Skip to content

පටුනට යන්න

ජොසෆ් එෆ්. රදෆර්ඩ් සහ තවත් සහෝදරයන් එක්ක යුරෝපයේ කළ සංචාරයක් අතරතුරේදී

සියවසකට පෙර - 1920

සියවසකට පෙර - 1920

1920 ආරම්භයත් එක්කම යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ලොකු උද්‍යෝගයකින් සේවය කරන්න පටන්ගත්තා. ඒ අවුරුද්දේ වාර්ෂික පදය හැටියට එයාලා තෝරගත්තේ “ස්වාමීන් මාගේ ශක්තිය හා මාගේ ගීතිකාවය” කියන එකයි.—ගීතා. 118:14, පැරණි අනුවාදය.

උද්‍යෝගයෙන් සේවය කරපු තමන්ගේ සේවකයන්ව යෙහෝවා දෙවියන් ශක්තිමත් කළා. ප්‍රතිඵලයක් විදිහට ඒ අවුරුද්දේදී පුරෝගාමීන්ගේ සංඛ්‍යාව 225 ඉඳන් 350 දක්වා වැඩි වුණා. මුල්ම වතාවට ප්‍රචාරකයන් 8,000කටත් වඩා මූලස්ථානයට වාර්තා කළා. යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය එයාලට නොඅඩුව ලැබුණා කියලා ඒ හැම දේකින්ම පැහැදිලියි.

දැවෙන උද්‍යෝගයක්

ඒ කාලේ බයිබල් ශිෂ්‍යයන්ගේ වැඩකටයුතු සංවිධානය කළේ සහෝදර ජෝසෆ් එෆ්. රදෆර්ඩ්. 1920 මාර්තු 21වෙනිදා “දැන් ජීවත් වෙන මිලියන ගණනක් කිසිදා මිය යන්නේ නැහැ” කියන තේමාවෙන් දේශනයක් දෙන්න එයා සැලසුම් කළා. ඒ දේශනයට මිනිසුන්ට ආරාධනා කරන්න බයිබල් ශිෂ්‍යයන් වැඩ කළේ පුදුම උද්‍යෝගයකින්. ඒ දේශනය දෙන්න එයාලා එවකට තිබුණු ලොකුම ශාලාවක් කුලියට ගත්තා. එයාලා හැමෝම එකතු වෙලා ආරාධනා පත්‍ර 3,20,000ක් විතර බෙදලා දුන්නා.

“දැන් ජීවත් වෙන මිලියන ගණනක් කිසිදා මිය යන්නේ නැහැ” කියන දේශනය ගැන පුවත්පතක පළ වුණු දැන්වීමක්

සිද්ධ වුණේ බයිබල් ශිෂ්‍යයන් හීනෙකින්වත් හිතුවේ නැති දෙයක්. මිනිසුන් 5,000කටත් වඩා වැඩි දෙනෙක්ගෙන් ඒ ශාලාව පිරිලා ඉතිරිලා ගියා. අන්තිමේදී තවත් ඉඩ නැති නිසා 7,000කට විතර ආපහු හැරිලා යන්න වුණා. ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් කරලා තිබුණා “ඒක බයිබල් ශිෂ්‍යයන් පවත්වපු සාර්ථකම රැස්වීම්වලින් එකක්” කියලා.

ඒ දේශනය ගැන දැනුම් දීපු නිසා බයිබල් ශිෂ්‍යයන් ගැන කොයි කාටත් දැනගන්න ලැබුණා. රාජ්‍යය ගැන ශුභාරංචිය ලෝකේ පුරාම දැනුම් දෙන්න ඕනෙ කියලා ඒ වෙද්දී එයාලා දැනන් හිටියේ නැහැ. ඒ වුණත් එයාලා සේවය කළේ පුදුම උද්‍යෝගයකින්. 1902දී බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්ත සහෝදරි අයිඩා ඕම්ස්ටෙඩ් මෙහෙම කියනවා. “ළඟදීම මිනිසුන් හැමෝටම දෙවියන්ගේ ආශීර්වාද අද්දකින්න ලැබෙනවා කියලා දැනගත්ත නිසා සේවයේදී මුණගැහෙන හැමෝටම ඒ ගැන කියන්න අපි පුළුවන් හැම දේම කළා.”

මුද්‍රණ කටයුතු ඇරඹෙයි

දෙවියන්ගෙන් ලැබෙන පෝෂණය හැමෝටම ඇති තරම් ලබා දෙන්න ඕන නිසා බෙතෙල් එකේ සේවය කරපු සහෝදරයන් සමහර ප්‍රකාශන මුද්‍රණය කරන්න පටන්ගත්තා. එයාලා මුලින්ම බෘක්ලින් බෙතෙල් එකේ ඉඳන් ගොඩනැඟිලි කිහිපයක් එහායින් තිබුණු ගොඩනැඟිල්ලක් කුලියට ගත්තා. ඊටපස්සේ අවශ්‍ය කරන උපකරණ මිල දී අරන් ඒ ගොඩනැඟිල්ලේ ඒවා සවි කළා.

සහෝදර ලියෝ පෙල් සහ වෝල්ටර් කෙස්ලර් 1920 ජනවාරි මාසේ ඉඳන් බෙතෙල් එකේ සේවය කරන්න පටන්ගත්තා. ඒ ගැන මතක් කරමින් වෝල්ටර් මෙහෙම කියනවා. “අපි එදා බෙතෙල් එකේ වැඩට ගියාම මුද්‍රණ අංශයේ වැඩ බලන සහෝදරයා අපිට කිව්වා දවල් කෑමට තව පැය එකහමාරක්ම තියෙනවා කියලා. ඊටපස්සේ එයා කිව්වා පල්ලෙහාම තට්ටුවේ ගබඩා කාමරේ තියෙන පොත් පෙට්ටි ටික උඩට අරන් එන්න කියලා.”

ඊළඟ දවසේ වුණු දේ ගැන මතක් කරමින් සහෝදර ලියෝ මෙහෙම කියනවා. “එදා අපිට දුන්නේ මුද්‍රණ වැඩවලට කුලියට අරන් තිබුණු ගොඩනැඟිල්ලේ ජරා වෙලා තිබුණු බිත්ති සුද්ද කරන්න. ඒ වගේ වැඩක් නම් මගේ ජීවිතේට මං කරලා තිබුණේ නෑ. ඒත් ඉතින් ඒක කරන්නේ ස්වාමීන් වෙනුවෙන් නිසා අපි ඒක සතුටින් කළා.”

‘මුරටැඹ’ සඟරා මුද්‍රණය කරපු මුද්‍රණ යන්ත්‍රය

සති කිහිපයක් ඇතුළතදී උද්‍යෝගයෙන් සේවය කරපු ස්වේච්ඡා සේවකයන් ‘මුරටැඹ’ සඟරාව මුද්‍රණය කරන්න පටන්ගත්තා. එයාලා දෙවෙනි මහලේ තිබුණු මුද්‍රණාලයෙන් 1920 පෙබරවාරි 1 ‘මුරටැඹ’ කලාපයේ පිටපත් 60,000ක් මුද්‍රණය කළා. කාලයක් යද්දී සහෝදරයන් පල්ලෙහාම තට්ටුවෙත් මුද්‍රණාලයක් හැදුවා. 1920 අප්‍රියෙල් 14 ‘පිබිදෙව්!’ (ඒ කාලේ හැඳින්නුවේ ‘ද ගෝල්ඩන් ඒජ්’ කියලා) සඟරාව එයාලා ඒ මුද්‍රණාලයේ මුද්‍රණය කරන්න පටන්ගත්තා. උද්‍යෝගයෙන් සේවය කරපු සහෝදරයන්ගේ වෙහෙසට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරලා තියෙනවා කියලා ඒ හැම දේකින්ම පැහැදිලියි.

“ඒක කරන්නේ ස්වාමීන් වෙනුවෙන් නිසා අපි ඒක සතුටින් කළා”

“එක්සත්ව සේවය කරමු”

නව පන්නරයක් ලබපු යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් උද්‍යෝගයෙන් එකමුතුව සේවය කළා. හැබැයි 1917ත් 1919ත් අතර කාලයේදී සිද්ධ වුණු දේවල් නිසා සමහර බයිබල් ශිෂ්‍යයන් සංවිධානය අත්හැරලා ගියා. සංවිධානයෙන් ඒ අය වෙනුවෙන් කළේ මොනවාද?

1920 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ “එක්සත්ව සේවය කරමු” කියන තේමාවෙන් ලිපියක් පළ වුණා. ඒකේ හරිම ආදරෙන් සහෝදරයන්ට මෙහෙම කියලා තිබුණා. ‘ස්වාමීන්ට කීකරු වෙන්න කැමති හැමෝම අතීතයේ වුණු දේවල් අමතක කරලා දෙවියන්ගේ සෙනඟත් එක්ක එකතු වෙලා එක ශරීරයක් වගේ එක්සත්ව වැඩ කරන්න ඉදිරිපත් වෙයි කියලා අපිට විශ්වාසයි.’

ඒ ලිපියේ ආදරෙන් දීලා තිබුණු මඟ පෙන්වීම් හුඟක් අය පිළිගත්තා. එක විවාහක යුවළක් මෙහෙම කියලා තිබුණා. ‘අනිත් අය සේවේ හවුල් වෙද්දී අපි පැත්තක් ගහලා හිටපු එක වැරදියි කියලා අපි පිළිගන්නවා. ආයේ කවදාවත් අපි ඒ වරද කරන්නේ නැහැ. දෙවියන්ගේ සෙනඟ එක්ක එකතු වෙලා දිගටම උද්‍යෝගයෙන් සේවය කරන්න අපි අදිටන් කරගත්තා.’ සංවිධානයට ආයෙත් එකතු වුණු ඒ අයට කරන්න වැඩ ගොඩක් තිබුණා.

“ZG” බෙදාහරියි

“ZG” විදිහට කෙටියෙන් හඳුන්වන්නේ ‘ශුද්ධ ලියවිලි පිළිබඳ අධ්‍යයනය’ කියන පොත් කාණ්ඩයේ හත් වෙනි වෙළුම වුණු ‘අභිරහස හෙළි කිරීම’ කියන පොතයි. 1918දී ඒ පොත තහනම් කරපු නිසා ඒ පොත් විශාල ප්‍රමාණයක් ගබඩා කරලා තිබුණා. 1920 ජූනි 21 වෙනිදා බයිබල් ශිෂ්‍යයන් ලොකු උද්‍යෝගයකින් පුළුවන් තරම් දෙනෙක්ට ඒ පොත බෙදාහරින්න පටන්ගත්තා.

පුරෝගාමීන්ට විතරක් නෙවෙයි ප්‍රචාරකයන් හැමෝටමත් ඒ පොත බෙදාහරින වැඩේට හවුල් වෙන්න කියලා දිරිගන්වලා තිබුණා. ඒ ගැන ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ (ඒ කාලේ හැඳින්නුවේ ‘බුලටින්’ කියලා) සඳහන් වුණේ මෙහෙමයි. “බව්තීස්ම වුණු හැමෝම මේ කාර්යයට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පුළුවන් උපරිමයෙන්ම මේ පොත බෙදාහරින්න අදිටන් කරගන්න.” ඒ ගැන මතක් කරමින් සහෝදර එඩ්මන්ඩ් හූපර් මෙහෙම කියනවා. “ඒ වැඩේට හවුල් වෙද්දී තමයි හුඟක් අය මුල්ම වතාවට ගෙයින් ගෙට සේවයේ හවුල් වුණේ. මේ වැඩේ කරද්දී තමයි අපිට තේරුණේ ශුභාරංචිය දේශනා කරන එක ලෝකේ අස්සක් මුල්ලක් නෑර සිද්ධ වෙන්න ඕන දෙයක් කියලා.”

යුරෝපයේ සේවය නැවත සංවිධානය කරයි

පළවෙනි ලෝක මහා යුද්ධය පැවතුණු කාලෙදී වෙනත් රටවල හිටපු සහෝදරයන් එක්ක අදහස් හුවමාරු කරගන්න එක ලොකු අභියෝගයක් වෙලා තිබුණා. සහෝදර රදෆර්ඩ්ට ලොකු උවමනාවක් තිබුණා ඒ රටවල සහෝදරයන්ව දිරිගන්වලා දේශනා වැඩකටයුතු ආයෙත් සංවිධානය කරන්න. ඒ නිසා එයා 1920 අගෝස්තු 12වෙනිදා තවත් සහෝදරයන් හතරදෙනෙක් එක්ක බ්‍රිතාන්‍යයට, යුරෝපයට සහ මැදපෙරදිග රටවලට සංචාරය කළා.

සහෝදර රදෆර්ඩ් ඊජිප්තුවේදී

සහෝදර රදෆර්ඩ් බ්‍රිතාන්‍යයට ගියාම එහේ බයිබල් ශිෂ්‍යයන් සමුළු තුනකුත් රැස්වීම් 12කුත් සංවිධානය කළා. ඒවාට මිනිසුන් 50,000ක් විතර ඇවිත් තියෙනවා. ඒ ගැන ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණේ මෙහෙමයි. “දුකින් හිටිය අපේ සහෝදරයන්ට ඒක ලොකු සහනයක් සහ දිරිගැන්වීමක් වුණා. සහෝදරයන් අතරේ තිබුණු බැඳීමත් ශක්තිමත් වුණා. ඒ විතරක් නෙවෙයි එකමුතුව සේවය කරන්නත් එයාලා පෙලඹුණා.” සහෝදර රදෆර්ඩ් ප්‍රංශයට ගිහින් “දැන් ජීවත් වෙන මිලියන ගණනක් කිසිදා මිය යන්නේ නැහැ” කියන තේමාවෙන් දේශනයක් දෙද්දී ඒ ශාලාව මිනිසුන්ගෙන් පිරිලා තිබුණා. ඒකට ඇවිත් හිටිය 300 දෙනෙක් තවත් තොරතුරු දැනගන්න කැමති වෙලා තියෙනවා.

ලන්ඩන්වල පවත්වපු දේශනයක දැන්වීමක්

සති කිහිපයකට පස්සේ සහෝදර රදෆර්ඩ් සහ එයාත් එක්ක හිටිය අනිත් සහෝදරයන් ඇතන්ස්වලට, කයිරෝවලට සහ යෙරුසලමට ගියා. උනන්දුවක් දක්වපු අයට ප්‍රකාශන ලබා දෙන්න උදව්වක් විදිහට සහෝදර රදෆර්ඩ් යෙරුසලමේ රාමල්ලාවල ප්‍රකාශන ගබඩා කරන්න පුළුවන් කාර්යාලයක් පිහිටෙව්වා. ඊටපස්සේ එයා යුරෝපයට ගිහින් ප්‍රකාශන මුද්‍රණය කරන්න ශාඛා කාර්යාලයක් පිහිටෙව්වා.

අසාධාරණය හෙළි කරයි

1920 සැප්තැම්බර් මාසෙදී බයිබල් ශිෂ්‍යයන් ‘ද ගෝල්ඩන් ඒජ්’ සඟරාවේ 27වෙනි කලාපය නිකුත් කළා. ඒක විශේෂ කලාපයක්. 1918දී බයිබල් ශිෂ්‍යයන්ට මුහුණ දෙන්න වුණු පීඩා ගැන ඒ සඟරාවේ හෙළි කරලා තිබුණා. ‘ද ගෝල්ඩන් ඒජ්’ සඟරාව මුද්‍රණය කරපු මුද්‍රණාලයේ සහෝදරයන් දිවා රෑ නොබලා වැඩ කළා. ප්‍රතිඵලයක් විදිහට එයාලා ඒ සඟරාවේ පිටපත් මිලියන හතරකටත් වඩා මුද්‍රණය කළා.

පොලීසියේදී ගත්ත සහෝදරි එමා මාටින්ගේ ඡායාරූපයක්

කැලිෆෝර්නියාවේ සැන් බර්නාඩීනෝවල පුරෝගාමි සේවය කරපු සහෝදරි එමා මාටින්ට සිද්ධ වුණු අසාධාරණය ගැන ඒ සඟරාවේ හෙළි කරලා තිබුණා. 1918 මාර්තු 17 වෙනිදා ඒ සහෝදරිය සහෝදර ඊ. හැම්, ඊ. ජේ. සොනැන්බර්ග් සහ අර්නස්ට් ස්ටීවන්ස් එක්ක බයිබල් ශිෂ්‍යයන්ගේ පුංචි රැස්වීමකට හවුල් වෙමිනුයි හිටියේ.

බයිබල් ශිෂ්‍යයන්ගේ වරදක් අල්ලගන්න ආපු කෙනෙකුත් ඒ රැස්වීමේ හිටියා. එයා දීපු කටඋත්තරේක මෙහෙම කියලා තියෙනවා. “මං ඒ රැස්වීමට ගියේ රජයෙන් මට නියෝගයක් ලැබුණු නිසයි. මට ඕන වුණේ රජයෙන් තහනම් කරලා තිබුණු පොතක් එයාලා පාවිච්චි කරනවා කියලා ඔප්පු කරන්න.” එදා එයා හොයපු ඒ පොතේ පිටපතක් එයාට ලැබුණා. දවස් කිහිපයකට පස්සේ සහෝදරි මාටින්වයි එයාත් එක්ක හිටපු අනිත් සහෝදරයන් තුන්දෙනාවයි රජයෙන් තහනම් කරපු පොතක් බෙදාහැරීම කියන චෝදනාව මත අත්අඩංගුවට ගත්තා.

සහෝදරි එමාවයි එයාත් එක්ක හිටපු අනිත් සහෝදරයන් තුන්දෙනාවයි වැරදිකරුවන් හැටියට ප්‍රකාශ කරලා අවුරුදු තුනක සිරදඬුවමක් එයාලට නියම කළා. එයාලා කිහිප සැරයක්ම උසාවියට අභියාචනා ඉදිරිපත් කළත් ඒ කිසිම දේකින් වැඩක් වුණේ නැහැ. අන්තිමේදී 1920 මැයි 17 වෙනිදා එයාලව හිරේ දැම්මා. හැබැයි නොහිතපු විදිහට දේවල් වෙනස් වුණා.

එයාලගේ අද්දැකීම ගැන 1920 ජූනි 20 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝවල පවත්වපු සමුළුවක දීපු දේශනයකදී සහෝදර රදෆර්ඩ් විස්තර කළා. සමුළුවට ඇවිත් හිටිය සහෝදරයන්ට ඒක අදහාගන්න බැරි වුණා. එයාලා තීරණය කළා ඒ ගැන එක්සත් ජනපදයේ ජනාධිපතිට ටෙලිග්‍රෑම් එකක් යවන්න ඕනෙ කියලා. ඒ ටෙලිග්‍රෑම් එකේ එයාලා මෙහෙම ලියලා තිබුණා. ‘මාටින් මහත්මියට වෙලා තියෙන්නේ හරිම අසාධාරණයක්. බොරු සාක්ෂි මතයි එයාව හිරේ දාලා තියෙන්නේ. අපිට හිතෙන්නේ ඒක රජයේ නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගන්න අටවපු උගුලක් කියලයි. අරන් තියෙන තීරණයට අපි තදින්ම විරුද්ධ වෙනවා.’

ඊළඟ දවසෙම ජනාධිපති වුඩ්රෝ විල්සන් සහෝදරි එමා මාටින්වයි අනිත් සහෝදරයන් තුන්දෙනාවයි හිරෙන් නිදහස් කළා. අන්තිමේදී සාධාරණය ඉටු වුණා.

1920 අවසන් වෙද්දී බයිබල් ශිෂ්‍යයන්ට සතුටු වෙන්න හුඟක් හේතු තිබුණා. දේශනා සේවය පුළුල් කරන්න මූලස්ථානය දිගටම අවශ්‍ය පියවර ගත්තා. මුළු මිනිස් වර්ගයාගේම ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් කියලා බයිබල් ශිෂ්‍යයන් ලොකු උද්‍යෝගයකින් දේශනා කළා. (මතෙ. 24:14) ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 1921දී ශුභාරංචිය තවත් පුළුල්ව ව්‍යාප්ත වුණා.