Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 5

“සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්”

“සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්”

“සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්.”—1 කොරි. 11:3.

ගීතිකාව 12 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි

මේ ලිපියෙන් *

1. සැමියෙක් බිරිඳටයි දරුවන්ටයි සලකන විදිහට බලපෑමක් වෙන්න පුළුවන් මොනවාද?

සමහර පුරුෂයන් බිරිඳටයි දරුවන්ටයි සලකන විදිහට එයාලගේ සංස්කෘතිය, පවුල් පසුබිම බලපෑමක් වෙලා තියෙනවා. යුරෝපයේ ජීවත් වෙන සහෝදරී යනීටා කියන දේ බලන්න. “කාන්තාවන් පුරුෂයන්ට වඩා පහත්. ඒ නිසා පුරුෂයන් එයාලව සලකන්න ඕනෙ සේවිකාවන් විදිහට කියලයි මෙහෙ අය හිතන්නේ.” එක්සත් ජනපදයේ ජීවත් වෙන සහෝදර ලූක් මෙහෙම කියනවා. “සමහර තාත්තලා එයාලගේ පුතාලට උගන්වනවා ගැහැනු අය කියන දේවල් එච්චර වැදගත් නැහැ, ඒ නිසා එයාලට ඇහුම්කන් දෙන්න එපා” කියලා. හැබැයි යෙහෝවා දෙවියන් නම් පොඩ්ඩක්වත් කැමති නැහැ සැමියෙක් ඒ විදිහට තමන්ගේ බිරිඳට සලකනවාට. (මාක් 7:13) එහෙනම් පවුලේ මූලිකයා විදිහට තමන්ට ලැබිලා තියෙන පැවරුම හොඳින් ඉටු කරන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?

2. සැමියෙක් දැනගෙන ඉන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

2 පවුලේ මූලිකයෙක්ගෙන් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා සැමියෙක් තේරුම්ගන්න ඕනේ. ඒ වගේම යෙහෝවා දෙවියන් පවුලේ මූලිකයා විදිහට සැමියාව පත් කරලා තියෙන්නේ ඇයි කියලත් ඒ වගකීම ඉටු කරද්දී යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් එයා තේරුම්ගන්න ඕනේ. මොකද දෙවියන් බලාපොරොත්තු වෙනවා සැමියෙක් එයාට ලැබිලා තියෙන අධිකාරිය හරි විදිහට පාවිච්චි කරයි කියලා.—ලූක් 12:48ආ.

මූලිකත්වය ගැන දෙවියන් ඇති කරපු සැලැස්ම

3. මූලිකත්වය පිළිබඳ සැලැස්ම ගැන 1 කොරින්ති 11:3 ඉගෙනගන්න පුළුවන් මොනවාද?

3 1 කොරින්ති 11:3 කියවන්න. යෙහෝවා දෙවියන් ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න තමන්ගේ පවුලේ අයව සංවිධානය කරලා තියෙන විදිහ ගැන අපිට ඒ බයිබල් පදයෙන් දැනගන්න පුළුවන්. සියලුම අධිකාරිය තියෙන යෙහෝවා දෙවියන් තමයි හැමෝගෙම “හිස” විදිහට කටයුතු කරන්නේ. ඒ නිසා යෙහෝවා දෙවියන් සමහර අයට යම් අධිකාරියක් දීලා තිබුණත් ඒ අධිකාරිය පාවිච්චි කරන විදිහ ගැන එයාලා දෙවියන්ට ගණන් දෙන්න ඕනේ. (රෝම 14:10; එෆී. 3:14, 15) උදාහරණෙකට යෙහෝවා දෙවියන් සභාව සම්බන්ධයෙන් යේසුස්ට අධිකාරියක් දීලා තියෙනවා. හැබැයි යේසුස් ඒ අධිකාරිය පාවිච්චි කරන විදිහ ගැන දෙවියන්ට ගණන් දෙන්න ඕනේ. (1 කොරි. 15:27) ඒ වගේම බිරිඳ සහ දරුවන් සම්බන්ධයෙන් ලැබිලා තියෙන අධිකාරිය පාවිච්චි කරන විදිහ ගැන සැමියෙක් යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ට ගණන් දෙන්න ඕනේ.—1 පේතෘ. 3:7.

4. යෙහෝවා දෙවියන්ටයි යේසුස්ටයි තියෙන්නේ මොන වගේ අධිකාරියක්ද?

4 විශ්වයේ සියලු අධිකාරිය තියෙන කෙනා විදිහට යෙහෝවා දෙවියන්ට අයිතිය තියෙනවා තමන්ගේ දරුවන්ට නීති දාන්න. ඒ නීති පිළිපදින්නේ නැති වෙලාවලදී දරුවන්ව හික්මවන්නත් ඔහුට අයිතිය තියෙනවා. (යෙසා. 33:22) ඒ වගේම සභාවේ හිස හැටියට කටයුතු කරන යේසුස්ටත් සභාව සම්බන්ධයෙන් යම් නීති දාන්න සහ ඒවා පිළිපදින්නේ නැති අයව නිවැරදි කරන්න අයිතිය තියෙනවා.—ගලා. 6:2; කොලො. 1:18-20.

5. සැමියෙක්ට තියෙන්නේ මොන වගේ අධිකාරියක්ද? එයාට තියෙන සීමාවන් මොනවාද?

5 පවුලේ අය සම්බන්ධයෙන් තීරණ ගන්න සැමියාට අධිකාරියක් තියෙනවා. (රෝම 7:2; එෆී. 6:4) හැබැයි එයාට යම් සීමාවන් තියෙනවා. උදාහරණෙකට එයා නීති දැම්මත් ඒ හැම නීතියක්ම පදනම් වෙන්න ඕනෙ බයිබල් ප්‍රතිපත්ති මත. (හිතෝ. 3:5, 6) බිරිඳටයි දරුවන්ටයි අමතරව වෙන අයට නීති දාන්න පවුලේ මූලිකයාට අවසර නැහැ. (රෝම 14:4) ඒ වගේම තමන්ගේ දුවලා පුතාලා වැඩිහිටියන් වෙලා ගෙදරින් පිට වුණාට පස්සේ දරුවන් දිගටම තාත්තාට ගරු කළත් දරුවන් ඉන්නේ තමන් යටතේ නෙවෙයි කියලා තාත්තා මතක තියාගන්න ඕනේ.—මතෙ. 19:5.

දෙවියන් මූලිකත්වය ගැන සැලැස්මක් ඇති කළේ ඇයි?

6. දෙවියන් මූලිකත්වය ගැන සැලැස්මක් ඇති කළේ ඇයි?

6 මූලිකත්වය ගැන සැලැස්මක් යෙහෝවා දෙවියන් ඇති කළේ තමන්ගේ දරුවන් ගැන ඔහුට තියෙන ආදරේ නිසයි. ඇත්තටම ඒක අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. ඒ වගේ සැලැස්මක් දෙවියන් ඇති කළේ නැත්නම් දේවල් පිළිවෙළකට කරන්න, සතුටින් ඉන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. (1 කොරි. 14:33, 40) ටිකකට හිතන්න ඒ වගේ සැලැස්මක් තිබුණේ නැහැ කියලා. එහෙනම් තීරණ ගන්න ඕනෙ කවුද, ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෙ කවුද කියලා කවුරුත්ම දන්නේ නැහැ. කිසිම දෙයක් පිළිවෙළකට වෙන එකකුත් නැහැ.

7. සැමියෙක් බිරිඳට සලකන්න ඕනෙ විදිහ ගැන එෆීස 5:25, 28 ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 සැමියා කටයුතු කරන විදිහ නිසා බිරිඳක් දුක් විඳින්නේ ඇයි? එහෙම වෙන්නේ ඒ අය යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රමිති නොසලකා හැරලා තමන්ගේ සංස්කෘතියට අනුව දේවල් කරන නිසයි. එහෙම නැත්නම් එයාලා තමන්ගේ සතුට ගැන විතරක් හිතලා බිරිඳව පහත් කරලා සලකනවා වෙන්න පුළුවන්. උදාහරණෙකට අනිත් අය ඉස්සරහා කැපිලා පේන්න, තමන් නියම පුරුෂයෙක් කියලා අනිත් අයට පෙන්නන්න ඒ වගේ කෙනෙක් බිරිඳට සැරපරුෂ විදිහට සලකන්න පෙලඹෙයි. ඒ වගේ කෙනෙක්ට හිතෙයි බිරිඳගේ ආදරේ බලෙන් ලබාගන්න බැරි වුණත් බිරිඳව බය කරලා තමන්ගේ පාලනේ යටතේ තියාගන්න එයාට පුළුවන් කියලා. * ඒ විදිහට වැඩ කරන පුරුෂයෙක් ගැන යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. මොකද ඔහු කැමති පුරුෂයෙක් බිරිඳට ආදරෙන්, ගෞරවෙන් සලකනවා දකින්නයි.—එෆීස 5:25, 28 කියවන්න.

සැමියෙක්ගේ වගකීම හොඳින් ඉටු කරන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද?

8. පවුලේ මූලිකයෙක්ගේ වගකීම හොඳින් ඉටු කරන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද?

8 සැමියෙක්ගේ වගකීම හොඳින් ඉටු කරන්න පුළුවන් කොහොමද කියලා යෙහෝවා දෙවියන්ගෙන් සහ යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ ලස්සන ගුණාංග දෙකක් ගැනත් ඒ ගුණාංග වර්ධනය කරගන්න සැමියෙක්ට පුළුවන් කොහොමද කියලත් අපි දැන් බලමු.

9. නිහතමානිකම ගැන යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 නිහතමානිකම. යෙහෝවා දෙවියන්ට තරම් ප්‍රඥාවක් වෙන කාටවත් නැහැ. ඒත් ඔහු අනිත් අයගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා. (උත්. 18:23, 24, 32) අනිත් අයගෙන් යෝජනා ගන්නවා. (1 රාජා. 22:19-22) දෙවියන් පරිපූර්ණ කෙනෙක් වුණත් අපි අතින් කිසිම වරදක් වෙන එකක් නැහැ කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට සාර්ථකව අපේ සේවය කරන්න ඔහු අපි උදව් කරනවා. (ගීතා. 113:6, 7) බයිබලේ ඔහුව හඳුන්වලා තියෙන්නේ අපේ ‘උපකාරයට එන’ කෙනෙක් විදිහට. (ගීතා. 27:9; හෙබ්‍රෙ. 13:6) එක අවස්ථාවකදී දාවිත් රජත් පිළිගත්තා එයාට තමන්ගේ පැවරුම හොඳින් ඉටු කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවියන් නිහතමානීව එයාගේ උදව්වට ආව නිසයි කියලා.—2 සාමු. 22:36.

10. නිහතමානිකම ගැන යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 යේසුස් ස්වාමියා වුණත් ඔහු ගෝලයන්ගේ කකුල් සේදුවා. යෙහෝවා දෙවියන් ඒ වාර්තාව බයිබලේට ඇතුළත් කරලා තියෙන්නේ ඇයි? ඔහු කැමතියි පවුලේ මූලිකයන් ඇතුළු අනිත් හැමෝමත් යේසුස් වගේ නිහතමානී වෙනවාට. යේසුස් කියපු මේ දෙයින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. “මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.” (යොහ. 13:12-17) තමන්ට ලොකු අධිකාරියක් තිබුණත් අනිත් අය තමන්ට සේවය කරයි කියලා යේසුස් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු අනිත් අයට සේවය කළා.—මතෙ. 20:28.

පවුලේ අයට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න උදව් කරන, ගෙදර වැඩවලට උදව් කරන සැමියෙක් නිහතමානියි කියලත් පවුලේ අයට ආදරෙයි කියලත් පැහැදිලි වෙනවා (11 සහ 13 ඡේද බලන්න)

11. යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව ආදර්ශයට ගන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?

11 ඉගෙනගන්න පුළුවන් මොනවාද? සැමියෙක් බිරිඳටයි දරුවන්ටයි සලකන විදිහෙන් එයා නිහතමානී කෙනෙක් කියලා පෙන්නන්න පුළුවන්. උදාහරණෙකට නිහතමානී සැමියෙක් පිළිගන්නවා බිරිඳ අතිනුත් දරුවන් අතිනුත් වැරදි වෙනවා කියලා. බිරිඳයි දරුවනුයි අදහස් දෙද්දී ඒවා තමන්ගේ අදහස්වලට එකඟ නැති වුණත් එයා ඒවාට ඇහුම්කන් දෙනවා. එක්සත් ජනපදයේ ඉන්න මාලි කියන දේ බලන්න. “සමහර කාරණා ගැන මටයි මගේ මහත්තයාටයි තියෙන්නේ වෙනස්ම විදිහේ අදහස්. හැබැයි මං දන්නවා මගේ මහත්තයා මගේ අදහස්වලට ගරු කරනවා කියලා. මොකද මට හිතෙන විදිහ කියද්දී එයා හොඳට අහන් ඉන්නවා. තීරණයක් ගන්න කලින් ඒවා ගැන හොඳට හිතලා බලනවා.” නිහතමානී සැමියෙක් කරන තවත් දෙයක් තියෙනවා. අනිත් අය මොනවා හිතුවත් එයා ගෙදර වැඩ කරන්න බිරිඳට උදව් කරනවා. හැබැයි ඒක ලේසි වෙන එකක් නැහැ. සහෝදරි රේචල් කියන මේ දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. “සැමියෙක් බිරිඳට උදව් කරනවා දැක්කොත් අපේ පැත්තේ අය කිව්වේ එයා කොන්ද පණ නැති මිනිහෙක්” කියලා. ඔයාගේ පැත්තේ අයත් හිතන්නේ එහෙමද? එහෙනම් යේසුත් ඔහුගේ ගෝලයන්ගේ කකුල් සේදුවා කියලා අමතක කරන්න එපා. ඒ කාලේ හිටපු අය හිතුවේ ඒ වගේ දෙයක් කරන්නේ සේවකයෙක් කියලා. නිහතමානී සැමියෙක් හිතන්නේ බිරිඳගෙයි දරුවන්ගෙයි සතුට ගැන මිසක් තමන්ගේ සතුට ගැන නෙවෙයි. නිහතමානිකමට අමතරව සැමියෙක්ට තියෙන්නම ඕන තවත් ගුණාංගයක් මොකක්ද?

12. යෙහෝවා දෙවියන් සහ යේසුස් ආදරය පෙන්නලා තියෙන්නේ කොහොමද?

12 ආදරය. යෙහෝවා දෙවියන් හැම දෙයක්ම කරන්නේ අපිට තියෙන ආදරේ නිසයි. (1 යොහ. 4:7, 8) උදාහරණෙකට අපිට ඔහුත් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න බයිබලය, සංවිධානය මාර්ගයෙන් ඔහු උදව් කරනවා. ඒ වගේම විවිධ විදිවලින් ඔහුගේ ආදරය, සැලකිල්ල අපිට දැනෙන්න සලස්වනවා. ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවලුත් ඔහු අපිට දෙනවා. ඒ නිසයි බයිබලේ යෙහෝවා දෙවියන්ව “අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන” කෙනෙක් විදිහට හඳුන්වලා තියෙන්නේ. (1 තිමෝ. 6:17) අපේ අතින් වැරදි වෙද්දී ඔහු අපිව අත්හරින්නේ නැහැ. වැරදි හදාගන්න ඔහු උදව් කරනවා. වැඩියෙන්ම ආදරේ කරන පුතාගේ ජීවිතය අපි වෙනුවෙන් දුන්නෙත් ඔහු ඒ තරම්ම අපිට ආදරේ නිසයි. යේසුස් අපි වෙනුවෙන් කැමැත්තෙන්ම ජීවිතේ පූජා කරපු එකෙන් පැහැදිලි වෙනවා ඔහුත් අපිට කොච්චර ආදරෙයිද කියලා. (යොහ. 3:16; 15:13) යෙහෝවා දෙවියන්ගෙත් යේසුස්ගෙත් හිතේ අපි ගැන තියෙන ආදරේ නැති කරන්න කිසිම කෙනෙකුටවත් කිසිම දෙයකටවත් බැහැ.—යොහ. 13:1; රෝම 8:35, 38, 39.

13. සැමියෙක් පවුලේ අයට ආදරෙන් සලකන එක වැදගත් වෙන්නේ ඇයි? (“ අලුත විවාහ වුණ පුරුෂයෙක්ට බිරිඳගේ ගෞරවය දිනාගන්න පුළුවන් කොහොමද?” කියන කොටුව බලන්න.)

13 ඉගෙනගන්න පුළුවන් මොනවාද? සැමියෙක් හැම දෙයක්ම කරන්න ඕනෙ ආදරෙන් පෙලඹිලයි. එහෙම කරන එක වැදගත් ඇයි කියලා යොහන් කියපු මේ දෙයින් පැහැදිලි වෙනවා. “කෙනෙකුට තමා දකින සහෝදරයාට [හෝ පවුලේ අයට] ප්‍රේම කළ නොහැකි නම් තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන.” (1 යොහ. 4:11, 20) පවුලේ අයට ආදරේ කරන, යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න කැමති සැමියෙක් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න පවුලේ අයට උදව් කරනවා. කරන කියන දේවලින් පවුලේ අයට ආදරයත් සැලකිල්ලත් දැනෙන්න සලස්වනවා. එයාලට අවශ්‍ය කරන දේවලුත් සපයලා දෙනවා. (1 තිමෝ. 5:8) තමන්ගේ දරුවන්ව හොඳින් පුහුණු කරනවා, නිවැරදි කරනවා. යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙන විදිහටත් පවුලේ අයට ප්‍රයෝජන ලැබෙන විදිහටත් තීරණ ගන්න එයා දිගටම වෑයම් කරනවා. ඒ දේවල් කරන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?

පවුලේ මූලිකයන්ගේ වගකීම්

14. දෙවියන්ට ළං වෙන්න පවුලේ අයට උදව් කරන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?

14 දිගටම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න උදව් කරන්න. යෙහෝවා දෙවියන් වගේ යේසුත් වැඩි අවධානයක් දුන්නේ ඔහුගේ අනුගාමිකයන්ට ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න උදව් කරන එකටයි. (මතෙ. 5:3, 6; මාක් 6:34) ඒ වගේ පවුලේ මූලිකයනුත් වැඩි අවධානයක් දෙන්න ඕනෙ පවුලේ අයට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න උදව් කරන එකටයි. (ද්වි. 6:6-9) පවුලේ හැමෝම බයිබලය අධ්‍යයනය කරනවාද, රැස්වීම්වලට සහභාගි වෙනවාද, සේවේ හවුල් වෙනවාද සහ දිගටම දෙවියන්ගේ යාළුවෙක් වෙලා ඉන්න වෑයම් කරනවාද කියලා හොයලා බලනවා නම් සැමියෙක්ට ඒ දේ කරන්න පුළුවන් වෙනවා.

15. සැමියෙක්ට පවුලේ අය ගැන තියෙන ආදරේ දැනෙන්න සලස්වන්න පුළුවන් කොහොමද?

15 ආදරේ දැනෙන්න සලස්වන්න. යෙහෝවා දෙවියන් ප්‍රසිද්ධියේම කිව්වා ඔහු යේසුස්ට ආදරෙයි කියලා. (මතෙ. 3:17) යේසුත් කියපු කරපු දේවල්වලින් පැහැදිලිව පෙන්නුවා ඔහු තමන්ගේ අනුගාමිකයන්ට ආදරෙයි කියලා. ඒ වගේම අනුගාමිකයනුත් කිව්වා එයාලා යේසුස්ට ආදරෙයි කියලා. (යොහ. 15:9, 12, 13; 21:16) ඒ වගේ පවුලේ අයත් එක්ක බයිබලේ අධ්‍යයනය කරන එක වගේ දේවල් කරලා සැමියෙක් එයාගේ පවුලේ අයට තියෙන ආදරේ දැනෙන්න සලස්වන්න ඕනේ. ඒ වගේම එයාලට ආදරෙයි කියලා කියන එකත් හරිම වැදගත්. සුදුසු අවස්ථාවලදී එයාලට අනිත් අය ඉස්සරහා ප්‍රශංසා කරන්නත් අමතක කරන්න එපා.—හිතෝ. 31:28, 29.

සැමියෙක් පවුලේ අයට ඕනෙ දේවල් සපයයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා (16 ඡේදය බලන්න)

16. පවුලේ මූලිකයෙක්ට තියෙන තවත් වගකීමක් මොකක්ද? ඒක ඉටු කරද්දී සමබර වෙන්න පුළුවන් කොහොමද?

16 අවශ්‍ය දේවල් ලබා දෙන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ අකීකරුකම නිසා යෙහෝවා දෙවියන් එයාලට දඬුවම් කරපු කාලවලදී වුණත් එයාලට අවශ්‍ය දේවල් දුන්නා. (ද්වි. 2:7; 29:5) අදටත් ඔහු තමන්ගේ සේවකයන්ට ජීවිතය පවත්වගෙන යන්න අවශ්‍ය දේවල් ලබා දෙනවා. (මතෙ. 6:31-33; 7:11) යේසුත් ඔහුගේ අනුගාමිකයන්ට කන්න දුන්නා. (මතෙ. 14:17-20) අසනීපෙන් හිටපු අයව සුව කළා. (මතෙ. 4:24) යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න නම් පවුලේ මූලිකයනුත් පවුලේ අයට අවශ්‍ය දේවල් ලබා දෙන්න ඕනේ. හැබැයි ඒ දේ කරද්දී සමබර වෙන එක හරිම වැදගත්. මොකද පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න ඕනෙ නිසා රැකියාවට වැඩි අවධානයක් දුන්නොත් පවුලේ අයට දෙවියන්ට ළං වෙලා ඉන්න උදව් කරන්නවත් එයාගේ ආදරේ, සැලකිල්ල දැනෙන්න සලස්වන්නවත් පුළුවන් වෙන්නේ නැහැ.

17. යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිව පුහුණු කරන්නෙත් අපිව නිවැරදි කරන්නෙත් කොහොමද?

17 පුහුණු කරන්න. යෙහෝවා දෙවියන් අපිව පුහුණු කරන්නෙත්, නිවැරදි කරන්නෙත් ආදරේ නිසයි. (හෙබ්‍රෙ. 12:7-9) ඒ වගේ යේසුත් තමන් යටතේ ඉන්න අයව ආදරෙන් පුහුණු කරනවා. (යොහ. 15:14, 15) ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී උපදෙස් නොදී ඉන්නෙත් නැහැ. (මතෙ. 20:24-28) පව්කාරකම උරුම වෙලා තියෙන අපි අතින් වැරදි වෙන්න පුළුවන් කියලා ඔහු තේරුම්ගන්නවා.—මතෙ. 26:41.

18. තමන්ගේ වගකීම හොඳින් ඉටු කරන පවුලේ මූලිකයෙක් මතක තියාගන්නේ මොකක්ද?

18 යෙහෝවා දෙවියන්වත්, යේසුස්වත් ආදර්ශයට ගන්න සැමියෙක් තේරුම්ගන්නවා බිරිඳ අතිනුත්, දරුවන් අතිනුත් වැරදි අඩුපාඩුකම් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා එහෙම වුණාම එයා කේන්ති අරන් කෑගහන්නේ නැහැ. (කොලො. 3:19) ඒ වෙනුවට ගලාති 6:1 කියන විදිහට “මෘදුකමින්” එයාලව නිවැරදි මාර්ගයට ගේන්න එයා උපරිමයෙන් වෑයම් කරනවා. යේසුස් කළා වගේ ආදර්ශයෙන්ම උගන්වන එක තමයි හොඳම දේ කියලත් එයා තේරුම්ගන්නවා.—1 පේතෘ. 2:21.

19-20. තීරණ ගද්දී යෙහෝවා දෙවියන්වත්, යේසුස්වත් ආදර්ශයට ගන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?

19 තීරණ ගද්දී අනිත් අය ගැනත් හිතන්න. යෙහෝවා දෙවියන් හැම තීරණයක්ම ගන්නේ අනිත් අයගේ යහපත ගැන හිතලා. උදාහරණෙකට ඔහු ජීවීන්ව නිර්මාණය කළේ තමන්ගෙම ප්‍රයෝජනය ගැන හිතලා නෙවෙයි. ඒ වෙනුවට තමන් අද්දකින සතුට අනිත් අයත් එක්ක බෙදාගන්න ඔහු කැමති වුණ නිසයි. තමන්ගේ පුතාගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරන්න කියලා කිසිම කෙනෙක් ඔහුට බල කළේ නැහැ. ඔහු ඒ දේ කළේ අපේ ප්‍රයෝජනය ගැන හිතලයි. යේසුස් වැඩ කළෙත් යෙහෝවා දෙවියන් විදිහටමයි. ඔහු කොයි වෙලෙත් අනිත් අයගේ යහපත ගැන හිතුවා. (රෝම 15:3) උදාහරණෙකට ඔහු හොඳටම මහන්සියෙන් හිටපු වෙලාවක විවේක ගන්නවා වෙනුවට ලොකු සෙනඟකට උගන්වන්න තීරණය කළා.—මාක් 6:31-34.

20 හොඳ සැමියෙක් පවුල වෙනුවෙන් තීරණ ගන්න තමන්ට තියෙන වගකීම සැහැල්ලුවට ගන්නේ නැහැ. හිතන්නේ බලන්නේ නැතුව තීරණ ගන්නවා වෙනුවට එයා යෙහෝවා දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා. * (හිතෝ. 2:6, 7) එහෙම කරද්දී තමන්ගේ සතුට ගැනම හිතනවා වෙනුවට අනිත් අය ගැන හිතලා තීරණ ගන්න එයාට පුළුවන් වෙනවා.—ෆිලි. 2:4.

21. ඊළඟ ලිපියෙන් අපි බලන්න යන්නේ මොනවාද?

21 සැමියෙක්ට පැවරිලා තියෙන බැරෑරුම් වගකීම එයා හොඳින් ඉටු කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. එයා ඒ වගකීම ඉටු කරන විදිහ ගැන දෙවියන්ට ගණන් දෙන්න ඕනේ. සැමියෙක් යෙහෝවා දෙවියන්වත්, යේසුස්වත් ආදර්ශයට ගන්නවා නම් ඒ වගකීම හොඳින් ඉටු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම බිරිඳත් තමන්ට පැවරිලා තියෙන වැඩ කොටස හොඳින් ඉටු කරනවා නම් ඒක පවුලේ සතුටට දායක වෙනවා. මූලිකත්වය සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම ගැන බිරිඳක් හිතන්න ඕනෙ කොහොමද? ඒකට කීකරු වෙන එක බිරිඳකට අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 16 යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න

^ 5 ඡේ. පුරුෂයෙක් විවාහ වුණාම එයා තමයි ඒ පවුලේ හිස විදිහට වැඩ කරන්නේ. යෙහෝවා දෙවියන් සැමියාට දීලා තියෙන්නේ මොන වගේ අධිකාරියක්ද කියලත් එයාලට යෙහෝවා දෙවියන්ගෙන් සහ යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපි මේ ලිපියෙන් බලමු. දෙවෙනි ලිපියෙන් අපි බලමු සැමියාටයි බිරිඳටයි යේසුස්ගෙන් සහ බයිබලේ තියෙන අනිත් ආදර්ශවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා. සභාවත් එක්ක වැඩ කරද්දී පත් කළ සහෝදරයන් එයාලට ලැබිලා තියෙන අධිකාරිය පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියලා අපි තුන්වෙනි ලිපියෙන් බලමු.

^ 7 ඡේ. සමහර චිත්‍රපටිවල, නාට්‍යවල, චිත්‍ර කතා පොත්වල සැමියා බිරිඳට සැරපරුෂ විදිහට සලකන එක, ගහන එක වැරදි නැහැ කියලා පෙන්නනවා. ඒ නිසා හුඟක් අයට ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා.

^ 20 ඡේ. තීරණ ගන්න උදව් වෙන තව තොරතුරු ගැන දැනගන්න 2011 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණු “දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු” කියන ලිපියේ 13-17 ඡේද බලන්න.