Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 29

ඔයා කරන සේවය ගැන සතුටු වෙන්න

ඔයා කරන සේවය ගැන සතුටු වෙන්න

“සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලා. 6:4.

ගීතිකාව 34 දෙවිට විශ්වාසවන්තව සිටීම

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන් අපිව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවියන් විවිධත්වයට කොච්චර ආසද කියලා බලන්න. වෙනස් වෙනස් ගස් කොළන් වෙනස් වෙනස් සතුන්ව අපිට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. මිනිස්සුත් ගතිගුණවලින්, පෙනුමෙන් එක් එක් කෙනාට වෙනස්. ඒ කියන්නේ මේ ලෝකේ ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි. ඒ නිසා දෙවියන් කවදාවත් අනිත් අයත් එක්ක ඔයාව සන්සන්දනය කරන්නේ නැහැ. ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා යෙහෝවා දෙවියන් හොඳින්ම දන්නවා. (1 සාමු. 16:7) ඒ කියන්නේ ඔයාට කරන්න පුළුවන් මොනවාද, ඔයාට කරන්න බැරි මොනවාද, ඔයා හැදුණේ වැඩුණේ මොන වගේ පරිසරයකද කියලා ඔහු දන්නවා. යෙහෝවා දෙවියන් කවදාවත් ඔයාගෙන් කරන්න බැරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිත් අපි දිහා යෙහෝවා දෙවියන් බලන විදිහට බලන්න පුරුදු වෙනවා නම් අපි ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්නත් අපේ කිසි වටිනාකමක් නැහැ කියලා හිතන්නේ නැතුව ඉන්නත් “හොඳ සිහි කල්පනාවෙන්” වැඩ කරන්නත් පුළුවන් වෙනවා.—රෝම 12:3.

2. අපි අපිව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන්න හොඳ නැත්තේ ඇයි?

2 දක්ෂ විදිහට සේවේ හවුල් වෙන සහෝදර සහෝදරියන් ගැන හිතලා බලන එකෙන් අපිට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. (හෙබ්‍රෙ. 13:7) එහෙම කරද්දී සේවේ තවත් දක්ෂ විදිහට කරන්න අපිට එයාලගෙන් ඉගෙනගන්න පුළුවන්. (ෆිලි. 3:17) හැබැයි තව කෙනෙක්ගේ හොඳ ආදර්ශය අනුකරණය කරන එකයි, ඒ කෙනාත් එක්ක අපිව සන්සන්දනය කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි අපිවම අනිත් අය එක්ක සන්සන්දනය කරන්න ගියොත් අපිට එයාලා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙයි. අපි අධෛර්යය වෙයි. එහෙම නැත්නම් අපේ කිසි වටිනාකමක් නැහැ කියලා අපිට හිතෙයි. අපි කලින් ලිපියේ බලපු විදිහට සභාවේ සහෝදර සහෝදරියන් එක්ක තරඟෙට දේවල් කරන්න ගියොත් දෙවියන් එක්ක තියෙන අපේ බැඳීමටත් ලොකු හානියක් වෙයි. ඒ නිසයි යෙහෝවා දෙවියන් හරිම ආදරෙන් අපිට මේ උපදෙස දීලා තියෙන්නේ. “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලා. 6:4.

3. ඔයා දියුණු වෙලා තියෙන්නේ මොන වගේ පැතිවලින්ද?

3 යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයේ ඔයා දියුණු වෙලා තියෙන එක ගැන ඔයා සතුටු වෙනවා දකින්නයි යෙහෝවා දෙවියන් කැමති. උදාහරණෙකට ඔයා බව්තීස්ම වුණ කෙනෙක්ද? එහෙනම් බව්තීස්මය දක්වා දියුණු වෙන්න ඔයාට පුළුවන් වුණ එක ගැන ඔයා කොච්චර සතුටු වෙන්න ඕනෙද? මොකද ඒ තීරණය ගත්තේ ඔයාමයි. ඔයා යෙහෝවා දෙවියන්ට කොච්චර ආදරේද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. බව්තීස්ම වුණ දවසේ ඉඳලා කොච්චර පැතිවලින් ඔයා දියුණු වෙලා තියෙනවාද කියලා ටිකකට හිතන්න. උදාහරණෙකට කලින්ට වඩා ඔයා හරිම ආසාවෙන් බයිබලය අධ්‍යයනය කරනවාද? කලින්ටත් වඩා ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කියන්න ඔයා දැන් පුරුදු වෙලාද? (ගීතා. 141:2) ඉස්සරට වඩා දක්ෂ විදිහට සේවේදී කතා කරන්නත් වීඩියෝ වගේ අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන දේවල් හොඳින් පාවිච්චි කරන්නත් ඔයාට දැන් පුළුවන්ද? යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් ඔයා දැන් කලින්ට වඩා හොඳ සැමියෙක්, බිරිඳක් එහෙම නැත්නම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙලා කියලා ඔයාට හිතෙනවාද? එහෙනම් ඔයාට සතුටු වෙන්න ඕන තරම් හේතු තියෙනවා.

4. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

4 තමන් සත්‍ය මාර්ගයේ ලබලා තියෙන දියුණුව ගැන හිතලා සතුටු වෙන්න අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන්. ඒ වගේම තමන්ව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන්නේ නැතුව ඉන්න එයාලට උදව් කරන්නත් අපිට පුළුවන්. දරුවන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද? විවාහක යුවළකට එකිනෙකාට උදව් කරගන්න පුළුවන් කොහොමද? සභාවේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න වැඩිමහල්ලන්ටත් අනිත් අයටත් පුළුවන් කොහොමද? අපේ හැකියාවන් සහ අපි මුහුණ දෙන තත්වයන්ට අනුව සාධාරණ ඉලක්ක තියාගන්න අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

දෙමව්පියන්ට සහ විවාහක යුවළයන්ට

දෙමාපියෙනි, දරුවන් කරන හොඳ දේවල් අගය කරන්න (5 සහ 6 ඡේද බලන්න) *

5. එෆීස 6:4 අනුව දෙමව්පියන් කරන්න හොඳ නැත්තේ මොකක්ද?

5 දෙමව්පියෙනි, කවදාවත් ඔයාලගේ දරුවන්ව අනිත් දරුවන් එක්ක සසඳන්න එපා. එයාලට කරන්න බැරි දේවල් එයාලගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද එහෙම කළොත් දරුවන් අධෛර්යය වෙයි. (එෆීස 6:4 කියවන්න.) සහෝදරි සචිකෝ * කියන දේ බලන්න. “මගේ ටීචර්ස්ලා කොයි වෙලෙත් මට කිව්වේ මං තමයි පන්තියේ පළවෙනියා වෙන්න ඕනෙ කියලා. ඒ මදිවට මගේ අම්මාත් කිව්වා මං ඉස්කෝලේ වැඩ හොඳටම කළොත් විතරයි මගේ ටීචර්ලටයි, සත්‍යයේ නැති මගේ තාත්තාටයි හොඳ සාක්ෂියක් දරන්න මට පුළුවන් වෙන්නේ කියලා. අම්මා බලාපොරොත්තු වුණා මං හැම විෂයකටම 100% ගනියි කියලා. ඒත් මං කොහොමද ඒක කරන්නේ? දැන් මං ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු ගාණක් ගෙවිලා තිබුණත් තාමත් මට හිතෙනවා මං මගේ උපරිමය කළත් යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න මට බැරි වෙයි කියලා.”

6. ගීතාවලිය 131:1, 2 දෙමව්පියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 ගීතාවලිය 131:1, 2 කියවන්න. දාවිත් කිව්වා ‘මට අත් කරගත නොහැකි දේවල් ලබාගන්න මං උත්සාහ කළේ නැහැ’ කියලා. එයා තමන්ගේ සීමාවන් තේරුම් අරන් නිහතමානීව වැඩ කරපු නිසා එයාගේ ‘සිත සන්සුන් කරගෙන නිහඬව ඉන්න’ එයාට පුළුවන් වුණා. දාවිත්ගෙන් දෙමව්පියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දාවිත් වගේ දෙමව්පියන්ටත් පුළුවන් තමන්ගේ සීමාවන් තේරුම් අරන් නිහතමානීව වැඩ කරන්න. එහෙම කරද්දී තමන්ගෙන් විතරක් නෙවෙයි දරුවන්ගෙන්වත් කරන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන්න දෙමව්පියන් පෙලඹෙන්නේ නැහැ. දෙමව්පියෙනි, ඔයාලට පුළුවන් දරුවන්ගේ සීමාවන් හොඳින් තේරුම් අරන් ඒවාට ගැළපෙන ඉලක්ක තියාගන්න දරුවන්ට උදව් කරන්න. ඔයාලා එහෙම කරද්දී දරුවන්ට දැනෙයි ඔයාලා ඇත්තටම එයාලට ආදරෙයි කියලා. සහෝදරි මරීනා කියන දේ බලන්න. “මගේ අම්මා කවදාවත් මාව මගේ අයියායි, මල්ලිලා දෙන්නායි එක්කවත් අනිත් ළමයින් එක්කවත් සන්සන්දනය කළේ නැහැ. අපි එක් එක් කෙනාට තියෙන හැකියාවන් වෙනස් කියලත් යෙහෝවා දෙවියන්ට අපි හැමෝවම එක වගේ වටිනවා කියලත් අම්මා මට ඉගැන්නුවා. ඇත්තටම අම්මා නිසා තමයි අදටත් මාව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන්නේ නැතුව ඉන්න මට පුළුවන් වෙලා තියෙන්නේ.”

7-8. බිරිඳට ගෞරවයෙන් සලකන්න සැමියාට පුළුවන් කොහොමද?

7 සැමියෙක් බිරිඳට ගෞරවයෙන් සලකන්න ඕනේ. (1 පේතෘ. 3:7) කෙනෙක්ට ගෞරවයෙන් සලකන එකට ඒ කෙනාට විශේෂ අවධානයක් දෙන එකත් ඇතුළත් වෙනවා. උදාහරණෙකට සැමියෙක් තමන්ගේ බිරිඳව තමන්ට ගොඩක් වටිනවා කියලා දැනෙන්න සලස්වනවා නම් එයා ඇත්තටම බිරිඳට ගරු කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ සැමියෙක් කවදාවත් බිරිඳට කරන්න බැරි දේවල් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම එයාව අනිත් ස්ත්‍රීන් එක්ක සසඳන්නෙත් නැහැ. ටිකකට හිතන්න සැමියෙක් එයාගේ බිරිඳව අනිත් අයත් එක්ක සසඳන්න ගියොත් මොනවා වෙයිද කියලා. සහෝදරි රෝසාට ඒ දේ වුණා. එයාගේ සැමියා සත්‍යයේ නැහැ. එයා නිතරම රෝසාව අනිත් අයත් එක්ක සන්සන්දනය කළා. හිත රිදෙන විදිහට තමයි කතා කළේ. ඒ නිසා තමන්ගේ කිසි වටිනාකමක් නැහැ කියලත් කිසිම කෙනෙක් තමන්ට ආදරේ නැහැ කියලත් රෝසාට හිතිලා තියෙනවා. එයා කියන දේ බලන්න. “වෙච්ච දේවල් නිසා මට හිතුණේ යෙහෝවා දෙවියනුත් මට ආදරේ නැහැ කියලයි.” අපේ සහෝදරයන් ඊට වඩා කොච්චර වෙනස්ද? එයාලා තමන්ගේ බිරිඳට සලකන්නේ හරිම ආදරෙන්, ගෞරවයෙන්. තමන් බිරිඳට සලකන විදිහ එයාලට යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීමට කෙළින්ම බලපානවා කියලා එයාලා තේරුම් අරන් ඉන්නවා. *

8 බිරිඳට ගෞරවයෙන් සලකන සැමියෙක් බිරිඳව අවංකවම අගය කරනවා. (හිතෝ. 31:28) එයාව තමන්ට ගොඩක් වටිනවා කියලත් එයාට ගොඩක් ආදරෙයි කියලත් බිරිඳට කියනවා. කලින් ලිපියේ සඳහන් කරපු කැත්රීනා ඒ දේ අද්දැක්කා. එයාගේ සැමියා එයාට සැලකුවේ හරිම ආදරෙන්, ගෞරවයෙන්. පොඩි කාලේ එයාගේ අම්මා එයාට සලකපු විදිහ නිසා කැත්රීනාට හිතුණා එයාගේ කිසිම වටිනාකමක් නැහැ කියලා. මොකද අම්මා හැම තිස්සේම වගේ කැත්රීනාව එයාගේ යාළුවන් එක්ක සසඳලා තියෙනවා. ඒ නිසා එයා සත්‍යයට ආවට පස්සෙත් ඒ සිතුවිල්ලෙන් ගොඩ එන්න එයාට ලේසි වුණේ නැහැ. හැබැයි එයා හිතපු විදිහ වෙනස් කරගන්න එයාගේ සැමියා උදව් කළා. එයා මෙහෙම කියනවා. “මගේ මහත්තයා මට ගොඩක් ආදරෙයි. මං කරන පුංචිම දෙයක් වුණත් අගය කරනවා. එයා මං ගැන යාච්ඤා කරනවා. ඒ වගේම යෙහෝවා දෙවියන් මට කොච්චර ආදරේද කියලා එයා මට මතක් කරලා දෙනවා. ඇත්තටම මං හිතන විදිහ වෙනස් කරගන්න එයා මට ගොඩක් උදව් කරනවා.”

වැඩිමහල්ලන්ට සහ අනිත් අයට

9-10. වැඩිමහල්ලන් එක සහෝදරියකට උදව් කළේ කොහොමද?

9 තමන්ව හැම තිස්සේම අනිත් අය එක්ක සසඳන අයට ඒකෙන් ගොඩ එන්න උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? සහෝදරි හනුනිගේ අද්දැකීම බලන්න. පොඩි කාලෙදි කිසිම කෙනෙක් එයාව අගය කරලා නැති තරම්. එයා මෙහෙම කියනවා. “මං පොඩි කාලේ හරිම ලැජ්ජයි. මට හිතුණේ අනිත් හැමෝම මට වඩා හොඳයි කියලා. මොකද මං කොයි වෙලෙත් මාව අනිත් අයත් එක්ක සන්සන්දනය කළා.” සත්‍යයට ආවට පස්සෙත් ඒක නතර කරගන්න එක එයාට ලේසි වුණේ නැහැ. අන්තිමේදී එයාට හිතුණා එයාගෙන් සභාවට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් එයා හරිම සතුටින් පුරෝගාමි සේවය කරනවා. එයා හිතපු විදිහ වෙනස් කරගන්න එයාට උදව් වුණේ මොකක්ද?

10 සභාවේ වැඩිමහල්ලන් හනුනිට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ ගැන එයා කියන දේ බලන්න. “වැඩිමහල්ලන් මගෙන් ඇහුවා අධෛර්යය වෙලා ඉන්න සහෝදරියන්ව දිරිගන්වන්න පුළුවන්ද කියලා. මං කීප වතාවක්ම ඒක කළා. ඇත්තටම ඒක මට උදව් වුණා මාවත් සභාවට වටිනවා කියලා තේරුම්ගන්න. අධෛර්යය වෙලා හිටපු සමහර යෞවනියන්ව දිරිගන්වපු එක ගැන වැඩිමහල්ලන් මාව ගොඩක් අගය කළා. එයාලා මාත් එක්ක 1 තෙසලෝනික 1:2, 3 කියෙව්වා. ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැනුණා. මාවත් සභාවට ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න මට උදව් කරපු ඒ ආදරණීය වැඩිමහල්ලන්ට මං ගොඩක් ස්තුති කරනවා.”

11. “යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට” උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (යෙසායා 57:15)

11 යෙසායා 57:15 කියවන්න. යෙහෝවා දෙවියන් “යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්” ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වගේ තත්වයක ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න අපි හැමෝටම පුළුවන්. ඒ දේ කරන්න අපිට පුළුවන් එක විදිහක් තමයි අපේ ආදරේ, සැලකිල්ල එයාලට දැනෙන්න සලස්වන එක. ඒ වගේ තත්වයක ඉන්න තමන්ගේ බැටළුවන්ටත් යෙහෝවා දෙවියන් කොච්චර ආදරේද කියලා තේරුම්ගන්න අපි උදව් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (හිතෝ. 19:17) අපි අපේ සීමාවන් තේරුම් අරන් නිහතමානීව වැඩ කරද්දිත් සහෝදරයන්ට උදව් කරන්න අපිට පුළුවන් වෙනවා. හැබැයි කිසිම වෙලාවක අනිත් අයගේ අවධානය අපිට ගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. මොකද අපි දන්නවා එහෙම කරන එකෙන් අනිත් අය අතරේ තරඟයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපිට තියෙන දැනුම, අපේ හැකියාවන් පාවිච්චි කරලා එකිනෙකාව දිරිගන්වන්න අපි උපරිමයෙන් වෑයම් කරමු.—1 පේතෘ. 4:10, 11.

යේසුස් කවදාවත් අනිත් අයව පහත් කරලා සැලකුවේ නැති නිසා ගෝලයන් කැමැත්තෙන්ම ඔහුව ආශ්‍රය කළා. යේසුත් එයාලා එක්ක කාලේ ගත කළේ හරිම සතුටින් (12 ඡේදය බලන්න)

12. මිනිස්සු යේසුස්ව ආශ්‍රය කරන්න කැමති වුණේ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

12 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට සලකපු විදිහෙන් අනිත් අයට සලකන්න ඕන විදිහ ගැන අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔහු තමයි මේ පොළොවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨතම මිනිසා වුණේ. හැබැයි ඔහු වැඩ කළේ හරිම ‘මෘදු, නිහතමානී කෙනෙක්’ විදිහට. (මතෙ. 11:28-30) යේසුස් කිසිම වෙලාවක තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු දේවල් ඉගැන්නුවේ හරිම සරල විදිහට. ඒ නිසා එච්චර උගත්කමක් නැති කෙනෙක්ට වුණත් ඒ දේවල් හොඳින්ම තේරුණා. (ලූක් 10:21) ඒ කාලේ හිටපු ආගමික නායකයන්ට වඩා යේසුස් වැඩ කළේ හාත්පසින්ම වෙනස් විදිහට. මොකද යේසුස් පැහැදිලිව මිනිසුන්ට දැනෙන්න සැලැස්සුවා දෙවියන් එයාලට කොච්චර ආදරේද කියලා. (යොහ. 6:37) ඒ විතරක් නෙවෙයි ඒ තරම් උගත්කමක් නැති අයට වුණත් යේසුස් සැලකුවේ හරිම ගෞරවයෙන්.

13. යේසුස් හරිම කාරුණික, ආදරණීය කෙනෙක් කියලා ඔහු ගෝලයන්ට සලකපු විදිහෙන් පැහැදිලි වුණේ කොහොමද?

13 යේසුස් ගෝලයන්ට සලකපු විදිහෙන් පැහැදිලිව පෙනුණා ඔහු හරිම කාරුණික, ආදරණීය කෙනෙක් කියලා. ඔහු කවදාවත් ගෝලයන්ට බැරි දේවල් එයාලගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මොකද යේසුස් හොඳින්ම දැනගෙන හිටියා ගෝලයන්ට තියෙන හැකියාවන්, එයාලා මුහුණ දෙන තත්වයන් එකිනෙකට වෙනස් කියලා. ඇත්තටම යේසුස් වැඩ කළේ ඔහු නිදර්ශනයකින් කියපු තලෙන්ත පිළිබඳ උපමාවේ හිටිය ස්වාමියා වගේමයි. ඒ ස්වාමියා එක් එක් දාසයාට වැඩ භාර දුන්නේ ඒ ‘එක් එක් කෙනාගේ හැකියාවන්ට’ අනුව. සල්ලි උපයාගෙන තිබුණු දාසයන් දෙන්නාගෙන් එක් කෙනෙක් අනිත් කෙනාට වඩා වැඩි ගාණක් උපයාගෙන තිබුණා. හැබැයි ස්වාමියා දාසයන් දෙන්නාවම අගය කළේ එකම විදිහට. එයා ඒ දෙන්නාටම කිව්වා “ඔබ ඉතා යහපත්, විශ්වාසවන්ත දාසයෙක්” කියලා. (මතෙ. 25:14-23) යේසුස් කළෙත් ඒකමයි. සේවෙන් ගෝලයන් ලබපු ප්‍රතිඵල එකිනෙකට වෙනස් වුණත් මුළු හදවතින්ම, උපරිමයෙන්ම සේවය කරපු එක ගැන යේසුස් ගෝලයන් හැමෝවම හුඟක් අගය කළා.

14. යේසුස් අනිත් අයට සලකපු විදිහ ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

14 යේසුස් අපි හැමෝටමත් සලකන්නේ හරිම කාරුණික, ආදරණීය විදිහට. අපි එක් එක් කෙනාට තියෙන හැකියාවන්, අපි මුහුණ දෙන තත්වයන් එකිනෙකට වෙනස් කියලා ඔහු හොඳින්ම දන්නවා. ඒ නිසා අපි හැමෝම අපේ උපරිමය කරද්දී යේසුස් ඒ ගැන හුඟක් සතුටු වෙනවා. අපිටත් ඕනෙ යේසුස් වගේ අනිත් අයට සලකන්න. ඉතින් අපේ සහෝදරයෙක්ට හරි සහෝදරියකට හරි අනිත් අය තරම් දේවල් කරන්න බැහැ කියලා අපිට දැනුණොත් අපි කවදාවත් එයාව පහත් කරන්නවත් එයාගේ වටිනාකමක් නැහැ කියලා දැනෙන්න සලස්වන්නවත් නරකයි. ඒ වෙනුවට අපේ සහෝදර සහෝදරියන් එයාලගේ උපරිමය යෙහෝවා දෙවියන්ට දෙන එක අගය කරන්න අපි වෑයම් කරමු.

සාධාරණ ඉලක්ක තියාගන්න

සාධාරණ ඉලක්ක තියාගෙන ඒවා ජය ගද්දී ලැබෙන සතුට අද්දකින්න (15 සහ 16 ඡේද බලන්න) *

15-16. සාධාරණ ඉලක්ක තියාගත්ත එකෙන් සහෝදරියක් අද්දැක්ක ප්‍රයෝජන මොනවාද?

15 යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී ඉලක්ක තියාගෙන වැඩ කරන එකෙන් අපිට ලොකු සතුටක් අද්දකින්න පුළුවන්. හැබැයි අපි ඉලක්ක තියාගන්න ඕනෙ අපිට තියෙන හැකියාවන් සහ අපි මුහුණ දෙන තත්වයන්වලට අනුව මිසක් අනිත් අය දිහා බලලා නෙවෙයි. මොකද එහෙම කළොත් අන්තිමේදී අපි අධෛර්යය වෙයි. (ලූක් 14:28) උදාහරණෙකට පුරෝගාමි සහෝදරියක් වන මිඩෝරිගේ අද්දැකීම බලන්න.

16 එයාගේ තාත්තා සාක්ෂිකරුවෙක් නෙවෙයි. මිඩෝරි පොඩි කාලේ තාත්තා හැම වෙලාවෙම එයාව එයාගේ නංගියි, මල්ලියි එක්කයි එයාගේ පන්තියේ ළමයි එක්කයි සන්සන්දනය කරලා තියෙනවා. ඒ නිසා මිඩෝරිට හිතුණා එයා කිසිම වැඩකට නැති කෙනෙක් කියලා. හැබැයි වැඩිහිටියෙක් වුණාට පස්සේ එයා හිතන විදිහ වෙනස් කරගන්න මිඩෝරිට පුළුවන් වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මං හැම දවසකම බයිබලය කියවනවා. මොකද මට ඒක උදව් වෙනවා දෙවියන් මට ආදරෙයි කියලා තේරුම්ගන්න.” ඒ විතරක් නෙවෙයි එයා සාධාරණ ඉලක්ක තියාගත්තා. ඒ ඉලක්ක ගැන එයා දෙවියන්ට කියලා ඒවා ජය ගන්න උදව් කරන්න කියලා එයා දෙවියන්ගෙන් ඉල්ලුවා. අන්තිමේදී එයාගේ ඉලක්ක ජය ගන්න එයාට පුළුවන් වුණා. ඒ ගැන එයා ගොඩක් සතුටු වෙනවා.

දිගටම ඔයාගේ උපරිමය යෙහෝවා දෙවියන්ට දෙන්න

17. අපි හිතන විදිහ වෙනස් කරගන්න අපිට පුළුවන් කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

17 අපේ හිත්වල තියෙන අධෛර්යය කරවන සිතුවිලි එක රැයකින් වෙනස් කරගන්න අපිට බැහැ. ඒ නිසා තමයි යෙහෝවා දෙවියන් අපි හැමෝටම උනන්දු කරන්නේ ‘අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වෙන්න’ කියලා. (එෆී. 4:23, 24) ඉතින් ඒ දේ කරන්න නම් අපි හැමදාම යාච්ඤා කරන එක, බයිබලය කියවන එක, කියවන දේවල් ගැන හොඳට හිතන එක හරිම වැදගත්. ඒ වගේම ඔයා හිතන විදිහ වෙනස් කරගන්න දිගටම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නත් අමතක කරන්න එපා. ඔයා එහෙම කරද්දී ඔයා හිතන විදිහ වෙනස් කරගන්නත් ඔයාගේ හිතේ උඩඟුකම සහ ඊර්ෂ්‍යාව වගේ නරක සිතුවිලි තියෙනවා නම් ඒවා අයින් කරගන්නත් ඔහු ඔයාට උදව් කරයි.

18. 2 ලේකම් 6:29, 30 අපිට සැනසීමක් වෙන්නේ කොහොමද?

18 2 ලේකම් 6:29, 30 කියවන්න. යෙහෝවා දෙවියන් අපේ සිතුවිලි හොඳින්ම තේරුම්ගන්නවා. ඒ වගේම ලෝකෙන් එන නරක බලපෑම්වලට, අපේම පව්කාර ආශාවන්වලට අහු නොවී ඉන්න අපිට ලොකු සටනක් කරන්න වෙනවා කියලත් ඔහු දන්නවා. ඉතින් අපේ හිතේ තියෙන නරක සිතුවිලි අයින් කරගන්න අපි දරන වෑයම දකිද්දී ඔහුගේ හිතේ අපි ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.

19. අපි ගැන යෙහෝවා දෙවියන්ගේ හිතේ තියෙන ආදරය ඔහු පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද?

19 අපි ගැන යෙහෝවා දෙවියන්ගේ හිතේ තියෙන ආදරය පැහැදිලි කරන්න ඔහු අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර තියෙන බැඳීම ගැන කිව්වා. (යෙසා. 49:15) මවක් වන රේචල්ගේ අද්දැකීම බලන්න. “අපේ දුව ස්ටෙෆනි ඉපදුණේ අඩු මාසෙන්. ඉපදෙද්දී හිතාගන්නවත් බැරි තරමටම එයා පොඩියි. ඉතින් මාසයක් යන කල්ම එයාව ඉස්පිරිතාලේ වීදුරු කූඩුවක දාලා තිබ්බා. හැබැයි හැම දවසකම දුවව මගේ අතට ගන්න ඩෝක්ටර්ස්ලා මට ඉඩ දුන්නා. පුංචි දුවව අතට ගත්ත හැම වතාවකම එයා ගැන මගේ හිතේ තිබුණු ආදරය තවත් වැඩි වුණා. එයාට දැන් අවුරුදු හයක් වෙනවා. තාමත් එයා එයාගේ වයසේ ඉන්න අනිත් ළමයින්ට වඩා පොඩියි. හැබැයි එයා ගැන මගේ හිතේ තියෙන ආදරේ නම් එන්න එන්නම වැඩි වෙනවා. මොකද ජීවත් වෙන්න එයා කොච්චර ලොකු සටනක් කළාද කියලා මං දන්නවා.” යෙහෝවා දෙවියන්ට අපි ගැන හැඟෙන්නෙත් ඒ අම්මාට හැඟුණ විදිහටම තමයි. පව්කාරකම උරුම කරගෙන හිටියත් අපි උපරිමයෙන් ඔහුට සේවය කරනවා දකිද්දී ඔහුගේ හිතේ අපි ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.

20. යෙහෝවා දෙවියන්ගේ සේවකයන් විදිහට අපිට සතුටු වෙන්න තියෙන හේතු මොනවාද?

20 යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් විදිහට ඔහුගේ පවුලේ වටිනා සාමාජිකයෙක් වෙන්න ඔයාට අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි දෙවියන් ඔයාව ඔහු වෙතට ඇදලා ගත්තේ ඔයා අනිත් අයට වඩා හොඳයි කියලා ඔහුට හිතුණ නිසා නෙවෙයි. ඒ වෙනුවට ඔයා හදවතින්ම ඔහුට කීකරු වෙන්න කැමති කෙනෙක් කියලා ඔහු දැක්ක නිසයි. (ගීතා. 25:9) ඔයා උපරිමයෙන් ඔහුට සේවය කරනවා දකිද්දී ඒ ගැන ඔහු ගොඩක් සතුටු වෙනවා කියලා අමතක කරන්න එපා. ඔයා දිගටම විඳදරාගෙන විශ්වාසවන්තව ඔහුට සේවය කරද්දී ඔයා ‘අවංක, යහපත් සිතක්’ තියෙන කෙනෙක් කියලා ඔප්පු වෙනවා. (ලූක් 8:15) ඒ නිසා දිගටම ඔයාගේ උපරිමය යෙහෝවා දෙවියන්ට දෙන්න. එතකොට ඔයා කරන සේවය ගැන සතුටු වෙන්න ඔයාට පුළුවන්.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් කවදාවත් අපිව තවත් කෙනෙක් එක්ක සන්සන්දනය කරන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට අපි එහෙම කරන නිසා අපි වටින්නේ නැහැ කියලා අපිටම හිතෙන්න පුළුවන්. අනිත් අයත් එක්ක අපිව සන්සන්දනය කරන එකෙන් කොයි තරම් හානියක් වෙන්න පුළුවන්ද කියලා මේ ලිපියෙන් බලමු. ඒ වගේම යෙහෝවා දෙවියන් තමන්ව දකින විදිහ තේරුම් අරන් ඒ විදිහටම හිතන්න පවුලේ අයටත් සභාවේ අයටත් උදව් කරන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 7 ඡේ. මේ ලිපියෙන් මූලිකවම කතා කරන්නේ සැමියාට වුණත් අපි සලකලා බලන බයිබල් ප්‍රතිපත්ති බිරිඳටත් අදාළ වෙනවා.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: පවුලේ නමස්කාරයේදී නෝවාගේ නැව හදන්න පවුලේ එක් එක් දරුවා කරන දේවල් දෙමව්පියන් අගය කරනවා.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: තමන්ගේ පුංචි පුතාව තනියෙන් හදා වඩා ගන්න අම්මා කෙනෙක් සහායක පුරෝගාමි සේවය කරන්න සැලසුම් කරලා ඒ ඉලක්කය ජය ගත්තාම ඒ ගැන සතුටු වෙනවා.