Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 3

දෙවියන්ට සහ ක්‍රිස්තුස්ට ප්‍රශංසා කරන මහත් සමූහය

දෙවියන්ට සහ ක්‍රිස්තුස්ට ප්‍රශංසා කරන මහත් සමූහය

“අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින අපගේ දෙවිගෙන් හා බැටළු පැටවාගෙන්ය.”—එළි. 7:10.

ගීතිකාව 14 ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු

මේ ලිපියෙන් *

1. 1935 සමුළුවක තිබුණු දේශනයක් එක යෞවනයෙක්ට ලොකු බලපෑමක් වුණේ කොහොමද?

මේ තරුණයාගේ අද්දැකීම ගැන බලන්න. එයාගේ අම්මායි තාත්තායි ඒ කාලේ බයිබල් ශිෂ්‍යයන් විදිහට හඳුන්වපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. එයාට සහෝදර සහෝදරියන් හතරදෙනෙක් හිටියා. යෙහෝවා දෙවියන්ට සේවය කරන්න කියලත් යේසුස්ව ආදර්ශයට ගන්න කියලත් තමයි අම්මායි තාත්තායි කොයි වෙලෙත් එයාලව දිරිගැන්නුවේ. එයා බව්තීස්ම වුණේ වයස අවුරුදු 18දී. ඒ කියන්නේ 1926දී. ඒ කාලේ හැමෝම වගේ, මේ සහෝදරයා හිතුවෙත් එයා මැරුණාට පස්සේ ස්වර්ගයට යනවා කියලා. ඒ නිසා බව්තීස්මයෙන් පස්සේ පවත්වපු හැම සිහි කිරීමකදීම එයා රොටි සහ වයින් ගත්තා. හැබැයි 1935 ඇමරිකාවේ වොෂිංටන් නගරයේ තිබුණු සමුළුවක සහෝදර ජේ. එෆ්. රදෆර්ඩ් දුන්න “මහත් සමූහය” කියන දේශනයට ඇහුම්කන් දුන්නාට පස්සේ මේ තරුණයාට තිබුණු අනාගත බලාපොරොත්තුව වෙනස් වුණා. ඒ තරම් බලපෑමක් කරපු ඒ දේශනයෙන් පැහැදිලි කළේ මොකක් ගැනද?

2. සහෝදර රදෆර්ඩ්ගේ දේශනයෙන් පැහැදිලි කළේ මොකක් ගැනද?

2 එළිදරව් 7:9 “මහත් සමූහය” විදිහට හඳුන්වන්නේ කාවද කියන එක ගැන සහෝදර රදෆර්ඩ් එයාගේ දේශනයේදී පැහැදිලි කළා. කලින් එයාලා හිතන් හිටියේ මහත් සමූහය කියන්නේ ස්වර්ගයට යන දෙවෙනි කණ්ඩායම කියලයි. මොකද එයාලා හිතුවේ අභිෂේක ලත් අය තරම් එයාලා දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා නැහැ කියලයි. ඒ නිසා යේසුස් එක්ක රජවරු විදිහට සේවය කරන්න එයාලට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලත් එයාලා හිතන් හිටියා. හැබැයි මහත් සමූහය * ස්වර්ගයට යන්නේ නැහැ කියලත් “මහත් පීඩාවෙන්” බේරිලා එයාලා පොළොවේ සදහටම ජීවත් වෙනවා කියලත් සහෝදර රදෆර්ඩ් බයිබලෙන් පැහැදිලි කළා. (එළි. 7:14) යේසුස් මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා. “මේ ගාලට අයිති නැති වෙනත් බැටළුවන්ද මට සිටිනවා. මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා. උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.” (යොහ. 10:16) මහත් සමූහය විදිහට හඳුන්වන්නේ පාරාදීස පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව. (මතෙ. 25:31-33, 46) ඒ දේ පැහැදිලිව තේරුම්ගත්ත එක පළවෙනි ඡේදයේ කතා කරපු සහෝදරයාට වගේම ඒ කාලේ දෙවියන්ගේ සෙනඟට බලපෑවේ කොහොමද කියලා දැන් අපි බලමු.—ගීතා. 97:11; හිතෝ. 4:18.

දහස් ගණනකගේ බලාපොරොත්තුව වෙනස් වූ හැටි

3-4. තමන්ට තියෙන බලාපොරොත්තුව ගැන 1935 සමුළුවේදී හුඟක් අය තේරුම්ගත්තේ මොකක්ද? ඒ ඇයි?

3 ඒ දේවල් පැහැදිලි කළාට පස්සේ සහෝදර රදෆර්ඩ් සමුළුවට ඇවිල්ලා හිටපු අයගෙන් ඇහුවා “මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය නැඟිටින්න පුළුවන්ද” කියලා. ඒ වෙලාවේ එතන හිටපු භාගෙකටත් වඩා, ඒ කියන්නේ 10,000කටත් වඩා වැඩිදෙනෙක් නැඟිට්ටා. එතකොට සහෝදර රදෆර්ඩ් කිව්වා “බලන්න මේ තමයි මහත් සමූහය” කියලා. ඒක ඇහුවාම එතන හිටිය හැමෝම හුඟක් සතුටු වුණා. ඒ නැඟිට්ට අය තේරුම්ගත්තා ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවියන් ඔහුගේ බලයෙන් එයාලව අභිෂේක කරලා නැහැ කියලා. ඊළඟ දවසේ බව්තීස්ම වුණ 840දෙනා අතරින් වැඩිදෙනෙක් අයිති වුණේ වෙනත් බැටළුවන්ට.

4 ඒ සමුළුවෙන් පස්සේ පළවෙනි ඡේදයේ කතා කරපු සහෝදරයා වගේම තව දහස් ගණනක් යේසුස්ගේ මරණය සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න එක නතර කළා. ඒ ගැන එක සහෝදරයෙක් නිහතමානීව මෙහෙම කියනවා. “1935න් පස්සේ මම යේසුස්ගේ මරණය සිහි කරද්දී රොටි සහ වයින් ගන්න එක නතර කළා. මම තේරුම්ගත්තා ස්වර්ගයේ ජීවත් වෙන්න යෙහෝවා දෙවියන් ඔහුගේ බලයෙන් මාව අභිෂේක කරලා නැහැ කියලා. දැන් මගේ බලාපොරොත්තුව පොළොවේ සදහටම ජීවත් වෙන්න. පොළොව පාරාදීසයක් කරද්දී ඒ වැඩවලට හවුල් වෙන්න මම හරිම ආසාවෙන් බලන් ඉන්නවා.” (රෝම 8:16, 17; 2 කොරි. 1:21, 22) එදා ඉඳන් මහත් සමූහයේ ගණන එන්න එන්නම වැඩි වෙනවා. ඒ අය පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයත් එක්ක එකතු වෙලා උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙනවා.

5. සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න එක නතර කරපු අය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

5 1935න් පස්සේ සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න එක නතර කරපු අය ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණේ කොහොමද? තමන් අභිෂේක ලත් කෙනෙක් නෙවෙයි කියලා නිහතමානීව තේරුම් අරන් සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න එක නතර කරන අපේ කාලේ සහෝදරයන් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? (1 කොරි. 11:28) එයාලා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් වෙනත් බැටළුවන් විදිහට යෙහෝවා දෙවියන් එයාලව අනිවාර්යයෙන්ම පිළිගනියි. එයාලා සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න එක නතර කළත් එයාලා අනිවාර්යයෙන්ම සිහි කිරීමට සහභාගි වෙනවා. මොකද යෙහෝවා දෙවියන් සහ යේසුස් එයාලා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන එයාලට තියෙන්නේ ලොකු අගයක්.

අගනා බලාපොරොත්තුවක්

6. යේසුස් දේවදූතයන්ට අණ කරලා තියෙන්නේ මොකක්ද?

6 මහත් පීඩාව ළඟ ළඟම එන නිසා අභිෂේක ලත් අය ගැනත් මහත් සමූහය ගැනත් එළිදරව් 7වෙනි පරිච්ඡේදයෙන් තව තොරතුරු හොයලා බලන එක අපිට ලොකු දිරිගැන්වීමක් වෙයි. අභිෂේක ලත් අයට යෙහෝවා දෙවියන්ගෙන් අවසාන මුද්‍රාව ලැබෙන කල් සතරදිග සුළං තදින් අල්ලගෙන ඉන්න කියලා දේවදූතයන්ට යේසුස් අණ කරලා තියෙනවා. (එළි. 7:1-4) අවසානය දක්වා විශ්වාසවන්තව ඉන්න අභිෂේක ලත් අයට ස්වර්ගයේදී යේසුත් එක්ක රජවරුන් සහ පූජකයන් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. (එළි. 20:6) ඒ දේ වෙන කල් යෙහෝවා දෙවියන්, යේසුස් සහ දේවදූතයන් බලන් ඉන්නේ හරිම ආසාවෙන්.

සුදු වස්ත්‍ර පැළඳගෙන තාල ගස්වල අතු අතේ තියාගෙන ඉන්න මහත් සමූහය යෙහෝවා දෙවියන්ගේ සිංහාසනය සහ බැටළු පැටවා වන යේසුස් ඉදිරියේ ඉන්නවා (7 ඡේදය බලන්න)

7. එළිදරව් 7:9, 10 අනුව යොහන් දර්ශනයකින් දැක්කේ කාවද? එයාලා කරමින් ඉන්නේ මොකක්ද? (කවරයේ පින්තූරය බලන්න.)

7 රජවරුන් සහ පූජකයන් විදිහට ඉන්න 1,44,000දෙනා ගැන කිව්වාට පස්සේ යොහන් තවත් කණ්ඩායමක් දකිනවා. ඒ තමයි හර්–මගෙදොන්වලින් බේරිලා එන “මහත් සමූහය.” අභිෂේක ලත් අයගේ ගණන සීමිත වුණත් මහත් සමූහයට ඇතුළත් වන අයගේ ගණනට සීමාවක් නැහැ. (එළිදරව් 7:9, 10 කියවන්න.) ඒ අය ‘සුදු වස්ත්‍ර පැළඳගෙන ඉන්නවා’ කියන එකෙන් අදහස් වෙන්නේ සාතන්ගේ දුෂ්ට සමාජයෙන් “කිලිටි නොවී” යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් එයාලා දිගටම කීකරුව ඉඳලා තියෙනවා කියන එකයි. (යාකො. 1:27) යෙහෝවා දෙවියන් සහ ඔහුගේ බැටළු පැටවා වන යේසුස් එයාලව ගලවගත්තා කියන එක ගැන එයාලා මහත් හඬින් ප්‍රශංසා කරනවා. තාල ගස්වල අතු එයාලගේ අත්වල තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවියන් පත් කළ රජු විදිහට යේසුස්ව එයාලා පිළිගන්නවා කියන එකයි.—යොහන් 12:12, 13.

8. ස්වර්ගයේ ඉන්න අය ගැන එළිදරව් 7:11, 12 පදවල කියන්නේ මොනවාද?

8 එළිදරව් 7:11, 12 කියවන්න. මහත් පීඩාවෙන් බේරිලා එන මහත් සමූහය යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා දකිද්දී ස්වර්ගයේ ඉන්න අයත් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන විදිහ, යොහන් දර්ශනයකින් දැක්කා. ඒ දේ ඇත්තටම සිද්ධ වෙද්දී යෙහෝවා දෙවියන්, යේසුස්, දේවදූතයන් සහ අභිෂේක ලත් අය මොන තරම් සතුටු වෙයිද!

9. එළිදරව් 7:13-15 අනුව මහත් සමූහය දැන් කරමින් ඉන්නේ මොනවාද?

9 එළිදරව් 7:13-15 කියවන්න. මහත් සමූහයේ අය “තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තිබෙන්නේ බැටළු පැටවාගේ රුධිරයෙනි” කියලා යොහන් කිව්වා. ඒකෙන් අදහස් වෙන්නේ නිදොස් හෘදය සාක්ෂියක් සහ දෙවියන්ගේ අනුමැතිය එයාලට තියෙනවා කියන එකයි. (යෙසා. 1:18) යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙලා ඉන්න එයාලට යේසුස්ගේ ජීවිත පූජාව ගැන ලොකු විශ්වාසයකුත් යෙහෝවා දෙවියන් එක්ක හොඳ බැඳීමකුත් තියෙනවා. (යොහ. 3:36; 1 පේතෘ. 3:21) ඒ නිසයි යෙහෝවා දෙවියන් අනාගතයේදී ‘දිවා රෑ දෙකේ ඔහුට පරිශුද්ධ සේවයක් පිරිනමන්න’ එයාලට අවස්ථාව දෙන්නේ. දැනටත් එයාලා දේවරාජ්‍යයට මුල් තැන දෙනවා. දේශනා සේවයෙත් යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන කාර්යයෙත් වැඩි කොටසක් ඉටු කරන්නේ එයාලයි.—මතෙ. 6:33; 24:14; 28:19, 20.

වෙනත් බැටළුවන්ට අයිති මහත් සමූහය මහත් පීඩාවෙන් බේරිලා සතුටින් එනවා (10 ඡේදය බලන්න)

10. මහත් සමූහයට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද? එයාලා ඉටු වෙනවා දකින්නේ මොන පොරොන්දුවද?

10 මහත් පීඩාවෙන් බේරිලා එන මහත් සමූහයේ අයව යෙහෝවා දෙවියන් රැකබලා ගන්නවා කියන එක ගැන එයාලට කිසිම සැකයක් නැහැ. මොකද ‘සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා ඔවුන්ව ආරක්ෂා කිරීමට තම කූඩාරම ඔවුන්ට ඉහළින් විහිදුවනවා.’ ඒ වගේම මේ පොරොන්දුව ඉටු වන විදිහත් එයාලා දකින්න යනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළි. 21:3, 4.

11-12. (අ) එළිදරව් 7:16, 17 අනුව මහත් සමූහය ඉදිරියේදී අද්දකින ආශීර්වාද මොනවාද? (ආ) සිහි කිරීමට සහභාගි වන වෙනත් බැටළුවන් කරන්නේ මොනවාද? ඒ ඇයි?

11 එළිදරව් 7:16, 17 කියවන්න. සමහර සහෝදර සහෝදරියන් යුද්ධ තියෙන ප්‍රදේශවල ජීවත් වෙන නිසාත් රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙන නිසාත් අවශ්‍ය කෑම බීම හොයාගන්න එක එයාලට අමාරු වෙලා තියෙනවා. තවත් සමහර අයට දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නිසා හිරේ යන්න වෙලා තියෙනවා. හැබැයි මේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වුණාට පස්සේ ඒ අයට ඇති තරම් කෑමත් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන දේවලුත් කිසිම අඩුවක් නැතුව තියෙයි කියන එක ගැන කිසිම සැකයක් නැහැ. මේ දුෂ්ට සමාජය යෙහෝවා දෙවියන් ඔහුගේ ‘දැවෙන රස්නයෙන්’ ඒ කියන්නේ ඔහුගේ උදහසින් සම්පූර්ණයෙන්ම විනාශ කරද්දී මහත් සමූහයේ අයට ඒකෙන් කිසිම හානියක් වෙන්න ඔහු ඉඩ තියන්නේ නැහැ. මහත් පීඩාව ඉවර වුණාට පස්සේ යේසුස් මහත් සමූහයේ අයව ‘ජීවන වතුර ඇති උල්පත්වලට ගෙනියනවා.’ පොළොවේ ජීවත් වෙලා තියෙන බිලියන ගාණක් මිනිසුන් අතරින් නොමැරී හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ මහත් පීඩාවෙන් බේරෙන ඒ අයට විතරයි.—යොහ. 11:26.

12 ඒ පුදුමාකාර බලාපොරොත්තුව ගැන වෙනත් බැටළුවන් යෙහෝවා දෙවියන්ටයි යේසුස්ටයි මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනද! ස්වර්ගයේ ජීවත් වෙන්න එයාලව තෝරගෙන නැහැ තමයි. හැබැයි අභිෂේක ලත් අය තරම්ම යෙහෝවා දෙවියන්ට එයාලවත් වටිනවා. යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් ප්‍රශංසා කරන්න ඒ දෙගොල්ලන්ටම හොඳ හේතු තියෙනවා. ඒක එයාලා කරන එක විදිහක් තමයි යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන එක.

සිහි කිරීමේදී මුළු හදවතින්ම ප්‍රශංසා කරන්න

සිහි කිරීමේදී රොටි සහ වයින් අතිනත යවද්දී සදාකල් ජීවිතය අපිට ලබා දෙන්න යේසුස් අපි වෙනුවෙන් මැරුණා කියලා අපිට මතක් වෙනවා (13-15 ඡේද බලන්න)

13-14. අභිෂේක ලත් අයත් වෙනත් බැටළුවනුත් සිහි කිරීමට සහභාගි වෙන්න ඕනෙ ඇයි?

13 පහුගිය අවුරුදු කිහිපය ඇතුළතදී සිහි කිරීමට සහභාගි වෙන අයගෙන් 1,000න් එකකටත් අඩුවෙන් තමයි රොටි සහ වයින් අරන් තියෙන්නේ. ලෝකේ පුරාම තියෙන ගොඩක් සභාවල අභිෂේක ලත් අය නැහැ. සිහි කිරීමට සහභාගි වෙන අයගෙන් වැඩිදෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ පොළොවේ ජීවත් වෙන්න. එහෙනම් එයාලා සිහි කිරීමට සහභාගි වෙන්නේ ඇයි? ඒක හරියට මේ වගේ. විවාහයක් සිද්ධ වෙන්නේ දෙන්නෙක් අතර වුණත් එයාලගේ යාළුවන් ගොඩක් දෙනෙක් ඒකට සහභාගි වෙනවා. ඒකෙන් එයාලගේ ආදරයත් සහයෝගයත් ඒ යුවළට එයාලා පෙන්නනවා. ඒ වගේ වෙනත් බැටළුවන් සිහි කිරීමට සහභාගි වෙන එකෙන් පෙන්නන්නේ යේසුස්ටත් අභිෂේක ලත් අයටත් එයාලා ආදරෙයි සහ එයාලගේ සම්පූර්ණ සහයෝගය දෙනවා කියන එකයි. ඒ වගේම යේසුස්ගේ ජීවිත පූජාව ගොඩක් අගේ කරනවා කියලත් එයාලා ඒකෙන් පෙන්නනවා. මොකද සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව එයාලට ලැබුණේ ඒ නිසයි.

14 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මුලින්ම පවත්වපු රාත්‍රියේ යේසුස් ඔහුගේ ගෝලයන්ට මේ වගේ ආඥාවක් දුන්නා. “මාව සිහි කිරීම සඳහා මේ දේ නොකඩවා කරන්න.” (1 කොරි. 11:23-26) වෙනත් බැටළුවන් සිහි කිරීමට සහභාගි වන එකෙන් පෙන්නන්නේ ඒ ආඥාවට එයාලා කීකරු වෙනවා කියන එකයි. අභිෂේක ලත් අය මේ පොළොවේ ජීවත් වෙලා ඉන්න කල් ඒ අය සිහි කිරීම දිගටම පවත්වනවා. ඒ වගේම උද්‍යෝගයෙන් අනිත් අයටත් ඒකට ආරාධනා කරනවා.

15. සිහි කිරීමේදී යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ට ප්‍රශංසා කරන්න ඔයාට පුළුවන් කොහොමද?

15 සිහි කිරීමේදී අනිත් අයත් එක්ක එකතු වෙලා ගීතිකා කියද්දී යාච්ඤා කරද්දී යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් ප්‍රශංසා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. “යෙහෝවා දෙවියන් සහ යේසුස් ක්‍රිස්තුස් අපි වෙනුවෙන් කරපු දේ අගය කරමු” කියන දේශනයට ඇහුම්කන් දෙද්දී යෙහෝවා දෙවියන් සහ යේසුස් ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි වෙයි. රොටි සහ වයින් අතිනත යවද්දී ඒකෙන් නියෝජනය වන දේ ගැන, ඒ කියන්නේ යේසුස් අපි වෙනුවෙන් පූජා කරපු ඔහුගේ ශරීරය සහ ඔහු වගුරවපු රුධිරය ගැන හිතන්න අපි පෙලඹෙනවා. අපිට සදාකාල ජීවිතය ලබා දෙන්න යෙහෝවා දෙවියන් තමන්ගේ ආදරණීය පුතාව අපි වෙනුවෙන් දීපු එක ගැන හිතද්දී ඔහු ගැන අපිට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා. (මතෙ. 20:28) යෙහෝවා දෙවියන්ටයි යේසුස්ටයි ආදරේ කරන හැමෝම යේසුස්ගේ මරණය සිහි කිරීමට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.

බලාපොරොත්තුව ගැන ස්තුති කරන්න

16. අභිෂේක ලත් අයයි වෙනත් බැටළුවනුයි සමාන වෙන්නේ මොන පැතිවලින්ද?

16 යෙහෝවා දෙවියන් අභිෂේක ලත් අයටත් වෙනත් බැටළුවන්ටත් එක වගේ ආදරෙයි. මොකද ඒ දෙගොල්ලන්වම ඔහු මිල දී ගත්තේ ඔහු වැඩියෙන්ම ආදරේ කරන පුතාගේ ජීවිතය දීලා. හැබැයි එයාලා අතර තියෙන එකම වෙනස තමයි එයාලට තියෙන බලාපොරොත්තුව. දෙවියන් එයාලට දෙන්න යන තෑග්ග ලබාගන්න නම් ඒ දෙගොල්ලන්ම යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් අවසානය දක්වාම විශ්වාසවන්තව ඉන්න ඕනේ. (ගීතා. 31:23) කෙනෙක් වෙනත් බැටළුවෙක් වුණත් අභිෂේක ලත් කෙනෙක් වුණත් ඒ කෙනාට අවශ්‍ය කරන බලය යෙහෝවා දෙවියන් නොඅඩුව ලබා දෙනවා.

17. පොළොවේ ඉන්න අභිෂේක ලත් අය බලන් ඉන්නේ මොකක් ඉටු වෙන කල්ද?

17 කිසිම කෙනෙක් උපතින්ම අභිෂේක ලත් කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ඒ බලාපොරොත්තුව කෙනෙක් තුළ ඇති කරන්නේ යෙහෝවා දෙවියන්. කෙනෙක්ට ඒ බලාපොරොත්තුව ලැබුණාට පස්සේ එයා ඒ ගැන යාච්ඤා කරනවා. ඒ ගැන කල්පනා කරනවා. ස්වර්ගයේදී එයාලට ලැබෙන ශරීරය මොන වගේද කියලා එයාලා තවම දන්නේ නැහැ. (ෆිලි. 3:20, 21; 1 යොහ. 3:2) හැබැයි ස්වර්ගයට ගිහිල්ලා යෙහෝවා දෙවියන්ව, යේසුස්ව, දේවදූතයන්ව සහ අනිත් අභිෂේක ලත් අයව දකින්නත් දේවරාජ්‍යයේ පාලනයට හවුල් වෙන්නත් එයාලා ඉන්නේ හරිම ආසාවෙන්.

18. වෙනත් බැටළුවන් බලන් ඉන්නේ මොකක් ඉටු වෙන කල්ද?

18 වෙනත් බැටළුවන්ට තියෙන්නේ පොළොවේ සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව. ඒ ආශාව උපතින්ම අපේ හිත්වල තියෙනවා. (දේශ. 3:11) මේ පොළොව පාරාදීසයක් වෙද්දී ඒ වැඩවලට හවුල් වෙන්නත් තමන්ටම ගෙයක් හදාගෙන, වත්තපිටිය වගා කරගෙන, දරුවන් එක්ක ලෙඩක් දුකක් නැතුව හැමදාම ජීවත් වෙන්න ඒ අය බලන් ඉන්නේ හරිම ආසාවෙන්. (යෙසා. 65:21-23) ඒ විතරක් නෙවෙයි පොළොව පුරා තියෙන කඳු, වනාන්තර, මුහුදු වගේ ලස්සන තැන් බලන්න යන්නත් යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන හැම දෙයක්ම අධ්‍යයනය කරන්නත් එයාලා ආසාවෙන් බලන් ඉන්නවා. ඒ හැම දේකටම වඩා එයාලා ඒ කාලය එන කල් ආසාවෙන් ඉන්නේ ඒ කාලයේදී යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගෙන ඔහුට තවත් ළං වෙන්න පුළුවන් වන නිසයි.

19. සිහි කිරීමේදී අපිට අවස්ථාව ලැබෙන්නේ මොනවා කරන්නද? මේ අවුරුද්දේ සිහි කිරීම පවත්වන්නේ කවදාද?

19 යෙහෝවා දෙවියන් අපි හැමෝටම ලබා දීලා තියෙන්නේ මොන තරම් පුදුමාකාර බලාපොරොත්තුවක්ද! (යෙරෙ. 29:11) යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙද්දී යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් ප්‍රශංසා කරන්න අපි හැමෝටම අවස්ථාව ලැබෙනවා. සිහි කිරීම කියන්නේ ක්‍රිස්තියානීන් විදිහට අපිට තියෙන වැදගත්ම රැස්වීමයි. ඒක පවත්වන්නේ 2021 මාර්තු 27වන සෙනසුරාදා හිරු බැස ගියාට පස්සෙයි. අපි අතර ඉන්න වැඩිදෙනෙක්ට ඒ විශේෂ රැස්වීමට සහභාගි වෙන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි සමහර අයට ඒකට සහභාගි වෙන්න වෙන්නේ විරුද්ධවාදිකම් මැද. හිරේ ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන් අභියෝග තිබුණත් ඒක පවත්වනවා. ඒ මොන තත්වයන් මැද වුණත් අපි සිහි කිරීම පවත්වද්දී යෙහෝවා දෙවියන්, යේසුස්, දේවදූතයන් සහ දැන් ස්වර්ගයේ ඉන්න අභිෂේක ලත් අය හරිම සතුටින් ඒ දිහා බලාගෙන ඉඳියි. ඔයාලා හැමෝටම සිහි කිරීම සතුටින් පවත්වන්න අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

^ 5 ඡේ. 2021 මාර්තු 27 කියන්නේ අපිට විශේෂ දවසක්. මොකද එදා තමයි අපි යේසුස්ගේ මරණය සිහි කරන්නේ. ඒකට හවුල් වෙන අයගෙන් වැඩි දෙනෙක් අයිති වෙන්නේ යේසුස් “වෙනත් බැටළුවන්” කියලා හඳුන්වපු කණ්ඩායමට. 1935දී ඒ අය ගැන තේරුම්ගත්තේ මොකක්ද? මහත් පීඩාවෙන් පස්සේ ඒ අයට ලැබෙන්නේ මොන වගේ ජීවිතයක්ද? සිහි කිරීමේදී යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් ප්‍රශංසා කරන්න එයාලට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ව හඳුන්වන්නේ වෙනත් බැටළුවන් විදිහට. මහත් පීඩාවෙන් බේරිලා පොළොවේ සදහටම ජීවත් වන වෙනත් බැටළුවන්ව හඳුන්වන්නේ මහත් සමූහය විදිහට.