Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 23

යෙහෝවා දෙවියන් ඔයා ළඟින්ම ඉන්නවා

යෙහෝවා දෙවියන් ඔයා ළඟින්ම ඉන්නවා

“යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.”—ගීතා. 145:18.

ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

මේ ලිපියෙන් *

1. අපිටත් සමහර වෙලාවට ලොකු තනිකමක් දැනෙන්නේ ඇයි?

අපි හැමෝටම සමහර වෙලාවට තනිකමක් දැනෙනවා නේද? කට්ටියක් එක්ක ඉද්දී වුණත් අපිට එහෙම හිතෙන්න පුළුවන්. සමහර අයට ඒ සිතුවිලි එක්ක සෑහෙන කාලයක් පොරබදින්න වෙනවා. උදාහරණෙකට කෙනෙක් අලුත් සභාවකට මාරු වුණාම එහේ හොඳ යාළුවෝ හොයාගන්න කල් එයාට තනිකමක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ආදරෙන් බැඳුණු පවුලක හැදුණු කෙනෙක් පවුලෙන් වෙන් වෙලා වෙන ප්‍රදේශයක පදිංචියට ගියාමත් එයාට තනිකමක් දැනෙන්න පුළුවන්. ආදරය කරපු කෙනෙක්ගේ මරණය නිසාත් තවත් අයට ලොකු තනිකමක් දැනෙනවා. ඒ වගේම සත්‍යයට ආපු නිසා පවුලේ අය, යාළුවෝ තමන්ව කොන් කරද්දී, පීඩා කරද්දී තවත් අයට තනිකමක් දැනෙන්න ඉඩ තියෙනවා.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 අපිට වඩා හොඳින් යෙහෝවා දෙවියන් අපි ගැන දන්නවා. ඉතින් අපිට තනිකමක් දැනෙද්දී ඔහු අපිව හොඳින්ම තේරුම්ගන්නවා. ඔහුට ඕනෙ අපිට උදව් කරන්න. යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද? තනිකමේ සිතුවිලිවලින් ගොඩ එන්න අපි කරන්න ඕනෙ මොනවාද? ඒ සිතුවිලි එක්ක පොරබදින සහෝදරයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

යෙහෝවා දෙවියන් අපි ගැන සැලකිලිමත්

යෙහෝවා දෙවියන් දේවදූතයෙක් මාර්ගයෙන් එලියාව දිරිගැන්නුවා (3 ඡේදය බලන්න)

3. යෙහෝවා දෙවියන් එලියා ගැන සැලකිලිමත් වුණේ කොහොමද?

3 යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන් හැමෝම ගැන හුඟක් සැලකිලිමත් වෙනවා. අපි එක් එක් කෙනා තනිකමේ සිතුවිලි එක්ක පොරබදින කොට ඔහු ඉක්මනින්ම අපිට උදව් කරනවා. (ගීතා. 145:18, 19) උදාහරණෙකට ඔහු එලියා ගැන සැලකිලිමත් වුණු විදිහ බලන්න. එලියා ජීවත් වුණේ ඊශ්‍රායෙලයේ හරිම දරුණු වාතාවරණයක් තිබුණු කාලෙක. මොකද ඒ කාලේ දෙවියන්ගේ සතුරන් ඔහුගේ සෙනඟව මරන්න ලොකු වෑයමක් දැරුවා. (1 රාජා. 19:1, 2) ඒ විතරක් නෙවෙයි එලියා හිතුවා යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරුන් අතරෙන් බේරිලා ඉන්නේ එයා විතරයි කියලා. (1 රාජා. 19:10) හැබැයි ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් ඉක්මනින්ම එලියාට උදව් කළා. ඔහු දේවදූතයෙක්ව එවලා එලියාව දිරිගන්වලා එයාට කිව්වා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන තව හුඟදෙනෙක් ඉන්නවා කියලා.—1 රාජා. 19:5, 18.

4. තනි වෙලා ඉන්න තමන්ගේ සේවකයන් ගැන යෙහෝවා දෙවියන් සැලකිලිමත් වෙනවා කියලා මාක් 10:29, 30න් පැහැදිලි වෙන්නේ කොහොමද?

4 කෙනෙක් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණය කරද්දී එයාට ඒ වෙනුවෙන් සමහර දේවල් අත්හරින්න වෙනවා කියලා යෙහෝවා දෙවියන් හොඳින්ම දන්නවා. උදාහරණෙකට දෙවියන්ට සේවය කරන්න තීරණය කරපු නිසා පවුලේ අයගෙන් යාළුවන්ගෙන් ලැබුණු ආදරේ අහිමි වෙන්න ඉඩ තියෙනවා. එක අවස්ථාවකදී පේතෘස් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවා. ඇත්තටම අපට කුමක් ලැබෙයිද?” (මතෙ. 19:27) සමහරවිට එයා එහෙම අහන්න ඇත්තේ එයා තනි වෙයි කියලා හිතුණු නිසා වෙන්න ඇති. ඒ වෙලාවේ යේසුස් හරිම ආදරෙන් ගෝලයන්ට පැහැදිලි කරලා දුන්නා දෙවියන්ට ආදරේ කරන ලොකු පවුලකට එකතු වෙන්න එයාලට අවස්ථාව ලැබෙනවා කියලා. (මාක් 10:29, 30 කියවන්න.) ඒ විතරක් නෙවෙයි අපි හැමෝගෙම තාත්තා වන යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා තමන්ට සේවය කරන හැමෝටම ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා. (ගීතා. 9:10) යෙහෝවා දෙවියන් අපිට උදව් කරද්දී ඒකෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද කියලා දැන් අපි බලමු.

තනිකමක් දැනුණොත් කරන්න ඕනෙ මොනවාද?

5. යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරලා තියෙන විදි ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි?

යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරලා තියෙන විදි ගැන හිතන්න. (ගීතා. 55:22) ඔයා තනි වෙලා නැහැ කියලා තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි. උදාහරණෙකට සහෝදරි කැරල්ගේ * අද්දැකීම බලන්න. එයාගේ පවුලේ කවුරුත් සත්‍යයේ නැහැ. එයා මෙහෙම කියනවා. “පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවියන් මට උදව් කරපු විදි ගැන කල්පනා කරද්දී මට දැනෙනවා මං තනි වෙලා නැහැ කියලා. ඒ වගේම යෙහෝවා දෙවියන් කවදාවත් මාව තනි කරන්නේ නැහැ කියලා තේරුම්ගන්නත් ඒ දේවල් ගැන හිතන එක මට උදව් වෙලා තියෙනවා.”

6. ලොකු තනිකමක් දැනෙන අයට 1 පේතෘස් 5:9, 10 දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

6 යෙහෝවා දෙවියන් සහෝදර සහෝදරියන්ට උදව් කරන විදි ගැන හොඳට හිතන්න. (1 පේතෘස් 5:9, 10 කියවන්න.) උදාහරණෙකට අවුරුදු ගාණක් තිස්සේ දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන සහෝදර හිරෝෂිගේ අද්දැකීම බලන්න. එයාගේ පවුලේ කවුරුත් සත්‍යයේ නැහැ. එයා මෙහෙම කියනවා. “සභාවේ හැමෝම එක එක ප්‍රශ්න අද්දකිනවා. ඒත් එයාලා හැමෝම එයාලගේ උපරිමය යෙහෝවා දෙවියන්ට දෙනවා. ඉතින් ඒ ගැන හිතන එක මට උදව් වෙලා තියෙනවා මං තනි වෙලා නැහැ කියලා තේරුම්ගන්න.”

7. යාච්ඤාව ඔයාට උදව් වෙන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න උදව් වෙන දේවල් දිගටම කරන්න. හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කියන එක ඒ අතරින් එකක්. (1 පේතෘ. 5:7) යෞවන සහෝදරියක් වන මාසීයෙල්ගේ අද්දැකීම බලන්න. එයාගේ පවුලේ කිසිම කෙනෙක් සත්‍යයේ නැති නිසා එයාට ලොකු තනිකමක් දැනුණා. එයා මෙහෙම කියනවා. “මට ලොකු තනිකමක් දැනෙද්දී මං මගේ හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කියනවා. මොකද මං දන්නවා ඔහු කොච්චර ආදරණීය තාත්තා කෙනෙක්ද කියලා. සමහර දවස්වල මං කීප වතාවක්ම ඔහුට යාච්ඤා කළා. තනිකමෙන් ගොඩ එන්න ඒක තමයි මට වැඩියෙන්ම උදව් වුණේ.”

තනිකමක් දැනෙන අයට බයිබලය සහ ඒ මත පදනම් ප්‍රකාශනවල ඕඩියෝ පටිගත කිරීම්වලට ඇහුම්කන් දෙන එක උදව්වක් වෙයි (8 ඡේදය බලන්න) *

8. බයිබලය කියවලා ඒ දේවල් ගැන හොඳට හිතන එක ඔයාට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

8 යෙහෝවා දෙවියන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබල් සිද්ධීන් කියවලා ඒ ගැන හොඳට හිතන්න. සහෝදරි බියංකාට ඒක උදව් වුණේ කොහොමද කියලා බලන්න. එයාගේ පවුලේ අය නිතරම වගේ එයාට දොස් කිව්වා. එයා මෙහෙම කියනවා. “මං මුහුණ දෙනවා වගේ ප්‍රශ්නවලට මුහුණ දීපු බයිබල් චරිත ගැන කියවලා ඒ දේවල් ගැන මං හොඳට හිතුවා. ඒක මට ගොඩක් උදව් වුණා.” තවත් අයට ගීතාවලිය 27:10 සහ යෙසායා 41:10 වගේ දිරිගැන්වෙන බයිබල් පද කටපාඩම් කරගන්න එක සහනයක් වෙලා තියෙනවා. ඒ වගේම තනිකමක් දැනෙන වෙලාවට බයිබලය කියවද්දී නැත්නම් රැස්වීම්වලට සූදානම් වෙද්දී ඕඩියෝ පටිගත කිරීම්වලට සවන් දෙන එක තවත් අයට උදව් වෙලා තියෙනවා.

9. රැස්වීම්වලට සහභාගි වෙන එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

9 වරද්දන්නේ නැතුව හැම රැස්වීමකටම සහභාගි වෙන්න උපරිමයෙන් උත්සාහ කරන්න. එහෙම කරද්දී රැස්වීම්වල ඉගෙනගන්න දේවල්වලින් ප්‍රයෝජන ගන්න වගේම සහෝදර සහෝදරියන්ව ඔයාගේ හොඳ යාළුවන් කරගන්නත් පුළුවන් වෙනවා. (හෙබ්‍රෙ. 10:24, 25) කලින් සඳහන් කරපු මාසීයෙල් කියන දේ බලන්න. “ඉස්සර මං හරිම ලැජ්ජයි. හැබැයි හැම රැස්වීමකටම ගිහින් එක උත්තරයක් හරි දෙන්න ඕනෙ කියලා මං තීරණයක් ගත්තා. සහෝදර සහෝදරියන්ට ගොඩක් ළං වෙන්න ඒක මට උදව් වුණා.”

10. සභාවේ අයව ඔයාගේ යාළුවන් කරගන්න එක වැදගත් ඇයි?

10 සභාවේ අයව ඔයාගේ යාළුවන් කරගන්න. සභාවේ ඉන්න ආදර්ශවත් අයව ඔයාගේ යාළුවන් කරගන්න. ඒකට එයාලගේ වයසවත් පසුබිමවත් බාධාවක් කරගන්න එපා. මොකද බයිබලේ කියනවා, ‘වයසින් මුහුකුරා ගිය අයගෙන්’ ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් කියලා. (යෝබ් 12:12) අනික් අතට වැඩිහිටි අයටත් පුළුවන් එයාලට වඩා බාල අයගෙනුත් ගොඩක් දේවල් ඉගෙනගන්න. ටිකකට හිතන්න දාවිතුයි, යොනාතානුයි ගැන. දාවිත් යොනාතාන්ට වඩා ගොඩක් බාලයි. හැබැයි කිට්ටු යාළුවන් වෙන්න ඒක එයාලා බාධාවක් කරගත්තේ නැහැ. (1 සාමු. 18:1) අභියෝග මැද වුණත් දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එයාලා එකිනෙකාට උදව් කළා. (1 සාමු. 23:16-18) සහෝදරි අයිරීනාගේ අද්දැකීම බලන්න. දැනට එයාගේ පවුලේ කිසිම කෙනෙක් සත්‍යයේ නැහැ. එයා මෙහෙම කියනවා. “පවුලේ අයගේ ආදරේ, සැලකිල්ල අපිට නොලැබුණත් යෙහෝවා දෙවියන්ට පුළුවන් සභාවේ අය මාර්ගයෙන් ඒ ආදරේ, සැලකිල්ල අපිට ලැබෙන්න සලස්වන්න. මොකද, අපේ සහෝදර සහෝදරියන් හරියට අපේම පවුලේ අය වගේ.”

11. යාළුවන් එක්ක තියෙන බැඳීම තවත් වැඩි කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

11 අලුත් යාළුවන් හොයාගන්න එක සමහර අයට ලේසි නැහැ. විශේෂයෙන්ම ලැජ්ජාශීලී කෙනෙක්ට ඒක තවත් අමාරු වෙන්න පුළුවන්. සහෝදරි රත්නාගේ අද්දැකීම බලන්න. එයා සත්‍යයට ඇවිත් තියෙන්නේ ගොඩක් විරුද්ධවාදිකම් මැද. එයා කියනවා “සහෝදර සහෝදරියන්ගෙන් උදව් ගන්න එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න මට ටික කාලයක් ගියා” කියලා. හිතේ තියෙන දේවල් ගැන තව කෙනෙක්ට කියන එක අභියෝගයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කළොත් විතරයි යාළුවන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔයාට පුළුවන් වෙන්නේ. අනෙක් අතට ඔයාව දිරිගන්වන්න, ඔයාට උදව් කරන්න යාළුවෝ හරිම ආසාවෙන් හිටියත් ඔයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා ඔයා කිව්වේ නැත්නම් එයාලා කොහොමද ඔයාට උදව් කරන්නේ?

12. හොඳ යාළුවන්ව හොයාගන්න සේවේ හවුල් වෙන එක උදව් වෙන්නේ කොහොමද?

12 සේවේ හවුල් වෙද්දී සහෝදර සහෝදරියන්ව ඔයාගේ කිට්ටු යාළුවන් කරගන්න පුළුවන් වෙනවා. උදාහරණෙකට කලින් සඳහන් කරපු කැරල් කියන දේ බලන්න. “සහෝදරියන් එක්ක සේවේ හවුල් වුණු එකයි නමස්කාරයට සම්බන්ධ අනිත් දේවල හවුල් වුණු එකයි මට උදව් වුණා එයාලව මගේ කිට්ටු යාළුවන් කරගන්න. ගෙවුණු අවුරුදු ගාණ පුරාම යෙහෝවා දෙවියන් එයාලා මාර්ගයෙන් මට ගොඩක් උදව් කරලා තියෙනවා.” යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව අපේ යාළුවන් කරගන්න අපි දරන වෑයම කවදාවත් අපතේ යන්නේ නැහැ. මොකද අපිට ලොකු තනිකමක් දැනෙද්දී අපි තනි වෙලා ඉද්දී එයාලා මාර්ගයෙන් ඔහු අපිට උදව් කරනවා.—හිතෝ. 17:17.

අනිත් අයටත් ආදරේ, සැලකිල්ල දැනෙන්න සලස්වන්න

13. සභාවේ හැමෝටම තියෙන වගකීම මොකක්ද?

13 සභාවේ ආදරණීය, සාමකාමී වාතාවරණයක් ඇති කරන්න දායක වෙන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපි එහෙම කරද්දී කිසිම කෙනෙක්ට දැනෙන එකක් නැහැ ‘මං තනි වෙලා’ කියලා. (යොහ. 13:35) උදාහරණෙකට එක සහෝදරියක් කියන දේ බලන්න. “මං සත්‍යයට ආවාම සභාවේ අය හරියට මගේම පවුලේ අය වගේ වුණා. එයාලගේ උදව් ලැබුණේ නැත්නම් කවදාවත් මට සාක්ෂිකාරයෙක් වෙන්න ලැබෙන එකක් නැහැ.” පවුලේ කවුරුත් සත්‍යයේ නැති අයට ආදරේ, සැලකිල්ල පෙන්නන්න ඔයාට පුළුවන් කොහොමද?

14. අලුතෙන් එන අයව යාළුවන් කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

14 අලුතෙන් එන අයව යාළුවන් කරගන්න උත්සාහ කරන්න. මුලින්ම සභාවට අලුතෙන් එන අයව ආදරෙන් පිළිගන්න. (රෝම 15:7) හැබැයි එයාලව ඔයාගේ කිට්ටු යාළුවන් කරගන්න නම් එහෙම කරන එක විතරක් මදි. ඔයා ඇත්තටම එයාලට ආදරෙයි කියලත් එයාලා ගැන සැලකිලිමත් කියලත් එයාලට දැනෙන්න සලස්වන්න. ඔයාට පුළුවන් එයාලා ළඟට ගිහින් එයාලත් එක්ක ටිකක් කතා කරන්න. එයාලා මුහුණ දෙන්නේ මොන වගේ තත්වයන්වලටද කියලා දැනගන්න එයාලගෙන් ප්‍රශ්න අහන්න. හැබැයි එහෙම කරද්දී කොයිම වෙලාවකවත් එයාලා අපහසුතාවට පත් වෙන විදිහේ ප්‍රශ්න අහන්නවත් ඔයා අහන ප්‍රශ්නවලට බලෙන් උත්තර ගන්න හදන්නවත් එපා. ඒ වෙනුවට ඔයා ඇත්තටම එයාලා ගැන සැලකිලිමත් කියලත් එයාලට ආදරෙයි කියලත් දැනෙන විදිහට ප්‍රශ්න අහන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් එයාට සත්‍යය දැනගන්න ලැබුණේ කොහොමද කියලා අහලා බලන්න. එයා උත්තර දෙද්දී ඉවසීමෙන් අහන් ඉන්න.

15. අලුතෙන් එන අයට උදව් කරන්න අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන්ට පුළුවන් කොහොමද?

15 සභාවේ හැමෝම එකිනෙකාට ආදරෙන් සලකද්දී හැමෝගෙම විශ්වාසය ශක්තිමත් කරගන්න ඒක උදව් වෙනවා. අවබෝධයෙන් වැඩ කරන අය විශේෂයෙන්ම වැඩිමහල්ලන් ඒ දේ කරන එක හරිම වැදගත්. සහෝදරි මලීසාගේ අද්දැකීම බලන්න. එයාගේ පවුලේ සත්‍යයේ හිටියේ එයායි, අම්මායි විතරයි. එයා මෙහෙම කියනවා. “තමන්ගෙම දුවෙක්ට වගේ මට හරිම ආදරෙන් සලකලා මට උදව් කරපු සහෝදරයන් ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. මට මොකක් හරි දෙයක් ගැන කතා කරන්න ඕනෙ වුණාම, උපදෙසක් ගන්න ඕනෙ වුණාම එයාලා කොයි වෙලෙත් මගේ ළඟින්ම හිටියා.” යෞවන සහෝදරයෙක් වන මව්රීස්යොගේ අද්දැකීම බලන්න. එයාට පාඩම කරපු සහෝදරයා සත්‍යය දාලා ගියා. ඒ නිසා එයාට ලොකු දුකක් තනිකමක් දැනුණා. එයා මෙහෙම කියනවා. “වැඩිමහල්ලෝ මට ගොඩක් උදව් කළා. නිතරම වගේ එයාලා මං ගැන හොයලා බැලුවා. එයාලා මාත් එක්ක සේවේ ගියා. පෞද්ගලික අධ්‍යයනයෙන් හොයාගත්ත ලස්සන තොරතුරු මට කිව්වා. ඒ විතරක් නෙවෙයි මාත් එක්ක විනෝද වෙන්නත් කාලේ ගත්තා.” මලීසායි, මව්රීස්යොයි දැන් බෙතෙල් එකේ සේවය කරනවා.

තවත් වැඩියෙන් ඔයාගේ ආදරේ පෙන්නන්න පුළුවන් කෙනෙක් ඔයාගේ සභාවෙත් ඉන්නවාද? (16-19 ඡේද බලන්න) *

16-17. අනිත් අයට උදව් කරන්න පුළුවන් තව මොන විදිවලින්ද?

16 උදව් ඕන පැති ගැන හොයලා උදව් කරන්න. (ගලා. 6:10) ඈත පළාතක මිෂනාරි සේවය කරන සහෝදර ලියෝ කියන දේ බලන්න. “අනිත් අයට උදව් කරන්න හුඟක් වෙලාවට අපිට කරන්න වෙන්නේ හරිම පොඩි දෙයක් විතරයි. මාත් ඒක අද්දැකලා තියෙනවා. දවසක් මගේ වාහනය හැප්පුණා. එදා මං ගෙදරට එද්දී මං හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. හැබැයි යුවළක් මට කෝල් කරලා කිව්වා එයාලා මටත් එක්ක රෑ කෑම හැදුවා කියලා. එදා අපි කෑවේ මොනවාද කියලා නම් මට මතක නෑ. හැබැයි වෙච්ච දේවල් ගැන කියද්දී එයාලා හරිම ඉවසීමෙන්, ආදරෙන් අහන් හිටපු විදිහ මට තාමත් මතකයි. ඇත්තටම එදා මට ඕනෙ කරලා තිබුණෙත් ඒකම තමයි.”

17 සමුළුවකට ගියාම අපේ සහෝදර සහෝදරියන්ව මුණගැහෙන නිසාත් සමුළුවෙන් ඉගෙනගත්තු දේවල් ගැන එයාලා එක්ක කතා කරන්න ලැබෙන නිසාත් ඒකෙන් අපි ලොකු සතුටක් අද්දකිනවා. හැබැයි කලින් සඳහන් කරපු කැරල්ගේ අද්දැකීම ඊට වඩා වෙනස්. එයා මෙහෙම කියනවා. “සමුළුවකට ගියාම සහෝදරයන් දහස් ගාණක් මගේ වටේ හිටියත් මට ලොකු තනිකමක් දැනෙනවා. මොකද සහෝදරයන් හුඟක් වෙලාවට එයාලගේ පවුලේ අයත් එක්ක හරිම සතුටින් එකට ඉඳගෙන ඉන්නවා. ඒත් මගේ පවුලේ අය මං ළඟ නැති නිසා මං තනි වෙලා කියලා මට හිතෙනවා.” වියෝ දුකින් ඉන්න කෙනෙක්ටත් එයාගේ සැමියා හරි බිරිඳ හරි නැතුව සමුළුවකට යන එක ලේසි වෙන එකක් නැහැ. ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන කෙනෙක්ව ඔයා දන්නවාද? එහෙනම් ඊළඟ සමුළුවේදී ඔයාගේ පවුලේ අයත් එක්ක ඉඳගන්න එන්න කියලා එයාට ආරාධනා කරන්න ඔයාට පුළුවන්ද?

18. ආගන්තුක සත්කාරය පෙන්නද්දී 2 කොරින්ති 6:11-13 අදාළ කරගන්න පුළුවන් කොහොමද?

18 එයාලා වෙනුවෙන් කාලේ දෙන්න. පවුලේ අය එකතු වෙලා සතුටු වෙද්දී සභාවේ අයටත් විශේෂයෙන්ම තනියම සත්‍යයේ ඉන්න අයටත් ආරාධනා කරන්න ඔයාට පුළුවන්ද? මොකද අපිට ඕනෙ ඒ වගේ අය ගැන ‘අපේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි කරගන්න.’ (2 කොරින්ති 6:11-13 කියවන්න.) කලින් සඳහන් කරපු මලීසා මෙහෙම කියනවා. “සභාවේ යාළුවෝ මට එයාලගේ ගෙදරට ආරාධනා කළාම, එයාලා යන විනෝද ගමන්වලට මාව එක්කන් ගියාම මං ලොකු සතුටක් අද්දැක්කා.” ආගන්තුක සත්කාරය පෙන්නලා තවත් වැඩියෙන් ඔයාගේ ආදරේ පෙන්නන්න පුළුවන් කෙනෙක් ඔයාගේ සභාවෙත් ඉන්නවාද?

19. සහෝදරයන් එක්ක කාලේ ගත කරන එක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

19 තනියෙන් සත්‍යයේ ඉන්න කෙනෙක්ට විශේෂ උත්සව පවත්වන කාලවලදී ලොකු තනිකමක් දැනෙන්න ඉඩ තියෙනවා. වියෝ දුකින් ඉන්න අයට හැම අවුරුද්දකම තමන් ආදරය කරපු කෙනා මැරුණු දවස ළං වෙද්දී ලොකු දුකක් තනිකමක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ වගේ කාලවලදී අපි එයාලත් එක්ක කාලේ ගත කරන එක හරිම වැදගත්. එහෙම කරද්දී අපි ඇත්තටම එයාලා ‘ගැන සැලකිලිමත් වෙනවා’ කියලා පෙන්නන්න අපිට පුළුවන්.—ෆිලි. 2:20.

20. ලොකු තනිකමක් දැනෙද්දී මතෙව් 12:48-50 අපිට උදව් වෙන්නේ කොහොමද?

20 අපි මේ ලිපියෙන් ඉගෙනගත්තේ මොනවාද? විවිධ හේතු නිසා සමහර වෙලාවලදී අපිට ලොකු තනිකමක් දැනෙන්න පුළුවන්. හැබැයි යෙහෝවා දෙවියන් අපිව හොඳින්ම තේරුම්ගන්නවා. හුඟක් වෙලාවට ඔහු අපේ සහෝදරයන් මාර්ගයෙන් අපිට උදව් කරනවා. (මතෙව් 12:48-50 කියවන්න.) උදව් ඕන වෙලාවලදී අපි අපේ සහෝදරයන්ට උපරිමෙන් උදව් කරනවා නම් යෙහෝවා දෙවියන් ඇති කරලා තියෙන ඒ ලස්සන සැලැස්ම අපි අගය කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපිට ලොකු තනිකමක් දැනුණත් අපි ඇත්තටම තනි වෙලා නැහැ. මොකද යෙහෝවා දෙවියන් අපි ළඟින්ම ඉන්නවා.

ගීතිකාව 46 යෙහෝවා දෙවිට ස්තුති වෙමු

^ 5 ඡේ. ඔයාටත් සමහර වෙලාවට ලොකු තනිකමක්, පාළුවක් දැනෙනවාද? එහෙනම් ඔයාට හැඟෙන විදිහ යෙහෝවා දෙවියන් හොඳින්ම තේරුම්ගන්නවා කියලත් ඔයාගේ ළඟින් ඉඳන් ඔයාට උදව් කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා කියලත් අමතක කරන්න එපා. තනිකමක් දැනෙද්දී ඔයාට කරන්න පුළුවන් මොනවාද? තනිකමක් දැනෙන නිසා දුකෙන් ඉන්න සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: වියෝ දුකින් ඉන්න සහෝදරයෙක් බයිබලය සහ ඒ මත පදනම් ප්‍රකාශනවල ඕඩියෝ පටිගත කිරීම්වලට ඇහුම්කන් දෙනවා.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: තාත්තා කෙනෙක් එයාගේ දුවත් එක්ක සභාවේ වැඩිහිටි සහෝදරයෙක්ව බලන්න යනවා.