Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

හිතෝපදේශ 24:16 කියනවා “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය” කියලා. ඒකෙන් අදහස් කරන්නේ කෙනෙක් දිගින් දිගටම පව් කළත් දෙවියන් එයාට සමාව දෙනවා කියන එකද?

නැහැ. ඒ පදයේ විස්තර කරලා තියෙන්නේ දිගින් දිගටම ප්‍රශ්නවලට මුහුණ දුන්නත් ඒ හැම එකකින්ම ගොඩ එන කෙනෙක් ගැන.

ඒ පදයේ අවට පදවල මෙහෙම කියනවා. “ධර්මිෂ්ඨයාගේ නිවස කොල්ල කන පිණිස දුෂ්ටයෙකු මෙන් රැක නොසිටින්න. ඔහුගේ නිවස විනාශ නොකරන්න. ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය. එහෙත් දුෂ්ටයෝ විපතට හසු වී විනාශ වී යන්නෝය. ඔබට සතුරුකම් පාන කෙනෙකු විපතට වැටුණොත් ප්‍රීති නොවන්න. ඔහුගේ පය පැටලුණොත් සිතින් සතුටු නොවන්න.”—හිතෝ. 24:15-17.

සමහර අය හිතනවා 16වෙනි පදය කතා කරන්නේ දිගින් දිගටම පව් කළත් පසුතැවිලි වෙලා ආයෙත් දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න කෙනෙක් ගැන කියලා. එංගලන්තයේ ඉන්න ආගමික නායකයන් දෙන්නෙක් ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “ඉස්සර වගේම අදටත් පල්ලිවල දේශන දෙද්දී ඒ පදයේ අදහස විස්තර කරන්නේ එහෙම තමයි. ඒත් ඒ පදය ඒ විදිහට විස්තර කළොත් ඒකෙන් අදහස් වෙන්නේ මේ වගේ දෙයක්. කෙනෙක් බරපතළ වැරදි කළත් එයාට දෙවියන් ගැන තියෙන ආදරය අඩු වෙන්නේ නෑ. ඒ වගේම එයා වරදක් කරන හැම වතාවකදීම ඒ ගැන පසුතැවිලි වුණොත් එයාට දෙවියන්ගෙන් සමාව ලබාගන්න පුළුවන්.” තමන්ගේ වැරදි හදාගන්න අකමැති අය නම් ඒ පදය ඒ විදිහට විස්තර කරන එක ගැන ගොඩක් සතුටු වෙයි. මොකද දිගින් දිගටම පාපයක් කළත් දෙවියන්ගෙන් සමාව ලබාගන්න පුළුවන් කියලා එයාලට හිතෙයි.

ඇත්තටම 16වෙනි පදයේ කතා කරන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි.

හිතෝපදේශ 24:16, 17 පදවල “වැටුණත්” හැටියට යොදාගෙන තියෙන හෙබ්‍රෙව් වචනය විවිධ විදිවලින් යොදාගන්න පුළුවන්. ඒ වචනයේ අර්ථයට ඇත්තටම වැටුණා කියන අදහසත් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ පාරේ ඇවිදන් යන ගවයෙක්, වහලක වැඩ කරකර ඉන්න කෙනෙක්, ගල් කැටයක් බිමට වැටුණා වගේ අදහස් දෙන්න ඒ වචනය යොදාගන්න පුළුවන්. (ද්වි. 22:4, 8; ආමො. 9:9) ඒ වගේම ඒ වචනය සංකේතාත්මක අර්ථයෙන් යොදාගන්නත් පුළුවන්. මේ බයිබල් පදය ඒකට හොඳ උදාහරණයක්. “යෙහෝවා දෙවි මනුෂ්‍යයා යා යුතු මඟ පෙන්වා දෙන්නේය. යමෙකු එම මාර්ගයේ ගමන් කරන විට ඔහු ගැන දෙවි සතුටු වන්නේය. ඔහුගේ පය පැටලුණත් ඔහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නේ නැත. මන්ද යෙහෝවා දෙවි ඔහුගේ අත අල්ලාගෙන සිටින්නේය.”—ගීතා. 37:23, 24; හිතෝ. 11:5; 13:17; 17:20.

මහාචාර්යවරයෙක් වන ප්ලම්ට්‍රේ කියන මේ දේ බලන්න. “‘වැටුණා’ හැටියට යොදාගෙන තියෙන හෙබ්‍රෙව් වචනය කිසිම අවස්ථාවක කෙනෙක් පාපයක් කළා කියන අදහස දෙන්න යොදාගෙන නෑ.” තවත් විශාරදයෙක් හිතෝපදේශ 24:16වෙනි පදය ගැන මෙහෙම කියලා තියෙනවා. “දෙවියන්ගේ සෙනඟට කොච්චර නපුරු විදිහට සැලකුවත් පලක් වෙන්නේ නෑ. මොකද එයාලා කොයි වෙලෙත් සාර්ථක වෙනවා. හැබැයි දුෂ්ටයාට නම් එහෙම වෙන්නේ නෑ.”

හිතෝපදේශ 24:16 “වැටුණත්” කියන වචනයෙන් යොමු දක්වලා තියෙන්නේ කෙනෙක් කරන පාපයකට නෙවෙයි කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා. ඒ වෙනුවට ඒ වචනයෙන් යොමු දක්වලා තියෙන්නේ දිගින් දිගටම ප්‍රශ්න ගැටලු අද්දකින්න වෙන එකටයි. මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙන ධර්මිෂ්ඨ අයට සෞඛ්‍ය ගැටලුවලට එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරවිට ආණ්ඩුවෙන් පනවන නීති නිසා හිරේ යන්නත් වෙයි. ඒ මොන දේ වුණත් යෙහෝවා දෙවියන්ගේ උදව් ලැබෙන නිසා ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියන නිසැකකම ඇතුව ඉන්න ඒ අයට පුළුවන්. මොන අභියෝග ආවත් අන්තිමේදී දෙවියන්ගේ සෙනඟ සාර්ථක වෙනවා. ඔයාත් ඒක අද්දැකලා ඇති. ‘වැටී සිටින සියල්ලන්ට නැඟී සිටීමට යෙහෝවා දෙවියන් උදව් කරනවා’ කියලත් ‘හෙම්බත්ව නැමී සිටින සියල්ලන්ට කෙළින් සිටගැනීමට ඔහු උදව් කරනවා’ කියලත් අපිට නිසැක වෙන්න පුළුවන්.—ගීතා. 41:1-3; 145:14-19.

අනිත් අයට ප්‍රශ්න අද්දකින්න වෙන එක ගැන “ධර්මිෂ්ඨයා” සතුටු වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලේ සඳහන් මේ දේ ගැන එයාලට ලොකු නිසැකකමක් තියෙනවා. “අවසානයේදී සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇති අයට යහපතක් සිදු වන බව මට විශ්වාසය. ඔවුන්ට හොඳ ප්‍රතිඵල අත් වන්නේ දෙවි කෙරෙහි ඔවුන්ට ගරුබියක් ඇති නිසාය.”—දේශ. 8:11-13; යෝබ් 31:3-6; ගීතා. 27:5, 6.