Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 15

යේසුස් අන්තිමට කියපු දේවලින් වටිනා පාඩම් ඉගෙනගමු

යේසුස් අන්තිමට කියපු දේවලින් වටිනා පාඩම් ඉගෙනගමු

“මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න.”—මතෙ. 17:5.

ගීතිකාව 17 “මා කැමතියි”

මේ ලිපියෙන් *

1-2. යේසුස් මැරෙන්න කලින් කතා කරපු අවස්ථාවේදී ඔහු හිටියේ මොන වගේ තත්වයකද?

මේ සිද්ධිය වෙන්නේ ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා. යේසුස්ට විරුද්ධව බොරු චෝදනා නඟන ඔහුගේ සතුරන් දැන් ඔහුට හොඳටම වධ දෙනවා. නින්දා කරනවා. ඔහුගේ අත් කකුල් පසාරු කරගෙන යන විදිහට ඔහුව වධකණුවක ඇණ ගහනවා. ඔහු ඉන්නේ කොයි තරම් වේදනාවකින්ද කියලා හිතාගන්න පුළුවන් නේද? හුස්ම ගන්න, කතා කරන වතාවක් වතාවක් ගාණේ ඔහුට දැනෙන වේදනාව තවත් වැඩි වෙනවා. ඒ වුණත් ඔහු දැන් කතා කරන්නේ ඔහුට කියන්න වැදගත් දේවල් තියෙන නිසයි.

2 වධකණුවේ මියැදෙමින් ඉද්දී යේසුස් කියපු දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම් ගැන දැන් අපි බලමු. දෙවියන් කියපු විදිහට අපි දැන් ඔහුට ‘ඇහුම්කන්’ දෙමු.—මතෙ. 17:5.

“පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න”

3. “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න” කියලා කියද්දී යේසුස් අදහස් කරන්න ඇත්තේ කාවද?

3 යේසුස් කිව්වේ මොනවාද? වධකණුවේ ඉද්දී යේසුස් යාච්ඤා කළා “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න” කියලා. ඔහු සමාව දෙන්න කිව්වේ කාටද? ඔහු ඊළඟට කියපු දෙයින් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. යේසුස් කිව්වා, “ඔවුන් කරන දේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ” කියලා. (ලූක් 23:33, 34) යේසුස් එහෙම කියන්න ඇත්තේ වධකණුවක ඔහුව ඇණ ගහපු රෝම සොල්දාදුවන් ගැන වෙන්න ඇති. මොකද එයාලා යේසුස් දෙවියන්ගේ පුතා කියලා තේරුම් අරන් හිටියේ නැහැ. සමහරවිට යේසුස්ව මරන්න කියලා කෑගහපු සෙනඟ ගැනත් ඔහුගේ මනසේ තියෙන්න ඇති. මොකද එයාලගෙන් සමහර අය පස්සේ කාලෙක යේසුස් ගැන විශ්වාසය තිබ්බා. (ක්‍රියා 2:36-38) බොරු චෝදනා නඟලා තමන්ට හොඳටම වධ දීපු අයට යේසුස් වෛර කළේ නැහැ. (1 පේතෘ. 2:23) ඒ වෙනුවට තමන්ව මරණයට පත් කරන අයට සමාව දෙන්න කියලා ඔහු යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා.

4. යේසුස් කැමැත්තෙන්ම සමාව දීපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

4 යේසුස් කියපු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? යේසුස් වගේ අපිත් අනිත් අයට කැමැත්තෙන්ම සමාව දෙන්න ඕනේ. (කොලො. 3:13) සමහරවිට අපේ නෑදෑයන් නැත්නම් අනිත් අය අපේ විශ්වාසයන් වැරදියට තේරුම් අරන් අපිට පීඩා කරයි. අපි ගැන බොරු කියයි. අනිත් අය ඉස්සරහා අපිට නින්දා කරයි. අපේ ප්‍රකාශන විනාශ කරලා දායි. එයාලා අපිට තර්ජනය කරන්න වුණත් ඉඩ තියෙනවා. එහෙම වෙද්දී එයාලා ගැන කේන්ති ගන්නවා වෙනුවට අපිට පුළුවන් එයාලට සත්‍යයට එන්න උදව් කරන්න කියලා යාච්ඤා කරන්න. (මතෙ. 5:44, 45) හැබැයි සමහර වෙලාවට විශේෂයෙන්ම අපි ලොකු අසාධාරණයකට මුහුණ දෙද්දී අනිත් අයට සමාව දෙන එක අපිට ලේසි වෙන එකක් නැහැ. ඒත් එයාලා ගැන අපේ හිතේ වෛරයක් ඇති කරගත්තොත් අපි රිද්දගන්නේ අපිටමයි. එක සහෝදරියක් මෙහෙම කියනවා. “කෙනෙක්ට සමාව දෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එයා කරපු දේ වැරදි නැහැ කියලා මං හිතනවා කියන එකවත් එයා මට ඒ විදිහට සැලකුවාට කමක් නැහැ කියන එකවත් නෙවෙයි. සමාව දෙනවා කියන්නේ වරදක් කරපු කෙනෙක් ගැන හිතේ වෛරයක් ඇති කරගන්නේ නැතුව ඉන්න එකයි.”—ගීතා. 37:8; එෆී. 4:31, 32.

‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා’

5. එක අපරාධකාරයෙක්ට යේසුස් පොරොන්දු වුණේ මොකක්ද? ඒ ඇයි?

5 යේසුස් කිව්වේ මොනවාද? යේසුස්ගේ දෙපැත්තේ වධකණුවල ඇණ ගහපු අපරාධකරුවන් දෙන්නෙක් හිටියා. මුලදී එයාලත් යේසුස්ට නින්දා අපහාස කළා. (මතෙ. 27:44) හැබැයි පස්සේ එක් කෙනෙක් තේරුම්ගත්තා යේසුස් ‘කිසිම වරදක් කරලා නැහැ’ කියලා. (ලූක් 23:40, 41) ඒ විතරක් නෙවෙයි යේසුස් නැවත නැඟිටිනවා කියලත් ඔහු රජ වෙනවා කියලත් එයා තේරුම්ගත්තා. ඒ නිසයි එයා යේසුස්ට කිව්වේ “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා” කියලා. (ලූක් 23:42) එතකොට යේසුස් එයාට කිව්වා, “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලා. (ලූක් 23:43) * තමන්ගේ පියාණන් දයාවෙන් පිරුණු කෙනෙක් කියලා හොඳින්ම තේරුම් අරන් හිටපු නිසයි යේසුස් ඒ වගේ බලාපොරොත්තුවක් ඒ අපරාධකරුට දුන්නේ.—ගීතා. 103:8.

6. යේසුස් අපරාධකරුවාට කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 යේසුස් කියපු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? යේසුස් සීයට සීයක්ම යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගත්තා. (හෙබ්‍රෙ. 1:3) යෙහෝවා දෙවියන් හරිම දයාන්විත කෙනෙක්. අපි අතින් වුණු වැරදි ගැන අපි අවංකවම පසුතැවිලි වෙනවා නම් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් දෙවියන් කැමැත්තෙන්ම අපිට සමාව දෙනවා. (1 යොහ. 1:7) හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘මං අතින් වුණු වැරදිවලට නම් කවදාවත් දෙවියන්ගෙන් මට සමාව ලැබෙන එකක් නැහැ’ කියලා. ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? එහෙනම් මැරෙන්න මොහොතකට කලින් වධකණුවක ඇණ ගහලා හිටපු අපරාධකරුවාට යේසුස් කියපු දේ මතක් කරගන්න. එයා යේසුස් ගැන විශ්වාසය තියන්න පටන්ගත්ත නිසා යේසුස් එයාට දයාව පෙන්නලා සමාව දුන්නා. එහෙනම් යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න උපරිමයෙන් වෑයම් කරන අයට සමාව දෙන්න ඔහු ඊටත් වඩා කොච්චර කැමැත්තකින් ඉන්නවා ඇද්ද!—ගීතා. 51:1; 1 යොහ. 2:1, 2.

‘මේ සිටින්නේ ඔබේ පුතා! මේ සිටින්නේ ඔබේ මව!’

7. යොහන් 19:26, 27 අනුව යේසුස් මරියාටයි යොහන්ටයි කිව්වේ මොනවාද? ඒ ඇයි?

7 යේසුස් කිව්වේ මොනවාද? (යොහන් 19:26, 27 කියවන්න.) යේසුස් ඔහුගේ අම්මා ගැන හුඟක් සැලකිලිමත් වුණා. සමහරවිට මරියා ඒ වෙද්දී වැන්දඹුවක් වෙන්න ඇති. මරියාට ඕන කරන කෑම බීම දීලා එයාව ආදරෙන් බලාගන්න එයාගේ දරුවන්ට පුළුවන් වෙයි. හැබැයි දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න එයාට උදව් කරන්න දරුවන්ට පුළුවන් වෙයිද? ඒ වෙද්දී එයාලා යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළිගත්තා කියලා කියන්න කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. හැබැයි යොහන් යේසුස්ගේ නියෝජිතයෙක් වගේම ඔහුගේ කිට්ටුම යාළුවෙක්. තමන් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු අයව යේසුස් සැලකුවේ තමන්ගේම පවුලේ අය විදිහට. (මතෙ. 12:46-50) ඒ නිසා යේසුස් මරියාව යොහන්ට භාර දුන්නේ ලොකු විශ්වාසයකින්. දිගටම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න යොහන් මරියාට උදව් කරයි කියන එක ගැන යේසුස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා යේසුස් මරියාට යොහන්ව පෙන්නලා කිව්වා ‘මේ ඉන්නේ ඔයාගේ පුතා’ කියලා. යොහන්ට මරියාව පෙන්නලා කිව්වා ‘මේ ඉන්නේ ඔයාගේ අම්මා’ කියලා. එදා ඉඳන් යොහන් එයාගෙම අම්මාට සලකනවා වගේ මරියාට හරිම ආදරෙන් සැලකුවා. තමන්ව මෙලොවට බිහි කරලා ආදරෙන් බලාගත්ත, මැරෙන මොහොතේදීත් තමන්ගේ ළඟින්ම හිටිය මරියා ගැන යේසුස්ගේ හිතේ කොච්චර ලොකු ආදරයක් තිබුණාද!

8. යේසුස් මරියාට සහ යොහන්ට කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 යේසුස් කියපු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න පටන්ගත්තාම සමහරවිට අපේම පවුලේ අය, අපේ නෑදෑයන් අපිට විරුද්ධ වෙයි. නැත්නම් එයාලා අපිව අත්හරියි. හැබැයි අපි තනි වෙන්නේ නැහැ. මොකද යේසුස් පොරොන්දු වුණා වගේ අපි දිගටම යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ සංවිධානයටත් විශ්වාසවන්තව ඉන්නවා නම් අපිට අහිමි වුණ දේවල් වගේ ‘සිය ගුණයක්’ අපිට ආයෙත් ලැබෙනවා. ඔව්, අපේම දුවලා පුතාලා වගේ අය, අපේම අම්මලා, තාත්තලා වගේ අය ඕන තරම් දෙවියන්ගේ සංවිධානයෙන් අපිට ලැබෙනවා. (මාක් 10:29, 30) අපේම පවුලේ අයත් එක්ක තියෙනවාට වඩා කිට්ටු බැඳීමක් අපිට අපේ සහෝදර සහෝදරියන් එක්ක ඇති කරගන්න පුළුවන්. යෙහෝවා දෙවියන්ටත් එකිනෙකාටත් ආදරේ කරන එකමුතු පවුලක සාමාජිකයෙක් වෙන්න ලැබුණු එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?—කොලො. 3:14; 1 පේතෘ. 2:17.

‘මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි?’

9. මතෙව් 27:46 යේසුස් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 යේසුස් කිව්වේ මොනවාද? මැරෙන්න මොහොතකට කලින් යේසුස් කිව්වා “මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි” කියලා. (මතෙ. 27:46) යේසුස් එහෙම කියන්න ඇත්තේ ඇයි කියලා බයිබලේ විස්තර කරලා නැහැ. හැබැයි ඔහු කියපු ඒ දෙයින් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යේසුස් ඒ දේ කියපු එකෙන් ගීතාවලිය 22:1 * සඳහන් අනාවැකිය ඉටු වුණා. ඒ වගේම යෙහෝවා දෙවියන් යේසුස් වටේ “ආරක්ෂක පවුරක්” දාලා තිබුණේ නැහැ කියලත් ඒකෙන් ඔප්පු වුණා. (යෝබ් 1:10) යෙහෝවා දෙවියන් යේසුස්ව සතුරන් අතට පත් වෙන්න ඉඩහැරියේ මරණ මොහොත වෙන කල්ම ඔහු දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා කියන එක ඔප්පු කරන්නයි කියලා යේසුස් හොඳින්ම තේරුම් අරන් හිටියා. ඇත්තටම යේසුස් අද්දැක්කා වගේ වේදනාකාරී මරණයක් වෙන කිසිම කෙනෙක් අද්දැකලා නැහැ. මරණ දඬුවම ලබන්න තරම් වරදක් යේසුස් කරලා තිබුණේ නැහැ කියලත් ඔහු කියපු දෙයින් පැහැදිලි වුණා.

10. යේසුස් ඔහුගේ තාත්තාට කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 යේසුස් කියපු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? එක දෙයක් තමයි අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන හැම පීඩා පරීක්ෂාවකින්ම යෙහෝවා දෙවියන් අපිව ගලවගන්නේ නැහැ කියන දේ. ඒ වගේම යේසුස් වගේ පීඩා පරීක්ෂාවලදී මරණය දක්වාම විශ්වාසවන්තව ඉන්න අපි සූදානමින් ඉන්න ඕනේ. (මතෙ. 16:24, 25) හැබැයි කවදාවත් අපිට දරාගන්න බැරි තරම් පීඩාවලට මුහුණ දෙන්න ඉඩහරින්නේ නැහැ කියලා දෙවියන් අපිට පොරොන්දු වෙලා තියෙනවා. (1 කොරි. 10:13) අපිට ඉගෙනගන්න පුළුවන් තවත් දෙයක් තමයි යේසුස් වගේම අපිත් කිසිම වරදක් නොකළත් අනිත් අයගේ වෛරයට ලක් වෙන්න පුළුවන් කියන දේ. (1 පේතෘ. 2:19, 20) අපි ලෝකේ මිනිසුන්ට සමාන වෙන්නේ නැහැ. අපි සත්‍යය ගැන දිගටම දේශනා කරනවා. ඒ නිසයි මිනිස්සු අපිට පීඩා කරන්නේ. (යොහ. 17:14; 1 පේතෘ. 4:15, 16) යෙහෝවා දෙවියන් තමන්ට දුක් විඳින්න ඉඩහැරියේ ඇයි කියලා යේසුස් හොඳින්ම තේරුම් අරන් හිටියා. හැබැයි දෙවියන්ගේ සේවකයන්ගෙන් හුඟදෙනෙක් තමන්ට පීඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී යෙහෝවා දෙවියන් ඒවාට ඉඩහැරියේ ඇයි කියන දේ ගැන කල්පනා කළා. (හබ. 1:3) ඒත් යෙහෝවා දෙවියන් දයාවෙන් පිරුණු, ඉවසිලිවන්ත කෙනෙක් නිසා එයාලා එහෙම අහන්නේ විශ්වාසයේ අඩුකමක් නිසා නෙවෙයි, එයාලට සහනයක් ඕන වෙලා තියෙන නිසයි කියලා ඔහු තේරුම්ගන්නවා.—2 කොරි. 1:3, 4.

“මට තිබහයි”

11. යොහන් 19:28 සඳහන් දේ යේසුස් කිව්වේ ඇයි?

11 යේසුස් කිව්වේ මොනවාද? (යොහන් 19:28 කියවන්න.) යේසුස් කිව්වා “මට තිබහයි” කියලා. ඔහු එහෙම කියපු එකෙන් ගීතාවලිය 22:15 සඳහන් කරලා තිබුණු මේ අනාවැකිය ඉටු වුණා. “මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි. මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.” ඒ වගේම දවස පුරාම වේදනා විඳලා වධකණුවේ හිටපු යේසුස්ට ඇත්තටම ලොකු පිපාසයක් දැනෙන්නත් ඇති. ඒ නිසා ඔහුට අනිත් අයගෙන් උදව්වක් ඕනෙ වුණා.

12. “මට තිබහයි” කියලා යේසුස් කියපු වචනවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 යේසුස් කියපු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? තමන්ට හැඟෙන විදිහ ගැන කියන්න, අනිත් අයගෙන් උදව් ඉල්ලන්න, යේසුස් ලැජ්ජ වුණේ නැහැ. ඉතින් අපි ලැජ්ජ වෙන්න ඕනෙද? අපි හුඟක් වෙලාවට කැමති අපේ දේවල් තනියෙන් කරගන්න. හැබැයි අපිට උදව් ඕනෙ නම් ඒ ගැන කියන්න අපි අදිමදි කරන්න හොඳ නැහැ. උදාහරණෙකට අපි වයසක කෙනෙක් නම් නැත්නම් අසනීපයෙන් ඉන්න කෙනෙක් නම් කඩේට යන්න, දොස්තර ගාවට යන්න අපිට තව කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න වෙයි. ඒ වගේම අපි අධෛර්යය වෙලා ඉන්නවා නම් අපිව ‘දිරිගන්වන්න’ කියලා වැඩිමහල්ලෙක්ගෙන් හරි අවබෝධයෙන් වැඩ කරන සභාවේ යාළුවෙක්ගෙන් හරි ඉල්ලන්න වෙයි. (හිතෝ. 12:25) අපේ සහෝදර සහෝදරියන් අපිට හුඟක් ආදරෙයි කියලා අමතක කරන්න එපා. එයාලට ඕනෙ “විපතකදී” අපේ ළඟින්ම ඉඳන් අපිට උදව් කරන්න. (හිතෝ. 17:17) හැබැයි එයාලට බැහැනේ අපේ හිත් කියවන්න. ඒ නිසා උදව් ඕන වෙලාවට අපි එයාලට ඒ ගැන කිව්වේ නැත්නම් එයාලා කොහොමද අපිට උදව් කරන්නේ?

“ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා!”

13. යේසුස් මරණය දක්වාම විශ්වාසවන්තව හිටපු එකෙන් ඔහු ඉටු කළේ මොනවාද?

13 යේසුස් කිව්වේ මොනවාද? නීසාන් 14 වෙනිදා හවස තුනට විතර වධකණුවේ හිටිය යේසුස් ඔහුගේ තාත්තාට මෙහෙම කිව්වා. ‘මම ඔබ පැවසූ සෑම දෙයක්ම ඉටු කළා.’ (යොහ. 19:30) මිය යන්න ඔන්න මෙන්න හිටපු යේසුස් ඒ වෙද්දී යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වුණ හැම දෙයක්ම ඉටු කරලයි තිබුණේ. මරණය දක්වාම විශ්වාසවන්තව හිටපු එකෙන් යේසුස් දේවල් කීපයක්ම ඉටු කළා. ඔහු සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කළා. ඔහු ඒක කළේ සාතන් මොන පීඩාවක් ගෙනාවත් පරිපූර්ණ මිනිසෙක්ට මරණය දක්වාම විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියලා ඔප්පු කරපු එකෙන්. යේසුස් ඔහුගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කළා. ඔහු එහෙම කරපු නිසා පාපය උරුම කරගත්ත මිනිසුන්ට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් සදාකාලයටම ජීවත් වෙන්නත් අවස්ථාව උදා වුණා. ඒ වගේම යේසුස් පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි කියලා ඔප්පු කරලා ඔහුගේ නම ගෞරවයට පත් කළා.

14. අපි හැම දවසක්ම ගත කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න ඕනෙ කොයි විදිහටද? පැහැදිලි කරන්න.

14 යේසුස් කියපු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි ජීවත් වෙන හැම දවසකම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපි අදිටන් කරගන්න ඕනේ. ගිලියද් පාසැලේ උපදේශකයෙකු වුණ සහෝදර මැක්ස්වල් ෆ්‍රෙන්ඩ් විශ්වාසවන්තකම ගැන සමුළුවක දුන්න දේශනයක මෙහෙම කියලා තියෙනවා. “ඔයාට අද කියන්න කරන්න පුළුවන් දේවල් හෙටට කල් දාන්න එපා. ඔයා හෙට ඉඳියිද කියලා කවුද දන්නේ? ඒ නිසා සදාකාල ජීවනය ලබාගන්න ඔයා සුදුසුයි කියලා ඔප්පු කරන්න ඔයාට තියෙන අන්තිම දවස අදයි කියලා හිතලා වැඩ කරන්න.” ඔව්, අපිත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට තියෙන අන්තිම දවස අදයි කියලා හිතලා වැඩ කරමු. එතකොට මරණයට මුහුණ දෙන්න වුණත් යෙහෝවා දෙවියන්ට මෙහෙම කියන්න අපිට පුළුවන්. “පියාණෙනි, මං මැරෙන මොහොත වෙන කල්ම ඔබට විශ්වාසවන්තව ඉන්න මට පුළුවන් හැම දේම කළා. සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්නත් ඔබේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්නත් පාලනය කරන්න අයිතිය තියෙන්නේ ඔබට විතරයි කියලා ඔප්පු කරන්නත් මං මගේ උපරිමයෙන් වෑයම් කළා.”

“මගේ ජීවිතය ඔබේ අතේ”

15. ලූක් 23:46 අනුව යේසුස්ට ලොකු විශ්වාසයක් තිබුණේ මොනවා ගැනද?

15 යේසුස් කිව්වේ මොනවාද? (ලූක් 23:46 කියවන්න.) යේසුස් ලොකු විශ්වාසයකින් කිව්වා “පියාණෙනි, මගේ ජීවිතය ඔබේ අතේ” කියලා. තමන් මැරුණාට පස්සේ නැවත ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවියන් ඔහුව නැවත නැඟිටෙව්වොත් විතරයි කියලා යේසුස් හොඳින්ම දැනන් හිටියා. ඒ වගේම පියාණන් ඒ දේ කරනවා කියන එක ගැන ඔහුට කිසිම සැකයක් තිබුණෙත් නැහැ.

16. සහෝදර ජොෂුවාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

16 යේසුස් කියපු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? මරණයට මුහුණ දෙන්න වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගන්න. එහෙම කරන්න නම් ඔයා මුළු හිතින්ම “යෙහෝවා දෙවිව විශ්වාස කරන්න” ඕනේ. (හිතෝ. 3:5) අවුරුදු 15ක් වයස සහෝදර ජොෂුවාගේ අද්දැකීම බලන්න. එයාට මාරාන්තික අසනීපයක් හැදිලා තිබුණා. ඒත් එයා බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි විදිහේ ප්‍රතිකාර ලබාගන්න කැමති වුණේ නැහැ. එයා මැරෙන්න ටිකකට කලින් අම්මාට මෙහෙම කියලා තියෙනවා. “අම්මේ, මගේ ජීවිතේ තියෙන්නේ යෙහෝවා දෙවියන් අතේ. යෙහෝවා දෙවියන් මාව අනිවාර්යයෙන්ම නැවත නැඟිටුවන්න යනවා කියලා මට විශ්වාසයි. දෙවියන් මාව හොඳින්ම තේරුම් අරන් ඉන්නවා කියලත් මං දන්නවා. මං යෙහෝවා දෙවියන්ට හුඟක් ආදරෙයි.” ඉතින් අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘ජීවිතේ අනතුරේ තියෙන අවස්ථාවකදී වුණත් මං ජීවිතේ යෙහෝවා දෙවියන්ට භාර දීලා ඔහු මාව නැවත නැඟිටුවයි කියන විශ්වාසයෙන් වැඩ කරයිද?’

17-18. මේ පාඩමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (“ යේසුස් අන්තිමට කියපු දේවලින් වටිනා පාඩම්” කියන කොටුව බලන්න.)

17 යේසුස් අන්තිමට කියපු දේවලින් අපි මොන තරම් වටිනා පාඩම් ඉගෙනගත්තාද! අනිත් අයට සමාව දෙන එකේ සහ අපේ වැරදිවලට යෙහෝවා දෙවියන් සමාව දෙයි කියලා විශ්වාස කරන එකේ වැදගත්කම අපි ඉගෙනගත්තා. ඕනම වෙලාවකදී අපිට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්න සහෝදර සහෝදරියන් අපිට ඉන්නවා. හැබැයි අපිට උදව් ඕනෙ නම් අනිත් අයගෙන් උදව් ඉල්ලන්න ඕනෙ කියලත් අපි ඉගෙනගත්තා. මොන පීඩා ආවත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරනවා. ඒ වගේම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට තියෙන අවසානම දවස අදයි කියලා හිතලා වැඩ කරන එකේ වැදගත්කම ගැනත් අපි ඉගෙනගත්තා. අපි මැරුණත් යෙහෝවා දෙවියන් අපිව නැවත නැඟිටුවනවා කියලා අපිට කිසි සැකයක් නැහැ.

18 ඔව්, වධකණුවේ මිය යමින් හිටපු යේසුස් කියපු අන්තිම වචනවලින් අපි ඉගෙනගත්ත ඒ වටිනා පාඩම් අදාළ කරගන්න උපරිමයෙන් වෑයම් කරමු. එහෙම කරද්දී පුත්‍රයාට “සවන් දෙන්න” කියලා යෙහෝවා දෙවියන් කියපු දේට කීකරු වෙනවා කියලා පෙන්නන්න අපිට පුළුවන්.—මතෙ. 17:5.

ගීතිකාව 126 අවදිව ස්ථිරව සිටිමු

^ 5 ඡේ. මතෙව් 17:5න් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන් කැමති අපි ඔහුගේ පුතාට ඇහුම්කන් දෙනවාටයි කියලා. වධකණුවේ ඉද්දී යේසුස් කියපු දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම් ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ 5 ඡේ. යේසුස් අපරාධකරුවාට කිව්වේ එයාට ස්වර්ගයට යන්න ලැබෙනවා කියලා නෙවෙයි, පාරාදීස පොළොවක ජීවත් වෙන්න ලැබෙනවා කියන එකයි.

^ 9 ඡේ. ගීතාවලිය 22:1 තියෙන දේ යේසුස් කියන්න ඇත්තේ ඇයි කියලා දැනගන්න මේ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.