Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 50

‘මිය ගිය අයව නැඟිටුවනු ලබන්නේ කොහොමද?’

‘මිය ගිය අයව නැඟිටුවනු ලබන්නේ කොහොමද?’

“මරණය, ඔබේ ජය කොතැනද? මරණය, ගෝනුස්සෙකු මෙන් අනතුරු කරන ඔබේ විෂ තුඩ කොතැනද?”—1 කොරි. 15:55.

ගීතිකාව 141 ජීවිතය සැබෑම ත්‍යාගයක්

මේ ලිපියෙන් *

1-2. අභිෂේක ලත් අයට ලැබෙන්න යන නැවත නැඟිටීම ගැන දැනගන්න අපි හැමෝටම ලොකු ආසාවක් තියෙන්න ඕනෙ ඇයි?

අපි අතරේ ඉන්න හුඟදෙනෙක් ආසාවෙන් බලන් ඉන්නේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න. හැබැයි පොළොවේ ඉන්න අභිෂේක ලත් අය බලන් ඉන්නේ ස්වර්ගයේ එයාලට ලැබෙන ජීවිතය ගැන. ඒ ජීවිතේ මොන වගේ එකක් වෙයිද කියලා දැනගන්න එයාලට ලොකු ආසාවක් තියෙනවා. පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඒ ගැන දැනගන්න එක වැදගත්ද? ඔව්. මොකද අභිෂේක ලත් අයට ලැබෙන නැවත නැඟිටීම නිසා පොළොවේ අයටත් ගොඩක් ආශීර්වාද ලැබෙනවා. ඒ නිසා එයාලට ස්වර්ගයේ ලැබෙන්න යන නැවත නැඟිටීම ගැන දැනගන්න අපි හැමෝටම ලොකු ආසාවක් තියෙන්න ඕනේ.

2 ස්වර්ගයේ ලැබෙන්න යන නැවත නැඟිටීම ගැන ලියන්න දෙවියන් යේසුස්ගේ මුල් ගෝලයන් කීපදෙනෙක්ට මඟ පෙන්නුවා. නියෝජිත යොහන් ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “අප දෙවිගේ දරුවන් වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත. නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව නම් දනිමු.” (1 යොහ. 3:2) ස්වර්ගයේ ගත කරන්න ලැබෙන ජීවිතය මොන වගේ එකක් වෙයිද කියලා අභිෂේක ලත් අය දන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. හැබැයි එයාලා ස්වර්ගයට ගියාම අනිවාර්යයෙන්ම දෙවියන්ව දකින්න එයාලට පුළුවන් වෙනවා. ස්වර්ගයේ එයාලට ලැබෙන්න යන ජීවිතය ගැන හැම තොරතුරක්ම බයිබලේ නැහැ. හැබැයි දෙවියන් පාවුල් මාර්ගයෙන් ඒ ගැන සමහර තොරතුරු දැනුම් දීලා තියෙනවා. උදාහරණෙකට එයාලා යේසුස් එක්ක හවුල් වෙලා “සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව” විනාශ කරලා දානවා. ‘අන්තිම සතුරා වන මරණය නැති කරලා දාන’ එකත් ඒකට ඇතුළත්. අන්තිමේදී අභිෂේක ලත් අයත් එක්ක යේසුස් ‘තමන්ට සියල්ල යටත් කර දුන් යෙහෝවා දෙවියන්ට යටත් වෙනවා.’ (1 කොරි. 15:24-28) ඒක කොච්චර ප්‍රීතිමත් කාලයක් වෙයිද! *

3. 1 කොරින්ති 15:30-32 කියන විදිහට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව පාවුල්ට උදව් වුණේ කොහොමද?

3 ඕනම පීඩාවක් දරාගන්න නැවත නැඟිටීම ගැන තිබුණු විශ්වාසය පාවුල්ට උදව් වුණා. (1 කොරින්ති 15:30-32 කියවන්න.) එයා කොරින්තිවරුන්ට කිව්වා, “මා දිනපතාම මරණය නමැති අවදානමට මුහුණ” දෙනවා කියලා. ඒ වගේම “එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන්” කරන්න සිද්ධ වුණා කියලත් එයා කිව්වා. සමහරවිට එයා ඒකෙන් අදහස් කරන්න ඇත්තේ එෆීසයේ රංග භූමියක වනසතුන් එක්ක සටන් කරන්න සිද්ධ වුණ එක ගැන වෙන්න ඇති. (2 කොරි. 1:8; 4:10; 11:23) එහෙම නැත්නම් එයා ඒකෙන් අදහස් කරන්න ඇත්තේ දරුණු වනසතුන් වගේ හැසිරුණු යුදෙව්වන් සහ අනිත් අය එයාට කරපු පීඩා ගැන වෙන්න ඇති. (ක්‍රියා 19:26-34; 1 කොරි. 16:9) ඒ දෙකෙන් එයා මොකක් අදහස් කළත් එයාට මුහුණ දෙන්න වුණ ඒ දරුණු පීඩාවට සාර්ථකව මුහුණ දෙන්න අනාගතය ගැන තිබුණු ප්‍රීතිමත් බලාපොරොත්තුව එයාට උදව් වුණා.—2 කොරි. 4:16-18.

අපේ නමස්කාර වැඩකටයුතුවලට තහංචි පනවලා තියෙන රටක ඉන්න පවුලක් දිගටම නමස්කාර කටයුතුවල යෙදෙනවා. අනාගතයේදී එයාලට දෙවියන් ආශීර්වාද කරනවා කියලා එයාලට ස්ථිරයි (4 ඡේදය බලන්න)

4. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අද ඉන්න ක්‍රිස්තියානීන්ට ශක්තියක් වෙලා තියෙන්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

4 අපි ජීවත් වෙන්නේ හරිම භයානක කාලයක. අපේ සමහර සහෝදරයන් දරුණු අපරාධවලට ගොදුරු වෙලා තියෙනවා. තවත් අය ජීවත් වෙන්නේ දරුණු යුද්ධ තියෙන රටවල නිසා එයාලගේ ජීවිතය තියෙන්නේ අනතුරේ. සේවයට තහංචි වැටිලා තියෙන රටවල ඉන්න සහෝදරයන් බය නැතුව දිගටම සේවේ හවුල් වෙනවා. හිරේ යන්න සිද්ධ වුණත්, මැරෙන්න සිද්ධ වුණත් එයාලා දිගටම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා. මොකද අනාගතයේදී යෙහෝවා දෙවියන් හිතාගන්නවත් බැරි විදිහට එයාලට ආශීර්වාද කරනවා කියන එක ගැන එයාලට කිසිම සැකයක් නැහැ. එයාලා අපිට හොඳ ආදර්ශයක් නේද!

5. නැවත නැඟිටීම ගැන අපිට තියෙන විශ්වාසය දුර්වල වෙන්න පුළුවන් මොන වගේ ආකල්පයක් නිසාද?

5 සමහර අයට තිබුණු මේ වැරදි ආකල්පය ගැන පාවුල් සහෝදරයන්ට අනතුරු ඇඟෙව්වා. “මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් ‘අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු’ කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.” පාවුල් ඒ දේ උපුටා දක්වන්න ඇත්තේ යෙසායා 22:13න් වෙන්න ඇති. එතන කතා කරන්නේ ඊශ්‍රායෙල්වරුන්ට තිබුණු වැරදි ආකල්පයක් ගැන. දෙවියන් ගැන හිතේ තිබුණු ආදරේ වැඩි කරගන්න උත්සාහ කරනවා වෙනුවට එයාලා කළේ එයාලවම සතුටු කරගන්න එකයි. අපේ කාලේ ඉන්න වැඩි දෙනෙක් හිතන්නෙත් “හෙට මැරෙන නිසා අද කමු බොමු” කියලයි. හැබැයි එහෙම හිතපු ඊශ්‍රායෙල්වරුන්ට කොච්චර නරක ප්‍රතිඵල අද්දකින්න වුණාද කියලා අපි මතක තියාගන්න ඕනේ.—2 ලේක. 36:15-20.

6. අපි තෝරගන්න යාළුවන් නිසා නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අපිට තියෙන විශ්වාසය දුර්වල වෙන්න පුළුවන් කොහොමද?

6 කොරින්තියේ හිටිය සමහර අය නැවත නැඟිටීම ගැන විශ්වාස කළේ නැහැ. සහෝදරයන් ඒ වගේ අයව කිට්ටු යාළුවන් කරගන්න එකෙන් වැළකිලා ඉන්න එක හරිම වැදගත් දෙයක් වුණා. අපේ කාලේ ඉන්න වැඩිදෙනෙක්ටත් අනාගතය ගැන කිසිම ගාණක් නැහැ. එයාලා හිතන්නේ විනෝදය ගැනම විතරයි. ඒ වගේ අයව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් අපිත් එයාලා හිතන විදිහට හිතන්න පටන්ගනියි. අන්තිමේදී දෙවියන් පිළිකුල් කරන දේවල් කරන්නත් අපි පෙලඹෙයි. ඒ නිසයි පාවුල් මෙහෙම අනතුරු ඇඟෙව්වේ. “අවදි වන්න. නැවතත් ධර්මිෂ්ඨ දේ කරමින් සිහිකල්පනාවෙන් කටයුතු කරන්න. පව්කාර ක්‍රියාවලින් වැළකී සිටින්න.” (1 කොරි. 15:33, 34) එහෙනම් අපේ යාළුවන් විදිහට තෝරගන්න අය ගැන අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕනෙ නේද?

මොන වගේ ශරීරයක් ලැබෙයිද?

7. 1 කොරින්ති15:35-38 අනුව නැවත නැඟිටීම ගැන සමහර අය අහලා තියෙන්නේ මොන ප්‍රශ්නයද?

7 1 කොරින්ති 15:35-38 කියවන්න. පාවුල්ගේ කාලේ හිටපු සමහර අය නැවත නැඟිටීම ගැන සැකයක් ඇති කරන්න හිතාගෙන, “මිය ගිය අයව නැඟිටුවනු ලබන්නේ කෙසේද” කියලා අහලා තියෙනවා. ඒ වගේ අයට පාවුල් දීපු උත්තරේ ගැන අපි හොඳට හිතලා බලන එක හරිම වැදගත්. මොකද මැරුණාට පස්සේ වෙන දේ ගැන අපේ කාලේ ඉන්න මිනිසුන්ටත් එක එක අදහස් තියෙනවා. ඒත් බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද?

පාවුල් බීජයක් සහ පැළයක් උදාහරණයකට අරගෙන නැවත නැඟිටවන අයට ගැළපෙන ශරීරයක් දෙන්න දෙවියන්ට පුළුවන් කියලා පැහැදිලි කළා (8 ඡේදය බලන්න)

8. අභිෂේක ලත් අයට ලැබෙන නැවත නැඟිටීම ගැන තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොන උදාහරණයද?

8 කෙනෙක් මැරුණාම එයාගේ ශරීරය දූවිල්ලට හැරෙනවා. හැබැයි මුළු විශ්වයම නිර්මාණය කරපු දෙවියන්ට පුළුවන් ඒ කෙනාව නැවත නැඟිටවලා එයාට ගැළපෙන ශරීරයක් දෙන්න. (උත්. 1:1; 2:7) ඒක පැහැදිලි කරන්න පාවුල් ලස්සන උදාහරණයක් කිව්වා. ‘බීජයක්’ හිටෙව්වාම වෙන දේ ගැන ටිකකට හිතන්න. ඒ බීජය හිටෙව්වාම ඒකෙන් අලුත් පැළයක් හැදෙනවා. හිටවපු පුංචි බීජයට වඩා ඒකෙන් හැදෙන පැළේ වෙනස්. ඒ උදාහරණෙන් පාවුල් පැහැදිලි කළේ නැවත නැඟිටවන අයට ‘දෙවියන් කැමති විදිහේ’ ශරීරයක් දෙන්න ඔහුට පුළුවන් කියලයි.

9. 1 කොරින්ති 15:39-41 පාවුල් විස්තර කරලා තියෙන්නේ මොනවා ගැනද?

9 1 කොරින්ති 15:39-41 කියවන්න. දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළේ එකම විදිහට නෙවෙයි කියලා පාවුල් පැහැදිලි කළා. උදාහරණෙකට ගවයන්, කුරුල්ලන් සහ මත්ස්‍යයන් වගේ ජීවීන්ට තියෙන්නේ එකිනෙකට වෙනස් ශරීරයන් කියලා එයා කිව්වා. ඒ වගේම ඉර, හඳට වඩා කොච්චර වෙනස්ද කියලත් ‘හැම තරුවකින්ම ලැබෙන ආලෝකය එකිනෙකට වෙනස්’ කියලත් එයා කිව්වා. ඒක ඇත්ත. අහසේ තියෙන දේවල් අපිට හරියට පෙනුණේ නැතත් ගොඩක් ලොකු තරු වගේම පොඩි තරු තියෙනවා කියලත් රතු, සුදු, කහ වගේ එක එක පාට තරු තියෙනවා කියලත් විද්‍යාඥයන් කියනවා. පාවුල් කිව්වා ‘පොළොවේ සිටින ජීවීන්ට නොයෙකුත් ආකාරයේ ශරීර තියෙනවා වගේ ස්වර්ගයේ සිටින ජීවීන්ටත් යම් ආකාරයක ශරීර තියෙනවා’ කියලා. එයා ඒකෙන් අදහස් කළේ පොළොවේ ඉන්න අපිට ලේ ඇට මස් නහරවලින් හැදුණු ශරීරයක් තියෙනවා වගේ ස්වර්ගයේ ජීවත් වන අයටත් එහෙට ගැළපෙන ශරීරයක් තියෙනවා කියන එකයි.

10. ස්වර්ගයට යන අයට ලැබෙන්නේ මොන වගේ ශරීරයක්ද?

10 ඊළඟට පාවුල් මෙහෙම කිව්වා. “බීජයක් වපුරනු ලැබූ පසු එය දිරාපත් වී යනවා වගේ පුද්ගලයා මිය ගිය විටද ඔහු දිරාපත් වී යයි. නමුත් ඔහුව නැවත නැඟිටුවනු ලැබූ පසු ඔහු කිසිදා දිරා යන්නේ නැත.” අපි දන්නවා කෙනෙක් මැරුණාම එයාගේ ශරීරය දූවිල්ලට හැරෙනවා කියලා. (උත්. 3:19) එහෙනම් ‘නැවත නැඟිටුවනු ලැබූ පසු ඔහු කිසිදා දිරා යන්නේ නැහැ’ කියලා පාවුල් කිව්වේ ඇයි? පාවුල් ඒ වෙලාවේ කතා කළේ එලියා, එලිෂා සහ යේසුස් කළා වගේ මේ පොළොවේ ජීවත් වෙන්න නැවත නැඟිටවන අය ගැන නෙවෙයි. ඒ වෙනුවට එයා කතා කළේ ‘ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයෙක්’ විදිහට නැවත නැඟිටවන අය ගැනයි.—1 කොරි. 15:42-44.

11-12. නැවත නැඟිට්ට යේසුස්ට ලැබුණේ මොන වගේ ශරීරයක්ද? අභිෂේක ලත් අයට ලැබෙන්නේ මොන වගේ ශරීරයක්ද?

11 යේසුස් පොළොවේ ඉද්දී ඔහුට තිබුණේ අපිට වගේ ශරීරයක්. හැබැයි ඔහු නැවත නැඟිට්ටාට පස්සේ ඔහුට ලැබුණේ ස්වර්ගයේ ජීවත් වෙන අයට තියෙනවා වගේ ශරීරයක්. ඒ වගේ අභිෂේක ලත් අයට ලැබෙන්නෙත් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් විදිහේ ශරීරයක්. පාවුල් ඒ ගැන මෙහෙම කිව්වා. “ඒ අනුව දූවිල්ලෙන් සාදනු ලැබූ තැනැත්තාගේ ස්වරූපයට අප සමාන වූ ලෙසම ඉදිරියේදී ස්වර්ගයෙන් පැමිණි තැනැත්තාගේ ස්වරූපයටත් අප සමාන වනු ඇත.”—1 කොරි. 15:45-49.

12 යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ඔහුට ලැබුණේ අපිට වගේ ශරීරයක් නෙවෙයි කියලා අපි මතක තියාගන්න ඕනේ. පාවුල් එයාගේ සාකච්ඡාවේ අන්තිම හරියේදී කිව්වා ‘ලේ ඇට මස් නහර සහිත ශරීරයක් ඇති කෙනෙකුට දෙවිගේ රාජ්‍යයට පිවිසිය නොහැකියි’ කියලා. (1 කොරි. 15:50) නියෝජිතයන් ඇතුළු අභිෂේක ලත් අයට ලැබෙන්නේ ලේ ඇට මස් නහර සහිත ශරීරයක් නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලියි. එයාලට ආයෙත් ජීවිතය ලැබෙන්නේ කවදාද? පාවුල් කිව්වේ ඒක අනාගතයේදී සිද්ධ වෙන්න යන දෙයක් කියලා. මැරුණු ගමන්ම එයාලට නැවත නැඟිටීමක් ලැබුණේ නැහැ. පාවුල් 1 කොරින්ති පොත ලියපු කාලයේදී අභිෂේක ලත් සමහර අය ‘මිය ගිහින්’ හිටියා. නියෝජිතයෙක් වුණ යාකොබ් ඒ අතරින් කෙනෙක්. (ක්‍රියා 12:1, 2) ඒ වගේම ඒ වෙද්දී ‘ජීවතුන් අතර හිටපු’ අභිෂේක ලත් අයත් හිටියා.—1 කොරි. 15:6.

මරණයෙන් ජය ගැනීම

13. යේසුස් පැමිණ සිටින කාලෙදී සිද්ධ වෙන්නේ මොනවාද?

13 යේසුස් සහ පාවුල් ඉදිරියට එන්න තිබුණු හරිම වැදගත් කාලයක් ගැන කතා කළා. ඒ තමයි ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය. ලෝකය පුරාම යුද්ධ, භූමිකම්පා, වසංගත වගේ නරක දේවල් සිද්ධ වෙන්න පටන්ගත්තාම ඒ කාලේ ආරම්භ වෙලා කියලා දැනගන්න පුළුවන්. 1914දී ඒ අනාවැකිය ඉටු වෙන්න පටන්ගත්තා කියලා කියන්න ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ කාලෙදී සිද්ධ වෙන තවත් වැදගත් දෙයක් ගැන යේසුස් මෙහෙම කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙ. 24:3, 7-14) ඒ වගේම “ස්වාමීන් පැමිණ සිටින කාලය” පටන්ගත්තාම “මරණය නමැති නින්දෙහි සැතපී සිටින” අභිෂේක ලත් අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියලා පාවුල් කිව්වා.—1 තෙස. 4:14-16; 1 කොරි. 15:23.

14. ක්‍රිස්තුස් පැමිණ සිටින කාලෙදී මිය යන අභිෂේක ලත් අයට වෙන්නේ මොකක්ද?

14 ක්‍රිස්තුස් පැමිණ සිටින කාලෙදී මිය යන අභිෂේක ලත් අයව ඒ වෙලාවෙම ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටවනවා. 1 කොරින්ති 15:51, 52 පාවුල් කියලා තියෙන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “අපි සියලුදෙනාම මරණය නමැති නින්දෙහි සැතපී සිටින්නේ නැත. ඒ වෙනුවට අප සියලුදෙනාව වෙනස් කරනු ලැබේ. ඒ වෙනස ඇසිපිය හෙළන සැණින් සිදු වේ. එය සිදු වන්නේ අවසාන හොරණෑව පිඹිනු ලබන අවස්ථාවේදීය.” ඒ දේ මේ වෙද්දීත් ඉටු වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. හිතන්න ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටවන අභිෂේක ලත් අය ඒ ගැන කොයි තරම් සතුටු වෙයිද කියලා. එයාලට “නිරතුරුවම ස්වාමීන් සමඟ” ඉන්න පුළුවන් වෙනවා.—1 තෙස. 4:17.

“ඇසිපිය හෙළන සැණින්” ස්වර්ගයට නැවත නැඟිටවන අභිෂේක ලත් අය යේසුස්ගේ නායකත්වය යටතේ දුෂ්ට මිනිසුන්ව විනාශ කරනවා (15 ඡේදය බලන්න)

15. ස්වර්ගයට නැවත නැඟිටින අය කරන්න යන්නේ මොනවාද?

15 “ඇසිපිය හෙළන සැණින්” ස්වර්ගයට යන අය කරන්න යන්නේ මොනවාද කියලා බයිබලේ සඳහන් වෙනවා. යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ජය ගනිමින්, අවසානය දක්වා මා අණ කළ දේ පිළිපදින තැනැත්තාට මෙලොවෙහි සිටින ජාතීන්ට විරුද්ධව නැඟී සිටීමට මම බලය දෙන්නෙමි. මාගේ පියාණන් මට දුන් බලය ඔහුටද ලබා දෙන්නෙමි. යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙන් ඔහු ජාතීන්ව පලවාහරින අතර මැටි භාජන මෙන් ඔවුන්ව කැබලිවලට සුනුවිසුනු කරනු ඇත.” (එළි. 2:26, 27) එයාලා යේසුස්ගේ නායකත්වය යටතේ යකඩ දණ්ඩක් අතැතිව ඉන්න එඬේරෙක් වගේ ජාතීන්ව පලවා හරිනවා.—එළි. 19:11-15.

16. මිනිසුන් හුඟදෙනෙක්ට මරණයෙන් ජය ගන්න පුළුවන් කොහොමද?

16 අභිෂේක ලත් අය අනිවාර්යයෙන්ම මරණයෙන් ජය ගන්නවා කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලියි. (1 කොරි. 15:54-57) එයාලව ස්වර්ගයට නැවත නැඟිටවන නිසා හර්–මගෙදොන් යුද්ධයේදී පොළොවේ තියෙන දුෂ්ටකම් සම්පූර්ණයෙන්ම නැති කරන්න යේසුස් එක්ක හවුල් වෙන්න එයාලට පුළුවන් වෙනවා. දෙවියන්ගේ සේවකයන් අතරින් මිලියන ගාණක් අය ‘මහත් පීඩාවෙන් බේරිලා’ මේ පොළොවේ හැමදාටම ජීවත් වෙනවා. (එළි. 7:14) මරණයෙන් ජය ගන්න තවත් විදිහක් ඇස් දෙකෙන්ම දැකගන්නත් එයාලට පුළුවන් වෙනවා. ඒ කියන්නේ මිය ගිය බිලියන ගාණක් මිනිසුන්ව නැවත නැඟිටුවන විදිහ දැකගන්න එයාලට පුළුවන් වෙනවා. ඒ දේවල් දකිද්දී එයාලට කොච්චර සතුටක් දැනෙයිද! (ක්‍රියා 24:15) දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න හැමෝටම මරණයෙන් සම්පූර්ණ ජයක් ලබලා සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් වෙනවා.

17. 1 කොරින්ති 15:58 අපිව දිරිගන්වන්නේ මොනවා කරන්නද?

17 නැවත නැඟිටීම ගැන දෙවියන් පාවුල් මාර්ගයෙන් දැනුම් දීපු එක ගැන අපි හැමෝගෙම හිත්වල ලොකු අගයක් තියෙන්න ඕනේ. “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න” කියලා පාවුල් දීලා තියෙන උපදෙසට කීකරු වෙන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. (1 කොරින්ති 15:58 කියවන්න.) අපි අපේ උපරිමයෙන්, උද්‍යෝගයෙන් ඒ සේවයේ හවුල් වෙනවා නම් අනාගතයේදී සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් වෙනවා. ඒ කාලයේදී අපිට හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් අපිට ආශීර්වාද කරයි. ස්වාමීන් වෙනුවෙන් අපි කරන සේවය පොඩ්ඩක්වත් අපතේ ගියේ නැහැ කියලා අපි එදාට අද්දකියි.

ගීතිකාව 140 සදාකාලික ජීවිතය

^ 5 ඡේ. 1 කොරින්ති 15වෙනි පරිච්ඡේදයේ දෙවෙනි කොටසේ විශේෂයෙන්ම කතා කරන්නේ අභිෂේක ලත් අයගේ නැවත නැඟිටීම ගැන. හැබැයි ඒ තොරතුරු වෙනත් බැටළුවන්ටත් ප්‍රයෝජනවත්. නැවත නැඟිටීම ගැන තියෙන බලාපොරොත්තුව දැන් අපේ ජීවිතේට බලපාන්නේ කොහොමද කියලත් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්න ඒක උදව් වෙන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. 1 කොරින්ති 15:29 පාවුල් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද කියලා මේ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපියේ විස්තර කරලා තියෙනවා.