Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 4

දිගටම ගැඹුරු සෙනෙහසක් පෙන්නන්න

දිගටම ගැඹුරු සෙනෙහසක් පෙන්නන්න

“ඔබේ සහෝදර ප්‍රේමයට සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න.”—රෝම 12:10.

ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

මේ ලිපියෙන් *

1. පවුලේ අය අතරේ තියෙන සෙනෙහස අඩු වෙලා කියලා අද පේන්න තියෙන්නේ කොහොමද?

අන්තිම කාලේ ජීවත් වෙන මිනිස්සු “තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක්” පෙන්නන්නේ නැහැ කියලා බයිබලේ කියනවා. (2 තිමෝ. 3:1, 3) අද අපිට ඒක පැහැදිලිව දකින්න පුළුවන්. උදාහරණෙකට පවුල් මිලියන ගාණක් දික්කසාදය නිසා වෙන් වෙලා. ඒ දෙමාපියන් ඉන්නේ ලොකු කේන්තියකින් නිසා එයාලගේ දරුවන්ට ඕන කරන සෙනෙහස ලැබෙන්නේ නැහැ. තවත් පවුල් එකම වහලක් යට ජීවත් වුණත් එයාලා හරියට බෝඩිංකාරයෝ වගේ. පවුල් උපදේශකයෙක් කියපු මේ දෙයින් ඒක තවත් පැහැදිලි වෙනවා. “ගෙදර ඉන්න වෙලාවටත් එයාලා ඉන්නේ කොම්පියුටර් එකේ, ටැබ් එකේ, ෆෝන් එකේ නැත්නම් වීඩියෝ ගේම් එකක එල්ලිලා. එකම ගෙදර හිටියත් එයාලා ජීවත් වෙන්නේ එකිනෙකාව අඳුනන්නේ නැති ගාණට.”

2-3. (අ) රෝම 12:10 අනුව අපි සෙනෙහස පෙන්නන්න ඕනෙ කාටද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 අපි ජීවත් වෙන්නේ කාටවත් ආදරයක් පෙන්නන්නේ නැති ලෝකෙක. (රෝම 12:2) ඊට වෙනස්ව අපිට ඕනෙ අපේ පවුලේ අයටත් අපේ සහෝදරයන්ටත් ගැඹුරු සෙනෙහසක් පෙන්නන්න. (රෝම 12:10 කියවන්න.) ගැඹුරු සෙනෙහසක් කියන යෙදුමෙන් අදහස් වෙන්නේ පවුලේ අය අතරේ තියෙන කිට්ටු බැඳීමයි. ඒ වගේ ආදරයක් තමයි අපි අපේ සහෝදර සහෝදරියන්ටත් පෙන්නන්න ඕනේ. අපි එහෙම කරද්දී එකමුතුව, සතුටින් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපිට පුළුවන් වෙනවා.—මීකා 2:12.

3 ඒ වගේ ආදරයක් සහෝදරයන්ට පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවා දෙවියන්ගෙනුත් ඔහුගේ සේවකයන් කීපදෙනෙක්ගෙනුත් ඒ ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැන් අපි බලමු.

“ගැඹුරු ස්නේහයක්” පෙන්නන දෙවි කෙනෙක්

4. යෙහෝවා දෙවියන්ගේ ආදරේ කොයි තරම්ද කියලා තේරුම්ගන්න යාකොබ් 5:11 උදව් වෙන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවියන්ට තියෙන ලස්සන ගුණාංග ගැන බයිබලේ විස්තර කරලා තියෙනවා. උදාහරණෙකට “දෙවි ප්‍රේමයයි” කියලා බයිබලේ සඳහන් වෙනවා. (1 යොහ. 4:8) ඒ දේ දැනගද්දී මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ළං වෙන්න අපි පෙලඹෙනවා. හැබැයි බයිබලේ එතනින් නතර වෙන්නේ නැහැ. යෙහෝවා දෙවියන්ව “ගැඹුරු ස්නේහයක්” ඇති කෙනෙක් විදිහටත් බයිබලේ විස්තර කරලා තියෙනවා. (යාකොබ් 5:11 කියවන්න.) යෙහෝවා දෙවියන්ට අපි ගැන තියෙන ආදරේ කොයි තරම්ද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

5. යෙහෝවා දෙවියන් දයාව පෙන්නන්නේ කොහොමද? අපිට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

5 යාකොබ් 5:11 කියන්නේ යෙහෝවා දෙවියන් ගැඹුරු ස්නේහයක් වගේම දයාවත් පෙන්නනවා කියලයි. (නික්. 34:6) ඒ නිසා අපි ඔහුට තවත් ළං වෙනවා. යෙහෝවා දෙවියන් අපිට දයාව පෙන්නන එක විදිහක් තමයි අපිට සමාව දෙන එක. (ගීතා. 51:1) දයාව පෙන්නනවා කියද්දී සමාව දෙනවා කියන එකට වඩා වැඩි දෙයක් ඒකෙන් අදහස් වෙනවා. ප්‍රශ්නයක් නිසා පීඩා විඳින කෙනෙක්ව දැක්කාම එයාට උදව් කරන්න ඇතුළාන්තයෙන්ම පෙලඹෙනවා කියන අදහසත් ඒකට ඇතුළත්. අපිට උදව් කරන්න කොයි තරම් ආසාවක් තියෙනවාද කියලා පැහැදිලි කරන්න යෙහෝවා දෙවියන් කිව්වේ අම්මා කෙනෙක්ට දරුවෙක්ට උදව් කරන්න ඇති වෙන ඇතුළාන්ත හැඟීමට වඩා ගැඹුරු හැඟීමක් ඔහුට අපි ගැන ඇති වෙනවා කියලයි. (යෙසා. 49:15) ඒ කියන්නේ අපි ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී අපිට උදව් කරන්න දයාවෙන් පිරුණු යෙහෝවා දෙවියන් තුළ ඇතුළාන්තයෙන්ම පෙලඹීමක් ඇති වෙනවා කියන එකයි. (ගීතා. 37:39; 1 කොරි. 10:13) සහෝදරයෙක් අපිට විරුද්ධව වරදක් කළාම කේන්තියක් හිතේ තියන් ඉන්නේ නැතුව එයාට සමාව දීලා දයාව පෙන්නන්න අපිට පුළුවන්. (එෆී. 4:32) ඒක පෙන්නන්න පුළුවන් තවත් හොඳම විදිහක් තමයි සහෝදරයන් ප්‍රශ්නවලට මුහුණ දෙද්දී ඇතුළාන්තයෙන්ම පෙලඹිලා එයාලට උදව් කරන එක. අපි ඒ දේවල් කරද්දී දයාව පෙන්නන එක සම්බන්ධයෙන් හොඳම ආදර්ශය වන යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන්.—එෆී. 5:1.

‘යොනාතාන්ගේ හිත දාවිත් වෙත ඇදී ගියා’

6. යොනාතාන් සහ දාවිත් එකිනෙකාට ගැඹුරු සෙනෙහස පෙන්නුවේ කොහොමද?

6 පව්කාරකම උරුම කරගෙන තිබුණත් එකිනෙකාට සෙනෙහස පෙන්නපු අය ගැන බයිබලේ සඳහන් වෙනවා. උදාහරණෙකට යොනාතාන් සහ දාවිත් ගැන හිතන්න. බයිබලේ ඒ ගැන කියන්නේ “යොනාතාන්ගේ සිත දාවිත් වෙත ඇදී ගියේය. එදා පටන් ඔහු තම පණට මෙන් දාවිත්ට ආදරේ කිරීමට පටන්ගත්තේය” කියලා. (1 සාමු. 18:1) ඊළඟ රජු විදිහට දාවිත්ව යෙහෝවා දෙවියන් තෝරගත්තාම සාවුල් රජ දාවිත්ට ඊර්ෂ්‍යා කළා. එයාව මරන්නත් හැදුවා. හැබැයි යොනාතාන් ඒ දේ කරන්න කවදාවත් තාත්තාට සහාය වුණේ නැහැ. ඒ වෙනුවට යොනාතාන් සහ දාවිත් එයාලගේ මිත්‍රත්වය දිගටම තියාගන්නවා කියලත් එකිනෙකාට උදව් කරගන්නවා කියලත් පොරොන්දු වුණා.—1 සාමු. 20:42.

ලොකු වයස් පරතරයක් තිබුණත් යොනාතාන් සහ දාවිත් කිට්ටු යාළුවන් වුණා (6-9 ඡේද බලන්න)

7. යොනාතාන් සහ දාවිත්ට කිට්ටු මිතුරන් වෙන්න බාධා වෙන්න ඉඩ තිබුණේ මොන දේද?

7 යොනාතාන් සහ දාවිත්ට කිට්ටු මිතුරන් වෙන්න බාධා වෙන්න තිබුණු දේවල් ගැන හිතද්දී ඒ දෙන්නාගේ යාළුකම කොච්චර විශේෂ එකක්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. මොකද යොනාතාන් දාවිත්ට වඩා අවුරුදු 30ක් වැඩිමල්. ඕනෙ නම් එයාට තිබුණා මෙහෙම හිතන්න. “දාවිත් වගේ වයසින් බාල, අද්දැකීම් අඩු කෙනෙක්ව මං මොකටද ආශ්‍රය කරන්නේ?” හැබැයි යොනාතාන් දාවිත් ගැන කවදාවත් එහෙම හිතුවේ නැහැ.

8. යොනාතාන් දාවිත්ට හොඳ යාළුවෙක් වුණා කියලා කියන්න පුළුවන් ඇයි?

8 ඕනෙ නම් යොනාතාන්ට තිබුණා දාවිත්ට ඊර්ෂ්‍යා කරන්න. එයා සාවුල් රජුගේ පුතා නිසා ඊළඟට රජ වෙන්න ඕනෙ එයායි කියලා යොනාතාන් කවදාවත් හිතුවේ නැහැ. (1 සාමු. 20:31) එයා නිහතමානී, යෙහෝවා දෙවියන්ට පක්ෂපාත කෙනෙක්. ඊළඟ රජ විදිහට යෙහෝවා දෙවියන් දාවිත්ව තෝරගත්තාම එයා දාවිත්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. යොනාතාන්ව මරන්න තරම් කේන්තියක් සාවුල්ට ඇති වෙලා තියෙනවා කියලා දැනගෙනත් එයා දිගටම එයාගේ යාළුවාට සහයෝගය දුන්නා.—1 සාමු. 20:32-34.

9. යොනාතාන් දාවිත් ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?

9 යොනාතාන්ට දාවිත් ගැන තිබුණු ගැඹුරු සෙනෙහස නිසා එයා කවදාවත් දාවිත් එක්ක තරඟකාරිත්වයක් ඇති කරගත්තේ නැහැ. යොනාතාන් කියන්නේ යුද්ධයට දක්ෂ, නිර්භීත රණශූරයෙක්. එයා ගැනත් එයාගේ තාත්තා ගැනත් මිනිස්සු කිව්වේ “රාජාලීන්ටත් වඩා වේගයෙන් ගමන් කළ ඔවුහු සිංහයන්ටත් වඩා බලවත් වුණෝය” කියලයි. (2 සාමු. 1:22, 23) ඕනෙ නම් එයාට තිබුණා එයා කරපු දේවල් ගැන මහා ඉහළින් කතා කරන්න. හැබැයි එයා කවදාවත් දාවිත්ට වඩා තමන් දක්ෂයි කියලා ඔප්පු කරන්න උත්සාහ කළේ නැහැ. දාවිත්ට ඊර්ෂ්‍යා කළෙත් නැහැ. ඒ වෙනුවට දාවිත්ට තිබුණු නිර්භීතකම ගැනත් යෙහෝවා දෙවියන් මත රඳලා වැඩ කරපු එක ගැනත් එයා අගය කළා. දාවිත් ගොලියත්ව මරපු වෙලාවේ දාවිත් ගැන ඊර්ෂ්‍යා කරනවා වෙනුවට එයා ගැන ලොකු ආදරයක් යොනාතාන්ට ඇති වුණා. යොනාතාන් දාවිත්ට පෙන්නුවා වගේ සෙනෙහසක් අපිටත් අපේ සහෝදර සහෝදරියන්ට පෙන්නන්න පුළුවන් කොහොමද?

ගැඹුරු සෙනෙහසක් පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

10. “හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම” කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

10 “ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි” කියලා බයිබලේ කියනවා. (1 පේතෘ. 1:22) ඒ ගැන අපිට හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. අපි ඔහුට විශ්වාසවන්තව ඉන්න කල් කිසිම කෙනෙකුටවත් කිසිම දෙයකටවත් ඔහුගේ ආදරෙන් අපිව වෙන් කරන්න බැහැ. (රෝම 8:38, 39) “හද පත්ලෙන්ම” කියලා කියන්න පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් වෙන්නේ “ලොකු වෑයමක් දරන්න ඕනෙ” කියන එකයි. ඒ කියන්නේ සහෝදරයන්ට ආදරේ කරන්න අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනේ. මොකද සහෝදරයන් අපේ හිත රිදෙන දෙයක් කළාම ඒක කරන එක අපිට ලේසි නැහැ. ඒ නිසා බයිබලේ අපිට මෙහෙම දිරිගන්වනවා. “එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින් සිටිය යුතුයි. එලෙසම දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත් මහත් වෑයමක් දැරිය යුතුයි.” (එෆී. 4:1-3) සහෝදරයන් අතරේ තියෙන සාමය රැකගන්න අපි උත්සාහ කරනවා නම් අපි එයාලගේ අඩුපාඩු දිහා බලන්න පෙලඹෙන්නේ නැහැ. යෙහෝවා දෙවියන් බලන විදිහට එයාලා දිහා බලන්න අපි උපරිමයෙන් වෑයම් කරනවා.—1 සාමු. 16:7; ගීතා. 130:3.

පාවුල් කිව්වා යුවෝදියාට සහ සින්ටිකීට එකිනෙකාව යාළුවන් විදිහට සලකන්න කියලා. සහෝදර සහෝදරියන්ව යාළුවන් විදිහට සලකන එක සමහර වෙලාවට අපිටත් අභියෝගයක් වෙන්න පුළුවන් (11 ඡේදය බලන්න)

11. සමහර වෙලාවට ගැඹුරු සෙනෙහසක් පෙන්නන එක අමාරු ඇයි?

11 සහෝදර සහෝදරියන්ට හැම වෙලාවෙම ගැඹුරු සෙනෙහසක් පෙන්නන එක අපිට ලේසි නැහැ. විශේෂයෙන්ම එයාලගේ අඩුපාඩු අපි දකිද්දී ඒක කරන එක අපිට අමාරුයි. මුල් සියවසේ හිටපු සමහර අයටත් ඒක අභියෝගයක් වෙලා තිබුණා. උදාහරණෙකට යුවෝදියා සහ සින්ටිකී පාවුල් එක්ක එකමුතුව දේශනා සේවය කළා. එයාලා ගැන පාවුල් කිව්වේ “ඔවුහු මා සමඟ උරෙන් උර ගැටී ශුභාරංචිය වෙනුවෙන් නිරතුරුවම වෙහෙස මහන්සි වී වැඩ” කළා කියලයි. හැබැයි ඒ දෙන්නාට පෑහිලා වැඩ කරන්න බැරි වුණා. ඒ නිසයි පාවුල් එයාලට උනන්දු කළේ “ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස එකඟතාවකින්” ඉන්න කියලා.—ෆිලි. 4:2, 3.

තරුණ සහ වයසින් වැඩි වැඩිමහල්ලන්ට කිට්ටු මිතුරන් වෙන්න පුළුවන් (12 ඡේදය බලන්න)

12. සහෝදර සහෝදරියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අපිට පුළුවන් කොහොමද?

12 අපේ සහෝදර සහෝදරියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අපිට පුළුවන් කොහොමද? එයාලව හොඳින් දැන හඳුන ගන්න අපි කාලය ගන්නවා නම් එයාලව හොඳින් තේරුම්ගන්නත් එයාලත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ දේ කරන්න එයාලගේ වයසවත් පසුබිමවත් බාධාවක් කරගන්න එපා. මතකනේ, යොනාතානුයි දාවිතුයි අතර අවුරුදු 30ක වයස් පරතරයක් තිබුණා. එහෙම වුණත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න එයාලට පුළුවන් වුණා. සභාවේ ඉන්න ඔයාට වඩා වැඩිමල් කෙනෙක්ව හරි බාල කෙනෙක්ව හරි ඔයාගේ යාළුවෙක් කරගන්න ඔයා කැමතිද? එහෙම කරනවා නම් සහෝදරයන් හැමෝටම ඔයා ආදරේ කරනවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන්. “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න. ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න. දෙවිට ගරුබිය දක්වන්න. රජුටද ගෞරව කරන්න.”—1 පේතෘ. 2:17.

12 ඡේදය බලන්න *

13. සභාවේ සමහර අය ගැන අපිට වැඩිපුර ආදරයක් ඇති වෙන්නේ ඇයි?

13 ගැඹුරු සෙනෙහසක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ සභාවේ ඉන්න හැමෝම එක්ක එක හා සමානව මිත්‍රත්වයක් ඇති වෙනවා කියන එකද? එහෙම වෙන එකක් නැහැ. මොකද එකම විදිහට හිතන, එකම දේවලට ආස කරන අය එකිනෙකාට වැඩිපුර ළං වෙන එක සාමාන්‍යයි. යේසුස් ඔහුගේ නියෝජිතයන් හැමෝවම “මිත්‍රයන්” විදිහට සැලකුවත් යොහන් ගැන විශේෂ ආදරයක් යේසුස්ගේ හිතේ තිබුණා. (යොහ. 13:23; 15:15; 20:2) හැබැයි යේසුස් කොයි වෙලාවේවත් යොහන්ට විශේෂ සැලකිල්ලක් පෙන්නුවේ නැහැ. උදාහරණෙකට යොහනුයි එයාගේ සහෝදරයායි දේවරාජ්‍යයේ විශේෂ තනතුරු ඉල්ලුවාම ඔහු කිව්වේ “මගේ දකුණු පැත්තේ හෝ වම් පැත්තේ හෝ ඉඳගන්න ලැබීමේ වරප්‍රසාදය ලබා දෙන්නේ කාටද කියා තීරණය කරන්න මට අයිතියක් නැහැ” කියලයි. (මාක් 10:35-40) යේසුස් වගේ අපිත් අපේ කිට්ටු යාළුවන්ට කවදාවත් විශේෂ සැලකිල්ලක් පෙන්නන්නේ නැතුව ඉමු. (යාකො. 2:3, 4) මොකද අපි එහෙම කළොත් සභාවේ එක්සත්කමට ඒක බාධාවක්.—යූද් 17-19.

14. සහෝදරයන් එක්ක තරඟකාරිත්වයක් ඇති කරගන්නේ නැතුව ඉන්න ෆිලිප්පි 2:3 උදව් වෙන්නේ කොහොමද?

14 අපිට අනිත් අය ගැන ගැඹුරු සෙනෙහසක් තියෙනවා නම් සභාව තුළ තරඟකාරිත්වයක් ඇති වෙන විදිහේ කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. මතකනේ, යොනාතාන්ටත් දාවිත් එක්ක කිසිම තරඟයක් තිබුණේ නැහැ. දාවිත් ගැන එයාගේ හිතේ ඊර්ෂ්‍යාවක් තිබුණේවත් රජකම උදුරගන්න උත්සාහ කළේවත් නැහැ. ඒ වගේ අපිටත් පුළුවන් සහෝදරයන්ට තියෙන හැකියාවන් ගැන ඊර්ෂ්‍යා කරනවා වෙනුවට ‘නිහතමානීව එයාලා මට වඩා උතුම් කියලා හිතන්න.’ (ෆිලිප්පි 2:3 කියවන්න.) සභාවේ හැමෝම සභාව වෙනුවෙන් වැදගත් කාර්යයක් කරනවා කියලා මතක තියාගන්න. අපි දිගටම නිහතමානීව ඉන්නවා නම් අපේ සහෝදර සහෝදරියන්ගේ හොඳ ගතිගුණ දකින්නත් එයාලගෙන් වටිනා පාඩම් ඉගෙනගන්නත් අපිට පුළුවන් වෙනවා.—1 කොරි. 12:21-25.

15. ටානියාගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 අපි බලාපොරොත්තු නොවුණු දේවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන් අපිට ආදරෙන් සලකන්න සහෝදරයන්ව පොලඹවලා අපිව සනසනවා. උදාහරණෙකට 2019 ‘ප්‍රේමය සදාතනිකයි’ කියන තේමාවෙන් පවත්වපු ජාත්‍යන්තර සමුළුවට සහභාගි වුණු සහෝදරි ටානියාගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. ‘සෙනසුරාදා සමුළු වැඩසටහන ඉවර වෙලා මායි මගේ දරුවෝ තුන්දෙනායි හෝටලේට යන ගමන් ඉද්දී වේගෙන් ආපු වාහනයක් අපේ වාහනේ හැප්පුණා. ඉතින් අපි වාහනෙන් එළියට බැහැලා පාරේ අයිනේ හිටගෙන හිටියා. අපෙන් කාටවත් අනතුරක් වෙලා තිබුණේ නැති වුණාට අපි හොඳටම බය වෙලයි හිටියේ. ඒ වෙලාවේ අපි දැක්කා කෙනෙක් එයාගේ වාහනේ නතර කරලා ඒකට එන්න කියලා අපිට අත වනනවා. එයා අපේ සමුළුවට ඇවිත් හිටිය සහෝදරයෙක්. වෙන රටකින් සමුළුවට ඇවිල්ලා හිටපු සහෝදර සහෝදරියන් පස්දෙනෙකුත් අපිව දැකලා එයාලගේ වාහන නතර කළා. ඒ සහෝදරියන් මාවයි මගේ දුවවයි ආදරෙන් බදාගත්තා. ඒ වෙලාවේ අපිට ඕනෙ කරලා තිබුණෙත් ඒකම තමයි. මං එයාලට ස්තුති කරලා එයාලට යන්න කියලා කිව්වත් ඇම්බියුලන්ස් එක ඇවිත් ඉතිරි වැඩ ටික ඉවර වෙන කල්ම එයාලා හෙල්ලුණේවත් නැහැ. ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ගේ ආදරේ අපිට තදින්ම දැනුණා. ඒ සිද්ධියෙන් පස්සේ අපිට යෙහෝවා දෙවියන් ගැනත් සහෝදර සහෝදරියන් ගැනත් තියෙන ආදරේ තවත් වැඩි වුණා.’ උදව් ඕනම කරපු වෙලාවක සහෝදරයන් ඔයාට උදව් කරපු අවස්ථාවක් ඔයාටත් මතක් වෙනවාද?

16. අපි අනිත් අයට ගැඹුරු සෙනෙහසක් පෙන්නන්න ඕනෙ ඇයි?

16 ගැඹුරු සෙනෙහසක් අපි අනිත් අයට පෙන්නද්දී ඒකෙන් කොච්චර හොඳ ප්‍රතිඵල ලැබෙනවාද කියලා හිතන්න. ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී සහෝදරයන්ව සනසන්න අපිට පුළුවන් වෙනවා. දෙවියන්ගේ සෙනඟ අතරේ තියෙන එකමුතුකමට දායක වෙන්නත් පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි එහෙම කරද්දී අපි යේසුස්ගේ සැබෑ ගෝලයන් කියලා අනිත් අය දකිනවා. එතකොට එයාලත් සත්‍ය මාර්ගයට එන්න පෙලඹෙයි. හැබැයි ඒ හැම දේකටම වඩා වටින්නේ අපි එහෙම කරද්දී “මහත් දයාවක් පෙන්වන පියාණන්” සහ “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාව ඒකෙන් ගෞරවයට පත් වෙන එකයි. (2 කොරි. 1:3) ඒ නිසා දිගටම එකිනෙකාට ගැඹුරු සෙනෙහසක් පෙන්නන්න අපි අදිටන් කරගමු.

ගීතිකාව 130 සමාව දෙන්න

^ 5 ඡේ. ඔයාලා අතරේ ආදරේ තියෙනවා නම් ඔයාලා මගේ ගෝලයන් කියලා අනිත් අය දැනගනියි කියලා යේසුස් කිව්වා. අපි හැමෝම උත්සාහ කරන්නේ ඒ දේ කරන්න. අපේම පවුලේ අයට අපි ආදරේ කරනවා වගේ අපේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්නත් අපි ඉගෙනගන්න ඕනේ. ඒ දේ තවත් හොඳින් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

^ 55 ඡේ. පින්තූරයේ අදහස: මහලු වයසේ ඉන්න වැඩිමහල්ලෙක්ගේ අද්දැකීම්වලින් ප්‍රයෝජන ගත්ත තරුණ වැඩිමහල්ලෙක් වැඩිමහල්ලන්ගේ රැස්වීමකදී කතා කරනවා. මහලු සහෝදරයා තරුණ වැඩිමහල්ලාවයි එයාගේ බිරිඳවයි එයාගේ ගෙදරට ආදරෙන් පිළිගන්නවා.