Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 31

“සැබෑ අත්තිවාරමක් ඇති නුවර” දිහා ඔයා බලාගෙන ඉන්නවාද?

“සැබෑ අත්තිවාරමක් ඇති නුවර” දිහා ඔයා බලාගෙන ඉන්නවාද?

“ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.”—හෙබ්‍රෙ. 11:10.

ගීතිකාව 22 අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

මේ ලිපියෙන් *

1. හුඟක් අය කරලා තියෙන්නේ මොන වගේ කැප කිරීම්ද? එයාලා එහෙම කරලා තියෙන්නේ ඇයි?

අද ඉන්න මිලියන ගාණක් දෙවියන්ගේ සේවකයන් හුඟක් කැප කිරීම් කරලා තියෙනවා. සහෝදර සහෝදරියන් සමහරදෙනෙක් විවාහ නොවී ඉන්න තීරණය කරලා තියෙනවා. සමහර විවාහක යුවළයන් මේ කාලේදී දරුවන් හදන්නේ නැතුව ඉන්න තීරණය කරලා තියෙනවා. සමහර පවුල් එයාලගේ ජීවිත සරල කරගෙන තියෙනවා. ඒ හැමෝම ඒ වගේ කැප කිරීම් කරලා තියෙන්නේ දෙවියන්ට පුළුවන් උපරිමයෙන් සේවය කරන්න එයාලට තියෙන කැමැත්ත නිසයි. එයාලා ඉන්නේ සතුටින්. ඇත්තටම එයාලට ඕනෙ කරන දේවල් යෙහෝවා දෙවියන් දෙනවා කියලා එයාලට විශ්වාසයි. කරන ඒ කැප කිරීම් ගැන කවදා හරි එයාලට පසුතැවෙන්න වෙයිද? කොහොමටවත් නැහැ. අපි කොහොමද ඒ තරම් විශ්වාසයකින් ඒක කියන්නේ? ‘විශ්වාසවන්ත සියලුදෙනාගේම පියා’ වන ආබ්‍රහම්ව යෙහෝවා දෙවියන් බලාගත්ත විදිහෙන් අපිට ඒක ස්ථිර වෙනවා.—රෝම 4:11.

2. (අ) හෙබ්‍රෙව් 11:8-10, 16 අනුව ආබ්‍රහම් ඌර් දේශය අත්හැරලා ආවේ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 ආබ්‍රහම් දෙපාරක් හිතන්නේ නැතුව ඌර් දේශයේ ගත කරපු සැප පහසු ජීවිතය අත්හැරියා. ඒ ඇයි? මොකද එයා බලාගෙන හිටියේ “සැබෑ අත්තිවාරමක් ඇති නුවර පිහිටුවන තුරුයි.” (හෙබ්‍රෙව් 11:8-10, 16 කියවන්න.) මොකක්ද ඒ “නුවර”? ඒ “නුවර” පිහිටුවන කල් බලන් හිටපු කාලේ ආබ්‍රහම්ට මුහුණ දෙන්න වුණ අභියෝග මොනවාද? ආබ්‍රහම් සහ එයාව ආදර්ශයට ගත්ත අපේ කාලේ අය වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද?

“සැබෑ අත්තිවාරමක් ඇති නුවර” මොකක්ද?

3. ආබ්‍රහම් බලාගෙන හිටපු නුවර මොකක්ද?

3 ආබ්‍රහම් බලාගෙන හිටපු ඒ නුවර දේවරාජ්‍යයයි. දේවරාජ්‍යය හැදිලා තියෙන්නේ යේසුස් සහ අභිෂේක ලත් 1,44,000දෙනාගෙන්. පාවුල් ඒ රාජ්‍ය හැඳින්නුවේ “ජීවමාන දෙවිගේ නුවර වන ස්වර්ගීය යෙරුසලම” කියලයි. (හෙබ්‍රෙ. 12:22; එළි. 5:8-10; 14:1) දෙවියන්ගේ කැමැත්ත ස්වර්ගයේ වගේම පොළොවේ ඉටු කරන්න ඒ රාජ්‍යයට පැමිණෙන්න කියලා යාච්ඤා කරන්න කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා.—මතෙ. 6:10.

4. උත්පත්ති 17:1, 2, 6 අනුව යෙහෝවා දෙවියන් පොරොන්දු වුණු ඒ නුවර එහෙම නැත්නම් දේවරාජ්‍යය ගැන ආබ්‍රහම් දැනගෙන හිටියේ මොනවාද?

4 දේවරාජ්‍යය පිහිටුවන්නේ කොහොමද කියලා ආබ්‍රහම් දැනන් හිටියාද? නැහැ. මොකද සියවස් ගාණක් යන කල්ම ඒ තොරතුරු තිබුණේ “පරිශුද්ධ රහසක්” විදිහට. (එෆී. 1:8-10; කොලො. 1:26, 27) ඒත් ආබ්‍රහම් දැනන් හිටියා එයාගෙන් පැවතෙන සමහරු ඒ රාජ්‍යයේ රජවරු වෙනවා කියලා. මොකද යෙහෝවා දෙවියන් ඒ ගැන ආබ්‍රහම්ට පොරොන්දු වෙලයි තිබුණේ. (උත්පත්ති 17:1, 2, 6 කියවන්න.) දෙවියන්ගේ පොරොන්දු ගැන ආබ්‍රහම්ට කොච්චර විශ්වාසයක් තිබුණාද කියනවා නම් එයා වැඩ කළේ දේවරාජ්‍යයේ රජ වන අභිෂේක ලත් තැනැත්තා එහෙම නැත්නම් ගැලවුම්කරුව දැක්කා වගේ. ඒ නිසයි යේසුස් ඔහුගේ කාලේ හිටපු යුදෙව්වන්ට මෙහෙම කිව්වේ. “ඔබේ පියා වූ ආබ්‍රහම්, මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්. ඇත්තටම ඔහු ඒ දේවල් දැක්කා හා සමානයි. එයින් ඔහු මොන තරම් ප්‍රීතියක් ලැබුවාද!” (යොහ. 8:56) ඒකෙන් පැහැදිලියි ආබ්‍රහම් දැනගෙන හිටියා දෙවියන්ගේ අනුමැතිය තියෙන රාජ්‍යයක් එයාගෙන් පැවතෙන අයගෙන් බිහි වෙනවා කියලා. යෙහෝවා දෙවියන් ඒ පොරොන්දුව ඉටු කරන කල් ආබ්‍රහම් ඉවසීමෙන් බලන් හිටියා.

යෙහෝවා දෙවියන්ගේ පොරොන්දු ගැන එයාට විශ්වාසයි කියලා ආබ්‍රහම් පෙන්නුවේ කොහොමද? (5 ඡේදය බලන්න)

5. ආබ්‍රහම් බලාගෙන හිටියේ දෙවියන් නිර්මාණය කරපු නුවර පිහිටුවන කල් කියලා අපි දන්නේ කොහොමද?

5 ආබ්‍රහම් බලාගෙන ඉන්නේ යෙහෝවා දෙවියන් නිර්මාණය කරපු නුවර එහෙම නැත්නම් රාජ්‍යය පිහිටුවන කල් කියලා එයා ජීවත් වුණු විදිහෙන් පෙන්නුවේ කොහොමද? එයා ඒක කරපු එක විදිහක් තමයි මිනිසුන් පිහිටුවලා තිබුණු ආණ්ඩුවක් යටතේ එයා ජීවත් වුණේ නැති එක. ආබ්‍රහම් දේශයේ තැනින් තැන ගිහින් ජීවත් වුණා මිසක් එක තැනක ස්ථිරව පදිංචි වෙලා මනුෂ්‍ය රජ කෙනෙකුගේ පාලනයට එයා සහය දුන්නේ නැහැ. ඒ වගේම ආබ්‍රහම් එයාටම කියලා රාජ්‍යයක් පිහිටුවාගන්න උත්සාහ කළෙත් නැහැ. ඒ වෙනුවට එයා දිගටම දෙවියන්ට කීකරු වෙමින් දෙවියන් වුණු පොරොන්දුව ඉටු කරන කල් බලන් හිටියා. ඒකෙන් ආබ්‍රහම් පෙන්නුවා එයාට දෙවියන් ගැන මොන තරම් විශ්වාසයක් තියෙනවාද කියලා. ආබ්‍රහම් මුහුණ දුන්න අභියෝග ගැනත් එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේවල් ගැනත් දැන් අපි බලමු.

ආබ්‍රහම් මුහුණ දුන්න අභියෝග

6. ඌර් මොන වගේ නගරයක්ද?

6 ආබ්‍රහම් අත්හැරලා ආපු ඌර් නගරය ලොකු ආරක්ෂාවක් තිබුණු, සැප පහසුකම්වලින් පිරුණු නගරයක්. ඒ නගරයේ තිබුණු උස පවුර නිසාත් අනිත් තුන් පැත්තේ තිබුණු ගැඹුරු ඇළ මාර්ගය නිසාත් නගරෙට ලැබුණේ ලොකු ආරක්ෂාවක්. එහේ හිටියේ උගත්, ධනවත් මිනිසුන්. එයාලා ලියන්න, කියවන්න හැකියාව තිබුණ, ගණිත ශාස්ත්‍රය ගැන මනා දැනුමක් තිබුණු සෙනඟක්. ඒ නුවරේ හිටපු හුඟදෙනෙක් ව්‍යාපාර කටයුතු කරපු අය. මොකද කැණීම්වලදී පුරාවිද්‍යාඥයන්ට ඒ නුවරෙන් ව්‍යාපාරික ගනු දෙනු කරපු ලියවිලි හම්බ වෙලා තියෙනවා. එහේ තිබුණේ ගඩොල්වලින් බැඳලා, කපරාරු කරලා, සුදු හුණු ගාපු ගෙවල්. සමහර ගෙවල්වල කාමර 13ක්, 14ක් විතර තිබුණා. ඒ වගේම ගල් අල්ලපු මැද මිදුලකුත් තිබුණා.

7. ආබ්‍රහම්ට යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන එක අත්‍යවශ්‍ය දෙයක් වුණේ ඇයි?

7 ඌර් නගරයේ තිබුණු ආරක්ෂාකාරී, සැප පහසු නිවස අත්හැරලා ආපු ආබ්‍රහම් සහ සාරා ජීවත් වුණේ කානාන් දේශයේ කූඩාරම්වල. එහේ එයාලටවත් පවුලේ අයටවත් ආරක්ෂාව දෙන්න විශාල පවුරුවත් ඇළ මාර්ගවත් තිබුණේ නැහැ. එයාලව ඕනෙම වෙලාවක සතුරු ප්‍රහාරයකට ලක් වෙන්න ඉඩ තිබුණා. ඒකෙන් තේරෙනවා එයාවයි, එයාගේ පවුලේ අයවයි යෙහෝවා දෙවියන් ආරක්ෂා කරයි කියන විශ්වාසයෙන් ආබ්‍රහම් වැඩ කළා කියලා.

8. එක අවස්ථාවකදී ආබ්‍රහම් මුහුණ දුන්නේ මොන වගේ දේකටද?

8 ආබ්‍රහම් හැම වෙලාවේම දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දුන්නා. ඒ නිසයි එයා දෙවියන් යන්න කියපු දේශයට ගියේ. ඒත් එක අවස්ථාවකදී ඒ දේශයේ දරුණු සාගතයක් ඇති වුණා. ඒක කොච්චර දරුණු වුණාද කියනවා නම් ආබ්‍රහම්ගේ පවුලේ අයට අවශ්‍ය කරපු කෑම හොයාගන්නත් බැරුව ගියා. ඒ නිසා ආබ්‍රහම් තීරණය කළා යම් කාලෙකට එයාගේ පවුලේ අයවත් අරගෙන ඊජිප්තුවට යන්න. එයා ඊජිප්තුවට ගියාම එහේ පාලකයා වුණු පාරාවෝ සාරාව එයාගේ ගෙදරට අරන් ගියා. යෙහෝවා දෙවියන් මැදිහත් වෙලා සාරාව ආපහු ආබ්‍රහම්ට භාර දෙන කල් ආබ්‍රහම් කොයි තරම් කනස්සල්ලෙන් ඉන්න ඇද්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?—උත්. 12:10-19.

9. ආබ්‍රහම් පවුල් ජීවිතයේ අද්දැක්කේ මොන වගේ ප්‍රශ්නද?

9 ආබ්‍රහම් එයාගේ පවුල් ජීවිතෙත් ප්‍රශ්න අද්දැක්කා. එයා ගොඩක් ආදරය කරපු එයාගේ බිරිඳ වුණු සාරාට දරුවන් හිටියේ නැහැ. ඒ නිසා අවුරුදු ගාණක් යන කල්ම එයාලා හිටියේ හරිම දුකෙන්. අන්තිමේදී දරුවෙක් ලබාගන්න නිසා සාරා එයාගේ සේවිකාව වුණු හාගර්ව ආබ්‍රහම්ට විවාහ කරලා දුන්නා. ඒත් හාගර්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම එයා සාරාව පහත් කරලා සැලකුවා. ප්‍රශ්නේ කොච්චර දුර දිග ගියාද කියනවා නම් සාරා හාගර්ව ගෙදරින් එළවලා දැම්මා.—උත්. 16:1-6.

10. යෙහෝවා දෙවියන් ගැන ආබ්‍රහම්ට තිබුණු විශ්වාසය සෝදිසියට ලක් වුණේ ඉෂ්මායෙල් සහ ඊසාක් සම්බන්ධ මොන සිද්ධීන්වලදීද?

10 කාලෙකට පස්සේ සාරාට පුතෙක් ලැබුණා. එයාගේ නම ඊසාක්. ආබ්‍රහම් එයාගේ පුතාලා දෙන්නා වුණු ඉෂ්මායෙල්ටයි, ඊසාක්ටයි ගොඩක් ආදරේ කළා. ඒත් ඉෂ්මායෙල් ඊසාක්ට නරක විදිහට සලකපු නිසා ආබ්‍රහම්ට සිද්ධ වුණා ඉෂ්මායෙල්වයි, හාගර්වයි ගෙදරින් යවන්න. (උත්. 21:9-14) ඒ සිද්ධියෙන් අවුරුදු ගාණකට පස්සේ යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට කිව්වා එයාගේ පුතා වුණු ඊසාක්ව පූජාවක් විදිහට ඔප්පු කරන්න කියලා. (උත්. 22:1, 2; හෙබ්‍රෙ. 11:17-19) ඒ සිද්ධීන් දෙකේදීම ආබ්‍රහම්ට සිද්ධ වුණා එයාගේ පුතාලා දෙන්නා ගැන යෙහෝවා දෙවියන් දීලා තිබුණු පොරොන්දු ඔහු ඒ විදිහටම ඉටු කරයි කියන විශ්වාසයෙන් වැඩ කරන්න.

11. යෙහෝවා දෙවියන් පොරොන්දු ඉටු කරන කල් ආබ්‍රහම්ට ඉවසිල්ලෙන් බලන් ඉන්න වුණේ ඇයි?

11 ගත වුණු අවුරුදු ගාණ පුරාම යෙහෝවා දෙවියන් පොරොන්දු ඉටු කරන කල් ආබ්‍රහම් ඉවසීමෙන් බලන් හිටියා. තමන්ගේ පවුලේ අයවත් අරන් ඌර් නගරයෙන් පිට වෙද්දී බොහෝදුරට ආබ්‍රහම්ට වයස 70කට වැඩියි. (උත්. 11:31–12:4) ඊටපස්සේ අවුරුදු 100ක විතර කාලයක් ආබ්‍රහම් කානාන් දේශයේ තැනින් තැනට යමින් කූඩාරම්වල ජීවත් වුණා. එයා මැරෙද්දී එයාට වයස 175යි. (උත්. 25:7) ඒත් එයාගෙන් පැවත එන අයට කානාන් දේශය උරුම කරලා දෙනවා කියලා යෙහෝවා දෙවියන් දුන්න පොරොන්දුව ඉටු වෙනවා ආබ්‍රහම් දැක්කේ නැහැ. එයා බලන් හිටපු නුවර ඒ කියන්නේ දේවරාජ්‍යය පිහිටුවනවා දකින්නත් එයා ජීවත් වෙලා හිටියේ නැහැ. ඒ වුණත් බයිබලේ ආබ්‍රහම් ගැන කියන්නේ එයා “තෘප්තිමත් ජීවිතයක්” ගත කරලා මිය ගියා කියලයි. (උත්. 25:8) මොන තරම් අභියෝගවලට මුහුණ දෙන්න වුණත් ආබ්‍රහම් එයාගේ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු කරගත්තේ නැහැ. දෙවියන් පොරොන්දු ඉටු කරන කල් එයා සතුටින් බලන් හිටියා. එහෙම කරන්න එයාට පුළුවන් වුණේ එයාගේ ජීවිත කාලේ පුරාම යෙහෝවා දෙවියන් එයාව ආරක්ෂා කරලා එයාව ඔහුගේ යාළුවෙක් විදිහට සලකපු නිසයි.—උත්. 15:1; යෙසා. 41:8; යාකො. 2:22, 23.

ආබ්‍රහම් සහ සාරා වගේ දෙවියන්ගේ සේවකයනුත් දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කල් විශ්වාසයෙන් සහ ඉවසීමෙන් ඉන්නවා කියලා පෙන්නන්නේ කොහොමද? (12 ඡේදය බලන්න) *

12. අපි බලන් ඉන්නේ මොකක් ඉටු වෙන කල්ද? අපි දැන් බලන්න යන්නේ මොනවාද?

12 ආබ්‍රහම් වගේ අපිත් බලන් ඉන්නේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර දිහායි. ඒත් අපි බලන් ඉන්නේ ඒක පිහිටුවන කල් නෙමෙයි. මොකද 1914දී දේවරාජ්‍යය පිහිටුවලා ස්වර්ගයේ පාලනය සම්පූර්ණයෙන්ම ඒකේ යටතට ගත්තා. (එළි. 12:7-10) අපි බලන් ඉන්නේ දේවරාජ්‍යය මේ පොළොවේ පාලනය සම්පූර්ණයෙන්ම භාරගන්න කල්. ඒ දේ වෙන කල් ආබ්‍රහම්ට සහ සාරාට වගේ අපිටත් හුඟක් දුෂ්කරතාවලට, අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ආබ්‍රහම් සහ සාරා වගේ දෙවියන්ට විශ්වාසවන්තව, ඉවසීමෙන් වැඩ කරපු අපේ කාලේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත කතා ‘මුරටැඹ’ සඟරාවල පළ වුණා. ඒ වගේ ජීවිත කතා කීපයක් ගැනත් ඒවාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් දැන් අපි බලමු.

ආබ්‍රහම්ව ආදර්ශයට ගත්ත අය

බිල් වොල්ඩන් කැමැත්තෙන්ම කැප කිරීම් කරලා යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද අද්දැක්කා

13. සහෝදර වොල්ඩන්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

13 යෙහෝවා දෙවියන් වෙනුවෙන් දේවල් කැප කරන්න කැමැත්තෙන් ඉන්න. අපිට ඕනෙ දේවරාජ්‍යයට අපේ ජීවිතේ මුල් තැන දෙන්න නම් අපිත් ආබ්‍රහම් වගේ කැමැත්තෙන්ම කැප කිරීම් කරන්න ඕනේ. (මතෙ. 6:33; මාක් 10:28-30) බිල් වොල්ඩන් කියන සහෝදරයාගේ අද්දැකීම බලන්න. * 1942දී ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී බිල් සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. උපාධියෙන් පස්සේ බිල්ට ලොකු රස්සාවක් අරන් දෙන්න එයාගේ මහාචාර්යවරයා දේවල් ලෑස්ති කරලයි තිබුණේ. ඒත් බිල් ඒක භාරගත්තේ නැහැ. එයා කිව්වා ලොකු පඩියක් ගන්න රස්සාවකට වඩා එයාට ඕනෙ දෙවියන්ට වැඩියෙන් සේවය කරන්න කියලා. ඊට ටික දවසකට පස්සේ හමුදාවට බැඳෙන්න කියලා රජයෙන් බිල්ට නියෝග කළා. එයා ඒක ප්‍රතික්ෂේප කරපු නිසා ඩොලර් 10,000ක දඩයකුත් අවුරුදු 5ක සිරදඬුවමකුත් එයාට නියම කළා. අවුරුදු 3කට පස්සේ එයාව නිදහස් කළා. පස්සේ කාලෙකදී ගිලියද් පාසැලට සහභාගි වෙන්න එයාට ආරාධනයක් ලැබුණා. ඊටපස්සේ එයා මිෂනාරිවරයෙක් විදිහට අප්‍රිකාවේ සේවය කළා. ඊවා එක්ක විවාහ වුණාට පස්සේ ඒ දෙන්නාම අප්‍රිකාවේ සේවේ කළා. ඒ කාලේ පුරාම එයාලට සිද්ධ වුණා හුඟක් කැප කිරීම් කරන්න. අවුරුදු ගාණකට පස්සේ එයාලා ආයෙත් එක්සත් ජනපදයට ආවා. එයාලා ආවේ අසනීපෙන් හිටපු බිල්ගේ අම්මාව බලාගන්න. එයාගේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලලා බිල් මෙහෙම කියනවා. “අවුරුදු 70කටත් වඩා වැඩි කාලයක් පුරා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔහු මට දුන්න අවස්ථාව ගැන හිතද්දී මගේ ඇස්වලට කඳුළු එනවා. පූර්ණකාලීන සේවය තෝරගන්න මට මඟ පෙන්නපු එක ගැන මං දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා.” ඔයාටත් පුළුවන්ද පූර්ණකාලීන සේවය තෝරගන්න?

එලනි සහ ඇරිස්ටොටලීස් ඇපස්ටොලීඩීස්ට හැඟුණා යෙහෝවා දෙවියන් එයාලව ශක්තිමත් කරනවා කියලා

14-15. ඇපස්ටොලීඩීස් යුවළගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

14 ප්‍රශ්න ගැටලු නැති ජීවිතයක් දැන් බලාපොරොත්තු වෙන්න එපා. යෙහෝවා දෙවියන්ට ජීවිත කාලය පුරාම සේවය කරන අයට වුණත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියලා ආබ්‍රහම්ගේ ජීවිතෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. (යාකො. 1:2; 1 පේතෘ. 5:9) ඒක අපිට සහෝදර ඇරිස්ටොටලීස් ඇපස්ටොලීඩීස්ගේ අද්දැකීමෙනුත් පැහැදිලි වෙනවා. * එයා බව්තීස්ම වුණේ 1946 ග්‍රීසියේදී. 1952දී එයා සහෝදරි එලනි එක්ක විවාහ ගිවිසගත්තා. ඒ දෙන්නාටම ඕනෙ වුණේ යෙහෝවා දෙවියන්ට උපරිමයෙන් සේවය කරන්න. විවාහ ගිවිසගෙන හිටපු කාලේදී සහෝදරි එලනි අසනීප වුණා. එයාගේ මොළේ ගෙඩියක් තියෙනවා කියලා වෛද්‍යවරු හොයාගත්තා. සැත්කමකින් ඒක අයින් කළත් එයාලා විවාහ වෙලා අවුරුදු කීපයකට පස්සේ ඒක ආයෙත් මතු වුණා. ඒ වතාවේ කරපු සැත්කමෙන් පස්සේ එලනිට සාමාන්‍ය විදිහට කතා කරන්න බැරි වුණා. යම් දුරකට එයා අංශභාගී රෝගියෙක් වුණා. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ ආණ්ඩුවෙන් සාක්ෂිකරුවන්ට ගොඩක් විරුද්ධවාදිකම් එල්ල වුණා. ඒත් ඒ අභියෝග මැද සහෝදරි එලනි දිගටම යෙහෝවා දෙවියන්ට උද්‍යෝගයෙන් සේවය කළා.

15 සහෝදර ඇරිස්ටොටලීස් අවුරුදු 30ක් තිස්සේ එයාගේ බිරිඳව ආදරෙන් බලාගත්තා. ඒ කාලේ අතරතුර එයා වැඩිමහල්ලෙක් විදිහටත් සමුළු කමිටුවලත් සේවය කළා. ඒ වගේම සමුළු ශාලාවක් ඉදි කරන්නත් එයා උදව් කළා. 1987දී සහෝදරි එලනි දේශනා සේවයේ හවුල් වෙමින් ඉද්දී අනතුරකට මුහුණ දුන්නා. අවුරුදු 3ක් කෝමා තත්වයේ හිටපු එලනි මිය ගියා. සහෝදර ඇරිස්ටොටලීස් එයාගේ ජීවිත කතාව අවසානයේ මෙහෙම කියනවා. “පහුගිය අවුරුදු කීපය පුරාවට මම හුඟක් අභියෝගවලට මුහුණ දුන්නා. සමහර ඒවා සිද්ධ වුණේ හිතපු නැති විදිහට. ඒ නිසා දිගටම විඳදරාගන්නත් කිසිම දෙයක් නිසා අධෛර්යය නොවී ඉන්නත් මට අධිෂ්ඨානයක් ගන්න වුණා. ඒත් ඒ හැම අභියෝගයකටම හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් මට දුන්නා.” (ගීතා. 94:18, 19) අභියෝග මැද පුළුවන් උපරිමයෙන් සේවය කරන ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට යෙහෝවා දෙවියන් හුඟක් ආදරෙයි.

ඕඩ්‍රි හයිඩ් නිතරම අනාගත ආශීර්වාද ගැන හිතපු නිසා එයාට සතුටින් ඉන්න පුළුවන් වුණා

16. සහෝදර නෝර් එයාගේ බිරිඳට කිව්වේ මොකක්ද?

16 අනාගතය ගැන හිතන්න. යෙහෝවා දෙවියන් එයාට දෙන්න පොරොන්දු වුණු අනාගත ආශීර්වාද ගැන ආබ්‍රහම් නිතරම හිතුවා. ඒක එයාට උදව් වුණා එයාට මුහුණ දෙන්න වුණු අභියෝග විඳදරාගන්න. සහෝදරි ඕඩ්‍රි හයිඩ් කියන්නෙත් අනාගත ආශීර්වාද ගැන නිතරම හිතුව කෙනෙක්. එයාගේ පළවෙනි සැමියා වුණු නේතන් එච්. නෝර් පිළිකාවකින් මිය ගියා. එයාගේ දෙවෙනි සැමියා වුණු ග්ලෙන් හයිඩ්ට ඇල්සයිමර් කියන රෝගය හැදුණා. * සහෝදර නෝර් මිය යන්න සති කීපයකට කලින් කියපු දෙයක් එයාට හුඟක් උදව් වුණා කියලා සහෝදරි හයිඩ් කියනවා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “නේතන් මට කිව්වා මරණයත් එක්කම අපේ බලාපොරොත්තුව ස්ථිර වෙනවා. අපිට ආයේ කවදාවත් දුක් විඳින්න වෙන්නේ නැහැ. ඒ නිසා ආශීර්වාද ලැබෙන කාලය ගැන හිතන්න. ඔයාගේ කාලය උපරිමයෙන් යොදවලා අනිත් අයට උදව් කරන්න. සතුටින් ඉන්න ඒක ඔයාට උදව් වෙයි.” ඒකෙන් අපිට මතක් කරලා දෙනවා අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරන එකත් “බලාපොරොත්තුව ගැන ප්‍රීති” වෙන එකත් කොච්චර වටිනවාද කියලා.—රෝම 12:12.

17. (අ) අනාගතය ගැන බලාගෙන ඉන්න අපිට තියෙන්නේ මොන වගේ හේතුද? (ආ) අනාගත ආශීර්වාද අද්දකින්න මීකා 7:7 තියෙන දේ අපිට කොහොමද උදව් වෙන්නේ?

17 අනාගත ආශීර්වාද ගැන හිතන්න වෙන කවරදාකටත් වඩා අද අපිට හේතු තියෙනවා. අපි ඉන්නේ මේ දුෂ්ට සමාජයේ අවසානයේ අද්දර කියලා ලෝක සිද්ධීන්වලින් හොඳින්ම පැහැදිලියි. සැබෑ අත්තිවාරම ඇති නුවර මේ පොළොවේ පාලනය භාරගන්න දවස එන කල් අපිට වැඩි කාලයක් බලන් ඉන්න වෙන්නේ නැහැ. එදාට අපි ගොඩක් ආශීර්වාද අද්දකිනවා. අපි ආදරය කරන දැනට මිය ගිහින් ඉන්න අයට එදාට ආයෙත් ජීවිතය ලැබෙනවා. විශ්වාසයෙන්, ඉවසීමෙන් බලන් හිටපු ආබ්‍රහම්ටත් එයාගේ පවුලේ අයටත් යෙහෝවා දෙවියන් එදාට ආයෙත් ජීවිතය දෙනවා. එයාලව ආදරෙන් පිළිගන්න ඔයා එතන ඉඳියිද? ඔයාත් ආබ්‍රහම් වගේ දේවරාජ්‍යය වෙනුවෙන් කැප කිරීම් කරනවා නම්, මොන අභියෝග ආවත් ඔයාගේ විශ්වාසය දිගටම රැකගන්නවා නම්, යෙහෝවා දෙවියන් පොරොන්දු ඉටු කරන කල් ඉවසිල්ලෙන් බලන් ඉන්නවා නම් ඔයාත් එදාට එතන ඉඳියි.—මීකා 7:7 කියවන්න.

ගීතිකාව 74 රාජ්‍යයේ ගීය ගයමු එක් වී!

^ 5 ඡේ. දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කල් බලන් ඉද්දී අපේ ඉවසීම, සමහර අවස්ථාවලදී අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙනවා. දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කල් ඉවසීමෙන් බලන් ඉන්න ආබ්‍රහම්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් අපේ කාලේ ඉන්න දෙවියන්ගේ සේවකයන් තියලා තියෙන්නේ මොන වගේ ආදර්ශයක්ද?

^ 13 ඡේ. සහෝදර වොල්ඩන්ගේ ජීවිත කතාව 2013 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 8-10 දක්වා පිටුවල පළ වුණා.

^ 14 ඡේ. සහෝදර ඇපස්ටොලීඩීස්ගේ ජීවිත කතාව 2002 පෙබරවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ 24-28 දක්වා පිටුවල පළ වුණා.

^ 16 ඡේ. සහෝදරි හයිඩ්ගේ ජීවිත කතාව 2004 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ 23-29 දක්වා පිටුවල පළ වුණා.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: අභියෝග තිබුණත් මහලු වයසේ ඉන්න යුවළක් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරනවා. දෙවියන්ගේ පොරොන්දු ගැන හිතන එක එයාලගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උදව් වෙනවා.