Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 49

නැවත නැඟිටීම අපිට ස්ථිරයි

නැවත නැඟිටීම අපිට ස්ථිරයි

‘නැවත නැඟිටීමක් තිබෙන බව මට විශ්වාසයි.’—ක්‍රියා 24:15.

ගීතිකාව 151 දෙවි හඬගසයි

මේ ලිපියෙන් *

1-2. අපිට තියෙන ලස්සන බලාපොරොත්තුව මොකක්ද?

ජීවිතයට බලාපොරොත්තුවක් තියෙන එක ගොඩක් වටිනවා. සමහර අය සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න, නිරෝගී දරුවන් ලබන්න, බරපතළ අසනීපයකින් සුව වෙන්න වගේ දේවල් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිටත් ඒ වගේ බලාපොරොත්තු ඇති. හැබැයි ක්‍රිස්තියානීන් විදිහට අපේ බලාපොරොත්තුව ඒවාට සීමා වෙන්නේ නැහැ. මොකද මරණය නිසා අපෙන් වෙන් වුණ අයට ආයෙත් ජීවිතය ලැබෙනවා දකින්නත් සදාකාලයටම ජීවත් වෙන්නත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

2 පාවුල් මෙහෙම කිව්වා. “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව මට විශ්වාසයි. දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා.” (ක්‍රියා 24:15) නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන මුලින්ම කතා කළේ පාවුල් නෙවෙයි. ඊට කලින් ඒ ගැන යෝබුත් කියලා තිබුණා. මැරුණත් දෙවියන් ආයෙත් එයාට ජීවිතය දෙනවා කියන එක ගැන යෝබ්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.—යෝබ් 14:7-10, 12-15.

3. 1 කොරින්ති 15 පරිච්ඡේදයේ තියෙන තොරතුරු අපිට වැදගත් වෙන්නේ ඇයි?

3 “නැවත නැඟිටීම” කියන්නේ ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට “අත්තිවාරම” සපයන “මූලික ඉගැන්වීම්වලින්” එකක්. (හෙබ්‍රෙ. 6:1, 2) පාවුල් නැවත නැඟිටීම ගැන කියපු දේවල් 1 කොරින්ති 15වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එයා කියපු ඒ දේවල් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට අනිවාර්යයෙන්ම ලොකු හයියක් වෙන්න ඇති. එයාලට වගේම අපිටත් ලොකු දිරිගැන්වීමක් ලබන්න සහ අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න ඒ තොරතුරු උදව් වෙනවා.

4. අපිට නැවත නැඟිටීම ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි?

4 යේසුස් නැවත නැඟිට්ට නිසා තමයි අපිටත් නැවත නැඟිටීම ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පාවුල් කොරින්තියේ අයට “ශුභාරංචිය” කියද්දී යේසුස්ගේ නැවත නැඟිටීම ගැනත් කිව්වා. (1 කොරි. 15:1, 2) එයා කිව්වා යේසුස්ව නැවත නැඟිටෙව්වා කියලා ක්‍රිස්තියානීන් විශ්වාස කරන්නේ නැත්නම් එයාලගේ විශ්වාසයෙන් පලක් නැහැ කියලා. (1 කොරි. 15:17) කෙනෙක් ඒක විශ්වාස කරන්නේ නැත්නම් මැරුණ අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියලා විශ්වාස කරන්නත් එයාට බැහැ.

5-6. 1 කොරින්ති 15:3, 4 කියන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 නැවත නැඟිටීම ගැන කියද්දී පාවුල් මේ වැදගත් කරුණු තුන කාවැද්දුවා. (1) ‘ක්‍රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගියා.’ (2) ‘ඔහුව තැන්පත් කළා.’ (3) ‘ශුද්ධ ලියවිල්ලට අනුව ඔහුව තුන්වෙනිදා මරණයෙන් නැඟිටුවනු ලැබුවා.’—1 කොරින්ති 15:3, 4 කියවන්න.

6 ඒ කරුණු තුනෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ගැලවුම්කරුගේ ජීවිතේ නැති කරලා දැමුවා කියලත් “මිය ගිය පසු ඔහුව තැන්පත් කරනු ලැබුවේ දුෂ්ටයන් හා සමඟය” කියලත් යෙසායා කිව්වා. ඒ වගේම ඔහු “බොහෝදෙනෙකුගේ පාප” දැරුවා කියලත් එයා කිව්වා. යේසුස් ඒ දේ කළේ තමන්ගේ ජීවිතය පූජා කරලයි. (යෙසා. 53:8, 9, 12; මතෙ. 20:28; රෝම 5:8) එහෙනම් යේසුස් මැරුණ එකෙන්, ඔහුව තැන්පත් කරපු එකෙන් සහ නැවත නැඟිටවපු එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපිට උරුම වෙලා තියෙන පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්නත් ආයෙත් ජීවිතය ලැබෙන අපේ හිතමිතුරන් එක්ක සතුටින් ජීවත් වෙන්නත් පුළුවන් වෙනවා කියන ප්‍රීතිමත් බලාපොරොත්තුව අපිට ලැබිලා තියෙන්නේ ඒ නිසයි.

ඇසින් දුටු සාක්ෂි

7-8. යේසුස් නැවත නැඟිට්ටා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

7 යෙහෝවා දෙවියන් මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා කියලා විශ්වාස කරන්න නම් ඔහු යේසුස්ව නැවත නැඟිටෙව්වා කියන එක ගැන අපිට ස්ථිර විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒක විශ්වාස කරන්න අපිට තියෙන හේතු මොනවාද?

8 නැවත නැඟිට්ට යේසුස්ව හුඟදෙනෙක් ඇස් දෙකෙන්ම දැක්කා. (1 කොරි. 15:5-7) ඒ අය අතරින් පාවුල් මුලින්ම සඳහන් කරලා තියෙන්නේ පේතෘස්ව (සීෆස්ව). ගෝලයන් කිහිපදෙනෙකුත් කියලා තියෙනවා පේතෘස් නැවත නැඟිට්ට යේසුස්ව දැක්කා කියලා. (ලූක් 24:33, 34) ඒ විතරක් නෙවෙයි නියෝජිතයන් “දොළොස්දෙනාත්” නැවත නැඟිට්ට යේසුස්ව දැක්කා. ඊටපස්සේ යේසුස් තවත් “සහෝදරයන් 500දෙනෙකුට වඩා වැඩි දෙනෙකු” ඉදිරියෙත් පෙනී හිටියා. සමහරවිට ඒක සිද්ධ වෙන්න ඇත්තේ මතෙව් 28:16-20 දක්වා සඳහන් සිද්ධිය අතරතුරේ වෙන්න ඇති. පේන විදිහට ඔහුගේ සහෝදරයෙක් වුණ “යාකොබ් ඉදිරියේත්” ඔහු පෙනී ඉඳලා තියෙනවා. යේසුස් ගැලවුම්කරු කියලා ඊට කලින් යාකොබ් විශ්වාස කළේ නැති වුණත් ඒ සිද්ධියෙන් පස්සේ එයා ඒක විශ්වාස කළා. (යොහ. 7:5) ක්‍රි.ව. 55දී විතර පාවුල් මේ ලිපිය ලියද්දී නැවත නැඟිට්ට යේසුස්ව ඇස් දෙකෙන්ම දැක්ක හුඟදෙනෙක් ජීවතුන් අතර ඉඳලා තියෙනවා. ඒ නිසා යේසුස් ඇත්තටම නැවත නැඟිට්ටාද කියලා කෙනෙක්ට සැකයක් තිබුණා නම් ඒ අයගෙන් ගිහින් ඒ තොරතුරු දැනගන්න එයාට අවස්ථාව තිබුණා.

9. ක්‍රියා 9:3-5 පෙන්නන විදිහට යේසුස් නැවත නැඟිට්ටා කියලා කියන්න පාවුල්ට තිබුණු තවත් හේතුවක් මොකක්ද?

9 යේසුස් පාවුල් ඉදිරියෙත් පෙනී හිටියා. (1 කොරි. 15:8) ඒක වුණේ පාවුල් දමස්කයට යද්දී. ඒ යන අතරමඟදී නැවත නැඟිට්ට යේසුස්ගේ කටහඬ එයාට ඇහුණා. ඒ වගේම ස්වර්ගයේ ඉන්න යේසුස්ව එයා දර්ශනයකින් දැක්කා. (ක්‍රියා 9:3-5 කියවන්න.) යේසුස් ඇත්තටම නැවත නැඟිට්ටා කියන්න ඒක හොඳ සාක්ෂියක්.—ක්‍රියා 26:12-15.

10. යේසුස් නැවත නැඟිට්ටා කියලා ස්ථිර වුණාට පස්සේ පාවුල් කළේ මොනවාද?

10 පාවුල් ඉදිරිපත් කරපු සාක්ෂිය ගොඩක් දෙනෙක්ට විශේෂයි. මොකද එයා කලින් ක්‍රිස්තියානීන්ට ගොඩක් පීඩා කරපු කෙනෙක්. දෙවියන් යේසුස්ව නැවත නැඟිට්ටෙව්වා කියලා සහතික වුණාට පස්සේ ඒ ගැන අනිත් අයට කියන්න පාවුල් එයාට පුළුවන් හැම දේම කළා. ඒ ගැන කියන්න එයා වෙන ප්‍රදේශවලට යද්දී එයා ගමන් කරපු නැව් මුහුදුබත් වුණා. මිනිසුන්ගෙන් ගුටි කෑවා. හිරදඬුවම් වින්දා. (1 කොරි. 15:9-11; 2 කොරි. 11:23-27) හැබැයි ඒ මොන දේ වුණත් යේසුස් නැවත නැඟිට්ටා කියන සත්‍යය අනිත් අයට කියන එක එයා නතර කළේ නැහැ. ඒ වෙනුවෙන් ජීවිතේ දෙන්න වුණත් එයා සූදානමින් හිටියා. අපි බලපු ඒ සාක්ෂිවලින් යේසුස් නැවත නැඟිට්ටා කියන දේ ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් ස්ථිර වුණා නේද? මිය ගිය අයට අනාගතයේදී ආයෙත් ජීවිතය ලැබෙනවා කියන එක ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වුණේ නැද්ද?

වැරදි මත නිවැරදි කළා

11. කොරින්තියේ හිටපු සමහර ක්‍රිස්තියානීන්ට නැවත නැඟිටීම ගැන වැරදි මත තියෙන්න ඇත්තේ ඇයි?

11 ග්‍රීසියේ නගරයක් වුණ කොරින්තියේ හිටිය සමහර අයට නැවත නැඟිටීම ගැන වැරදි අදහස් තිබුණා. උදාහරණෙකට සමහර අය කිව්වා මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙන්නේ නැහැ කියලා. (1 කොරි. 15:12) මොකද ග්‍රීසියට අයිති තවත් නගරයක් වුණ ඇතන්ස්වල හිටපු දර්ශනවාදීන් යේසුස් නැවත නැඟිට්ටා කියලා කියන අයට හුඟක් සමච්චල් කළා. දර්ශනවාදීන්ට තිබුණු ඒ අදහස් කොරින්තියේ හිටපු සමහර අයටත් බලපාන්න ඇති. (ක්‍රියා 17:18, 31, 32) තවත් අයට හිතෙන්න ඇති නැවත නැඟිටීම කියන එකට තියෙන්නේ වෙන අර්ථයක් කියලා. ඒ කියන්නේ “මරණය” කියන එකෙන් අදහස් වෙන්නේ මිනිසුන්ට උරුම වෙලා තියෙන පාපය කියලත් “ජීවනය” කියන එකෙන් අදහස් වෙන්නේ කෙනෙක් ක්‍රිස්තියානියෙක් වෙන එකයි කියලත් එයාලා හිතන්න ඇති. ඒ මොන හේතුව නිසා හරි කෙනෙක් නැවත නැඟිටීම ගැන විශ්වාස කළේ නැත්නම් එයාගේ විශ්වාසය නිෂ්ඵල වෙනවා. යෙහෝවා දෙවියන් යේසුස්ව නැවත නැඟිටෙව්වේ නැත්නම් මිනිසුන්ට උරුම වෙලා තියෙන පාපයෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම නැවත නැඟිටීම ගැන විශ්වාස කරන්නේ නැති අයට කිසිම බලාපොරොත්තුවක් නැහැ.—1 කොරි. 15:13-19; හෙබ්‍රෙ. 9:12, 14.

12. 1 පේතෘස් 3:18, 22 අනුව යේසුස්ගේ නැවත නැඟිටීම කලින් සිද්ධ වුණ නැවත නැඟිටීම්වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

12 ක්‍රිස්තුස් නැවත නැඟිට්ටා කියලා පාවුල් හොඳින්ම දැනන් හිටියා. යේසුස්ගේ නැවත නැඟිටීම ඊට කලින් සිද්ධ වුණ නැවත නැඟිටීම්වලට වඩා වෙනස්. මොකද එයාලා ආයෙත් මැරුණා. පාවුල් කිව්වා “මිය ගිය අය අතරින් පළමු පල ලෙස නැඟිටුවනු ලැබුවේ ඔහුව” කියලා. ඒ ඇයි? මොකද ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට දෙවියන් මුලින්ම නැවත නැඟිටෙව්වේ යේසුස්ව.—1 කොරි. 15:20; ක්‍රියා 26:23; 1 පේතෘස් 3:18, 22 කියවන්න.

ජීවනය ලබන අය

13. ආදම් සහ යේසුස් අතර වෙනස පාවුල් පෙන්නලා දුන්නේ කොහොමද?

13 එක මිනිසෙකුගේ මරණය නිසා මිලියන ගාණකට ජීවනය ලැබෙන්නේ කොහොමද? ආදම් කරපු දේ මිනිසුන්ට බලපෑවේ කොහොමද කියලත් යේසුස්ගේ ජීවිත පූජාව මිනිසුන්ට බලපාන්නේ කොහොමද කියලත් පාවුල් පැහැදිලි කළා. ආදම් ගැන එයා කිව්වේ “මරණය පැමිණියේ එක් මිනිසෙකු මාර්ගයෙන්” කියලයි. ආදම් පව් කරපු නිසා එයාටත් එයාගෙන් පැවතෙන අයටත් මරණය උරුම වුණා. ආදම් අකීකරු වුණ නිසා අදටත් අපි දුක් විඳිනවා. හැබැයි ඊට වෙනස්ව දෙවියන් යේසුස්ව නැවත නැඟිටවපු නිසා ප්‍රීතිමත් අනාගතයක් ගැන බලාපොරොත්තුවක් අපිට තියෙනවා. “එක් මිනිසෙකු [යේසුස්] මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද සිදු වේ” කියලත් පාවුල් කිව්වා. “ආදම් නිසා සියලුදෙනා මිය ගියා” වගේ “ක්‍රිස්තුස් නිසා සියලුදෙනාට ජීවනය ලැබේ” කියලා එයා ඒ විදිහට තර්කානුකූලව පැහැදිලි කළා.—1 කොරි. 15:21, 22.

14. ආදම්ට ආයෙත් ජීවිතය ලැබෙයිද? පැහැදිලි කරන්න.

14 “ආදම් නිසා සියලුදෙනාම මිය යති” කියලා කියපු එකෙන් පාවුල් අදහස් කළේ මොකක්ද? ඒ වෙලාවේ පාවුල් කතා කරකර හිටියේ ආදම් නිසා පාපයත් මරණයත් උරුම වුණ අය ගැනයි. (රෝම 5:12) ආදම් ජීවනය ලබන අය අතර ඉන්නේ නැහැ. මොකද පරිපූර්ණ කෙනෙක් විදිහට එයා හිතාමතාම දෙවියන්ට අකීකරු වුණ නිසා යේසුස්ගේ ජීවිත පූජාවෙන් එයාට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ආදම්ටත් නියම වුණේ “මනුෂ්‍ය පුත්‍රයා” “එළුවන්” විදිහට විනිශ්චය කරන අයට අත් වෙන “සදාකාල මරණයමයි.”—මතෙ. 25:31-33, 46; හෙබ්‍රෙ. 5:9.

ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට මුලින්ම නැවත නැඟිටෙව්වේ යේසුස්ව (15 සහ 16 ඡේද බලන්න) *

15. ජීවනය ලබන “සියලුදෙනාට” ඇතුළත් වෙන්නේ කවුද?

15 “ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ” කියලා පාවුල් කිව්වා. (1 කොරි. 15:22) පාවුල් ඒ ලියුම ලිව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය කොරින්තියේ අභිෂේක ලත් අයටයි. පාවුල් එයාලට කිව්වා “ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින ඔබ සියලුදෙනාම ශුද්ධය” කියලා. ඒ වගේම “ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටි අය අතරින් මිය ගිය අය” ගැනත් එයා සඳහන් කළා. (1 කොරි. 1:2; 15:18; 2 කොරි. 5:17) පාවුල් ලියපු තවත් ලිපියක එයා මෙහෙම සඳහන් කරලා තියෙනවා. “ඔහුට [යේසුස්ට] සමාන මරණයක් අත්විඳින්න අපට සිදු වේ නම් ඔහු හා සමානව අපවද මරණයෙන් නැඟිටුවනු ලැබේ. ඒ අයුරින් අපි ඔහු සමඟ එකට බැඳී සිටින්නෙමු.” (රෝම 6:3-5) යේසුස්ව නැවත නැඟිටෙව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහටයි. ඔහු සමඟ එකට බැඳී ඉන්න අභිෂේක ලත් අයටත් ආයෙත් ජීවිතය ලැබෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් අය විදිහටයි කියලා ඒකෙන් පැහැදිලියි.

16. පාවුල් යේසුස්ව “පළමු පල” විදිහට හැඳින්නුවේ ඇයි?

16 යේසුස්ව නැවත නැඟිටවන්න කලින් දෙවියන් ලාසරුස් ඇතුළු කිහිපදෙනෙක්වත් නැවත නැඟිටවලා තිබුණා. එහෙනම් “මිය ගිය අය අතරින් පළමු පල ලෙස නැවත නැඟිටුවනු ලැබුවේ යේසුස්ව” කියලා පාවුල් කිව්වේ ඇයි? පාවුල් එහෙම කිව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට මුලින්ම නැවත නැඟිටෙව්වේ යේසුස්ව නිසයි. පාවුල් යේසුස්ව සමාන කළේ අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් දෙවියන්ට පූජා කරපු ‘පළමු පලවලට.’ ඒකෙන් පැහැදිලි වෙනවා යේසුස්ට පස්සේ තවත් පිරිසකටත් ඔහු ලැබුවා වගේ ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටීමක් ලැබෙනවා කියලා. ඒ තමයි නියෝජිතයන් ඇතුළු යේසුස් එක්ක බැඳිලා ඉන්න අනිත් අභිෂේක ලත් අය.

17. “ක්‍රිස්තුස් එක්ක බැඳී සිටින අයට” ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබුණේ කවදා ඉඳන්ද?

17 පාවුල් කොරින්තිවරුන්ට මේ තොරතුරු ලියපු කාලය වෙද්දී “ක්‍රිස්තුස් එක්ක බැඳී සිටි අයව” ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටවලා තිබුණේ නැහැ. පාවුල් කිව්වේ ඒක සිද්ධ වෙන්නේ ඉදිරියේදී කියලයි. ඒ ගැන එයා මෙහෙම කිව්වා. “සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබන්නේ නිසි අනුපිළිවෙළකටය. පළමු පල ලෙස මුලින්ම නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තුස්වය. ඉන්පසු ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී නැවත නැඟිටුවනු ලබන්නේ ඔහුට අයිති වී සිටින අයවයි.” (1 කොරි. 15:23; 1 තෙස. 4:15, 16) “ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය” පටන්ගන්න කල් මිය ගිය අභිෂේක ලත් අයට ‘යේසුස් ලැබුවා හා සමාන නැවත නැඟිටීමක් ලබලා ස්වර්ගයේ ඔහු සමඟ එකට බැඳී සිටින්න’ අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි දැන් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය ආරම්භ වෙලයි තියෙන්නේ.

අපේ බලාපොරොත්තුව ස්ථිරයි!

18. (අ) අභිෂේක ලත් අයගේ නැවත නැඟිටීමෙන් පස්සේ තවත් නැවත නැඟිටීමක් තියෙනවා කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) 1 කොරින්ති 15:24-26 සඳහන් වෙන්නේ අනාගතයේදී ස්වර්ගයේ සිද්ධ වෙන්න යන මොන දේවල් ගැනද?

18 ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැති අය ගැන කියන්න පුළුවන් මොනවාද? පාවුල් ඇතුළු අනිත් අභිෂේක ලත් අයව බයිබලේ හඳුන්වලා තියෙන්නේ මුලින්ම නැවත නැඟිටින අය විදිහටයි. (ෆිලි. 3:11) එයාලට පස්සේ නැවත නැඟිටින තවත් පිරිසක් ඉන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලි වෙනවා නේද? ඔව්, ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැති අය මේ පොළොවේ නැවත නැඟිටිනවා. යෝබ් බලාපොරොත්තුවෙන් හිටියේ අනාගතයේ සිද්ධ වෙන ඒ දේ ගැනයි. (යෝබ් 14:15) දේවරාජ්‍යය මාර්ගයෙන් මේ පොළොවේ තියෙන සියලුම පාලන, බලතල සහ අධිකාරිය තියෙන අයව විනාශ කරලා දාන්න කලින් ක්‍රිස්තුස් එක්ක බැඳිලා ඉන්න හැමෝවම ස්වර්ගයට නැවත නැඟිටලා තියෙයි. ඒ දේ වුණාට පස්සේ “අන්තිම සතුරා වන මරණයටත්” නිමාවක් ලැබෙනවා. ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටින අය ආයේ කවදාවත් මැරෙන්නේ නැහැ. ඒත් පොළොවේ නැවත නැඟිටින අයට මොනවා වෙයිද?—1 කොරින්ති 15:24-26 කියවන්න.

19. පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන අයට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

19 පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද? පාවුල් කිව්ව මේ දේ ගැන එයාලට නිසැක වෙන්න පුළුවන්. ‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව මට විශ්වාසයි. ඒ ගැන මට බලාපොරොත්තුවක් තිබෙනවා.’ (ක්‍රියා 24:15) අධර්මිෂ්ඨ කිසිම කෙනෙක් ස්වර්ගයට යන්නේ නැහැ. ඒ නිසා පාවුල් කියපු දෙයින් පැහැදිලි වෙනවා අනාගතයේදී පොළොවේ අනිවාර්යයෙන්ම නැවත නැඟිටීමක් සිද්ධ වෙනවා කියලා.

නැවත නැඟිටීම ගැන අපි විශ්වාස කරනවා නම් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්න අපිට පුළුවන් (20 ඡේදය බලන්න) *

20. නැවත නැඟිටීම ගැන ඔයාට තියෙන බලාපොරොත්තුව ශක්තිමත් වුණේ කොහොමද?

20 පොළොවේ නැවත නැඟිටින අයට හැමදාම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. මරණය නිසා වෙන් වුණ හිතමිතුරන්ව ඒ කාලෙදී ආයෙත් මුණගැහෙනවා. දහස් අවුරුදු පාලනය අතරතුරේදී තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. (එළි. 20:6) ඒක කොච්චර ලස්සන බලාපොරොත්තුවක්ද! ඒ දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. ඒ කාලෙට කලින් ඔයා මැරුණොත් අනිවාර්යයෙන්ම ඔයාට ආයෙත් ජීවිතය ලැබෙයි. අපේ “බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැහැ.” (රෝම 5:5) මේ කාලෙදී දිගටම ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්නත් සතුටින් දෙවියන්ට සේවය කරන්නත් ඒක අපිට උදව් වෙනවා. 1 කොරින්ති 15වෙනි පරිච්ඡේදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් වටින තොරතුරු ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 147 සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

^ 5 ඡේ. නැවත නැඟිටීම ගැන 1 කොරින්ති 15වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඒ ඉගැන්වීම වැදගත් වෙන්නේ ඇයි? යේසුස් නැවත නැඟිට්ටා කියලා ස්ථිරවම කියන්න තියෙන සාක්ෂි මොනවාද? නැවත නැඟිටීම ගැන මතු වෙන ඒ වැදගත් ප්‍රශ්න ඇතුළු තවත් ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: ස්වර්ගයට මුලින්ම නැවත නැඟිට්ටෙව්වේ යේසුස්ව. (ක්‍රියා 1:9) තෝමස්, යාකොබ්, ලිදියා, යොහන්, මරියා සහ පාවුල් වගේ යේසුස්ගේ ගෝලයන්වත් ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටවනවා.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක්ගේ ආදරණීය බිරිඳ මිය ගිහින්. ඒ දෙන්නා සෑහෙන කාලයක් එකට දෙවියන්ට සේවය කරලා තිබුණා. බිරිඳට ආයෙත් ජීවිතය ලැබෙනවා කියන එක ගැන සහෝදරයාට කිසිම සැකයක් නැහැ. ඒ නිසා එයා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරනවා.