Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 26

යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න ඔයාට පුළුවන්ද?

යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න ඔයාට පුළුවන්ද?

“ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය. ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.”—ෆිලි. 2:13.

ගීතිකාව 64 ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන් ඔයා වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද?

ඔයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් වුණේ කොහොමද කියලා ටිකකට හිතන්න. මුලින්ම බයිබලේ තියෙන “ශුභාරංචිය” ඔයාට දැනගන්න ලැබුණා. සමහරවිට ඔයාට ඒක දැනගන්න ලැබුණේ ඔයාගේ දෙමව්පියන්ගෙන්, වැඩපොළේ කෙනෙක්ගෙන්, ඉස්කෝලේ කෙනෙක්ගෙන් නැත්නම් දේශනා කරන්න ඔයාගේ ගෙදරට ආපු කෙනෙක්ගෙන් වෙන්න ඇති. (මාක් 13:10) ඊටපස්සේ කවුරු හරි කෙනෙක් කැමැත්තෙන්ම එයාගේ කාලය, ශ්‍රමය වැය කරලා බයිබලේ තියෙන දේවල් ගැන ඔයා එක්ක සාකච්ඡා කළා. ඒ කාලේදී ඔයා දැනගත්තා යෙහෝවා දෙවියන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා. ඒ වගේම යෙහෝවා දෙවියන් ගැනත් ඔයාගේ හිතේ ලොකු ආදරයක් ඇති වුණා. යෙහෝවා දෙවියන් ඔයාව සත්‍යයට ඇදලා ගත්ත නිසා යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට අනාගතයේදී හැමදාටම සතුටින් ජීවත් වෙන්න ඔයාට දැන් ලස්සන බලාපොරොත්තුවක් තියෙනවා. (යොහ. 6:44) බයිබලේ තියෙන වටිනා සත්‍යයන් ගැන ඔයාට උගන්වන්න යෙහෝවා දෙවියන් තව කෙනෙක්ව පොලඹවපු එක ගැනත් ඔයාව ඔහුගේ සෙනඟ අතරට එකතු කරගත්ත එක ගැනත් ඔයා මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ස්තුති කරනවා නේද?

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 දැන් සත්‍ය මාර්ගයට ඇවිත් ඉන්න ඔයාට අවස්ථාව තියෙනවා අනිත් අයටත් ඒ මාර්ගයට එන්න උදව් කරන්න. සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දේශනා සේවයේ යන එක නම් ලොකු අභියෝගයක් නොවුණත් බයිබල් පාඩමක් පටන්ගන්න එක නම් ලේසි නැහැ කියලා. ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? එහෙනම් මේ ලිපියේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි. යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න කෙනෙක් පෙලඹෙන්නේ ඇයි කියලත් ඒ දේ කරද්දී මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු. මුලින්ම අපි බලමු දේශනා කරනවාට අමතරව ශුභාරංචිය ගැන අපි මිනිසුන්ට උගන්වන්න ඕනෙ ඇයි කියලා.

දේශනා කරන්න කියලා විතරක් නෙවෙයි උගන්වන්න කියලත් යේසුස් ආඥා කළා

3. අපි දේශනා කරන්න ඕනෙ ඇයි?

3 යේසුස් මේ පොළොවේ ඉද්දී ඔහුගේ අනුගාමිකයන්ට පැවරුමක් දුන්නා. ඒ පැවරුමට කාර්යයන් දෙකක් ඇතුළත් වුණා. පළවෙනි එක තමයි රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන දේශනා කරන එක. (මතෙ. 10:7) ඒක කරන්න ඕනෙ කොහොමද කියලත් ඔහු පෙන්නලා දුන්නා. (ලූක් 8:1) මිනිස්සු ඒ ගැන අහන්න කැමැති වුණත් නැතත් දිගටම ඒ ගැන දේශනා කරන්න ඔහු ගෝලයන්ව පුහුණු කළා. (ලූක් 9:2-5) ඒ විතරක් නෙවෙයි “සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස” රාජ්‍යය ගැන ශුභාරංචිය පොළොව පුරාම දේශනා කරනු ලබනවා කියලත් ඔහු කලින්ම කියලා තිබුණා. (මතෙ. 24:14; ක්‍රියා 1:8) ඉතින් මිනිස්සු අපේ පණිවිඩය අහන්න කැමැති වුණත් නැතත් දේවරාජ්‍යය ගැනත් ඒ රාජ්‍යයෙන් ඉටු කරන්න යන දේවල් ගැනත් අපි දිගටම දේශනා කරනවා.

4. දේවරාජ්‍යය ගැන දේශනා කරනවාට අමතරව අපි කරන්න ඕනෙ මොනවාද? (මතෙව් 28:18-20)

4 යේසුස් උගන්වපු දේවල් පිළිපදින්න මිනිසුන්ට උගන්වන්න කියලත් යේසුස් ඔහුගේ ගෝලයන්ට ආඥා කළා. ඒක අදාළ වුණේ පළවෙනි සියවසේ හිටපු අයට විතරද? නැහැ. මොකද යේසුස් පැහැදිලිවම කිව්වා, “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” මේ වැදගත් කාර්යය සිද්ධ වෙනවා කියලා. (මතෙව් 28:18-20 කියවන්න.) පේන විදිහට යේසුස් එදා ඒ ආඥාව දෙද්දී එතන ඔහුගේ ගෝලයන් 500කට වඩා වැඩිදෙනෙක් ඉඳලා තියෙනවා. (1 කොරි. 15:6) ඒ වගේම යොහන් දැකපු දර්ශනයක යේසුස් කිව්වේ ඔහුගේ අනුගාමිකයන් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න මිනිසුන්ට උදව් කරන්න ඕනෙ කියලා.—එළි. 22:17.

5. දේශනා කරන එකත් උගන්වන එකත් පාවුල් සමාන කළේ මොනවාටද? ඒකෙන් එයා පැහැදිලි කළේ මොකක්ද? (1 කොරින්ති 3:6–9)

5 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක පාවුල් කෙතක බීජ පැළ කරන එකට සමාන කළා. එයා මෙහෙම කිව්වා. ‘බීජ පැළ කළේ මමය. ඊට වතුර වත් කළේ අපොලොස්ය. ඔබ සියලුදෙනා දෙවි විසින් වගා කරනු ලබන ඔහුගේ කෙතය.’ (1 කොරින්ති 3:6-9 කියවන්න.) ඉතින් ‘දෙවියන්ගේ කෙතේ’ වැඩ කරන ඔහුගේ සේවකයන් විදිහට අපි කරන්නේ බීජ පැළ කරන එක විතරක් නෙවෙයි. අපි ඒවාට වතුරත් දානවා. ඒවා හොඳට වැඩෙනවාද කියලා හොයලා බලනවා. (යොහ. 4:35) ඒ වගේම අපි දන්නවා අපි කොච්චර බීජ පැළ කළත් වතුර දැම්මත් ඒවාට වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියන් කියලා.

6. මිනිසුන්ට උගන්වද්දී අපි එයාලට උදව් කරන්න ඕනෙ මොනවා කරන්නද?

6 අපිට ඕනෙ “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” අයව හොයන්න. (ක්‍රියා 13:48) එයාලට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න නම් අපි දේවල් තුනක් කරන්න ඕනේ. ඒ තමයි බයිබලෙන් උගන්වන දේවල් (1) තේරුම්ගන්න, (2) විශ්වාස කරන්න සහ (3) පිළිපදින්න එයාලට උදව් කරන එක. (යොහ. 17:3; කොලො. 2:6, 7; 1 තෙස. 2:13) ඇත්තටම බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න සභාවේ හැමෝටම පුළුවන්. උදාහරණෙකට ශිෂ්‍යයන් රැස්වීම් එන්න පටන්ගත්තාම සභාවේ හැමෝටම පුළුවන් එයාලව සතුටින් පිළි අරන් එයාලට ආදරේ දැනෙන්න සලස්වන්න. (යොහ. 13:35) ශිෂ්‍යයන්ගේ හිත්වලට මුල් බැහැලා තියෙන ‘බලකොටු තරම් ශක්තිමත්’ බොරු විශ්වාසයන් බිඳලා දාන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න පාඩම කරන කෙනා උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. (2 කොරි. 10:4, 5) සමහරවිට ඒ දේ කරන්න මාස ගාණක් වුණත් යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් අපි දරන වෙහෙස කවදාවත් අපතේ යන්නේ නැහැ. මොකද එහෙම කළොත් තමයි ජීවිතේ වෙනස්කම් කරගෙන බව්තීස්ම වෙන්න ශිෂ්‍යයන්ට පුළුවන් වෙන්නේ.

උදව් කරන්න අපි පෙලඹෙන්නේ ආදරේ නිසයි

7. දේශනා කරන්නත් උගන්වන්නත් අපි පෙලඹෙන්නේ ඇයි?

7 දේශනා කරන්නත් උගන්වන්නත් අපිව පොලඹවන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරය. ඉතින් දේශනා කරන්නත් උගන්වන්නත් අපි අපේ උපරිමයෙන් වෑයම් කරනවා නම් අපි ඇත්තටම යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලා ඒකෙන් ඔප්පු වෙනවා. (1 යොහ. 5:3) ටිකකට මේ ගැන හිතන්න. ඔයා මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරන්න පෙලඹුණේ යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ නිසා නේද? හැබැයි මුලදී ඔයාට ඒක කරන එක ලේසි වුණාද? සමහරවිට ඔයා සේවේ ගිය මුල්ම දවසේ හම්බ වුණ පළවෙනි කෙනාට කතා කරන්න ඔයාට ලොකු බයක් දැනෙන්න ඇති. හැබැයි ඔයා හොඳින්ම දැනගෙන හිටියා ඒක යේසුස් දීලා තියෙන ආඥාවක් කියලා. ඒ නිසා ඔයා කැමැත්තෙන්ම ඒකට කීකරු වුණා. ඔයා දිගටම සේවේ හවුල් වෙද්දී මුලින් ඔයාට දැනුණ බය නැති වෙලා යන්න ඇති. ඒත් බයිබල් පාඩමක් පටන්ගන්න එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඒ ගැන හිතද්දීත් ඔයාට ලොකු බයක් දැනෙනවාද? එහෙනම් බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කැමතිද කියලා තව කෙනෙක්ගෙන් බය නැතුව අහන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. එතකොට ඒ දේ කරන්න යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.

8. මිනිසුන්ට උගන්වන්න අපි පෙලඹෙන තවත් හේතුවක් මොකක්ද? (මාක් 6:34)

8 මිනිසුන්ට සත්‍යය ගැන උගන්වන්න අපිව පොලඹවන දෙවෙනි හේතුව තමයි අසල්වැසියන් ගැන අපේ හිතේ තියෙන ආදරය. යේසුස් ඒ සම්බන්ධයෙන් අපිට කදිම ආදර්ශයක් තියලා තියෙනවා. සේවේ හවුල් වෙලා හොඳටම මහන්සි වෙලා හිටපු දවසක යේසුයි ඔහුගේ ගෝලයනුයි විවේක ගන්න හිතාගෙන එක තැනකට ගියා. ඒත් ඒ වෙලාවේ මිනිස්සු හුඟදෙනෙක් යේසුස්ව හොයාගෙන එතනට ආවා. එයාලව දැක්කාම යේසුස්ට ලොකු අනුකම්පාවක් දැනුණ නිසා ඔහු එයාලට ‘බොහෝ දේවල්’ උගන්වන්න පටන්ගත්තා. (මාක් 6:34 කියවන්න.) එයාලා ඉන්නේ කොච්චර අසරණ තත්වයකද කියලා යේසුස් තේරුම්ගත්තා. ඒ නිසයි මහන්සියෙන් ඉන්න වෙලාවක වුණත් එයාලට උදව් කරන්න යේසුස් පෙලඹුණේ. අපේ කාලේ ඉන්න මිනිස්සුත් ඒ වගේ තමයි. බැලූ බැල්මට සතුටින් ඉන්නවා වගේ පේන්න තිබුණත් එයාලා ප්‍රශ්නවලින් මිරිකිලයි ඉන්නේ. එයාලා හරියට එඬේරෙක් නැති බැටළුවන් වගේ. පාවුල් කිව්වා එයාලා දෙවියන් ගැන දන්නේ නැති නිසා එයාලට බලාපොරොත්තුවකුත් නැහැ කියලා. (එෆී. 2:12) ඇත්තටම එයාලා ඉන්නේ ‘විනාශය කරා යන පාරේ.’ (මතෙ. 7:13) ඉතින් අපි සේවේ කරන ප්‍රදේශයේ මිනිසුන් ඉන්නේ කොච්චර අසරණ තත්වයකද කියලා හිතලා බලද්දී එයාලට උදව් කරන්න අපි පෙලඹෙනවා නේද? ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි බයිබලේ තියෙන දේවල් එයාලට උගන්වන එක.

9. ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කොහොමද? (ෆිලිප්පි 2:13)

9 ඔයා බයිබල් පාඩමක් පටන්ගන්න අදිමදි කරන්නේ ඒකට සූදානම් වෙන්නත් පාඩම කරන්නත් ගොඩක් වෙලා යනවා කියලා හිතෙන නිසාද? එහෙනම් ඒ ගැන යෙහෝවා දෙවියන්ට කියන්න. බයිබල් පාඩමක් පටන්ගන්න ඔයාගේ හිතේ ආසාවක් ඇති කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න. (ෆිලිප්පි 2:13 කියවන්න.) ඔහු අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න ඔයාට උදව් කරයි. මොකද දෙවියන්ගේ කැමැත්තට එකඟව කරන හැම යාච්ඤාවකටම ඔහු අනිවාර්යයෙන්ම ඇහුම්කන් දෙනවා.—1 යොහ. 5:14, 15.

අභියෝග ජය ගන්න

10-11. කෙනෙක් බයිබල් පාඩමක් පටන්ගන්න අදිමදි කරන්න පෙලඹෙන්න පුළුවන් ඇයි?

10 මිනිසුන්ට බයිබලේ තියෙන දේවල් ගැන උගන්වන එක කොච්චර වැදගත්ද කියලා අපි තේරුම් අරන් හිටියත් සමහර දේවල් නිසා ඒක කරන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලත් ඒ අභියෝග ජය ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි දැන් බලමු.

11 ‘මුහුණ දෙන තත්වයන් නිසා කැමති තරම් සේවයක් කරගන්න බැහැනෙ’ කියලා සමහර අයට හිතෙනවා. උදාහරණෙකට සමහර අය මහලු වයසත් එක්ක නැත්නම් අසනීපයක් එක්ක පොරබදිනවා. ඔයාත් ඒ වගේ කෙනෙක්ද? එහෙනම් ටිකකට මේ ගැන හිතන්න. කෝවිඩ්-19 වසංගතය නිසා අපි ගෙවල්වලටම කොටු වුණත් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් හරහා කොච්චර සාර්ථක විදිහට බයිබල් පාඩම් කරන්න පුළුවන්ද කියලා අපි අද්දැක්කා. ඉතින් ඔයාටත් පුළුවන් ගෙදර ඉඳන්ම බයිබල් පාඩම් පටන් අරන් ඒවා දිගටම කරගෙන යන්න. ඔයාට හිතලා බලන්න පුළුවන් තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි සමහර අය බයිබලේ තියෙන දේවල් ගැන දැනගන්න කැමති වුණත් සාමාන්‍යයෙන් සහෝදරයන් සේවයේ හවුල් වෙන වෙලාවට පාඩමක් කරන්න එයාලට අමාරුයි. හැබැයි උදේ පාන්දර හරි ටිකක් රෑ වෙලා හරි පාඩමක් කරන්න එයාලා කැමති වෙයි. ඉතින් ඔයාට පුළුවන්ද ඒ වගේ අය ගැන සහෝදරයන්ගෙන් අහලා බලලා ඒ වගේ කෙනෙක් එක්ක පාඩමක් පටන්ගන්න? මතකනෙ යේසුත් නිකදේමස්ට දෙවියන් ගැන කියලා දුන්නේ කළුවර වැටුණාට පස්සේ. මොකද නිකදේමස් කැමති වුණේ ඒ වෙලාවේ සාකච්ඡා කරන්න.—යොහ. 3:1, 2.

12. අපිට දක්ෂ ගුරුවරුන් වෙන්න පුළුවන් කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි?

12 ‘බයිබල් පාඩමක් කරන්න තරම් මං දක්ෂ නැහැනෙ’ කියලා සමහර අය හිතනවා. උදාහරණෙකට බයිබල් පාඩමක් කරන්න නම් ලොකු හැකියාවක්, ලොකු දැනුමක් තියෙන්න ඕනෙ කියලා සමහර අය හිතනවා. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙනම් ඒ අභියෝගයෙන් ගොඩ එන්න ඔයාට උදව් වෙන කරුණු තුනක් අපි බලමු. (1) යෙහෝවා දෙවියන් ඔයාව සලකන්නේ උගන්වන්න සුදුසුකම් තියෙන කෙනෙක් විදිහට. (2 කොරි. 3:5) (2) උගන්වන පැවරුම ඔයාට දීලා තියෙන්නේ ‘ස්වර්ගයෙත් පොළොවෙත් සියලු අධිකාරිය’ තියෙන යේසුස්. (මතෙ. 28:18) (3) ඔයාට පුළුවන් අනිත් අයගෙන් උදව් ගන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් යේසුස් කළා වගේ, උගන්වද්දී යෙහෝවා දෙවියන් මතම රඳලා ඉන්න. (යොහ. 8:28; 12:49) ඒ වගේම ඔයාගේ කණ්ඩායම භාර සහෝදරයාගෙන්, දක්ෂ විදිහට බයිබල් පාඩම් කරන පුරෝගාමීන්ගෙන් එහෙමත් නැත්නම් අද්දැකීම් තියෙන ප්‍රචාරකයන්ගෙන් උදව් ගන්න ඔයාට පුළුවන්. ඒ වගේ කෙනෙක් කරන බයිබල් පාඩමකට හවුල් වෙන එකෙනුත් ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි.

13. උගන්වන්න පාවිච්චි කරන අලුත් ක්‍රමවලට අපි හැඩගැහෙන්න ඕනෙ ඇයි?

13 අලුත් ක්‍රමවලට හැඩගැහෙන්න අමාරුයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් අපි බයිබල් පාඩම් කරන විදිහ කලින්ට වඩා ගොඩක් වෙනස්. උදාහරණෙකට දැන් අපි කෙනෙක් එක්ක බයිබල් පාඩමක් කරන්නේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශනයෙන්. ඒකෙන් පාඩමක් කරද්දී ඡේද ගොඩක් කියවන්න නැහැ. හැබැයි ශිෂ්‍යයා එක්ක ගොඩක් දේවල් ගැන අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ වගේම අපි තව කෙනෙක්ට උගන්වද්දී අපේ වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකේ තියෙන වීඩියෝ වගේම වෙනත් අංගයන් නිතරම වගේ පාවිච්චි කරනවා. ඔයාත් ඒ ක්‍රමවලට හුරු වුණාද? ඒක අමාරුයි කියලා ඔයාට හිතෙනවාද? ඇත්ත, අපි හුරු වෙලා ඉන්න විදිහට දේවල් කරන එක තමයි ලේසිම දේ කියලා අපිට ගොඩක් වෙලාවට හිතෙනවා. හැබැයි යෙහෝවා දෙවියන්ගෙනුත් සහෝදරයන්ගෙනුත් උදව් ගත්තොත් ඔයාටත් පුළුවන් වෙයි ඒ අලුත් ක්‍රමවලට හුරු වෙන්න. පුරෝගාමියෙක් මෙහෙම කියනවා. “අලුත් ප්‍රකාශනය පාවිච්චි කරලා පාඩමක් කරද්දී උගන්වන කෙනාටත් ඉගෙනගන්න කෙනාටත් ලොකු සතුටක් අද්දකින්න පුළුවන්.” ඉතින් ඔයාත් කැමතිද ඒක අද්දැකලා බලන්න?

14. මිනිසුන් අපේ පණිවිඩය පිළිගන්නේ නැති වෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? 1 කොරින්ති 3:6, 7 අපිට උදව් වෙන්නේ කොහොමද?

14 සේවේ කරන පැත්තේ බයිබල් පාඩමක් පටන්ගන්න එක ලේසි නැති වෙන්න පුළුවන්. ඔයා සේවේ කරන පැත්තේ ඉන්න අය අපේ පණිවිඩය ගැන දැනගන්න උනන්දු වෙන්නේ නැද්ද? එයාලා අපි කරන සේවයට විරුද්ධ වෙනවාද? එහෙනම් දිගටම සතුටින් සේවේ හවුල් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී මිනිසුන් හිතන විදිහ වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියලා මතක තියාගන්න. උදාහරණෙකට ගොඩක් අයට දෙවි කෙනෙක්ව මතක් වෙන්නේ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණාම. (මතෙ. 5:3) ඉතින් කලින් කීප වතාවක්ම අපිව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් වුණත් ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉද්දී අපේ පණිවිඩය ගැන හොයලා බලන්න පෙලඹෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි දන්නවා අස්වැන්නේ ස්වාමියා යෙහෝවා දෙවියන් කියලා. (මතෙ. 9:38) අපි බීජයක් පැළ කරලා ඒකට වතුර දැම්මත් යෙහෝවා දෙවියන් තමයි ඒකට වර්ධනය දෙන්නේ. (1 කොරි. 3:6, 7) ඉතින් දැනට ඔයාට බයිබල් පාඩමක් නැත්නම් ඒ ගැන දුක් වෙන්න එපා. මොකද අපේ දෙවි යෙහෝවා අපිට ආශීර්වාද කරන්නේ අපි දරන වෑයමට මිසක් සේවෙදී අපිට ලැබෙන ප්‍රතිඵලවලට අනුව නෙවෙයි. *

සතුට ඔයාත් අද්දකින්න

අපි දේශනා කරන එක සහ උගන්වන එක කෙනෙක්ට එයාගේ ජීවිතය වෙනස් කරගන්න උදව් වෙන්නේ කොහොමද කියලා බලන්න (15-17 ඡේද බලන්න) *

15. කෙනෙක් බයිබල් පාඩමක් කරන්න කැමති වෙද්දී, පාඩමෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගද්දී ඒ ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

15 කෙනෙක් බයිබලේ තියෙන සත්‍යයන් ඉගෙනගෙන ඒ ගැන අනිත් අයට කතා කරනවා දකිද්දී යෙහෝවා දෙවියන් ගොඩක් සතුටු වෙනවා. (හිතෝ. 23:15, 16) ටිකකට මේ ගැන හිතන්න. මුළු ලෝකයම කොරෝනා වසංගතයට ගොදුරු වුණු 2020 සේවා වර්ෂයේදී ලෝකේ වටේම 77,05,765දෙනෙක් බයිබලය පාඩම් කරලා තියෙනවා. ඒ වගේම 2,41,994දෙනෙක් බව්තීස්ම වෙලා තියෙනවා. අපිට කිසිම සැකයක් නැහැ එයාලා හැමෝම තවත් අයට බයිබල් පාඩම් කරයි කියලා. (ලූක් 6:40) හිතලා බලන්න යෙහෝවා දෙවියන් ඒ දේවල් ගැන කොච්චර සතුටු වෙනවා ඇද්ද කියලා. ඔව්, අපි හැමෝම උද්‍යෝගයෙන් සේවේ හවුල් වෙලා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

16. අපි හැමෝම ඉලක්කයක් තියාගන්න ඕනෙ මොනවා කරන්නද?

16 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න නම් අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් අපිට අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන්. ඒ නිසා අඩුම ගාණේ එක බයිබල් පාඩමක් හරි කරන්න අපි ඉලක්කයක් තියාගමුද? අපිට මුණගැහෙන හැම කෙනෙක්ගෙන්ම බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කැමතිද කියලා අපි අහලා බලමු. බයිබල් පාඩමක් පටන්ගන්න අපි ඒ විදිහට උපරිමයෙන් වෑයම් කරද්දී අපි හිතන්නෙවත් නැති විදිහට යෙහෝවා දෙවියන් අපිට ආශීර්වාද කරයි.

17. බයිබල් පාඩමක් පටන්ගන්න අපිට පුළුවන් වුණොත් ඒ ගැන අපිට කොහොම හැඟෙයිද?

17 දේශනා කරන්නත් උගන්වන්නත් ලැබිලා තියෙන අවස්ථාව අපිට ගොඩක් වටිනවා නේද? ඇත්තටම ඒකෙන් අපි ලොකු සතුටක් අද්දකිනවා. පාවුලුත් ඒක අද්දැක්කා. තෙසලෝනිකයේ හිටපු අයට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරපු එකෙන් එයා අද්දැක්ක සතුට ගැන මෙහෙම කියලා තියෙනවා. “අපගේ ස්වාමීන් වන යේසුස් පැමිණ සිටින විට ඔහු ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවට පදනමත් ප්‍රීතිය හා සතුටට හේතු වන කිරුළත් ඔබම නොවේද? ඇත්තෙන්ම අපගේ ගෞරවයත් ප්‍රීතියත් ඔබය.” (1 තෙස. 2:19, 20; ක්‍රියා 17:1-4) අපිටත් හැඟෙන්නේ ඒ විදිහටමයි නේද? සහෝදරි ස්ටෙෆනි එයාගේ මහත්තයාත් එක්ක එකතු වෙලා හුඟදෙනෙක්ට බව්තීස්ම වෙන්න උදව් කරපු කෙනෙක්. එයා මෙහෙම කියනවා. “ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න තව කෙනෙක්ට උදව් කරන එකෙන් ලැබෙන සතුට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ.”

ගීතිකාව 57 සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

^ 5 ඡේ. දේශනා කරන්න විතරක් නෙවෙයි යේසුස් උගන්වපු දේවල් පිළිපදින්න මිනිසුන්ට උගන්වන්නත් යෙහෝවා දෙවියන් අපිට අවස්ථාව දීලා තියෙනවා. ඒ දේවල් සතුටින් කරන්න අපිට පුළුවන් කොහොමද? ඒ දේවල් කරද්දී අපි මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? ඒ අභියෝග ජය ගන්න අපිට පුළුවන් කොහොමද? ඒවාට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 14 ඡේ. මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න සභාවේ හැමෝටම පුළුවන් කොහොමද කියලා දැනගන්න 2021 මාර්තු මාසේ පළ වුණු ‘මුරටැඹ’ සඟරාවේ, “බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ” කියන ලිපිය බලන්න.

^ 53 ඡේ. පින්තූරයේ අදහස: බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී කෙනෙක්ගේ ජීවිතය වෙනස් වෙන විදිහ ගැන බලන්න. මුලදී එයාට ජීවිතේ අරමුණක් තිබුණේ නැහැ. යෙහෝවා දෙවියන් ගැන දැනගෙන හිටියෙත් නැහැ. සාක්ෂිකරුවන් ගෙයින් ගෙට සේවේ යද්දී එයාලට ඒ කෙනාව මුණගැහෙනවා. එයා බයිබල් පාඩමක් කරන්න කැමති වෙනවා. එයා ඉගෙනගන්න දේවල් අදාළ කරගෙන ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙනවා. පස්සේ එයාත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරනවා. එයාලා හැමෝම පාරාදීසේ සතුටින් කල් ගෙවනවා.