Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 28

තරඟය වෙනුවට සාමය ඇති කරමු

තරඟය වෙනුවට සාමය ඇති කරමු

“අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.”—ගලා. 5:26.

ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු

මේ ලිපියෙන් *

1. තව කෙනෙක්ට වඩා කැපිලා පේන්න උත්සාහ කරද්දී මොනවා වෙන්න පුළුවන්ද?

අද ඉන්න හුඟක් අය අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්න, කැපිලා පේන්න, නොකරන දෙයක් නැහැ. උදාහරණෙකට අනිත් ව්‍යාපාරිකයන්ව වට්ටලා හරි තමන්ගේ ව්‍යාපාරය ඉස්සරහට ගේන්න සමහර ව්‍යාපාරිකයන් උත්සාහ කරනවා. ඒ වගේම තව කෙනෙක්ට තුවාල කරලා හරි තරඟයකින් දිනන්න සමහර ක්‍රීඩකයන් උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයකට යන්න ආසාවෙන් ඉන්න සමහර අය විභාගයකින් හොර කරලා හරි වැඩි ලකුණු ගන්න උත්සාහ කරනවා. හැබැයි ක්‍රිස්තියානීන් විදිහට අපි දන්නවා ඒ විදිහට දේවල් කරන්නේ තමන්ගේ “පව්කාර ආශාවන්වලට” අනුව ක්‍රියා කරන අයයි කියලා. (ගලා. 5:19-21) සභාවෙත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? අපි ඒ ගැන හොඳට හිතලා බලන එක හරිම වැදගත්. මොකද ඒ වගේ දෙයක් සභාවේ ඇති වුණොත් ඒකෙන් සභාවේ සාමයට ලොකු හානියක් වෙන්න පුළුවන්.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 අනිත් අයට වඩා කැපිලා පේන්න මගේ හිතේ ආසාවක් තියෙනවාද කියලා දැනගන්න පුළුවන් කොහොමද? අනිත් අයට වඩා කැපිලා පේන්න අපිව පොලඹවන නරක ගතිගුණ දෙකක් මොනවාද? කිසිම අවස්ථාවකදී අනිත් අයත් එක්ක තරඟයක් ඇති කරගන්න උත්සාහ කළේ නැති බයිබල් ආදර්ශවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපිට මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

කැපිලා පේන්න ඔයාටත් ආසාවක් ඇති වෙලාද?

3. අපි හිතලා බලන්න ඕනෙ මොන පැති ගැනද?

3 කාලෙන් කාලෙට අපි අපිවම සෝදිසි කරලා බලන්න ඕනේ. උදාහරණෙකට අපිට පුළුවන් මේ පැති ගැන හිතලා බලන්න. ‘මං කොයි වෙලෙත් මාව අනිත් අයත් එක්ක සන්සන්දනය කරනවාද? මං සභාවේ මහන්සි වෙලා වැඩ කරන්නේ අනිත් අයට වඩා කැපිලා පේන්න නැත්නම් තව කෙනෙක්ට වඩා මං හොඳයි කියලා පෙන්නන්න හිතාගෙනද? එහෙම නැත්නම් මං මහන්සි වෙලා වැඩ කරන්නේ යෙහෝවා දෙවියන්ට මගේ උපරිමය දෙන්න ඕන නිසාද?’ ඒ වගේ පැති ගැන අපි හොඳට හිතලා බලන්න ඕනෙ ඇයි කියලා දැන් අපි බලමු.

4. අපි අනිත් අයත් එක්ක අපිව සසඳන්න හොඳ නැත්තේ ඇයි? (ගලාති 6:3, 4)

4 බයිබලේ අපිට දිරිගන්වනවා අනිත් අයත් එක්ක අපිව සසඳන්න එපා කියලා. (ගලාති 6:3, 4 කියවන්න.) ඒ ඇයි? මොකද එහෙම කරද්දී තමන් අනිත් අයට වඩා දක්ෂයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එතකොට එයා උඩඟු වෙන්න පෙලඹෙනවා. අනිත් අතට ‘මට වඩා අනිත් හැමෝම දක්ෂයිනෙ’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එතකොට එයා අධෛර්යය වෙනවා. එහෙනම් තමන්ව අනිත් අයත් එක්ක සසඳන එක ඥානවන්ත දෙයක් නෙවෙයි කියලා පැහැදිලියි නේද? (රෝම 12:3) ග්‍රීසියේ ජීවත් වෙන සහෝදරි කැත්රිනා * කියන දේ බලන්න. “ඉස්සර මං කොයි වෙලෙත් මට වඩා ලස්සන, දක්ෂ විදිහට සේවයේ හවුල් වෙන, ගොඩක් යාළුවෝ ඉන්න අයත් එක්ක මාව සන්සන්දනය කළා. ඒත් ඒකෙන් වුණේ මං අධෛර්යය වුණ එක විතරයි.” යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනාව ඔහු වෙතට ඇදලා ගත්තේ අපි ලස්සන නිසාවත් දක්ෂ විදිහට කතා කරන නිසාවත් හුඟක් අය අපිට කැමති නිසාවත් නෙවෙයි. ඒ වෙනුවට අපි මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ආදරය කරපු නිසා වගේම කැමැත්තෙන්ම යේසුස්ට කීකරු වුණ නිසයි. (යොහ. 6:44; 1 කොරි. 1:26-31) අපි හැමදාටම ඒක මතක තියාගන්න ඕනේ.

5. සහෝදර හයන්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

5 ‘සහෝදරයන් මාව දකින්නේ සාමයට දායක වන කෙනෙක් විදිහටද නැත්නම් රණ්ඩුවට බර කෙනෙක් විදිහටද?’ අපි ඒ ගැනත් හිතලා බලන එක හරිම වැදගත්. දකුණු කොරියාවේ වැඩිමහල්ලෙක් වන සහෝදර හයන්ගේ අද්දැකීම බලන්න. කෙනෙක්ට සභාවේ වගකීමක් ලැබෙද්දී එයාට හිතුණේ ඒ කෙනා තමන්ට වඩා කැපිලා පේන්න උත්සාහ කරනවා කියලයි. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මට හැම තිස්සේම පෙනුණේ එයාලගේ අඩුපාඩු. එයාලා කියන කිසිම දේකට මං එකඟ වුණේ නෑ. අන්තිමේදී ඒක සභාවේ සාමයටත් බාධාවක් වුණා.” හැබැයි හයන්ගේ යාළුවෝ එයාට උදව් කළා එයාට තිබුණු ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම්ගන්න. ඒ නිසා හයන් හිතපු විදිහ වෙනස් කරගත්තා. දැන් එයා හරිම නිහතමානීව සභාවේ සේවය කරනවා. මොකක්ද පාඩම? අනිත් අයට වඩා කැපිලා පේන්න මගේ හිතෙත් පුංචිම හරි ආසාවක් ඇති වෙලා කියලා දැනුණොත් අපි ඉක්මනින්ම ඒක හදාගන්න උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ.

අහංකාර වෙන්නවත් ඊර්ෂ්‍යා කරන්නවත් එපා

6. තරඟෙට වැඩ කරන්න අපිව පොලඹවන්නේ මොන වගේ නරක ගතිගුණද? (ගලාති 5:26)

6 ගලාති 5:26 කියවන්න. කෙනෙක් එක්ක තරඟයක් ඇති කරගන්න පෙලඹෙන නරක ගතිගුණ දෙකක් මොනවාද? එකක් තමයි අහංකාරකම. ඒ වගේ කෙනෙක් කොයි වෙලෙත් වැඩ කරන්නේ උඩඟු විදිහට. එයා හිතන්නේ තමන් ගැනම විතරයි. තව ගුණාංගයක් තමයි ඊර්ෂ්‍යාව. කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණාම ඒක නැති කරගත්තේ නැත්නම් ඒ කෙනාට වෛර කරන්නත් එයාට තියෙන දේවල් නැති කරන්නත් අපි පෙලඹෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ඒ නරක ගතිගුණ අපේ හිත්වල ඇති වේගෙන එනවා කියලා දැනෙද්දීම ඒවා අයින් කරගන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනෙ නේද?

7. උඩඟුකම සහ අහංකාරකම කොච්චර භයානකද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.

7 ටිකකට හිතන්න ගුවන් යානයක තෙල් ටැංකිය බාල තෙල් වර්ගයකින් පුරවනවා කියලා. ඒ තෙල්වලින් යම් දුරක් යන්න පුළුවන් වුණත් තෙල්වල තියෙන අපද්‍රව්‍ය නිසා එන්ජින් එක නතර වෙලා ගමන අතරතුරදී ගුවන් යානය කඩාගෙන වැටෙනවා. අහංකාරකම සහ ඊර්ෂ්‍යාව කියන ගුණාංග දෙකත් හරියට ඒ බාල තෙල් ජාතිය වගේ. මොකද අවුරුදු ගාණක් යෙහෝවා දෙවියන්ට සේවය කරන කෙනෙක් වුණත් අහංකාරකම සහ ඊර්ෂ්‍යාව කියන නරක ගුණාංග එයාගේ හිතේ ඇති වෙන්න ඉඩ දුන්නොත් වැඩි කාලයක් යන්න කලින් එයා වැටිලා යනවා. (හිතෝ. 16:18) ඒකෙන් එයාට විතරක් නෙවෙයි අනිත් අයටත් ලොකු හානියක් වෙනවා. අහංකාරකමට සහ ඊර්ෂ්‍යාවට අපේ හිතේ කිසිම ඉඩක් නොදී ඉන්න අපිට පුළුවන් කොහොමද?

8. අහංකාරකමට අපේ හිතේ කිසිම ඉඩක් නොදී ඉන්න අපිට පුළුවන් කොහොමද?

8 අහංකාරකමට අපේ හිතේ කිසිම ඉඩක් නොදී ඉන්න පාවුල් කියපු මේ දේ අපිට උදව් වෙනවා. “කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.” (ෆිලි. 2:3) අනිත් අය අපිට වඩා උතුම් කියලා අපි හිතනවා නම් අපිට වඩා දක්ෂ, හැකියාවන් තියෙන අයත් එක්ක තරඟයක් ඇති කරගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි එයාලා ගැන සතුටු වෙනවා. එහෙනම් යෙහෝවා දෙවියන්ට සේවය කරන අය එයාලගේ හැකියාවන් පාවිච්චි කරලා යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරද්දී අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද! අනිත් අතට ‘මට වඩා අනිත් අය උතුම්’ කියලා ඔයා හිතනවා නම් අනිත් අයට වඩා දක්ෂතා, හැකියාවන් ඔයාට තිබුණත් ඔයා එයාලගේ හොඳ පැති ගැන හිතලා සතුටු වෙනවා. ටිකකට හිතන්න සභාවේ හැමෝම ඒ විදිහට වැඩ කරද්දී ඒක සභාවේ සාමයට, එකමුතුකමට කොච්චර දායක වෙයිද කියලා.

9. කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද?

9 අනිත් අය ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නැතුව ඉන්න නිහතමානිකම අපිට උදව් වෙනවා. මොකද අපි නිහතමානී නම් අපිට කරන්න පුළුවන් දේවල් වගේම කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා අපි තේරුම්ගන්නවා. ඒ වගේම අපි අනිත් හැමෝටම වඩා දක්ෂයි කියලා පෙන්නන්න අපි උත්සාහ කරන්නෙත් නැහැ. ඒ වෙනුවට දක්ෂ විදිහට දේවල් කරන අයගෙන් ඉගෙනගන්න අපි උත්සාහ කරනවා. උදාහරණෙකට දක්ෂ විදිහට බයිබල් දේශන දෙන සහෝදරයෙක් අපේ සභාවේ ඉන්නවා නම් එයා ඒකට සූදානම් වෙන්නේ කොහොමද කියලා අහලා බලන්න අපි පෙලඹෙනවා. කටට රහට කෑම හදන්න පුළුවන් සහෝදරියක් අපි දන්නවා නම් රහට කෑම හදන්න පුළුවන් කොහොමද කියලා අපි එයාගෙන් අහලා බලනවා. ඒ වගේම ගොඩක් යාළුවන් ඉන්න හරිම මිත්‍රශීලී සහෝදරයෙක් හරි සහෝදරියක් හරි අපේ සභාවේ ඉන්නවා නම් යාළුවන් ඇති කරගන්න පුළුවන් කොහොමද කියලා එයාගෙන් අහලා බලන්න අපි පෙලඹෙනවා. එහෙම කරද්දී අනිත් අය ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නැතුව ඉන්නත් අපිට තියෙන හැකියාවන් වැඩි කරගන්නත් පුළුවන් වෙනවා.

බයිබල් ආදර්ශවලින් ඉගෙනගමු

ගිඩියොන් නිහතමානී විදිහට වැඩ කරපු නිසා එෆ්‍රායිම්වරුත් එක්ක දිගටම සාමය පවත්වගන්න පුළුවන් වුණා (10-12 ඡේද බලන්න)

10. ගිඩියොන් මුහුණ දුන්නේ මොන අභියෝගයටද?

10 මනස්සේ ගෝත්‍රයට අයිති වුණ ගිඩියොන් සහ එෆ්‍රායිම්වරු අතරේ සිද්ධ වුණ මේ දේ ගැන ටිකකට හිතන්න. යෙහෝවා දෙවියන්ගේ උදව් ලැබුණ නිසා ගිඩියොන්ටයි එයාත් එක්ක හිටපු 300දෙනාටයි ලොකු සතුරු හමුදාවක් පරද්දන්න පුළුවන් වුණා. හැබැයි ඒක ආරංචි වුණාම එෆ්‍රායිම්වරුන්ට ගොඩක් කේන්ති ගියා. මොකද එයාලා හිතුවා දෙවියන්ගේ සතුරන්ට විරුද්ධව කරපු ඒ සටනට එයාලට කලින් ආරාධනා කළේ නැත්තේ ඇයි කියලා. එයාලා වැඩියෙන්ම හිතුවේ එයාලගේ ගෝත්‍රයට ලැබෙන්න ඕන ගරු නම්බුව ගැන මිසක් යෙහෝවා දෙවියන්ට ලැබෙන්න ඕන ගෞරවය ගැන නෙවෙයි. ඒ නිසා ගිඩියොන්ට යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් දෙවියන්ගේ සෙනඟව ආරක්ෂා කරගන්න පුළුවන් වුණ එක ගැන සතුටු වෙන්න එයාලට බැරි වුණා.—විනි. 8:1.

11. එෆ්‍රායිම්වරුන්ට ගිඩියොන් කිව්වේ මොනවාද?

11 ගිඩියොන් හරිම නිහතමානී විදිහට එෆ්‍රායිම්වරුන්ට කිව්වා, “ඔබ කළ දේවල් එක්ක බලද්දී මම මොනවාද කරලා තියෙන්නේ” කියලා. ඊටපස්සේ යෙහෝවා දෙවියන් එෆ්‍රායිම්වරුන්ට ආශීර්වාද කරපු විදිහ ගැන ගිඩියොන් එයාලට මතක් කරලා දුන්නා. ඒ නිසා එයාලගේ ‘තරහ නිවිලා ගියා.’ (විනි. 8:2, 3) ලබපු ජයග්‍රහණය ගැන හිස උදුම්මගන්නවා වෙනුවට ගිඩියොන් දෙවියන්ගේ සෙනඟ අතරේ දිගටම සාමය පවත්වගන්න එයාට පුළුවන් හැම දේම කළා.

12. ගිඩියොන් සහ එෆ්‍රායිම්වරුන් අතර වුණ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි කවදාවත් එෆ්‍රායිම්වරු කළා වගේ අපේම ගෞරවය ගැන හිතන්න නරකයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්නේ කොහොමද කියන එක ගැනයි අපි හිතන්න ඕනේ. පවුලේ මූලිකයන්ටත් වැඩිමහල්ලන්ටත් ගිඩියොන්ගෙන් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඔයා කරපු දෙයක් නිසා කෙනෙක්ගේ හිත රිදිලා කියලා තේරුණොත් එයාට එහෙම හිතෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. එයා කරලා තියෙන හොඳ දේවල් ගැන අගය කරන්නත් ඔයාට පුළුවන්. විශේෂයෙන්ම වැරැද්ද කළේ ඔයා නෙවෙයි නම් ඒ දේ කරන්න ඔයාට නිහතමානිකම තියෙන්නම ඕනේ. වැඩියෙන්ම වැදගත් වෙන්නේ කවුද හරි, කවුද වැරදි කියලා ඔප්පු කරන එක නෙවෙයි සහෝදරයන් අතර තියෙන බැඳීම රැකගන්න එකයි කියලා අමතක කරන්න එපා.

ප්‍රශ්නේ යෙහෝවා දෙවියන්ට භාර දීපු නිසා සන්සුන් මනසක් ඇතුව ඉන්න හන්නාට පුළුවන් වුණා (13 සහ 14 ඡේද බලන්න)

13. හන්නා මුහුණ දුන්නේ මොන අභියෝගයටද? එයා ඒකෙන් ජය ගත්තේ කොහොමද?

13 හන්නා ගැන ටිකකට හිතන්න. එයාගේ සැමියා වුණ එල්කානාට තවත් බිරිඳක් හිටියා. ඒ තමයි පෙනින්නා. හැබැයි එල්කානා වැඩියෙන්ම ආදරේ කළේ හන්නාට. කාලයක් යද්දී ‘පෙනින්නාට දරුවන් ලැබුණත් හන්නාට දරුවන් ලැබුණේ නැහැ.’ ඉතින් පෙනින්නා හන්නාව ‘ලැජ්ජාවට පත් කරන්න නිතරම’ එයාට නින්දා අපහාස කළා. ඒ ගැන හන්නා කොච්චර දුක් වුණාද කිව්වොත් ‘එයා නොකා නොබී අඬඅඬා හිටියා.’ (1 සාමු. 1:2, 6, 7) හැබැයි හන්නා පෙනින්නාගෙන් පළිගන්න උත්සාහ කළා කියලා බයිබලේ කොතැනකවත් සඳහන් වෙලා නැහැ. ඒ වෙනුවට එයා ඒ කාරණය සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවියන්ට භාර දීලා දෙවියන් ඒකට විසඳුමක් දෙන කල් ඉවසීමෙන් බලන් හිටියා. ඒ කාලය අතරතුරේදී පෙනින්නා හන්නාව රිද්දන එක නතර කළාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි හන්නා කාරණය දෙවියන්ට භාර දුන්නාට පස්සේ ඒ ගැන හිතහිත ළත වුණේ නැහැ කියලා නම් අපි දන්නවා. මොකද බයිබලේ කියනවා ‘එයාගේ මුහුණ තවදුරටත් මලානික වෙලා තිබුණේ නැහැ’ කියලා.—1 සාමු. 1:10, 18.

14. හන්නාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 හන්නාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? කෙනෙක් ඔයාට වඩා කැපිලා පේන්න හදනවා කියලා ඔයාට තේරුණොත් ඔයා මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා එයාත් එක්ක තරඟෙට යනවාද නැද්ද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ කියන දේ. ඉතින් නපුරට නපුරක් කරනවා වෙනුවට ඔයාට පුළුවන් එයාත් එක්ක සාමය ඇති කරගන්න උපරිමයෙන් වෑයම් කරන්න. (රෝම 12:17-21) ඔයා එහෙම කරද්දී එයා වෙනස් වුණේ නැතත් දිගටම සන්සුන් මනසක් ඇතුව සතුටින් ඉන්න ඔයාට පුළුවන්.

හැම දෙයක්ම සාර්ථකව කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදයෙන් කියලා තේරුම්ගත්ත නිසා පාවුල් සහ අපොලොස් අතරේ තරඟයක් තිබුණේ නැහැ (15-18 ඡේද බලන්න)

15. අපොලොස් සහ පාවුල් සමාන වුණේ මොන පැතිවලින්ද?

15 දැන් අපි බලමු අපොලොස්ගෙනුයි පාවුල්ගෙනුයි අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා. ඒ දෙන්නාටම ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ දෙන්නාම හරිම දක්ෂ ගුරුවරු. හුඟදෙනෙක්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න දෙන්නාම උදව් කරලා තිබුණා. හැබැයි කවදාවත් එයාලා අතරේ තරඟයක් නම් තිබුණේ නැහැ.

16. අපොලොස් මොන වගේ කෙනෙක්ද?

16 අපොලොස් ඉපදුණේ මුල් සියවසේ ඉගෙනීමේ කටයුතුවලට නම් දරා තිබුණු “ඇලෙක්සැන්ඩ්‍රියාව” කියන නගරයේ. එයා හරිම දක්ෂ විදිහට දේශන දුන්නා. ‘ශුද්ධ ලියවිල්ල ගැන එයාට මනා දැනුමකුත් තිබුණා.’ (ක්‍රියා 18:24) ඉතින් අපොලොස් කොරින්තියට ගියාම එහේ සභාවේ හිටපු සමහර සහෝදරයන් එයාට කිව්වා පාවුල් සහ එහේ සේවය කරපු අනිත් සහෝදරයන්ට වඩා එයාලා අපොලොස්ට කැමතියි කියලා. (1 කොරි. 1:12, 13) ඒ වෙලාවේ අපොලොස් ඒ සහෝදරයන් එක්ක එකතු වෙලා සභාවේ බෙදීමක් ඇති කරන්න උත්සාහ කළාද? එහෙම හිතන්න බැහැ. මොකද පස්සේ කාලෙක පාවුල් එයාට ආරාධනා කළා ආයෙත් කොරින්ති සභාවට එන්න කියලා. (1 කොරි. 16:12) අපොලොස් ඒ සහෝදරයන් එක්ක එකතු වෙලා බෙදීමක් ඇති කරන්න හැදුවා නම් පාවුල් කවදාවත් එයාට ආයෙත් එන්න කියයි කියලා හිතන්න බැහැ නේද? අපොලොස් එයාට ලැබිලා තිබුණ හැකියාවන් පාවිච්චි කළේ ශුභාරංචිය දේශනා කරන්න සහ සහෝදරයන්ව දිරිගන්වන්න. ඒ වගේම එයා වැඩ කරපු විදිහෙන් පැහැදිලි වෙනවා එයා හරිම නිහතමානී කෙනෙක් කියලා. උදාහරණෙකට ප්‍රිසිලායි අකිලායි “දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක්” එයාට ලබා දුන්නාම ඒක තමන්ට වුණ මදිපුංචිකමක් කියලා එයා හිතුවේ නැහැ.—ක්‍රියා 18:24-28.

17. සාමය දිගටම පවත්වගන්න පාවුල් කළේ මොනවාද?

17 අපොලොස් කොච්චර දක්ෂ විදිහට දේවල් කරනවාද කියලා පාවුල් හොඳින්ම දැනගෙන හිටියා. හැබැයි ඒක තමන්ට තර්ජනයක් කියලා පාවුල් කවදාවත් හිතුවේ නැහැ. පාවුල් කොච්චර සාධාරණ, නිහතමානී කෙනෙක්ද කියලා කොරින්ති සභාවේ අයට එයා ලියපු ලියුමෙන් පැහැදිලි වෙනවා. ‘මං පාවුල්ගේ පැත්තේ’ කියලා සමහර අය කියද්දී පාවුල් ඒකට පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මොකද හැම දේකදීම එයා සම්පූර්ණ ගෞරවය දුන්නේ යෙහෝවා දෙවියන්ටයි යේසුස්ටයි.—1 කොරි. 3:3-6.

18. අපොලොස්ගෙන් සහ පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 කොරින්ති 4:6, 7)

18 අපොලොස්ගෙන් සහ පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මේ වෙද්දී අපි යෙහෝවා දෙවියන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ඇති. ඒ වගේම හුඟදෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරලත් ඇති. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ ඒ හැම දෙයක්ම සාර්ථක විදිහට කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය අපිට ලැබුණ නිසයි කියලා. අපොලොස්ගෙන් සහ පාවල්ගෙන් අපිට තවත් වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි අපිට සභාවේ වගකීම් වැඩියෙන් ලැබෙන තරමටම සභාවේ සාමය වෙනුවෙන් තවත් වැඩියෙන් දායක වෙන්න අපිට පුළුවන් කියන දේ. අපේ සහායක සේවකයන් සහ වැඩිමහල්ලන් සභාවේ සාමය රැකගන්න දරන වෙහෙස අපි ගොඩක් අගය කරනවා නේද? එයාලා හැම වෙලාවෙම අනිත් අයට උපදෙස්, මඟ පෙන්වීම් දෙන්නේ බයිබලය පදනම් කරගෙන. සභාවේ අනිත් අයට වඩා තමන් උසස් කියලා එයාලා කවදාවත් හිතන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා උත්සාහ කරන්නේ දිගටම යේසුස්ට කීකරු වෙලා ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න සභාවේ හැමෝටම උදව් කරන්නයි.1 කොරින්ති 4:6, 7 කියවන්න.

19. අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් මොනවාද? (“ තරඟයක් ඇති කරන්න එපා” කියන කොටුව බලන්න.)

19 අපි හැමෝටම යෙහෝවා දෙවියන්ගෙන් විවිධ හැකියාවන් ලැබිලා තියෙනවා. අපි ඒවා පාවිච්චි කරන්න ඕනෙ ‘එකිනෙකාට සේවය කරන්න.’ (1 පේතෘ. 4:10) සමහරවිට අපිට හිතෙයි ‘සභාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හරිම පොඩි දෙයයිනෙ’ කියලා. හැබැයි ටිකකට හිතන්න ඇඳුමක් ඉරෙන්නේ නැතුව තියාගන්න උදව් වෙන්නේ මොනවාද කියලා. ඒකේ තියෙන පුංචි පුංචි මැහුම් නිසා තමයි ඇඳුම ඉරෙන්නේ නැතුව තියෙන්නේ. ඔයා සභාව වෙනුවෙන් කරන පුංචි දේත් සභාවේ එක්සත්කම, සාමය රැකගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් සභාවේ බෙදීම් ඇති කරන සිතුවිලිවලට අපේ හිතේ පුංචිම ඉඩක්වත් නොදී ඉන්න අපි අපේ උපරිමයෙන් වෑයම් කරමු. ඒ වෙනුවට සභාවේ සාමයත් එක්සත්කමත් රැකගන්න පුළුවන් හැම දේම කරන්න අපි අදිටන් කරගමු.—එෆී. 4:3.

ගීතිකාව 80 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

^ 5 ඡේ. මැටි බඳුනක පුංචි ඉරිතැළීම් ඇති වුණොත් ඒක ලේසියෙන්ම කැඩෙන්න පුළුවන්. ඒ වගේ සභාවේ කෙනෙක් තව කෙනෙක් එක්ක තරඟයක් ඇති කරගත්තොත් ඒ කියන්නේ තව කෙනෙක්ට වඩා කැපිලා පේන්න උත්සාහ කළොත් ඒකෙන් සභාවේ සාමයට හානියක් වෙන්න පුළුවන්. අපි තව කෙනෙක්ට වඩා කැපිලා පේන්න උත්සාහ කරන එක සුදුසු නැත්තේ ඇයි කියලත් සභාවේ සාමයට දායක වෙන්න අපිට පුළුවන් කොහොමද කියලත් මේ ලිපියෙන් බලමු.

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.