Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 47

දිගටම වෙනස්කම් කරන්න ඔයා කැමතිද?

දිගටම වෙනස්කම් කරන්න ඔයා කැමතිද?

“සහෝදරයෙනි, . . . දිගටම ප්‍රීතියෙන් සිටින්න. ඔබ සිතන ආකාරය නිරතුරුව සකස් කරගන්න.”—2 කොරි. 13:11.

ගීතිකාව 54 “යා යුතු හරි මඟ”

මේ ලිපියෙන් *

1. මතෙව් 7:13, 14 අනුව අපි හැමෝම යම් ගමනක් යනවා කියලා කියන්න පුළුවන් ඇයි?

අපි හැමෝම යන මේ ගමනේ ගමනාන්තය තමයි සදාකාල ජීවිතය. ඒ කාලෙදී දෙවියන්ගේ පාලනය යටතේ හැමදාටම සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන්. හැබැයි යේසුස් කිව්වා වගේ අවහිරකම්වලින් පිරුණු ඒ පටු මාර්ගයේ ගමන් කරන එක හැම වෙලාවෙම ලේසි නැහැ. (මතෙව් 7:13, 14 කියවන්න.) අනික අපි හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන නිසා ලේසියෙන්ම අපි ඒ පාරෙන් ඉවතට යන්න ඉඩ තියෙනවා.—ගලා. 6:1.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද? (“ වෙනස්කම් කරගන්න නිහතමානිකම උදව් වෙනවා” කියන කොටුවත් බලන්න.)

2 ජීවනය කරා යන පාරේ දිගටම ගමන් කරන්න නම් අපි අපේ සිතුවිලිවල, ආකල්පවල සහ අපි වැඩ කරන විදිහේ වෙනස්කම් කරගන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. කොරින්තියේ හිටිය ක්‍රිස්තියානීන්ට පාවුල් කිව්වා “සිතන ආකාරය නිරතුරුව සකස් කරගන්න” කියලා. (2 කොරි. 13:11) ඒක අපිටත් අදාළයි. ඒ දේ කරන්න බයිබලේ අපිට උදව් වෙන්නේ කොහොමද? ජීවනයට යන පාරේ දිගටම ගමන් කරන්න අවබෝධයෙන් වැඩ කරන අපේ යාළුවන් අපිට උදව් කරන්නේ කොහොමද? යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක අභියෝගයක් වෙන්න පුළුවන් මොන හේතු නිසාද? අවශ්‍ය වෙනස්කම් කරගන්නත් දිගටම සතුටින් යෙහෝවා දෙවියන්ට සේවය කරන්නත් නිහතමානීකම උදව් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

ඔයාව නිවැරදි කරන්න බයිබලේට ඉඩ දෙන්න

3. බයිබලය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

3 අපේ සිතුවිලි සහ ආකල්ප තේරුම්ගන්න එක ලේසි නැහැ. මොකද අපේ හිත රැවටිලිකාරයි. (යෙරෙ. 17:9) ඒ නිසා දන්නෙම නැතුව වැරදි දෙයක් කරන්න අපිව පොලඹවන්න අපේ සිතුවිලිවලට පුළුවන්. “බොරු තර්ක විතර්කවලින්” අපි අපිවම රවට්ටගන්නත් ඉඩ තියෙනවා. (යාකො. 1:22) ඒ නිසා බයිබලය මාර්ගයෙන් අපිවම සෝදිසි කරලා බලන එක හරිම වැදගත්. මොකද X-රේ මැෂින් එකකින් අපේ ශරීරය ඇතුළේ තියෙන අවයව ගැන දැනගන්න පුළුවන් වගේ, අපි ඇතුළාන්තයෙන් මොන වගේ අයද කියලා තේරුම්ගන්න අපිට උදව් කරන්න බයිබලයට පුළුවන්. (හෙබ්‍රෙ. 4:12, 13) හැබැයි බයිබලය මාර්ගයෙන් හරි අපිට මඟ පෙන්නන්න දෙවියන් පත් කරලා තියෙන අය මාර්ගයෙන් හරි ලැබෙන උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න නම් අපි නිහතමානී වෙන්න ඕනේ.

4. සාවුල් රජ උඩඟු වුණා කියලා කියන්න පුළුවන් ඇයි?

4 නිහතමානී වුණේ නැත්නම් වෙන්න පුළුවන් මොනවාද කියලා සාවුල් රජගෙන් ඉගෙනගන්න පුළුවන්. එයා කොච්චර උඩඟු වුණාද කිව්වොත් එයාගේ සිතුවිලි වෙනස් කරගන්න ඕනෙ කියලා එයා පිළිගත්තේ නැහැ. (ගීතා. 36:1, 2; හබ. 2:4) උදාහරණෙකට අමලෙක්වරුන් එක්ක කරපු යුද්දේ දින්නාට පස්සේ කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවා දෙවියන් කියලා තිබුණත් සාවුල් ඒකට කීකරු වුණේ නැහැ. එයා කරපු වරද ගැන අනාගතවක්තෘ සාමුවෙල් එයාට පෙන්නලා දුන්නත් එයා ඒක පිළිගත්තෙත් නැහැ. ඒ වෙනුවට ‘මං කළේ ඒ තරම් ලොකු වරදක් නෙවෙයි. අනික මං එහෙම කළේ සෙනඟ කියපු නිසයි’ කියලා එයා නිදහසට කරුණු කිව්වා. (1 සාමු. 15:13-24) කලින් වතාවකත් එයා ඒ විදිහෙම දෙයක් කරලා තිබුණා. (1 සාමු. 13:10-14) එයාගේ උඩඟු සිතුවිලි එයා වෙනස් කරගත්තේ නැති නිසා අන්තිමේදී යෙහෝවා දෙවියන් එයාව ප්‍රතික්ෂේප කළා.

5. සාවුල්ගේ අවාදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 සාවුල් වගේ වෙන්න අපි කවුරුත් කැමති නැහැ නේද? ඒ නිසා අපි මේ ප්‍රශ්න ගැන හිතලා බලමු. ‘බයිබලේ කියවද්දී මට අදාළ වෙන උපදෙසක් තිබුණොත් ඒක මට අදාළ නැහැ කියලා මං හිතනවාද? මං කරන්නේ ඒ තරම් ලොකු වරදක් නෙවෙයිනේ කියලා මං හිතනවාද? මං අනිත් අය පිට වරද පටවනවාද?’ ඒ එක ප්‍රශ්නෙකට හරි උත්තරේ ඔව් නම් ඒ කියන්නේ අපි අපේ සිතුවිලි වෙනස් කරගන්න ඕනෙ කියන එකයි. අපි එහෙම කළේ නැත්නම් යෙහෝවා දෙවියන් අපිවත් ප්‍රතික්ෂේප කරයි.—යාකො. 4:6.

6. දාවිත් සාවුල්ට වඩා වෙනස් වුණේ කොහොමද? පැහැදිලි කරන්න.

6 සාවුල්ට පස්සේ රජ හැටියට පත් වුණ දාවිත් වැඩ කළේ සාවුල්ට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. දාවිත් ‘යෙහෝවා දෙවිගේ නීතියට’ ගොඩක් ඇලුම් කළා. (ගීතා. 1:1-3) යෙහෝවා දෙවියන් නිහතමානී අයව ගලවගන්නවා කියලත් උඩඟු අයව පිළිකුල් කරනවා කියලත් එයා හොඳින්ම දැනන් හිටියා. (2 සාමු. 22:28) ඒ නිසා එයා දෙවියන්ගේ නීතියට එකඟව එයාගේ සිතුවිලි සකස් කරගත්තා. එයා කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මට මඟ පෙන්වූ යෙහෝවා දෙවිට මම ප්‍රශංසා කරමි. මාගේ ඇතුළාන්තයටම කාවැදුණු ඒ මඟ පෙන්වීම් රාත්‍රී කාලයේදී මාව නිවැරදි කළේය.”—ගීතා. 16:7.

බයිබලය

ජීවනයට යන මාර්ගයෙන් අපි ඉවතට යද්දී බයිබලය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් අපිට අනතුරු අඟවනවා. අපි නිහතමානී නම් අපිව නිවැරදි කරන්න අපි බයිබලේට ඉඩ දෙනවා (7 ඡේදය බලන්න)

7. නිහතමානී නම් අපි කරන්නේ මොනවාද?

7 අපි නිහතමානී නම් වරදක් කරන්න අපි පෙලඹෙන්න කලින් දෙවියන්ගේ වචනයට අනුව අපි අපේ සිතුවිලි සකස් කරගන්නවා. අපි බයිබලය කියවද්දී ඒක හරියට යෙහෝවා දෙවියන් අපිට මෙහෙම කියනවා වගෙයි. ‘යා යුතු හරි මඟ මෙයයි. මේ මාර්ගයේ ගමන් කරන්න.’ අපි ඒ මාර්ගයෙන් වමට හරි දකුණට හරි හැරෙන්න ගියොත් යෙහෝවා දෙවියන් බයිබලය මාර්ගයෙන් අපිට අනතුරු අඟවනවා. (යෙසා. 30:21) අපි යෙහෝවා දෙවියන්ට ඇහුම්කන් දුන්නොත් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. (යෙසා. 48:17) උදාහරණෙකට අපි දෙවියන්ට කීකරු වෙලා අපේ වරද හදාගත්තොත් අපේ වරදක් ගැන කෙනෙක් උපදෙස් දෙද්දී අපිට දැනෙන ලැජ්ජාව අද්දකින්න වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවියන් තාත්තා කෙනෙක් වගේ අපිට ආදරෙන් සලකනවා කියලා තේරුම්ගන්නත් අපිට පුළුවන් වෙනවා. ඔහු එක්ක අපිට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න ඒක උදව් වෙනවා.—හෙබ්‍රෙ. 12:7.

8. යාකොබ් 1:22-25 අනුව බයිබලය කැඩපතකට සමාන කරන්න පුළුවන් ඇයි?

8 බයිබලය කැඩපතකට සමාන කරන්න පුළුවන්. (යාකොබ් 1:22-25 කියවන්න.) අපි හැමෝම වගේ උදේට ගෙයින් එළියට බහින්න කලින් කණ්ණාඩියකින් අපේ පෙනුම දිහා බලනවා. මොකද අපිට ඕනෙ අනිත් අය දකින්න කලින් අපේ අඩුපාඩු හදාගන්න. අපි හැමදාම බයිබලය කියවද්දී වෙන්නෙත් ඒ වගේ දෙයක්. අපේ සිතුවිලි, ආකල්ප දෙවියන් කැමති විදිහට හදාගන්න ඒක උදව් වෙනවා. හුඟක් අය කැමතියි උදේට දිනපදය කියවන්න. බයිබලෙන් දැනගත්ත තොරතුරු අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා දවස තිස්සේ හිතන්න ඒක උදව් වෙනවා. දිනපදය කියවනවාට අමතරව හැම දවසකම බයිබලය කියවන්නත් කියවන දේවල් ගැන හොඳට හිතන්නත් අපි කාලය ගන්න ඕනේ. මොකද ජීවනය කරා යන පාරේ දිගටම ගමන් කරන්න නම් ඒ දේ අපි කරන්නම ඕනේ.

අවබෝධයෙන් වැඩ කරන යාළුවන්ට ඇහුම්කන් දෙන්න

අවබෝධයෙන් වැඩ කරන යාළුවෝ

අවබෝධයෙන් වැඩ කරන යාළුවෙක් අපිව ආදරෙන් නිවැරදි කරයි. එයා අවංකව අපිත් එක්ක ඒ ගැන කතා කරපු එක ගැන අපි සතුටු වෙනවාද? (9 ඡේදය බලන්න)

9. යාළුවෙක්ට ඔයාව නිවැරදි කරන්න වෙන්නේ ඇයි?

9 යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීමට හානි වෙන දෙයක් කවදා හරි ඔයාගේ අතින් වෙලා තියෙනවාද? (ගීතා. 73:2, 3) ඔයාගේ යාළුවෙක් ඒ ගැන ඔයාව නිවැරදි කළාම ඔයා එයාට ඇහුම්කන් දීලා එයා දීපු උපදෙස් අදාළ කරගත්තාද? ඔයා එහෙම කළා නම් ඔයා කරලා තියෙන්නේ හරි දේ. ඔයාට තියෙන ආදරේ නිසා ඔයාගේ යාළුවා ඔයාව නිවැරදි කරපු එක ගැන ඔයා සතුටු වෙන්නේ නැද්ද?—හිතෝ. 1:5.

10. යාළුවෙක් ඔයාව නිවැරදි කළොත් ඔයා කරන්න ඕනෙ මොනවාද?

10 බයිබලේ කියනවා “ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය ක්‍රියාවකි” කියලා. (ගීතා. 141:5) ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ගොඩක් වාහන යන පාරකින් පාර පනින්න යද්දී ඔයාට කෝල් එකක් එනවා. ඔයාගේ අවධානය ඒකට යන නිසා ඔයා පාර දෙපැත්ත බලන්නේ නැතුව පාර පනින්න හදද්දීම ඔයාගේ යාළුවෙක් ඔයාව ඇදලා පිටිපස්සට ගන්නවා. ඒ වෙලාවේ යාළුවා ඔයාව තදින් අල්ලපු නිසා ඒ වේදනාව දවස් කිහිපයක් යන කල්ම තියෙයි. හැබැයි යාළුවා ඔයාව ඇදලා ගත්ත නිසයි ඔයාගේ ජීවිතේ බේරුණේ. යාළුවා එහෙම කරපු එක ගැන ඔයා කේන්ති ගන්නවාද? නැහැ නේද? ඒ වෙනුවට එයා කරපු දේට ඔයා හදවතින්ම එයාට ස්තුති කරයි. ඒ වගේ තමයි ඔයා කියපු කරපු දෙයක් දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟ නැහැ කියලා දැනුණොත් ඔයාගේ යාළුවෙක් ඒ ගැන ඔයාට කියයි. මුලින්ම ඒ ගැන ඔයාට දුකක් දැනෙයි. ඒත් ඔයා ඒ ගැන කේන්ති ගත්තොත් ඒක මෝඩකමක්. (දේශ. 7:9) හිත රිදෙයි කියලා හිතලා ඒ ගැන නොකියා ඉන්නවා වෙනුවට ඔයාට අනතුරු අඟවපු එක අගේ කරන්න.

11. යාළුවෙක්ගෙන් ලැබෙන උපදෙසක් ප්‍රතික්ෂේප කරන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන් ඇයි?

11 ආදරණීය යාළුවෙක්ගෙන් ලැබෙන උපදෙසක් ප්‍රතික්ෂේප කරන්න කෙනෙක් පෙලඹෙන්නේ උඩඟුකම නිසයි. ඒ වගේ අය කැමති එයාලගේ “කන්වලට මිහිරි දේවල්” අහන්න. ඒ අය “සත්‍ය ඉගැන්වීම්වලට කන් නොදී, එයින් ඉවත් වී” යනවා. (2 තිමෝ. 4:3, 4) තමන් අනිත් හැමෝටම වඩා බුද්ධිමත් නිසා කාගෙවත් උපදෙස් තමන්ට ඕනෙ නැහැ කියලයි උඩඟු අය හිතන්නේ. හැබැයි පාවුල් කිව්වේ “කෙනෙක් තමා ඉතා වැදගත් කෙනෙක් කියා සිතනවා නම් ඔහු රවටාගන්නේ තමාවමය. මන්ද ඔහු තුළ කිසිවක් නැත” කියලයි. (ගලා. 6:3) සලමොන් රජත් ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “උපදෙස් පිළි නොගන්නාවූ මෝඩ මහලු රජෙකුට වඩා බුද්ධිමත් දිලිඳු තරුණයෙකු හොඳය.”—දේශ. 4:13.

12. ගලාති 2:11-14 අනුව පේතෘස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 අනිත් අය ඉස්සරහා පාවුල් තමාව නිවැරදි කළාම පේතෘස් කළේ මොනවාද කියලා හිතන්න. (ගලාති 2:11-14 කියවන්න.) ඕනෙ නම් එයාට තිබුණා පාවුල් උපදෙස් දීපු විදිහ ගැනත් අනිත් අය ඉස්සරහා ඒක කරපු එක ගැනත් හිතලා පාවුල් එක්ක කේන්ති ගන්න. ඒත් එයා එහෙම කළේ නැහැ. ඒ වෙනුවට එයා පාවුල් දීපු උපදෙස් පිළිගත්තා. පාවුල් ගැන හිතේ කේන්තියක් තියාගත්තෙත් නැහැ. ඒ සිද්ධියෙන් පස්සේ එයා ලියපු ලිපියක පාවුල්ව “ප්‍රේමණීය සහෝදරයා” විදිහට හඳුන්වපු එකෙන් ඒක පැහැදිලි වෙනවා.—2 පේතෘ. 3:15.

13. උපදෙස් දෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

13 යාළුවෙක්ට උපදෙස් දෙන්න ඕනෙ කියලා ඔයාට හිතුණොත් එහෙම කරන්න කලින් හිතලා බලන්න ඔයා “පමණට වඩා ධර්මිෂ්ඨ” වෙලාද කියලා. (දේශ. 7:16) මොකද ඒ වගේ කෙනෙක් අනිත් අයව මනින්නේ එයාට හරියි කියලා හිතෙන විදිහට මිසක් යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව නෙවෙයි. ඒ වගේ කෙනෙක් කාරුණිකව උපදෙස් දෙන්න පෙලඹෙන්නෙත් තැහැ. ඒ දේවල් ගැන හිතුවාට පස්සෙත් යාළුවාට උපදෙස් දෙන්න ඕනෙ කියලා ඔයාට හිතුණොත් එයාගේ ප්‍රශ්නය ගැන පැහැදිලිව එයාට කියන්න. ඒ වගේම ඒක වැරදි ඇයි කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රශ්න එයාගෙන් අහන්න. යාළුවා ගණන් දෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට මිසක් ඔයාට නෙවෙයි කියලා අමතක කරන්න එපා. (රෝම 14:10) ඒ නිසා ඔයාට හිතෙන විදිහට දේවල් කියනවා වෙනුවට බයිබල් පද පදනම් කරගෙන කතා කරන්න. ඒ වගේම උපදෙස් දෙද්දී යේසුස් වගේ දයාවෙන් කටයුතු කරන්න. (හිතෝ. 3:5; මතෙ. 12:20) ඔයා අනිත් අයට දයාව පෙන්නුවේ නැත්නම් යෙහෝවා දෙවියනුත් ඔයාට දයාව පෙන්නන්නේ නැහැ.—යාකො. 2:13.

සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න

දෙවියන්ගේ සංවිධානය

බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න දෙවියන්ගේ සංවිධානය ප්‍රකාශන, වීඩියෝ සහ රැස්වීම් මාර්ගයෙන් අපිට උදව් කරනවා. කාලෙන් කාලෙට පාලක මණ්ඩලය සංවිධානය තුළ දේවල් සිදු කරන විදිහේ යම් වෙනස්කම් කරනවා (14 ඡේදය බලන්න)

14. දෙවියන්ගේ සංවිධානයෙන් අපිට ලබා දෙන්නේ මොනවාද?

14 යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිට මඟ පෙන්නනවා. වීඩියෝ, ප්‍රකාශන සහ අපේ රැස්වීම් ඒ අතරට අයිතියි. ඒ හැම දෙයක්ම පදනම් වෙන්නේ බයිබලය මත. දේශනා සේවය සාර්ථකව ඉටු කරන්න පුළුවන් කොහොමද කියලා තීරණය කරද්දී පාලක මණ්ඩලයේ සහෝදරයන් දෙවියන්ගේ බලය මත රඳා ඉන්නවා. ඒත් දේශනා සේවය කරන්න සැලසුම් කරලා තියෙන විදි ගැන එයාලා විටින් විට සලකලා බලනවා. මොකද ‘ලෝකේ වාතාවරණය වෙනස් වෙමින් පවතින’ නිසා ඒ තත්වයන්ට අනුව වඩාත්ම ගැළපෙන විදිහට දේවල් සැලසුම් කරන්නයි එයාලා වෑයම් කරන්නේ.—1 කොරි. 7:31.

15. සමහර ප්‍රචාරකයන්ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මොන වගේ අභියෝගවලටද?

15 දෙවියන්ගේ සංවිධානයෙන් බයිබල් ඉගැන්වීමක් තවත් හොඳින් පැහැදිලි කරද්දී එහෙම නැත්නම් සදාචාර ප්‍රමිති ගැන අපිට මඟ පෙන්වීම් දෙද්දී අපි ඒවා ඉක්මනින්ම අදාළ කරගන්නවා. හැබැයි සංවිධානයෙන් අපේ ජීවිතේ වෙනත් පැතිවලට බලපාන වෙනස්කම් කරද්දී අපි ඒවාට කීකරු වෙනවාද? උදාහරණෙකට නමස්කාරයට අදාළ ගොඩනැඟිලි ඉදි කරන්නත් ඒවා නඩත්තු කරන්නත් මෑත කාලවලදී ලොකු වියදමක් දරන්න වෙලා තියෙන නිසා පාලක මණ්ඩලය මඟ පෙන්නුවා සභා කීපයක්ම එකම නමස්කාර මධ්‍යස්ථානයක් පාවිච්චි කරන්න කියලා. ප්‍රතිඵලයක් විදිහට සභා කීපයක්ම එකතු කරපු නිසා සමහර නමස්කාර මධ්‍යස්ථාන විකුණන්න පුළුවන් වුණා. නමස්කාර මධ්‍යස්ථානවල ලොකු අවශ්‍යතාවක් තියෙන ප්‍රදේශවල අලුත් ගොඩනැඟිලි ඉදි කරන්න ඒ මුදල් යොදවලා තියෙනවා. ඔයා ඉන්න සභාවේ ඒ වගේ වෙනස්කමක් වුණාද? එහෙනම් ඒ අලුත් තත්වයට හුරු වෙන එක ඔයාට අභියෝගයක් වෙන්න ඇති. ඒ වෙනස්කම් නිසා රැස්වීම්වලට සහභාගි වෙන්න ලොකු දුරක් යන්න සමහර අයට සිද්ධ වෙලා තියෙනවා. නමස්කාර මධ්‍යස්ථාන විකුණපු එක ගැන ඒවා ඉදි කරන්න හවුල් වුණු සහෝදරයන්ට හිතෙන්න ඇති ඒවා ඉදි කරන්න තමන් යොදවපු කාලය, ශ්‍රමය අපතේ ගියා කියලා. ඒ කොහොමවුණත් එයාලා හැමෝම සංවිධානයෙන් කරපු වෙනස්කම්වලට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන එක ගැන ඇත්තටම එයාලව අගේ කරන්න ඕනේ.

16. කොලොස්සි 3:23, 24 තියෙන උපදෙස අපේ සතුට දිගටම පවත්වගන්න උදව් වෙන්නේ කොහොමද?

16 අපි සේවය කරන්නේ යෙහෝවා දෙවියන්ට කියලත් ඔහු තමන්ගේ සංවිධානයට මඟ පෙන්නනවා කියලත් අපි මතක තියාගන්නවා නම් දිගටම අපේ සතුට පවත්වගන්න අපිට පුළුවන් වෙනවා. (කොලොස්සි 3:23, 24 කියවන්න.) දේවමාළිගාව ඉදි කරන්න දීපු සම්මාදම් ගැන දාවිත් දෙවියන්ට කියපු මේ දේ අපිට කදිම ආදර්ශයක්. “ඔබට මේ දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න මටත් මගේ සෙනඟටත් හැකියාව තිබෙන බව ඇත්තයි. නමුත් ඔබ ඉදිරියේ අපි කවුද? මේ හැම දෙයක්ම අපට ලැබී තිබෙන්නේ ඔබගෙනුයි. ඇත්තෙන්ම අපි ඔබට පරිත්‍යාග කරන්නේ ඔබේම දේවලුයි.” (1 ලේක. 29:14) ඇත්තටම අපි සම්මාදම් කරන්නේ යෙහෝවා දෙවියන් අපිට දීපු දේවල්ම තමයි. ඒත් නමස්කාර කටයුතු වෙනුවෙන් අපි කැමැත්තෙන්ම අපේ කාලය, ශ්‍රමය සහ අපි සතු දේවල් යොදවද්දී යෙහෝවා දෙවියන් හුඟක් සතුටු වෙනවා.—2 කොරි. 9:7.

ජීවනය කරා යන පටු පාරේ දිගටම ගමන් කරන්න

17. ජීවිතේ වෙනස්කම් කරගන්න ඕනෙ කියලා තේරුණොත් ඒ ගැන අධෛර්යය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

17 පටු පාරේ දිගටම ගමන් කරන්න නම් අපි හැමෝම යේසුස්ගේ ආදර්ශය කිට්ටුවෙන්ම අනුගමනය කරන්න ඕනේ. (1 පේතෘ. 2:21) ඔයාගේ ජීවිතේ යම් වෙනස්කම් කරගන්න ඕනෙ කියලා හිතුණොත් ඒ ගැන අධෛර්යය වෙන්න එපා. මොකද ඔයාට එහෙම හිතෙන්නේ යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ලොකු ආසාවක් ඔයාට තියෙන නිසයි. අනික පව්කාරකම උරුම වෙලා තියෙන අපිට සීයට සීයක් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න බැහැ කියලා යෙහෝවා දෙවියන් දන්නවා.

18. ජීවනය කරා යන පාරේ දිගටම ගමන් කරන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

18 අපි අපේ ගමනාන්තය ගැන නිතරම මනසේ තියාගමු. අපේ සිතුවිලි, ආකල්ප සහ අපි කටයුතු කරන විදිහ දෙවියන් කැමති විදිහට සකස් කරගන්න කැමැත්තෙන් ඉමු. (හිතෝ. 4:25; ලූක් 9:62) දිගටම නිහතමානීව ඉන්න, ‘ප්‍රීතියෙන් ඉන්න, හිතන විදහ සකස් කරගන්න’ අපි උපරිමයෙන් වෑයම් කරමු. (2 කොරි. 13:11) එතකොට ‘ප්‍රේමයද සමාදානයද ලබා දෙන දෙවි අපිත් එක්ක ඉඳියි.’ අපේ ගමනාන්තයට යන්නත් දිගටම සතුටින් ඉන්නත් ඔහු අපිට උදව් කරයි.

ගීතිකාව 34 දෙවිට විශ්වාසවන්තව සිටීම

^ 5 ඡේ. අපේ සිතුවිලිවල, ආකල්පවල, වැඩ කරන විදිහේ, වෙනස්කම් කරගන්න එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. ඒත් අපි එහෙම කරන්න ඕනෙ ඇයි කියලත් එහෙම කරද්දී අපේ සතුට දිගටම තියාගන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියෙන් බලමු.

^ 76 ඡේ. පින්තූරයේ අදහස: ගත්ත වැරදි තීරණයක් නිසා වුණ දේ ගැන තරුණ සහෝදරයෙක් කියද්දී එයාට උපදෙස් දෙන්න ඕනෙද, නැද්ද කියලා තේරුම්ගන්න වැඩිහිටි සහෝදරයෙක් එයාට ඉවසීමෙන් ඇහුම්කන් දෙනවා.