Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 14

‘යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න’

‘යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න’

“ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.”—1 පේතෘ. 2:21.

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

මේ ලිපියෙන් *

යේසුස් පිය සටහන් තියලා ගියේ අපිට කිට්ටුවෙන් අනුගමනය කරන්නයි (1-2 ඡේද බලන්න)

1-2. යේසුස්ගේ පිය සටහන් අනුගමනය කරන්න අපිට පුළුවන් කොහොමද? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

ටිකකට හිතන්න ඔයා කට්ටියක් එක්ක භයානක කාන්තාරෙක ඇවිදින්න යනවා කියලා. ඔයාලට මඟ පෙන්නන කෙනා ඉස්සරහෙන් යනවා. ටික වෙලාවක් යද්දී එයාව මඟහැරෙනවා. හැබැයි ඔයාලා බය වෙන්නේ නැහැ. මොකද එයාගේ අඩි සලකුණු පේන්න තියෙන නිසා අතරමං වෙන්නේ නැතුව ගමන යන්න ඔයාලට පුළුවන්.

2 සාතන්ගේ දුෂ්ට සමාජයේ ජීවත් වෙන අපිත් හරියට භයානක කාන්තාරෙක ඇවිදින අය වගේ. හැබැයි අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද යෙහෝවා දෙවියන් අපිට ඉන්න පුළුවන් හොඳම මඟ පෙන්නන්නාව ඒ කියන්නේ යේසුස්ව අපි වෙනුවෙන් දීලා තියෙනවා. ඒ නිසයි පේතෘස් අපිව දිරිගන්වලා තියෙන්නේ යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න කියලා. (1 පේතෘ. 2:21) ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අපි ඒක කරන්න ඕනෙ ඇයි? අපිට ඒක කරන්න පුළුවන් කොහොමද? දැන් අපි ඒ ගැන බලමු.

‘පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න’ කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?

3. කෙනෙක්ගේ පිය සටහන් අනුගමනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

3 කෙනෙක්ගේ පිය සටහන් අනුගමනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? කෙනෙක් ජීවත් වුණ විදිහ විස්තර කරන්න බයිබලේ ‘ගමන් කළා’ කියන යෙදුමත් ‘පාද’ කියන වචනයත් පාවිච්චි කරලා තියෙනවා. (උත්. 6:9; හිතෝ. 3:23) කෙනෙක්ගේ ආදර්ශය එයාගේ පා සටහන්වලට සමාන කරන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ගේ පා සටහන් අනුගමනය කරනවා කියන්නේ එයාව ආදර්ශයට ගන්නවා කියන එකයි.

4. යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

4 යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒකෙන් අදහස් වෙන්නේ යේසුස්ව ආදර්ශයට ගන්න එකයි. තේමා බයිබල් පදයේ පේතෘස් මූලිකව කතා කළේ විඳදරාගැනීම සම්බන්ධයෙන් යේසුස් තියපු ආදර්ශය ගැන. හැබැයි තව ගොඩක් පැතිවලින් යේසුස්ව අපිට ආදර්ශයට ගන්න පුළුවන්. (1 පේතෘ. 2:18-25) ඇත්තටම යේසුස් කියපු කරපු හැම දේකින්ම ඔහු අපිට කදිම ආදර්ශයක් තියලා තියෙනවා.

5. පව්කාරකම උරුම වෙලා තියෙන අපිට යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන්ද? පැහැදිලි කරන්න.

5 පව්කාරකම උරුම වෙලා තියෙන අපිට ඇත්තටම යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන්ද? ඔව්. අපිට පුළුවන්. මතකනේ, පේතෘස් අපිව දිරිගැන්නුවේ යේසුස්ගේ පිය සටහන් ඒ විදිහටම අනුගමනය කරන්න කියලා නෙවෙයි, ඒක “කිට්ටුවෙන් අනුගමනය කරන්න” කියලා. ඒ නිසා පව්කාරකම උරුම වෙලා තිබුණත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න අපි උපරිමයෙන් වෑයම් කරමු. එතකොට ‘යේසුස් තමන්ගේ ජීවිතය ගත කළ ආකාරයටම’ ජීවිතය ගත කරන්න අපිට පුළුවන් වෙයි.—1 යොහ. 2:6.

යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න ඕනෙ ඇයි?

6-7. යේසුස්ව ආදර්ශයට ගද්දී අපි යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙනවා කියලා කියන්නේ ඇයි?

6 යේසුස්ගේ පිය සටහන් අනුගමනය කරද්දී අපි යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙනවා. අපි එහෙම කියන්නේ ඇයි? ඒකට හේතු දෙකක් බලමු. යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන එක ගැන යේසුස් අපිට කදිම ආදර්ශයක් තියලා තියෙනවා. (යොහ. 8:29) ඒ නිසා යේසුස්ගේ පිය සටහන් අපි කිට්ටුවෙන් අනුගමනය කරද්දී යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න අපිටත් පුළුවන්. අපි එහෙම කරද්දී යෙහෝවා දෙවියනුත් අපිට ළං වෙනවා.—යාකො. 4:8.

7 “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියලා යේසුස් කිව්වා. (යොහ. 14:9) යේසුස් එහෙම කිව්වේ ඔහු හැම පැත්තකින්ම යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගත්ත නිසයි. උදාහරණෙකට යේසුස් ලාදුරු රෝගියෙක්ට සලකපු විදිහ, බරපතළ අසනීපයක් තියෙන ස්ත්‍රියකට සලකපු විදිහ සහ වියෝදුකින් ඉන්න අයට සලකපු විදිහ ගැන ටිකකට හිතන්න. යේසුස් අනිත් අයට සලකපු විදිහ අපි ආදර්ශයට ගද්දී ඇත්තටම අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්ව කියලා කියන්න පුළුවන්. (මාක් 1:40, 41; 5:25-34; යොහ. 11:33-35) අපි යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න තරමටම යෙහෝවා දෙවියනුත් අපිට ළං වෙනවා.

8. යේසුස්ගේ පා සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන එක “ලෝකයෙන් ජය ගන්න” අපිට උදව් වෙන්නේ කොහොමද?

8 යේසුස්ගේ පා සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන එක ලෝකයේ බලපෑම්වලින් ආරක්ෂා වෙන්න අපිට උදව් වෙනවා. යේසුස් මිය යන්න කලින් රාත්‍රියේ “මම ලෝකයෙන් ජය ගත්තා” කියලා කිව්වා. (යොහ. 16:33) ඔහුට එහෙම කියන්න පුළුවන් වුණේ ඔහු හිතන පතන විදිහ, වැඩ කරන විදිහ, ඔහුගේ ඉලක්ක වෙනස් කරන්න ලෝකේ බලපෑමට ඔහු ඉඩ දුන්නේ නැති නිසයි. යෙහෝවා දෙවියන් යේසුස්ව පොළොවට එව්වේ දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්නයි කියලා යේසුස් නිතරම මතක තියාගත්තා. අපේ අවධානය වෙනතකට යොමු කරන්නත් සාතන්ගේ ලෝකය ගොඩක් දේවල් ඉදිරිපත් කරනවා. හැබැයි යේසුස් වගේ අපිත් යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන එකට මුල් තැන දුන්නොත් ලෝකයෙන් “ජය ගන්න” අපිටත් පුළුවන්.—1 යොහ. 5:5.

9. සදාකාල ජීවිතය ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

9 අපි යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරනවා නම් අපිට සදාකල් ජීවිතය ලබාගන්න පුළුවන්. එක පොහොසත් තරුණයෙක් යේසුස්ගෙන් ඇහුවා ‘සදාකල් ජීවිතය ලබාගන්න මම මොනවාද කරන්න ඕනෙ’ කියලා. යේසුස් එයාට කිව්වා “ඇවිත් මගේ අනුගාමිකයෙක් වෙන්න” කියලා. (මතෙ. 19:16-21) තවත් අවස්ථාවක යේසුස්ව විශ්වාස කරපු නැති යුදෙව්වන්ට ඔහු මෙහෙම කිව්වා. ‘මගේ අනුගාමිකයන් මා අනුව එනවා. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙනවා.’ (යොහ. 10:24-29) යේසුස්ගෙන් ඉගෙනගන්න ආස වුණ යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක් වුණ නිකදේමස්ට යේසුස් කිව්වේ ‘ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ටම සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙනවා’ කියලා. (යොහ. 3:16) අපිත් යේසුස්ව විශ්වාස කරනවා නම් ඔහු කියපු දේවල් අදාළ කරගන්නවා නම් ඔහුව ආදර්ශයට ගන්නවා නම් සදාකල් ජීවිතේ ලබාගන්න අපිටත් පුළුවන්.—මතෙ. 7:14.

යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

10. යේසුස්ව “දැන හඳුන ගන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (යොහන් 17:3)

10 යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න නම් අපි ඔහුව හොඳින් ‘දැන හඳුන ගන්න’ ඕනේ. (යොහන් 17:3 කියවන්න.) ඒක අපි දිගටම කරන්න ඕන දෙයක්. ඔහු හිතන විදිහ, වැඩ කරන විදිහ සහ ඔහුගේ ගුණාංග ගැන අපි අධ්‍යයනය කරනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. අපි සත්‍යයට ඇවිත් කොච්චර කාලයක් ගෙවිලා තිබුණත් අපි ඒක දිගටම කරන්න ඕනේ.

11. සුවිශේෂ පොත් හතරේ සඳහන් වෙන්නේ මොනවාද?

11 යේසුස්ව වඩාත් හොඳින් දැන හඳුනා ගන්න අපිට උදව්වක් විදිහට යෙහෝවා දෙවියන් සුවිශේෂ පොත් හතරේ යේසුස් ගැන ගොඩක් තොරතුරු ඇතුළත් කළා. යේසුස් කියපු කරපු දේවල් ගැන, ඔහු හිතපු විදිහ ගැන, ඔහු කරපු සේවය ගැන ගොඩක් තොරතුරු ඒ පොත්වලින් අපිට දැනගන්න පුළුවන්. ඒ පොත් අධ්‍යයනය කරද්දී යේසුස්ගේ ආදර්ශය ගැන ‘හොඳින් කල්පනා කරලා බලන්න’ අපිට පුළුවන් වෙනවා. (හෙබ්‍රෙ. 12:3) ඒ වගේම ඔහුව හොඳින් දැන හඳුනා ගන්නත් පුළුවන් වෙනවා. එතකොට ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න අපිට පුළුවන්.

12. සුවිශේෂ පොත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

12 සුවිශේෂ පොත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒවා නිකම්ම කියවලා විතරක් මදි. ඒවා අධ්‍යයනය කරන්නත් ඒ ගැන හොඳට හිතන්නත් කාලය ගන්න ඕනේ. (යොෂු. 1:8) කියවන තොරතුරු ගැන හොඳට හිතන්නත් ඒවා අදාළ කරගන්නත් උදව් වෙන යෝජනා දෙකක් දැන් අපි බලමු.

13. කියවන තොරතුරු රසවත් කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

13 මුලින්ම, කියවන තොරතුරු හිතින් මවාගන්න. ඒ සිද්ධිය වෙද්දී ඔයාත් එතන හිටියා කියලා හිතන්න. ඒ වෙලාවේ මොන වගේ දේවල් වෙන්න ඇද්ද, මොන වගේ දේවල් දකින්න ඇද්ද, මොන වගේ දේවල් ඇහෙන්න ඇද්ද කියලා හිතන්න. අධ්‍යයනය කරන්න සංවිධානය දීලා තියෙන මෙවලම් ඒ දේ කරන්න ඔයාට උදව් වෙයි. කියවන කොටසට අදාළ අවට පදත් කියවලා බලන්න. ඒ සිද්ධියේ ඉන්න පුද්ගලයන් ගැන, තැන් ගැන තව තොරතුරු හොයන්න. කියවන සිද්ධිය තවත් හොඳින් තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි. ඒ වගේම ඒ සිද්ධිය අනිත් සුවිශේෂ පොත්වල වාර්තා වෙලා තියෙන්නේ කොහොමද කියලත් බලන්න. මොකද එක් කෙනෙක් වාර්තා කරලා නැති තොරතුරක් තව කෙනෙක් වාර්තා කරලා තියෙන්න ඉඩ තියෙනවා.

14-15. සුවිශේෂ පොත්වල තියෙන තොරතුරු අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

14 ඊටපස්සේ, ඉගෙනගත්ත තොරතුරු අදාළ කරගන්න. (යොහ. 13:17) සුවිශේෂ වාර්තාවල කොටසක් කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ‘මේ තොරතුරු මට අදාළ කරගන්න පුළුවන් කොහොමද? මේ තොරතුරු පාවිච්චි කරලා මට තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් කොහොමද?’ ඒ තොරතුරු තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයාට හිතුණොත් සුදුසු වෙලාවක් බලලා ආදරෙන් ඒ තොරතුරු එයාත් එක්ක බෙදාගන්න.

15 ඒ යෝජනා දෙක අදාළ කරගන්න උදව් වෙන උදාහරණයක් දැන් අපි බලමු. අපි බලන්න යන්නේ දේවමාලිගාවට ආපු දිලිඳු වැන්දඹුව ගැන.

දිලිඳු වැන්දඹුව

16. මාක් 12:41 සඳහන් කරලා තියෙන සිද්ධිය විස්තර කරන්න.

16 සිද්ධිය හිතින් මවාගන්න. (මාක් 12:41 කියවන්න.) ඒ සිද්ධිය වුණේ ක්‍රි.ව. 33 නීසාන් 11 වෙනිදා. ඒ වෙද්දී යේසුස්ගේ මරණයට සතියක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. එදා යේසුස් මුළු දවසෙම වගේ දේවමාලිගාවේ උගන්වමිනුයි හිටියේ. යේසුස්ට විරුද්ධ වුණු ආගමික නායකයන් ඔහුට තියෙන අධිකාරිය ගැන ප්‍රශ්න කළා. යේසුස්ව වරදකට අල්ලගන්න අරමුණිනුත් ප්‍රශ්න ඇහුවා. (මාක් 11:27-33; 12:13-34) දැන් යේසුස් දේවමාලිගාවේ වෙන තැනකට යනවා. ඔහු යන්නේ ස්ත්‍රීන්ගේ මළුවට. එතනට තමයි මිනිස්සු මුදල් පරිත්‍යාග කරන්න ආවේ. පොහොසත් අය ඇවිත් හුඟක් කාසි මුදල් බඳුන්වලට දාන විදිහ යේසුස් දකිනවා. සමහරවිට ඒ සල්ලි බඳුන්වලට වැටෙන සද්දේ යේසුස්ට ඇහෙන්න ඇති.

17. මාක් 12:42 සඳහන් දිලිඳු වැන්දඹුව කළේ මොකක්ද?

17 මාක් 12:42 කියවන්න. ටික වෙලාවකට පස්සේ “දිලිඳු වැන්දඹුවක්ව” යේසුස් දකිනවා. (ලූක් 21:2) එයා ජීවිතය ගැටගහගත්තේ හරිම අමාරුවෙන්. ඒත් එයා ඇවිත් පුංචි කාසි දෙකක් මුදල් බඳුන්වලට දානවා. සමහරවිට එයා ඒ කාසි දාද්දී පුංචි සද්දයක්වත් ඇහෙන්න නැතුව ඇති. යේසුස් දන්නවා එයා දැම්මේ ලෙප්ටා කාසි දෙකක් කියලා. ඒ කාසිවලට තමයි ඒ කාලේ අඩුම වටිනාකමක් තිබුණේ. ඒ කාලේ කෑමට ගත්ත අඩුම වටිනාකමක් තිබුණු ගේ කුරුල්ලෙක්වවත් ඒ කාසි දෙකෙන් ගන්න පුළුවන් වුණේ නැහැ.

18. මාක් 12:43, 44 අනුව දිලිඳු වැන්දඹුවගේ සම්මාදම ගැන යේසුස් කිව්වේ මොනවාද?

18 මාක් 12:43, 44 කියවන්න. ඒ ස්ත්‍රිය ගැන යේසුස් ගොඩක් සතුටු වුණා. ඒ නිසා ඔහු ගෝලයන්ට කතා කරලා මෙහෙම කියනවා. “මේ දිලිඳු වැන්දඹුව මුදල් බඳුන්වලට මුදල් දැමූ අනික් සියලුදෙනාට වඩා දැම්මා. ඒ සියලුදෙනාම [විශේෂයෙන්ම පොහොසත් අය] දැම්මේ තමන්ට වැඩිපුර තිබුණු දෙයිනුයි. නමුත් ඇයට අගහිඟකම් තිබුණත් තමන් සතුව තිබුණු සියල්ල එනම්, ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ලම ඇය දැම්මා.” එදා ඒ වැන්දඹුව එහෙම කළේ යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම එයාව බලාගන්නවා කියන එක ගැන ලොකු විශ්වාසයක් තිබුණු නිසයි.—ගීතා. 26:3.

උපරිමයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරන අයව අගය කරන්න (19-20 ඡේද බලන්න) *

19. යේසුස් දිලිඳු වැන්දඹුව ගැන කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම මොකක්ද?

19 ජීවිතේට අදාළ කරගන්න. ‘දිලිඳු වැන්දඹුව ගැන යේසුස් කියපු දෙයින් මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?’ ටිකකට හිතන්න ඒ වැන්දඹුව ගැන. ‘මීට වඩා දෙයක් යෙහෝවා දෙවියන් වෙනුවෙන් දෙන්න තිබුණා නම් කොච්චර හොඳද’ කියලා එයාට හිතෙන්න ඇති. හැබැයි එයා ඒ ගැන හිතහිත ළත වෙනවා වෙනුවට එයාගේ උපරිමය යෙහෝවා දෙවියන්ට දුන්නා. යේසුස් හොඳින්ම දැනගෙන හිටියා ඒ වැන්දඹුවගේ සම්මාදම යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා කියලා. මොකක්ද පාඩම? අපිත් මුළු හදවතින්ම අපේ උපරිමය යෙහෝවා දෙවියන් වෙනුවෙන් දෙද්දී ඔහු ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. (මතෙ. 22:37; කොලො. 3:23) ඔව්, අපි අපේ සේවය, රැස්වීම් ඇතුළු අපේ නමස්කාර කටයුතුවලට අපේ කාලය, ශක්තිය උපරිමයෙන් යොදවනවා නම් යෙහෝවා දෙවියන් ඒ ගැන සතුටු වෙනවා.

20. වැන්දඹුවගේ සිද්ධියෙන් ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

20 වැන්දඹුවගේ සිද්ධියෙන් ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න ඔයාට පුළුවන් කොහොමද? ටිකකට හිතන්න දිරිගැන්වීමක් ඕනෙ කාටද කියලා. උදාහරණෙකට මහලු වයස නිසා තමන් කැමති තරම් සේවයක් යෙහෝවා දෙවියන් වෙනුවෙන් කරන්න බැරි වෙන එක ගැන දුකෙන් ඉන්න සහෝදරියක්ව ඔයා දන්නවාද? නැත්නම් බරපතළ අසනීපයක් නිසා හැම රැස්වීමකටම නමස්කාර මධ්‍යස්ථානයට යන්න බැරි වෙන එක ගැන දුකෙන් ඉන්න සහෝදරයෙක්ව ඔයා දන්නවාද? එහෙනම් ඔයාට පුළුවන් ‘දිරිගන්වන දෙයක්’ එයාලත් එක්ක කතා කරන්න. (එෆී. 4:29) දිලිඳු වැන්දඹුවගේ සිද්ධියෙන් ඔයා ඉගෙනගත්ත වටිනා පාඩම එයාලට කියන්න. එයාලා උපරිමය කරන එක ගැන යෙහෝවා දෙවියන් හුඟක් සතුටු වෙනවා කියලා මතක් කරගන්න ඒක එයාලට උදව් වෙයි. (හිතෝ. 15:23; 1 තෙස. 5:11) ඒ විදිහට අනිත් අය එයාලගේ උපරිමය යෙහෝවා දෙවියන්ට දෙන එක ඔයා අගය කරනවා නම් යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න ඔයාට පුළුවන්.

21. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

21 සුවිශේෂ පොත්වල යේසුස්ගේ තොරතුරු ගොඩක් සඳහන් වෙලා තියෙන එක ගැන අපි කොච්චර සතුටු වෙනවාද! ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. පෞද්ගලික අධ්‍යයනයේදී නැත්නම් පවුලේ නමස්කාරයේදී සුවිශේෂ පොත් අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්ද? ඒකෙන් ඔයාට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඒ තොරතුරු හිතින් මවාගෙන, ඒ ගැන හොඳට හිතලා බලලා, ජීවිතේට අදාළ කරගත්තොත් විතරයි කියලා අමතක කරන්න එපා. යේසුස් කරපු දේවලට විතරක් නෙවෙයි ඔහු කියපු දේවලටත් අපි අවධානය දෙන්න ඕනේ. යේසුස් මැරෙන්න කලින් අන්තිමට කියපු දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 15 දෙවිගේ කුළුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!

^ 5 ඡේ. සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි ‘යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න’ ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක කරන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද? ඒවාට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: දිලිඳු වැන්දඹුව සම්බන්ධයෙන් යේසුස් කියපු දේ ගැන හොඳට කල්පනා කළාට පස්සේ සහෝදරියක් උපරිමයෙන්ම සේවය කරන මහලු සහෝදරියක්ව දිරිගන්වනවා.