Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 43

යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නනවා

යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නනවා

“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක ඔබේ ශක්තියෙන්වත් යුද බලයෙන්වත් නොවෙයි.”—සෙක. 4:6.

ගීතිකාව 40 ඔබ කා සතුද?

මේ ලිපියෙන් *

1. බව්තීස්ම වුණාට පස්සෙත් අපි දිගටම කරන්න ඕනෙ මොනවාද?

ඔයා බව්තීස්ම වුණ කෙනෙක්ද? එහෙමනම් ඔයාට යෙහෝවා දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවා කියලත් ඔහුගේ සංවිධානයත් එක්ක එකතු වෙලා සේවය කරන්න කැමතියි කියලත් ඔයා පෙන්නලයි තියෙන්නේ. * හැබැයි ඔයා දිගටම යෙහෝවා දෙවියන් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනේ. ඒ වගේම ඔහු තමන්ගේ සංවිධානය මාර්ගයෙන් අපිට මඟ පෙන්නනවා කියන එක ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්නත් ඕනේ.

2-3. මේ කාලේ යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නන්නේ කොහොමද? පැහැදිලි කරන්න.

2 මේ කාලේ යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නන විදිහෙන් ඔහුගේ ගුණාංග, ඔහු කරන්න බලාපොරොත්තු වෙන දේවල් සහ ප්‍රමිති පැහැදිලිව දැකගන්න පුළුවන්. ඔහු තමන්ගේ සංවිධානයට මඟ පෙන්නන විදිහෙන් පැහැදිලිව පෙනෙන ඔහුගේ පෞද්ගලිකත්වයේ පැති තුනක් ගැන අපි බලමු.

3 (1) ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා.’ (ක්‍රියා 10:34) ‘සියලුදෙනාව මුදවාගැනීමට දිය යුතු නියමිත වන්දිය ගෙවන්න’ ඔහු තමන්ගේ පුතාව අපි වෙනුවෙන් දුන්නේ අපිට තියෙන ආදරේ නිසයි. (1 තිමෝ. 2:6; යොහ. 3:16) හැමෝම ගැලවීම ලබනවා දකින්න යෙහෝවා දෙවියන් කැමති නිසා ඔහු තමන්ගේ සේවකයන් මාර්ගයෙන් හැමෝටම ශුභාරංචිය දැනුම් දෙන්න සලස්වනවා. (2) යෙහෝවා දෙවියන් පිළිවෙළකට වැඩ කරන සමාදානයේ දෙවි කෙනෙක්. (1 කොරි. 14:33, 40) ඒ නිසා ඔහුගේ සෙනඟ හැටියට අපිත් පිළිවෙළකට වැඩ කරන්නත් සමාදානයෙන් කටයුතු කරන්නත් වෑයම් කරන්න ඕනේ. (3) යෙහෝවා දෙවියන් අපේ “උදාර උපදේශකයාණන්.” (යෙසා. 30:20, 21) රැස්වීම් මාර්ගයෙනුත් දේවසේවය මාර්ගයෙනුත් මිනිසුන්ට බයිබලේ තියෙන දේවල් උගන්වන්න දෙවියන්ගේ සංවිධානය ලොකු වෙහෙසක් දරන්නේ ඒ නිසයි. යෙහෝවා දෙවියන් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට මඟ පෙන්නපු විදිහෙන් ඔහුගේ පෞද්ගලිකත්වයේ ඒ පැති තුන පැහැදිලිව පෙනුණේ කොහොමද? අපේ කාලෙදී ඒ පැති තුන පැහැදිලිව පේන්නේ කොහොමද? යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙලා ඔහුට සේවය කරන්න ඔහුගේ බලය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

දෙවියන් සියල්ලන්ටම එක හා සමානව සලකනවා

4. ක්‍රියා 1:8 අනුව යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කරන්න කියලා කිව්වේ මොකක්ද? ඒ දේ කරන්න එයාලට උදව් වෙන්නේ මොකක්ද?

4 මුල් සියවසේදී. යේසුස් දේශනා කරපු පණිවිඩය නිසා හැමෝටම ලස්සන බලාපොරොත්තුවක් ලැබුණා. (ලූක් 4:43) ඔහු තමන්ගේ අනුගාමිකයන්ට කිව්වා ඒ පණිවිඩය මිනිසුන් හැමෝටම දැනුම් දෙන්න කියලා. මොකද ඔහුට ඕන වුණේ “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා එයාලා ඒ ගැන සාක්ෂි දරනවාටයි. (ක්‍රියා 1:8 කියවන්න.) හැබැයි යේසුස් දැනන් හිටියා ඔහුගේ අනුගාමිකයන්ට ඒ වැඩේ තනියම කරන්න බැහැ කියලා. ඒ නිසයි ‘දෙවියන්ගේ බලයේ උපකාරය’ ඔවුන්ට ලැබෙනවා කියලා යේසුස් පොරොන්දු වුණේ.—යොහ. 14:26; සෙක. 4:6.

5-6. යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවියන්ගේ බලය උදව් වුණේ කොහොමද?

5 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවියන්ගේ බලය ලැබුණා. ඒ වෙලාවෙම එයාලා දේශනා කරන්න පටන්ගත්තාම මිනිසුන් දහස් ගණනක් ශුභාරංචිය පිළිගත්තා. (ක්‍රියා 2:41; 4:4) විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණාම එයාලා බය වෙලා දේශනා සේවය නතර කළේ නැහැ. ඒ වෙනුවට එයාලා දෙවියන්ට කිව්වා “ඔබේ දාසයන්ට කිසිම බියක් සැකක් නැතුව ඔබ පවසන දේවල් දිගටම කතා කරන්න හැකියාව ලබා දෙන්න” කියලා. ‘දෙවිගේ බලය ලැබුණු නිසා එයාලා දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න’ පටන්ගත්තා.—ක්‍රියා 4:18-20, 29, 31.

6 යේසුස්ගේ අනුගාමිකයන්ට තවත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. උදාහරණෙකට එයාලට ශුද්ධ ලියවිල්ලේ පිටපත් තිබුණේ හරිම සීමිත ප්‍රමාණයක්. අනික අපිට වගේ බයිබලේ අධ්‍යයනය කරන්න ප්‍රකාශන එයාලට තිබුණෙත් නැහැ. විවිධ භාෂා කතා කරන හුඟදෙනෙක්ට දේශනා කරන්න එයාලට සිද්ධ වුණා. ඒ අභියෝග මැද වුණත් උද්‍යෝගයෙන් දේශනා කරපු නිසා අන්තිමේදී සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්. අවුරුදු 30ක් වගේ කෙටි කාලයක් ඇතුළතදී එයාලා ‘අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයාටම’ දේශනා කළා.—කොලො. 1:6, 23.

7. අවුරුදු 100කට කලින් හිටපු ක්‍රිස්තියානීන් දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වුණේ මොනවාද කියලා දැනගත්තේ කොහොමද? ඒක දැනගත්තම එයාලා කළේ මොනවාද?

7 අපේ කාලෙදී. යෙහෝවා දෙවියන් අදටත් ඔහුගේ සෙනඟට මඟ පෙන්නමින් එයාලව ශක්තිමත් කරනවා. මඟ පෙන්නන්න ඔහු මූලික වශයෙන්ම යොදාගන්නේ ඔහුගේ බලයේ උදව්වෙන් ලියවුණු ශුද්ධ ලියවිල්ල. යේසුස් පොළොවේ ඉද්දී කරපු සේවය ගැනත් ඔහු අනුගාමිකයන්ට දීපු ආඥාව ගැනත් බයිබලෙන් අපිට දැනගන්න පුළුවන්. (මතෙ. 28:19, 20) අවුරුදු 100ටත් වඩා කලින් ඒ කියන්නේ 1881 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “දෙවියන් අපිව කැඳවනු ලැබුවේ මිනිසුන්ගේ ගෞරවය දිනාගන්නවත් මිලමුදල් හම්බ කරන්නවත් නෙමෙයි. ඒ වෙනුවට කාලය, ශ්‍රමය සහ අපිට තියෙන හැම දෙයක්ම පාවිච්චි කරලා ශුභාරංචිය දේශනා කරන්නයි.” දේශනා සේවය පවරලා තියෙන්නේ කාටද කියන එක ගැන විස්තර කරපු 1919දී පළ වුණු පුංචි පොතක මෙහෙම සඳහන් වුණා. “දේශනා සේවය දැවැන්ත කාර්යයක් විදිහට පෙනුණත් ඒක අපිට භාර දීලා තියෙන්නේ අපේ ස්වාමීන් වන යේසුස්. ඒ නිසා අපිට අවශ්‍ය ශක්තිය ඔහු ලබා දෙයි.” (To Whom the Work Is Entrusted) මුල් සියවසේ ක්‍රිස්තියානීන් වගේ ඒ සහෝදරයනුත් නිර්භීතව පුළුවන් උපරිමයෙන් සේවයේ හවුල් වුණා. මොකද හැම තරාතිරමකම ඉන්න මිනිසුන්ට ශුභාරංචිය කියන්න දෙවියන් අනිවාර්යයෙන්ම ඔහුගේ බලය ලබා දෙනවා කියලා එයාලා දැනන් හිටියා. අපිටත් දෙවියන්ගේ බලයේ උදව් ලැබෙනවා කියලා කිසිම සැකයක් නැහැ.

යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ශුභාරංචිය ව්‍යාප්ත කරන්න ඒ ඒ කාලවල තිබුණු හොඳම තාක්ෂණය පාවිච්චි කළා (8-9 ඡේද බලන්න)

8-9. දේශනා සේවය ව්‍යාප්ත කරන්න දෙවියන්ගේ සංවිධානය පාවිච්චි කරලා තියෙන්නේ මොන වගේ ක්‍රමද?

8 අතීතයේ ඉඳන් යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ශුභාරංචිය දැනුම් දෙන්න ඒ ඒ කාලවල තිබුණු හොඳම තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මුද්‍රිත ප්‍රකාශන, “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” කියන වැඩසටහන, තැටි වාදන යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරපු කාර්, ගුවන්විදුලිය, කොම්පියුටර් සහ ඉන්ටනෙට් ඒවාට අයිතියි. ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා වැඩි භාෂා ගාණකට පොත් පත් පරිවර්තනය කරන්න දෙවියන්ගේ සංවිධානය ලොකු වෙහෙසක් දරලා තියෙනවා. මොකද හැමෝටම එක හා සමානව සලකන දෙවියන්ට ඕනෙ හැම තරාතිරමකම ඉන්න මිනිසුන් ශුභාරංචිය දැනගන්නවා දකින්නයි. ඒ නිසයි ඔහු කලින්ම කියලා තිබුණේ “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” ශුභාරංචිය දැනගන්න ලැබෙනවා කියලා.—එළි. 14:6, 7.

9 ගෙවල්වලදී මුණගැහෙන්න බැරි අයට උදාහරණෙකට ආරක්ෂාව තර කරලා තියෙන නිවාස සංකීර්ණවල ජීවත් වෙන අයට ශුභාරංචිය දැනුම් දෙන්න පුළුවන් කොහොමද? ඒකට උදව්වක් විදිහට දෙවියන්ගේ සංවිධානය පොදු සේවය කරන්න පුළුවන් විවිධ ක්‍රම හඳුන්වලා දුන්නා. උදාහරණෙකට 2001දී පාලක මණ්ඩලය ජංගම පුවරු තියාගෙන සාක්ෂි දරන්න ප්‍රංශයටත් ඊටපස්සේ තවත් රටවල් කිහිපයකටත් අනුමැතිය දුන්නා. හොඳ ප්‍රතිඵල ලැබුණාද? ඔව්. 2011දී එක්සත් ජනපදයේ මිනිසුන් වැඩිපුර ගැවසෙන නගරයක් වුණු නිව් යෝර්ක්වල ජංගම පුවරු මාර්ගයෙන් සාක්ෂි දරපු නිසා පොත් 1,02,129ක් සහ සඟරා 68,911ක් බෙදාහරින්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි 4,701දෙනෙක් බයිබල් පාඩම් කරන්නත් කැමති වෙලා තියෙනවා. ඒ සේවයට දෙවියන්ගේ බලය ලැබුණා කියලා හොඳින්ම පැහැදිලි වුණු නිසා ලෝකේ පුරාම ඒ සේවය කරන්න පාලක මණ්ඩලය අනුමැතිය දුන්නා.

10. සේවයේ දක්ෂ වෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

10 ඔයාට කරන්න පුළුවන් මොනවාද? යෙහෝවා දෙවියන් රැස්වීම් මාර්ගයෙන් අපිව පුහුණු කරනවා. ඒකෙන් ප්‍රයෝජන අරන් ඔයාගේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායමත් එක්ක දිගටම සේවයේ හවුල් වෙන්න. ඔයාගේ කණ්ඩායමේ ඉන්න අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන්ගෙන් උදව් ගන්නත් ඔයාට පුළුවන්. එයාලගේ ආදර්ශය ඔයාට ලොකු දිරිගැන්වීමක් වෙයි. අභියෝග ආවත් සේවයේ යන එක නතර කරන්න එපා. තේමා බයිබල් පදයෙන් අපිට මතක් කළා වගේ අපි සේවය කරන්නේ අපේම හැකියාවෙන් නෙමෙයි. දෙවියන්ගේ බලයේ උදව්වෙන්. (සෙක. 4:6) අනික අපි කරන්නේ දෙවියන්ගේ වැඩක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔහු අපිට උදව් කරයි කියලා නිසැකයි.

යෙහෝවා දෙවියන් පිළිවෙළකට වැඩ කරන සමාදානයේ දෙවි කෙනෙක්

11. මුල් සියවසේ සභාවේ දේවල් පිළිවෙළකට කරන්නත් සාමය රැකගන්නත් පාලක මණ්ඩලය එකමුතුව වැඩ කළේ කොහොමද?

11 මුල් සියවසේදී. දෙවියන්ගේ සෙනඟ අතරේ හැම දෙයක්ම පිළිවෙළකට කරන්නත් සාමය රැකගන්නත් පාලක මණ්ඩලය එකමුතුව වැඩ කළා. (ක්‍රියා 2:42) උදාහරණෙකට ක්‍රි.ව. 49 චර්මච්ඡේදනය ගැන ප්‍රශ්නයක් මතු වුණාම පාලක මණ්ඩලය දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඒ ප්‍රශ්නය විසඳුවා. එහෙම වුණේ නැත්නම් සභාවේ බෙදීම් ඇති වෙන්නත් දේශනා සේවය නතර වෙන්නත් ඉඩ තිබුණා. නියෝජිතයන් හා වැඩිමහල්ලන් යුදෙව් ජාතිකයන් වුණත් ඒ ප්‍රශ්නය විසඳද්දී යුදෙව් සම්ප්‍රදායේ බලපෑමටවත් ඒ ඉගැන්වීම් පතුරුවපු අයගේ බලපෑමටවත් එයාලා අහු වුණේ නැහැ. ඒ වෙනුවට එයාලා දෙවියන්ගේ වචනයේ මඟ පෙන්වීම් හොයලා බලලා හරි තීරණයක් ගන්න දෙවියන්ගේ බලයේ උදව් ඉල්ලුවා. (ක්‍රියා 15:1, 2, 5-20, 28) ප්‍රතිඵලයක් විදිහට හරි තීරණයක් ගන්න යෙහෝවා දෙවියන් එයාලට උදව් කළා. ඒ නිසා සභාවේ සාමය රැකගන්නත් දේශනා සේවය දිගටම කරන්නත් පුළුවන් වුණා.—ක්‍රියා 15:30, 31; 16:4, 5.

12. අපේ කාලේ යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ එක්සත්කමත් මනා පිළිවෙළත් තියෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

12 අපේ කාලෙදී. යෙහෝවා දෙවියන්ගේ සංවිධානය පිළිවෙළකට දේවල් කරන්නත් සාමය රැකගන්නත් දෙවියන්ගේ සෙනඟට දිගටම උදව් කරනවා. උදාහරණෙකට 1895 ‘මුරටැඹ’ නොවැම්බර් 15 කලාපයේ, 1 කොරින්ති 14:40 පදනම් කරගෙන ලියලා තිබුණු ලිපියක මෙහෙම සඳහන් වුණා. “මුල් සියවසේදී නියෝජිතයන් පිළිවෙළට වැඩ කරන එක ගැන සභාවලට නිතර නිතර මතක් කළා. ‘ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරු ලියලා තියෙන්නේ අපේම ප්‍රයෝජනයටයි.’ ඒ නිසා ඒවා කිට්ටුවෙන්ම අනුගමනය කරන එක තමයි හොඳම දේ.” (රෝම 15:4) ඒ කාලේදී වගේම අදටත් යෙහෝවා දෙවියන්ගේ සංවිධානය පිළිවෙළට වැඩ කරන්නත් සාමය රැකගන්නත් දිගටම යෙහෝවා දෙවියන්ගේ සෙනඟට උදව් කරනවා. උදාහරණෙකට හිතන්න ඔයා වෙන ප්‍රදේශයකට හරි වෙන රටකට හරි ගියාම එහෙ ‘මුරටැඹ’ පාඩමට සහභාගි වෙනවා කියලා. එදාට කරන්නේ මොන ලිපියද, පාඩම මෙහෙයවන්නේ කොහොමද කියලා ඔයාට හිතහිත ඉන්න ඕනෙ නැහැ. ඒක මොන තරම් සහනයක්ද! ඒ තරම් එක්සත්කමක් දෙවියන්ගේ සෙනඟ අතර තියෙන්නේ දෙවියන්ගේ බලයේ උපකාරය ඔහුගේ සංවිධානයට තියෙන නිසයි.—ශෙප. 3:9.

13. යාකොබ් 3:17 මනසේ තියාගෙන අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?

13 ඔයාට කරන්න පුළුවන් මොනවාද? යෙහෝවා දෙවියන්ට ඕනෙ ‘ඔහුගේ බලය ක්‍රියාත්මක වීම මගින් අද්දකින්න ලැබෙන එක්සත්කම සහ සමාදානය ඔහුගේ සෙනඟ දිගටම රැකගන්නවා’ දකින්නයි. (එෆී. 4:1-3) ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මම සභාවේ සාමයට, එක්සත්කමට දායක වෙනවාද? සභාවේ පෙරමුණ අරන් වැඩ කරන අයට මම කීකරු වෙනවාද? මට ලැබෙන පැවරුම් මම විශ්වාසවන්තව ඉටු කරනවාද? මම වෙලාවට වැඩ කරනවාද? කැමැත්තෙන්ම අනිත් අයට උදව් කරනවාද?’ (යාකොබ් 3:17 කියවන්න.) ඔයාට දියුණු වෙන්න පැති තියෙනවා කියලා තේරුණොත් දෙවියන්ගේ බලය ඉල්ලන්න. දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඔයා ඔහු කැමති විදිහට ඔයාගේ පෞද්ගලිකත්වය හදාගන්නවා නම් සභාවේ අය ඔයාට ආදරේ කරයි. සභාව වෙනුවෙන් ඔයා කරන දේවල් එයාලා අගේ කරයි.

යෙහෝවා දෙවියන් අපිට උගන්වනවා

14. කොලොස්සි 1:9, 10 අනුව යෙහෝවා දෙවියන් මුල් සියවසේ හිටපු ඔහුගේ සෙනඟට ඉගැන්නුවේ කොහොමද?

14 මුල් සියවසේදී. යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට උගන්වන්නේ හරිම සතුටින්. (ගීතා. 32:8) අපි ඔහුව දැන හඳුනා ගන්නවාටත් ඔහුට ආදරේ කරනවාටත් ඔහුගේ ආදරණීය දරුවන් විදිහට හැමදාම ජීවත් වෙනවාටත් ඔහු කැමතියි. හැබැයි ඔහු අපිට ඉගැන්නුවේ නැත්නම් ඒ කිසිම දෙයක් කරන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. (යොහ. 17:3) මුල් සියවසේදී යෙහෝවා දෙවියන් සභාව මාර්ගයෙන් ඔහුගේ සෙනඟට ඉගැන්නුවා. (කොලොස්සි 1:9, 10 කියවන්න.) යේසුස් පොරොන්දු වුණු විදිහට එයාලට ලැබුණු දෙවියන්ගේ බලයත් එයාලට ලොකු උපකාරයක් වුණා. (යොහ. 14:16) ශුද්ධ ලියවිල්ලේ තිබුණු දේවල් හොඳින් තේරුම්ගන්නත් යේසුස් කියපු කරපු දේවල් මතක් කරගෙන ඒවා සුවිශේෂ පොත්වල වාර්තා කරන්නත් ඒක එයාලට උදව් වුණා. මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට ලැබුණු ඒ දැනුම නිසා දෙවියන් ගැන එයාලට තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් වුණා. ඒ විතරක් නෙමෙයි දෙවියන් ගැනත් යේසුස් ගැනත් එකිනෙකා ගැනත් එයාලට තිබුණු ආදරය තවත් වැඩි වුණා.

15. යෙසායා 2:2, 3 යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

15 අපේ කාලෙදී. යෙහෝවා දෙවියන් කලින්ම කිව්වා “අවසාන කාලයේදී” විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ඔහුගේ කන්දට, ඒ කියන්නේ ඔහුට නමස්කාර කරන සෙනඟට එකතු වෙලා ඔහුගෙන් ඉගෙනගන්නවා කියලා. (යෙසායා 2:2, 3 කියවන්න.) ඒ දේ කොයි තරම් ඇත්තක් වෙලා තියෙනවාද කියලා අද අපි දකිනවා. අසත්‍යය උගන්වන ආගම්වලට වඩා සැබෑ නමස්කාරය කොච්චර වෙනස්ද කියලා පැහැදිලිව දකින්න තියෙනවා. දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය පෝෂණය ඔහු අපිට ඇති තරම් ලබා දෙනවා. (යෙසා. 25:6) ඔහු ඒක කරන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන්. ලිපි, දේශන, කාටූන් සහ වීඩියෝ වගේ විවිධ දේවල් මාර්ගයෙන් ඔහු ඒ දේ කරනවා. (මතෙ. 24:45) “දෙවි තරම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු තවත් සිටියිද” කියලා යෝබ්ගේ යාළුවෙක් වුණු එලීහු කියපු දේ අපිටත් කියන්න පුළුවන් නේද?—යෝබ් 36:22.

සත්‍යය ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති කරගන්න. ඒවා ජීවිතයට අදාළ කරගන්න (16 ඡේදය බලන්න) *

16. යෙහෝවා දෙවියන් ලබා දෙන මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන් කොහොමද?

16 ඔයාට කරන්න පුළුවන් මොනවාද? බයිබලෙන් ඔයා ඉගෙනගන්න දේවල් ඔයාගේ ජීවිතයට අදාළ කරගන්න උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්. ඒ නිසා ගීතිකාකරු වගේ ඔයාත් මෙහෙම යාච්ඤා කරන්න. “යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න. මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි. මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න.” (ගීතා. 86:11) බයිබලයත් දෙවියන්ගේ සංවිධානයෙන් ලබා දෙන බයිබලය මත පදනම් ප්‍රකාශනත් දිගටම අධ්‍යයනය කරන්න. ඔයා කරන්න ඕනෙ නිකම්ම දැනුම රැස් කරන එක නෙමෙයි. ඒ වෙනුවට සත්‍යය ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නත් ඕනේ. ඒ දේවල් කරන්න ඔයාට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්. සභාවේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න අමතක කරන්නත් එපා. (හෙබ්‍රෙ. 10:24, 25) මොකද එයාලා ඔයාගෙම පවුලේ අය. රැස්වීම්වලදී හොඳින් අදහස් දක්වන්නත් ඔයාට ලැබෙන පැවරුම් හොඳින් ඉටු කරන්නත් දෙවියන්ගෙන් බලය ඉල්ලන්න. ඔයා ඒ දේවල් කරද්දී යෙහෝවා දෙවියන් සහ යේසුස් හුඟක් ආදරේ කරන ‘බැටළුවන්ට’ ඔයාත් ආදරෙයි කියලා පෙන්නන්න ඔයාට පුළුවන්.—යොහ. 21:15-17.

17. යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට සහයෝගය දෙන්න ඔයාට පුළුවන් කොහොමද?

17 ළඟදීම සාතන් යටතේ තියෙන හැම දෙයක්ම විනාශ වෙද්දී ඉතුරු වෙන්නේ යෙහෝවා දෙවියන්ගේ සංවිධානය විතරයි. ඒ නිසා පුළුවන් උපරිමයෙන් උද්‍යෝගයෙන් දෙවියන්ගේ සංවිධානයට සහයෝගය දෙන්න. ඔයාට මුණගැහෙන හැමෝටම ශුභාරංචිය කියලා යෙහෝවා දෙවියන් වගේ ඔයාත් මිනිසුන් හැමෝටම ආදරෙයි කියලා පෙන්නන්න. දෙවියන්ව ආදර්ශයට අරන් හැම දෙයක්ම පිළිවෙළකට කරන්නත් සභාවේ සාමයට සහ එක්සත්කමට දායක වෙන්නත් වෑයම් කරන්න. ඔයාගේ උදාර උපදේශකයා ඔයාට උගන්වන හැම දෙයකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා එහෙම කරනවා නම් සාතන් යටතේ තියෙන මේ ලෝකය විනාශ වෙද්දී ඔයා බය වෙන එකක් නැහැ. ඒ වෙනුවට ඔයා නිර්භීතව යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට සහයෝගය දෙයි.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

^ 5 ඡේ. අදටත් යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නනවා කියලා ඔයාට විශ්වාසද? මුල් සියවසේදී යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්නුවේ කොහොමද කියලත් මේ කාලෙදී ඔහු ඒ දේ කරන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

^ 1 ඡේ. පැහැදිලි කිරීමක්: යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ස්වර්ගයේ තියෙන කොටස සහ පොළොවේ තියෙන කොටස. මේ ලිපියේ “සංවිධානය” කියන වචනයෙන් යොමු දක්වලා තියෙන්නේ පොළොවේ තියෙන කොටසට.

^ 52 ඡේ. පින්තූරයේ අදහස: ප්‍රචාරකයන් අඩු පළාත්වල සේවය කරන අයගේ අද්දැකීම් ඇතුළත් වීඩියෝ බලන සහෝදරියකට ඒ විදිහට සේවය කරන්න ආසාවක් ඇති වෙනවා. කාලයත් එක්කම එයා ප්‍රචාරකයන් අඩු පළාතක සේවය කරන්න පටන්ගන්නවා.