Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 35

සභාවේ හැම කෙනෙක්වම වටින අය විදිහට සලකන්න

සභාවේ හැම කෙනෙක්වම වටින අය විදිහට සලකන්න

“එහෙයින් ඇසට, ‘මට ඔබව අවශ්‍ය නැහැ’ කියා අතට කියන්නවත් හිසට, ‘මට ඔබව අවශ්‍ය නැහැ’ කියා පාදවලට කියන්නවත් නුපුළුවන.”—1 කොරි. 12:21.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

මේ ලිපියෙන් *

1. හැම විශ්වාසවන්ත සේවකයෙක්ටම යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන්නේ මොකක්ද?

යෙහෝවා දෙවියන් අපි හැමෝටම සභාව තුළ කරන්න යම් කාර්යයන් භාර දීලා තියෙනවා. ඒ කාර්යයන් විවිධ වුණත් අපි හැමෝවම යෙහෝවා දෙවියන්ට වටිනවා. අපි හැමෝටම එකිනෙකාගේ උදව් ඕනේ. ඒ වටිනා පාඩම තේරුම්ගන්න පාවුල් අපිට උදව් කරනවා. ඒ කොහොමද?

2. එෆීස 4:16 අනුව අපි අනිත් අයව වටින අය විදිහට සලකන එකත් ඒ අය එක්ක සහයෝගයෙන් වැඩ කරන එකත් වැදගත් ඇයි?

2 මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදයට අනුව පාවුල් අපිට කාවද්දන්නේ යෙහෝවා දෙවියන්ගේ තව සේවකයෙක් දිහා බලලා ‘මට එයාව අවශ්‍ය නැහැ’ කියලා හිතන්න අපි කාටවත් බැහැ කියලයි. (1 කොරි. 12:21) සභාව තුළ සාමය දිගටම පවතින්න නම් අපි අනිත් අයව වටින අය විදිහට සලකලා ඒ අය එක්ක සහයෝගයෙන් වැඩ කරන එක අත්‍යවශ්‍යයි. (එෆීස 4:16 කියවන්න.) අපි එහෙම එකමුතුව වැඩ කරද්දී සභාවේ හැමෝටම ආදරේ අද්දකින්න පුළුවන් වෙනවා. එතකොට සභාවත් ශක්තිමත් වෙනවා.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 සභාවේ හැමෝම අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් පැති 3ක් ගැන අපි මේ ලිපියෙන් බලමු. (1) වැඩිමහල්ලන්ට කොහොමද පුළුවන් අනිත් වැඩිමහල්ලන්ට ගෞරවය පෙන්නන්න? (2) තනිකඩ සහෝදර සහෝදරියන්ව අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (3) අපේ භාෂාව හොඳින් කතා කරන්න බැරි අයට අපේ ගෞරවය පෙන්නන්න පුළුවන් කොහොමද?

අනිත් වැඩිමහල්ලන්ට ගෞරවය පෙන්නන්න

4. රෝම 12:10 පාවුල් දුන්න මොන උපදෙසද වැඩිමහල්ලන් අදාළ කරගන්න ඕනේ?

4 සභාවේ ඉන්න හැම වැඩිමහල්ලෙක්වම පත් කරලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ගේ බලයෙන්. ඒත් ඒ අයට තියෙන හැකියාවන්, දක්ෂතාවන් විවිධයි. (1 කොරි. 12:17, 18) සමහර අය වැඩිමහල්ලන් වුණේ අලුතෙන් නිසා එයාලට අද්දැකීම් අඩුයි. තවත් සමහර අයට වයස නිසා, අසනීප නිසා ගොඩක් දේවල් කරන්න බැහැ. ඒ කොහොමවුණත් කිසිම වැඩිමහල්ලෙක් තවත් වැඩිමහල්ලෙක් දිහා බලලා ‘මට එයාව අවශ්‍ය නැහැ’ කියලා හිතන්න හොඳ නැහැ. ඒ වෙනුවට රෝම 12:10 (කියවන්න.) පාවුල් දෙන උපදෙස හැම වැඩිමහල්ලෙක්ම අදාළ කරගන්න ඕනේ.

වැඩිමහල්ලන් අනිත් වැඩිමහල්ලන්ට හොඳින් ඇහුම්කන් දීලා එයාලට ගෞරව කරනවා කියලා පෙන්නනවා (5 සහ 6 ඡේද බලන්න)

5. වැඩිමහල්ලන් අනිත් වැඩිමහල්ලන්ට ගෞරවය පෙන්නන්නේ කොහොමද? ඒක වැදගත් වෙන්නේ ඇයි?

5 වැඩිමහල්ලෙක්ට අනිත් වැඩිමහල්ලන්ට ගෞරවය පෙන්නන්න පුළුවන් විදිහක් තමයි එයාලගේ අදහස්වලට හොඳින් ඇහුම්කන් දෙන එක. සභාවේ බරපතළ කාරණයක් ගැන සාකච්ඡා කරන්න වැඩිමහල්ලන් රැස් වෙද්දී ඒක විශේෂයෙන්ම වැදගත්. 1988 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ (සිංහලෙන් නැහැ.) මෙහෙම සඳහන් වුණා. “වැඩිමහල්ලන් එකතු වෙලා යම් කාරණයක් ගැන කතා කරද්දී, වැදගත් තීරණයක් ගද්දී යේසුස්ට පුළුවන් දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඒකට අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති මතක් කරලා දෙන්න ඕනෙම වැඩිමහල්ලෙක්ව පාවිච්චි කරන්න. (ක්‍රියා 15:6-15) දෙවියන්ගේ බලය එක් කෙනෙක්ට විතරක් නෙමෙයි සභාවේ හැම වැඩිමහල්ලෙක්ටම ලැබෙනවා.”

6. වැඩිමහල්ලන්ට එක්සත්ව වැඩ කරන්න පුළුවන් කොහොමද? එහෙම කරද්දී සභාවට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?

6 අනිත් අයට ගෞරව කරන වැඩිමහල්ලෙක් වැඩිමහල්ලන්ගේ රැස්වීම්වලදී හැම වෙලේම තමන් මුලින් කතා කරන්න ඕනෙ කියලා හිතන්නේ නැහැ. සාකච්ඡාව තමන්ගේ අතට ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒ වගේම හැම වෙලේම තමන් කියන දේවල් හරියි කියලා හිතන්නෙත් නැහැ. ඒ වෙනුවට එයා එයාගේ අදහස් නිහතමානීව කියනවා. අනිත් අයගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා. වැදගත්ම දේ තමයි ඒ කාරණයට සම්බන්ධ බයිබල් ප්‍රතිපත්ති සාකච්ඡා කරන්නත් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නත් එයා කැමතියි. (මතෙ. 24:45-47) වැඩිමහල්ලන් ඒ විදිහට ආදරෙන්, ගෞරවයෙන් සභාවේ දේවල් සාකච්ඡා කරද්දී දෙවියන්ගේ බලය එයාලා තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට සභාව ගොඩනැංවෙන තීරණ ගන්න එයාලට පුළුවන්.—යාකො. 3:17, 18.

තනිකඩ අයට ගෞරවය පෙන්නන්න

7. තනිකඩ අය ගැන යේසුස්ට හැඟුණේ කොහොමද?

7 අපේ සභාවල විවාහක යුවළයන්, දරුවන් ඉන්න පවුල් වගේම තනිකඩ සහෝදර සහෝදරියනුත් ඉන්නවා. ඒ තනිකඩ අය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? තනිකඩ අය ගැන යේසුස්ට හැඟුණ විදිහ අපිට ආදර්ශයට ගන්න පුළුවන්. යේසුස් පොළොවේ සේවය කරපු කාලේ ඔහු විවාහ වුණේ නැහැ. ඔහු ඔහුගේ සම්පූර්ණ කාලය, අවධානය දුන්නේ දේශනා සේවයට. කෙනෙක් අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕනෙ කියලවත් විවාහ නොවී ඉන්න ඕනෙ කියලවත් යේසුස් ඉගැන්නුවේ නැහැ. ඒත් සමහරු විවාහ නොවී ඉන්න තීරණය කරන්න ඉඩ තියෙනවා කියලා ඔහු කිව්වා. (මතෙ. 19:11, 12) යේසුස් තනිකඩ අයට සැලකුවේ ගෞරවයෙන්. විවාහක අය එක්ක බලද්දී තනිකඩ අයගේ වටිනාකම අඩුයි කියලවත් විවාහ නොවුණ නිසා ඒ අයගේ ජීවිතවල යම් අඩුවක් තියෙනවා කියලවත් යේසුස් හිතුවේ නැහැ.

8. 1 කොරින්ති 7:7-9 අනුව පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ මොනවා ගැන හිතන්නද?

8 යේසුස් වගේ පාවුලුත් දේශනා කරපු කාලේ හිටියේ තනිකඩව. එයා කවදාවත් විවාහ වෙන එක වැරදියි කියලා ඉගැන්නුවේ නැහැ. ඒක එක් එක් කෙනාගේ පෞද්ගලික තීරණයක් කියලා එයා දැනන් හිටියා. ඒත් තනිකඩව ඉඳලා සේවය කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න කියලා එයා ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. (1 කොරින්ති 7:7-9 කියවන්න.) විවාහ වුණ අය එක්ක බලද්දී තනිකඩ අයගේ වටිනාකම අඩුයි කියලා පාවුල් කොහොමටවත් හිතුවේ නැහැ. තනිකඩව හිටපු තිමෝතිට දෙවියන්ගේ සේවය තුළ වැදගත් වගකීම් පාවුල් භාර දුන්න එකෙන් ඒක පැහැදිලි වෙනවා. * (ෆිලි. 2:19-22) එහෙමනම් සහෝදරයෙක් වගකීම් දරන්න සුදුසුද නැද්ද කියලා තීරණය කරද්දී එයා විවාහකද නැද්ද කියන දේ සැලකිල්ලට අරගෙන ඒ තීරණය ගන්න එක වැරදියි.—1 කොරි. 7:32-35, 38.

9. විවාහක අය සහ තනිකඩ අය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

9 යේසුස්වත් පාවුල්වත් කෙනෙක් අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕනෙ කියලවත් අනිවාර්යයෙන්ම තනිකඩව ඉන්න ඕනෙ කියලවත් කිව්වේ නැහැ. එහෙමනම් විවාහ වෙන එක හෝ තනිකඩව ඉන්න එක ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ඒ ගැන 2012 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “ඇත්තෙන්ම විවාහ වෙන එක වගේම තනිකඩව ඉන්න එකත් යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ තෑගි. . . . තනිකඩව ඉන්න එක ලැජ්ජාවට හේතුවක් හෝ දුක් වෙන්න හේතුවක් විදිහට දෙවියන් සලකන්නේ නැහැ.” එහෙමනම් සභාවේ ඉන්න තනිකඩ සහෝදර සහෝදරියන්ට අපි ගෞරවයෙන් සලකන එක කොච්චර වැදගත්ද!

තනිකඩ අයට ගෞරව කරනවා නම් අපි වළකින්නේ මොනවා කරන එකෙන්ද? (10 ඡේදය බලන්න)

10. තනිකඩ සහෝදර සහෝදරියන්ට ගෞරව කරනවා නම් අපි මොනවාද කරන්නේ නැත්තේ?

10 තනිකඩ සහෝදර සහෝදරියන්ට අපි ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? අපි මතක තියාගන්න ඕනෙ සමහර සහෝදර සහෝදරියන් විවාහ නොවී ඉන්න තීරණය කරලා තියෙනවා කියලා. සමහරු විවාහ වෙන්න කැමති වුණත් එයාලට ගැළපෙන කෙනා තවම හම්බ වෙලා නැහැ. තවත් සමහරුන්ගේ සැමියා හෝ බිරිඳ මිය ගිහින්. මොන හේතුව නිසා කෙනෙක් තනිකඩව හිටියත් “ඔයා තවම බැඳලා නැත්තේ ඇයි,” “ඔයාට කෙනෙක්ව හොයලා දෙන්නද” වගේ ප්‍රශ්න එයාගෙන් අහන එක හරියි කියලා ඔයා හිතනවාද? සමහරු හොඳ කෙනෙක්ව හොයාගන්න අපෙන් උදව් ඉල්ලන්න පුළුවන්. ඒත් එහෙම උදව්වක් ඉල්ලුවේ නැති කෙනෙක්ට අපි කෙනෙක්ව හොයලා දෙන්න හැදුවොත් එයාට කොහොමද හැඟෙයිද? (1 තෙස. 4:11; 1 තිමෝ. 5:13) සමහර තනිකඩ සහෝදර සහෝදරියන්ට ඒ ගැන හැඟුණ විදිහ දැන් අපි බලමු.

11-12. අපි කරන කියන මොන දේවල් නිසාද තනිකඩ අය අධෛර්යය වෙන්න පුළුවන්?

11 තමන්ගේ පැවරුම හොඳින් කරන, තනිකඩව ඉන්න චාරිකා සේවකයෙක්ට හැඟෙනවා තනිකඩව ඉන්න එකේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා කියලා. ඒත් එයා කියනවා සමහර සහෝදර සහෝදරියන් හොඳ චේතනාවෙන් වුණත් “ඔයා බැඳලා නැත්තේ ඇයි” කියලා අහද්දී ඒකෙන් කෙනෙක් අධෛර්යය වෙන්න පුළුවන් කියලා. බෙතෙල් එකේ සේවය කරන තනිකඩ සහෝදරයෙක් මෙහෙම කියනවා. “සමහර වෙලාවට මට හිතෙනවා සමහර සහෝදර සහෝදරියන් තනිකඩ අය දිහා බලන්නේ ‘අනේ එයාලා පව්’ කියන හැඟීමෙන් කියලා. එහෙම කරන එකෙන් කෙනෙක්ට දැනෙන්නේ තනිකඩව ඉන්න එක තෑග්ගක් හැටියට නෙමෙයි බරක් හැටියට.”

12 බෙතෙල් එකේ සේවය කරන තනිකඩ සහෝදරියක් එයාගේ අද්දැකීම මෙහෙම විස්තර කරනවා. “සභාවේ ඉන්න සමහරු හිතන්නේ තනිකඩව ඉන්න හැමෝම බඳින්න කෙනෙක්ව හොයනවා කියලා. එහෙම නැත්නම් එයාලා හිතනවා බඳින්න කෙනෙක්ව හොයාගන්න හිතාගෙන තමයි තනිකඩ අය සුහද ඇසුරුවලට යන්නේ කියලා. එකපාරක් මං බෙතෙල් එකේ වැඩකට අපේ රටේ වෙනත් ප්‍රදේශයකට ගියා. මං නතර වෙලා හිටිය ගෙදර සහෝදරිය මට කිව්වා එයාගේ සභාවේ මගේ වයසේ සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා කියලා. එයා එහෙම කිව්වේ ඒ සහෝදරයන්ට මාව ජෝඩු කරන්න හිතාගෙන නෙමෙයි කියලා කිව්වා. හැබැයි අපි රැස්වීමට ගියා විතරයි ඒ සහෝදරිය මාව අතින් ඇදගෙන ගිහින් ඒ සහෝදරයන්ට මාව අඳුන්නලා දුන්නා. අපි තුන්දෙනාම ලොකු අපහසුතාවකට පත් වුණා.”

13. තනිකඩ සහෝදරියක් දිරිගැන්වුණේ කොයි වගේ අයගේ ආදර්ශ නිසාද?

13 බෙතෙල් එකේ සේවය කරන තවත් තනිකඩ සහෝදරියක් මෙහෙම කියනවා. “අවබෝධයෙන් දේවල් කරන, ඉලක්ක තියාගෙන වැඩ කරන, අනිත් අයට උදව් කරන්න කැමති, සතුටින් සේවය කරන, වයසින් වැඩි තනිකඩ පුරෝගාමීන්ව මං දන්නවා. ඒ අය සභාවට ලොකු හයියක්. තනිකඩව ඉන්න එක ගැන එයාලට තියෙන්නේ සමබර ආකල්පයක්. තනිකඩව ඉන්න නිසා එයාලා අනිත් අයට වඩා විශේෂයි කියලවත් සහකරුවෙක් හෝ සහකාරියක් එහෙම නැත්නම් දරුවන් නැති නිසා එයාලට සතුටින් ඉන්න බැහැ කියලවත් එයාලා හිතන්නේ නැහැ.” හැමෝටම ගෞරව කරන, හැමෝම වටින අය විදිහට සලකන සභාවක ඉන්න එක අපිට කොච්චර සතුටක්ද! මොකද ඒ සභාවේ අය ඔයා පව් කියලා හිතන්නේවත්, ඔයාට ඊර්ෂ්‍යා කරන්නේවත්, ඔයාව කොන් කරන්නේවත්, අනවශ්‍ය විදිහට ඔයාට සභාවේ තැනක් දෙන්න හදන්නේවත් නැහැ. ඔයා දන්නවා එයාලා ඇත්තටම ඔයාට ආදරෙයි කියලා.

14. තනිකඩ අයට අපි ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

14 තනිකඩ සහෝදර සහෝදරියන්ව අපි වටින අය විදිහට සලකන්න ඕනෙ එයාලා තනිකඩව ඉන්න නිසාම නෙමෙයි එයාලා පෙන්නන ලස්සන ගුණාංග නිසයි. ‘පව් එයාලා බැඳලා නැහැනේ’ කියලා හිතනවා වෙනුවට අපිට පුළුවන් එයාලා පෙන්නන විශ්වාසවන්තකම අගය කරන්න. අපි එහෙම කරනවා නම් ‘එයාලව සභාවට ඕනෙ නැහැ’ කියන හැඟීම එයාලට කවදාවත් ඇති වෙන එකක් නැහැ. (1 කොරි. 12:21) ඒ වෙනුවට එයාලව අපිට ගොඩක් වටිනවා කියලත් එයාලා සභාවේ ඉන්න එක ගැන අපිට ගොඩක් සතුටුයි කියලත් එයාලට දැනෙයි.

ඔයාගේ භාෂාව හොඳින් කතා කරන්නේ නැති අයට ගෞරවය පෙන්නන්න

15. සේවය වැඩි කරන්න සමහරු කරලා තියෙන්නේ මොන වගේ වෙනස්කම්ද?

15 මෑත කාලේදී ගොඩක් සහෝදර සහෝදරියන් සේවය වැඩි කරන්න වෙනත් භාෂාවක් ඉගෙනගන්න තීරණය කරලා තියෙනවා. ඒක කරන්න එයාලගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් කරගන්න එයාලට වෙනවා. එයාලා කරන එක වෙනස්කමක් තමයි එයාලගේ මව්භාෂාව කතා කරන සභාව දාලා ප්‍රචාරකයන් අඩු, වෙනත් භාෂාවක් කතා කරන සභාවකට යන එක. (ක්‍රියා 16:9) ඒක යෙහෝවා දෙවියන්ට වැඩියෙන් සේවය කරන්න නිසා එයාලා ගත්ත පුද්ගලික තීරණයක්. එයාලට අලුත් භාෂාව හොඳින් කතා කරන්න සමහරවිට අවුරුදු ගාණක් යයි. ඒත් සභාව වෙනුවෙන් එයාලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. එයාලට තියෙන අද්දැකීම් නිසා, එයාලා පෙන්නන ලස්සන ගුණාංග නිසා සභාව ගොඩනැංවෙනවා. ඒ වගේ කැප කිරීම් කරන සහෝදර සහෝදරියන් අපිට කොච්චර වටිනවාද!

16. සහෝදරයෙක්ව වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් විදිහට පත් කරන්නේ මොකක් පදනම් කරගෙනද?

16 සහෝදරයෙක්ට සභාවේ භාෂාව හොඳට කතා කරන්න බැරි නිසාම එයාව වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් විදිහට වැඩිමහල්ලන් නිර්දේශ නොකර ඉන්නේ නැහැ. වැඩිමහල්ලන් බලන්නේ එයාට භාෂාව කොච්චර හොඳට කතා කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි. එයාලා බලන්නේ වැඩිමහල්ලෙක්, සහායක සේවකයෙක් වෙන්න බයිබලේ සඳහන් කරලා තියෙන සුදුසුකම් කොච්චර දුරට එයාට තියෙනවාද කියන එකයි.—1 තිමෝ. 3:1-10, 12, 13; තීත. 1:5-9.

17. වෙන රටක පදිංචියට යද්දී දෙමාපියන්ට මොන වගේ තීරණයක් ගන්න වෙයිද?

17 සමහර සහෝදර සහෝදරියන් සරණාගතයන් විදිහට එහෙම නැත්නම් රස්සාවක් හොයාගෙන වෙන රටකට පදිංචිය මාරු කරනවා. එහෙම ගියාම එයාලගේ දරුවන්ට ඉස්කෝලේ ඉගෙනගන්න වෙන්නේ ඒ රටේ භාෂාව. රැකියාවක් හොයාගන්න නිසා දෙමාපියන්ටත් ඒ රටේ භාෂාව ඉගෙනගන්න වෙනවා. හිතන්න, දැන් එයාලා ඉන්න ප්‍රදේශයේ එයාලගේ මව්භාෂාව කතා කරන සභාවක් හෝ කණ්ඩායමක් තියෙනවා කියලා. එයාලා යන්න ඕනෙ එයාලගේ මව්භාෂාව කතා කරන සභාවටද? එහෙම නැත්නම් ඒ රටේ භාෂාව කතා කරන සභාවකටද?

18. ගලාති 6:5 අනුව පවුලේ මූලිකයා ගන්න තීරණයට අපි ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

18 පවුලේ තත්වය සහ අවශ්‍යතාවන් සැලකිල්ලට අරන් එයාලා යන්න ඕනෙ මොන සභාවටද කියලා තීරණය කරන්න ඕනෙ පවුලේ මූලිකයා. (ගලාති 6:5 කියවන්න.) ඒක පෞද්ගලික තීරණයක් නිසා පවුලේ මූලිකයා ගන්න තීරණයට අපි හැමෝම ගරු කරන්න ඕනේ. එයාලව අපේ සභාවට ආදරෙන් පිළි අරන්, එයාලව වටින අය විදිහට අපි සලකනවා නම් අපි පෙන්නන්නේ එයාලා ගත්ත තීරණයට අපි ගෞරව කරනවා කියලා.—රෝම 15:7.

19. පවුලේ මූලිකයන් යාච්ඤා කරලා හොඳට හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

19 සමහර පවුල් රැස්වීම්වලට යන්නේ දෙමාපියන්ගේ මව්භාෂාව කතා කරන සභාවකට. හැබැයි දරුවන්ට ඒ භාෂාව හොඳින් කතා කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද එයාලා ඉස්කෝලේ ඉගෙනගන්නේ ඒ රටේ භාෂාව මිසක් මව්භාෂාව නෙමෙයි. ඒ නිසා රැස්වීම්වලදී උගන්වන දේවල් හොඳින් තේරුම්ගන්නත් දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්නත් එයාලට අමාරුයි. ඒ වගේ අවස්ථාවක පවුලේ මූලිකයන් යාච්ඤා කරලා හොඳට හිතලා බලන්න ඕනෙ යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ සෙනඟටත් ළං වෙන්න දරුවන්ට උදව් කරන්න මොනවාද කරන්න ඕනෙ කියලා. සමහරවිට එයාලා තීරණය කරයි එයාලගේ මව්භාෂාව හොඳින් කතා කරන්න දරුවන්ට උදව් කරන්න. එහෙම නැත්නම් දරුවන් හොඳින් කතා කරන භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවකට යන්න එයාලා තීරණය කරයි. පවුල් මූලිකයන් මොන තීරණය ගත්තත් එයාලා යන්න තීරණය කරන සභාවේ අය එයාලගේ තීරණයට ගරු කරලා එයාලව ආදරෙන් සභාවට පිළි අරන් එයාලව වටින අය විදිහට සලකන්න ඕනේ.

අලුත් භාෂාවක් ඉගෙනගන්න අයව අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (20 ඡේදය බලන්න)

20. අලුත් භාෂාවක් ඉගෙනගන්න සහෝදර සහෝදරියන්ට අපි ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

20 අපි බලපු ඒ හේතු නිසා හුඟක් සභාවල අලුත් භාෂාවක් ඉගෙනගන්න උත්සාහ කරන සහෝදර සහෝදරියන් ඉන්නවා. සමහර වෙලාවට එයාලට හැඟෙන දේ ඒ විදිහටම අලුත් භාෂාවෙන් කියන්න එයාලට අමාරු ඇති. අපි එයාලා භාෂාව හසුරුවන විදිහ ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් එයාලා යෙහෝවා දෙවියන්ට කොච්චර ආදරේද, සේවය කරන්න එයාලා කොච්චර කැමතිද කියලා අපිට දකින්න බැරි වෙයි. එයාලා ළඟ තියෙන ඒ ලස්සන පැති අපි දකිද්දී එයාලට තවත් ගෞරව කරන්නත් එයාලා වටින අය විදිහට සලකන්නත් අපි පෙලඹෙයි. එතකොට එයාලා අපේ භාෂාව හොඳට කතා කරන්නේ නැති නිසා ‘එයාලා මට අවශ්‍ය නැහැ’ කියලා අපිට කවදාවත් හිතෙන එකක් නැහැ.

යෙහෝවා දෙවියන්ට අපි හැමෝවම වටිනවා

21-22. යෙහෝවා දෙවියන්ට අපිව වටිනවා කියලා ඔහු පෙන්නලා තියෙන්නේ කොහොමද?

21 යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනාට සභාව තුළ වටිනා කාර්යයක් දීලා තියෙනවා. අපි සහෝදරයෙක් වුණත් සහෝදරියක් වුණත් විවාහක කෙනෙක් වුණත් තනිකඩ කෙනෙක් වුණත් තරුණ වුණත් මහලු වුණත් භාෂාවක් හොඳට කතා කළත් නැතත් යෙහෝවා දෙවියන්ට අපි හැමෝවම හුඟක් වටිනවා. සභාවටත් අපි එක් එක් කෙනාව වටිනවා.—රෝම 12:4, 5; කොලො. 3:10, 11.

22 මිනිස් සිරුර ගැන පාවුල් කියපු උදාහරණෙන් අපි ඉගෙනගත්ත පාඩම් අපි අපේ ජීවිතේට දිගටම අදාළ කරගමු. එතකොට අපේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න අපිට කරන්න පුළුවන් මොනවාද කියලා තේරුම්ගන්නත් එයාලට ආදරෙන්, ගෞරවයෙන් සලකන්නත් අපිට පුළුවන්.

ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු

^ 5 ඡේ. යෙහෝවා දෙවියන්ගේ සෙනඟ අතරේ ඉන්නේ විවිධ පසුබිම්වලින් ආපු අය. ඒ අය සභාවේ කරන කාර්යයනුත් එකිනෙකට වෙනස්. යෙහෝවා දෙවියන්ගේ පවුලට අයිති ඒ හැම කෙනෙක්ටම අපි ගෞරවයෙන් සලකන්න ඕනෙ ඇයි කියලා තේරුම්ගන්න මේ ලිපිය අපිට උදව් කරනවා.

^ 8 ඡේ. තිමෝති කවදාවත් විවාහ වුණේ නැහැ කියලා අපිට හරියටම කියන්න බැහැ.