Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 46

ධෛර්යවත් වෙන්න, යෙහෝවා දෙවියන් ඔයාගේ උදව්වට ඉන්නවා

ධෛර්යවත් වෙන්න, යෙහෝවා දෙවියන් ඔයාගේ උදව්වට ඉන්නවා

“මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.”—හෙබ්‍රෙ. 13:5.

ගීතිකාව 55 ඔවුන්ට බිය නොවන්න

මේ ලිපියෙන් *

1. ප්‍රශ්න නිසා තනි වෙලා කියලා හැඟෙද්දී අපිට සහනයක් වෙන්නේ මොකක්ද? (ගීතාවලිය 118:5-7)

“මගේ උදව්වට කවුරුත් නැහැ. මං තනි වෙලා” කියලා කවදාහරි ඔයාටත් හිතිලා තියෙනවාද? යෙහෝවා දෙවියන්ගේ සේවකයන් ඇතුළු හුඟදෙනෙක්ට එහෙම හිතිලා තියෙනවා. (1 රාජා. 19:14) ඔයාට එහෙම හිතුණොත් යෙහෝවා දෙවියන් දීලා තියෙන මේ පොරොන්දුව මතක් කරගන්න. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.” ඒ නිසා ධෛර්යය උපදවාගෙන අපිටත් මෙහෙම කියන්න පුළුවන්. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි.” (හෙබ්‍රෙ. 13:5, 6) පාවුල් ඒක යුදයේ හිටපු ක්‍රිස්තියානීන්ට ලිව්වේ ක්‍රි.ව. 61දී විතර. ඒක කියවද්දී ගීතාවලිය 118:5-7 දක්වා (කියවන්න) කියන දේ අපිට මතක් වෙනවා.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද? ඒ ඇයි?

2 ගීතිකාකරු වගේ පාවුලුත් දැනගෙන හිටියා යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම තමන්ට උදව් කරනවා කියලා. මොකද හුඟක් අවස්ථාවලදී පාවුල් යෙහෝවා දෙවියන්ගේ උදව් අද්දැක්කා. උදාහරණෙකට හෙබ්‍රෙව්වරුන්ට ලිපිය ලියන්න අවුරුදු දෙකකට කලින් පාවුල් නැවකින් යාත්‍රා කරද්දී ලොකු කුණාටුවකට මුහුණ දුන්නා. (ක්‍රියා 27:4, 15, 20) ඒ ගමන පුරාවටම යෙහෝවා දෙවියන් එයාට උදව් කරපු විදි 3ක් අපි බලමු. ඔහු යේසුස් සහ දේවදූතයන් මාර්ගයෙන්, අධිකාරියක් තියෙන අය මාර්ගයෙන්, සහෝදර සහෝදරියන් මාර්ගයෙන් පාවුල්ට උදව් කළා. ඒ දේවල් ගැන සලකා බලද්දී අපේ උදව්වට යෙහෝවා දෙවියන් ඉන්නවා කියලා ඔහු දීලා තියෙන පොරොන්දුව ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.

යේසුස් සහ දේවදූතයන් මාර්ගයෙන්

3. පාවුල්ට හිතෙන්න ඇත්තේ මොනවාද? ඒ ඇයි?

3 ක්‍රි.ව. 56දී විතර පාවුල්ට මුහුණ දෙන්න වුණ දෙයක් බලන්න. මිනිසුන් පිරිසක් එයාව දේවමාලිගාවෙන් එළියට ඇදගෙන ගිහින් ගහලා මරන්න හැදුවා. ඊළඟ දවසේ පාවුල්ව සැන්හෙඩ්‍රිනයට අරං ගියා. එහෙදීත් එයාගේ ජීවිතය බේරුණේ අනූනමයෙන්. (ක්‍රියා 21:30-32; 22:30; 23:6-10) ඒ වෙලාවේ පාවුල්ට හිතෙන්න ඇති ‘තව කොච්චර කාලයක් මේ දේවල් දරාගන්න වෙයිද’ කියලා.

4. යෙහෝවා දෙවියන් යේසුස් මාර්ගයෙන් පාවුල්ට උදව් කළේ කොහොමද?

4 පාවුල්ට උදව් ලැබුණේ කොහොමද? පාවුල්ව අත්අඩංගුවට ගත්ත දවසේ රෑ “ස්වාමීන්” වන යේසුස් එයා ඉදිරියේ දර්ශනය වෙලා මෙහෙම කිව්වා. “කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා. ඇත්තෙන්ම ඔබ යෙරුසලමේදී මා ගැන ඉතා හොඳ සාක්ෂියක් දී තිබෙනවා. ඔබට රෝමයේදීත් මෙවැනි සාක්ෂියක් දරන්න සිදු වෙයි.” (ක්‍රියා 23:11) හිතන්න පාවුල් ඒකෙන් කොච්චර දිරිගැන්වෙන්න ඇතිද කියලා. පාවුල් යෙරුසලමේ කළ සේවය අගේ කළාට පස්සේ යේසුස් පොරොන්දු වුණා යෙරුසලමේ වගේම රෝමයේදීත් හොඳ සාක්ෂියක් දරන්න එයාට පුළුවන් වෙනවා කියලා. ඒක ඇහුවාම තාත්තාගේ තුරුලේ ඉන්න දරුවෙක්ට දැනෙනවා වගේ රැකවරණයක් පාවුල්ට දැනෙන්න ඇති.

ලොකු කුණාටුවකට අහු වෙලා ඉද්දී දේවදූතයෙක් පාවුල්ට සහතික කරනවා නැවේ ඉන්න හැමෝම ආරක්ෂිතව ගමනාන්තයට යනවා කියලා (5 ඡේදය බලන්න)

5. යෙහෝවා දෙවියන් දේවදූතයෙක් මාර්ගයෙන් පාවුල්ට උදව් කළේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

5 පාවුල්ට මුහුණ දෙන්න වුණේ තව මොන අභියෝගවලටද? යෙරුසලමේදී වුණ සිද්ධීන් වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ පාවුල් ඉතාලිය බලා යාත්‍රා කරමින් ඉද්දී නැව ලොකු කුණාටුවකට අහු වුණා. නැවේ හිටිය හැමෝම හිතුවේ එයාලා මැරෙයි කියලා. ඒත් පාවුල් බය වුණේ නැහැ. එයා නැවේ හිටිය අයට මෙහෙම කිව්වා. “අද රාත්‍රියේ මම සේවය කරන මගේ දෙවිගේ දූතයෙක් මා ළඟ සිටගෙන, ‘පාවුල්, කිසි දෙයකට භය වෙන්න එපා. ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔබ සමඟ මේ නැවේ සිටින සියලුදෙනා ඔබ නිසා දෙවිගේ කරුණාව ලබා ඔවුන්ගේ ජීවිත බේරාගනියි.’” කලින් යේසුස් මාර්ගයෙන් දීපු පොරොන්දුවම යෙහෝවා දෙවියන් දේවදූතයෙක් මාර්ගයෙනුත් පාවුල්ට මතක් කළා. දෙවියන් පොරොන්දු වුණු විදිහටම පාවුල් රෝමයට ගියා.—ක්‍රියා 27:20-25; 28:16.

6. අපිට ශක්තියක් වෙන්නේ යේසුස් දීපු මොන පොරොන්දුවද? ඒ ඇයි?

6 අපිට උදව් ලැබෙන්නේ කොහොමද? පාවුල්ට උදව් කළා වගේ යේසුස් අපිටත් උදව් කරනවා. උදාහරණෙකට ඔහු තමන්ගේ අනුගාමිකයන්ට පොරොන්දු වුණා “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා” කියලා. (මතෙ. 28:20) ඒක අපිට ලොකු හයියක්. මොකද අපි ආදරේ කරන කෙනෙක් මැරුණාම දවසක් දෙකක් නෙවෙයි අවුරුදු ගාණක්ම ඒ දුක දරාගන්න අපිට සිද්ධ වෙනවා. තවත් අය මහලු වයස නිසා විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. මානසික අවපීඩනය නිසා දුක් විඳින අයත් අපි අතරේ ඉන්නවා. අපි ඒ මොන දේට මුහුණ දුන්නත් “සැමදා” අපිත් එක්ක ඉන්නවා කියලා යේසුස් පොරොන්දු වෙලා තියෙන නිසා ඒ දේවල් දිගටම විඳදරාගන්න අපිට පුළුවන් වෙනවා.—මතෙ. 11:28-30.

සේවේ අපි හවුල් වෙද්දී දේවදූතයන්ගේ උපකාර සහ මඟ පෙන්වීම් අපිට ලැබෙනවා (7 ඡේදය බලන්න)

7. එළිදරව් 14:6 අනුව යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවියන් අපිට පොරොන්දු වෙලා තියෙනවා දේවදූතයන් මාර්ගයෙන් අපිට උදව් කරනවා කියලා. (හෙබ්‍රෙ. 1:7, 14) උදාහරණෙකට ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවන්ටත්’ අයිති මිනිසුන්ට දේශනා කරන්න ඕන කරන උපකාර සහ මඟ පෙන්වීම් දේවදූතයන් අපිට ලබා දෙනවා.—මතෙ. 24:13, 14; එළිදරව් 14:6 කියවන්න.

අධිකාරියක් තියෙන අය මාර්ගයෙන්

8. යෙහෝවා දෙවියන් හමුදාපතියෙක් මාර්ගයෙන් පාවුල්ට උදව් කළේ කොහොමද?

8 පාවුල්ට උදව් ලැබුණේ කොහොමද? ක්‍රි.ව. 56දී යේසුස් පොරොන්දු වුණා පාවුල්ට රෝමයට යන්න පුළුවන් වෙනවා කියලා. හැබැයි යුදෙව්වරුන් පිරිසක් පාවුල්ව මරන්න සැලසුම් කළා. ඒ ගැන රෝම හමුදාපති වුණ ක්ලෝදියස් ලිසියස්ට දැනගන්න ලැබුණාම එයා පාවුල්ව ආරක්ෂා කරන්න ඉක්මනින්ම පියවර ගත්තා. එයා සෙබළුන් පිරිසකට අණ කළා පාවුල්ව යෙරුසලමේ ඉඳන් කි.මී. 105ක් විතර දුරින් තිබුණ සිසේරියට අරන් යන්න කියලා. එහේදී ආණ්ඩුකාර ෆීලික්ස් නියෝග කළා පාවුල්ව “හෙරොද්ගේ මාලිගාවේ ආරක්ෂාව යටතේ රඳවා තියන්න” කියලා. ඒ නිසා පාවුල්ව මරන්න හදපු අයගේ වෑයම සාර්ථක වුණේ නැහැ.—ක්‍රියා 23:12-35.

9. ආණ්ඩුකාර ෆෙස්ටස් පාවුල්ට උදව් කළේ කොහොමද?

9 අවුරුදු දෙකකට පස්සෙත් ඒ කියන්නේ ක්‍රි.ව. 58 වෙද්දීත් පාවුල් හිටියේ සිසේරියේ හිර අඩස්සියේ. ඒ වෙනකොට ෆීලික්ස් වෙනුවට ෆෙස්ටස් ආණ්ඩුකාරයා විදිහට පත් වෙලා හිටියා. යුදෙව්වන් ෆෙස්ටස්ගෙන් ඉල්ලුවා පාවුල්ගේ නඩු විභාගය පවත්වන්න එයාව යෙරුසලමට යවන්න කියලා. හැබැයි ෆෙස්ටස් ඒකට කැමති වුණේ නැහැ. සමහරවිට පාවුල් එන කල් මඟ රැකගෙන ඉඳලා එයාව මරලා දාන්න යුදෙව්වන් සැලසුම් කරනවා කියලා එයාට දැනගන්න ලැබෙන්න ඇති.—ක්‍රියා 24:27–25:5.

10. පාවුල් සීසර්ගේ තීන්දුවක් ඉල්ලුවාම ෆෙස්ටස් කළේ මොකක්ද?

10 පාවුල්ගේ නඩුව සිසේරියේදී පැවැත්වුවා. ‘යුදෙව්වන්ගේ හිත් දිනාගන්න’ ෆෙස්ටස්ට ඕන වුණ නිසා එයා පාවුල්ගෙන් ඇහුවා “යෙරුසලමට ගොස් එහිදී මා ඔබව විනිශ්චය කරනවාට ඔබ කැමතිද” කියලා. හැබැයි යෙරුසලමට ගියොත් යුදෙව්වන් එයාව මරලා දායි කියලත් රෝමයට ගිහිල්ලා එයාගේ පැවරුම ඉටු කරන්න බැරි වෙනවා කියලත් පාවුල් දැනන් හිටියා. ඒ නිසා එයා කිව්වා “මට සීසර්ගෙන් තීන්දුවක්” ඕනෙ කියලා. ෆෙස්ටස් ඒ ගැන එයාගේ උපදේශකයන්ට කතා කළාට පස්සේ පාවුල්ට කිව්වා “ඔබ සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා ඇති නිසා ඔබව සීසර් වෙතට යවනවා” කියලා. පාවුල්ව යෙරුසලමට ගොඩක් ඈතින් තියෙන රෝමයට යවන්න ෆෙස්ටස් තීරණය කරපු නිසා පාවුල් එයාගේ සතුරන් අතින් බේරුණා.—ක්‍රියා 25:6-12.

11. යෙහෝවා දෙවියන් යෙසායා මාර්ගයෙන් කියපු මොන දේවල් ගැනද පාවුල් හිතන්න ඇත්තේ?

11 යෙහෝවා දෙවියන් යෙසායා මාර්ගයෙන් මෙහෙම කියලා තිබුණා. “කුමන්ත්‍රණය කරන්න. නමුත් ඔබ කරන කිසිවක් සාර්ථක නොවෙයි. කැමති දෙයක් කියන්න. එයින් පලක් නොවෙයි. මන්ද දෙවි අප සමඟය!” (යෙසා. 8:10) ඉතාලියට යාත්‍රා කරන අතරතුරේදී පාවුල් ඒ ගැන හිතන්න ඇති. එයා හොඳින්ම දැනන් හිටියා දෙවියන් එයාගේ උදව්වට ඉන්නවා කියලා. ඕනම පීඩාවකට සාර්ථකව මුහුණ දෙන්න ඒක එයාට උදව් වෙන්න ඇති.

අතීතයේ කළා වගේ තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන්න යම් බලතල තියෙන අයව පොලඹවන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් (12 ඡේදය බලන්න)

12. ජූලියස් පාවුල්ට සැලකුවේ කොහොමද? ඒකෙන් පාවුල් තේරුම්ගන්න ඇත්තේ මොකක්ද?

12 ක්‍රි.ව. 58දී පාවුල් ඉතාලිය බලා යන නැවකට ගොඩ වුණා. ඒ වෙද්දී එයා හිටියේ හිරකරුවෙක් විදිහට නිසා එයාව හමුදා නිලධාරියෙක් වුණ ජූලියස්ට භාර දුන්නා. ඒ මොහොතේ ඉඳන් පාවුල්ට කුරිරු විදිහට සලකන්න හරි කරුණාවෙන් සලකන්න හරි ජූලියස්ට හැකියාව තිබුණා. එයා මොකද කළේ? ඊළඟ දවසේ නැව වරායක නතර කළාම ජූලියස් පාවුල්ට ‘කාරුණිකව සලකලා ඔහුට තම මිතුරන් සමඟ කාලය ගත කිරීමට යම් නිදහසක් ලබා දුන්නා.’ පස්සේ අවස්ථාවකදී ජූලියස් පාවුල්ගේ ජීවිතෙත් බේරුවා. ඒ කොහොමද? නැව ගිලෙන්න යන නිසා නැවේ හිටිය හිරකරුවන්ව මරන්න සෙබළුන් උත්සාහ කළාම ජූලියස් මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. මොකද පාවුල්ට කිසිම අනතුරක් වෙනවාට එයා කැමති වුණේ නැහැ. තමන්ට කාරුණිකව සලකන්න ඒ හමුදා නිලධාරියාව පෙලඹෙව්වේ යෙහෝවා දෙවියන් කියලා පාවුල් තේරුම්ගන්න ඇති.—ක්‍රියා 27:1-3, 42-44.

13 ඡේදය බලන්න

13. අධිකාරියක් තියෙන අයව යෙහෝවා දෙවියන් පාවිච්චි කරන්නේ කොහොමද?

13 අපිට උදව් ලැබෙන්නේ කොහොමද? සලමොන් රජ මෙහෙම කිව්වා. “රජෙකුගේ සිත යෙහෝවා දෙවිගේ අතේ තිබෙන දිය පහරක් මෙනි. ඔහු කැමති කැමති අතට එය හරවන්නේය.” (හිතෝ. 21:1) ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? කාණුවක් කපලා දියපාරකින් ගලා යන වතුර වෙන පැත්තකට හරවන්න පුළුවන් වගේ යෙහෝවා දෙවියන්ටත් පුළුවන් තමන්ගේ බලය මාර්ගයෙන් තමන් කැමති දෙයක් ඉටු කරවාගන්න යම් බලතල තියෙන අයව පොලඹවන්න. දෙවියන් එහෙම කළාම දෙවියන්ගේ සෙනඟට ප්‍රයෝජනවත් වන විදිහේ තීරණ ගන්න යම් බලතල තියෙන අය පෙලඹෙනවා.—එස්රා 7:21, 25, 26 බලන්න.

14. ක්‍රියා 12:5 අනුව අපිට යාච්ඤා කරන්න පුළුවන් කවුරු වෙනුවෙන්ද?

14 අපිට කරන්න පුළුවන් මොනවාද? ‘රජවරු සහ උසස් නිලතල දරන අය’ අපේ සේවයට සහ නමස්කාරයට බලපාන තීරණ ගන්න අවස්ථාවලදී එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න අපිට පුළුවන්. (1 තිමෝ. 2:1, 2; නෙහෙ. 1:11) ඒ වගේම මුල් සියවසේ ක්‍රිස්තියානීන් කළා වගේ හිරේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් අපිට යාච්ඤා කරන්න පුළුවන්. (ක්‍රියා 12:5 කියවන්න; හෙබ්‍රෙ. 13:3) ජූලියස් පාවුල්ට සලකපු විදිහටම හිරේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ටත් ‘කාරුණිකව සලකන්න’ එයාලව බලාගන්න පත් කරලා තියෙන අයව පොලඹවන්න කියලා යෙහෝවා දෙවියන්ගෙන් ලොකු ඕනෑකමකින් ඉල්ලන්නත් අපිට පුළුවන්.—ක්‍රියා 27:3.

සහෝදර සහෝදරියන් මාර්ගයෙන්

15-16. අරිස්තාකස් සහ ලූක් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් පාවුල්ට උදව් කළේ කොහොමද?

15 පාවුල්ට උදව් ලැබුණේ කොහොමද? එයා රෝමයට යන අතරතුරේදී යෙහෝවා දෙවියන් කීප වතාවක්ම සහෝදර සහෝදරියන් මාර්ගයෙන් එයාට උදව් කළා. ඒ අතරින් කීපයක් අපි බලමු.

16 පාවුල්ගේ යාළුවන් දෙන්නෙක් වුණ අරිස්තාකස් සහ ලූක් පාවුල් එක්ක රෝමයට යන්න තීරණය කළා. * ඒ වෙද්දී එයාලටත් ආරක්ෂිතව රෝමයට යන්න පුළුවන් වෙනවා කියලා යේසුස් එයාලට කියලා තිබුණේ නැහැ. එයාලට ඒ ගැන දැනගන්න ලැබුණේ ඒ ගමන යන අතරතුරේදී. ඒ නිසා ඒ දෙන්නා සිසේරියෙන් නැවට ගොඩ වුණාම ඒ ගැන පාවුල්ට කොහොම හැඟෙන්න ඇද්ද! ධෛර්යවන්තව වැඩ කරපු ඒ දෙන්නා මාර්ගයෙන් තමන්ව ශක්තිමත් කරපු එක ගැන පාවුල් යෙහෝවා දෙවියන්ට හද පත්ලෙන්ම ස්තුති කරන්න ඇති.—ක්‍රියා 27:1, 2, 20-25.

17. සහෝදර සහෝදරියන් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් පාවුල්ට උදව් කළේ කොහොමද?

17 ගමන අතරතුරේදී සහෝදර සහෝදරියන් කීප වතාවක්ම පාවුල්ට උදව් කළා. උදාහරණෙකට එයාලා සීදොන් වරායට ගොඩබැස්සාම ජූලියස් “මිතුරන් සමඟ කාලය ගත කිරීමට යම් නිදහසක්” පාවුල්ට දුන්නා. එයාලා පුටෙයෝලිය වරායට ආවාම එහෙදී හමු වුණ සහෝදර සහෝදරියන් දවස් හතක් එහේ නැවතිලා ඉන්න කියලා එයාලගෙන් ඉල්ලුවා. පාවුල්ටත් එයාගේ යාළුවන්ටත් ආදරෙන් සලකපු අය පාවුල් කියපු දිරිගන්වන අද්දැකීම් අහලා ලොකු සතුටක් ලබන්න ඇති. (ක්‍රියා 15:2, 3 බලන්න.) ඒ සහෝදර සහෝදරියන්ගෙන් දිරිගැන්වීමක් ලැබුවාට පස්සේ පාවුල් සහ එයාගේ යාළුවන් ආපහු ගමන යන්න පටන්ගත්තා.—ක්‍රියා 27:3; 28:13, 14.

පාවුල්ට උදව් කළා වගේ අපිට උදව් කරන්නත් සහෝදර සහෝදරියන්ව යොදාගන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් (18 ඡේදය බලන්න)

18. පාවුල් දෙවියන්ට ස්තුති කරන්නත් ධෛර්යය වැඩි කරගන්නත් පෙලඹුණේ ඇයි?

18 අවුරුදු තුනකට කලින් පාවුල් රෝම සභාවේ අයට කියලා තිබුණා ‘මා අවුරුදු කීපයක් පුරා ඔබව හමු වීමට මහත් ආශාවකින් සිටිනවා’ කියලා. (රෝම 15:23) රෝමයට යන අතරතුරේදී පාවුල්ට ඒ දේ මතක් වෙන්න ඇති. හැබැයි එයා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති එයාට හිරකරුවෙක් විදිහට රෝමයට යන්න වෙයි කියලා. ඒත් රෝමයේ සහෝදරයන් එයාව පිළිගන්න ඇවිත් ඉන්නවා දැක්කාම එයාට කොහොම හැඟෙන්න ඇද්ද! බයිබලේ කියන්නේ “පාවුල් ඔවුන්ව දුටු විට දෙවිට ස්තුති කළේය. මන්ද ඔවුන්ව දැකීමෙන් ඔහු මහත් ධෛර්යයක් ලැබුවේය” කියලා. (ක්‍රියා 28:15) ඒ සහෝදරයන්ව දැක්කාම එයා දෙවියන්ට ස්තුති කළේ ඇයි? මොකද එයා තේරුම්ගත්තා ඒ සහෝදරයන් මාර්ගයෙන් තමන්ට උදව් කරන්නේ යෙහෝවා දෙවියන් කියලා.

19 ඡේදය බලන්න

19. 1 පේතෘස් 4:10 අනුව අනිත් අයට උදව් කරන්න යෙහෝවා දෙවියන් අපිව පාවිච්චි කරන්නේ කොහොමද?

19 අපිට කරන්න පුළුවන් මොනවාද? ඔයාගේ සභාවේ අසනීපයක් නිසා, ආදරේ කරන කෙනෙක් මැරුණ නිසා එහෙමත් නැත්නම් වෙන ප්‍රශ්නයක් නිසා දුකෙන් ඉන්න කෙනෙක්ව ඔයා දන්නවාද? එහෙනම් ඒ කෙනාට සහනයක් ලැබෙන විදිහට දෙයක් කියන්න හරි කරන්න හරි උදව් කරන්න කියලා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න. ඔයා ඒ කෙනාට කියන දෙයින් නැත්නම් කරන දෙයින් එයාට ලොකු සහනයක් දැනෙයි. (1 පේතෘස් 4:10 කියවන්න.) * ඒ වගේම “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියලා යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසය තියන්නත් ඒක එයාට උදව් වෙයි. ඒක ඔයාටත් සතුටක් නේද?

20. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය” කියලා අපිට ලොකු නිසැකකමකින් කියන්න පුළුවන් ඇයි?

20 පාවුල් සහ එයාගේ යාළුවන් වගේ අපිටත් සැඩ කුණාටු වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. ඒත් අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද යෙහෝවා දෙවියන් අපිත් එක්ක ඉන්නවා. යේසුස් සහ දේවදූතයන් මාර්ගයෙන් ඔහු අපිට උදව් කරනවා. ඒ වගේම අපිට උදව් කරන්න අධිකාරියක් තියෙන අයව පොලඹවන්නත් ඔහුට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි දැනටමත් අද්දැකලා තියෙන විදිහට අපිට උදව් කරන්න ඔහු අපේ සහෝදර සහෝදරියන්වත් යොදාගන්නවා. ඒ නිසා පාවුල් වගේ අපිටත් ලොකු නිසැකකමකින් මෙහෙම කියන්න පුළුවන්. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?”—හෙබ්‍රෙ. 13:6.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

^ 5 ඡේ. දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවියන් පාවුල්ට උදව් කරපු විදි තුනක් අපි මේ ලිපියෙන් බලනවා. අතීතයේදී යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට උදව් කරපු විදිහ බලද්දී මේ කාලෙත් ඔහු අනිවාර්යයෙන්ම අපේ උදව්වට ඉන්නවා කියන නිසැකකම වැඩි කරගන්න අපිට පුළුවන් වෙනවා.

^ 16 ඡේ. අරිස්තාකස් සහ ලූක් ඊට කලිනුත් පාවුල් එක්ක සංචාරවල හවුල් වෙලා තිබුණා. පාවුල් රෝමයේ හිර අඩස්සියේ ඉද්දීත් ඒ දෙන්නා පාවුල්ව දාලා ගියේ නැහැ.—ක්‍රියා 16:10-12; 20:4; කොලො. 4:10, 14.