Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 16

ජීවිත පූජාව ගැන හැම දවසකම ස්තුති කරන්න

ජීවිත පූජාව ගැන හැම දවසකම ස්තුති කරන්න

‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.’—මාක් 10:45.

ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

මේ ලිපියෙන් *

1-2. යේසුස්ගේ ජීවිත පූජාව අපිට අවශ්‍ය වෙන්නේ ඇයි?

ආදම් පව් කළේ නොදැනුවත්කමින් නෙවෙයි. එයා ඒක කළේ හිතාමතාමයි. ඒ නිසා එයාටත් එයාගෙන් පැවතෙන හැමෝටමත් මරණය උරුම වුණා. ආදම්ට නම් එහෙම වුණාට කමක් නැහැ. ඒත් එයාගෙන් පැවතෙන අයව ගලවගන්න යෙහෝවා දෙවියන් මොනවා හරි කරයිද? (රෝම 5:12, 14) ඔව්, ආදම් පව් කළාට පස්සේ එයාගෙන් පැවතෙන අයව ගලවගන්න යෙහෝවා දෙවියන් කරන්න යන්නේ මොනවාද කියලා ටිකෙන් ටික පැහැදිලි කළා. (උත්. 3:15) නියමිත කාලය ආවාම “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්න” යෙහෝවා දෙවියන් ඔහුගේ පුතාව පොළොවට එව්වා.—මාක් 10:45; යොහ. 6:51.

2 යේසුස් ඔහුගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කළේ ආදම් නිසා මිනිසුන්ට අහිමි වුණු දේ ආපහු ලබා දෙන්නයි. (1 කොරි. 15:22) මොකද යෙහෝවා දෙවියන් දීලා තිබුණු නීතියට අනුව ජීවිතයට ජීවිතයක් ඕන වුණා. (නික්. 21:23, 24) ආදම් නැති කරගත්තේ පරිපූර්ණ ජීවිතයක්. ඒ නිසා තමයි යේසුස්ට ඔහුගේ පරිපූර්ණ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරන්න වුණේ. (රෝම 5:17) ඔහු ඒ දේ කරපු නිසා ඔහුගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන හැමෝගෙම “සදාකාල පියාණන්” විදිහට ඔහුව හඳුන්වන්න පුළුවන්.—යෙසා. 9:6; රෝම 3:23, 24.

3. යොහන් 14:31 සහ 15:13 අනුව යේසුස් ඔහුගේ පරිපූර්ණ ජීවිතය කැමැත්තෙන්ම පූජා කළේ ඇයි?

3 යේසුස් ඔහුගේ ජීවිතය කැමැත්තෙන්ම පූජා කළේ යෙහෝවා දෙවියන්ට සහ අපිට තියෙන ආදරේ නිසයි. (යොහන් 14:31; 15:13 කියවන්න.) ඒ ආදරේ ඔහුව පෙලඹෙව්වා මරණය දක්වාම විශ්වාසවන්තව ඉඳලා ඔහුගේ තාත්තා දුන්න පැවරුම සම්පූර්ණයෙන්ම ඉටු කරන්න. ඒ නිසා මිනිසුන් ගැන දෙවියන්ට තිබුණු අරමුණ ළඟදීම මේ පොළොවේ ඉටු වෙනවා. ඒත් යේසුස්ට ඒ තරම් වේදනාකාරී මරණයක් අද්දකින්න යෙහෝවා දෙවියන් ඉඩහැරියේ ඇයි? ජීවිත පූජාව ගැන ලොකු අගයක් තිබුණු බයිබල් ලේඛකයෙක්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ජීවිත පූජාව ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? දෙවියන් සහ යේසුස් අපිට දුන්න ඒ වටිනා තෑග්ග ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

යේසුස්ට ඒ තරම් වේදනාකාරී මරණයක් අද්දකින්න වුණේ ඇයි?

අපි වෙනුවෙන් ජීවිතය පූජා කරන්න යේසුස්ට මොන තරම් දේවල් විඳදරාගන්න වුණාද කියලා හිතලා බලන්න (4 ඡේදය බලන්න)

4. යේසුස් අද්දැක්කේ මොන වගේ මරණයක්ද?

4 යේසුස් පොළොවේ ගත කරපු අන්තිම දවසේ ඔහුට මුහුණ දෙන්න වුණු දේවල් ගැන ටිකකට හිතන්න. මිලියන ගාණක් දේවදූතයන්ගේ උදව් ගන්න පුළුවන්කම තියෙද්දී රෝම සොල්දාදුවන්ට ඔහුව අල්ලගෙන හිත්පිත් නැති විදිහට ඔහුට පහර දෙන්න යේසුස් ඉඩහරිනවා. (මතෙ. 26:52-54; යොහ. 18:3; 19:1) එයාලා කසයකින් පහර දෙද්දී යේසුස්ගේ ශරීරයේ මස් ඉරීගෙන යනවා. ඊටපස්සේ යේසුස්ව ඇණ ගහන්න යන කණුව දැනටමත් හොඳටම තුවාල වෙලා තියෙන යේසුස්ගේ පිටේ තියලා ඒක ඇදගෙන යන්න කියලා රෝම සොල්දාදුවන් යේසුස්ට කියනවා. යේසුස් අමාරුවෙන් වධකණුව ඇදගෙන යන්න පටන්ගත්තාම ළඟ හිටපු කෙනෙක්ට ඒ කණුව ඇදගෙන එන්න කියලා රෝම සොල්දාදුවන් අණ කරනවා. (මතෙ. 27:32) යේසුස්ව මරන්න යන තැනට ආවාම රෝම සොල්දාදුවන් යේසුස්ව කණුවක තියලා අත්වලටයි කකුල්වලටයි ඇණ ගහනවා. කණුව කෙළින් කළාට පස්සේ යේසුස්ගේ ශරීරයේ බරට ඇණ ගහපු තැන් තවත් ඉරෙනවා. යේසුස්ගේ යාළුවනුයි අම්මායි හඬා වැළපෙද්දී යුදෙව් නායකයන් යේසුස්ට සමච්චල් කරනවා. (ලූක් 23:32-38; යොහ. 19:25) මේ විදිහට යේසුස් පැය ගාණක් වේදනාවෙන් ඉන්නවා. යේසුස්ගේ හදවතටයි පෙණහලුවලටයි දරාගන්න බැරි තරම් පීඩනයක් ඇති වෙලා තියෙන නිසා ඔහු හුස්ම ගන්නේ හරිම අමාරුවෙන්. ඒත් මිය යන්න ටිකකට කලින් “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියලා ඔහු පියාණන්ට කියනවා. ඊටපස්සේ ඔහු අවසන් හුස්ම හෙළනවා. (මාක් 15:37; ලූක් 23:46; යොහ. 10:17, 18; 19:30) යේසුස් අද්දැක්කේ මොන තරම් වේදනාකාරී, නින්දාසහගත මරණයක්ද!

5. යේසුස්ට දරාගන්න අමාරුම වුණේ මොකක්ද?

5 අද්දකින්න වුණු වේදනාකාරී මරණයට වඩා යේසුස්ට දරාගන්න අමාරුම වුණේ ඔහුට එල්ල කරපු චෝදනාවයි. ඔහුව මැරුවේ දෙවියන්ට අපහාස කරනවා කියන බොරු චෝදනාව මත. (මතෙ. 26:64-66) ඒක දරාගන්න කොච්චර අමාරු වුණාද කියනවා නම් ඒ චෝදනාවෙන් තමන්ව නිදහස් කරන්න කියලා ඔහු පියාණන්ගෙන් ඉල්ලුවා. (මතෙ. 26:38, 39, 42) ඒ වගේ වේදනාකාරී මරණයක් අද්දකින්න යෙහෝවා දෙවියන් තමන්ගේ පුතාට ඉඩහැරියේ ඇයි? ඒකට හේතු තුනක් දැන් අපි බලමු.

6. යේසුස්ට වධකණුවක මිය යන්න සිද්ධ වුණේ ඇයි?

6 යේසුස්ට වධකණුවක මිය යන්න වුණු එක හේතුවක් තමයි යුදෙව්වන් පිටට ඇවිල්ලා තිබුණු ශාපයකින් ඒ අයව ගලවගන්න ඕන වුණු එක. (ගලා. 3:10, 13) දෙවියන්ට කැප වුණු සෙනඟක් විදිහට යුදෙව්වන් දෙවියන් දීපු නීති රකින්න පොරොන්දු වුණත් එයාලා දිගින් දිගටම ඒවා කඩ කළා. ඒ නිසා ආදම්ගෙන් උරුම වුණු පාපයට අමතරව දෙවියන්ට දීපු පොරොන්දු කඩ කරපු එකෙන් එයාලා පිටට ආපු ශාපය නිසාත් එයාලට මරණ දඬුවම නියම වුණා. (රෝම 5:12) දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතියේ සඳහන් වුණා මරණ දඬුවම ලබන්න තරම් පාපයක් කරපු කෙනෙක්ව අනිවාර්යයෙන්ම මරන්න ඕනෙ කියලා. සමහර අවස්ථාවලදී ඒ අයගේ මළ සිරුර කණුවක එල්ලලා තිබ්බා. * ඒ වගේම කණුවක එල්ලලා මරන්නේ දෙවියන්ගෙන් ශාප ලබපු කෙනෙක්වයි කියලත් දෙවියන් දීපු නීතියේ සඳහන් වුණා. (ද්වි. 21:22, 23; 27:26) තමන්ව වධකණුවක ඇණ ගහන්න යේසුස් ඉඩහැරිය නිසා යුදෙව්වන්ට පුළුවන් වුණා එයාලා පිටට ඇවිත් තිබුණු ශාපයෙන් නිදහස් වෙන්න.

7. යෙහෝවා දෙවියන් යේසුස්ට වේදනාකාරී මරණයක් අද්දකින්න ඉඩහැරිය දෙවෙනි හේතුව මොකක්ද?

7 වේදනාකාරී මරණයක් අද්දකින්න යෙහෝවා දෙවියන් යේසුස්ට ඉඩහැරපු දෙවෙනි හේතුව දැන් අපි බලමු. අනාගතයේ උත්තම පූජකයා විදිහට වැඩ කරන්න ඔහු යේසුස්ව පුහුණු කරමිනුයි හිටියේ. දරුණු පීඩා මැද දෙවියන්ට කීකරුව ඉන්න එක කොච්චර අමාරු දෙයක්ද කියලා යේසුස් අද්දැක්කා. ඒ වෙලාවේ ඔහුට මොන තරම් පීඩනයක් දැනුණාද කිව්වොත් ඔහු “හඬා වැලපෙමින් කඳුළු සලමින්” දෙවියන්ට යාච්ඤා කළා. ඒ තරම් වේදනාකාරී අද්දැකීමකට මුහුණ දීපු නිසා ‘අපි පීඩාවලට මුහුණ දෙද්දී’ අපිට දැනෙන විදිහ ඔහුට හොඳින්ම තේරුම්ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී ‘අපිට උදව් කරන්නත්’ ඔහු සූදානමින් ඉන්නවා. ‘අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක් දැනෙන’ උත්තම පූජකයෙක්ව අපි වෙනුවෙන් දීලා තියෙන එක ගැන අපි යෙහෝවා දෙවියන්ට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—හෙබ්‍රෙ. 2:17, 18; 4:14-16; 5:7-10.

8. යෙහෝවා දෙවියන් යේසුස්ට වේදනාකාරී මරණයක් අද්දකින්න ඉඩහැරිය තුන්වෙනි හේතුව මොකක්ද?

8 දරුණු පීඩාවලට මුහුණ දෙන්න වෙද්දී මිනිසුන් දෙවියන්ට විශ්වාසවන්තව ඉඳියිද කියලා සාතන් ප්‍රශ්නයක් මතු කළා. සාතන් චෝදනා කළා මිනිසුන් දෙවියන්ට නමස්කාර කරන්නේ එයාලට දෙවියන්ගෙන් දේවල් ලැබෙන නිසයි කියලා. මුල්ම මිනිසා වුණු ආදම් දෙවියන්ට ආදරේ කළේ නැහැ වගේ කිසිම මිනිසෙක් දෙවියන්ට ආදරේ කරන්නේ නැහැ කියලයි සාතන් කියන්නේ. (යෝබ් 1:9-11; 2:4, 5) වේදනාකාරී මරණයක් අද්දකින්න දෙවියන් යේසුස්ට ඉඩහැරපු තුන්වෙනි හේතුව තමයි සාතන් නඟපු ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්න ඕන වුණු එක. මොන පීඩාවක් හමුවේ වුණත් යේසුස් විශ්වාසවන්තව ඉන්නවා කියන එක ගැන යෙහෝවා දෙවියන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. යේසුස් මරණය දක්වාම විශ්වාසවන්තව ඉඳලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කළා.

ජීවිත පූජාව ගැන ලොකු අගයක් තිබුණු බයිබල් ලේඛකයෙක්

9. යොහන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 දෙවියන් ගැන තිබුණු විශ්වාසය ශක්තිමත් කරගන්න යේසුස්ගේ ජීවිත පූජාව හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා. ඒ වගේ අය මොන පීඩාවක් මැද වුණත් දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා තියෙනවා. යොහන් ඒ වගේ කෙනෙක්. පේන විදිහට එයා අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් ක්‍රිස්තුස් ගැනත් ජීවිත පූජාව ගැනත් දේශනා කරලා තියෙනවා. හැබැයි එයාට වයස අවුරුදු 100දී විතර රෝම ආණ්ඩුව එයාව පැට්මොස් දූපතට පිටුවහල් කළා. එහෙම කළේ එයා ‘දෙවියන් ගැනත් යේසුස් ගැනත් සාක්ෂි දරපු’ නිසයි. (එළි. 1:9) අන්තිමය දක්වාම විඳදරාගෙන, විශ්වාසවන්තව ඉන්න එක සම්බන්ධයෙන් එයා අපිට කදිම ආදර්ශයක් නේද?

10. ජීවිත පූජාව ගැන යොහන්ට ලොකු අගයක් තිබුණා කියලා එයා ලියපු පොත්වලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

10 දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් යොහන් ලියපු පොත්වල යේසුස්ගේ ජීවිත පූජාව ගැන එහෙම නැත්නම් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සිය වතාවකටත් වැඩිය සඳහන් කරලා තියෙනවා. උදාහරණෙකට යොහන් මෙහෙම කියලා තියෙනවා. “යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකි.” (1 යොහ. 2:1, 2) ඒ වගේම ‘යේසුස් ගැන සාක්ෂි දරන’ එකේ වැදගත්කම ගැනත් යොහන් එයාගේ පොත්වල කාවද්දලා තියෙනවා. (එළි. 19:10) යේසුස් ගැනත් ඔහුගේ ජීවිත පූජාව ගැනත් යොහන්ට කොයි තරම් අගයක් තිබුණාද කියලා එයා ලියලා තියෙන දේවලින් හොඳින්ම පැහැදිලි වෙනවා. අපිටත් ඒ වගේ අගයක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය පෙන්නන්න පුළුවන් කොහොමද?

යේසුස්ගේ ජීවිත පූජාව අපි ඇත්තටම අගය කරනවා නම් වැරදි දේවල් කරන්න පෙලඹවීමක් එද්දී අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා (11 ඡේදය බලන්න) *

11. වැරදි පෙලඹවීම් ප්‍රතික්ෂේප කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

11 වැරදි පෙලඹවීම් ප්‍රතික්ෂේප කරන්න. යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට ලොකු අගයක් තියෙනවා නම් අපි කවදාවත් මේ විදිහට හිතන්නේ නැහැ. ‘වැරදි ආශාවක් ආවාම ඒක නැති කරගන්න මං වධ වෙන්න ඕනෙ නෑ. මොකද මං අතින් පාපයක් වුණත් දෙවියන් මට සමාව දෙනවානේ.’ එහෙම හිතනවා වෙනුවට වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී අපි මෙහෙම හිතමු. ‘යෙහෝවා දෙවියනුයි යේසුයි මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවාද? ඉතින් මං කොහොමද මේ වරද කරලා ඒ දෙන්නාගේ හිත් රිද්දන්නේ?’ ඒ වගේම අපිට පුළුවන් වරදට පෙලඹෙන්න ඉඩ දෙන්න එපා කියලා ලොකු ඕනෑකමකින් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න.—මතෙ. 6:13.

12. 1 යොහන් 3:16-18 තියෙන උපදෙස අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

12 ඔයාගේ සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න. යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළේ මං වෙනුවෙන් විතරක් නෙවෙයි. සහෝදර සහෝදරියන් හැමෝම වෙනුවෙන් තමයි ඔහු ඒ දේ කළේ. යේසුස් කැමැත්තෙන්ම එයාලා වෙනුවෙන් ජීවිතය පූජා කරපු එකෙන් පැහැදිලි වෙනවා ඔහු එයාලට කොච්චර ආදරෙයිද කියලා. (1 යොහන් 3:16-18 කියවන්න.) එහෙම බලද්දී අපි සහෝදරයන්ට ආදරයෙන් සලකනවා නම් අපි ඇත්තටම යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන්. (එෆී. 4:29, 31–5:2) එයාලට ආදරෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද? එයාලා අසනීප වෙද්දී, දරුණු පීඩාවලට මුහුණ දෙද්දී, ස්වාභාවික විපතකට ගොදුරු වෙද්දී අපිට පුළුවන් එයාලට උදව් කරන්න. හැබැයි සහෝදරයෙක් අපේ හිත රිදෙන දෙයක් කළොත් අපි කරන්න ඕනෙ මොනවාද?

13. අපි කැමැත්තෙන්ම අනිත් අයට සමාව දෙන්න ඕනෙ ඇයි?

13 සමහර වෙලාවට ඔයාට හිතෙනවාද හිත රිද්දපු සහෝදරයෙක්ට සමාව දෙන්න අමාරුයි කියලා? (ලෙවී. 19:18) එහෙනම් මේ උපදෙස අදාළ කරගන්න. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.” (කොලො. 3:13) සහෝදර සහෝදරියන්ට සමාව දෙන හැම වතාවකම අපි යෙහෝවා දෙවියන්ට පෙන්නනවා ජීවිත පූජාව අපිට කොච්චර වටිනවාද කියලා. යෙහෝවා දෙවියන් දුන්න ඒ වටිනා තෑග්ග ගැන අපිට තියෙන අගය තවත් වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද?

ජීවිත පූජාව ගැන තියෙන අගය තවත් වැඩි කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

14. ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය තවත් වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද?

14 ජීවිත පූජාව ගැන යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න. ඉන්දියාවේ ජීවත් වෙන අවුරුදු 83ක් වයස සහෝදරි ජොවානා මෙහෙම කියනවා. “හැම දවසකම යාච්ඤා කරද්දී ජීවිත පූජාව ගැන යෙහෝවා දෙවියන්ට ස්තුති කරන එක හරිම වැදගත් කියලයි මට හිතෙන්නේ.” හැම දවසකම යාච්ඤා කරන්න කලින් දවස ඇතුළත ඔයා අතින් වුණ වැරදි ගැන හොඳට හිතන්න. ඊටපස්සේ ඒ ගැන යෙහෝවා දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න. ඔයා අතින් බරපතළ පාපයක් වුණොත් වැඩිමහල්ලන්ගේ උදව්වත් ඔයාට ඕන වෙයි. ඔයා ඒ ගැන වැඩිමහල්ලන්ට කියද්දී එයාලා හොඳින් ඔයාට ඇහුම්කන් දීලා බයිබලේ පාවිච්චි කරලා ඔයාට ආදරෙන් උපදෙස් දෙයි. යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් ඔයාගේ වැරදිවලට සමාව දෙන්න කියලා වැඩිමහල්ලන් ඔයාත් එක්ක යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරයි.—යාකො. 5:14-16.

15. යේසුස්ගේ ජීවිත පූජාව ගැන කියවන්නත් ඒ ගැන හොඳට හිතන්නත් අපි කාලය ගන්න ඕනෙ ඇයි?

15 ජීවිත පූජාව ගැන හොඳට හිතන්න. අවුරුදු 73ක් වයස සහෝදරි රාජාමනී මෙහෙම කියනවා. “යේසුස් දුක් වින්ද විදිහ ගැන කියවද්දී මගේ ඇස්වලට කඳුළු එනවා.” යේසුස් වින්ද වේදනාව ගැන හිතද්දී ඔයාටත් ලොකු දුකක් දැනෙනවා ඇති. හැබැයි ඔයා ඒ ගැන හිතන තරමටම දෙවියන් ගැනත් යේසුස් ගැනත් ඔයාට තියෙන ආදරය තවත් වැඩි වෙයි. තනියම හරි පවුලක් විදිහට හරි යේසුස්ගේ ජීවිත පූජාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනෙ කියලා ඔයාටත් හිතුණාද?

යේසුස් තමන්ගේ මරණය සිහි කරන්න ඕනෙ කොහොමද කියලා නියෝජිතයන්ට පෙන්නලා දුන්නා (16 ඡේදය බලන්න)

16. යේසුස්ගේ ජීවිත පූජාව ගැන අනිත් අයට උගන්නන එක අපිට උදව් වෙන්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

16 යේසුස්ගේ ජීවිත පූජාව ගැන අනිත් අයට උගන්නන්න. යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපි අනිත් අයට කියන හැම වතාවකම ඒ ගැන අපිට තියෙන අගය තවත් වැඩි වෙනවා. යේසුස්ට මැරෙන්න වුණේ ඇයි කියලා පැහැදිලි කරන්න උදව් වෙන මෙවලම් අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙනවා. උදාහරණෙකට ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාවේ “යේසුස් ක්‍රිස්තුස් කවුද?” කියන 4වෙනි පාඩමේ තොරතුරු අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොතේ “දෙවියන් මිනිසුන්ට දීපු වටිනාම තෑග්ග” කියන 5වෙනි පාඩමේ තියෙන තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරද්දී, අනිත් අයට ඒකට ආරාධනා කරද්දී යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය තවත් වැඩි වෙනවා. යේසුස් ගැන අනිත් අයට කියලා දෙන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක් නේද?

17. යේසුස්ගේ ජීවිත පූජාව දෙවියන්ගෙන් මිනිසුන්ට ලැබුණු වටිනාම තෑග්ග කියලා කියන්න පුළුවන් ඇයි?

17 යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. අපි පාපය උරුම කරගෙන හිටියත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දමන්න පුළුවන් වෙන්නෙත් යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (1 යොහ. 3:8) ඒ විතරක් නෙවෙයි පොළොව සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන්ට තිබුණු මුල් අරමුණ ඉටු වෙන්නෙත් යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. ඒ කාලෙදී මුළු පොළොවම පාරාදීසයක් වෙනවා. එදාට ඔයාට මුණගැහෙන හැමෝම යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අය. ඒ කාලය එන කල් දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනාම තෑග්ග වන යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය වැඩි කරගන්න හැම දවසකම අපි පුළුවන් උපරිමය කරමු.

ගීතිකාව 20 දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!

^ 5 ඡේ. යේසුස්ට වේදනාකාරී මරණයක් අද්දකින්න වුණේ ඇයි? ඒකට උත්තරේ මේ ලිපියෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය වැඩි කරගන්නත් මේ ලිපිය උදව් වෙයි.

^ 6 ඡේ. රෝමවරු අපරාධකරුවෙක්ව කණුවක ගැටගැහුවේ එහෙමත් නැත්නම් ඇණ ගැහුවේ පණපිටින්මයි. ඒ විදිහට තමන්ගේ පුතාව මරණයට පත් කරන්න යෙහෝවා දෙවියන් රෝමවරුන්ට ඉඩහැරියා.

^ 55 ඡේ. පින්තූරයේ අදහස: අවස්ථා තුනකදී සහෝදරයන් තුන්දෙනෙක් අසභ්‍ය පින්තූර බලන එක, සිගරට් බොන එක සහ පගාව ගන්න එක ප්‍රතික්ෂේප කරනවා.