Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 48

“ඉදිරියම බලා සිටින්න”

“ඉදිරියම බලා සිටින්න”

“ඔබේ දෙනෙත් ඔබේ ගමන් මඟ දෙසම යොමු කර තබන්න. වටපිට නොබලා ඔබේ දීප්තිමත් දෙනෙත්වලින් ඉදිරියම බලා සිටින්න.”—හිතෝ. 4:25.

ගීතිකාව 77 අඳුරු ලොවට ආලෝකයක්

මේ ලිපියෙන් *

1-2. හිතෝපදේශ 4:25 තියෙන උපදෙස අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? පැහැදිලි කරන්න.

මේ අවස්ථා තුන ගැන හිතන්න. මහලු වයසේ ඉන්න සහෝදරියක් එයාගේ අතීතයේ සුන්දර මතකයන් ගැන හිතනවා. යෞවන කාලෙදී වගේ දැන් එයාට ලොකු සේවයක් කරන්න බැරි වුණත් පුළුවන් උපරිමයෙන් එයා යෙහෝවා දෙවියන්ට සේවය කරනවා. (1 කොරි. 15:58) පවුලේ අය සහ යාළුවන් එක්ක පාරාදීසෙදී ගත කරන්න ලැබෙන ජීවිතය ගැන හැම දවසකම එයා හිතින් මවාගන්නවා. තවත් සහෝදරියකට මතක් වෙනවා සභාවේ කෙනෙක් එයාගේ හිත රිද්දපු අවස්ථාවක් ගැන. ඒත් ඒ ගැන හිත හිතා ඉන්නවා වෙනුවට ඒක අමතක කරලා දාන්න එයා තීරණය කරනවා. (කොලො. 3:13) අතීතයේ තමන් අතින් වුණු වරදක් ගැන සහෝදරයෙක්ට මතක් වෙනවා. ඒත් ඒ ගැන හිත හිතා ඉන්නවා වෙනුවට දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න උදව් වෙන දේවල් ගැන එයා හිතනවා.—ගීතා. 51:10.

2 ඒ තුන්දෙනාටම අතීතය ගැන මතක් වුණත් එයාලා ඒ ගැනම හිත හිතා හිටියේ නැහැ. ඒ වෙනුවට එයාලගේ ගමන් මඟේ ඉදිරියම බලන් ඉන්න එයාලා වෑයම් කළා.—හිතෝපදේශ 4:25 කියවන්න.

3. අපිත් අපේ ගමන් මඟේ ඉදිරියම බලන් ඉන්න ඕනෙ ඇයි?

3 අපි අපේ ගමන් මඟේ ඉදිරියම බලන් යන එක වැදගත් ඇයි කියලා තේරුම්ගන්න මෙහෙම හිතන්න. පාරක ගමන් කරන කෙනෙක් නිතරම පිටිපස්ස හැරි හැරි බලන්න ගියොත් එයාට ඒ පාරේ කෙළින් ගමන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේ අපිත් අපේ ගමන් මඟේ යද්දී අතීතය ගැනම හිත හිතා ඉන්න ගියොත් අපිට දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පුළුවන් වෙන්නේ නැහැ.—ලූක් 9:62.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 අතීතය ගැන හිත හිතා ඉන්න උගුලට වැටෙන්න හේතු වෙන පැති තුනක් ගැන අපි මේ ලිපියෙන් බලමු. * (1) සොඳුරු මතකයන්, (2) අමනාපය හිතේ තියන් ඉන්න එක, (3) වරදක් ගැන අනවශ්‍ය විදිහට ළත වෙන එක. ඒ පැති තුන ගැන බලද්දී ඉදිරියේ තියෙන දේවලට අවධානය දෙන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් අපි බලමු.—ෆිලි. 3:13.

සොඳුරු මතකයන්

අනාගත ආශීර්වාදවලට අවධානය දෙන එකට බාධාවක් වෙන්න පුළුවන් මොනවාද? (5, 9 සහ 13 ඡේද බලන්න) *

5. දේශනාකාරයා 7:10 කියන විදිහට අපි කරන්න හොඳ නැත්තේ මොනවාද?

5 දේශනාකාරයා 7:10 කියවන්න. ඒ පදේ කියන්නේ ‘අතීතයේ මම සතුටින් සිටියෙමි යයි’ නොකියන්න කියලා නෙවෙයි. මොකද සොඳුරු මතකයන් අපිට යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. ඒ පදේ කියන්නේ “‘අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි’ යයි නොකියන්න” කියලයි. ඒ කියන්නේ අපි අපේ ජීවිතය අතීතයත් එක්ක සන්සන්දනය කරන එකෙන් වැළකිලා ඉන්න ඕනෙ කියන එකයි. තවත් බයිබල් පරිවර්තනයක ඒ අදහස මෙහෙම සඳහන් වෙනවා. “අතීතය වර්තමානයට වඩා හොඳව තිබුණේ මන්දැයි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවෙයි.”

ඊජිප්තුවෙන් පිට වෙලා ආවාට පස්සේ ඊශ්‍රායෙල්වරුන් කරපු වරද මොකක්ද? (6 ඡේදය බලන්න)

6. අතීතයේදී අපේ ජීවිතය මීට වඩා හොඳයි කියලා හිතන එක ඥානවන්ත දෙයක් නොවන්නේ ඇයි? උදාහරණයක් දෙන්න.

6 අතීතයේ සොඳුරු මතකයන් ගැන විතරක් අපි හිතන්න ගියොත් ඒ කාලේදී මුහුණ දීපු දුෂ්කරතා ගැන අපිට අමතක වෙන්න පුළුවන්. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරුන්ට වුණු දේ ගැන හිතන්න. එයාලා ඊජිප්තුවෙන් පිට වෙලා වැඩි කාලයක් යන්න කලින් එහෙදී එයාලා ගත කරපු කටුක ජීවිතය එයාලට අමතක වුණා. එයාලා කිව්වේ මෙහෙමයි. “ඊජිප්තුවේ ඉන්න කාලේ අපිට කොච්චර දේවල් කන්න තිබුණාද? අපි හිතේ හැටියට මාළු කෑවා! පිපිඤ්ඤා, කොමඩු, ලීක්ස්, ලූනු, සුදුලූනු කොයි තරම් කෑවාද?” (ගණන්. 11:5) ඊජිප්තුවේදී එයාලා හිතේ හැටියට කෑම කෑවා තමයි. ඒත් එහෙදී එයාලා හිටියේ වහලුන් විදිහට. ඊජිප්තුවරුන් එයාලට හුඟක් පීඩා කළා. (නික්. 1:13, 14; 3:6-9) හැබැයි ඒ දේවල් එයාලට මතක් වුණේ නැහැ. යෙහෝවා දෙවියන් එයාලා වෙනුවෙන් කරපු දේවල් ගැන හිතනවා වෙනුවට එයාලා හිතුවේ අතීතයේදී කාපු බීපු දේවල් ගැන විතරයි. එයාලා හිතපු විදිහ ගැන යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ.—ගණන්. 11:10.

7. අතීතයේ ගත කරපු ජීවිතය කොච්චර හොඳයිද කියලා හිත හිතා දුක් වෙන එකෙන් වළකින්න සහෝදරියකට උදව් වුණේ මොකක්ද?

7 අතීතය ගැන හිත හිතා දුක් වෙන උගුලට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? ඒක තේරුම්ගන්න 1945 බෙතෙල් සේවය කරන්න පටන්ගත්ත සහෝදරියකගේ අද්දැකීම බලන්න. එයා බෙතෙල් සේවය පටන් අරන් අවුරුදු කීපයක් යද්දී එහේ සේවය කරමින් හිටිය සහෝදරයෙක් එක්ක විවාහ වුණා. එයාලා බෙතෙල් එකේ අවුරුදු ගාණක්ම සේවය කළා. හැබැයි 1976දී එයාගේ ස්වාමිපුරුෂයා හුඟක් අසනීප වුණා. තව වැඩි කාලයක් ජීවත් වෙන්න තමන්ට ලැබෙන්නේ නැහැ කියලා තේරුම්ගත්ත නිසා ඒ සහෝදරයා එයාට මෙහෙම කියලා තියෙනවා. ‘අපි ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළා. හුඟදෙනෙක් ඒක අද්දකින්නේ නැහැ. අතීතයේ මතකයන් ඔයාගේ හිතේ රැඳුණත් ඒවා ගැන හිත හිතා ජීවත් වෙන්න එපා. කාලයත් එක්ක ඔයාට තියෙන වේදනාව අඩු වෙයි. ඔයා ගැන කේන්තියක්, අනුකම්පාවක් ඇති කරගන්න එපා. ඔයාට ලැබුණු ප්‍රීතිය සහ ආශීර්වාද ගැන සතුටු වෙන්න. ටික කාලයක් ගියාට පස්සේ අතීතයේ දේවල් මතක් වෙද්දී ඔයාට සතුටක් දැනෙයි. අතීත මතකයන් දෙවියන්ගෙන් අපිට ලැබුණු තෑග්ගක්.’ එයා කියලා තියෙන ඒ දේවල් ඇත්තටම හුඟක් වටිනවා නේද?

8. ස්වාමිපුරුෂයා දීපු උපදෙස නිසා අපේ සහෝදරිය ලබපු ප්‍රයෝජන මොනවාද?

8 ස්වාමිපුරුෂයා දීපු උපදෙස අපේ සහෝදරිය අදාළ කරගත්තා. අවුරුදු 92දී එයා මිය යන මොහොත වෙන කල්ම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කළා. ඊට ටික කාලෙකට කලින් එයා මෙහෙම කියලා තියෙනවා. “යෙහෝවා දෙවියන්ට පූර්ණකාලීනව සේවය කරපු අවුරුදු 63 දිහා හැරිලා බලද්දී මට කියන්න පුළුවන් මං ගත කළේ ඇත්තටම තෘප්තිමත් ජීවිතයක් කියලා. අපේ පුදුමාකාර සහෝදරත්වයෙනුත් සහෝදර සහෝදරියන් එක්ක පාරාදීස පොළොවක අපේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු සහ එකම සැබෑ දෙවි වන යෙහෝවාට හැමදාටම සේවය කරන්න තියෙන බලාපොරොත්තුවෙනුත් තමයි ජීවිතයට නියම තෘප්තියක් ලැබෙන්නේ.” * යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුවලට දිගටම අවධානය දීපු ඒ සහෝදරිය අපිට කදිම ආදර්ශයක්.

අමනාපය හිතේ තියන් ඉන්න එක

9. ලෙවී කතාව 19:18 කියන දේ අදාළ කරගන්න අමාරු වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

9 ලෙවී කතාව 19:18 කියවන්න. හුඟක් වෙලාවට සභාවේ ඉන්න කෙනෙක්, කිට්ටු යාළුවෙක්, පවුලේ කෙනෙක් නැත්නම් නෑදෑයෙක් අපේ හිත රිදෙන දෙයක් කළොත් එයාලට සමාව දෙන එක අපිට ලේසි නැහැ. උදාහරණයක් බලන්න. තමන්ගේ සල්ලි හොරකම් කළා කියලා සහෝදරියක් තවත් සහෝදරියකට චෝදනා කරනවා. හැබැයි පස්සේ එහෙම චෝදනා කරපු එක ගැන එයා සමාව ඉල්ලනවා. ඒත් චෝදනාව ලබපු සහෝදරියට ඒක ලොකු වේදනාවක් වුණු නිසා ඒක අමතක කරලා දාන්න එයාට ලේසි වුණේ නැහැ. කවදා හරි ඔයාත් ඒ වගේ දෙයක් අද්දැකලා තියෙනවාද? කෙනෙක් කරපු වරදකට සමාව දෙන්න බැහැ කියලා අපි අතරේ ඉන්න හුඟදෙනෙක්ට හිතිලා ඇති.

10. සමාව දෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

10 සමාව දෙන්න අමාරුයි කියලා හිතෙද්දී සමාව දෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? යෙහෝවා දෙවියන් හැම දෙයක්ම දකිනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. අපිට මුහුණ දෙන්න වෙන හැම දෙයක්ම උදාහරණෙකට මිනිස්සු අපිට අසාධාරණ විදිහට සලකද්දී ඒ හැම දෙයක්ම යෙහෝවා දෙවියන් දකිනවා. (හෙබ්‍රෙ. 4:13) අපිට දැනෙන වේදනාව ඔහුටත් දැනෙනවා. (යෙසා. 63:9) ඒ විතරක් නෙවෙයි අසාධාරණකම් නිසා අපි අද්දකින හැම වේදනාවකටම නිමාවක් ගේන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—එළි. 21:3, 4.

11. අමනාපය හිතින් අයින් කරගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

11 අනිත් අයට සමාව දෙද්දී ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි කියලා අපි මතක තියාගන්න ඕනේ. කෙනෙක්ගේ සල්ලි හොරකම් කළා කියලා චෝදනා ලබපු අපේ සහෝදරිය ඒක තේරුම්ගත්තා. එයා දැනන් හිටියා යෙහෝවා දෙවියන් අපිට සමාව දෙන්නේ අපිත් අනිත් අයට සමාව දුන්නොත් විතරයි කියලා. (මතෙ. 6:14) ඒ නිසා අනිත් සහෝදරිය කරපු දේ ගැන හිතේ ඇති වුණු අමනාපය අයින් කරගෙන කැමැත්තෙන්ම එයා සමාව දුන්නා. ඒ නිසා ලොකු සතුටක් අද්දකින්නත් යෙහෝවා දෙවියන්ට කරන සේවයට හොඳින් අවධානය දෙන්නත් එයාට පුළුවන් වුණා.

වරදක් ගැන අනවශ්‍ය විදිහට ළත වෙන එක

12. 1 යොහන් 3:19, 20 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

12 1 යොහන් 3:19, 20 කියවන්න. සත්‍යයට එන්න කලින් එහෙමත් නැත්නම් බව්තීස්ම වුණාට පස්සේ අපි අතින් වුණු වරදක් ගැන අපේ හිත අපිට දොස් නඟන්න ඉඩ තියෙනවා. ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. (රෝම 3:23) අපි කැමතියි කොයි වෙලෙත් හරි දේ කරන්න. ඒත් “අපි සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙනවා.” (යාකො. 3:2; රෝම 7:21-23) වරදක් ගැන අපේ හිත අපිට දොස් නඟද්දී අපිට සතුටක් දැනෙන්නේ නැහැ තමයි. හැබැයි ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ලැබෙනවා. අපේ වරද හදාගෙන ආයෙත් ඒ වරද නොකර ඉන්න අධිෂ්ඨානයක් ගන්න ඒක අපිට උදව් වෙනවා.—හෙබ්‍රෙ. 12:12, 13.

13. වරදක් ගැන අනවශ්‍ය විදිහට ළත වෙන්න හොඳ නැත්තේ ඇයි?

13 හැබැයි වරදක් ගැන අපි අවංකව පසුතැවිලි වෙලා යෙහෝවා දෙවියන්ගෙන් සමාව ලැබුණාට පස්සෙත් අනවශ්‍ය විදිහට ඒ ගැන ළත වෙන එකෙන් අපි වැළකිලා ඉන්න ඕනේ. මොකද ඒකෙන් අපිට වෙන්නේ හානියක්. (ගීතා. 31:10; 38:3, 4) ඒක තේරුම්ගන්න මේ අද්දැකීම බලන්න. සහෝදරියක් කලින් එයා අතින් වුණු වැරදි ගැන අනවශ්‍ය විදිහට ළත වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මගේ වැරදිවලට සමාව ලැබෙන එකක් නැහැ කියලා හිතුණු නිසා මහන්සි වෙලා යෙහෝවා දෙවියන්ට සේවය කරන එකෙන් පලක් නැහැ කියලා මට හිතුණා.” අපි අතරේ ඉන්න හුඟදෙනෙක්ට එහෙම හිතිලා ඇති. ඒ නිසා කරපු වරදක් ගැන අනවශ්‍ය විදිහට ළත වෙන උගුලට නොවැටී ඉන්න උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. නැත්නම් යෙහෝවා දෙවියන් අපිට සමාව දීලා තියෙද්දීත් ඔහුට කරන සේවය නතර කරන්න අපි පෙලඹෙයි. හිතන්න සාතන් ඒ ගැන කොච්චර සතුටු වෙයිද කියලා.—2 කොරින්ති 2:5-7, 11 බලන්න.

14. යෙහෝවා දෙවියන් අපිට සමාව දෙන්න කැමතියි කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි?

14 ‘යෙහෝවා දෙවියන් මගේ වැරදිවලට සමාව දෙන්න කැමතියි කියලා හරියටම දැනගන්න පුළුවන් කොහොමද’ කියලා ඔයාට හිතෙයි. අවුරුදු ගාණකට කලින් පළ වුණු ‘මුරටැඹ’ ලිපියක සඳහන් වුණු මේ දෙයින් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. “සමහරවිට අපි අතින් එකම වරද ආයේ ආයේ වෙයි. ඒ කියන්නේ ඒ දුර්වලකම සම්පූර්ණයෙන්ම හදාගන්න අපිට බැරි වෙලා තියෙනවා කියන එකයි. ඒත් යෙහෝවා දෙවියන් කවදාවත් ඒ වරදට සමාව දෙන්නේ නැහැ කියලා හිතන්න එපා. මොකද ඔයා එහෙම හිතනවා දකින්නයි සාතන්ට ඕනේ. ඒ වරද ගැන ලොකු දුකක් දැනෙන්නේ ඒ වරද හදාගන්න ඔයාට ලොකු වුවමනාවක් තියෙන නිසයි. ඒ නිසා ඒ වරදට සමාව දෙන්න කියලත් නිදොස් හෘදය සාක්ෂියක් ලබා දෙන්න කියලත් ආයේ ඒ වරද නොකර ඉන්න උදව් කරන්න කියලත් දිගටම නිහතමානීව යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න. හරියට දරුවෙක් එකම ප්‍රශ්නෙට ආයේ ආයේ මුහුණ දෙද්දී ඒ හැම වතාවකම තාත්තාගෙන් උදව් ගන්නවා වගේ අපිත් අපේ ආදරණීය දෙවි පියාණන්ගෙන් උදව් ඉල්ලමු. එතකොට දයාවෙන් පිරුණු යෙහෝවා දෙවියන් අපිට අනිවාර්යයෙන්ම උදව් කරයි.”

15-16. යෙහෝවා දෙවියන් සමාව දෙන්න කැමතියි කියලා තේරුම්ගත්තාම සමහර අයට ඒක උදව් වෙලා තියෙන්නේ කොහොමද?

15 යෙහෝවා දෙවියන් සමාව දෙන්න කැමතියි කියලා තේරුම්ගත්තාම සමහර අයට ඒක ලොකු සහනයක් වෙලා තියෙනවා. උදාහරණෙකට අවුරුදු කීපයකට කලින් “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාවේ පළ වුණු අද්දැකීමකින් එක සහෝදරයෙක් ලොකු දිරිගැන්වීමක් ලබලා තියෙනවා. ඒ ලිපියේ සඳහන් වෙලා තිබුණේ කලින් තමන් කරපු වැරදි නිසා කොහොමටවත් යෙහෝවා දෙවියන්ගේ ආදරේ ලබන්න තමන් වටින්නේ නැහැ කියලා හිතපු සහෝදරියක් ගැන. බව්තීස්ම වුණාට පස්සෙත් ඒ සිතුවිල්ලෙන් ගොඩ එන්න එයාට ලේසි වුණේ නැහැ. හැබැයි යේසුස්ගේ ජීවිත පූජාව ගැන එයා කල්පනා කළාට පස්සේ යෙහෝවා දෙවියන් ඇත්තටම එයාට ආදරෙයි කියලා තේරුම්ගන්න එයාට පුළුවන් වුණා. *

16 ඒ අද්දැකීම තමන්ට උදව් වුණු විදිහ ගැන සහෝදරයා මෙහෙම කියනවා. “යෞවන කාලෙදී කාමුක දර්ශන බලන්න මං පුරුදු වෙලා හිටියා. ඒ නරක පුරුද්ද අත්හරින්න මට ලේසි වුණේ නෑ. මෑතකදී ආයෙත් ඒ වරද මගේ අතින් වුණා. ඒ නිසා මං වැඩිමහල්ලන්ගෙන් උදව් ගත්තා. යෙහෝවා දෙවියන් ඇත්තටම මට ආදරෙයි කියලත් මට සමාව දෙන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා කියලත් තේරුම්ගන්න එයාලා මට උදව් කළා. දැන් මං ඒ පුරුද්ද නතර කරලා තිබුණත් සමහර වෙලාවට මට තාමත් හිතෙනවා යෙහෝවා දෙවියන්ගේ ආදරේ ලබන්න මං වටින්නේ නෑ කියලා. හැබැයි මේ සහෝදරියගේ අද්දැකීම මට ලොකු හයියක් වුණා. යෙහෝවා දෙවියන්ගෙන් මට සමාව ලැබෙන එකක් නැහැ කියලා දැන් මං හිතන්නේ නෑ. මොකද එහෙම හිතන එක හරියට මගේ වැරදිවලට සමාව දෙන්න යේසුස්ගේ ජීවිත පූජාව මදියි කියලා මං කියනවා වගෙයි. ඒ සහෝදරියගේ අද්දැකීම කපලා ඒක මං ළඟින්ම තියාගත්තා. මොකද මට හිතුණා ආයෙත් අධෛර්යය කරවන සිතුවිලි ආවාම මං මේ ලිපිය කියවලා ඒ ගැන හොඳට හිතන්න ඕනෙ කියලා.”

17. කලින් කරපු වැරදි ගැන අනවශ්‍ය විදිහට ළත වෙන උගුලට අහු නොවී ඉන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද?

17 පාවුල් ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් ගොඩක් බරපතළ වැරදි කරලා තිබුණා. එයාට ඒ දේවල් අමතක වුණේ නැහැ. හැබැයි එයා ඒ ගැනම හිත හිතා දුක් වුණේ නැහැ. (1 තිමෝ. 1:12-15) මොකද එයා යේසුස්ගේ ජීවිත පූජාව සැලකුවේ යෙහෝවා දෙවියන් එයා වෙනුවෙන්ම දීපු තෑග්ගක් විදිහට. (ගලා. 2:20) කලින් වුණු වැරදි ගැන අනවශ්‍ය විදිහට ළත වෙන උගුලට නොවැටී ඉන්නත් යෙහෝවා දෙවියන්ට කරන සේවයට දිගටම අවධානය දෙන්නත් ඒක එයාට උදව් වුණා.

අනාගත ආශීර්වාද ගැන හිතන්න

අනාගත ආශීර්වාදවලට දිගටම අවධානය දෙන්න අදිටන් කරගමු (18-19 ඡේද බලන්න) *

18. මේ ලිපියෙන් අපි ඉගෙනගත්තේ මොනවාද?

18 පරෙස්සම් වුණේ නැත්නම් අපි අහු වෙන්න පුළුවන් උගුල් තුනක් ගැන අපි මේ ලිපියෙන් බැලුවා. (1) සොඳුරු මතකයන් යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබුණු තෑග්ගක්. හැබැයි අතීතයේ අපි කොච්චර හොඳ ජීවිතයක් ගත කළත් ඉස්සරහට යෙහෝවා දෙවියන් අපිට දෙන්න යන ජීවිතය ඊට වඩා හුඟක් වටිනවා. (2) අනිත් අය අපේ හිත රිදෙන දේවල් කරයි. ඒත් අපි එයාලට කැමැත්තෙන්ම සමාව දුන්නොත් යෙහෝවා දෙවියන්ට කරන සේවයට දිගටම අවධානය දෙන්න අපිට පුළුවන් වෙනවා. (3) කරපු වරදක් ගැන අනවශ්‍ය විදිහට ළත වෙවී හිටියොත් සතුටින් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවියන් අපේ වැරදිවලට සමාව දීලයි තියෙන්නේ කියලා පාවුල් වගේ අපිත් විශ්වාස කරමු.

19. දුකට හේතු වුණු කිසිම දෙයක් අනාගතයේදී අපේ මතකයට නැඟෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි?

19 අනාගතයේදී හැමදාටම ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. අතීතයේ අපේ දුකට හේතු වුණ කිසිම දෙයක් එදාට අපිට මතක් වෙන්නේ නැහැ. මොකද බයිබලේ කියනවා “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” කියලා. (යෙසා. 65:17) මේ ගැනත් ටිකක් හිතන්න. දැන් මහලු වයසේ ඉන්න අපේ සහෝදරයන් ඒ කාලේදී ආයෙත් තරුණ වෙනවා. (යෝබ් 33:25) ඒ නිසා අතීතය ගැන හිත හිතා දුක් වෙනවා වෙනුවට දෙවියන් අපිට දෙන්න යන ඒ ලස්සන කාලය ගැන දිගටම හිතන්න අපි අදිටන් කරගමු.

ගීතිකාව 142 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

^ 5 ඡේ. අපේ අතීතය ගැන හිතන එකේ වරදක් නැහැ. හැබැයි අපි පරෙස්සම් වුණේ නැත්නම් අතීතය ගැන ඕනෑවට වඩා හිතන නිසා උපරිමයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපිට බැරි වෙයි. ඒ වගේම අනාගත ආශීර්වාද අපිට අමතක වෙන්නත් පුළුවන්. අතීතය ගැන ඕනෑවට වඩා හිතන්න අපිව පොලඹවන උගුල් තුනක් ගැන අපි මේ ලිපියෙන් බලන්න යනවා. ඒ උගුල්වලට අහු නොවී ඉන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් ගැනත් අපි බලමු.

^ 4 ඡේ. පැහැදිලි කිරීමක්: මේ ලිපියේ “අතීතය ගැන හිත හිතා ඉන්නවා” කියද්දී කොයි වෙලෙත් අතීතය ගැන හිතන එක, හැම තිස්සෙම ඒ ගැන කතා කරන එක, ඒ ගැහ සිහින මවන එක සහ කලින් ජීවිතය මීට වඩා හොඳයි කියලා හිතන එක අදහස් වෙනවා.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: සොඳුරු මතකයන් ගැන හිත හිතා දුක් වෙන එක, හිතේ අමනාපය තියන් ඉන්න එක, කලින් කරපු වැරදි ගැන අනවශ්‍ය විදිහට ළත වෙන එක හරියට අපේ ජීවිතේට අනවශ්‍ය බරක් දාගන්නවා වගෙයි. ඒ බර ඇදන් ජීවනයට යන මාර්ගයේ යන්න අපිට බැහැ.

^ 65 ඡේ. පින්තූරයේ අදහස: අපේ ජීවිතේට අනවශ්‍ය බරක් වන මේ දේවල් අපි අයින් කරගත්තොත් සතුටින් ඉන්නත් ලොකු උද්‍යෝගයකින් දෙවියන්ට සේවය කරන්නත් ඉදිරියේදී ලැබෙන්න යන දේවලට අවධානය දෙන්නත් අපිට පුළුවන් වෙනවා.