Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 22

ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න

ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න

‘ඔබ සියලුදෙනා බව්තීස්ම වෙන්න.’—ක්‍රියා 2:38.

ගීතිකාව 72 දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු

මේ ලිපියෙන් *

1. රැස් වෙලා හිටපු සෙනඟකට යේසුස්ගේ ගෝලයන් කිව්වේ මොනවාද?

විවිධ රටවල්වලින් ඇවිත් හිටිය විවිධ භාෂා කතා කරපු හුඟදෙනෙක් එදා යෙරුසලමට ඇවිත් හිටියා. රැස් වෙලා හිටිය ඒ සෙනඟ අතරේ හිටපු යුදෙව් කණ්ඩායමක් එකපාරටම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා. ඒ ගැන එතන හිටපු හැමෝම හුඟක් පුදුම වුණා. හැබැයි එයාලා ඊටත් වඩා පුදුම වුණු තවත් දෙයක් තිබුණා. ඒ තමයි පේතෘස් ඇතුළු අනිත් යුදෙව්වන් එයාලට කියපු දේ. එයාලා කිව්වා යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තිබ්බොත් හැමෝටම ගැලවීම ලබන්න පුළුවන් කියලා. රැස් වෙලා හිටපු අයගේ හිත්වලට ඒක කොච්චර කාවැදුණාද කිව්වොත් ඒ අය ඇහුවා “අපි දැන් මොනවාද කරන්න ඕනෙ” කියලා. එතකොට පේතෘස් කිව්වා ‘ඔබ සියලුදෙනා බව්තීස්ම වෙන්න’ කියලා.—ක්‍රියා 2:37, 38.

සහෝදරයෙකුයි එයාගේ බිරිඳයි ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතෙන් තරුණයෙක්ට පාඩමක් කරනවා. (2 ඡේදය බලන්න)

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද? (කවරයේ පින්තූරය බලන්න.)

2 එදා 3,000ක් විතර බව්තීස්ම වුණා. යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන කාර්යය අද වෙන කල්ම සිද්ධ වෙනවා. හැබැයි එදා වගේ පැය කීපයක් ඇතුළත බව්තීස්ම වෙන්න කෙනෙක්ට උදව් කරන්න අපිට බැහැ. මොකද ඒකට කාලයක් යනවා. සමහරවිට මාස ගාණක් නැත්නම් අවුරුදු ගාණක් වුණත් යන්න පුළුවන්. ඔයා බයිබල් පාඩමක් කරන කෙනෙක් නම් කෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න එයාට උදව් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා ඔයා දන්නවා. ඒ දේ සාර්ථකව කරන්න මේ ලිපියේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.

ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න උදව් කරන්න

3. මතෙව් 28:19, 20 අනුව බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයෙක් කරන්න ඕනෙ මොනවාද?

3 ශිෂ්‍යයෙක් බව්තීස්ම වෙන්න නම් බයිබලයෙන් ඉගෙනගන්න දේවල් එයා අදාළ කරගන්න ඕනේ. (මතෙව් 28:19, 20 කියවන්න.) එහෙම කරනවා නම් යේසුස් නිදර්ශනයකින් කියපු පර්වතයක් මත ගෙයක් ගොඩනැඟුව “නුවණැති මිනිසා” වගේ වෙන්න එයාට පුළුවන් වෙනවා. (මතෙ. 7:24, 25; ලූක් 6:47, 48) ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න ශිෂ්‍යයෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන යෝජනා තුනක් දැන් අපි බලමු.

4. ක්‍රමානුකූලව බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (“ ඉලක්ක තියාගෙන ඒවා ජය ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න” කියන කොටුව බලන්න.)

4 ඉලක්ක තියාගන්න උදව් කරන්න. පුංචි පුංචි ඉලක්ක දෙන්න. එහෙම කරන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න ටිකකට මෙහෙම හිතන්න. ඔයා තව කට්ටියක් එක්ක විනෝද ගමනක් යද්දී අතරමඟ දකින ලස්සන දේවල් බලන්න ටිකකට නතර වෙනවා නේද? මොකද එහෙම කරද්දී තව ගොඩක් දුර යන්න තියෙනවානේ කියලා හිතලා ඔයාලා අධෛර්යය වෙන්නේ නැහැ. බව්තීස්මය දක්වා ශිෂ්‍යයෙක්ට උදව් කරන එකත් හරියට ඒ වගේ. අපි එයාලට පුංචි පුංචි ඉලක්ක දෙද්දී ‘බව්තීස්ම වෙන්න තව ගොඩක් දේවල් කරන්න ඕනනේ’ කියලා හිතලා එයාලා අධෛර්යය වෙන්නේ නැහැ. ඉලක්ක තියාගන්න ශිෂ්‍යයාට උදව් කරන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ කියන පොතේ “ඔයාට කරන්න දෙයක්” කියන කොටස යටතේ තියෙන තොරතුරු උදව් වෙයි. හැම පාඩමක්ම අවසානයේදී ශිෂ්‍යයා තියාගත්ත ඉලක්ක ජය ගන්න පාඩමේ තොරතුරු උදව් වුණේ කොහොමද කියලා එයාගෙන් අහන්න. ශිෂ්‍යයාට උදව් වෙන තව ඉලක්ක ඔයාගේ මනසේ තියෙනවා නම් “තව දේවල්” කියන කොටස යටතේ ඒක ලියන්න. “ඔයාට කරන්න දෙයක්” කියන කොටස යටතේ තියෙන තොරතුරු සාකච්ඡා කරන හැම වතාවකම ශිෂ්‍යයාට කෙටි කාලෙකින් ජය ගන්න පුළුවන් ඉලක්ක ගැනත් ජය ගන්න වැඩි කාලයක් ගත වෙන ඉලක්ක ගැනත් එයා එක්ක කතා කරන්න.

5. මාක් 10:17-22 අනුව පොහොසත් මිනිසාට මොකක් කරන්න කියලාද යේසුස් කිව්වේ? ඒ ඇයි?

5 වෙනස්කම් කරගන්න උදව් කරන්න. (මාක් 10:17-22 කියවන්න.) යේසුස් දැනගෙන හිටියා පොහොසත් මිනිසාට එයාගේ ධන සම්පත් අත්හරින එක ලේසි නැහැ කියලා. (මාක් 10:23) එහෙනම් යේසුස් එහෙම කිව්වේ ඇයි? ඒ එයා ගැන තිබුණු ආදරේ නිසයි. සමහරවිට අපිට හිතෙයි ජීවිතේ වෙනස්කම් කරගන්න ශිෂ්‍යයා තාම සූදානම් නැහැ කියලා. ඒ නිසා ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න කියලා අපි එයාව දිරිගන්වන එකක් නැහැ. ඇත්ත, ජීවිතේ වෙනස්කම් කරගෙන දෙවියන් කැමති විදිහට පෞද්ගලිකත්වය හදාගන්න සමහර අයට කාලයක් යයි. (කොලො. 3:9, 10) හැබැයි වෙනස් කරගන්න ඕන පැති ගැන අපි ඉක්මනින්ම කිව්වොත් ඉක්මනින්ම ඒ වෙනස්කම් කරගන්න එයාලත් පෙලඹෙයි. ඒ දේවල් ගැන කතා කරන එකෙන් අපි ඇත්තටම එයාලා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන්.—ගීතා. 141:5; හිතෝ. 27:17.

6. ශිෂ්‍යයාට හැඟෙන විදිහ ගැන දැනගන්න අපි ප්‍රශ්න අහන්න ඕනෙ ඇයි?

6 ශිෂ්‍යයාට හැඟෙන විදිහ ගැන දැනගන්න එයාගෙන් ප්‍රශ්න අහන එක හරිම වැදගත්. මොකද ඉගෙනගන්න දේවල් ශිෂ්‍යයා හරියට තේරුම් අරන් තියෙනවාද, එයා ඒවා විශ්වාස කරනවාද කියලා දැනගන්න ඒක උදව් වෙනවා. අපි දිගටම ඒ දේ කරද්දී එයාට පිළිගන්න අමාරු විෂයක් ගැන වුණත් එයාත් එක්ක කතා කරන්න අපිට පුළුවන් වෙනවා. කෙනෙක්ට හැඟෙන විදිහ ගැන දැනගන්න උදව් වෙන ප්‍රශ්න ඕන තරම් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ කියන පොතේ තියෙනවා. උදාහරණෙකට 4වෙනි පාඩමේ “ඔයා යෙහෝවා දෙවියන්ගේ නම පාවිච්චි කරද්දී ඔහුට කොහොම දැනෙනවා ඇද්ද?” කියන ප්‍රශ්නයත් 9වෙනි පාඩමේ “ඔයා කැමති මොන වගේ දේවල් ගැන යාච්ඤා කරන්නද?” කියන ප්‍රශ්නයත් සඳහන් වෙනවා. මුලදී ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ශිෂ්‍යයාට ටික කාලයක් යයි. හැබැයි බයිබල් පදවලිනුත් පින්තූරවලිනුත් ප්‍රශ්න අහලා ශිෂ්‍යයාව ඒ දේට පුහුණු කරන්න ඔයාට පුළුවන්.

7. අනිත් අයගේ අද්දැකීම් ගැන කියලා ශිෂ්‍යයාව දිරිගන්වන්න පුළුවන් කොහොමද?

7 ජීවිතේ වෙනස්කමක් කරගන්න ඕනෙ කියලා ශිෂ්‍යයා තේරුම්ගත්තොත් ඒ දේ කරන්න එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ වගේ වෙනස්කම් කරගත්ත අයගේ අද්දැකීම් එයාට කියන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ කියන පොතේ “තවත් හොයමු” සහ “තව දැනගන්න” කියන කොටස් යටතේ ඒ වගේ අද්දැකීම් ඕන තරම් හොයාගන්න පුළුවන්. * උදාහරණෙකට දිගටම රැස්වීම් එන එක ශිෂ්‍යයාට අභියෝගයක් වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් 14වෙනි පාඩමේ “තව දැනගන්න” කියන කොටස යටතේ තියෙන ‘යෙහෝවා දෙවියන් මාව බලාගත්තා’ කියන වීඩියෝ එක එයාට පෙන්නන්න. හැබැයි ‘එයාට ඒ දේ කරන්න පුළුවන් වුණා නම් ඇයි ඔයාට බැරි’ කියලා කවදාවත් ශිෂ්‍යයාට කියන්න එපා. මොකද එයාම තමයි ඒක තේරුම්ගන්න ඕනේ. එහෙම කියනවා වෙනුවට ඔයාට පුළුවන් වීඩියෝ එකේ හිටපු කෙනාට බයිබලේ තියෙන දේවල් අදාළ කරගන්න උදව් වුණු මූලික කරුණු එයා එක්ක කතා කරන්න. සමහරවිට ඒ දේ කරන්න ඒ කෙනාට උදව් වුණේ බයිබල් පදයක් නැත්නම් එයා කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වෙනස්කම් කරගන්න යෙහෝවා දෙවියන් එයාට උදව් කරපු විදිහ ගැනත් ශිෂ්‍යයාට කාවද්දන්න.

8. යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

8 යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න උදව් කරන්න. හැම වෙලාවෙම යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග ගැන ශිෂ්‍යයාත් එක්ක කතා කරන්න. උදාහරණෙකට යෙහෝවා දෙවියන් සතුටින් ඉන්න දෙවි කෙනෙක් කියලත් ඔහුට ආදරේ කරන අයට උදව් කරන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා කියලත් තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න. (1 තිමෝ. 1:11; හෙබ්‍රෙ. 11:6) ඒ වගේම යෙහෝවා දෙවියන් නීති, ප්‍රතිපත්ති දීලා තියෙන්නේ අපිට තියෙන ආදරේ නිසා කියලත් ඒවාට කීකරු වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි කියලත් ශිෂ්‍යයාට පැහැදිලි කරලා දෙන්න. (යෙසා. 48:17, 18) ශිෂ්‍යයාගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ වැඩි වෙන තරමට අවශ්‍ය වෙනස්කම් කරගන්න එයා පෙලඹෙයි.—1 යොහ. 5:3.

සභාවේ අයව යාළුවන් කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න

9. මාක් 10:29, 30 අනුව සත්‍යය වෙනුවෙන් යම් දේවල් අත්හරින්න කෙනෙක්ට උදව් වෙන්නේ මොනවාද?

9 බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයෙක්ට යම් දේවල් අත්හරින්න වෙයි. සමහරවිට යේසුස් කතා කරපු පොහොසත් මිනිසාට වගේ තමන්ට තියෙන ධන සම්පත් අත්හරින්න ශිෂ්‍යයාට සිද්ධ වෙයි. එයා කරන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි රස්සාවක් නම් ඒක වෙනස් කරන්නත් එයාට වෙයි. යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්නේ නැති යාළුවන්ව අත්හරින්නත් වෙයි. පවුලේ අය සාක්ෂිකරුවන්ට කැමති නැත්නම් එයාව පවුලෙන් අයින් කරන්න වුණත් ඉඩ තියෙනවා. ඒ වගේ කැප කිරීම් කරන එක ලේසි නැහැ කියලා යේසුස් දැනගෙන හිටියා. ඒත් යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඒ කැප කිරීම් කරන අය කවදාවත් අසරණ වෙන්නේ නැහැ කියලා ඔහු පොරොන්දු වුණා. මොකද ඒ අයට ආදරෙන් බැඳුණු යෙහෝවා දෙවියන්ගේ පවුලට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. (මාක් 10:29, 30 කියවන්න.) යෙහෝවා දෙවියන් දීලා තියෙන මේ වටිනා තෑග්ගෙන් ප්‍රයෝජන ගන්න ඔයාගේ ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

10. මැනුවෙල්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

10 ශිෂ්‍යයාට හොඳ යාළුවෙක් වෙන්න. ඔයා ඇත්තටම ශිෂ්‍යයා ගැන සැලකිලිමත් වෙනවා කියලා එයාට දැනෙන්න සලස්වන එක හරිම වැදගත්. ඒක වැදගත් ඇයි කියලා මෙක්සිකෝවේ ජීවත් වෙන මැනුවෙල්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. එයාට පාඩම කරපු කාලය ගැන එයා මෙහෙම කියනවා. “මගේ පාඩම කරපු කෙනා පාඩම කරන්න කලින් හැම වෙලාවෙම මගෙන් ඇහුවා මං හොඳින්ද කියලා. හිතේ තියෙන හැම දෙයක්ම මං නිදහසේ එයාත් එක්ක කතා කළා. මොකද මට තේරුණා එයා ඇත්තටම මං ගැන සැලකිලිමත් කියලා.”

11. ඔයාගේ ශිෂ්‍යයා වෙනුවෙන් වැඩිපුර කාලයක් දෙන එක එයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

11 යේසුස් ඔහුගේ අනුගාමිකයන් වෙනුවෙන් වැඩිපුර කාලයක් දුන්නා. (යොහ. 3:22) ඔයාගේ ශිෂ්‍යයා වෙනුවෙන් ඔයාත් ඒ දේම කරන එක හරිම වැදගත්. උදාහරණෙකට තේ එකකට, කෑම වේලකට නැත්නම් බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලන්න එයාව ඔයාගේ ගෙදරට ආරාධනා කරන්න ඔයාට පුළුවන්. විශේෂයෙන්ම නත්තල්, අවුරුදු වගේ උත්සව කාලවලදී ඔයා ඒ දේ කළොත් ශිෂ්‍යයා ඒ ගැන ගොඩක් සතුටු වෙයි. මොකද එයාගේ පවුලේ අය ඒ උත්සව සමරද්දී එයාට තනිකමක් දැනෙන්න පුළුවන්. උගන්ඩාවේ ඉන්න කාසීබ්වේ කියන දේ බලන්න. “බයිබල් පාඩමෙන් විතරක් නෙවෙයි මගේ ගුරුවරයාත් එක්ක කාලය ගත කරපු එකෙනුත් යෙහෝවා දෙවියන් ගැන මං හුඟක් දේවල් ඉගෙනගත්තා. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ ගැන කොච්චර සැලකිලිමත්ද, ඒ අය කොච්චර සතුටින් ඉන්නවාද කියලා මං දැක්කා. ඉතින් මටත් ඕන වුණා එයාලට එකතු වෙන්න.”

ඔයා විවිධ ප්‍රචාරකයන්ව පාඩමට එක්කගෙන යද්දී රැස්වීම් එන්න ඒක ශිෂ්‍යයාට උදව්වක් වෙයි (12 ඡේදය බලන්න) *

12. සභාවේ ප්‍රචාරකයන්ව අපේ පාඩමකට එක්කගෙන යන්න ඕනෙ ඇයි?

12 සභාවේ විවිධ ප්‍රචාරකයන්ව පාඩමට එක්කගෙන යන්න. සමහරවිට අපිට හිතෙයි බයිබල් පාඩමක් තනියම කරන එක නැත්නම් එකම ප්‍රචාරකයෙක්ව පාඩමට එක්කගෙන යන එක තමයි ලේසිම දේ කියලා. හැබැයි අපි අනිත් ප්‍රචාරකයන්වත් පාඩමට එක්කගෙන යන එකෙන් ශිෂ්‍යයාට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. මෝල්දාවියාවේ ඉන්න දිමිත්‍රිගේ අද්දැකීම බලන්න. “මගේ පාඩම කරපු කෙනා එක්කගෙන ආපු ප්‍රචාරකයන් පාඩමෙන් ඉගෙනගන්න දේවල් ගැන වෙනස් පැතිවලින් හිතන්න මට උදව් කළා. ඉගෙනගන්න දේවල් තවත් මොන පැතිවලින්ද අදාළ කරගන්න ඕනෙ කියලා තේරුම්ගන්න ඒක මට උදව් වුණා. ඒ විතරක් නෙවෙයි සභාවේ හුඟක් අයව මං දැනගෙන හිටිය නිසා මුල්ම වතාවට රැස්වීම් ගියාම මට තනිකමක්, අමුත්තක් දැනුණේ නැහැ.”

13. රැස්වීම්වලට එන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න ඕනෙ ඇයි?

13 රැස්වීම් එන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න. රැස්වීම්වලට සහභාගි වෙන එක අපේ නමස්කාරයේ කොටසක්. මොකද එකට රැස් වෙන්න කියලා යෙහෝවා දෙවියන් අපිට අණ කරලා තියෙනවා. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ විතරක් නෙවෙයි සභාවේ සහෝදර සහෝදරියන් හරියට අපේම පවුලේ අය වගේ. ඉතින් අපි රැස්වීම්වලට ගිහින් දේවල් ඉගෙනගද්දී ඒක හරියට අපි හැමෝම එකතු වෙලා රස කෑම වේලක් කනවා වගේ. රැස්වීම් එන්න ශිෂ්‍යයාට උදව් කරන එකෙන් ඇත්තටම ඔයා කරන්නේ බව්තීස්ම වෙන්න එයා කරන්න ඕන වැදගත්ම දෙයක් කරන්න එයාට උදව් කරන එකයි. හැබැයි ඒක කරන එක ශිෂ්‍යයාට ලේසි වෙන එකක් නැහැ. අභියෝග ජය අරන් රැස්වීම් එන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ කියන පොතේ තියෙන තොරතුරු ශිෂ්‍යයාට උදව් වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.

14. රැස්වීම් එන්න ශිෂ්‍යයාට ආසාවක් ඇති කරන්න අපිට පුළුවන් කොහොමද?

14 ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ කියන පොත මුදාහරින්න කලින් ප්‍රචාරකයන් කීපදෙනෙක්ට කියලා තිබුණා ඒ පොතේ 10වෙනි පාඩමේ තියෙන තොරතුරු එයාලගේ බයිබල් ශිෂ්‍යයන් එක්ක සාකච්ඡා කරන්න කියලා. එහෙම කරද්දී එයාලා අද්දැක්කා රැස්වීම්වලට එන්න ශිෂ්‍යයන්ගේ හිත්වල ආසාවක් ඇති කරන්න ඒ තොරතුරු උදව් වෙනවා කියලා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ශිෂ්‍යයාට රැස්වීම් එන්න ආසාවක් ඇති කරන්න ඒ තොරතුරු පාවිච්චි කරන්න. හැබැයි ඒක කරන්න 10වෙනි පාඩම වෙන කල් ඉන්න ඕනෙ නැහැ. පුළුවන් තරම් ඉක්මනින්ම එයාට රැස්වීම්වලට ආරාධනා කරන්න. හැබැයි ඔයා මතක තියාගන්න ඕන දේකුත් තියෙනවා. ඒ තමයි රැස්වීම්වලට සහභාගි වෙන්න ජය ගන්න ඕන අභියෝග ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට වෙනස් වෙනවා කියන දේ. ඉතින් ඔයාගේ ශිෂ්‍යයාට තියෙන්නේ මොන අභියෝගයද කියලා තේරුම් අරන් ඒක ජය ගන්න එයාට උදව් කරන්න. සමහරවිට එයාට ඒකට ටික කාලයක් යයි. හැබැයි අධෛර්යය වෙලා උත්සාහය අත්හරින්න එපා. දිගටම රැස්වීම්වලට එන්න එයාව උනන්දු කරන්න.

බයෙන් ගොඩ එන්න ශිෂ්‍යයාට උදව් කරන්න

15. ශිෂ්‍යයාට බයක් දැනෙන්න පුළුවන් මොන වගේ හේතු නිසාද?

15 මුලදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඔයාටත් ලොකු බයක් දැනුණාද? සමහරවිට මුල්ම දවසේ දේශනා සේවේ යන්න ඔයාට ලොකු බයක් දැනෙන්න ඇති. පවුලේ අය, යාළුවෝ ඔයාව අත්හරියිද කියලත් ඔයාට හිතෙන්න ඇති. එහෙනම් ඔයාගේ බයිබල් ශිෂ්‍යයන්ටත් ඒ වගේ හිතෙන එක ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ නේද? එක අවස්ථාවක යේසුස් කිව්වා සමහර දේවල් ගැන අපේ හිතට බයක් ආවත් ඒ බය නිසා යෙහෝවා දෙවියන්ට කරන සේවය නතර කරන්න එපා කියලා. (මතෙ. 10:16, 17, 27, 28) බයෙන් ගොඩ එන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට උදව් කළේ කොහොමද? ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

16. ඉගෙනගන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න ශිෂ්‍යයාව පුහුණු කරන්න පුළුවන් කොහොමද?

16 ඉගෙනගන්න දේවල් අනිත් අයට කියන්න ටිකෙන් ටික පුහුණු කරන්න. යේසුස් මුල්ම වතාවට එයාගේ ගෝලයන්ව දේශනා කරන්න යවද්දී එයාලටත් ලොකු බයක් දැනෙන්න ඇති. හැබැයි එයාලා දේශනා කරන්න ඕනෙ කාටද, කියන්න ඕනෙ මොනවාද කියලා යේසුස් පැහැදිලිව කිව්ව නිසා ඒ වැඩේ සාර්ථකව කරන්න ඒක එයාලට උදව් වුණා. (මතෙ. 10:5-7) යේසුස්ව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද? ඉගෙනගන්න දේවල් ගැන කියන්න පුළුවන් කාටද කියලා තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට පුළුවන්. උදාහරණෙකට ඔයාට එයාගෙන් මෙහෙම අහන්න පුළුවන්. ‘ඔයා ඉගෙනගත්ත මේ බයිබල් සත්‍යය දැනගන්න එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන කෙනෙක්ව ඔයා දන්නවාද?’ ඊටපස්සේ සරල විදිහට ඒ බයිබල් සත්‍යය පැහැදිලි කරන්නේ කොහොමද කියලා ශිෂ්‍යයාට කියලා දෙන්න. ඒ වගේම ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ කියන පොතේ “සමහරු මෙහෙම කියනවා” සහ “සමහරු මෙහෙම අහයි” කියන කොටස් පාවිච්චි කරලා බයිබල් සත්‍යයන් අනිත් අයට පැහැදිලි කරන්නේ කොහොමද කියලා ශිෂ්‍යයාත් එක්ක පුහුණු වෙන්න ඔයාට පුළුවන්. එහෙම කරද්දී බයිබලය පාවිච්චි කරලා සරලව ඥානවන්තව උත්තර දෙන්නේ කොහොමද කියලා ශිෂ්‍යයාට කියලා දෙන්න.

17. ශිෂ්‍යයාට යෙහෝවා දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන්න මතෙව් 10:19, 20, 29-31 පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

17 යෙහෝවා දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන්න. යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා යෙහෝවා දෙවියන් එයාලට ගොඩක් ආදරේ නිසා අනිවාර්යයෙන්ම එයාලට උදව් කරනවා කියලා. (මතෙව් 10:19, 20, 29-31 කියවන්න.) යෙහෝවා දෙවියන් ඔයාගේ ශිෂ්‍යයාටත් උදව් කරනවා කියලා එයාට නිතරම මතක් කරන්න. ඔයා ශිෂ්‍යයා එක්ක යාච්ඤා කරද්දී එයා තියලා තියෙන ඉලක්ක ගැන යෙහෝවා දෙවියන්ට කියන්න. ඒකෙන් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඔයාගේ ශිෂ්‍යයා ඉගෙනගනියි. පෝලන්තයේ ඉන්න ෆ්‍රැන්සිසෙක් මෙහෙම කියනවා. “මගේ ගුරුවරයා හැමතිස්සෙම මං තියලා තියෙන ඉලක්ක ගැන යාච්ඤා කළා. යෙහෝවා දෙවියන් එයාගේ යාච්ඤාවලට උත්තර දුන්න විදිහ දැක්කාම මමත් තනියම යාච්ඤා කරන්න පටන්ගත්තා. අලුතෙන් රස්සාවකට යන්න පටන්ගත්ත කාලේ රැස්වීම්වලටයි සමුළුවලටයි යන්න නිවාඩු ඉල්ලගන්න උදව් ඉල්ලලා මං යාච්ඤා කළාම යෙහෝවා දෙවියන් ඒ යාච්ඤාවටත් උත්තර දුන්නා.”

18. මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩේ ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවියන් බයිබල් ශිෂ්‍යයන්ට ගොඩක් ආදරෙයි. ඒ වගේම මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන අයටත් ඔහු ගොඩක් ආදරෙයි. මොකද ඔහු දකිනවා ඒ දේ කරන්න එයාලා කොච්චර මහන්සි වෙනවාද කියලා. (යෙසා. 52:7) ඔයාට දැනට බයිබල් පාඩමක් නැත්නම් දුක් වෙන්න එපා. මොකද සභාවේ ඉන්න ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න ඔයාට පුළුවන්.

ගීතිකාව 60 ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

^ 5 ඡේ. මිනිසුන්ට තමන්ගේ අනුගාමිකයන් වෙන්න යේසුස් උදව් කළේ කොහොමද කියලත් ඔහුව අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන අරමුණින් සකස් කරලා තියෙන ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ කියන පොතේ තියෙන තොරතුරු ටිකකුත් අපි බලමු.

^ 7 ඡේ. (1) ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ “බයිබලය,” “එදිනෙදා ජීවිතයට උපදෙස්,” “‘ජීවිත වෙනස් කළ පොතක්’ (‘මුරටැඹ’ ලිපි මාලාව)” යටතේ හරි, (2) ‘JW ලයිබ්‍රරි’ එකේ “අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා” කියන කොටස යටතේ හරි තවත් අද්දැකීම් ඔයාට හොයාගන්න පුළුවන්.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: යුවළක් තරුණයෙක්ට බයිබල් පාඩමක් කරනවා. වෙන දවසක ඒ සහෝදරයා තව ප්‍රචාරකයෙක්ව ඒ පාඩමට එක්කගෙන ගිහින්.