Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 29

“මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි”

“මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි”

“ක්‍රිස්තුස් වෙනුවෙන් මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ඉවසන්නෙමි. ඊට අමතරව නින්දා අපහාසවලටත් අගහිඟකම්වලටත් විවිධ පීඩා හා දුෂ්කරතාවලටත් මුහුණ දෙන්නෙමි.”—2 කොරි. 12:10.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

මේ ලිපියෙන් *

1. පාවුල් තමන් ගැන කිව්වේ මොනවාද?

සමහර අවස්ථාවලදී එයා දුර්වලයි කියලා පාවුල්ට හැඟුණා. එයාගේ ශරීරය ‘දිරාපත් වෙනවා’ කියලත් හරි දේ කරන්න එයා ලොකු සටනක් කරනවා කියලත් එයා කිව්වා. ඒ වගේම එයා බලාපොරොත්තු වුණ විදිහටම යෙහෝවා දෙවියන් හැම තිස්සෙම එයාගේ යාච්ඤාවලට උත්තර දුන්නේ නැහැ කියලත් පාවුල් කිව්වා. (2 කොරි. 4:16; 12:7-9; රෝම 7:21-23) එයාගේ සතුරන් එයාව දැක්කේ දුර්වල කෙනෙක් විදිහට කියලා පාවුල් කිව්වා. * ඒත් අනිත් අය එයා ගැන කිව්ව නරක දේවල් නිසාවත් එයාගේ දුර්වලකම්, එයා අතින් වුණ අඩුපාඩුකම් නිසාවත් තමන්ගේ කිසි වටිනාකමක් නැහැ කියලා පාවුල් හිතුවේ නැහැ.—2 කොරි. 10:10-12, 17, 18.

2. 2 කොරින්ති 12:9, 10 අනුව පාවුල් ඉගෙනගත්ත වටිනා පාඩම මොකක්ද?

2 තමන් දුර්වලයි කියලා කෙනෙක්ට හැඟුණත් එයාට බලවත් වෙන්න පුළුවන් කියන වටිනා පාඩම පාවුල් ඉගෙනගත්තා. (2 කොරින්ති 12:9, 10 කියවන්න.) “ඔබේ දුර්වලකම තුළින් මගේ බලය සම්පූර්ණයෙන්ම දැකගත හැකිය” කියලා යෙහෝවා දෙවියන් පාවුල්ට කිව්වා. ඒ කියන්නේ යම් දෙයක් සඳහා තමන්ට තියෙන ශක්තිය මදි කියලා පාවුල්ට හැඟෙද්දී යෙහෝවා දෙවියන් ඔහුගේ බලය දීලා ඒ අඩුව පිරෙව්වා. අපේ විරුද්ධවාදීන් අපිට නින්දා අපහාස කරද්දී අපි ඒ ගැන ඕනෑවට වඩා කරදර වෙන්න ඕනෙ නැත්තේ ඇයි කියලා දැන් අපි බලමු.

ඉතා සතුටින් නින්දාවලට මුහුණ දෙන්න

3. ඉතා සතුටින් අපිට නින්දා අපහාසවලට මුහුණ දෙන්න පුළුවන් ඇයි?

3 නින්දා අපහාසවලට මුහුණ දෙන්න අපි කවුරුත් කැමති නැහැ. ඒත් අපේ සතුරන් අපිට අපහාස කරද්දී එයාලා කියන දේවල් ගැන අපි ඕනෑවට වඩා හිතන්න ගියොත් අපි අධෛර්යය වෙයි. (හිතෝ. 24:10) සතුරන් අපිට කරන නින්දා අපි සලකන්න ඕනෙ කොහොමද? පාවුල් වගේ අපිට පුළුවන් ‘නින්දා අපහාසවලට ඉතා සතුටින් මුහුණ දෙන්න.’ (2 කොරි. 12:10) ඒ ඇයි? මිනිසුන් අපිට නින්දා අපහාස කරද්දී, අපිට විරුද්ධවාදීකම් එල්ල කරද්දී ඒකෙන් ඔප්පු වෙනවා අපි යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කියලා. (1 පේතෘ. 4:14) ඔහුගේ අනුගාමිකයන්ට විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා යේසුස් කිව්වා. (යොහ. 15:18-20) මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ඒක අද්දැක්කා. ග්‍රීක සංස්කෘතියේ බලපෑමට අහු වෙලා හිටපු අය ක්‍රිස්තියානීන්ව සැලකුවේ උගත්කමින් අඩු, පහත් කට්ටියක් හැටියට. යුදෙව්වන්ට ක්‍රිස්තියානීන් ගැන තිබුණෙත් ඒ වගේම අදහසක්. උදාහරණෙකට එයාලා පේතෘස් සහ යොහන් ගැන කිව්වේ “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” කියලා. (ක්‍රියා 4:13) සමාජයේ වැඩිදෙනෙක්ට ක්‍රිස්තියානීන් ගැන ඒ වගේ අදහසක් තිබුණේ එයාලා දුර්වලයි වගේ පෙනුණ නිසයි. එයාලට දේශපාලනය අතින් කිසිම සහයක් ලැබුණේ නැහැ. යුධ බලයක් එයාලට තිබුණේ නැහැ. එදා සමාජයෙන් එයාලව කොන් කරලයි තිබුණේ.

4. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ගැන මිනිසුන් නරක දේවල් කියද්දී එයාලා මොකද කළේ?

4 සතුරන් එයාලට කරපු අපහාස නිසා මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එයාලගේ කාර්යය අත්හැරලා දැම්මේ නැහැ. යේසුස්ව අනුගමනය කරන නිසාත් ඔහුගේ ඉගැන්වීම් අනිත් අයට උගන්වන නිසාත් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න ලැබුණ එක පේතෘස් සහ යොහන් සැලකුවේ ගෞරවයක් විදිහට. (ක්‍රියා 4:18-21; 5:27-29, 40-42) සමාජයේ අය තමන්ට සලකපු විදිහ ගැන ලැජ්ජා වෙන්න යේසුස්ගේ අනුගාමිකයන්ට කිසිම හේතුවක් තිබුණේ නැහැ. මිනිසුන් එයාලට අගෞරව කළත් එයාලා අනිත් අය වෙනුවෙන් ගොඩක් යහපත් දේවල් කළා. ඒ කිසිම දෙයක් එයාලගේ සතුරන් කළේ නැහැ. උදාහරණෙකට ඒ ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙක් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියපු සමහර පොත් අදටත් මිලියන ගාණකට ප්‍රයෝජනවත්. එදා එයාලා දේශනා කරපු දේවරාජ්‍යයේ පාලනය දැන් පටන් අරන්. ඒ රාජ්‍යය ළඟදීම පොළොවේ පාලනය භාරගන්නවා. (මතෙ. 24:14) එදා ක්‍රිස්තියානීන්ට දරුණු විරුද්ධවාදිකම් එල්ල කරපු බලවත් අධිරාජ්‍යය මේ වෙද්දී ඉතිහාසයට එකතු වෙලා. ඒත් ඒ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් දැන් ස්වර්ගයේ රජවරුන්. එයාලගේ විරුද්ධවාදීන් මැරිලා ගිහින්. ඒ අයව කවදා හරි නැවත නැඟිට්ටෙව්වොත් එයාලා ජීවත් වෙන්න යන්නේ එයාලා වෛර කරපු ක්‍රිස්තියානීන්ගේ පාලනය යටතේ.—එළි. 5:10.

5. යොහන් 15:19 අනුව අනිත් අය යෙහෝවා දෙවියන්ගේ සෙනඟව පහත් කරලා සලකන්නේ ඇයි?

5 අදත් සමහරු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පහත් කරලා සලකනවා. එයාලට නින්දා කරනවා. මොකද එයාලා හිතන්නේ සාක්ෂිකරුවන් කියන්නේ උගත්කමින් අඩු, සමාජයේ කිසිම පිළිගැනීමක් නැති කට්ටියක් කියලා. එයාලා එහෙම හිතන්නේ ඇයි? ඒකට එක හේතුවක් තමයි මේ සමාජයේ තියෙන ආකල්පවලට අපි එකඟ වෙන්නේ නැති එක. ඒ වගේම අද ලෝකේ තැනක් තියෙන්නේ උඩඟු, අහංකාර, කැරලිකාර අයටයි. ඒත් අපි නිතරම උත්සාහ කරන්නේ යටහත්පහත්ව මෘදුකමින් වැඩ කරන්න. අපි ලෝකේ කොහේ ජීවත් වුණත් කිසිම විදිහකින් දේශපාලනයට, යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ. ලෝකේ අච්චුවට අපිව දාන්න බැරි නිසා මේ සමාජයේ අය අපිව පහත් කරනවා.—යොහන් 15:19 කියවන්න; රෝම 12:2.

6. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට උදව් කරන්නේ මොන ශ්‍රේෂ්ඨ දේවල් කරන්නද?

6 හරිම දුර්වල, කිසිම දෙයක් කරන්න බැරි සෙනඟක් හැටියට මේ සමාජයේ අය අපිව දැක්කත් ශ්‍රේෂ්ඨ දේවල් කරන්න යෙහෝවා දෙවියන් අපිව පාවිච්චි කරනවා. ඉතිහාසයේ වෙන කවරදාකවත් කරලා නැති විදිහට දේශනා කිරීමේ කාර්යය අද ලෝකේ පුරාම කරනවා. වැඩිම භාෂා ගාණකට පරිවර්තනය කරන, වැඩිම ප්‍රමාණයක් බෙදාහරින සඟරා ප්‍රකාශයට පත් කරන්නේ ඔහුගේ සෙනඟයි. ඒ වගේම එයාලා බයිබලය යොදාගෙන මිලියන ගාණකට එයාලගේ ජීවිත වෙනස් කරගන්න උදව් කරනවා. දුර්වලයි වගේ පේන සෙනඟක් මාර්ගයෙන් ඒ තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරන්න දෙවියන්ට පුළුවන් නම් අපි එක් එක් කෙනාව බලවත් කරන්න ඔහුට බැරිද? එහෙමනම් ඔහුගේ උදව් ලබාගන්න අපි මොනවාද කරන්න ඕනේ? පාවුල්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේවල් තුනක් දැන් අපි බලමු.

ඔයාගේ හැකියාව මත රඳා ඉන්න එපා

7. පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් එක දෙයක් මොකක්ද?

7 පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් එක දෙයක් තමයි යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී ඔයාගේ ශක්තිය නැත්නම් හැකියාවන් මත රඳා ඉන්න එපා කියන දේ. මිනිසුන්ගේ කෝණයෙන් බලද්දී පාවුල්ට ආඩම්බර වෙන්න, තමන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඕනෙ තරම් හේතු තිබුණා. එයා හැදී වැඩුණේ රෝමයට අයිති පළාතක අගනුවරක් වුණ ටාසස්වල. ටාසස් කියන්නේ ධනවත් නගරයක්. එහේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකුත් තිබුණා. පාවුලුත් ඉහළට ඉගෙනගත්ත කෙනෙක්. එයා ඉගෙනගත්තේ ඒ කාලේ ප්‍රසිද්ධ යුදෙව් නායකයෙක් වුණ ගමාලියෙල් ළඟ. (ක්‍රියා 5:34; 22:3) යුදෙව්වන් අතරේ පාවුල්ට හොඳ පිළිගැනීමක් තිබුණා. පාවුල්ම මෙහෙම කිව්වා. “මගේ ජාතියට අයත් මගේම වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා මම යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලබමින් සිටියෙමි.” (ගලා. 1:13, 14; ක්‍රියා 26:4) ඒත් යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී පාවුල් කවදාවත් එයාගේ හැකියාවන් මත විශ්වාසය තියලා වැඩ කළේ නැහැ.

යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ලැබුණ එක පාවුල් කොච්චර වටින දෙයක් විදිහට සැලකුවාද කියනවා නම් ලෝකේ මිනිසුන් මහ ඉහළින් සලකපු දේවල් එයා “කුණු ගොඩක්” හැටියට සැලකුවා (8 ඡේදය බලන්න) *

8. ෆිලිප්පි 3:8 අනුව අත්හැරලා දාපු දේවල් ගැන පාවුල්ට හැඟුණේ කොහොමද? එයා එයාගේ ‘දුර්වලකම් ඉතා සතුටින් දරාගත්තේ’ ඇයි?

8 ලෝකේ අය මහ ඉහළින් සලකපු දේවල් පාවුල් දෙපාරක් හිතන්නේ නැතුව අත්හැරලා දැම්මා. එයා තේරුම්ගත්තා ඒ දේවල් නිකම්ම “කුණු ගොඩක්” විතරයි කියලා. (ෆිලිප්පි 3:8 කියවන්න.) යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එයා ගත්ත තීරණය නිසා එයා ගොඩක් ප්‍රශ්න අද්දැක්කා. එයාගෙම ජාතියේ අය එයාට වෛර කළා. (ක්‍රියා 23:12-14) රෝම පුරවැසියෙක් වුණ පාවුල්ට රෝමවරුන්ම කීප වතාවක්ම ගැහුවා. එයාව හිරේට දැම්මා. (ක්‍රියා 16:19-24, 37) එයාගෙම දුර්වලකම් නිසා හරි දේ කරන්න එයාට ලොකු සටනක් කරන්න වෙනවා කියලා පාවුල් තේරුම්ගත්තා. (රෝම 7:21-25) ඒත් විරුද්ධවාදීන් නිසාවත් එයාගෙම දුර්වලකම් නිසාවත් පාවුල් යේසුස්ව අනුගමනය කරන එක අත්හැරියේ නැහැ. ඒ වෙනුවට එයා එයාගේ ‘දුර්වලකම් ඉතා සතුටින් ඉවසුවා.’ මොකද දුර්වල වෙලා ඉද්දී දෙවියන් ඔහුගේ බලය දීලා එයාව බලවත් කරන විදිහ එයා අද්දැක්කා.—2 කොරි. 4:7; 12:10.

9. මිනිසුන් අපිව දුර්වල අය හැටියට සලකන්නේ ඇයි? ඒ දේවල් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

9 අපිට තියෙන ශරීර ශක්තිය, අපි ලබලා තියෙන අධ්‍යාපනය, අපේ පවුල් පසුබිම, වත්පොහොසත්කම් නිසා අපි වටින අය කියලා අපිට හිතෙනවා නම් දෙවියන් අපිව බලවත් කරන විදිහ අපිට අද්දකින්න බැහැ. මොකද දෙවියන් අපිව පාවිච්චි කරන්නේ ඒ දේවල් දිහා බලලා නෙමෙයි. ඇත්තටම දෙවියන්ගේ සේවකයන්ගෙන් වැඩිදෙනෙක් ‘මිනිසුන් ප්‍රඥාවන්තයන් ලෙස සලකන අයවත් ඉහළ තනතුරුවල වැජඹෙන අයවත් සමාජයේ ඉහළ පැළැන්තිවල සිටින අයවත්’ නෙමෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන් හැටියට තෝරගෙන තියෙන්නේ ‘මේ ලෝකේ මිනිසුන් දුර්වලයි කියලා සලකන’ අයවයි. (1 කොරි. 1:26, 27) මේ ඡේදයේ මුලින් සඳහන් කරපු දේවල් ඔයාට නැති එක යෙහෝවා දෙවියන්ට සේවය කරන්න බාධාවක් නෙමෙයි. ඇත්තම කියනවා නම් මිනිසුන් මහ ඉහළින් සලකන ඒ දේවල් නැති කෙනෙක්ට යෙහෝවා දෙවියන් එයාව බලවත් කරන විදිහ තව වැඩියෙන් අද්දකින්න අවස්ථාව ලැබෙනවා. උදාහරණෙකට අනිත් අය ඔයා විශ්වාස කරන දේවල් හෑල්ලුවට ලක් කරද්දී ඔයාට බයක් දැනෙනවා නම් ඔයාගේ විශ්වාසයන් ගැන කතා කරන්න අවශ්‍ය ධෛර්යය දෙවියන්ගෙන් ඉල්ලන්න. (එෆී. 6:19, 20) බරපතළ අසනීප තත්වයක් නිසා ඔයා දුෂ්කරතා අද්දකින කෙනෙක් නම් පුළුවන් උපරිමයෙන් සේවය කරන්න අවශ්‍ය ශක්තිය දෙවියන්ගෙන් ඉල්ලන්න. යෙහෝවා දෙවියන්ගේ උදව් ඔයා අද්දකින හැම අවස්ථාවකදීම ඔයාගේ විශ්වාසය ශක්තිමත් වෙනවා වගේම ඔයා තවත් බලවත් වෙනවා.

බයිබල් චරිතවලින් ඉගෙනගන්න

10. බයිබලේ සඳහන් වෙන විශ්වාසවන්ත අය ගැන, උදාහරණෙකට හෙබ්‍රෙව් 11:32-34 සඳහන් වෙන අය ගැන අපි අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?

10 පාවුල් හරිම උනන්දුවෙන් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරපු කෙනෙක්. එහෙම කරද්දී යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශවලින් පාවුල් ගොඩක් දේවල් ඉගෙනගත්තා. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියපු ලිපියේ පාවුල් එයාලට උනන්දු කළා විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශ ගැන හිතන්න කියලා. (හෙබ්‍රෙව් 11:32-34 කියවන්න.) ඒ වගේ එක විශ්වාසවන්ත සේවකයෙක් තමයි දාවිත් රජ. එයාගේ සතුරන්ගෙන් විතරක් නෙමෙයි එයා යාළුවන් හැටියට සලකපු අයගෙන් ආපු විරුද්ධවාදිකම්වලටත් මුහුණ දෙන්න එයාට වුණා. දාවිත්ගේ ආදර්ශය දියා බලද්දී අපිට තේරුම්ගන්න පුළුවන් දාවිත්ගේ ආදර්ශය පාවුල්ට උදව් වුණේ කොහොමද කියලා. පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

බැලූ බැල්මට දාවිත් දුර්වලයි වගේ පෙනුණාට ගොලියත් එක්ක සටන් කරන්න එයා බය වුණේ නැහැ. දාවිත් දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කළා. එයා දැනන් හිටියා ගොලියත්ව පරාජය කරන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් එයාට දෙනවා කියලා (11 ඡේදය බලන්න)

11. දාවිත් දුර්වලයි වගේ පෙනුණේ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

11 යුධ දක්ෂයෙක් වුණ යෝධ ගොලියත් දාවිත්ව දැක්කේ හරිම දුර්වල කෙනෙක් විදිහටයි. එයා දාවිත්ව දැක්කාම “සමච්චල් කරන්න” පටන්ගත්තා. ඇත්තටම ගොලියත් හරිම උස මහත කෙනෙක්. එයාට සටන් කරන්න අවශ්‍ය ආයුධ තිබුණා වගේම සටන් කරන්න හොඳ පුහුණුවකුත් ලැබිලා තිබුණා. දාවිත්ට ඒ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒත් එයා ගොලියත්ට වඩා ගොඩක් බලවත්. මොකද එයා සටනට ගියේ යෙහෝවා දෙවියන්ගේ බලය ගැන විශ්වාසය තියලා. අන්තිමේදී ගොලියත්ව පරාජය කරන්න දාවිත්ට පුළුවන් වුණා.—1 සාමු. 17:41-45, 50.

12. දාවිත්ට මුහුණ දෙන්න වුණේ තවත් මොන වගේ අභියෝගයකටද?

12 දාවිත්ට මුහුණ දෙන්න වුණ තවත් අභියෝගයක් බලන්න. එයා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙලයේ රජු විදිහට පත් කරපු සාවුල්ට විශ්වාසවන්තව සේවය කළා. මුලින් සාවුල් රජ දාවිත්ට හොඳින් සැලකුවා. ඒත් පස්සේ සාවුල්ට දාවිත් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණ නිසා එයාට නපුරු විදිහට සලකන්න පටන්ගත්තා. එයාව මරන්නත් උත්සාහ කළා. ඒ දේවල් නිසා තමන්ට කරකියාගන්න දෙයක් නැහැ කියන හැඟීම දාවිත් තුළ ලේසියෙන්ම ඇති වෙන්න ඉඩ තිබුණා.—1 සාමු. 18:6-9, 29; 19:9-11.

13. සාවුල් රජ දාවිත්ට නපුරු විදිහට සලකද්දී එයා මොකද කළේ?

13 සාවුල් රජ දාවිත්ට අසාධාරණ විදිහට සැලකුවත් දාවිත් දිගටම යෙහෝවා දෙවියන් පත් කරපු රජුට ගෞරවයෙන් සැලකුවා. (1 සාමු. 24:6) සාවුල් කරපු නපුරු දේවල් නිසා දාවිත් යෙහෝවා දෙවියන්ට දොස් කිව්වේ නැහැ. ඒ වෙනුවට ඒ අමාරු අභියෝගය දරාගන්න එයා යෙහෝවා දෙවියන් මත රඳා හිටියා.—ගීතා. 18:1, හැඳින්වීම.

14. දාවිත් මුහුණ දුන්නා හා සමාන දෙයකට පාවුල් මුහුණ දුන්නා කියන්නේ ඇයි?

14 දාවිත් මුහුණ දුන්නා වගේ දේකට පාවුලුත් මුහුණ දුන්නා. පාවුල්ගේ විරුද්ධාවාදීනුත් එයාට වඩා ගොඩක් බලවත් අය. එයාගේ කාලේ හිටපු ප්‍රබල නායකයන් එයාට වෛර කළා. හුඟක් අවස්ථාවලදී ඒ නායකයන්ගේ බලපෑම නිසා පාවුල්ට ගහලා එයාව හිරේට දැම්මා. හරි නම් පාවුල්ට හොඳ යාළුවන් වෙන්න ඕන අය එයාට නපුරු විදිහට සැලකුවා. සභාවේ හිටපු සමහරුන් එයාට විරුද්ධව වැඩ කළා. (2 කොරි. 12:11; ෆිලි. 3:18) ඒත් එයාට විරුද්ධව වැඩ කරපු ඒ අය නිසා පාවුල් දුර්වල වුණේ නැහැ. එහෙම කියන්නේ ඇයි? විරුද්ධවාදිකම් මැද එයා අත් නෑර දේශනා කළා. සහෝදර සහෝදරියන් එයාගේ හිත රිදෙන විදිහට වැඩ කළත් පාවුල් දිගටම එයාලට හොඳ යාළුවෙක් වුණා. ඒ හැම දේටම වඩා එයාගේ ජීවිතේ අවසානය දක්වාම එයා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. (2 තිමෝ. 4:8) ඒ හැම දෙයක්ම කරන්න එයාට පුළුවන් වුණේ පාවුල් එයාගේ ශක්තිය, හැකියාව ගැන විශ්වාසය තියලා වැඩ කරපු නිසා නෙමෙයි. එයා යෙහෝවා දෙවියන් මත රඳා හිටපු නිසයි.

ඔයාගේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන අයට ගෞරවයෙන් සහ කාරුණිකව ඒවා පැහැදිලි කරන්න (15 ඡේදය බලන්න) *

15. අපේ ඉලක්කය වෙන්න ඕනෙ මොකක්ද? ඒ ඉලක්කය ජය ගන්න අපිට පුළුවන් කොහොමද?

15 ඉස්කෝලේ ළමයින්ගේ, රැකියා ස්ථානයේ අයගේ, සාක්ෂිකරුවන් නොවන පවුලේ අයගේ නින්දා අපහාසවලට නැත්නම් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න ඔයාට සිද්ධ වෙලා තියෙනවාද? සභාවේ කෙනෙක් ඔයාට නපුරු විදිහට සලකලා තියෙනවාද? එහෙමනම් දාවිත්ගේ සහ පාවුල්ගේ ආදර්ශ මතක් කරගන්න. දිගටම “යහපතින් නපුරු දේවල් පරාජය කරන්න” ඔයාට පුළුවන්. (රෝම 12:21) මිනිසුන් අපිට විරුද්ධව වැඩ කරද්දී දාවිත් ගොලියත් එක්ක සටන් කළා වගේ අපි එයාලා එක්ක සටන් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපේ ඉලක්කය වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන් ගැනත් බයිබලය ගැනත් තේරුම්ගන්න ඒ අයට උදව් කරලා නපුර පරාජය කරන එකයි. මිනිසුන් අහන ප්‍රශ්නවලට බයිබලෙන් උත්තර දීලා, අපිට නපුරු විදිහට සලකන අයට වුණත් ගෞරවයෙන් කාරුණිකව සලකලා, අපේ සතුරන් ඇතුළුව හැමෝම වෙනුවෙන් යහපත් දේවල් කරලා අපිට ඒ ඉලක්කය ජය ගන්න පුළුවන්.—මතෙ. 5:44; 1 පේතෘ. 3:15-17.

අනිත් අයගේ උදව් ලබාගන්න

16-17. පාවුල්ට කවදාවත් අමතක වුණේ නැත්තේ මොකක්ද?

16 යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කලින් පාවුල් කාටවත් ගෞරවය කළේ නැති, ක්‍රිස්තියානීන්ට පීඩා කරපු කෙනෙක්. (ක්‍රියා 7:58; 1 තිමෝ. 1:13) කලින් සාවුල් විදිහට හඳුන්වපු පාවුල් ක්‍රිස්තියානි සභාවට පීඩා කරද්දී යේසුස් මැදිහත් වෙලා එයාව නැවැත්තුවා. යේසුස් ස්වර්ගයේ ඉඳන් පාවුල්ට කතා කරලා එයාව අන්ධ කළා. ආයෙත් පෙනීම ලබාගන්න පාවුල්ට සිද්ධ වුණා එයා පීඩා කරපු අයගෙන්ම උදව් ලබාගන්න. යේසුස්ගේ අනුගාමියෙක් වුණ අනනියස්ගේ උදව් එයා ලබාගත්ත නිසා එයාගේ පෙනීම ආයෙත් ලැබුණා.—ක්‍රියා 9:3-9, 17, 18.

17 පස්සේ කාලෙක පාවුල් ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ අරන් වැඩ කරන කෙනෙක් වුණා. ඒත් දමස්කයට යන අතරේ යේසුස් එයාට උගන්වපු පාඩම එයාට කවදාවත් අමතක වුණේ නැහැ. පාවුල් දිගටම නිහතමානීව සහෝදර සහෝදරියන් ලබා දීපු උදව් පිළිගත්තා. ඒ අයගේ උදව් එයාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” කියලා පාවුල් පිළිගත්තා.—කොලො. 4:10, 11.

18. අනිත් අයගේ උදව් ලබාගන්න සමහර වෙලාවට අපි අදිමදි කරන්නේ ඇයි?

18 පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? සත්‍යයට ආපු මුල් කාලේ අපිට ඉගෙනගන්න තව ගොඩක් දේවල් තියෙනවා කියලා දැනන් හිටපු නිසා අපි අනිත් අයගේ උදව් කැමැත්තෙන්ම පිළිගත්තා. (1 කොරි. 3:1, 2) තාමත් ඔයා අනිත් අයගේ උදව් කැමැත්තෙන්ම පිළිගන්නවාද? අපි අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දෙවියන්ට සේවය කරලා තියෙනවා නම් මේ වෙද්දී අපිට ගොඩක් අද්දැකීම් ඇති. ඒ නිසා අනිත් අයගේ උදව් ලබාගන්න මුලදී තිබුණා වගේ කැමැත්තක් දැන් නැතුව ඇති. විශේෂයෙන්ම ඒ උදව් අපිට ලබා දෙන්න ඉදිරිපත් වෙන්නේ අපි තරම්ම කාලයක් යෙහෝවා දෙවියන්ට සේවය කරපු නැති කෙනෙක් නම් ඒ උදව් පිළිගන්න අපි අදිමදි කරන්න පුළුවන්. ඒත් අපිව ශක්තිමත් කරන්න යෙහෝවා දෙවියන් නිතරම අපේ සහෝදර සහෝදරියන්ව පාවිච්චි කරනවා. (රෝම 1:11, 12) යෙහෝවා දෙවියන් ලබා දෙන ශක්තියෙන් බලවත් වෙන්න නම් අපි සහෝදර සහෝදරියන්ගේ උදව් පිළිගන්න ඕනේ.

19. පාවුල්ට යෙහෝවා දෙවියන් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණේ කොහොමද?

19 යේසුස්ගේ අනුගාමිකයෙක් වුණාට පස්සේ දෙවියන් වෙනුවෙන් යම් දේවල් කරන්න පාවුල්ට පුළුවන් වුණා. කොහොමද එයාට ඒවා කරන්න පුළුවන් වුණේ? මොකද එයා තේරුම්ගත්තා කෙනෙක් යටහත්පහත්ව යෙහෝවා දෙවියන් මත රඳා ඉන්නවා නම් ඕනෑම දෙයක් කරන්න යෙහෝවා දෙවියන්ට එයාව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකට එයාගේ පසුබිම, ශරීර ශක්තිය, ලබලා තියෙන අධ්‍යාපනය, වත්පොහොසත්කම් දෙවියන්ට වැදගත් නැහැ. අපි හැමෝම (1) යෙහෝවා දෙවියන් මත විශ්වාසය තියලා වැඩ කරලා, (2) බයිබලේ සඳහන් චරිතවලින් ඉගෙනගෙන, (3) සහෝදර සහෝදරියන්ගේ උදව් පිළි අරන් පාවුල්ව ආදර්ශයට ගන්න අදිටන් කරගමු. එතකොට අපි දුර්වලයි කියලා අපිට හැඟුණත් අපිව බලවත් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්.

ගීතිකාව 71 අප දෙවිගේ සේනාවයි

^ 5 ඡේ. පාවුල්ගේ ආදර්ශය ගැන අපි මේ ලිපියෙන් බලනවා. අපි නිහතමානී නම් අනිත් අය අපිට නින්දා අපහාස කරද්දී ඒවා විඳදරාගන්න අවශ්‍ය ශක්තියත් අපි දුර්වලයි කියලා හැඟෙද්දී ඒකෙන් ගොඩ එන්න අවශ්‍ය ශක්තියත් යෙහෝවා දෙවියන් දෙනවා කියලා අපි බලනවා.

^ 1 ඡේ. පැහැදිලි කිරීමක්: හේතු කීපයක් නිසා අපි දුර්වලයි කියලා අපිට හැඟෙන්න පුළුවන්. අපි පව්කාරයන් නිසා, අපි දුප්පත් නිසා, අපිට අසනීපයක් තියෙන නිසා, අපේ අධ්‍යාපන මට්ටම අඩු නිසා අපිට එහෙම හැඟෙන්න පුළුවන්. ඊට අමතරව අපේ සතුරන් අපි ගැන නරක දේවල් කියලා නැත්නම් අපිට පහර දීලා අපිව දුර්වල කරන්න හදනවා.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: පාවුල් යේසුස් ගැන දේශනා කරන්න ගියේ පරිසිවරයෙක් විදිහට එයා කලින් ගත කරපු ජීවිතේ අත්හැරලයි. එයා අත්හැරපු දේවලට පරිසිවරුන් පාවිච්චි කරපු ලියවිලි සහ ලියවිලි එහේ මෙහේ ගෙනියන්න උදව් වුණ පොඩි මල්ලක් ඇතුළත් වෙන්න ඇති.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: රැකියා ස්ථානයේ කෙනෙක්ගේ උපන් දින උත්සවයකට සහභාගි වෙන්න කියලා අනිත් අය සහෝදරයෙක්ට බල කරනවා.