Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

අතීතයේ හිටපු මිනිස්සු බෝට්ටු හදන්න පැපිරස් බට දඬු පාවිච්චි කළාද?

පැපිරස් බට පඳුරක්

අතීතයේ හිටපු ඊජිප්තුවරු තොරතුරු වාර්තා කරන්න පැපිරස්වලින් හදපු කඩදාසි පාවිච්චි කළා කියලා හුඟදෙනෙක් දන්නවා. එයාලා විතරක් නෙවෙයි ග්‍රීක සහ රෝමවරුත් ඒ දේම කරලා තියෙනවා. * හැබැයි බෝට්ටු හදන්න පැපිරස් බට පාවිච්චි කළා කියලා හුඟදෙනෙක් දන්නේ නැහැ.

ඊජිප්තු සොහොනකින් හම්බ වුණ පැපිරස්වලින් හදපු බෝට්ටු දෙකක ආකෘති

මීට අවුරුදු 2,500කට කලින් හිටපු යෙසායා මෙහෙම කියලා තියෙනවා. ‘ඉතියෝපියාවේ ගංගා අසල දේශයේ වැසියන් මුහුදු මාර්ගයෙන් පණිවිඩකරුවන් යවනවා. ඔවුන් එම පණිවිඩකරුවන්ව යවන්නේ පැපිරස් බටවලින් හදපු බෝට්ටුවලින්.’ මේදිය සහ පර්සියානු හමුදාව බැබිලෝනිය අල්ලගද්දී එයාලට පැනලා යන්න බැරි වෙන්න ‘බැබිලෝනිවරුන්ගේ පැපිරස් බෝට්ටු සියල්ල මේදිය සහ පර්සියානු හමුදාව විනාශ කරනවා’ කියලා යෙරෙමියාත් අනාවැකියක් කියලා තිබුණා.—යෙසා. 18:1, 2; යෙරෙ. 51:32.

දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවිලා තියෙන බයිබලයේ තියෙන හැම තොරතුරක්ම සීයට සියයක්ම නිවැරදියි. ඒ නිසා පුරාවිද්‍යාත්මක කැණීම්වලින් බයිබලයේ තියෙන තොරතුරු ඇත්ත කියලා තහවුරු වුණාම ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. (2 තිමෝ. 3:16) ඇත්තටම පුරාවිද්‍යාඥයන්ට හොයාගන්න පුළුවන් වුණේ මොනවාද? අතීතයේ හිටපු මිනිස්සු පැපිරස් බට දඬුවලින් බෝට්ටු හැදුවේ කොහොමද කියන එක ගැන සවිස්තරාත්මක තොරතුරු එයාලට ඊජිප්තුවෙන් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා.

පැපිරස්වලින් බෝට්ටු හැදුවේ කොහොමද?

ඊජිප්තුවේ සොහොන් ගෙවල්වල තියෙන පින්තූරවල සහ කැටයම්වල පැපිරස් බටවලින් බෝට්ටු හදන විදිහ ගැන පෙන්නලා තියෙනවා. මුලින්ම එයාලා බට දඬු කපාගන්නවා. ඊළඟට ඒවා මිටි බඳිනවා. ඒ මිටි එකට තියලා ආයෙත් බඳිනවා. පැපිරස් බටවල තියෙන ත්‍රිකෝණාකාර හැඩය නිසා ඒ විදිහට බඳිද්දී කිසිම හිඩසක් ඇති වෙන්නේ නැති විදිහට ඒවා එකිනෙකට තදින් ළං වෙලා හිටිනවා. ඒ වගේම ඒවා හරිම ශක්තිමත්. එක පොතක මෙහෙම සඳහන් වෙනවා. “පැපිරස්වලින් හදපු සමහර බෝට්ටු අඩි 55කටත් වඩා දිගයි. හබල්කරුවන් 10ක්, 12ක් ඉන්න පුළුවන් තරමටම ඒවාවල ඉඩ තිබුණා.”—A Companion to Ancient Egypt.

පැපිරස්වලින් බෝට්ටුවක් හදන විදිහ පෙන්නන ඊජිප්තු කැටයමක්

බෝට්ටු හදන්න පැපිරස් පාවිච්චි කළේ ඇයි?

නයිල් ගඟ අවට ප්‍රදේශය පුරාම පැපිරස් ගස් හොඳට වැවිලා තිබුණා. බෝට්ටු හදන්න ඒවා පාවිච්චි කරපු ප්‍රධාන හේතුව වුණේ ඒකයි. අනික ඒවාවලින් බෝට්ටු හදන එක ලේසියි. කාලයත් එක්ක විශාල නැව් හදන්න මිනිස්සු ලී පාවිච්චි කළත් ධීවරයන් දඩයක්කරුවන් වගේ අය දිගටම පැපිරස් බටවලින් හදපු පාරු සහ පොඩි බෝට්ටු පාවිච්චි කළා.

අතීතයේ හිටපු මිනිස්සු සියවස් ගාණක් පුරා පැපිරස්වලින් හදපු බෝට්ටු පාවිච්චි කරලා තියෙනවා. උදාහරණෙකට ක්‍රි.ව. 1වෙනි සහ 2වෙනි සියවස අතර කාලයේ හිටපු ලේඛකයෙක් වුණ ප්ලූටාක් කියලා තියෙනවා එයාගේ කාලේ හිටපු මිනිස්සු පැපිරස්වලින් හදපු බෝට්ටු පාවිච්චි කළා කියලා.

^ 3 ඡේ. පැපිරස් කියන බට දඬු වැවෙන්නේ වගුරුබිම්වල නැත්තම් හෙමීට වතුර ගලාගෙන යන තැන්වල. ඒවා අඩි 16ක් වගේ උසට වැවෙනවා. සමහර බට දඬුවල යටහරිය අඟල් 6ක් තරම් මහතයි.