Skip to content

පටුනට යන්න

යහපත් ජීවිතයක් ගත කළොත් අනාගතය සුරක්ෂිත වෙයිද?

යහපත් ජීවිතයක් ගත කළොත් අනාගතය සුරක්ෂිත වෙයිද?

අතීතයේ ඉඳලාම මිනිස්සු හිතුවේ යහපත් ජීවිතයක් ගත කළොත් අනාගතය සුරක්ෂිත වෙයි කියලා. උදාහරණෙකට ප්‍රසිද්ධ දර්ශනවාදියෙක් වුණ කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551-479) කියපු මේ දේ චීනයේ ඉන්න හුඟක් අය පිළිගත්තා. එයා කිව්වේ “ඔබට කරනවාට අකමැති දෙයක් තව කෙනෙකුට කරන්න එපා” කියලයි.

හුඟක් අය කරන දේ

හුඟක් අය අද හිතන්නෙත් යහපත් ජීවිතයක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම අනාගතය සුරක්ෂිත වෙනවා කියලා. ඒ නිසා අනිත් අයට ගරු කරන්න, හොඳ ගුණාංග ඇති කරගන්න, සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්න වගේම නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්නත් මිනිස්සු මහන්සි වෙනවා. වියට්නාමයේ ජීවත් වෙන ලින් කියන කාන්තාව මෙහෙම කියනවා. “මං අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සැලකුවොත් අවංක වුණොත් ඒකෙන් මගේ අනාගතේට හොඳක් වෙයි කියලා මං හිතුවා.”

තවත් අය යහපත් ජීවිත ගත කරන්නේ එයාලගේ ආගමික විශ්වාසයන් නිසා. ඒ ගැන තායිවානයේ ජීවත් වෙන සුන් යුන් කියන්නේ මෙහෙමයි. “අපිට උගන්නලා තිබුණේ මේ ජීවිතේ කරන හොඳ නරක අනුව තමයි මැරුණාට පස්සේ ලැබෙන ජීවිතේ තීරණය වෙන්නේ කියලා.”

ප්‍රතිඵල මොනවාද?

ඇත්ත, අනිත් අය වෙනුවෙන් හොඳ දේවල් කරද්දී ප්‍රයෝජන ලැබෙනවා. හැබැයි අනිත් අයට කොච්චර හොඳින් සැලකුවත් ඒ අය කොයි වෙලෙත් එහෙම කරන්නේ නැහැ කියලා හුඟක් අය තේරුම් අරන් ඉන්නවා. හොංකොංවල ඉන්න ෂියුපින් ඒ වගේ කෙනෙක්. එයා මෙහෙම කියනවා. “අපි අනිත් අයට කොච්චර හොඳට සැලකුවත් එයාලා අපිට එහෙම සලකන්නේ නැහැ. මගේ පවුලේ අයට ආදරෙන් සලකන්න මට කරන්න පුළුවන් හැම දේම මං කළා. ඒත් මගේ මහත්තයා පුතාවයි මාවයි දාලා ගියා.”

ආගම දහමට ළැදි වුණ පලියට ඒ කෙනා හොඳ කෙනෙක් වෙන්නේ නැහැ කියලා හුඟක් අය දැකලා තියෙනවා. උදාහරණෙකට ජපානයේ ජීවත් වෙන එට්සුකෝ කියන දේ බලන්න. “මං ආගමකට බැඳිලා ඒකේ යොවුන් සමිතියක සභාපති විදිහට වැඩ කරන්න පටන්ගත්තා. පල්ලියේ සමහර මිනිස්සු කොච්චර පහත් විදිහට හැසිරෙනවාද, බලයට කොච්චර කෑදරද, කොච්චර වංචා කරනවාද කියලා දැක්කාම මට ඒක අදහාගන්න බැරුව ගියා.”

“මගේ පවුලේ අයට ආදරෙන් සලකන්න මට කරන්න පුළුවන් හැම දේම මං කළා. ඒත් අන්තිමේදී මගේ මහත්තයා පුතාවයි මාවයි දාලා ගියා.”—හොංකොංවල ෂියුපින්

ආගම දහමට ළැදි වෙලා හිටියත් නරක දේවල්වලට මුහුණ දෙන්න වෙද්දී සමහරු ඒ ගැන කලකිරෙනවා. වියට්නාමයේ ජීවත් වෙන වැන් ඒ වගේ කෙනෙක්. එයා මෙහෙම කියනවා. “මං හැම දවසකම මළ ගිය මුතුන්මිත්තන් වෙනුවෙන් මල්, පලතුරු, කෑම පූජා කළා. මං හිතුවා ඒකෙන් මට ආශීර්වාද ලැබෙයි කියලා. අවුරුදු ගාණක් තිස්සේ ඒ දේවල් කළත් මගේ මහත්තයා හිතුවේවත් නැති විදිහට ලෙඩ වුණා. ඉගෙනගන්න වෙන රටකට ගිහින් හිටපු මගේ දුවත් හිටිහැටියෙම මැරුණා.”

යහපත් ජීවිතයක් ගත කළා කියලා සුරක්ෂිත අනාගතයක් ලැබෙන්නේ නැත්නම් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද? ඒ ගැන හොඳින්ම දන්න විශ්වාසවන්ත කෙනෙක්ගෙන් අපිට මඟ පෙන්වීම් ඕනේ. ඒ වගේ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?