Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 36

මිනිසුන් අල්ලන්නෙක් වෙන්න ඔයා ලෑස්තිද?

මිනිසුන් අල්ලන්නෙක් වෙන්න ඔයා ලෑස්තිද?

“භය වෙන්න එපා. මෙතැන් පටන් ඔබ අල්ලන්නේ මිනිසුන්වයි.”—ලූක් 5:10.

ගීතිකාව 73 දෙනු මැන නිර්භීතකම

මේ ලිපියෙන් *

1. ධීවරයන් හතරදෙනෙකුට යේසුස් කරපු ආරාධනය මොකක්ද? එයාලා කළේ මොකක්ද?

පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් ධීවර කර්මාන්තයේ නියැලුණු අය. හිතන්න යේසුස්, “මා පසුපස එන්න. මම ඔබව මසුන් අල්ලන්නන් වෙනුවට මිනිසුන් අල්ලන්නන් කරනවා” කියන ආරාධනය කළාම එයාලට කොහොම හැඟෙන්න ඇද්ද කියලා. * බයිබලේ කියන්නේ එයාලා “ඒ මොහොතේම දැල් පසෙක තබා ඔහු අනුව” ගියා කියලයි. (මතෙ. 4:18-22) එයාලා ගත්ත ඒ තීරණය නිසා එයාලගේ මුළු ජීවිතයම වෙනස් වුණා. ඔව්, මසුන් අල්ලනවා වෙනුවට එයාලා “මිනිසුන් අල්ලන්නන්” වුණා. (ලූක් 5:10) අදත් නිහතමානී, සත්‍යයට ඇලුම් කරන අයට යේසුස් ඒ ආරාධනාව කරනවා. (මතෙ. 28:19, 20) ඔයාත් ඒ ආරාධනාව පිළිගත්ත කෙනෙක්ද?

2. මිනිසුන් අල්ලන්නන් වෙන්න අපි ගන්න තීරණය ගැන බැරෑරුම්ව හිතන්න ඕනෙ ඇයි? ඒ තීරණය ගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

2 සමහරවිට ඔයා මේ වෙද්දී කාලයක් තිස්සේ බයිබලේ තියෙන දේවල් ඉගෙනගෙන ජීවිතේ වෙනස්කම් කරගෙන ඇති. ප්‍රචාරකයෙක් වෙනවාද කියලා ඔයා දැන් තීරණයක් ගන්න ඕනේ. ඒ තීරණය ගන්න එක ගැන ඔයා ඉන්නේ දෙගිඩියාවෙන් නම් අධෛර්යය වෙන්න එපා. සමහරවිට ඔයා අදිමදි කරන්නේ ඒක කොයි තරම් වැදගත් තීරණයක්ද කියලා ඔයා තේරුම් අරන් ඉන්න නිසා වෙන්න ඇති. ඇත්ත, බයිබලේ කියන්නේ පේතෘසුයි, එයා එක්ක හිටපු අයයි “ඒ මොහොතේම” දැල් අත්හැරලා ගියා කියලා. හැබැයි එයාලා ඒ තීරණය ගත්තේ හිතන්නේ බලන්නේ නැතුව හදිසියේ නෙමෙයි. මොකද එයාලා යේසුස් ගැලවුම්කරු කියලා හඳුනගෙන ඔහුව පිළිගත්තේ ඊට මාස හයකටත් කලින්. (යොහ. 1:35-42) ඒ වගේ ඔයාත් මේ වෙද්දී යෙහෝවා දෙවියන් ගැන සහ යේසුස් ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන ඇති. දෙවියන්ට තවත් ළං වෙන්න ඔයා ආසාවෙන් ඉන්නවත් ඇති. හැබැයි ප්‍රචාරකයෙක් වෙන්න තීරණය කරන්න කලින් ඔයා ඒ ගැන හොඳට හිතලා බලන්න ඕනේ. ඒ තීරණය ගන්න පේතෘස්ටයි, අන්දෘටයි අනිත් අයටයි උදව් වුණේ මොනවාද කියලා දැන් බලමු.

3. මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩේ සාර්ථකව කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

3 යේසුස්ගේ මුල් අනුගාමිකයන්ට ධීවර රැකියාව කරන්න ලොකු ආසාවකුත් ඒ ගැන හොඳ දැනුමකුත් තිබුණා. ඒ දේ කරන්න එයාලට ධෛර්යයක් ඕනෙ වුණා. තමාව හික්මවාගන්නත් වුණා. ඒ දේවල්ම තමයි දක්ෂ විදිහට ශුභාරංචිය දේශනා කරන්නත් එයාලට උදව් වුණේ. ඒ පැති වර්ධනය කරගන්න ඔයාට පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. දක්ෂ විදිහට ශුභාරංචිය දේශනා කරන්නත් උගන්වන්නත් ඒ තොරතුරු ඔයාට උදව් වෙයි.

දේශනා කරන්න ඔයාට තියෙන ආසාව වැඩි කරගන්න

පේතෘසුයි, එයාගේ යාළුවොයි මිනිසුන් අල්ලන්නන් වුණා. ඒ වැදගත් කාර්යය අදටත් සිද්ධ වෙනවා (4 සහ 5 ඡේද බලන්න)

4. පේතෘස් ධීවරයෙක් වුණේ ඇයි?

4 පේතෘස් මාළු අල්ලන්න ගියේ පවුලේ අයව බලාගන්න. හැබැයි එයා ඒක කළේ නිකම්ම රැකියාවක් විදිහට නෙමෙයි. මොකද මාළු අල්ලන්න එයාට ලොකු ආසාවක් තිබුණා. (යොහ. 21:3, 9-15) යේසුස් භාර දීපු මිනිසුන් අල්ලන්නන්ගේ කාර්යය කරන්නත් එයා ඒ වගේම ලොකු ආසාවක් ඇති කරගත්තා. යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් දක්ෂ විදිහට ඒ කාර්යය කරන්න පේතෘස්ට පුළුවන් වුණා.—ක්‍රියා 2:14, 41.

5. ලූක් 5:8-11 කියන විදිහට පේතෘස්ට බයක් දැනුණේ ඇයි? ඒ වගේ හැඟීම් පරාජය කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

5 අපි ශුභාරංචිය දේශනා කරන්නේ යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ නිසයි. අපි ඒ කාර්යය කරන ප්‍රධානම හේතුවත් ඒකයි. සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ඒ කාර්යය කරන්න අපි සුදුසු නැහැ කියලා. හැබැයි යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ අපිට උදව් වෙනවා ඒ හැඟීම් පරාජය කරන්න. මිනිසුන් අල්ලන්නන් වෙන්න කියලා යේසුස් පේතෘස්ට ආරාධනා කරපු වෙලාවේ යේසුස් කිව්වා “භය වෙන්න එපා” කියලා. (ලූක් 5:8-11 කියවන්න.) පේතෘස් බය වුණේ යේසුස්ගේ අනුගාමිකයෙක් වුණොත් මුහුණ දෙන්න වෙන දේවල් ගැන හිතලා නෙමෙයි. යේසුස් ආශ්චර්යවත් විදිහට මාළු ගොඩක් අල්ලපු විදිහ දැක්කාම පේතෘස් පුදුම වුණා. ඒ නිසා යේසුස් වගේ කෙනෙක් එක්ක එකට වැඩ කරන්න තමන් සුදුසු නැහැ කියලා පේතෘස්ට හිතුණා. යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට කරන්න තියෙන හැම දෙයක් ගැනම කල්පනා කරද්දී ඔයාටත් පේතෘස්ට වගේ බයක් දැනෙනවාද? එහෙමනම් යෙහෝවා දෙවියන්, යේසුස් සහ මිනිසුන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි කරගන්න. එතකොට මිනිසුන් අල්ලන්නන් වෙන්න කියලා යේසුස් කරපු ආරාධනය පිළිගන්න ඔයා පෙලඹෙයි.—මතෙ. 22:37, 39; යොහ. 14:15.

6. දේශනා කරන්න අපි පෙලඹෙන්නේ තව මොන හේතු නිසාද?

6 අපි දේශනා කරන්න පෙලඹෙන තවත් හේතු කීපයක් බලන්න. අපිට ඕනෙ ‘ගොස් මිනිසුන්ට මගේ අනුගාමිකයන් වෙන්න උපකාර කරන්න’ කියලා යේසුස් දීපු ආඥාවට කීකරු වෙන්න. (මතෙ. 28:19, 20) මිනිසුන් “දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස්” ඉන්න නිසා එයාලා දේවරාජ්‍යය ගැන සත්‍යය දැනගන්නම ඕනේ. ඒක අපි දේශනා කරන්න පෙලඹෙන තවත් හේතුවක්. (මතෙ. 9:36) යෙහෝවා දෙවියන්ටත් ඕනෙ සෑම තරාතිරමකම සිටින මිනිසුන් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගෙන ගැලවීම ලබනවා දකින්න.—1 තිමෝ. 2:4.

7. දේශනා කරන කාර්යය වැදගත් එකක් කියලා රෝම 10:13-15 පැහැදිලි වෙන්නේ කොහොමද?

7 දේශනා කිරීමේ කාර්යය මිනිසුන්ගේ ජීවිත ගලවගන්න දායක වෙන විදිහ ගැන හිතද්දී ඒ දේ කරන්න අපිට ලොකු ආසාවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ධීවරයන් මාළු අල්ලන්නේ විකුණන්න නැත්නම් කෑමට ගන්න. හැබැයි අපි මිනිසුන් ‘අල්ලන්නේ’ එයාලගේ ජීවිත බේරගන්න.—රෝම 10:13-15 කියවන්න; 1 තිමෝ. 4:16.

දැනුවත් වෙන්න

8-9. ධීවරයෙක් දැනන් ඉන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

8 ඊශ්‍රායෙල් ජාතික ධීවරයෙක් දැනගෙන ඉන්න ඕනෙ වුණා එයාට අල්ලන්න පුළුවන් මොන වර්ගයේ මාළුද කියලා. (ලෙවී. 11:9-12) ලේසියෙන් මාළු අල්ලගන්න පුළුවන් කොයි වගේ තැන්වලද කියලත් එයා දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් මාළු වැඩිපුරම ගැවසෙන්නේ උන්ට ඉන්න සුදුසු පරිසරයක් තියෙන, ඇති තරම් කෑම තියෙන තැන්වල. මාළු අල්ලන්න යන්න ඕනෙ වෙලාව දැනගෙන ඉන්න එකත් හරිම වැදගත්. දවසක් පැසිෆික් දූපතක ජීවත් වෙන සාක්ෂිකරුවෙක් මිෂනාරිවරයෙක්ට කිව්වා එයාත් එක්ක මාළු අල්ලන්න යන්න එන්න කියලා. එතකොට ඒ මිෂනාරිවරයා කිව්වා “මං හෙට උදේ 9ට එන්නම්” කියලා. එතකොට ඒ සහෝදරයා කිව්වා “අපි මාළු අල්ලන්න යන්න ඕනෙ මාළු ඉන්න වෙලාවට මිසක් අපිට ලේසි වෙලාවට නෙමෙයි” කියලා.

9 ඒ වගේ මුල් සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් මිනිසුන් වැඩිපුර ගැවසෙන තැන්වලට සහ මිනිසුන් වැඩිපුර ඉන්න වෙලාවලදී ගිහින් දේශනා කළා. උදාහරණෙකට එයාලා දේවමාලිගාවට, සිනගෝගවලට, ගෙයින් ගෙට සහ වෙළඳපොළට ගිහින් දේශනා කළා. (ක්‍රියා 5:42; 17:17; 18:4) අපිත් අපි දේශනා කරන ප්‍රදේශයේ මිනිසුන් ගෙවල්වල ඉන්නේ මොන වෙලාවටද, එයාලව මුණගැහෙන්න පුළුවන් මොන වගේ තැන්වලදීද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ අනුව අපේ කාලසටහන සකස් කරගන්න අපි කැමැත්තෙන් ඉන්න ඕනේ.—1 කොරි. 9:19-23.

දක්ෂ ධීවරයන් . . . 1. මාළු අල්ලන්න යන්නේ මාළු ඉන්න වෙලාවට සහ මාළු ඉන්න තැන්වලට (8 සහ 9 ඡේද බලන්න)

10. සංවිධානයෙන් අපිට දීලා තියෙන්නේ මොන වගේ දේවල්ද?

10 මාළු අල්ලන්න නම් ධීවරයෙක්ට ඒකට ඕනෙ කරන ආම්පන්න තියෙන්නම ඕනේ. ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා එයා දැනගෙන ඉන්නත් ඕනේ. ඒ වගේ අපිටත් දේශනා කරන්න අවශ්‍ය දේවල් තියෙන්න ඕනේ. ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්නත් ඕනේ. දේශනා කරන්න ඕනෙ විදිහ ගැන යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා. එයාලා ගෙනියන්න ඕනෙ මොනවාද සේවයේ යන්න ඕනෙ කොහෙද කියන්න ඕනෙ මොනවාද වගේ හැම දෙයක් ගැනම යේසුස් එයාලට කියලා දුන්නා. (මතෙ. 10:5-7; ලූක් 10:1-11) දේශනා කිරීමේ කාර්යය සාර්ථකව කරන්න උදව් වෙන දේවල් ඇතුළත් ඉගැන්වීම් කට්ටලයක් යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් දැන් අපිට දීලා තියෙනවා. * ඒ වගේම ඒවා පාවිච්චි කරන්න ඕනෙ විදිහ ගැන අපිට පුහුණුවකුත් දීලා තියෙනවා. බය නැතුව දේශනා කරන්නත් දක්ෂ විදිහට උගන්වන්නත් ඒ පුහුණුව අපිට උදව් වෙනවා.—2 තිමෝ. 2:15.

දක්ෂ ධීවරයන් . . . 2. හරි ආම්පන්න පාවිච්චි කරන්න හොඳින් පුහුණු වෙලා ඉන්නවා (10 ඡේදය බලන්න)

ධෛර්යය වැඩි කරගන්න

11. මිනිසුන් අල්ලන්නන් වෙන්න ධෛර්යය තියෙන්න ඕනෙ ඇයි?

11 ධීවරයන්ට ධෛර්යය තියෙන්නම ඕනේ. මොකද ගොඩක් වෙලාවලට එයාලා මුහුදු යන්නේ රෑ ජාමේ. ඒ විතරක් නෙමෙයි මුහුදේදී හිතන්නේ නැති කාලගුණික තත්වයන්වලට මුහුණ දෙන්නත් එයාලට සිද්ධ වෙනවා. මිනිසුන් අල්ලන්නන්ටත් ධෛර්යය තියෙන්නම ඕනේ. අපි දේශනා කරද්දී, අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වලා දෙද්දී පවුලේ අය අපිට දැඩි විරුද්ධවාදිකම් එල්ල කරන්න පුළුවන්. යාළුවෝ අපිට උසුළුවිසුළු කරන්න ඉඩ තියෙනවා. සමහරු අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒ දේවල් ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන්ට දේශනා කරන්න වෙන්නේ විරුද්ධවාදිකම් මැද කියලා.—මතෙ. 10:16.

12. යොෂුවා 1:7-9 අනුව ධෛර්යය වැඩි කරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

12 ධෛර්යය වැඩි කරගන්න ඔයාට පුළුවන් කොහොමද? මුලින්ම යේසුස් අදටත් ස්වර්ගයේ ඉඳන් දේශනා සේවයට මඟ පෙන්වනවා කියලා ඔයා විශ්වාස කරන්න ඕනේ. (යොහ. 16:33; එළි. 14:14-16) ඒ වගේම යෙහෝවා දෙවියන් ඔයාව බලාගන්නවා කියලා දීලා තියෙන පොරොන්දුව ගැන ඔයාට තියෙන විශ්වාසය වැඩි කරගන්නත් ඕනේ. (මතෙ. 6:32-34) ඔයාගේ විශ්වාසය වැඩි වෙන තරමටම ඔයාගේ ධෛර්යයත් වැඩි වෙනවා. පේතෘසුයි, එයාගේ යාළුවනුයි ධීවර කර්මාන්තය අත්හැරලා යේසුස්ගේ අනුගාමිකයන් වුණාම ඒකෙන් පැහැදිලිවම පෙනුණා එයාලට මොන තරම් ශක්තිමත් විශ්වාසයක් තිබුණාද කියලා. ඒ වගේ ඔයාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා කියලත් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වෙනවා කියලත් පවුලේ අයට, යාළුවන්ට කියපු එකෙන් පැහැදිලි වෙනවා ඔයාට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා. යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඔයා මේ වෙද්දීත් ඔයාගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කරගෙන ඇති. ඒ දේවල් කරන්නත් ඔයාට ලොකු විශ්වාසයක්, ධෛර්යයක් ඕනෙ වුණා. ඔයා දිගටම ධෛර්යය වැඩි කරගද්දී ‘ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා ඔබ සමඟ සිටිනවා’ කියන එක ගැන නිසැක වෙන්න පුළුවන්.—යොෂුවා 1:7-9 කියවන්න.

දක්ෂ ධීවරයන් . . . 3. කාලගුණික තත්වයන් වෙනස් වුණත් ධෛර්යවන්තව ඒ වැඩේ කරනවා (11 සහ 12 ඡේද බලන්න)

13. ගැඹුරින් හිතන එක සහ යාච්ඤා කරන එක ධෛර්යය වැඩි කරගන්න උදව් වෙන්නේ කොහොමද?

13 ධෛර්යය වැඩි කරගන්න ඔයාට උදව් වෙන්නේ තව මොනවාද? ධෛර්යය සහ නිර්භීතකම ඉල්ලලා යාච්ඤා කරන්න. (ක්‍රියා 4:29, 31) යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙයි. ඔහු කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ. ඔයාට උදව් ඕනෙම වෙලාවලදී ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි. අතීතයේදී යෙහෝවා දෙවියන් තමන්ගේ සේවකයන්ව ගලවගත්ත විදි ගැන හිතන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට තිබුණු අභියෝග ජය ගන්නත් ඔයාගේ ජීවිතේ වෙනස්කම් කරගන්නත් ඔහු ඔයාට උදව් කරපු විදිහ ගැනත් හොඳට හිතන්න. රතු මුහුද හරහා තමන්ගේ සෙනඟව ආරක්ෂිතව අරන් ගිය දෙවියන් අනිවාර්යයෙන්ම යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ඔයාටත් උදව් කරනවා. (නික්. 14:13) ගීතිකාකරුට තිබුණු මේ විශ්වාසය ඇතුව ඉන්න ඔයාටත් පුළුවන්. “යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි. දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?”—ගීතා. 118:6.

14. මසෙයිගේ සහ ටොමෝයෝගේ අද්දැකීම්වලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

14 ලැජ්ජාශීලී අයට නිර්භීත වෙන්න යෙහෝවා දෙවියන් උදව් කරපු විදි දැනගද්දීත් අපේ ධෛර්යය වැඩි වෙනවා. සහෝදරි මසෙයිගේ අද්දැකීම බලන්න. එයා හරිම ලැජ්ජාශීලී කෙනෙක්. අඳුරන්නේ නැති අයට ශුභාරංචිය කියන එක හරියට උස තාප්පයකට නඟින්න හදනවා වගේ දෙයක් කියලයි එයාට හිතුණේ. කවදාවත් ඒක කරන්න බැරි වෙයි කියලා එයා හිතුවා. ඒ නිසා යෙහෝවා දෙවියන් ගැනත් අසල්වැසියන් ගැනත් එයාගේ හිතේ තිබුණු ආදරේ වැඩි කරගන්න එයා ලොකු උත්සාහයක් ගත්තා. දේශනා සේවය කල් දාන්නේ නැතුව දැන්ම කරන එක කොයි තරම් වැදගත්ද කියලත් එයා කල්පනා කළා. දේශනා කරන්න එයාට තිබුණු ආසාව වැඩි කරගන්න උදව් ඉල්ලලා එයා යාච්ඤා කළා. අන්තිමේදී එයා එයාගේ අභියෝග ජය අරන් ස්ථාවර පුරෝගාමි සේවයත් කළා. ‘ධෛර්යවන්තව වැඩ කරන්න’ අලුත් ප්‍රචාරකයන්ට උදව් කරන්නත් යෙහෝවා දෙවියන්ට පුළුවන්. සහෝදරි ටොමෝයෝගේ අද්දැකීම බලන්න. එයා ගෙයින් ගෙට සේවයේ හවුල් වුණු මුල්ම දවසේ එයා ගිය මුල්ම ගෙදර හිටපු කෙනා කෑගහලා “යෙහෝවාගේ කට්ටිය එක්ක කතා කරන්න මට ඕනෙ නැහැ” කියලා හයියෙන් දොර වැහුවා. ටොමෝයෝ චුට්ටක්වත් බය වුණේ නැහැ. එයා එයාගේ යාළුවාට මෙහෙම කිව්වා. “මට වචනයක්වත් කියන්න ඕන වුණේ නැහැ. ඒත් එයා මාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා අඳුනගත්තනේ. මට ඒ ඇති.” ටොමෝයෝ දැන් ස්ථාවර පුරෝගාමියෙක්.

තමන්වම හික්මවාගන්න ඉගෙනගන්න

15. සාර්ථක ධීවරයන් තමන්වම හික්මවාගන්නේ කොහොමද? අපිත් ඒ දේ කරන එක වැදගත් ඇයි?

15 සාර්ථක ධීවරයෙක් තමන්වම හික්මවාගන්නවා. උදාහරණෙකට මුහුදු යන්න එයා උදේ පාන්දරින්ම නැඟිටිනවා. මුහුදේදී කාලගුණික තත්වය නරක අතට හැරුණත් එයාගේ වැඩේ එයා නතර කරන්නේ නැහැ. එයාගේ වැඩේ ඉවර වෙන කල්ම එයා ඒක දාලා එන්නේ නැහැ. ඒ කියන්නේ එයා එයාගේ වැඩේ සම්පූර්ණ කරන්න ලොකු වෑයමක් දරනවා. ඒ වගේ අපිත් අපිට භාර දීලා තියෙන වැඩේ අත්හරින්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඉටු කරන්න නම් අපිවම හික්මවාගන්න ඉගෙනගන්න ඕනේ.—මතෙ. 10:22.

16. අපිට කරන්න අමාරුයි කියලා හිතෙන දේවල් කරන්න උදව් වෙන්නේ මොකක්ද?

16 උපතින්ම අපිට අපිවම හික්මවාගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කැමති ලේසිම දේ කරන්න. ඒත් ජීවිතේ සමහර වැදගත්ම දේවල් කරන එක ලේසි නැහැ. ඒ නිසා අපි අපිවම හික්මවාගන්න ඉගෙනගන්න ඕනේ. ඒත් ඒක අපේ හැකියාවෙන් විතරක් කරන්න බැහැ. යෙහෝවා දෙවියන් ඔහුගේ බලය අපිට දීලා අපිවම හික්මවාගන්න උදව් කරනවා.—ගලා. 5:22, 23.

17. 1 කොරින්ති 9:25-27 අනුව තමාවම හික්මවාගන්න පාවුල් කළේ මොනවාද?

17 පාවුල් තමාවම හික්මවාගත්ත කෙනෙක්. ඒත් එයා කිව්වා හරි දේ කරන්න එයාට එයාගේ “ශරීරයට දැඩි ලෙස පහර” දෙන්න සිද්ධ වුණා කියලා. (1 කොරින්ති 9:25-27 කියවන්න.) එයා අනිත් අයටත් දිරිගැන්නුවා තමන්වම හික්මවාගන්න ඉගෙනගෙන “හැම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත්” කරන්න කියලා. (1 කොරි. 14:40) දේශනා කිරීමේ කාර්යය ඇතුළුව අපේ නමස්කාරයට සම්බන්ධ දේවල් අත් නෑර කරන්න නම් අපිත් අපිවම හික්මවාගන්න ඕනේ.—ක්‍රියා 2:46.

කල් දාන්න එපා

18. අපි අපේ වැඩේ සාර්ථකව කරනවා කියලා යෙහෝවා දෙවියන් සලකන්නේ අපි මොනවා කළොත්ද?

18 ධීවරයෙක්ගේ සාර්ථකත්වය මනින්නේ එයා කොයි තරම් මාළු ප්‍රමාණයක් අල්ලනවාද කියන එක මතයි. හැබැයි මිනිසුන් අල්ලන්නන් විදිහට අපි කරන වැඩේ ඊට වඩා වෙනස්. අපේ සාර්ථකත්වය තීරණය වෙන්නේ යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට එන්න අපි කීදෙනෙක්ට උදව් කරනවාද කියන එක අනුව නෙමෙයි. (ලූක් 8:11-15) අපි ශුභාරංචිය දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යය අත් නෑර කරනවා නම් යෙහෝවා දෙවියන් අපිව සාර්ථක අය විදිහට සලකනවා. මොකද අපි එහෙම කරන එකෙන් පැහැදිලි වෙනවා අපි දෙවියන්ටත් ඔහුගේ පුතාටත් කීකරු වෙනවා කියලා.—මාක් 13:10; ක්‍රියා 5:28, 29.

19-20. දැන්ම දේශනා කරන්න අපිට තියෙන තවත් හේතුවක් මොකක්ද?

19 සමහර රටවල මාළු අල්ලන්න අවසර තියෙන්නේ මාස කීපයකට විතරයි. ඒ කාලය ඉවර වෙන්න ළං වෙද්දී ධීවරයන් වැඩ කරන්නේ ‘කල් දාන්න බැහැ ඉක්මනින්ම මාළු අල්ලන්න ඕනෙ’ කියන හැඟීමෙන්. මිනිසුන් අල්ලන්නන් විදිහට අපි කරන කාර්යයේ දැන්මම හවුල් වෙන්න අපිටත් ඒ හා සමාන හේතුවක් තියෙනවා. මේ දුෂ්ට සමාජයේ අවසානය දවසින් දවස ළං වෙනවා. මිනිසුන් ගලවන වැඩේට හවුල් වෙන්න තව ලොකු කාලයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඒ වැඩේ කරන එක කල් දාන්නවත් ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම හොඳ අතට හැරෙන කල් බලන් ඉන්නවත් එපා.—දේශ. 11:4.

20 දේශනා කරන්න ඔයාට තියෙන ආසාව, බයිබලය ගැන ඔයාට තියෙන දැනුම, ඔයාගේ ධෛර්යය සහ ඔයාව හික්මවාගන්න තියෙන හැකියාව දැන්ම වැඩි කරගන්න. ලෝකේ පුරාම ශුභාරංචිය දේශනා කරන මිලියන 8කට වඩා වැඩිදෙනා එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන් ලබා දෙන ප්‍රීතිය ඔයාත් අද්දකින්න. (නෙහෙ. 8:10) දේශනා සේවය නතර කරන්න කියලා යෙහෝවා දෙවියන් කියන කල් පුළුවන් උපරිමයෙන් අත් නෑර සේවයේ හවුල් වෙන්න අදිටන් කරගන්න. ශුභාරංචිය දේශනා කරන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න උදව් වෙන පැති තුනක් ගැන ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 66 රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න

^ 5 ඡේ. නිහතමානීව වෙහෙස නොබලා වැඩ කරපු ධීවරයන්ට තමන්ගේ අනුගාමිකයන් වෙන්න කියලා යේසුස් ආරාධනා කළා. ඒ වගේ ගුණාංග තියෙන අයට තමන්ගේ අනුගාමිකයන් වෙලා ශුභාරංචිය දේශනා කරන්න එන්න කියලා අදත් යේසුස් ආරාධනා කරනවා. ඒ ආරාධනය පිළිගන්න අදිමදි කරන බයිබල් ශිෂ්‍යයන් කරන්න ඕනෙ මොනවාද කියලා අපි මේ ලිපියෙන් බලමු.

^ 1 ඡේ. පැහැදිලි කිරීමක්: “මිනිසුන් අල්ලන්නන්” කියන යෙදුමෙන් ශුභාරංචිය දේශනා කරන සහ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන අයව අදහස් වෙනවා.

^ 10 ඡේ. 2018 ඔක්තෝබර් ‘මුරටැඹ’ කලාපයේ 11-16 දක්වා පිටුවල පළ වුණු “සත්‍යය උගන්වන්න” කියන ලිපිය බලන්න.