Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

අපි කවදාවත් යෙහෝවා දෙවියන්ට බැහැ කිව්වේ නැහැ

අපි කවදාවත් යෙහෝවා දෙවියන්ට බැහැ කිව්වේ නැහැ

දරුණු සුළි කුණාටුවකට පස්සේ ගඟේ වතුර හොඳටම කැලතිලයි තිබුණේ. ජල පහර කොයි තරම් සැරට ගැලුවාද කියනවා නම් ලොකු ගලුත් වතුරට ගහගෙන ගියා. අපිට ඕන වුණේ කොහොමහරි ගඟෙන් එහා පැත්තට යන්න. ඒත් පාලම කැඩිලා බිඳිලා ගිහින් තිබුණා. මගේ මහත්තයා හාර්වියි මමයි අපි එක්ක හිටපු අමිස් භාෂා පරිවර්තකයායි කිසි දෙයක් කරකියාගන්න බැරුව බයෙන් වගේ බලන් හිටියා. ගඟෙන් එහා පැත්තේ හිටපු සහෝදරයනුත් බයෙන් අපි දිහා බලන් ඉද්දී අපි ගඟ හරහා යන්න පටන්ගත්තා. අපි මුලින්ම අපි හිටපු කාර් එක ලොකු ට්‍රක් එකක් ඇතුළට දැම්මා. ඒත් කාර් එක ගැටගහගන්න අපිට ලණුවත් දම්වැල්වත් තිබුණේ නැහැ. කොහොමවුණත් ට්‍රක් එක ටිකෙන් ටික ගඟ හරහා ඉස්සරහාට ගියා. මට නම් දැනුණේ යනවා යනවා ඉවරයක් නැහැ වගේ. අනිත් පැත්තට යන කල්ම අපි හිටියේ යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරකර. කොහොමහරි අපි ගඟෙන් එගොඩ වුණා. ඒ සිද්ධිය වුණේ 1971 තායිවානයේ නැඟෙනහිර මුහුදු තීරයට වෙන්න තිබුණු තැනක. මං ඔයාලට අපේ කතාව කියන්නම්.

අපි යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න පටන්ගත්ත විදිහ

හාර්විගේ පවුලේ අයට සත්‍යය ලැබුණේ 1930 ගණන්වල. ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය කඩන් වැටිලයි තිබුණේ. එයාලා හිටියේ බටහිර ඕස්ට්‍රේලියාවේ ඒ කාලේ මිඩ්ලන්ඩ් ජන්ක්ෂන් කියලා හැඳින්නුව ටවුන් එකේ. සහෝදරයන් හතරදෙනෙක් හිටපු පවුලේ හාර්වි තමයි වැඩිමලා. හාර්විට යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති වෙලා එයා වයස 14දී බව්තීස්ම වුණා. එයාට දුන්න ඕනම පැවරුමක් බැහැ කියන්නේ නැතුව කරන්න එයා ඉගෙනගත්තා. දවසක් එයාට ‘මුරටැඹ’ පාඩම කියවන්න කියලා කිව්වාම එයාට බය හිතිලා එයා බැහැ කියලා. ඒත් ඒ සහෝදරයා හාර්විට කියලා තියෙනවා “යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් යම් පැවරුමක් ඔයාට භාර දෙන්නේ ඔයාට ඒ පැවරුම කරන්න සුදුසුකම් තියෙනවා කියලා එයාලා විශ්වාස කරන නිසයි” කියලා.—2 කොරි. 3:5.

මං සත්‍යය ඉගෙනගත්තේ එංගලන්තයේදියි. අම්මායි ලොකු අක්කායි මාත් එක්කම සත්‍යය ඉගෙනගත්තා. තාත්තාත් පස්සේ සත්‍යයට ආවා. මුලින් නම් එයා සත්‍යයට විරුද්ධයි. තාත්තා අකමැති වුණත් මම වයස 9දී බව්තීස්ම වුණා. මට ඕන වුණේ පුරෝගාමි සේවය කරලා පස්සේ මිෂනාරි සේවය කරන්නයි. ඒත් මට 21ක් වෙන කල් පුරෝගාමි සේවය කරන්න දෙන්නේ නැහැ කියලා තාත්තා කියලා තිබුණා. එච්චර කාලයක් බලන් ඉන්න මං ආස වුණේ නැහැ. ඉතිං මං වයස 16දී තීරණය කළා ඕස්ට්‍රේලියාවේ හිටපු මගේ ලොකු අක්කා ළඟට යන්න. තාත්තාත් ඒකට කැමති වුණා. අන්තිමේදී මං වයස 18දී පුරෝගාමි සේවය පටන්ගත්තා.

1951දී, අපි විවාහ වුණු දවස

ඕස්ට්‍රේලියාවෙදී තමයි මට හාර්විව හම්බ වුණේ. අපි දෙන්නාටම ඕන වුණේ මිෂනාරි සේවය කරන්න. අපි 1951දී විවාහ වුණා. අවුරුදු දෙකක් පුරෝගාමි සේවය කළාට පස්සේ අපිට පැවරුමක් ලැබුණා චාරිකා සේවයේ යන්න. අපේ චාරිකාවට අයිති වුණේ බටහිර ඕස්ට්‍රේලියාවේ ලොකු ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ තිබුණු සභාවලට යද්දී අපිට නිතරම වගේ වියළි, පාළු පැති හරහා හුඟක් දුර වාහනය එළවගෙන යන්න වුණා.

අපේ හීනෙ හැබෑ වුණා

1955දී, යැංකි ක්‍රීඩාංගණයේ අපිට ගිලියද් උපාධිය ලැබුණු දවස

1954දී අපිට ආරාධනාවක් ලැබුණා 25වෙනි ගිලියද් පාසැලට යන්න. අපිට දැනුණේ ලොකු සතුටක්. මිෂනාරි සේවය කරන්න අපිට තිබුණු හීනෙ හැබෑ වෙන්නයි යන්නේ! අපි නිව් යොර්ක්වලට ආවේ නැවෙන්. එහෙට ඇවිත් මාස ගාණක් අපි බයිබලය ගැඹුරින් අධ්‍යයනය කළා. ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගන්න එකත් අපේ පාඨමාලාවේ කොටසක්. ඒත් හාර්විට ඒ භාෂාව ඉගෙනගන්න අමාරු වුණා. මොකද ඒ භාෂාවේ ‘ර’ ශබ්දය හරියට ශබ්ද කරන්න හාර්විට බැරි වුණා.

දවසක් උපදේශකයන් අපිට කිව්වා ජපානයේ සේවය කරන්න කැමති අයට ජපන් භාෂාව උගන්වන පන්තියට ඇතුළත් වෙන්න කියලා. ඒත් අපි හිතුවා අපේ පැවරුම අපිම තෝරගන්නවාට වඩා සංවිධානයෙන් අපිට යන්න කියන තැනට යන එක හොඳයි කියලා. ටික දවසකට පස්සේ අපේ උපදේශකයෙක් වුණු සහෝදර ඇල්බට් ෂ්‍රෝඩර්ට දැනගන්න ලැබිලා තියෙනවා අපි අපේ නම් ඇතුළත් කරලා නැහැ කියලා. ඉතින් එයා අපිට කිව්වා “ඒ ගැන තව ටිකක් හිතලා බලන්න” කියලා. අපි ටිකක් ඒකට අදිමදි කළාම සහෝදර ෂ්‍රෝඩර් කිව්වා “මමයි, අනිත් උපදේශකයනුයි දැනටමත් ඔයාලගේ නම් ඇතුළත් කරලයි තියෙන්නේ. ඒ නිසා ඒ භාෂාව ඉගෙනගන්න උත්සාහ කරන්න” කියලා. හාර්වි ඒ භාෂාව නම් ඉක්මනටම අල්ලගත්තා.

අපි ජපානයට ආවේ 1955දියි. එතකොට හාර්විට 26යි, මට 24යි. ඒ කාලේ එහෙ හිටියේ ප්‍රචාරකයන් 500ක් විතරයි. අපිට පැවරුම ලැබුණේ වරාය නගරයක් වන කෝබෙවල. අපි එහෙ අවුරුදු හතරක් විතර සේවය කළා. ආයෙත් චාරිකා සේවය කරන්න පැවරුමක් ලැබුණාම අපිට ලොකු සතුටක් දැනුණා. අපිට චාරිකා සේවය කරන්න තිබුණේ නගොයා නගරය කිට්ටුව. අපි ඒ පැවරුම කළේ ගොඩක් ආසාවෙන්. එහෙ හිටපු සහෝදරයන්ට, එහෙ තිබුණු කෑම බීමවලට, වටපිටාවට අපි ගොඩක් ආස වුණා. ඒත් වැඩි දවසක් යන්න කලින් අපිට තවත් පැවරුමක් ලැබුණා. අපි ඒකත් බැහැ කියන්නේ නැතුව භාරගත්තා.

අභියෝගවලින් පිරුණු පැවරුමක්

1957 ජපානයේ කෝබෙ නගරයේදී මායි, හාර්වියි තවත් මිෂනාරිවරුන් කිහිපදෙනෙක් එක්ක

අවුරුදු තුනක් චාරිකා සේවය කළාට පස්සේ ජපානයේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් අපෙන් ඇහුවා තායිවානයට ගිහින් අමිස් කියන ආදිවාසීන් ඉන්න ප්‍රදේශයේ සේවය කරන්න කැමතිද කියලා. එහෙ හිටපු සමහර සහෝදරයන් සත්‍යයට විරුද්ධව කැරලිගහන්න පටන් අරන් තිබුණා. ඒ ප්‍රශ්නය විසඳන්න සහෝදරයන්ට ඕන වුණා ජපන් භාෂාව හොඳට දන්න සහෝදරයෙක්ව එහෙට යවන්න. * අපි ජපානයේ අපේ පැවරුම කළේ හරිම සතුටින්. ඒ නිසා ඒ තීරණය ගන්න එක ලේසි වුණේ නැහැ. ඒත් කවදාවත් ලැබුණු පැවරුමකට බැහැ කිව්වේ නැති නිසා හාර්වි ඒ පැවරුමත් භාරගත්තා.

අපි තායිවානයට ආවේ 1962දියි. ඒ කාලේ එහෙ ප්‍රචාරකයන් 2,271දෙනෙක් හිටියා. එයාලගෙන් වැඩිදෙනෙක් අමිස් ආදිවාසීන්. මුලින්ම අපිට සිද්ධ වුණා චීන භාෂාව ඉගෙනගන්න. අපිට තිබුණේ ඒ භාෂාව උගන්වපු පොඩි පොතක් විතරයි. අපිට උගන්වන්න හිටපු කෙනාට ඉංග්‍රීසිත් බැහැ. ඒත් අපි කොහොමහරි ඒ භාෂාව ඉගෙනගත්තා.

තායිවානයට ආපු ගමන්ම වගේ හාර්විට පැවරුමක් ලැබුණා එහෙ ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක විදිහට සේවය කරන්න. ඒක හුඟක් පොඩි ශාඛා කාර්යාලයක්. ඒ නිසා එහෙ සේවය කරන ගමන්ම අමිස් සහෝදරයන් එක්ක වැඩිපුර සේවයක් කරන්නත් අපිට පුළුවන් වුණා. කොහොමහරි මාසෙකට සති 3ක් විතර එයාලා එක්ක සේවය කරන්න අපිට පුළුවන් වුණා. හාර්විට කාලෙන් කාලෙට දිස්ත්‍රික් සේවක විදිහටත් සේවය කරන්න වුණා. ඒකට සමුළුවල දේශන දෙන එකත් ඇතුළත්. අමිස් සහෝදරයන්ට හොඳට ජපන් භාෂාව තේරුණ නිසා හාර්විට ඕන නම් තිබුණා ජපන් භාෂාවෙන් ඒ දේශන දෙන්න. ඒත් තායිවානයේ ආණ්ඩුවෙන් නීතියක් දාලා තිබුණා ආගමික රැස්වීම් චීන භාෂාවෙන් පවත්වන්න ඕනෙ කියලා. ඉතිං හාර්වි අමාරුවෙන් වුණත් චීන භාෂාවෙන් ඒ දේශන දුන්නා. වෙන සහෝදරයෙක් ඒවා අමිස් භාෂාවට පරිවර්තනය කළා.

ඒ කාලේ තායිවානයේ ක්‍රියාත්මක වුණේ හමුදා නීතිය. ඒ නිසා සමුළු පවත්වන්න රජයෙන් අවසර ගන්න ඕන වුණා. ඒත් ඒක ලේසි දෙයක් නෙවෙයි. අවසර පත්‍රය දෙන එක පොලීසිය ගොඩක් වෙලාවට පරක්කු කළා. එයාලා සමුළුව තියෙන සතිය වෙන කල්ම අවසරය දුන්නේ නැත්නම් හාර්වි කරන්නේ එයාලා ඒ අවසර පත්‍රය දෙන කල් පොලීසියට වෙලා ඉඳගෙන ඉන්න එක. විදේශිකයෙක් පොලීසියේ ඉඳගෙන ඉන්න එක පොලීසියට ලැජ්ජාවක් නිසා එයාලා ඉක්මනට හාර්විට ඒ අවසර පත්‍රය දෙනවා.

කන්දක් නැග්ග මුල්ම අවස්ථාව

සේවයේ යන ගමන් ගඟක් හරහා යමින්

සහෝදරයන් එක්ක සේවය කරපු සතිවල අපිට සිද්ධ වුණා සමහර වෙලාවට පැයකටත් වඩා වැඩියෙන් ඇවිදින්න, කඳු නඟින්න, ගඟවල් හරහා යන්න. මට මතකයි මං කන්දක් නැග්ග මුල්ම අවස්ථාව. එදා අපි ඉක්මනටම උදේ කෑම අරන් පාන්දර 5:30 විතර වෙද්දී ඈත ගමකට යන්න බස් එකක් අල්ලගත්තා. ගමට ගියාට පස්සේ අපි ගඟක් හරහා ගිහින් ලොකු කන්දක් නැග්ගා. ඒ කන්ද නඟින්න කොච්චර අමාරු වුණාද කියනවා නම් අපි ඒක නැග්ගේ හරියට ඉණිමඟක් නඟිනවා වගේ.

එදා උදේ හාර්වි සේවය කළේ ඒ පැත්තේ හිටපු සහෝදරයන් කීපදෙනෙක් එක්ක. ඔය අතරේ මං ජපන් භාෂාව කතා කරන මිනිස්සු ඉන්න පොඩි ගමක දේශනා කළා. දවල් 1ට විතර මට කලන්තෙ ගතියක් දැනුණා. මොකද මං පැය ගාණක්ම කිසිම දෙයක් කාලා තිබුණේ නැහැ. අන්තිමට මට හාර්විව හම්බ වුණු වෙලාවේ එයාත් එක්ක කවුරුත් හිටියේ නැහැ. හාර්වි එයා ළඟ තිබුණු සඟරා කීපයක් දීලා බිත්තර තුනක් අරගෙන තිබුණා. එයා ඒකෙන් එකක් අරගෙන උඩින් ටිකක් හිල් කරලා ඒක උරලා බිව්වා. ඒ විදිහට බොන්න කියලා එයා මටත් එකක් දුන්නා. මට පොඩි අප්පිරියාවක් දැනුණත් මං ඒක කොහොමහරි බිව්වා. හාර්වි තුන්වෙනි බිත්තරෙත් මටම දුන්නා. හාර්වි හිටියෙත් මහන්සියෙන් නිසා හදිස්සියේවත් මට කලන්තෙ දැම්මොත් එයාට මාව උස්සන් කන්දෙන් පහළට යන්න බැරි වෙයි කියලා හිතුණ නිසයි හාර්වි ඒක මටම දුන්නේ.

අමතක නොවන නෑමක්

එක චාරිකා සමුළුවකදී මම අමුතුම අද්දැකීමකට මුහුණ දුන්නා. අපි නැවතිලා හිටියේ නමස්කාර මධ්‍යස්ථානය ළඟ තිබුණු සහෝදරයෙක්ගේ ගෙදරක. අමිස් අය නාන එක සැලකුවේ ගොඩක් වැදගත් දෙයක් විදිහට. දවසක් චාරිකා සේවකගේ නෝනා අපිට නාන්න ලෑස්ති කරලා දුන්නා. හාර්විට ගොඩක් වැඩ තිබුණු නිසා එයා කිව්වා මට ගිහින් නාන්න කියලා. එතන සීතල වතුර භාජනයකුයි, උණු වතුර භාජනයකුයි, හිස් භාජනයකුයි තිබුණා. චාරිකා සේවකගේ නෝනා මට නාන්න ලෑස්ති කරලා තිබුණු තැන කෙළින්ම නමස්කාර මධ්‍යස්ථානයට පේනවා. ඒ වෙලාවේ සමුළුවේ වැඩවලට සහෝදරයන් හුඟදෙනෙක් නමස්කාර මධ්‍යස්ථානයට ඇවිත් හිටියා. කට්ටිය ඉස්සරහා නාන්න ලැජ්ජා හිතුණු නිසා මං චාරිකා සේවකගේ නෝනාගෙන් පොඩි කර්ටන් එකක් ඉල්ලුවා. ඒත් එයා මට දුන්නේ විනිවිද පේන ප්ලාස්ටික් ෂීට් එකක්. පස්සේ මං හිතුවා ගේ පිටිපස්සට ගිහිල්ලා නානවා කියලා. ඒත් එතන හුඟක් පාත්තයෝ හිටියා. උන් ළඟට ගියොත් උන් මට කොටයි කියලා මං බය වුණා. ඉතිං මං හිතුවා ‘සහෝදරයන්ට ගොඩක් වැඩ තියෙනවානේ. එයාලට මාව පේන එකක් නෑ. අනික මං නෑවේ නැත්නම් සහෝදරයෝ වැරදියට හිතයි. ඒ නිසා එතනම ඔන්න ඔහෙ නානවා’ කියලා.

අමිස් අයගේ ජාතික ඇඳුමෙන් සැරසී

අමිස් භාෂාවෙන් ප්‍රකාශන

අමිස් සහෝදරයන් හුඟදෙනෙකුට ලියන්න, කියවන්න බැහැ. අනික ඒ භාෂාවෙන් පොත් පත් තිබුණෙත් නැහැ. ඒක හුඟක් සහෝදරයන්ට සත්‍යයේ දියුණු වෙන්න බාධාවක් වෙලා තිබුණා කියලා හාර්විට තේරුණා. ඒ කාලේ රෝම අක්ෂර යොදාගෙන අමිස් භාෂාව ලියන්න පටන් අරන් තිබුණු නිසා සහෝදරයන්ට ඒ භාෂාව ලියන්න, කියවන්න උගන්වන එක හොඳයි කියලා පැහැදිලි වුණා. ඒක ගොඩක් ලොකු වැඩක්. ඒත් සහෝදරයන් කොහොමහරි ඒ භාෂාව ඉගෙනගෙන තනියෙන් අධ්‍යයනය කරන්න පුරුදු වුණා. 1960 ගණන්වල අගභාගයේදී මුල්ම වතාවට ඒ භාෂාවෙන් අපේ ප්‍රකාශන නිකුත් කළා. 1968 ඉඳන් ‘මුරටැඹ’ සඟරාවත් ප්‍රකාශයට පත් කළා.

ඒත් ආණ්ඩුවෙන් චීන හැර අනිත් භාෂාවලින් ප්‍රකාශන නිකුත් කරන එකට සීමාවන් දැම්මා. ඒ නිසා අමිස් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ ‘මුරටැඹ’ සඟරාව විවිධ ක්‍රමවලින් ප්‍රකාශයට පත් කරන්න පටන්ගත්තා. උදාහරණෙකට අවුරුදු එකහමාරක් විතර ‘මුරටැඹ’ කලාපයේ ලිපි මැන්ඩරින් සහ අමිස් කියන භාෂා දෙකෙන්ම පළ වුණා. කවුරු හරි ප්‍රශ්න කළොත් අපි කිව්වා අමිස් අයට චීන භාෂාව උගන්වන්න ඒක පාවිච්චි කරනවා කියලා. හැබැයි දැන් නම් අමිස් අයට සත්‍යය දැනගන්න උදව් වෙන හුඟක් ප්‍රකාශන සංවිධානයෙන් නිකුත් කරලා තියෙනවා.—ක්‍රියා 10:34, 35.

පවිත්‍ර කිරීමේ කාලයක්

1960ත් 1980ත් අතර කාලයේදී හුඟක් අමිස් සහෝදරයන් බයිබලයේ තිබුණු ප්‍රතිපත්ති හරියට තේරුම් අරන් හිටියේ නැහැ. ඒ නිසා සමහරු අනාචාර ජීවිත ගත කළා. තවත් අය වෙරි වෙන කල් බිව්වා. දුම්කොළ පාවිච්චි කළා. බුලත්විට කෑවා. හාර්වි හුඟක් සභාවලට ගිහින් ඒ කාරණා දිහා යෙහෝවා දෙවියන් බලන විදිහ තේරුම්ගන්න සහෝදරයන්ට උදව් කළා. ඒ වගේ ගිය එක අවස්ථාවක තමයි මේ ලිපියේ මුලින් කියපු සිද්ධියට අපිට මුහුණ දෙන්න වුණේ.

නිහතමානී සහෝදරයන් එයාලගේ ජීවිත වෙනස් කරගත්තත් හුඟක් අය වෙනස් වෙන්න කැමති වුණේ නැහැ. ප්‍රතිඵලයක් විදිහට අවුරුදු 20ක විතර කාලයක් ඇතුළතදී තායිවානයේ ප්‍රචාරකයන්ගේ ගාණ 2,450 ඉඳන් 900 දක්වා අඩු වුණා. ඒක අපි හැමෝටම ලොකු දුකක් වුණත් අපි තේරුම්ගත්ත දෙයක් තමයි සංවිධානයේ අපවිත්‍ර දේවල් වෙනවා නම් කවදාවත් යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්නේ නැහැ කියන දේ. (2 කොරි. 7:1) අන්තිමේදී යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානය පවිත්‍ර කළා. ඔහුගේ ආශීර්වාදය ලැබිලා තියෙන නිසා අද තායිවානයේ ප්‍රචාරකයන් 11,000කට වඩා වැඩිදෙනෙක් ඉන්නවා.

1980 ගණන්වල ඉඳන් අමිස් සභාවල ලොකු වර්ධනයක් වුණු නිසා හාර්විට පුළුවන් වුණා වැඩි කාලයක් චීන භාෂාව කතා කරන සභාවල සේවය කරන්න. ඒ සභාවල හිටපු හුඟක් සහෝදරියන්ගේ ස්වාමිපුරුෂයන්ට සත්‍යයට එන්න හාර්වි උදව් කළා. මට මතකයි දවසක් එයා කියනවා ඒ වගේ එයා උදව් කරපු කෙනෙක් මුල්ම වතාවට යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා දැකලා එයා කොච්චර සතුටු වුණාද කියලා. මටත් පුළුවන් වුණා අවංක හදවත් තියෙන හුඟදෙනෙකුට යෙහෝවා දෙවියන්ට ළං වෙන්න උදව් කරන්න. ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා. මං එක්ක පාඩම් කරපු කෙනෙක්ගේ දුවයි, පුතායි එක්ක තායිවානයේ ශාඛා කාර්යාලයේ වැඩ කරන්න ලැබුණු එක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

දරාගන්න අමාරු වෙන්වීමක්

මගේ ආදරණීය සැමියා පිළිකාවක් එක්ක සටන් කරලා 2010 ජනවාරි 1වෙනිදා මිය ගියා. ඒ වෙනකොට අපි විවාහ වෙලා අවුරුදු 59ක්. එයා අවුරුදු 60ක් විතර පූර්ණකාලීනව දෙවියන්ට සේවය කළා. එයා නැති පාඩුව මට තදින්ම දැනෙනවා. රටවල් දෙකකම සේවය අලුතෙන් පටන්ගත්ත කාලේ ඒ සේවය කරන්න හාර්විට උදව් කරන්න මට පුළුවන් වුණා. ඒක මට ලොකු සතුටක්. අපිට පුළුවන් වුණා අමාරු ආසියානු භාෂා දෙකක්ම කතා කරන්න ඉගෙනගන්න. හාර්විට කරන්න තිබුණු වැඩ නිසා ඒ භාෂාවලින් ලියන්න ඉගෙනගන්නත් එයාට සිද්ධ වුණා.

අවුරුදු කීපයකට පස්සේ මගේ වයස නිසා පාලක මණ්ඩලය තීරණය කළා මාව ආයෙත් ඕස්ට්‍රේලියාවට ගෙන්වගන්න. මුලින් නම් මට හිතුණේ තායිවානය දාලා යන්න මට බැහැ කියලයි. ඒත් යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් කරන්න කියන දේකට කවදාවත් බැහැ කියන්න එපා කියලා හාර්වි මට කියලා දීලා තිබුණ නිසා මං ඒකට කැමති වුණා. පස්සේ මට තේරුණා මං ගත්තේ හොඳම තීරණය කියලා.

ජපන් සහ චීන භාෂා කතා කරන අයට මං බෙතෙල් එක පෙන්නන්න යන්නේ හරිම ආසාවෙන්

මං දැන් ඔස්ට්‍රලේසියා ශාඛා කාර්යාලයේ සේවය කරනවා. සති අන්තයේ මං මගේ සභාවේ අය එක්ක සේවයේ යනවා. ජපන් සහ චීන භාෂා කතා කරන අය බෙතෙල් එක බලන්න ආවාම එයාලට ඒක පෙන්නන්න යන්නත් මට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. යෙහෝවා දෙවියන් මැරුණු අයට ආයෙත් ජීවිතය දෙන කල් මං බලන් ඉන්නේ හරිම ආසාවෙන්. මොකද මං හොඳටම දන්නවා යෙහෝවා දෙවියන් කරන්න කියපු කිසිම දේකට බැහැ කියපු නැති හාර්වි අනිවාර්යයෙන්ම ඔහුගේ මතකයේ ඉන්නවා කියලා.—යොහ. 5:28, 29.

^ 14 ඡේ. දැන් තායිවානයේ ප්‍රධාන භාෂාව චීන භාෂාව වුණත් අවුරුදු ගාණක් තිස්සෙම ප්‍රධාන භාෂාව වෙලා තිබුණේ ජපන් භාෂාව. ඒ කාලේ හුඟක් ගෝත්‍රික කණ්ඩායම් වැඩියෙන්ම කතා කළේ ජපන් භාෂාව.