Skip to content

පටුනට යන්න

මේ හැම දෙයක්ම වුණේ එක හිනාවක් නිසයි!

මේ හැම දෙයක්ම වුණේ එක හිනාවක් නිසයි!

පිලිපීනයේ බාජියෝ නගරයේ ව්‍යාපාරික ප්‍රදේශයක තරුණියන් දෙන්නෙක් ගමන් කරමින් හිටියා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාරේ අයිනේ ජංගම පුවරුවක් තියන් ඉන්නවා එයාලා දැක්කත් එයාලා නතර වෙන්නේ නැතිව දිගටම ගියා. හැබැයි ජංගම පුවරුව තියන් හිටපු සහෝදරි හෙලන් එයාලත් එක්ක හරිම මිත්‍රශීලී විදිහට හිනා වුණා. ඒ හිනාව නම් එයාලට අමතක වුණේ නැහැ.

ඊටපස්සේ එයාලා බස් එකේ ගෙදර යද්දී නමස්කාර මධ්‍යස්ථානයක jw.org කියන බෝඩ් එකක් දැක්කා. සාක්ෂිකරුවන් තියන් හිටපු ජංගම පුවරුවලත් ගහලා තිබුණේ ඒ අකුරුමයි කියලා එයාලට මතක් වුණා. ඊටපස්සේ එයාලා බස් එකෙන් බැහැලා නමස්කාර මධ්‍යස්ථානය තිබුණු තැනට ගියා. ඒ නමස්කාර මධ්‍යස්ථානයේ රැස්වීම් පවත්වන දවස් සහ වෙලාවන් ගැන ගේට්ටුවේ ගහලා තිබ්බ දැන්වීම් පුවරුවකින් එයාලා දැනගත්තා.

වැඩි දවසක් යන්න කලින් ඒ රැස්වීමකට යන්න එයාලා තීරණය කළා. එයාලා නමස්කාර මධ්‍යස්ථානයට ඇතුල් වෙද්දිම එයාලා දැක්කේ කාවද දන්නවාද? හෙලන්ව. එදා එයාලත් එක්ක හිනා වුණේ හෙලන් කියලා එයාලා ඉක්මනින්ම අඳුනගත්තා. ඒ ගැන හෙලන් මෙහෙම කියනවා. “ඒ අය මං ගාවට එද්දී මට පොඩි බයක් දැනුණා. මං හිතුවා මගේ අතින් මොකක් හරි වරදක් වුණාද දන්නෑ කියලා.” හැබැයි ඒ තරුණියන් වෙච්ච දේ එයාට පැහැදිලි කළා.

රැස්වීම්වලින් ඉගෙනගත්ත දේවල් ගැනත් සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන්න ලැබුණ එක ගැනත් එයාලා ගොඩක් සතුටු වුණා. රැස්වීමට ගිය මුල් වතාවට වුණත් එයාලට කිසි බයක් දැනුණේ නැහැ. රැස්වීමෙන් පස්සේ අනිත් අය ශාලාව පිරිසිදු කරනවා දැකලා එයාලටත් ඒකට උදව් කරන්න පුළුවන්ද කියලා එයාලා ඇහුවා. ඒ තරුණියන් දෙන්නාගෙන් එක් කෙනෙක් වෙන රටකට ගියා. හැබැයි අනිත් කෙනා රැස්වීම් එන්නත් බයිබල් පාඩමක් කරන්නත් පටන්ගත්තා. ඒ හැම දෙයක්ම වුණේ එක හිනාවක් නිසයි.