Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 2

“යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයාගෙන්” අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්

“යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයාගෙන්” අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්

“අපි දිගටම එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය පැමිණෙන්නේ දෙවිගෙන්ය.”—1 යොහ. 4:7.

ගීතිකාව 105 “දෙවි ප්‍රේමයයි”

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන්ගේ ආදරය දැනෙද්දී ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

“දෙවි ප්‍රේමයයි” කියලා යොහන් ලිව්වා. (1 යොහ. 4:8) ඒකෙන් අපිට වටිනා සත්‍යයක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි ජීවිතේ උල්පත වන යෙහෝවා දෙවියන් ප්‍රේමයෙත් උල්පතයි කියන දේ. යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ දැනෙද්දී අපිට ලොකු සතුටක් රැකවරණයක් දැනෙනවා.

2. මතෙව් 22:37-40 සඳහන් උතුම් ආඥා දෙක මොකක්ද? දෙවෙනි ආඥාවට කීකරු වෙන්න අමාරු ඇයි?

2 අනිත් අයට ප්‍රේමය පෙන්නන එක අපි කැමති නම් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ආඥාවක්. (මතෙව් 22:37-40 කියවන්න.) අපි යෙහෝවා දෙවියන් ගැන ටිකෙන් ටික දැනගද්දී පළවෙනි ආඥාවට කීකරු වෙන එක අපිට අමාරු නැහැ. මොකද යෙහෝවා දෙවියන් පරිපූර්ණ කෙනෙක්. ඒ වගේම ඔහු අපිට ආදරෙන් කරුණාවෙන් සලකන නිසා ඔහුට ආදරේ කරන්න අපි හදවතින්ම පෙලඹෙනවා. හැබැයි අපේ සහෝදර සහෝදරියන් ඊට වඩා වෙනස්. ඒ අය පාපය උරුම කරගත්ත අය විදිහට අපි අකමැති දේවල් කරන්නත් අපේ හිත රිදවන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට දෙවෙනි ආඥාවට කීකරු වෙන එක අමාරුයි. යෙහෝවා දෙවියනුත් දන්නවා ඒක කරන එක අපිට ලේසි නැහැ කියලා. ඒ නිසා අපි අනිත් අයට ආදරේ කරන්න ඕනෙ ඇයි කියලත් ඒක කරන්නේ කොහොමද කියලත් බයිබලයට ඇතුළත් කරන්න දෙවියන් ඔහුගේ සමහර සේවකයන්ට මඟ පෙන්නුවා. ඒ අය අතරින් එක් කෙනෙක් තමයි යොහන්.—1 යොහ. 3:11, 12.

3. ප්‍රේමය ගැන යොහන් කාවැද්දුවේ මොකක්ද?

3 ප්‍රේමය පෙන්නන එක කොච්චර වැදගත්ද කියලා යොහන් කාවද්දලා තියෙනවා. අනිත් සුවිශේෂ පොත්වලට වඩා යොහන්ගේ සුවිශේෂයේ ‘ප්‍රේමය’ ගැන වැඩියෙන් කතා කරලා තියෙන එකෙන් ඒක පැහැදිලි වෙනවා. යොහන් පොතත් සභාවන්වලට ලියපු ලියුම් තුනත් ලියද්දී යොහන්ගේ වයස අවුරුදු 100ක් විතර වෙන්න ඇති. අපි කරන හැම දෙයක්ම ආදරෙන් පෙලඹිලා කරන්න ඕනෙ කියලා ඒ පොත්වල තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා. (1 යොහ. 4:10, 11) හැබැයි යොහන්ටත් ඒක ඉගෙනගන්න කාලයක් ගියා.

4. යොහන් හැම වෙලාවෙම අනිත් අයට ආදරේ පෙන්නපු කෙනෙක්ද?

4 යොහන් තරුණ කාලෙදී හැම වෙලාවෙම අනිත් අයට ආදරේ පෙන්නපු කෙනෙක් නෙමෙයි. උදාහරණෙකට එක අවස්ථාවක යේසුස් නියෝජිතයන් එක්ක දේශනා සේවය කරන්න සමාරියට ඇතුල් වුණාම එයාලව පිළිගන්න එහේ හිටිය අය කැමති වුණේ නැහැ. ඒ වෙලාවේ යොහන් යේසුස්ගෙන් ඇහුවා ස්වර්ගයෙන් ගින්නක් එවන්න කියලා ඉල්ලලා ඒ අයව විනාශ කරනවාට කැමතිද කියලා. (ලූක් 9:52-56) තවත් වෙලාවක එයායි එයාගේ සහෝදරයා වුණ යාකොබුයි අම්මාව යේසුස් ගාවට යවලා දේවරාජ්‍යයේ උසස් තනතුරු ලබාගන්න උත්සාහ කළා. ඒ ගැන අනිත් නියෝජිතයන් දැනගත්තාම ඒ අයට හුඟක් කේන්ති ගියා. (මතෙ. 20:20, 21, 24) යොහන්ගේ අතින් ඒ වගේ අඩුපාඩුකම් වුණත් යේසුස් දිගටම එයාට ආදරේ කළා.—යොහ. 21:7.

5. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

5 ප්‍රේමය ගැන යොහන් ලියපු සමහර දේවල් ගැනත් එයා අනිත් අයට ආදරේ පෙන්නුවේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු. අපේ සහෝදර සහෝදරියන්ට අපේ ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් පවුලේ මූලිකයන්ට එයාලගේ ආදරේ පවුලේ අයට පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් තේරුම්ගන්න ඒ දේවල් අපිට උදව් වෙයි.

ආදරය ක්‍රියාවෙන් පෙන්නන්න

ජීවිතය පූජා කරන්න තමන්ගේ පුත්‍රයාව පොළොවට එවලා යෙහෝවා දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියලා පෙන්නුවා (6 සහ 7 ඡේද බලන්න)

6. යෙහෝවා දෙවියන් අපිට තියෙන ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද?

6 සැබෑ ආදරේ හැඟීම්වලටවත් වචනවලටවත් සීමා වෙන්නේ නැහැ. ඒක අපේ ක්‍රියාවෙන් පැහැදිලිව පේන්න ඕනේ. (යාකොබ් 2:17, 26) උදාහරණෙකට යෙහෝවා දෙවියන්ගේ ආදරේ ගැන හිතන්න. (1 යොහ. 4:19) යෙහෝවා දෙවියන් අපිට කොච්චර ආදරේද කියලා බයිබලේ මාර්ගයෙන් ඔහු අපිට කියලා තියෙනවා. (ගීතා. 25:10; රෝම 8:38, 39) ඒ විතරක් නෙමෙයි ඔහු ඒ ආදරේ ක්‍රියාවෙනුත් පෙන්නලා තියෙනවා. ඒ ගැන යොහන් මෙහෙම කිව්වා. “දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ ඔහු තම එකම පුත්‍රයා මෙලොවට එවීම මාර්ගයෙනි. ඔහු එසේ කළේ අපට ඔහු මාර්ගයෙන් ජීවනය ලබාගැනීම සඳහාය.” (1 යොහ. 4:9) ඔව්, යෙහෝවා දෙවියන් ඔහුගේ වටිනාම දේ වන ඔහුගේ පුතාව අපි වෙනුවෙන් දීලා ඔහුගේ ආදරේ අපිට පෙන්නුවා. (යොහ. 3:16) යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරෙයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.

7. යේසුස් අපිට තියෙන ආදරේ පෙන්නුවේ කොහොමද?

7 යේසුස්ගේ හිතේ කොච්චර ලොකු ආදරයක් ගෝලයන් ගැන තියෙනවාද කියලා ඔහු ගෝලයන්ට කිව්වා. (යොහ. 13:1; 15:15) ඒ විතරක් නෙමෙයි ඒ ආදරේ ඔහු ක්‍රියාවෙනුත් පෙන්නුවා. යේසුස් එක අවස්ථාවක එයාගේ ගෝලයන් වෙනුවෙන් කරන්න යන දේ ගැන මෙහෙම කිව්වා. “කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ.” (යොහ. 15:13) යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට පෙන්නලා තියෙන ආදරේ ගැන හිතද්දී අපි පෙලඹෙන්න ඕනෙ මොනවා කරන්නද?

8. 1 යොහන් 3:18 අනුව අපි කරන්න ඕනෙ මොකක්ද?

8 අපි යෙහෝවා දෙවියන්ටයි යේසුස්ටයි ආදරෙයි නම් ඔවුන්ට කීකරු වෙනවා. (යොහ. 14:15; 1 යොහ. 5:3) අපි එකිනෙකාට ප්‍රේම කරන්න ඕනෙ කියන පැහැදිලි ආඥාව යේසුස් අපිට දීලා තියෙනවා. (යොහ. 13:34, 35) ඒ ආඥාවට කීකරු වෙන්න නම් සහෝදර සහෝදරියන්ට ආදරෙයි කියලා කිව්වාට විතරක් මදි, ඒක අපි ක්‍රියාවෙනුත් පෙන්නන්න ඕනේ. (1 යොහන් 3:18 කියවන්න.) ඒක අපිට කරන්න පුළුවන් මොන විදිවලින්ද?

සහෝදර සහෝදරියන්ට ආදරේ පෙන්නන්න

9. ආදරේ නිසා යොහන් කරන්න පෙලඹුණේ මොනවාද?

9 යොහන්ට ඕනෙ නම් තිබුණා තාත්තාත් එක්ක ධීවර ව්‍යාපාරය දිගටම කරගෙන ගිහින් හොඳට සල්ලි හම්බ කරන්න. ඒ වෙනුවට ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවියන් ගැනත් යේසුස් ගැනත් මිනිසුන්ට උගන්වන්න එයා තීරණය කළා. හැබැයි ඒක ලේසි වුණාද? නැහැ. උදාහරණෙකට මුල් සියවස අගභාගයේ මහලු වයසේ හිටපු යොහන්ට සේවයේදී ගොඩක් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එයාව පැට්මොස් දූපතට පිටුවහල් කළා. (ක්‍රියා 3:1; 4:1-3; 5:18; එළි. 1:9) හිරේ ඉද්දීත් එයාට අනිත් අය ගැන තිබුණු ආදරය අඩු වුණේ නැහැ. උදාහරණෙකට පැට්මොස් දූපතේ ඉද්දී යෙහෝවා දෙවියන් දර්ශන මාර්ගයෙන් පෙන්නපු දේවල් එයා එළිදරව් පොතේ වාර්තා කළා. “තව කෙටි කලකින් සිදු වීමට නියමිත දේවල්” ලිපි මාර්ගයෙන් එයා සභාවලට දැනුම් දුන්නා. (එළි. 1:1) පේන විදිහට යේසුස්ගේ ජීවිතේ සිදුවීම් ඇතුළත් යොහන්ගේ සුවිශේෂය එයා ලියලා තියෙන්නේ හිරෙන් නිදහස් වුණාට පස්සේ. ඒ විතරක් නෙමෙයි සහෝදරයන්ව දිරිගන්වන්න එයා ලිපි තුනකුත් ලිව්වා. ඒ වගේ ආදරයක් පෙන්නපු යොහන්ව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?

10. අනිත් අයට ඔයා ආදරේ කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

10 ඔයා ජීවිතේ ගත කරන්න තීරණය කරන විදිහෙන් ඔයා අනිත් අයට ආදරෙයිද නැද්ද කියලා පෙන්නන්න පුළුවන්. මොකද සාතන්ගේ යටතේ තියෙන ලෝකයත් අපිව දිරිගන්වන්නේ අපි ගැනම හිතලා සල්ලි හම්බ කරලා අපිටම නමක් හදාගන්න කියලා. හැබැයි ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සේවකයන් දේශනා කරන්නත් යෙහෝවා දෙවියන්ට ළං වෙන්න මිනිසුන්ට උදව් කරන්නත් එයාලට පුළුවන් උපරිමය කරනවා. එයාලගෙන් සමහර අය ඒ සේවය පූර්ණකාලීනව කරන්න තීරණය කරලා තියෙනවා.

සහෝදර සහෝදරියන්ටත් අපේ පවුලේ අයටත් අපි කොච්චර ආදරෙයිද කියලා අපි කරන දේවලින් පෙන්නන්න පුළුවන් (11 සහ 17 ඡේද බලන්න) *

11. යෙහෝවා දෙවියන් ගැනත් සහෝදර සහෝදරියන් ගැනත් තියෙන ආදරය හුඟක් ක්‍රිස්තියානීන් පෙන්නලා තියෙන්නේ කොහොමද?

11 අපේ සහෝදර සහෝදරියන්ගෙන් හුඟදෙනෙක්ට පවුලට අවශ්‍ය දේවල් සපයන්න රස්සාවල් කරන්න වෙලා තියෙනවා. හැබැයි එයාලා එයාලගේ උපරිමයෙන් සංවිධානයේ වැඩවලට උදව් කරනවා. උදාහරණෙකට සමහර අය සහන සේවා වැඩවලටත් ඉදි කිරීම් වැඩවලටත් හවුල් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම් කරන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඒ දේවල් එයාලා කරන්නේ යෙහෝවා දෙවියන්ටත් අනිත් අයටත් තියෙන ආදරේ නිසයි. ඒ වගේම අපි හැම සතියකම රැස්වීම්වලට සහභාගි වෙන එකෙනුත් ඔප්පු වෙනවා අපි ඇත්තටම දෙවියන්ටත් සහෝදරයන්ටත් ආදරෙයි කියලා. ඒ කොහොමද? මහන්සියක් දැනුණත් අත් හරින්නේ නැතුව අපි රැස්වීම් යනවා. අපේ හිතට බයක් දැනුණත් රැස්වීම්වලදී අපි අදහස් දක්වනවා. අපි හැමෝම ප්‍රශ්නවලට මුහුණ දුන්නත් රැස්වීම්වලට කලිනුත් රැස්වීම්වලින් පස්සෙත් අපි අනිත් අයව දිරිගන්වනවා. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ වගේ ආදරයක් පෙන්නන අපේ සහෝදර සහෝදරියන්ව අපි කොච්චර අගේ කරන්න ඕනෙද?

12. යොහන් සහෝදර සහෝදරියන්ට ආදරේ පෙන්නුවේ තව මොන විදිවලින්ද?

12 යොහන් සහෝදර සහෝදරියන්ට තිබුණු ආදරේ නිසා එයාලව අගේ කළා. ඒ වගේම එයාලට අවශ්‍ය උපදෙසුත් දුන්නා. උදාහරණෙකට එයා ලියපු ලිපිවල එයාලගේ විශ්වාසය ගැනත් එයාලා කරපු හොඳ දේවල් ගැනත් එයා අගේ කළා. ඒ වගේම පාපයට වැටෙන්නේ නැති වෙන්න අවශ්‍ය උපදෙසුත් එයාලට ලබා දුන්නා. (1 යොහ. 1:8–2:1, 13, 14) ඒ වගේ අපිත් අපේ සහෝදර සහෝදරියන්ගේ හොඳ දේවල් අගය කරන්න ඕනේ. හැබැයි යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීමට හානි වෙන්න පුළුවන් දෙයක් ගැන කෙනෙක් හිතනවා කියලා හරි කරනවා කියලා හරි අපිට දැනුණොත් අපි එයාව ආදරෙන් නිවැරදි කරන්න ඕනේ. යාළුවෙක්ට උපදෙස් දෙන එක ලේසි නැහැ. හැබැයි බයිබලේ කියන්නේ යකඩින් යකඩ මුවහත් වෙනවා වගේ හොඳ යාළුවෙක් අවශ්‍ය වෙලාවලදී උපදෙස් දෙනවා කියලයි.—හිතෝ. 27:17.

13. අපි වළකින්න ඕනෙ මොනවා කරන එකෙන්ද?

13 සහෝදරයන් කියන දේවල් නිසා ඉක්මනින් අමනාප නොවී ඉන්න එකෙනුත් පෙන්නන්නේ අපි එයාලට ආදරෙයි කියලා. උදාහරණයක් බලන්න. දවසක් යේසුස් කිව්වා කෙනෙක්ට සදාකාල ජීවනය ලබන්න ඕනෙ නම් ඔහුගේ ශරීරය කන්නත් රුධිරය බොන්නත් ඕනෙ කියලා. (යොහ. 6:53-57) යේසුස් කියපු දේ හරියට තේරුම්ගත්තේ නැති නිසා හුඟක් ගෝලයන් යේසුස්ව දාලා ගියා. හැබැයි යොහන් වගේ යේසුස්ගේ ඇත්ත යාළුවන් ඔහුව දාලා ගියේ නැහැ. එයාලටත් යේසුස් කියපු දේ හරියටම තේරුණේ නැහැ. හැබැයි එයාලා යේසුස්ව විශ්වාස කළා. මොකද එයාලා දැනන් හිටියා යේසුස් හැම වෙලාවෙම කතා කරන්නේ සත්‍යය කියලා. (යොහ. 6:60, 66-69) අපිත් අපේ යාළුවන් කියන දේවල් නිසා ඉක්මනින් හිතේ අමනාපයක් ඇති කර නොගෙන ඉන්න එක කොච්චර වැදගත්ද කියලා ඒකෙන් පැහැදිලියි. අමනාපයක් ඇති කරගන්නවා වෙනුවට අපිට පුළුවන් එයාලා කියපු දේ පැහැදිලි කරන්න එයාලට ඉඩ දෙන්න.—හිතෝ. 18:13; දේශ. 7:9.

14. සහෝදරයන් ගැන වෛරයක් අපේ හිතේ ඇති කරගන්න හොඳ නැත්තේ ඇයි?

14 සහෝදරයන් ගැන වෛරයක් අපේ හිතේ ඇති කරගන්න එපා කියලා යොහන් කිව්වා. මොකද අපි එහෙම කළොත් සභාවේ බෙදීම් ඇති කරන්න අපිව පාවිච්චි කරන්න අපි සාතන්ට ඉඩ දෙනවා. (1 යොහ. 2:11; 3:15) මුල් සියවසේදීත් සහෝදරයන් අතර වෛරයක් ඇති කරලා සභාවේ බෙදීම් ඇති කරන්න සාතන් උත්සාහ කළා. සභාවන්වල හිටපු සමහර අයව ඒ දේ කරන්න සාතන් පාවිච්චි කළා. සභාවේ මුල් තැන ලබාගන්න කැමැත්තෙන් හිටපු දියොත්‍රෙෆස් ඒ අයගෙන් කෙනෙක්. එයා පාලක මණ්ඩලයෙන් එවපු සහෝදරයන්ට ගෞරව කළේ නැහැ. ඒ සහෝදරයන්ව ආදරෙන් පිළිගත්ත අයව සභාවෙන් අයින් කරන්නත් එයා උත්සාහ කළා. එයා වැඩ කළේ කොච්චර උඩඟු විදිහටද කියලා පැහැදිලියි නේද? (3 යොහ. 9, 10) දෙවියන්ගේ සේවකයන් අතර බෙදීම් ඇති කරන්න සාතන් එයාට පුළුවන් හැම දේම අදත් කරනවා. ඒ නිසා සහෝදරයන් ගැන වෛරයක් අපේ හිතේ ඇති වෙන්න අපි කවදාවත් ඉඩ දෙන්න හොඳ නැහැ.

පවුලේ අයට ආදරේ පෙන්නන්න

දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න උදව් කරලා ආදරෙන් මරියාව රැකබලා ගන්න කියලා යේසුස් යොහන්ට කිව්වා. පවුලේ අයගේ අනෙකුත් අවශ්‍යතා වගේම දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න උදව් කරන එකත් පවුලේ මූලිකයන්ගේ වගකීමයි (15 සහ 16 ඡේද බලන්න)

15. පවුලේ මූලිකයන් මතක තියාගන්න ඕනෙ මොකක්ද?

15 පවුලේ මූලිකයන්ගේ වගකීම පවුලේ අයට අවශ්‍ය කෑම බීම, ඉඳුම්හිටුම් ලබා දෙන එක. (1 තිමෝ. 5:8) හැබැයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පවුලේ අයට උදව් කරන එකයි. (මතෙ. 5:3) ඒක තේරුම්ගන්න යේසුස්ගේ ආදර්ශය බලන්න. යේසුස් වධකණුවේ ඇණ ගහලා ඉද්දීත් ඔහුගේ පවුලේ අය ගැන හිතුවා. යේසුස් දැක්කා ඔහුගේ අම්මා වුණු මරියා යොහන් ගාව හිටගෙන ඉන්නවා. යේසුස් යොහන්ට කිව්වා මරියාව බලාගන්න කියලා. (යොහ. 19:26, 27) ඒ ඇයි? යේසුස් දැනන් හිටියා අම්මාට ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් සපයන්න ඔහුගේ මල්ලිලාට, නංගිලාට පුළුවන් කියලා. ඒත් ඒ වෙද්දී එයාලා යේසුස්ගේ අනුගාමිකයන් වෙලා හිටියේ නැති නිසා මරියාට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන්න උදව් කරන්න ඒ අයට බැහැ කියලා යේසුස් තේරුම්ගත්තා. ඒ නිසයි ඔහු අම්මාව යොහන්ට භාර දුන්නේ.

16. යොහන්ට තිබුණු වගකීම් මොනවාද?

16 යොහන්ට ඉටු කරන්න ගොඩක් වගකීම් තිබුණා. නියෝජිතයෙක් විදිහට දේශනා සේවයේ පෙරමුණ අරන් වැඩ කරන්න එයාට සිද්ධ වුණා. සමහරවිට එයා විවාහක කෙනෙක් වෙන්න ඇති. එහෙම වුණා නම් පවුලේ අයගේ අවශ්‍යතා සපයන්නත් ඒ අයට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන්න උදව් කරන්නත් එයාට සිද්ධ වෙන්න ඇති. (1 කොරි. 9:5) අද ඉන්න පවුලේ මූලිකයන්ට යොහන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

17. පවුලේ මූලිකයෙක්ට තියෙන ප්‍රධාන වගකීම මොකක්ද?

17 අද ඉන්න පවුලේ මූලිකයන්ටත් හුඟක් බැරෑරුම් වගකීම් තියෙනවා වෙන්න පුළුවන්. උදාහරණෙකට වැඩපොළේදී එයාලා හුඟක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. මොකද එයාලා දන්නවා ඒකෙන් යෙහෝවා දෙවියන්ට ගෞරවයක් ලැබෙනවා කියලා. (එෆී. 6:5, 6; තීත. 2:9, 10) ඒ විතරක් නෙමෙයි සභාවෙත් එයාලට ගොඩක් වගකීම් ඇති. සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න, සේවයේ පෙරමුණ අරන් වැඩ කරන්න එයාලට සිද්ධ වෙනවා ඇති. ඒ මොන වගකීම් තිබුණත් පවුලේ මූලිකයන් බිරිඳ එක්කයි දරුවන් එක්කයි නිතිපතා බයිබලය අධ්‍යයනය කරන එක හරිම වැදගත්. පවුලේ මූලිකයෙක් ඒ හැම වගකීමක්ම හොඳින් ඉටු කරද්දී පවුලේ අය ඒක ගොඩක් අගය කරනවා කියලා කිසිම සැකයක් නැහැ.—එෆී. 5:28, 29; 6:4.

යෙහෝවා දෙවියන්ගෙත් යේසුස්ගෙත් ආදරය දිගටම ලබන්න

18. යොහන්ට කිසිම සැකයක් තිබුණේ නැත්තේ මොකක් ගැනද?

18 යොහන් අවුරුදු ගාණක් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කළා. ඒ කාලය අතරතුරේදී එයාට ගොඩක් ප්‍රශ්නවලටත් අභියෝගවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි සහෝදරයන්ට දිගටම ආදරය කරන්න කියන ආඥාවටත් යේසුස් දීපු අනිත් ආඥාවලටත් එයා පුළුවන් උපරිමයෙන් කීකරු වුණා. ඒ නිසා යෙහෝවා දෙවියනුත්, යේසුත් එයාට ගොඩක් ආදරෙයි කියලත් ඕනෙම ප්‍රශ්නෙකට හොඳින් මුහුණ දෙන්න එයාට උදව් කරනවා කියලත් එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. (යොහ. 14:15-17; 15:10; 1 යොහ. 4:16) යොහන් සහෝදර සහෝදරියන්ට ආදරේ කරන එක නතර කරන්න සාතන්ටවත්, දුෂ්ට සමාජයටවත් පුළුවන් වුණේ නැහැ.

19. 1 යොහන් 4:7 අපිව දිරිගන්වන්නේ මොනවා කරන්නද? ඒ ඇයි?

19 යොහන් වගේම අපි ජීවත් වෙන්නෙත් සාතන්ගේ යටතේ තියෙන වෛරයෙන් පිරුණු සමාජයක. (1 යොහ. 3:1, 10) සාතන්ට ඕනෙ සහෝදර සහෝදරියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ නැති කරලා දාන්න. හැබැයි සාතන්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි ඒකට ඉඩ දුන්නොත් විතරයි. අපේ සහෝදර සහෝදරියන්ට දිගටම ආදරේ කරන්නත් ඒ ආදරය වචනවලට සීමා කරන්නේ නැතුව ක්‍රියාවෙන් පෙන්නන්නත් අධිෂ්ඨාන කරගමු. අපි එහෙම කරනවා නම් සහෝදර සහෝදරියන් එක්ක ආදරෙන් බැඳිලා දිගටම සතුටින් ඉන්න අපිට පුළුවන් වෙයි.—1 යොහන් 4:7 කියවන්න.

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

^ 5 ඡේ. “යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයා” විදිහට හැඳින්නුවේ යොහන්ව කියලා හිතන්න පුළුවන්. (යොහ. 21:7) ඒ එයාට තිබුණු ලස්සන ගතිගුණ නිසා වෙන්න ඇති. පස්සේ කාලෙක ආදරේ ගැන ගොඩක් දේවල් ලියන්න යෙහෝවා දෙවියන් එයාව පාවිච්චි කළා. එයා ලියපු සමහර දේවල් ගැනත් එයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: පවුලේ මූලිකයෙක් සහන සේවා වැඩවලට උදව් කරනවා, ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම් කරනවා, පවුලේ නමස්කාරයට සභාවේ තව කිහිපදෙනෙක්ව එකතු කරගන්නවා.