Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 45

යේසුස්ගේ ආඥා පිළිපදින්න අනිත් අයට උදව් කරන්න

යේසුස්ගේ ආඥා පිළිපදින්න අනිත් අයට උදව් කරන්න

“එමනිසා ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. . . . මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.”—මතෙ. 28:19, 20.

ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද

මේ ලිපියෙන් *

1. මතෙව් 28:18-20 අනුව යේසුස් දීපු ආඥාව මොකක්ද?

යේසුස් නැවත නැඟිටීමෙන් පස්සේ ගලීලයේ රැස් වෙලා හිටිය ගෝලයන් ඉදිරියේ පෙනී හිටියා. ඒ වෙලාවේ යේසුස් එයාලට වැදගත් දෙයක් කිව්වා. ඒ මොකක්ද?—මතෙව් 28:18-20 කියවන්න.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

2 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලා යේසුස් දීපු ආඥාව අපිටත් අදාළයි. ඒ නිසා ඒක කරන්න උදව් වෙන දේවල් තුනක් අපි බලමු. 1. බයිබලේ තියෙන දේවල් ශිෂ්‍යයන්ට උගන්වනවාට අමතරව අපි කරන්න ඕනෙ මොනවාද? 2. සත්‍ය මාර්ගයේ දියුණු වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න සභාවේ හැමෝටම පුළුවන් කොහොමද? 3. අක්‍රියාශීලී * අයට ආයෙත් සේවේ හවුල් වෙන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

පිළිපදින්න උදව් කරන්න

3. යේසුස් දීපු නිශ්චිත මඟ පෙන්වීම මොකක්ද?

3 යේසුස් දීපු මඟ පෙන්වීම හරිම පැහැදිලියි. ඔහු කිව්වේ, ‘මා අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න මිනිසුන්ට උදව් කරන්න’ කියලා මිසක් ඔහු ‘අණ කළ සෑම දෙයක්ම උගන්වන්න’ කියලා නෙවෙයි. අපි ඒක මතක තියාගන්න ඕනේ. ඒ නිශ්චිත මඟ පෙන්වීම අදාළ කරගන්න නම් අපි අපේ බයිබල් ශිෂ්‍යයන්ට ගුරුවරයෙක් වගේම මඟ පෙන්වන්නෙක් වෙන්නත් ඕනේ. (ක්‍රියා 8:31) ඒ ඇයි?

4. යේසුස් උගන්වපු දේවල් පිළිපදින්න ශිෂ්‍යයන්ට උගන්වන්න අපිට පුළුවන් කොහොමද? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

4 යේසුස් කිව්ව දේවල් පිළිපදින්න ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? ඒක තේරුම්ගන්න, වාහන එලවන්න පුහුණු කරන කෙනෙක් ගැන හිතන්න. එයා මුලින්ම මාර්ග නීති ගැන ශිෂ්‍යයන්ට උගන්වනවා. ඊටපස්සේ එයා ශිෂ්‍යයන්ට වාහනයක් එලවන්න දීලා, එයාලත් එක්කම ඉඳන්, ඉගෙනගත්ත මාර්ග නීති පිළිපදින්න එයාලට කියලා දෙනවා. ඒ උදාහරණෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5. (අ) යොහන් 14:15 සහ 1 යොහන් 2:3 කියන විදිහට අපි බයිබල් ශිෂ්‍යයන්ට උගන්වන්න ඕනෙ මොනවා කරන්නද? (ආ) බයිබලෙන් ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

5 දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා අපි අපේ ශිෂ්‍යයන්ට උගන්වනවා. හැබැයි ඒක විතරක් මදි. බයිබලෙන් ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්නත් අපි එයාලට උගන්වන්න ඕනේ. (යොහන් 14:15; 1 යොහන් 2:3 කියවන්න.) අපිට පුළුවන් බයිබලෙන් ඉගෙනගන්න දේවල් ඉස්කෝලෙදී, වැඩපොළේදී, විනෝද වෙද්දී අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා අපේ ආදර්ශයෙන්ම පෙන්නන්න. ඒ වගේම බයිබලේ තියෙන මඟ පෙන්වීමක් අදාළ කරගත්ත නිසා අපි අනතුරකින් බේරුණේ කොහොමද, හරි තීරණයක් ගන්න ඒක අපිට උදව් වුණේ කොහොමද කියලා එයාලට කියන්නත් අපිට පුළුවන්. ඒ වගේම ශිෂ්‍යයන් එක්ක යාච්ඤා කරද්දී එයාලට යෙහෝවා දෙවියන්ගේ බලයෙන් මඟ පෙන්නන්න කියලා ඉල්ලන්නත් අපිට පුළුවන්.—යොහ. 16:13.

6. යේසුස්ගේ ආඥා පිළිපදින්න උගන්වද්දී අපි කරන්න ඕන තවත් දේවල් මොනවාද?

6 යේසුස්ගේ ආඥා පිළිපදින්න උගන්වන්න නම් සේවේ යන්න ආසාවක් ඇති කරගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්නත් ඕනේ. සමහර ශිෂ්‍යයන්ට සේවේ හවුල් වෙන්න ලොකු බයක් තියෙනවා. ඒ නිසා බයිබලේ තියෙන සත්‍යයන් තේරුම්ගන්න එයාලට උදව් කරද්දී අපි හුඟක් ඉවසන්න ඕනේ. එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඒක එයාලට උදව් වෙයි. ඒ වගේම ඉගෙනගන්න දේවල් හදවතින්ම පිළිපදින්නත් එයාලා පෙලඹෙයි. සේවේ හවුල් වෙන්න ආසාවක් ඇති කරගන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

7. සේවේ හවුල් වෙන්න ශිෂ්‍යයාට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

7 අපිට පුළුවන් ශිෂ්‍යයාගෙන් මෙහෙම අහන්න. “බයිබලේ තියෙන සත්‍යයන් දැනගත්ත නිසා ඔයා අද්දකින ප්‍රයෝජන මොනවාද? බයිබලේ තියෙන සත්‍යයන් අනිත් අයත් දැනගන්න ඕනෙ කියලා ඔයාට හිතෙනවාද? ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?” (හිතෝ. 3:27; මතෙ. 9:37, 38) අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන පත්‍රිකා ශිෂ්‍යයාට පෙන්නලා එයාගෙන් අහන්න “නෑදෑයන්ට, යාළුවන්ට නැත්නම් වැඩපොළේ අයට වැඩියෙන්ම ගැළපෙන්නේ මොන පත්‍රිකාද” කියලා. ඊටපස්සේ එයා තෝරපු පත්‍රිකාවලින් කීපයක්ම එයාට දෙන්න. ශිෂ්‍යයා ප්‍රචාරකයෙක් වුණාට පස්සෙත් අපි එයාත් එක්ක සේවේ හවුල් වෙලා එයාට දිගටම උදව් කරන්න ඕනේ.—දේශ. 4:9, 10; ලූක් 6:40.

සභාවේ අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

8. යෙහෝවා දෙවියන් ගැනත් අසල්වැසියන් ගැනත් ශිෂ්‍යයන් ලොකු ආදරයක් ඇති කරගන්න එක වැදගත් ඇයි? (“ දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති කරගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න” කියන කොටුව බලන්න.)

8 යේසුස් කිව්වේ ඔහු අණ කරපු ‘සෑම දෙයක්ම පිළිපදින්න මිනිසුන්ට උගන්වන්න’ කියලයි. දෙවියන්ට සහ අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියන උතුම්ම ආඥා දෙකත් ඒකට ඇතුළත්. (මතෙ. 22:37-39) ඒ ආඥාවන් පිළිපදින්න අපි අපේ ශිෂ්‍යයන්ට උදව් කරනවා නම් අපි කරන්නේ සේවේ හවුල් වෙන්න එයාලට උදව් කරන එකයි. මොකද දෙවියන් ගැනත් මිනිසුන් ගැනත් එයාලට ලොකු ආදරයක් ඇති වෙද්දී සේවේ හවුල් වෙන්න එයාලා පෙලඹෙයි. (ගීතා. 18:1-3; හිතෝ. 29:25) මේ ලිපියේ තියෙන කොටුවේ විස්තර කරලා තියෙනවා දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා. ඒ දේ කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද?

9. වාහනයක් එලවන්න ඉගෙනගන්න කෙනෙක් වටිනා පාඩම් ඉගෙනගන්නේ කොහොමද?

9 වාහනයක් එලවන්න පුහුණු වෙන කෙනාගේ උදාහරණය ගැන ටිකකට හිතන්න. උපදේශකයත් එක්ක වාහනය පදවන ගමන් එයා ඉගෙනගන්නේ මොන විදිවලින්ද? උපදේශකයා කියන දේවලිනුත් අනිත් රියදුරන්ගෙනුත් එයා වටිනා පාඩම් ඉගෙනගන්නවා. උදාහරණෙකට උපදේශකයා එයාට මෙහෙම කියයි. “දැක්කද, අර රියදුරා අනිත් වාහනේට යන්න ඉඩ දුන්නා. ඉස්සරහෙන් එන රියදුරන්ගේ ඇස්වලට අමාරු නිසා අර රියදුරා එයාගේ වාහනේ හෙඩ්ලයිට් එකේ එළිය අඩු කළා.” ඒ වගේ දේවලින් වාහනය එලවන්න ඉගෙනගන්න කෙනෙක් වටිනා පාඩම් ඉගෙනගන්නවා.

10. සත්‍ය මාර්ගයේ දියුණු වෙන්න ශිෂ්‍යයෙක්ට උදව් වෙන්නේ මොනවාද?

10 සත්‍ය මාර්ගයේ ගමන් කරන්න පටන්ගන්න බයිබල් ශිෂ්‍යයෙක් දේවල් ඉගෙනගන්නේ එයාගේ ගුරුවරයාගෙන් විතරක් නෙවෙයි. යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අනිත් අයගේ ආදර්ශවලිනුත් එයා දේවල් ඉගෙනගන්නවා. එහෙමනම් සත්‍ය මාර්ගයේ දියුණු වෙන්න ශිෂ්‍යයෙක්ට වැඩියෙන්ම උදව් වෙන්නේ මොකක්ද? ඒ තමයි අපේ රැස්වීම්වලට සහභාගි වෙන එක. ඒ ඇයි? රැස්වීම්වලට ආවාම බයිබලේ තියෙන තොරතුරු ගැන තවත් ඉගෙනගන්නත් විශ්වාසය ශක්තිමත් කරගන්නත් දෙවියන් ගැන තියෙන ආදරය වැඩි කරගන්නත් එයාලට පුළුවන් වෙනවා. (ක්‍රියා 15:30-32) ඒ විතරක් නෙවෙයි ශිෂ්‍යයා රැස්වීම්වලට ආවාම එයා මුහුණ දෙන දේවලටම සාර්ථකව මුහුණ දීපු අයව එයාට හඳුන්වලා දෙන්න ගුරුවරයාට පුළුවන් වෙනවා. ඒ වගේම සභාවේ සහෝදර සහෝදරියන් ආදරෙන් පෙලඹිලා දේවල් කරන විදිහත් ශිෂ්‍යයා දකියි.

11. සභාවේ අයගේ යහපත් ආදර්ශයන් දකිද්දී ඒක ශිෂ්‍යයාට බලපාන්නේ කොහොමද?

11 අපි උදාහරණ කිහිපයක් බලමු. රැස්වීම්වලට යන ශිෂ්‍යයෙක් දකිනවා එයාගේ තත්වයේම ඉන්න සහෝදරියක්ව. ඒ සහෝදරිය එයාගේ දරුවන් එක්ක රැස්වීම්වලට එන්න දරන වෑයම ශිෂ්‍යයාගේ හිතට තදින්ම කාවදිනවා. සිගරට් බොන එක නතර කරන්න ලොකු වෑයමක් දරන ශිෂ්‍යයෙක් රැස්වීම්වලට ආවාම සිගරට් බොන එක නතර කරපු සහෝදරයෙක්ව හඳුනගන්න ලැබෙනවා. ඒ නරක පුරුද්ද අත්හරින්න යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ උදව් වුණේ කොහොමද කියලා ඒ සහෝදරයා එයාට කියනවා. (2 කොරි. 7:1; ෆිලි. 4:13) ඊටපස්සේ ඒ සහෝදරයා ශිෂ්‍යයාට කියනවා, “ඔයාටත් පුළුවන් ඒක කරන්න” කියලා. ඒක බයිබල් ශිෂ්‍යයාට ලොකු දිරිගැන්වීමක් වෙනවා. කොයි වෙලෙත් සතුටින් ඉන්න යෞවන සහෝදරියක්ව දකින තවත් බයිබල් ශිෂ්‍යයෙක්ට ඕනෙ වෙනවා සතුටින් ඉන්න එයාට උදව් වුණේ මොනවාද කියලා දැනගන්න.

12. බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න සභාවේ හැමෝටම පුළුවන් කියලා කියන්නේ ඇයි?

12 දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න විවිධ අයව හඳුනගන්න ලැබෙන එකෙන් බයිබල් ශිෂ්‍යයන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද? දෙවියන්ටත් අසල්වැසියන්ටත් ප්‍රේම කරන්න කියලා යේසුස් කියපු ආඥාවට කීකරු වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඒක එයාලට උදව් වෙනවා. (යොහ. 13:35; 1 තිමෝ. 4:12) ඒ විතරක් නෙවෙයි කලින් ඡේදයේ බලපු විදිහට තමන් මුහුණ දෙන අභියෝගවලටම මුහුණ දීපු සහෝදර සහෝදරියන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නත් එයාලට පුළුවන් වෙනවා. ඒ වගේ අයව ආශ්‍රය කරද්දී ජීවිතයේ වෙනස්කම් කරගන්න තමන්ටත් පුළුවන් කියන නිසැකකමත් එයාලට ඇති වෙනවා. (ද්වි. 30:11) සත්‍ය මාර්ගයේ දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න සභාවේ හැමෝටම පුළුවන් කියලා ඒ තොරතුරුවලින් පැහැදිලියි. (මතෙ. 5:16) රැස්වීම්වලට එන බයිබල් ශිෂ්‍යයන්ව දිරිගන්වන්න ඔයා මොනවාද කරන්නේ?

අක්‍රියාශීලී අයට උදව් කරන්න

13-14. අධෛර්යය වෙලා හිටපු නියෝජිතයන්ට යේසුස් සැලකුවේ කොහොමද?

13 අපිට ඕනෙ අක්‍රියාශීලී වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට ආයෙත් සේවේ හවුල් වෙන්න උදව් කරන්නයි. යේසුස් අධෛර්යය වෙලා හිටපු නියෝජිතයන්ට සලකපු විදිහෙන් ඒ දේ කරන්න පුළුවන් කොහොමද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්.

14 යේසුස්ගේ මරණයට පැය කිහිපයකට කලින් නියෝජිතයන් ‘සියලු දෙනාම ඔහුව අත්හැරලා පලා ගියා.’ (මාක් 14:50; යොහ. 16:32) අධෛර්යය වෙලා හිටපු තමන්ගේ නියෝජිතයන් වෙනුවෙන් යේසුස් කළේ මොනවාද? නැවත නැඟිටුවලා වැඩි වෙලාවක් යන්න කලින් යේසුස් ඔහුගේ අනුගාමිකයන් කිහිපදෙනෙක්ට මෙහෙම කිව්වා. “බිය නොවන්න! ගොස් මගේ සහෝදරයන්ට [මාව නැවත නැඟිටුවලා තියෙනවා කියලා] දන්වන්න.” (මතෙ. 28:10අ) නියෝජිතයෝ යේසුස්ව දාලා ගියත් යේසුස් එයාලව තනි කළේ නැහැ. ඔහු එයාලව හැඳින්නුවේ “මගේ සහෝදරයන්” කියලයි. යෙහෝවා දෙවියන් වගේ යේසුත් අනිත් අයට දයාවෙන් සලකලා කැමැත්තෙන්ම සමාව දුන්නා.—2 රාජා. 13:23.

15. සේවේ යන එක නතර කරලා තියෙන සහෝදර සහෝදරියන් ගැන අපිට හැඟෙන්නේ කොහොමද?

15 සේවේ යන එක නතර කරලා තියෙන අය ගැන අපි ඇත්තටම සැලකිලිමත් වෙමු. මොකද එයාලත් අපේම සහෝදර සහෝදරියන්. අපි එයාලට හුඟක් ආදරෙයි. යෙහෝවා දෙවියන් වෙනුවෙන් එයාලා වෙහෙස නොබලා කරපු සේවය අපිට තාමත් මතකයි. එයාලා අතරින් සමහර අය අවුරුදු ගාණක් ඒ විදිහට සේවය කරලා තියෙනවා. (හෙබ්‍රෙ. 6:10) එයාලා නැති අඩුව අපිට ඇත්තටම දැනෙනවා. (ලූක් 15:4-7) යේසුස්ව ආදර්ශයට අරන් අපි එයාලා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

16. අක්‍රියාශීලී සහෝදර සහෝදරියන් ගැන අපි සැලකිලිමත් වෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

16 රැස්වීම්වලට ආරාධනා කරන්න. අධෛර්යය වෙලා හිටිය නියෝජිතයන්ව යේසුස් දිරිගන්වපු එක විදිහක් තමයි එයාලා හැමෝටම රැස්වෙන්න කියලා ආරාධනා කරපු එක. (මතෙ. 28:10ආ; 1 කොරි. 15:6) ඒ වගේ අපිටත් පුළුවන් රැස්වීම්වලට එන්නේ නැති අක්‍රියාශීලී අයට රැස්වීම්වලට ආරාධනා කරන්න. හැබැයි අපි ආරාධනා කරපු ගමන්ම එයාලා එන එකක් නැහැ. ඒ නිසා කිහිප වතාවක්ම අපිට ඒ ආරාධනාව කරන්න වෙයි. යේසුස්ගේ ආරාධනාව පිළිඅරන් නියෝජිතයන් රැස් වුණාම යේසුස් හුඟක් සතුටු වුණා වගේ ඒ අය රැස්වීම්වලට එද්දී අපිටත් ලොකු සතුටක් අද්දකින්න පුළුවන්.—මතෙව් 28:16 සහ ලූක් 15:6 බලන්න.

17. අක්‍රියාශීලී කෙනෙක් රැස්වීම්වලට ආවාම අපි කරන්න ඕනෙ මොනවාද?

17 ආදරෙන් පිළිගන්න. නියෝජිතයන් රැස් වුණාම යේසුස් එයාලව ආදරෙන් පිළිගත්තා. නියෝජිතයන් තමන් එක්ක කතා කරන කල් ඉන්නවා වෙනුවට යේසුස් මුලින්ම එයාලත් එක්ක කතා කළා. (මතෙ. 28:18) අක්‍රියාශීලී කෙනෙක් රැස්වීම්වලට ආවාම අපිට කරන්න පුළුවන් මොනවාද? එයා අපි ළඟට එන කල් ඉන්නවා වෙනුවට අපිට පුළුවන් එයා ළඟට ගිහින් කතා කරන්න. මුලින්ම එයාට කියන්න ඕනෙ මොනවාද කියලා අපි හරියටම දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයාව අපහසුතාවට පත් වෙන දෙයක් කියනවා වෙනුවට අපිට පුළුවන් එයා ආපු එක ගැන අපිට ගොඩක් සතුටුයි කියලා එයාට කියන්න.

18. අක්‍රියාශීලී ප්‍රචාරකයන්ව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද?

18 හදවතින්ම දිරිගන්වන්න. ලෝකේ පුරාම ශුභාරංචිය දේශනා කරන්න පුළුවන්ද කියන එක ගැන යේසුස්ගේ ගෝලයන්ට බයක් දැනෙන්න ඇති. හැබැයි යේසුස් එයාලව දිරිගන්වලා කිව්වා “මම ඔබ සමඟ සැමදා සිටිනවා” කියලා. (මතෙ. 28:20) ඒක ගෝලයන්ට උදව් වුණාද? ඔව්, වැඩි කාලයක් යන්න කලින් එයාලා ‘ඉගැන්වීම් කටයුතුවල සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ’ වෙහෙස නොබලා හවුල් වෙන්න පටන්ගත්තා. (ක්‍රියා 5:42) අක්‍රියාශීලී අයටත් දිරිගැන්වීම් ඕනේ. ආයෙත් සේවේ හවුල් වෙන්න එයාලට බයක් දැනෙනවා ඇති. ඒ නිසා අපිට පුළුවන් එයාලට කියන්න “බය වෙන්න එපා. ඔයා සේවේ යන්න පටන්ගද්දී මාත් ඔයාත් එක්ක එන්නම්” කියලා. කියපු විදිහටම අපි එයාලත් එක්ක සේවේ යද්දී එයාලට ලොකු සතුටක් දැනෙයි. එයාලා ඒක ගොඩක් අගය කරයි. අපි එයාලට ආදරෙන් සලකද්දී එයාලා ආපහු සේවේ ක්‍රියාශීලීව හවුල් වෙන්න පටන්ගනියි. හිතන්න සභාවේ හැමෝම ඒ ගැන මොන තරම් සතුටු වෙයිද කියලා.

භාර දීලා තියෙන වැඩේ විශ්වාසවන්තව කරමු

19. අපේ ආසාව මොකක්ද? ඒ ඇයි?

19 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය අපි කවදා වෙන කල් කරන්න ඕනෙද? “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන” කල්ම අපි ඒ දේ කරන්න ඕනේ. (මතෙ. 28:20) ඒත් යේසුස් අපිට භාර දීපු වැඩේ සම්පූර්ණ කරන්න අපිට පුළුවන් වෙයිද? එහෙම කරන්න අපි අපේ උපරිමයෙන් වෑයම් කරනවා. ඒ නිසයි අපි කැමැත්තෙන්ම අපේ කාලය, ශක්තිය සහ අපිට තියෙන දේවල් යොදවලා “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” අයව හොයන්නේ. (ක්‍රියා 13:48) එහෙම කරද්දී යේසුස් කියපු මේ දේම කියන්න අපිටත් පුළුවන්. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.” (යොහ. 4:34; 17:4) අපේ ආසාවත් අපිට විශ්වාසයෙන් භාර දීලා තියෙන වැඩේ සම්පූර්ණ කරන එකයි. (යොහ. 20:21) අක්‍රියාශීලී අය ඇතුළු අනිත් හැමෝමත් දිගටම ඒ කාර්යයේ හවුල් වෙනවා දකින්නයි අපිට ඕනේ.—මතෙ. 24:13.

20. ෆිලිප්පි 4:13 අනුව යේසුස් භාර දීපු වැඩේ සම්පූර්ණ කරන්න අපිට පුළුවන් කියලා කියන්නේ ඇයි?

20 යේසුස් අපිට භාර දීපු වැඩේ සම්පූර්ණ කරන එක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩේ අපි කරන්නේ “දෙවිගේ හවුල් වැඩකරුවන්” විදිහට. (1 කොරි. 3:9) අනික යේසුත් පොරොන්දු වුණා ඒ වැඩේ කරද්දී ඔහු අපිත් එක්ක ඉන්නවා කියලා. ඒ නිසා ඒ වැඩේ සම්පූර්ණ කරන්න අපිට පුළුවන්. ඒ පැවරුම ඉටු කරන්න ලැබිලා තියෙන එක ගැනත් ඒ දේ කරන්න අනිත් අයට උදව් කරන්න ලැබිලා තියෙන එක ගැනත් අපි කොච්චර සතුටු වෙනවාද!—ෆිලිප්පි 4:13 කියවන්න.

ගීතිකාව 79 ස්ථිරව ඉන්න කියා දෙන්න

^ 5 ඡේ. මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලත් ඔහු උගන්වපු දේවල් පිළිපදින්න එයාලට උදව් කරන්න කියලත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. යේසුස් කියපු ඒ දේවල් පිළිපදින්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. මේ ලිපියේ තියෙන සමහර තොරතුරු පදනම් වෙලා තියෙන්නේ 2004 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ 14-19 දක්වා පිටුවල ඇති තොරතුරු මතයි.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: ප්‍රචාරකයෙක් මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් සේවය වාර්තා කරන්නේ නැත්නම් එයාව සලකන්නේ අක්‍රියාශීලී ප්‍රචාරකයෙක් හැටියටයි. ඒ වුණත් එයාලා තාමත් අපේ සහෝදර සහෝදරියන්. අපි එයාලට ආදරෙයි.

^ 67 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරියක් බයිබල් පාඩමක් කරද්දී දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති කරගන්න පුළුවන් කොහොමද කියලා ශිෂ්‍යයෙක්ට කියලා දෙනවා. පස්සේ ඒ ශිෂ්‍යයා ගුරුවරයා දීපු යෝජනා තුන අදාළ කරගන්නවා.