Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 30

හැමදාටම යෙහෝවා දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න

හැමදාටම යෙහෝවා දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න

“ඔබ ඔහුව දේවදූතයන්ට වඩා මදක් පහත් කළෙහිය. ඉන්පසු ඔබ ගෞරවය සහ තේජස නමැති ඔටුන්න ඔහුට පැළඳෙව්වෙහිය.”—ගීතා. 8:5.

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

මේ ලිපියෙන් *

1. දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල් දිහා බලද්දී අපිට හිතෙන්න පුළුවන් මොකක්ද?

යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල් දිහා බලද්දී අපිටත් දාවිත්ට වගේ හැඟෙන්න පුළුවන්. එයා මෙහෙම කිව්වා. “ඔබේ දෑත්වලින් නිම කළ අහස්තලය දෙසද ඔබ සෑදූ සඳ හා තාරකා දෙසද මා බලන විට ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද? ඔබේ රැකවරණය ලැබීමට තරම් මිනිසුන් වටින්නේද?” (ගීතා. 8:3, 4) මේ විශ්වයේ තියෙන පුදුමාකාර දේවල් දිහා බලද්දී දෙවියන්ගේ සැලකිල්ල ලබන්න තරම් ඇත්තටම අපි වටිනවාද කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි යෙහෝවා දෙවියන් මුල් මිනිස් යුවළ ගැන සැලකිලිමත් වුණා විතරක් නෙවෙයි එයාලව ඔහුගේ පවුලටත් එකතු කරගත්තා. ඒ කොහොමද කියලා අපි බලමු.

2. යෙහෝවා දෙවියන් ආදම් සහ ඒවගෙන් බලාපොරොත්තු වුණේ මොනවාද?

2 ආදම් සහ ඒව කියන්නේ යෙහෝවා දෙවියන් මේ පොළොවේ ජීවත් වෙන්න නිර්මාණය කරපු පළවෙනිම දරුවන් දෙන්නා. දෙවියන් එයාලට හරිම ආදරෙන් සැලකුවා. ඔහු එයාලට කිව්වා “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න” කියලා. (උත්. 1:28) එයාලා දරුවන් ඇතිදැඩි කරලා මේ පොළොව ආදරෙන් රැකබලා ගනියි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා. ආදම් සහ ඒව දෙවියන්ට කීකරු වුණා නම් එයාලටයි එයාලගේ දරුවන්ටයි දෙවියන්ගේ පවුලේ අය විදිහට හැමදාටම ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා.

3. ආදම් සහ ඒවට යෙහෝවා දෙවියන්ගේ පවුලේ වටිනා තැනක් තිබුණා කියලා කියන්න පුළුවන් ඇයි?

3 යෙහෝවා දෙවියන්ගේ පවුලේ ආදම් සහ ඒවට වටිනා තැනක් තිබුණා කියලා ගීතාවලිය 8:5 දාවිත් කියපු මේ දෙයින් පැහැදිලි වෙනවා. “ඔබ ඔහුව දේවදූතයන්ට වඩා මදක් පහත් කළෙහිය. ඉන්පසු ඔබ ගෞරවය සහ තේජස නමැති ඔටුන්න ඔහුට පැළඳෙව්වෙහිය.” ඇත්ත දේවදූතයන්ට තරම් බලය, ප්‍රඥාව, හැකියාවන් දෙවියන් මිනිසුන්ට දීලා නැහැ. (ගීතා. 103:20) හැබැයි එතන කියන්නේ මිනිසුන්ව නිර්මාණය කළේ “දේවදූතයන්ට වඩා මදක් පහත්” කරලා කියලා. දෙවියන් ආදම් සහ ඒවට ඔහුගේ පවුලේ කොච්චර වටිනා තැනක් දුන්නාද කියලා පැහැදිලියි නේද!

4. ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණ නිසා මොකක්ද වුණේ? මේ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?

 4 ආදම් සහ ඒව යෙහෝවා දෙවියන්ට අකීකරු වුණ නිසා ඔහුගේ පවුලෙන් අයින් වෙන්න එයාලට සිද්ධ වුණා. ඒ නිසා එයාලා විතරක් නෙවෙයි එයාලගේ දරුවනුත් හුඟක් නරක ප්‍රතිඵලවලට මුහුණ දුන්නා. හැබැයි යෙහෝවා දෙවියන්ගේ අරමුණ වෙනස් වුණේ නැහැ. කීකරු මිනිස්සු ඔහුගේ දරුවන් විදිහට හැමදාටම ජීවත් වෙනවා දකින්නයි ඔහු කැමති. යෙහෝවා දෙවියන් අපිට ගෞරව කරනවා කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද? දිගටම දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න අපි ආසයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? දෙවියන්ගේ දරුවන් විදිහට අනාගතේ අපිට ලැබෙන්න යන ආශීර්වාද මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

යෙහෝවා දෙවියන් අපිට ගෞරවය පෙන්නලා තියෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් අපිට ගෞරවය පෙන්නලා තියෙන්නේ මොන විදිවලින්ද? (5-11 ඡේද බලන්න) *

5. යෙහෝවා දෙවියන් අපිව ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරපු එක අගය කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

5 දෙවියන්ගේ ගතිලක්ෂණ ඇතුව අපිව නිර්මාණය කරලා තියෙන එකෙන්. (උත්. 1:26, 27) ආදරය, කරුණාව, විශ්වාසවන්තකම, ධර්මිෂ්ඨකම වගේ ලස්සන ගුණාංග ඇති කරගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ දෙවියන් අපිව ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරලා තියෙන නිසයි. (ගීතා. 86:15; 145:17) ඒ වගේ ලස්සන ගුණාංග වර්ධනය කරගන්න අපි වෑයම් කරද්දී අපි පෙන්නන්නේ දෙවියන් අපිව නිර්මාණය කරපු විදිහ අපි අගය කරනවා කියලයි. (1 පේතෘ. 1:14-16) ඒ විතරක් නෙවෙයි දෙවියන් කැමති ගුණාංග අපි පෙන්නද්දී අපිට සතුටින් ජීවත් වෙන්නත් පුළුවන් වෙනවා. යෙහෝවා දෙවියන් ඔහුගේ පවුලට එකතු කරගන්නේ ඔහු වගේ ගුණාංග පෙන්නන අයව විතරයි. ඒ ගුණාංග ඇතුව ඔහු අපිව නිර්මාණය කරලා තියෙන නිසා ඔහුගේ පවුලේ සාමාජිකයෙක් වෙන්න අපිටත් අවස්ථාව තියෙනවා.

6. යෙහෝවා දෙවියන් අපිට ගෞරවය පෙන්නලා තියෙන තවත් විදිහක් මොකක්ද?

6 අපිට ලස්සන නිවහනක් දීලා තියෙන එකෙන්. යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරන්න ගොඩ කාලෙකට කලින් එයාලට ජීවත් වෙන්න සුදුසු විදිහේ නිවහනක් නිර්මාණය කළා. (යෝබ් 38:4-6; යෙරෙ. 10:12) ඒ විතරක් නෙවෙයි ඔහු ත්‍යාගශීලී කෙනෙක් නිසා සතුටින් ජීවත් වෙන්න මොන තරම් දේවල් අපිට දීලා තියෙනවාද! (ගීතා. 104:14, 15, 24) මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කරපු දේවල් දිහා බලද්දී දෙවියන් ඒ සියල්ල “හොඳ බව දුටුවේය” කියලා බයිබලේ කියනවා. (උත්. 1:10, 12, 31) ඊටපස්සේ තමන් නිර්මාණය කරපු ලස්සන නිවහන ‘මිනිසුන්ගේ යටතේ’ තිබ්බ එකෙන් දෙවියන් එයාලව ගෞරවයට පත් කළා. (ගීතා. 8:6) පරිපූර්ණ මිනිසුන් ඔහු නිර්මාණය කරපු ලස්සන පොළොව ආදරෙන් රැකබලා ගෙන හැමදාටම සතුටින් ජීවත් වෙනවා දකින්නයි දෙවියන්ට ඕනේ. ඒ ගැන ඔයා හැමදාම දෙවියන්ට ස්තුති කරනවාද?

7. තීරණ ගන්න නිදහස මිනිසුන්ට තියෙනවා කියලා යොෂුවා 24:15න් පැහැදිලි වෙන්නේ කොහොමද?

7 තීරණ ගන්න නිදහස අපිට දීලා තියෙන එකෙන්. ඒ නිසා අපේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න අපිට පුළුවන්. (යොෂුවා 24:15 කියවන්න.) යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපි කැමැත්තෙන්ම තීරණය කරද්දී ඔහු ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. (ගීතා. 84:11; හිතෝ. 27:11) තීරණ ගන්න අපිට තියෙන නිදහස පාවිච්චි කරලා ඒ වැදගත් තීරණය වගේම ජීවිතේ තවත් හුඟක් පැතිවලින් හරි තීරණ ගන්න අපිට පුළුවන්. ඒ ගැන යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි බලමු.

8. යේසුස් එක අවස්ථාවකදී තීරණ ගන්න තිබුණ නිදහස පාවිච්චි කළේ කොහොමද?

8 තමන් ගැන හිතනවාට වඩා අනිත් අය ගැන හිතන එක සම්බන්ධයෙන් යේසුස් හොඳ ආදර්ශයක්. දවසක් යේසුස් සහ ඔහුගේ ගෝලයන් හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවක පොඩි විවේකයක් ගන්න නිස්කලංක තැනකට ගියා. හැබැයි එයාලට විවේකගන්න ලැබුණේ නැහැ. මොකද සෙනඟ එයාලව හොයාගෙන එතනට ආවා. එතකොට යේසුස් මොකද කළේ? යේසුස් පොඩ්ඩක්වත් තරහා ගත්තේ නැහැ. මිනිස්සු ගැන දැනුණ අනුකම්පාව නිසා “ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය” කියලා බයිබලේ කියනවා. (මාක් 6:30-34) අපිත් යේසුස් වගේ අපේ කාලය, ශක්තිය අනිත් අය වෙනුවෙන් දෙද්දී ඒකෙන් යෙහෝවා දෙවියන්ට ලොකු ප්‍රශංසාවක් ලැබෙනවා. (මතෙ. 5:14-16) ඒ වගේම එහෙම කරන එකෙන් දිගටම දෙවියන්ගේ දරුවන් වෙලා ඉන්න අපි ආසයි කියලා පෙන්නන්නත් අපිට පුළුවන්.

9. දෙමව්පියන් මතක තියාගන්න ඕනෙ මොනවාද?

9 දරුවන්ව ඇතිදැඩි කරන්න අවස්ථාව දීලා තියෙන එකෙන් සහ දෙවියන්ට ළං වෙන්න, ඔහුට කීකරු වෙන්න දරුවන්ට උදව් කරන වගකීම දීලා තියෙන එකෙන්. ඔයා අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් ඔයාට ලැබිලා තියෙන ඒ වටිනා තෑග්ග ඔයා අගය කරනවාද? යෙහෝවා දෙවියන් දේවදූතයන්ට හුඟක් විශේෂ හැකියාවන් දීලා තියෙනවා. හැබැයි දරුවන් බිහි කරන හැකියාව එයාලට දීලා නැහැ. ඉතින් දෙමව්පියෙනි ඔයාලට ලැබිලා තියෙන ඒ වටිනා අවස්ථාව හුඟක් අගය කරන්න. දෙමව්පියන් දරුවන්ව “යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද” ඇතිදැඩි කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. (එෆී. 6:4; ද්වි. 6:5-7; ගීතා. 127:3) ඒ දේ කරන්න දෙමව්පියන්ට උදව්වක් විදිහට සංවිධානයෙන් බයිබලය මත පදනම් ප්‍රකාශන, වීඩියෝ, සින්දු සහ වෙබ් ලිපි වගේ හුඟක් දේවල් දීලා තියෙනවා. යෙහෝවා දෙවියන්ටයි යේසුස්ටයි අපේ පුංචි දරුවන්ව කොච්චර වටිනවාද කියලා ඒකෙන් පැහැදිලියි නේද! (ලූක් 18:15-17) දෙමව්පියන් යෙහෝවා දෙවියන්ගේ උදව් අරන් දරුවන්ව රැකබලා ගන්න එයාලගේ උපරිමය කරද්දී යෙහෝවා දෙවියන් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. එහෙම කරන එකෙන් දෙමව්පියන් ඇත්තටම කරන්නේ දෙවියන්ගේ පවුලේ කෙනෙක් විදිහට හැමදාටම ඉන්න දරුවන්ට උදව් කරන එකයි.

10-11. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට ලැබෙන්නේ මොනවාද?

10 යෙහෝවා දෙවියන් තමන්ගේ ආදරණීය පුතාගේ ජීවිතය අපි වෙනුවෙන් දීලා ආයෙමත් ඔහුගේ පවුලට එකතු වෙන්න අවස්ථාව දීපු එකෙන්. අපි  4වෙනි ඡේදයෙන් බැලුවා වගේ ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණ නිසා එයාලට වගේම එයාලගෙන් පැවතෙන අයටත් දෙවියන්ගේ පවුලෙන් අයින් වෙන්න සිද්ධ වුණා. (රෝම 5:12) ආදම් සහ ඒවට ලැබුණ දඬුවම සාධාරණයි. මොකද එයාලා දෙවියන්ට අකීකරු වුණේ හිතාමතාමයි. හැබැයි එයාලගේ දරුවන් හිතාමතා දෙවියන්ට අකීකරු වුණේ නැහැ. ඒ නිසා දෙවියන්ට කීකරු වෙලා ඉන්න අයට ආපහු ඔහුගේ පවුලට එකතු වෙන්න අවස්ථාව දෙන්න දෙවියන් ඔහුගේ ආදරණීය පුතාගේ ජීවිතය එයාලා වෙනුවෙන් දුන්නා. (යොහ. 3:16; රෝම 5:19) ඒ වගේම යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න 1,44,000දෙනෙක්ට දෙවියන්ගේ පුත්‍රයන් විදිහට ස්වර්ගයට යන්න පුළුවන් වෙනවා.—රෝම 8:15-17; එළි. 14:1.

11 ස්වර්ගයට යන අයට අමතරව දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න තවත් මිලියන ගාණක් අය මේ පොළොවේ ඉන්නවා. එයාලා බලාපොරොත්තු වෙන්නේ දහස් අවුරුදු පාලනයෙන් පස්සේ තියෙන අවසාන පරීක්ෂණයට හොඳින් මුහුණ දීලා දෙවියන්ගේ පවුලට එකතු වෙන්නයි. (ගීතා. 25:14; රෝම 8:20, 21) ඒ නිසා දැන් ඉඳලාම යෙහෝවා දෙවියන්ට “පියාණෙනි” කියලා කතා කරන්න එයාලට පුළුවන්. (මතෙ. 6:9) ඒ වගේම නැවත නැඟිටින අයටත් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරින් දෙවියන්ට කැමැත්තෙන්ම කීකරු වෙන අයව දෙවියන් තමන්ගේ පවුලට එකතු කරගන්නවා.

12. අපි දැන් බලන්න යන්නේ මොනවා ගැනද?

12 අපි කලින් ඡේදවලින් බැලුවා වගේ යෙහෝවා දෙවියන් හුඟක් විදිවලින් ඔහු අපිට ගෞරව කරනවා කියලා පෙන්නලා තියෙනවා. අභිෂේක ලත් අයව ඔහු දැනටමත් ඔහුගේ පුත්‍රයන් විදිහට පිළි අරගෙන තියෙනවා. “මහත් සමූහයේ” අයව ඔහු දරුවන් හැටියට පිළිගන්නේ පරාදීසයෙදියි. (එළි. 7:9) හැමදාටම යෙහෝවා දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න අපි ආසයි කියලා පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන දැන් අපි බලමු.

දිගටම දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න ආසයි කියලා පෙන්නන්න

13. දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙන්න අපිට කරන්න පුළුවන් මොනවාද? (මාක් 12:30)

13 මුළු හදවතින්ම දෙවියන්ට සේවය කරන එකෙන් ඔහු ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න. (මාක් 12:30 කියවන්න.) යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනාම තෑගිවලින් එකක් තමයි ඔහුට නමස්කාර කරන්න ලැබිලා තියෙන අවස්ථාව. අපි යෙහෝවා දෙවියන්ට ආදරෙයි නම් ‘ඔහුගේ ආඥාවලට කීකරු වෙනවා.’ (1 යොහ. 5:3) ඔහුගේ පුත්‍රයා මාර්ගයෙන් දුන්නු ආඥාවලට කීකරු වෙයි කියලත් ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. යේසුස්ගේ ගෝලයන් වෙන්නත් බව්තීස්මය දක්වා දියුණු වෙන්නත් මිනිසුන්ට උදව් කරන්න කියලා යේසුස් ආඥා කළා. (මතෙ. 28:19) ඒ වගේම අනිත් අයට ආදරේ කරන්න කියලත් ඔහු අපිට කිව්වා. (යොහ. 13:35) ඒ ආඥා පිළිපදින අයට දෙවියන්ගේ පවුලේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් වෙනවා.—ගීතා. 15:1, 2.

14. අනිත් අයට ආදරේ පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? (මතෙව් 9:36-38; රෝම 12:10)

14 අනිත් අයට ආදරය පෙන්නන්න. ප්‍රේමය තමයි යෙහෝවා දෙවියන්ගේ ප්‍රධානම ගුණාංගය. (1 යොහ. 4:8) ඔහු අපිට ආදරය කළේ අපි ඔහුව දැනගන්නත් කලින්. (1 යොහ. 4:9, 10) ඉතින් අපි අනිත් අයට ආදරය පෙන්නද්දී අපි කරන්නේ යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න එක. (එෆී. 5:1) අනිත් අයට ආදරය පෙන්නන්න පුළුවන් හොඳම විදිහ තමයි ඉතුරු වෙලා තියෙන මේ ටික කාලේ යෙහෝවා දෙවියන් ගැන දැනගන්න පුළුවන් තරම් දෙනෙක්ට උදව් කරන එක. (මතෙව් 9:36-38 කියවන්න.) එහෙම කරන එකෙන් යෙහෝවා දෙවියන්ගේ පවුලට එකතු වෙන්න අපි එයාලට උදව් කරනවා. කෙනෙක් බව්තීස්ම වුණාට පස්සෙත් අපි දිගටම එයාට ආදරය, ගෞරවය පෙන්නන්න ඕනේ. (1 යොහ. 4:20, 21) ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි අනිත් අයව අනවශ්‍ය විදිහට සැක නොකරන එක. උදාහරණෙකට කෙනෙක් යම් දෙයක් කළේ ඇයි කියලා අපිට නොතේරෙන වෙලාවක එයා ඒක කළේ වැරදි චේතනාවෙන් කියලා හිතන්න අපි ඉක්මන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපේ සහෝදරයා අපිට වඩා උතුම් කියලා හිතලා එයාට දිගටම ගෞරවය පෙන්නනවා.—රෝම 12:10 කියවන්න; ෆිලි. 2:3.

15. අපි කරුණාව සහ දයාව පෙන්නන්න ඕනෙ කාටද?

15 හැමෝටම කරුණාව සහ දයාව පෙන්නන්න. යෙහෝවා දෙවියන්ගේ පවුලට එකතු වෙන්න අපිට ඕනෙ නම් බයිබල් ප්‍රතිපත්ති අපේ ජීවිතයට අදාළ කරගන්න එක හරිම වැදගත්. උදාහරණෙකට යේසුස් කිව්වා හැමෝටම ඒ කියන්නේ සතුරන්ට වුණත් කරුණාව, දයාව පෙන්නන්න කියලා. (ලූක් 6:32-36) හැබැයි එහෙම කරන එක හැම වෙලාවෙම ලේසි නැහැ. ඒ වගේ වෙලාවට අපි යේසුස් වගේ හිතන්න, වැඩ කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා යේසුස්ව ආදර්ශයට ගන්න අපේ උපරිමය කරද්දී හැමදාටම දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න අපි ආසයි කියලා අපි පෙන්නනවා.

16. යෙහෝවා දෙවියන්ගේ පවුලට අගෞරවයක් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද?

16 යෙහෝවා දෙවියන්ගේ පවුලට අගෞරවයක් වෙන කිසිම දෙයක් නොකර ඉන්න. සාමාන්‍යයෙන් මල්ලි කෙනෙක් ආසයි එයාගේ අයියා කරන දේ බලලා ඒකම කරන්න. ඉතින් අයියා බයිබල් ප්‍රතිපත්ති ජීවිතේට අදාළ කරගන්නවා නම් එයා මල්ලිට හොඳ ආදර්ශයක්. හැබැයි එයා වැරදි දේවල් කරනවා නම් සමහරවිට මල්ලිත් ඒ දේම කරන්න පෙලඹෙන්න පුළුවන්. යෙහෝවා දෙවියන්ගේ පවුලෙත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඔව්. කලින් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටපු කෙනෙක් සත්‍යයට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තොත් අනාචාරයේ යෙදෙන්න පටන්ගත්තොත් එහෙම නැත්නම් වෙනත් වැරදි දෙයක් කළොත් ඒ දේම කරන්න අනිත් අයත් පෙලඹෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක යෙහෝවා දෙවියන්ගේ පවුලට ලොකු අගෞරවයක්. (1 තෙස. 4:3-8) ඒ නිසා සත්‍ය මාර්ගයෙන් අයින් වෙලා යන අය වගේ නොවී ඉන්නත් අපේ ආදරණීය තාත්තා එක්ක තියෙන බැඳීමට හානි වන කිසිම දෙයක් නොකර ඉන්නත් අපි අධිෂ්ඨාන කරගමු.

17. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන විදිහට හිතන එකෙන්ද? ඒ ඇයි?

17 ධන සම්පත් ගැන විශ්වාසය තියනවා වෙනුවට යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න. අපි දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දීලා ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවා නම් අපිට අත්‍යවශ්‍ය කෑම බීම, ඉඳුම් හිටුම් වගේ දේවල් ලබා දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (ගීතා. 55:22; මතෙ. 6:33) අපි ඒ දේ විශ්වාස කරනවා නම් මේ ලෝකේ තියෙන ධන සම්පත්වලින් ආරක්ෂාව, නියම සතුට ලැබෙනවා කියලා අපි හිතන්නේ නැහැ. මොකද අපි දන්නවා ඇත්තටම ඒ දේවල් ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන එකෙන් විතරයි කියලා. (ෆිලි. 4:6, 7) සමහරවිට අපි ආස කරන ඕනම දෙයක් ගන්න අපිට සල්ලි තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් ගත්තොත් ඒවා පාවිච්චි කරන්න, නඩත්තු කරන්න මට කාලය තියෙයිද? කාලයක් යද්දී ඒ දේවල් මට නැතුවම බැරි වෙයිද? ඒ ප්‍රශ්න අපෙන්ම අහගන්න එක හරිම වැදගත්. මොකද අපි හැමෝටම යෙහෝවා දෙවියන් වැඩ කොටසක් භාර දීලා තියෙනවා. ඒකට බාධාවක් වෙන්න කිසිම දෙයකට ඉඩ දෙන්න එපා. අපි කවදාවත් ධන සම්පත්වලට තිබුණ ආශාව නිසා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න තිබුණ අවස්ථාව අත්හැරපු තරුණයා වගේ වෙන්න හොඳ නැහැ. එයා වැඩ කරපු විදිහ නිසා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තිබුණ අවස්ථා විතරක් නෙවෙයි, ඔහුගේ පුත්‍රයෙක් විදිහට ස්වර්ගයට යන්න තිබුණ වටිනා අවස්ථාවත් එයා නැති කරගත්තා.—මාක් 10:17-22.

දෙවියන්ගේ දරුවන්ට ලැබෙන්න යන ආශීර්වාද

18. අපිට තියෙන්නේ මොන වටිනා අවස්ථාවද? අනාගතයේදී අපිට ලැබෙන්න යන ආශීර්වාද මොනවාද?

18 අපි දෙවියන්ට දිගටම කීකරු වුණොත් හැමදාටම ඔහුට සේවය කරන වටිනා අවස්ථාව අපිට තියෙනවා. පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුව තියෙන අයට මේ ලස්සන පොළොව රැකබලා ගෙන හැමදාටම සතුටින් ඉන්න පුළුවන්. ළඟදීම යේසුස් දේවරාජ්‍යය මාර්ගයෙන් හැම ප්‍රශ්නයක්ම විසඳලා ආදම් සහ ඒව නැති කරගත්ත ජීවිතය ආයෙත් ලබා දෙනවා. යෙහෝවා දෙවියන් මැරුණු මිලියන ගාණකට ආපහු ජීවිතේ දීලා ලස්සන පාරාදීසයක කිසිම ලෙඩක් දුකක් නැතුව හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. (ලූක් 23:42, 43) පොළොවේ ඉන්න දෙවියන්ගේ දරුවන් ටිකෙන් ටික පරිපූර්ණ වෙද්දී දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරද්දී දීපු “ගෞරවය සහ තේජස” ආයෙත් එයාලට ලැබෙනවා.—ගීතා. 8:5.

19. අපි කවදාවත් අමතක කරන්න හොඳ නැත්තේ මොකක්ද?

19 ඔයා “මහත් සමූහයට” අයිති කෙනෙක්ද? එහෙනම් ඔයාට හුඟක් ලස්සන බලාපොරොත්තුවක් තියෙනවා. දෙවියන් ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා ඔහුගේ පවුලේ කෙනෙක් වෙනවා දකින්න ඔහු ආසයි. ඒ නිසා යෙහෝවා දෙවියන්ගේ පොරොන්දු ගැන විශ්වාසය තියලා හැම දවසකම ඔහුව සතුටු කරන්න අපේ උපරිමය කරමු. අපේ ආදරණීය තාත්තාට හැමදාටම නමස්කාර කරන්න තියෙන අවස්ථාව තරම් වටිනා දෙයක් තවත් තියෙනවාද!

ගීතිකාව 107 ප්‍රේමයේ උතුම්ම ආදර්ශය

^ 5 ඡේ. පවුලේ හැමෝම තමන්ට පැවරිලා තියෙන වගකීම හොඳට තේරුම් අරන් ඒක කරද්දී පවුලක් විදිහට හොඳින් දේවල් කරන්න පුළුවන් වෙනවා. තාත්තා ආදරෙන් මූලිකත්වය ගද්දී, අම්මා ඒකට සහයෝගය දෙද්දී, දරුවන් දෙමව්පියන්ට කීකරු වෙද්දී පවුලක් විදිහට සතුටින් ඉන්න එයාලට පුළුවන් වෙනවා. යෙහෝවා දෙවියන්ගේ පවුලත් ඒ වගේ. යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒවාවලට එකඟව අපි ජීවත් වුණොත් ඔහුගේ පවුලේ සාමාජිකයෙක් විදිහට හැමදාම සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන්.

^ 55 ඡේ. පින්තූරේ අදහස: යෙහෝවා දෙවියන් ඔහුගේ ගතිලක්ෂණ ඇතුව මිනිසුන්ව නිර්මාණය කරපු නිසා යුවළකට එකිනෙකාටත් දරුවන්ටත් ආදරය පෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා. එයාලා දෙවියන්ට ගොඩක් ආදරෙයි. දරුවන්ව බිහි කරන්න දෙවියන් දීලා තියෙන හැකියාව එයාලා අගය කරනවා. ඒ නිසා එයාලා දරුවන්ගේ හිතේ දෙවියන් ගැන ආදරයක් ඇති කරන්න උත්සාහ කරනවා. වීඩියෝ එකක් පෙන්නලා දෙවියන් යේසුස්ගේ ජීවිත පූජාව දුන්නේ ඇයි කියන එක ඒ යුවළ දරුවන්ට කියලා දෙනවා. ඒ වගේම පරාදීසයේදී පොළොවත් සතුන්වත් හැමදාටම ආදරෙන් රැකබලා ගන්න අපිට පුළුවන් වෙනවා කියලත් එයාලට කියලා දෙනවා.