Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 51

‘යෙහෝවා දෙවි තැළුණු හදවත් ඇති අයව බේරාගනියි’

‘යෙහෝවා දෙවි තැළුණු හදවත් ඇති අයව බේරාගනියි’

“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතා. 34:18.

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි

මේ ලිපියෙන් *

1-2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

සමහර වෙලාවට අපිට හිතෙයි අපි ජීවත් වෙන්නේ ටික කාලයයි, ඒ ටික කාලෙත් ‘දුක් කම්කටොලුවලින් පිරිලා’ කියලා. (යෝබ් 14:1) එහෙම හිතෙද්දී අපි අධෛර්යය වෙන්න පුළුවන්. අතීතයේ හිටපු යෙහෝවා දෙවියන්ගේ සේවකයන්ටත් එහෙම හිතිලා තියෙනවා. සමහර අයට හිතිලා තියෙනවා මැරිලා ගියා නම් හොඳයි කියලා. (1 රාජා. 19:2-4; යෝබ් 3:1-3, 11; 7:15, 16) හැබැයි යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරපු ඒ අයව ඔහු තනි කළේ නැහැ. එයාලා අධෛර්යය වුණ හැම වෙලාවෙම දෙවියන් එයාලව සනසලා ශක්තිමත් කළා. එයාලා ගැන බයිබලේ සඳහන් කරලා තියෙන්නේ ඒ දේවලින් අපිට පාඩම් ඉගෙනගන්නත් සැනසිල්ල අද්දකින්නත් පුළුවන් නිසයි.—රෝම 15:4.

2 තමන්ට මුහුණ දෙන්න වුණ දේවල් නිසා අධෛර්යය වුණ කීපදෙනෙක් ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ තමයි යාකොබ්ගේ පුතෙක් වුණ යෝසෙප්, වැන්දඹුවක් වුණ නායොමි, එයාගේ ලේලිය වුණ රූත්, 73වන ගීතිකාව ලියපු ලෙවීවරයා සහ පේතෘස්. යෙහෝවා දෙවියන් එයාලව ශක්තිමත් කළේ කොහොමද? එයාලගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර බලද්දී ‘යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව ඉන්නවා’ කියලත් “තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගන්නවා” කියලත් අපිටම ස්ථිර වෙන්න පුළුවන්.—ගීතා. 34:18.

අසාධාරණයට මුහුණ දීපු යෝසෙප්

3-4. යෞවන වයසේදී යෝසෙප්ට මුහුණ දෙන්න වුණේ මොනවාටද?

3 යෝසෙප්ට අවුරුදු 17දී විතර තමයි යෙහෝවා දෙවියන් එයාට හීන දෙකක් දකින්න සැලැස්සුවේ. ඒ හීනවලින් අදහස් කළේ යෝසෙප්ට වැදගත් තනතුරක් හිමි වෙනවා සහ පවුලේ අය එයාට ගෞරවයෙන් සලකනවා කියන එකයි. (උත්. 37:5-10) හැබැයි ඒ හීන දැකලා වැඩි කාලයක් යන්න කලින් යෝසෙප්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයාට ගෞරවයෙන් සලකනවා වෙනුවට එයාගේ අයියලා එයාව විකුණුවා. අන්තිමේදී එයා ඊජිප්තුවේ පොතිෆර්ගේ දාසයෙක් වුණා. (උත්. 37:21-28) තාත්තාගේ ආදරය ලබමින් හැදුණු යෝසෙප්ට දන්න හඳුනන කිසිම කෙනෙක් නැති, බොරු දෙවිවරුන්ට නමස්කාර කරන මිනිසුන් හිටිය ඊජිප්තුවේ වහලෙක් විදිහට ජීවත් වෙන්න සිද්ධ වුණා.—උත්. 39:1.

4 ඊටපස්සේ යෝසෙප්ට වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක්. පොතිෆර්ගේ බිරිඳ යෝසෙප් එයාව දූෂණය කරන්න හැදුවා කියලා චෝදනා කළා. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයලා බලනවා වෙනුවට පොතිෆර් ඒ වෙලාවෙම යෝසෙප්ව හිරේ දාලා එයාව දම්වැල්වලින් බඳින්න කියලා අණ කළා. (උත්. 39:14-20; ගීතා. 105:17, 18) හිතන්න ඒ බොරු චෝදනාව ගැන යෞවනයෙක් වුණ යෝසෙප්ට කොහොම හැඟෙන්න ඇතිද කියලා. ඒ දේවල් ආරංචි වුණාම මිනිස්සු යෙහෝවා දෙවියන්ට දොස් කියන්න ඇති. අධෛර්යය වෙන්න යෝසෙප්ට ඕන තරම් හේතු තිබුණා නේද?

5. අධෛර්යය කරවන සිතුවිලිවලින් යටපත් නොවී ඉන්න යෝසෙප්ට උදව් වුණේ මොනවාද?

5 වහලෙක් විදිහට ඉද්දීවත් හිරේ ඉද්දීවත් තමාට මුහුණ දෙන්න වුණ දේවල් වෙනස් කරන්න යෝසෙප්ට පුළුවන් වුණේ නැහැ. හැබැයි එයා එයාගේ සතුට නැති කරගත්තෙත් නැහැ. මොකද කරන්න බැරි දේවල් ගැන හිතනවා වෙනුවට එයාට පැවරිලා තිබුණු වැඩ කොටස එයා උපරිමයෙන්ම කළා. වෙන කිසිම දේකට වඩා එයාට වැදගත් වුණේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන එකයි. ඒ නිසා එයා කරපු හැම දේකදීම යෙහෝවා දෙවියන් එයාට ආශීර්වාද කළා.—උත්. 39:21-23.

6. යෝසෙප් දැකපු හීන එයාට ශක්තියක් වෙන්න ඇත්තේ කොහොමද?

6 යෙහෝවා දෙවියන් තමන්ට දකින්න සලස්වපු හීන ගැන හිතපු එකෙනුත් යෝසෙප් ලොකු සහනයක් අද්දකින්න ඇති. මොකද ඒ හීනවලට අනුව යෝසෙප්ට ආයෙත් එයාගේ පවුලේ අයව දකින්න ලැබෙනවා. හොඳ කාලයක් අද්දකින්නත් එයාට පුළුවන් වෙනවා. ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. හිතුවේවත් නැති විදිහට යෝසෙප්ට අවුරුදු 37ක් විතර වෙද්දී එයා හීනෙන් දැක්ක දේවල් ඉටු වෙන්න පටන්ගත්තා.—උත්. 37:7, 9, 10; 42:6, 9.

7. 1 පේතෘස් 5:10 අනුව පීඩා විඳදරාගන්න උදව් වෙන්නේ මොකක්ද?

7 ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි ජීවත් වෙන්නේ දුෂ්ට ලෝකයක කියලත් මිනිස්සු අපිට අසාධාරණ විදිහට සලකනවා කියලත් මතක් කරගන්න යෝසෙප්ගේ අද්දැකීම අපිට උදව් වෙනවා. සභාවේ ඉන්න අපේම සහෝදරයන් අතිනුත් අපේ හිත් රිදෙන දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපි යෙහෝවා දෙවියන්ව අපේ පර්වතයත් රැකවරණයත් කරගන්නවා නම් අධෛර්යය වෙද්දී ඒ සිතුවිලිවලින් ගොඩ එන්නත් දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරන්නත් අපිට පුළුවන් වෙනවා. (ගීතා. 62:6, 7; 1 පේතෘස් 5:10 කියවන්න.) යෙහෝවා දෙවියන් යෝසෙප්ට හීන පෙනෙන්න සැලැස්සුවේ එයාට අවුරුදු 17දී විතර. ඒකෙනුත් අපිට වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි තමන්ට සේවය කරන යෞවනයන් ගැනත් යෙහෝවා දෙවියන්ට කොච්චර විශ්වාසයක් තියෙනවාද කියන දේ. අපි අතරේ ඉන්න හුඟක් යෞවනයන්ටත් යෝසෙප්ට තිබුණා වගේ ශක්තිමත් විශ්වාසයක් තියෙනවා. දිගටම දෙවියන්ට කීකරුව ඉන්න නිසා හිරදඬුවම් විඳින යෞවනයනුත් අපි අතරේ ඉන්නවා.—ගීතා. 110:3.

වියෝදුකෙන් හිටිය කාන්තාවන් දෙන්නෙක්

8. නායොමිටයි රූත්ටයි මුහුණ දෙන්න වුණේ මොනවාටද?

8 යූදා දේශයේ ඇති වුණ දරුණු සාගතය නිසා නායොමියි එයාගේ පවුලේ අයයි මෝවබ් දේශයට ආවා. එහෙදී නායොමිගේ ස්වාමිපුරුෂයා වුණ එලිමෙලෙක් මැරුණා. ඒ නිසා පුත්තු දෙන්නාත් එක්ක එයා තනි වුණා. කාලයක් යද්දී පුත්තු දෙන්නා මෝවබ් ජාතිකයන් වුණ රූත්වයි ඕපාවයි විවාහ කරගත්තා. අවුරුදු 10කට විතර පස්සේ නායොමිගේ පුත්තු දෙන්නාත් මැරුණා. ඒ වෙද්දී එයාලට දරුවන් හිටියෙත් නැහැ. (රූත් 1:1-5) හිතන්න ඒ කාන්තාවන් තුන්දෙනාට කොච්චර හිත් වේදනාවක්, අසරණකමක් දැනෙන්න ඇද්ද කියලා. රූත්ටයි ඕපාටයි නම් ආයෙත් විවාහයක් කරගන්න පුළුවන්. ඒත් මහලු වයසේ ඉන්න නායොමිට මොනවා වෙයිද? වෙච්ච දේවල් නිසා නායොමි කොච්චර කලකිරුණාද කිව්වොත් එයා මෙහෙම කිව්වා. “මට නායොමි කියලා කියන්න එපා. සියලු බලැති දෙවි මාව අත්හැරලා. මගේ ජීවිතේ දැන් මට තිත්ත වෙලා. ඒ හින්දා මට මාරා කියලා කතා කරන්න.” අන්තිමේදී ලොකු හිත් වේදනාවකින් හිටපු නායොමි ආයෙත් බෙත්ලෙහෙමට යන්න තීරණය කළාම රූතුත් එයාත් එක්ක ගියා.—රූත් 1:7, 18-20.

අධෛර්යය වෙලා හිටිය නායොමිටයි, රූත්ටයි සලකපු විදිහෙන් යෙහෝවා දෙවියන් ඔප්පු කළා ඒ වගේ අයට උදව් කරන්න ඔහුට පුළුවන් කියලා. ඔයාටත් උදව් කරන්න දෙවියන්ට පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවාද? (8-13 ඡේද බලන්න) *

9. රූත් 1:16, 17, 22 අනුව රූත් නායොමිට ආදරෙන් සැලකුවේ කොහොමද?

9 ඒ වගේ තත්වයක ඉන්න කෙනෙක්ට ඕනෙම කරන ආදරය නායොමිට ලැබුණා. උදාහරණෙකට රූත් එයාත් එක්කම ඉඳන් එයාට ගොඩක් ආදරෙන් සැලකුවා. (රූත් 1:16, 17, 22 කියවන්න.) බෙත්ලෙහෙමට ගියාට පස්සේ රූත් එයාටයි නායොමිටයි බාර්ලි එකතු කරගන්න ගොඩක් මහන්සි වුණා. ඒ නිසා එහෙ හිටිය මිනිස්සු අතරේ එයාට හොඳ නමක් ලැබුණා.—රූත් 3:11; 4:15.

10. රූත් සහ නායොමි වගේ අයට යෙහෝවා දෙවියන් ආදරේ පෙන්නුවේ කොහොමද?

10 නායොමි සහ රූත් වගේ අසරණ අය වෙනුවෙන් යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට නීතියක් දීලා තිබුණා. කෙත්වල මායිම දක්වාම අස්වැන්න නෙළන්න එපා කියලත් අත්හැරුණු කරල් එකතු කරගන්න එපා කියලත් දෙවියන් එයාලට කිව්වා. ඔහු එහෙම කිව්වේ අසරණ අයට ඒවා එකතු කරගන්න පුළුවන් වෙන නිසයි. (ලෙවී. 19:9, 10) ඒ නිසා හිඟාකන්නේ නැතුව කෑම හොයාගන්න නායොමිටයි රූත්ටයි පුළුවන් වුණා.

11-12. රූත් සහ නායොමි වෙනුවෙන් බෝවස් කළේ මොනවාද?

11 රූත් බාර්ලි එකතු කරන්න ගිය කෙත අයිති වෙලා තිබුණේ ගොඩක් පොහොසත් කෙනෙක් වුණ බෝවස්ට. රූත් එයාගේ නැන්දම්මා වුණ නායොමිට කොච්චර ආදරෙන් සැලකුවාද කියලා බෝවස් දැක්කා. ඒ නිසා පස්සේ කාලෙක බෝවස් රූත්ව විවාහ කරගෙන නායොමිගේ පවුලේ අයට කලින් අයිති වෙලා තිබුණු හැම දෙයක්ම ආපහු සල්ලි දීලා ගත්තා. (රූත් 4:9-13) එයාලට ලැබුණු පුතාට එයාලා ඕබෙද් කියලා නම තිබ්බා. ඕබෙද් තමයි දාවිත් රජුගේ සීයා වුණේ.—රූත් 4:17.

12 පුංචි ඕබෙද් ගැන නායොමි කොච්චර සතුටු වෙන්න ඇද්ද! ඒ ගැන එයා දෙවියන්ට කොච්චර ස්තුති කරන්න ඇද්ද! ඕබෙද් ගැලවුම්කරු වුණ යේසුස්ගේ පෙළපතට අයිති වුණා කියලා පාරාදීසයේදී දැනගන්න ලැබුණාම ඒ ගැන නායොමිටයි රූත්ටයි කොහොම හැඟෙයිද කියලා හිතාගන්න පුළුවන් නේද?

13. නායොමි සහ රූත්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 ඉගෙනගන්න පුළුවන් මොනවාද? පීඩාවලට මුහුණ දෙන්න වෙද්දී අපිට ලොකු දුකක්, කලකිරීමක් දැනෙයි. සමහරවිට අපිට හිතෙයි කවදාවත් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන එකක් නැහැ කියලා. ඒ වගේ වෙලාවට අපි යෙහෝවා දෙවියන් ගැන සම්පූර්ණ විශ්වාසය තියලා අපේ සහෝදර සහෝදරියන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ඕනේ. අපි දන්නවා දැන් අපිට මුහුණ දෙන්න වෙන හැම ප්‍රශ්නයක්ම දෙවියන් නැති කරන්නේ නැහැ කියලා. උදාහරණෙකට නායොමිගේ ස්වාමිපුරුෂයායි පුත්තු දෙන්නායි මැරුණාම දෙවියන් එයාලව නැවත නැඟිටෙව්වේ නැහැ. හැබැයි අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න දරාගන්න ඔහු අපිට උදව් කරනවා කියන එක ගැන නම් අපිට කිසිම සැකයක් නැහැ. සමහර වෙලාවට ඔහු ඒ දේ කරන්නේ අපේ සහෝදර සහෝදරියන් මාර්ගයෙන්.—හිතෝ. 17:17.

පය ලිස්සන්න ගිය ලෙවීවරයෙක්

73වෙනි ගීතිකාව ලියපු ලේඛකයා යෙහෝවා දෙවියන්ට මුල් තැන දීපු නැති අය සතුටින් ඉන්න එක ගැන හිතලා ගොඩක් අධෛර්යය වුණා. අපිටත් ඒ දේම වෙන්න පුළුවන් (14-16 ඡේද බලන්න)

14. එක ලෙවීවරයෙක් ගොඩක් කලකිරුණේ ඇයි?

14 73වෙනි ගීතිකාව ලියපු ලෙවීවරයාට ශුද්ධ කූඩාරමේ සේවය කරන වටිනා පැවරුම ලැබිලා තිබුණා. හැබැයි දුෂ්ට, උඩඟු මිනිස්සු නිසා එයා ගොඩක් කලකිරුණා. එහෙම වුණේ එයාලගේ දුෂ්ටකම් ගැන හිතලා නෙමෙයි. ඒ වෙනුවට එයාලා තමන්ට වඩා හොඳ ජීවිතයක් ගත කරන එක ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණ නිසයි. (ගීතා. 73:2-9, 11-14) බැලූ බැල්මට එයාලට කිසිම දේකින් අඩුවක්වත් ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ. ලෙවීවරයා ඒ ගැන කොච්චර කලකිරුණාද කිව්වොත් එයා මෙහෙම කිව්වා. “නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය. මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.” එයා හිටියේ ලිස්සන්න පුළුවන් තැනක කියලා පැහැදිලියි නේද?

15. ගීතාවලිය 73:16-19, 22-25 කියන විදිහට අධෛර්යය වෙලා හිටපු ලෙවීවරයාට උදව් වුණේ මොකක්ද?

15 ගීතාවලිය 73:16-19, 22-25 කියවන්න. ඒ ලෙවීවරයා “දෙවිගේ ශුද්ධස්ථානයට” ගියා. එතන හිටපු හැමෝම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු අය නිසා සන්සුන් මනසකින් දේවල් ගැන පැහැදිලිව හිතන්නත් හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියන්නත් එයාට පුළුවන් වුණා. ප්‍රතිඵලයක් විදිහට කලින් එයා හිතුවේ මොන තරම් මෝඩ විදිහටද කියලත් දිගටම ඒ විදිහට හිතුවා නම් දෙවියන්ගෙන් ඈත් වෙන්න ඉඩ තිබුණා කියලත් එයා තේරුම්ගත්තා. ඒ වගේම දුෂ්ටයන් ඉන්නේ “ලිස්සනසුලු තැන්වල” කියලත් එයාලා විනාශ වෙනවා කියලත් එයා තේරුම්ගත්තා. දුෂ්ටයන් ගැන එයාට ඇති වුණ ඊර්ෂ්‍යාව නැති කරගන්න නම් එයා දේවල් දිහා යෙහෝවා දෙවියන් බලන විදිහට බලන්න ඕනෙ වුණා. එහෙම කරපු නිසා එයාට දැනුණ සහනය ගැන එයා මෙහෙම කිව්වා. “මට සතුටු වීමටද පොළොවේ කිසි දෙයක් නැත. මාගේ සතුට [යෙහෝවා දෙවිය].”

16. ලෙවීවරයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 ඉගෙනගන්න පුළුවන් මොනවාද? දුෂ්ට මිනිස්සු සතුටින් ඉන්න එක ගැන අපි කවදාවත් ඊර්ෂ්‍යා කරන්න නරකයි. මොකද එයාලගේ සතුට හැමදාම තියෙන්නේ නැහැ. ළඟදීම එයාලා විනාශ වෙනවා. (දේශ. 8:12, 13) එයාලා ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තොත් අපි කලකිරෙන්නත් දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ලෙවීවරයා කළා වගේ දිගටම දෙවියන්ට කීකරු වෙන්නත් ඔහුට ආදරය කරන අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන්නත් උපරිමයෙන් වෑයම් කරන්න. වෙන කිසිම කෙනෙකුට, කිසිම දේකට වඩා අපි යෙහෝවා දෙවියන්ට ආදරේ කරනවා නම් සැබෑ සතුට අද්දකින්නත් ජීවනයට යන මාර්ගයේ දිගටම ගමන් කරන්නත් පුළුවන් වෙනවා.—1 තිමෝ. 6:19.

තමන්ගේ දුර්වලකම් ගැන අධෛර්යය වුණ පේතෘස්

ආයෙත් සතුටින් දෙවියන්ට සේවය කරන්න පේතෘස්ට උදව් වුණ දේවල් ගැන හිතද්දී ලොකු සහනයක් අද්දකින්නත් අධෛර්යය වෙලා ඉන්න අයට උදව් කරන්නත් අපිට පුළුවන් වෙනවා (17-19 ඡේද බලන්න)

17. පේතෘස් අධෛර්යය වුණේ ඇයි?

17 පේතෘස් හරිම උද්‍යෝගයෙන් වැඩ කරපු කෙනෙක්. හැබැයි සමහර වෙලාවල එයා හිතන්නේ බලන්නේ නැතුව දේවල් කළා. ඒ නිසා පස්සේ එයා ඒ ගැන පසුතැවුණා. උදාහරණෙකට තමන්ට දුක් විඳලා මැරෙන්න වෙනවා කියලා යේසුස් කිව්වාම පේතෘස් ඒ වෙලාවෙම යේසුස්ට උපදෙසක් දෙන්න හිතාගෙන “ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ” කියලා කිව්වා. (මතෙ. 16:21-23) ඒ වෙලාවේ යේසුස් එයාව නිවැරදි කළා. යේසුස්ව අත්අඩංගුවට ගන්න පිරිසක් ආපු වෙලාවෙත් පේතෘස් උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපුවා. (යොහ. 18:10, 11) ඒ වෙලාවෙත් යේසුස් එයාව නිවැරදි කළා. ඒ විතරක් නෙවෙයි පේතෘස් ලොකු විශ්වාසයකින් කිව්වා කවුරු යේසුස්ව දාලා ගියත් එයා නම් දාලා යන්නේ නැහැ කියලා. (මතෙ. 26:33) හැබැයි එදා රෑම එයා යේසුස්ව අඳුනන්නේ නැහැ කියලා තුන්පාරක්ම කිව්වා. ඒ ගැන එයා කොච්චර අධෛර්යය වුණාද කිව්වොත් බයිබලේ කියනවා එයා “පිටතට ගොස් මහත් ශෝකයෙන් හැඬුවා” කියලා. (මතෙ. 26:69-75) පේතෘස්ට හිතෙන්න ඇති යේසුස් කවදාවත් එයාට සමාව දෙන එකක් නැහැ කියලා.

18. යේසුස් පේතෘස්ට උදව් කළේ කොහොමද?

18 පේතෘස් අධෛර්යය කරවන සිතුවිලිවලින් යටපත් වුණේ නැහැ. ඒ වෙනුවට එයා අනිත් නියෝජිතයන් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තා. (යොහ. 21:1-3; ක්‍රියා 1:15, 16) ඒ දේ කරන්න එයාට උදව් වුණේ මොකක්ද? එක දෙයක් තමයි එයාගේ විශ්වාසය ශක්තිමත් කරන්න උදව් ඉල්ලලා යේසුස් යාච්ඤා කළා කියලා එයා මතක් කරගත්ත එක. ඒ වගේම යේසුස් එයාට කියලා තිබුණා එයාගේ සහෝදරයන්ව මුණගැහිලා එයාලව ශක්තිමත් කරන්න කියලා. ඒ දේවල් ගැන හිතපු එකත් පේතෘස්ට ලොකු හයියක් වෙන්න ඇති. ඒ වගේම පේතෘස් අධෛර්යය වෙද්දී යේසුස් ඉල්ලපු විදිහටම යෙහෝවා දෙවියන් එයාට උදව් කළා. පස්සේ පේතෘස් තනියම හිටපු වෙලාවක යේසුස් එයා ඉදිරියේ පෙනී ඉඳලා එයාව දිරිගැන්නුවා. (ලූක් 22:32; 24:33, 34; 1 කොරි. 15:5) තවත් අවස්ථාවක නියෝජිතයන් මුළු රැයක්ම වෙහෙසුණත් එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි වෙලා අධෛර්යය වෙලා ඉද්දී යේසුස් එයාලා ඉදිරියේ පෙනී හිටියා. ඒ වෙලාවේ පේතෘස්ගේ හිතේ යේසුස් ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා කියන්න යේසුස් එයාට අවස්ථාව දුන්නා. ඒ වෙද්දීත් යේසුස් එයාට සමාව දීලයි තිබුණේ කියලා ඒ දේවලින් පැහැදිලියි. යේසුස් එයා ගැන විශ්වාසය තියලා එයාට තව වැඩත් භාර දුන්නා.—යොහ. 21:15-17.

19. අපි අතින් වෙන වැරදි ගැන යෙහෝවා දෙවියන් බලන විදිහට බලන්න ගීතාවලිය 103:13, 14 අපිට උදව් වෙන්නේ කොහොමද?

19 ඉගෙනගන්න පුළුවන් මොනවාද? යේසුස් පේතෘස්ට සලකපු විදිහෙන් පැහැදිලි වෙනවා ඔහු හරිම දයාවන්ත කෙනෙක් කියලා. යේසුස් ආදර්ශයට ගත්තේ ඔහුගේ පියාව. ඒ නිසා අපි අතින් වරදක් වුණාම යෙහෝවා දෙවියන් කවදාවත් අපිට සමාව දෙන එකක් නැහැ කියලා හිතන්න හොඳ නැහැ. මොකද අපි එහෙම හිතනවා දකින්න තමයි සාතන්ට ඕනේ. ඒ නිසා යෙහෝවා දෙවියන් අපිට කොච්චර ආදරෙයිද, අපිව කොච්චර හොඳින් තේරුම්ගන්නවාද කියලා අපි හොඳට හිතමු. ඔහු සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් අපි මතක තියාගමු. අනිත් අය අපේ හිත රිදෙන දෙයක් කළාම කැමැත්තෙන්ම සමාව දෙන්නත් අපි උපරිමයෙන් වෑයම් කරමු.—ගීතාවලිය 103:13, 14 කියවන්න.

20. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

20 මේ ලිපියෙන් අපි බලපු තොරතුරුවලින් හොඳින්ම පැහැදිලි වෙනවා “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටිනවා” කියලා. (ගීතා. 34:18) සමහර වෙලාවට පීඩා අද්දකින්නත් අධෛර්යය වෙන දේවලට මුහුණ දෙන්නත් ඔහු අපිට ඉඩහරිනවා. හැබැයි ඔහුගේ උදව්වෙන් අපි ඒ දේවලට සාර්ථකව මුහුණ දෙද්දී ඔහු ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. (1 පේතෘ. 1:6, 7) තමන් අතින් වුණ වැරදි නිසා හරි, අද්දකින දුෂ්කරතා නිසා හරි අධෛර්යය වෙලා ඉන්න තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට යෙහෝවා දෙවියන් උදව් කරන්නේ කොහොමද කියන එක ගැන තවත් තොරතුරු අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 7 යෙහෝවා දෙවි අපේ ශක්තියයි

^ 5 ඡේ. යෝසෙප්, නායොමි, රූත්, ලෙවීවරයෙක් සහ පේතෘස් එයාලට මුහුණ දෙන්න වුණ දේවල් නිසා අධෛර්යය වුණා. යෙහෝවා දෙවියන් එයාලව සැනසුවෙත් එයාලව ශක්තිමත් කළෙත් කොහොමද? එයාලගේ ආදර්ශවලිනුත් යෙහෝවා දෙවියන් එයාලට ආදරෙන් උදව් කරපු විදිහෙනුත් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: නායොමි, රූත් සහ ඕපා එයාලගේ ස්වාමිපුරුෂයන් මැරුණු එක ගැන දුක් වෙනවා. ඒත් පස්සේ ඕබෙද් ඉපදුණු එක ගැන රූත්, නායොමි සහ බෝවස් සතුටු වෙනවා.