිතනවාට වඩා අපි ගැනම හිතන එකයි. සමාජයේ වැඩිදෙනෙක් කියන්නේ ‘ඔයාට හරියි කියලා හිතන දේ කරන්න. ඔයාට සතුටින් ඉන්න පුළුවන් දික්කසාද වුණොත් නම් එහෙම කළාට වරදක් නැහැ’ කියලයි. ඒත් බයිබලේ කියන්නේ “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න” කියලයි. (ෆිලි. 2:4) යෙහෝවා දෙවියන්ට ඕනෙ ඔයා ඔයාගේ විවාහය රැකගන්නවා දකින්නයි. (මතෙ. 19:6) ඔයා ගැන හිතලා නෙමෙයි දෙවියන්ගේ ප්‍රමිති ගැන හිතලා වැඩ කරනවාටයි ඔහු කැමති.

5. එෆීස 5:33 අනුව සැමියෙක් සහ බිරිඳක් එකිනෙකාට සලකන්න ඕනෙ කොහොමද?

5 සැමියෙක් සහ බිරිඳක් එකිනෙකාට සලකන්න ඕනෙ ආදරෙන් සහ ගෞරවයෙන්. (එෆීස 5:33 කියවන්න.) බයිබලේ කියන්නේ තමන්ට ලබාගන්න පුළුවන් දේවල් ගැන හිතනවාට වඩා අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න කියලයි. (ක්‍රියා 20:35) එකිනෙකාට ආදරේ, ගෞරවය පෙන්නන්න යුවළකට උදව් වෙන්නේ මොන ගුණාංගයද? ඒ නිහතමානිකම. නිහතමානීව වැඩ කරන සැමියෙක්, බිරිඳක් තමන්ගේ වාසිය ගැන නෙමෙයි “අන් අයට ප්‍රයෝජනවත් වන දේ” ගැන හිතනවා.—1 කොරි. 10:24.

නිහතමානී යුවළක් එකිනෙකා එක්ක රණ්ඩු කරන්නේ නැහැ. ඒ වෙනුවට එකිනෙකාට උදව් කරනවා (6 ඡේදය බලන්න)

6. ස්ටීවන් සහ ස්ටෙෆනි කියපු දේවලින් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

6 සතුටින් විවාහ ජීවිතේ ගත කරන්න නිහතමානිකම හුඟක් යුවළයන්ට උදව් වෙලා තියෙනවා. සැමියෙක් වන ස්ටීවන් මෙහෙම කියනවා. “හැම තිස්සෙම අපි දෙන්නෙක් නෙමෙයි අපි එක් කෙනෙක් කියලා හිතනවා නම් ප්‍රශ්න ඇති වෙද්දී අපි ඒවා විසඳගන්න එකතු වෙලා වැඩ කරනවා. ‘මොකක් කළොත්ද මට හොඳ’ කියලා හිතන්නේ නැතුව ‘මොකක් කළොත්ද අපිට හොඳ’ කියලා අපි හිතනවා.” එයාගේ බිරිඳ ස්ටෙෆනිට හැඟෙන්නෙත් එහෙමයි. එයා මෙහෙම කියනවා. “හැම තිස්සෙම රණ්ඩුවලට පැටලෙන්න බලං ඉන්න කෙනෙක් එක්ක ජීවත් වෙන්න කවුරුත් කැමති නැහැ. අපි අතර මතගැටුමක් ඇති වුණාම අපි ඒකට හේතුව හොයාගන්න උත්සාහ කරනවා. ඊළඟට යාච්ඤා කරලා ප්‍රශ්නෙට අදාළ තොරතුරු අපි ප්‍රකාශනවලින් හොයනවා. ඊටපස්සේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. එකිනෙකාට නෙමෙයි අපි පහර දෙන්නේ ප්‍රශ්නෙට.” තමන් ගැන හිතනවාට වඩා තමන්ගේ සැමියා, බිරිඳ ගැන හිතන යුවළකට විවාහ ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන්.

“නිතරම නිහතමානිකමින්” සේවය කරන්න

7. සහෝදරයෙක්ට සංවිධානයේ යම් වගකීමක් ලැබුණාම ඒ ගැන එයාට හැඟෙන්න ඕනෙ කොහොමද?

7 යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ලැබෙන ඕනෑම පැවරුමක් අපි සලකන්නේ ගොඩක් වටින එකක් විදිහට. (ගීතා. 27:4; 84:10) සහෝදරයෙක් සංවිධානයේ වගකීම් දරන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා නම් ඒක හොඳ දෙයක්. බයිබලේ කියන්නෙත් “යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය” කියලා. (1 තිමෝ. 3:1) ඒත් කෙනෙක්ට වගකීමක් ලැබුණාම එයා හිතන්න හොඳ නැහැ දැන් එයා අනිත් අයට වඩා වැදගත් කියලා. (ලූක් 17:7-10) එයාගේ ඉලක්කය වෙන්න ඕනෙ නිහතමානීව අනිත් අයට සේවය කරන එකයි.—2 කොරි. 12:15.

8. දියොත්‍රෙෆස්, උසියා රජු සහ අබ්සලොම්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 තමන් ගැන ඕනෑවට වඩා හිතපු අය ගැන බයිබලේ සඳහන් වෙනවා. දියොත්‍රෙෆස් ඒ වගේ කෙනෙක්. එයාට ඕනෙ වුණා සභාවේ සහෝදරයන් අතර “මුල් තැන” ගන්න. (3 යොහ. 9) උසියා රජ හරිම උඩඟු විදිහට යෙහෝවා දෙවියන් එයාට භාර දුන්නේ නැති පැවරුමක් කරන්න හැදුවා. (2 ලේක. 26:16-21) අබ්සලොම් රජ වෙන්න තිබුණ කැමැත්ත නිසා කපටි විදිහට මිනිසුන්ගේ හිත් දිනාගන්න හැදුවා. (2 සාමු. 15:2-6) තමාටම ගෞරවය ලබාගන්න හදන අයට යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා ඒ වාර්තාවලින් පැහැදිලියි. (හිතෝ. 25:27) උඩඟු, අනිත් අයගේ වර්ණනාව බලාපොරොත්තුවෙන් වැඩ කරන අයට අන්තිමට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.—හිතෝ. 16:18.

9. යේසුස් තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

9 යේසුස් ඒ තුන්දෙනාට වඩා කොච්චර වෙනස්ද! “ඔහු දෙවිට යම් සමානකමක් දැරුවත් තමන් දෙවිගේ තැන ගෙන දෙවිට සමාන විය යුතුයි කියා කිසි ලෙසකින්වත් සිතුවේ නැත.” (ෆිලි. 2:6) යෙහෝවා දෙවියන්ට පස්සේ විශ්වයේ ඉන්න බලවත්ම කෙනා යේසුස්. ඒත් ඔහු තමන් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා “උතුම් වන්නේ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි” කියලා. (ලූක් 9:48) යේසුස්ව ආදර්ශයට අරන් නිහතමානීව වැඩ කරන පුරෝගාමීන්, සහායක සේවකයන්, වැඩිමහල්ලන් සහ චාරිකා සේවකයන් එක්ක එකට වැඩ කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද! නිහතමානීව වැඩ කරද්දී අපි දෙවියන්ගේ සැබෑ සේවකයන් කියලා ඔප්පු වෙනවා.—යොහ. 13:35.

10. වැඩිමහල්ලන් සභාවේ තියෙන සමහර ප්‍රශ්න හරියට විසඳන්නේ නැහැ කියලා ඔයාට හිතෙනවා නම් ඔයා මොනවාද කරන්න ඕනේ?

10 සභාවේ සමහර ප්‍රශ්න වැඩිමහල්ලන් විසඳන්නේ නැහැ කියලා ඔයාට හිතෙනවා නම් මොනවාද කරන්න ඕනේ? විවේචනය කරනවා වෙනුවට පෙරමුණ අරන් වැඩ කරන අයට සහය දීලා ඔයා නිහතමානී කෙනෙක් කියලා පෙන්නන්න. (හෙබ්‍රෙ. 13:17) ඒකට ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘සභාවේ ප්‍රශ්න විදිහට මං දකින දේවල් ඇත්තටම බරපතළ ප්‍රශ්නද? ඒවා නිවැරදි කරන්න සුදුසු කාලය මේකද? ඒවා නිවැරදි කරන එක මට අයිති වැඩක්ද? මට ඇත්තටම ඕනෙ සභාවේ එක්සත්කම වැඩි කරන්නද? නැත්නම් අනිත් අය අතරේ කැපීපේන්නද?’

තමන්ට ලැබුණ වගකීමක් ඉටු කරද්දී අනිත් අය එයාගේ හැකියාවන් විතරක් නෙමෙයි එයාගේ නිහතමානිකමත් දකින්න ඕනේ (11 ඡේදය බලන්න) *

11. එෆීස 4:2, 3 අනුව අපි නිහතමානීව යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී ලැබෙන ප්‍රතිඵල මොනවාද?

11 අපිට තියෙන හැකියාවන්වලට වඩා යෙහෝවා දෙවියන්ට වටින්නේ අපේ නිහතමානිකමයි. දේවල් තිතටම කරනවාට වඩා ඔහුට වටින්නේ සභාවේ එක්සත්කමයි. ඒ නිසා මොන පැවරුම ලැබුණත් ඒක නිහතමානීව කරන්න උත්සාහ කරන්න. එතකොට සභාවේ එක්සත්කමට දායක වෙන්න ඔයාට පුළුවන්. (එෆීස 4:2, 3 කියවන්න.) පුළුවන් උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙන්න. අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. සභාවේ වගකීම් දරන්නේ නැති අය ඇතුළුව හැමෝටම ආගන්තුක සත්කාරය පෙන්නන්න. (මතෙ. 6:1-4; ලූක් 14:12-14) ඔයා දිගටම නිහතමානීව ඔයාගේ සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා සේවය කරද්දී ඔයාට තියෙන හැකියාවන් විතරක් නෙමෙයි ඔයා නිහතමානී කෙනෙක් කියලත් එයාලට පැහැදිලි වෙයි.

සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරද්දී නිහතමානිකම පෙන්නන්න

12. යාළුවන්ව ඇසුරු කරන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද? පැහැදිලි කරන්න.

12 යෙහෝවා දෙවියන් කැමති අපි පවුලේ අය, යාළුවන් එක්ක සතුටින් කාලය ගත කරනවාටයි. (ගීතා. 133:1) යේසුස්ටත් යාළුවෝ හිටියා. (යොහ. 15:15) හොඳ යාළුවෝ ඉන්න එක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා බයිබලේ කතා කරලා තියෙනවා. (හිතෝ. 17:17; 18:24) අනිත් අයගෙන් වෙන් වෙලා තනියම ඉන්න එක අනතුරුදායකයි කියලත් බයිබලේ කියනවා. (හිතෝ. 18:1) ගොඩක් යාළුවෝ ආශ්‍රය කරන්න, තනිකම මකාගන්න හොඳ විදිහක් තමයි සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරන එක කියලා හුඟදෙනෙක්ට හැඟෙනවා. ඒත් ඒවා පාවිච්චි කරද්දී අපි පරෙස්සම් වෙන්න ඕනෙ පැති තියෙනවා.

13. සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරන සමහරුන්ට තනිකමක්, මානසික අවපීඩනයක් දැනෙන්නේ ඇයි?

13 අනිත් අය සමාජ ජාල වෙබ් අඩවිවලට දාන ෆොටෝස්, අදහස් බලන්න ලොකු කාලයක් වැය කරන අයට තනිකමක්, මානසික අවපීඩනයක් දැනෙන්න පුළුවන්. මොකද හුඟදෙනෙක් ඒවාට දාන්නේ එයාලගේ ජීවිතේ කැපීපේන අවස්ථාවලදී ගත්ත ෆොටෝස්. එයාලගෙත් එයාලගේ යාළුවන්ගෙත් එයාලා ගිය තැන්වලත් ගත්ත හොඳම ෆොටෝස් තමයි එයාලා තෝරලා දාන්නේ. ඒවා බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘ඒ අය ගත කරන ජීවිත එක්ක බලද්දී මං ගත කරන්නේ හරිම ඒකාකාරී ජීවිතයක්නේ’ කියලා. වයස 19ක සහෝදරියක් මෙහෙම කියනවා. “මං ගෙදර කම්මැළිකමේ ඉද්දී අනිත් අය සති අන්තය හරිම විනෝදයෙන් ගත කරනවා දැක්කාම මට ලොකු දුකක් දැනුණා.”

14. සමාජ ජාල වෙබ් අඩවි ඥානවන්තව පාවිච්චි කරන්න 1 පේතෘස් 3:8 තියෙන උපදෙස අපිට උදව් වෙන්නේ කොහොමද?

14 සමාජ ජාල වෙබ් අඩවි අපිට ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. උදාහරණෙකට අපිට පුළුවන් ඒවා පාවිච්චි කරලා පවුලේ අය, යාළුවෝ එක්ක කතාබහ කරන්න. තොරතුරු හුවමාරු කරගන්න. ඒත් සමහරු සමාජ ජාල වෙබ් අඩවිවලට දාන ෆොටෝස්, වීඩියෝස් සහ අදහස්වලින් පේනවා එයාලා හදන්නේ කැපීපේන්න කියලා. “බලන්නකෝ මං කරන දේවල් දිහා” කියන අදහස දෙන්නයි එයාලට ඕනේ. සමහරු තමන් දාන ෆොටෝස් ගැන නැත්නම් අනිත් අය දාන ෆොටෝස් ගැන නපුරු, හරිම කැත දේවල් ලියනවා. ඒත් ඒක බයිබලේ ක්‍රිස්තියානීන්ට කරන්න කියලා තියෙන දේට පටහැනියි. මොකද බයිබලේ ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ නිහතමානීව සහෝදර ස්නේහය ඇතුව වැඩ කරන්න කියලයි.—1 පේතෘස් 3:8 කියවන්න.

ඔයා ඔන්ලයින් ෆොටෝස් දානවා නම් ඒවාවලින් පේන්නේ ඔයා පම්පෝරි ගහන කෙනෙක් කියලාද නැත්නම් නිහතමානී කෙනෙක් කියලාද? (15 ඡේදය බලන්න)

15. අපි අනිත් අයට වඩා වැදගත් කියන ආකල්පය නැති කරගන්න බයිබලේ අපිට උදව් කරන්නේ කොහොමද?

15 ඔයා සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරනවා නම් මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං දාන ෆොටෝස්, වීඩියෝස් සහ අදහස් දැක්කාම මං මං ගැනම පම්පෝරි ගහනවා කියලා අනිත් අයට හිතෙයිද? මං ඒවාට දාන දේවල් නිසා අනිත් අයගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙයිද?’ බයිබලේ කියන්නේ “මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත් තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත් තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත් පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය” කියලයි. (1 යොහ. 2:16) එක බයිබල් පරිවර්තනයක “තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව” කියන කොටස පරිවර්තනය කරලා තියෙන්නේ “වැදගත් කෙනෙක් හැටියට පෙනී ඉන්න තියෙන කැමැත්ත” හැටියටයි. අපි වැදගත් අය කියන හැඟීමෙන් වැඩ කරන්න අපිට ඕනෙ නැහැ. අනිත් අයගේ වර්ණනා ලබාගන්නත් අපිට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට “අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු” කියලා බයිබලේ සඳහන් වෙන උපදෙසට කීකරු වෙන්න උත්සාහ කරමු. (ගලා. 5:26) අපි නිහතමානීව වැඩ කරන අය නම් මේ ලෝකේ වැඩිදෙනෙක් වගේ අපි ආඩම්බර වෙන්නේ නැහැ. අනිත් අයට වඩා අපි වැදගත් කියලා හිතන්නෙත් නැහැ.

“හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න”

16. අපි ආඩම්බර නොවී ඉන්න ඕනෙ ඇයි?

16 උඩඟු කෙනෙක්ට “හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න” බැහැ. ඒ නිසා අපි නිහතමානිකම වර්ධනය කරගන්න ඕනේ. (රෝම 12:3) උඩඟු කෙනෙක් හිස උදුම්මාගෙන ඉන්නවා. නිතරම රණ්ඩුවලට පැටලෙනවා. ඒ වගේ අය හිතන විදිහ නිසා, කරන දේවල් නිසා ගොඩක් වෙලාවට එයාලටත් අනිත් අයටත් වෙන්නේ හානියක්. එයාලා හිතන විදිහ වෙනස් කරගත්තේ නැත්නම් සාතන් එයාලගේ මනස් අන්ධ කරලා දූෂ්‍ය කරයි. (2 කොරි. 4:4; 11:3) ඊට වෙනස්ව නිහතමානී කෙනෙක් හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරනවා. එයා තමන් ගැන අඩුවෙන් හිතන්නේවත් ඕනෑවට වඩා වැඩියෙන් හිතන්නේවත් නැහැ. එයා තේරුම්ගන්නවා අනිත් අය හුඟක් පැතිවලින් එයාට වඩා උසස් කියලා. (ෆිලි. 2:3) ඒ වගේම “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි” කියලත් එයා දන්නවා. (1 පේතෘ. 5:5) හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක්ට ඕනෙ නැහැ යෙහෝවා දෙවියන්ව තමන්ගේ සතුරෙක් කරගන්න.

17. දිගටම නිහතමානීව ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

17 බයිබලේ කියන මේ උපදෙස අපි අදාළ කරගන්නවා නම් දිගටම නිහතමානීව ඉන්න අපිට පුළුවන්. “පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කර, දෙවි ලබා දෙන අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.” ඒක කරන්න අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනේ. යේසුස්ගේ ආදර්ශය අධ්‍යයනය කරලා ඔහුව කිට්ටුවෙන් අනුගමනය කරන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. (කොලො. 3:9, 10; 1 පේතෘ. 2:21) අපි දරන ඒ උත්සාහය නිසා අපිට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නිහතමානිකම වර්ධනය කරගද්දී අපේ පවුල් ජීවිතේ සතුට වැඩි වෙනවා. සභාවේ එක්සත්කමට දායක වෙන්න අපිට පුළුවන්. අපි සමාජ ජාල වෙබ් අඩවි හරහා අපි ගැන පුරසාරම් දොඩන්නෙත් නැහැ. අපි ජීවිතේ ගත කරන විදිහ නිසා යෙහෝවා දෙවියන් අපි ගැන සතුටු වෙන එක ඒ හැම දේකටම වඩා වටිනවා.

ගීතිකාව 117 දෙවිගේ යහපත්කම

^ 5 ඡේ. අපි ජීවත් වෙන්නේ උඩඟු, ආත්මාර්ථකාමී මිනිසුන් පිරුණු ලෝකෙක. පරෙස්සම් වුණේ නැත්නම් අපිත් ඒ අය වගේ වෙයි. අපි ගැන අපි ඕනෑවට වඩා හිතන්න පෙලඹෙන්න පුළුවන් පැති තුනක් ගැන මේ ලිපියෙන් බලනවා.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: උඩඟු කෙනෙක් අනිත් අයට වඩා තමන් ගැනයි හිතන්නේ. ඒ නිසා උඩඟු කෙනෙක් ආත්මාර්ථකාමියි. ඒත් කෙනෙක් නිහතමානී නම් අනිත් අයට වඩා තමන් වැදගත් කියලා එයා හිතන්නේ නැහැ.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් සමුළුවක දක්ෂ විදිහට දේශනයක් දෙනවා. යම් අංශයක පෙරමුණ අරන් වැඩ කරනවා. ඒ සහෝදරයා දේශනා සේවයේ පෙරමුණ අරන් වැඩ කරන එක සහ නමස්කාර මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීම්වලට හවුල් වෙන්න ලැබුණ එකත් ගොඩක් අගය කරනවා.