Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 32

නිර්මාතෘ ගැන ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න

නිර්මාතෘ ගැන ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න

‘විශ්වාසය යනු තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.’—හෙබ්‍රෙ. 11:1.

ගීතිකාව 11 දෙවිගේ නිර්මාණ දෙවිව ප්‍රශංසා කරයි

මේ ලිපියෙන් *

1. දෙවියන් ගැන ඔයා ඉගෙනගෙන තියෙන්නේ මොනවාද?

ඔයා පුංචි කාලේ ඉඳලා සත්‍යයේ නම් ඔයාගේ දෙමව්පියන් යෙහෝවා දෙවියන් ගැන හුඟක් දේවල් ඔයාට කියලා දෙන්න ඇති. ඔහු හැම දෙයක්ම නිර්මාණය කළා කියලත් ඔහුට ලස්සන ගුණාංග තියෙනවා කියලත් දෙවියන්ට ඕනෙ මුළු පොළොවම ලස්සන පාරාදීසයක් කරන්න කියලත් ඔයා ඉගෙනගෙන ඇති.—උත්. 1:1; ක්‍රියා 17:24-27.

2. නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන අය ගැන සමහරු කියන්නේ මොනවාද?

2 අද ඉන්න හුඟදෙනෙක් දෙවි කෙනෙක් ඉන්නවා කියලවත් ඔහු හැම දෙයක්ම නිර්මාණය කළා කියලවත් විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා හිතන්නේ සරල ජීවීන්ගෙන් ජීවය ආරම්භ වෙලා සංකීර්ණ ජීවීන් දක්වා පරිණාමය වුණා කියලයි. එහෙම කියන හුඟදෙනෙක් සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙන උගත් අය. විද්‍යාවෙන් බයිබලේ තියෙන දේවල් බොරුයි කියලා ඔප්පු කරලා තියෙනවා කියලත් නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්නේ නූගත්, මෝඩ අය කියලත් එයාලා කියනවා.

3. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න එක වැදගත් ඇයි?

3 නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා තව කෙනෙක් කියපු නිසා විශ්වාස කරන්න එපා. ඒ වෙනුවට තොරතුරු හොයලා බලලා ඒ දේ ඔයාටම තහවුරු කරගන්න. එතකොට සමාජයේ වැදගත් කියලා සලකන අය කියන දේවල් නිසා නිර්මාතෘ කෙනෙක් ගැන ඔයාට තියෙන විශ්වාසය දුර්වල වෙන්නේ නැහැ. (1 කොරි. 3:12-15) සත්‍යයේ අපි ගොඩ කාලයක් හිටියත් අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න එක හරිම වැදගත්. අපි එහෙම කරනවා නම් බයිබලේ තියෙන දේවල් බොරුයි කියලා කියන අයගේ “දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තරවලින්” අපි රැවටෙන්නේ නැහැ. (කොලො. 2:8; හෙබ්‍රෙ. 11:6) (1) හුඟදෙනෙක් නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්නේ නැත්තේ ඇයි? (2) හැම දෙයක්ම දෙවියන් නිර්මාණය කළා කියන විශ්වාසය ඔයාට තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද? (3) ඒ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැන් අපි බලමු.

හුඟදෙනෙක් නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්නේ නැත්තේ ඇයි?

4. හෙබ්‍රෙව් 11:1 අනුව විශ්වාසය කියන්නේ මොකක්ද?

4 සමහර අය හිතනවා විශ්වාසය කියලා කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව දේවල් පිළිගන්න එකටයි කියලා. හැබැයි බයිබලේ කියන විදිහට දෙයක් විශ්වාස කරන්න නම් ස්ථිර සාක්ෂි තියෙන්න ඕනේ. (හෙබ්‍රෙව් 11:1 කියවන්න.) උදාහරණෙකට නොපෙනෙන යෙහෝවා දෙවියන්ව, යේසුස්ව, දේවරාජ්‍යය ගැන අපි විශ්වාස කරන්නේ අපිට ස්ථිර සාක්ෂි තියෙන නිසයි. (හෙබ්‍රෙ. 11:3) ජීව රසායනික විද්‍යාඥයෙක් විදිහට වැඩ කරන සාක්ෂිකරුවෙක් මෙහෙම කියනවා. “අපි විද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ආගම විතරක් බදාගෙන ඉන්න අය නෙවෙයි.”

5. හුඟක් අය ජීවය ඉබේ ඇති වුණා කියලා විශ්වාස කරන්නේ ඇයි?

5 දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියන්න ඕනෙ තරම් සාක්ෂි තියෙද්දිත් හුඟදෙනෙක් ජීවය ඉබේ ඇති වුණා කියලා විශ්වාස කරන්නේ ඇයි? ඒකට එක හේතුවක් තමයි හුඟදෙනෙක්ට ඒ ගැන හොයලා බලන්න අවස්ථාවක් ලැබිලා නැති එක. රොබට් මෙහෙම කියනවා. “මං ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලේ ගුරුවරු නිර්මාතෘවරයෙක් ගැන කතා කළේවත් නෑ. ඉතින් මං හිතුවේ දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියන්නේ සුරංගනා කතාවක් කියලා. මගේ වයස විසි ගණන්වලදී තමයි හැම දෙයක්ම නිර්මාණය කරන්න දෙවි කෙනෙක් ඉන්න ඕනෙ කියලා සාක්ෂිකරුවන් බයිබලේ පාවිච්චි කරලා මට තර්කානුකූලව පැහැදිලි කළේ.” *—“ දෙමව්පියන්ට පණිවිඩයක්” කියන කොටුව බලන්න.

6. සමහර අය නිර්මාතෘ කෙනෙක් නැහැ කියලා කියන්නේ ඇයි?

6 සමහරු කියනවා ඇස්වලට පේන දේවල් විතරයි එයාලා විශ්වාස කරන්නේ කියලා. ඒ නිසා නිර්මාතෘ කෙනෙක්ව එයාලා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඒ අය ඇස්වලට නොපෙනෙන ගුරුත්වාකර්ෂණය වගේ දේවල් විශ්වාස කරනවා. මොකද ඒවා නොපෙනුණත් ඒවාට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ වගේ බයිබලේ කතා කරන සමහර දේවල් ඇස්වලට “නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි” තියෙනවා. (හෙබ්‍රෙ. 11:1) නිර්මාතෘ කෙනෙක් ගැන තියෙන සාක්ෂි ගැන හොයලා බලන්න කෙනෙක් කාලය අරන් යම් වෑයමක් දරන්න ඕනේ. හැබැයි ඒක කරන්න හුඟක් අයට වුවමනාවක් නැති නිසා දෙවි කෙනෙක් නැහැ කියලා එයාලා කියනවා.

7. හැම විද්‍යාඥයෙක්ම නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්නේ නැද්ද? පැහැදිලි කරන්න.

7 පැහැදිලි සාක්ෂි ගැන හොයලා බැලුවාට පස්සේ සමහර විද්‍යාඥයන් විශ්වය නිර්මාණය කරන්න දෙවි කෙනෙක් ඉන්න ඕනෙ කියලා පිළි අරගෙන තියෙනවා. * කලින් සඳහන් කරපු රොබට් වගේ හුඟදෙනෙක් නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කළේ නැත්තේ කවදාවත් එයාලගේ විශ්වවිද්‍යාලවල ඒ ගැන ඉගැන්නුවේ නැති නිසයි. හැබැයි දැන් එයාලගෙන් හුඟදෙනෙක් දෙවියන් ගැන දැනගෙන ඔහුට ළං වෙලා තියෙනවා. අපේ අධ්‍යාපන මට්ටම මොකක් වුණත් එයාලා වගේ, හැම දෙයක්ම නිර්මාණය කරපු දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය අපි ශක්තිමත් කරගන්න ඕනේ. මොකද ඒ දේ අපි වෙනුවෙන් වෙන කාටවත් කරන්න බැහැ.

නිර්මාතෘ ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න

8-9. (අ) දැන් අපි බලන්නේ මොකක් ගැනද? (ආ) දෙවියන්ගේ නිර්මාණ ගැන අධ්‍යයනය කරන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

8 හැම දෙයක්ම නිර්මාණය කරපු යෙහෝවා දෙවියන් ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් හතරක් ගැන දැන් අපි බලමු.

9 දෙවියන්ගේ නිර්මාණ ගැන අධ්‍යයනය කරන්න. දෙවියන් නිර්මාණය කරපු සත්තු, ගස් කොළන්, තරු වගේ දේවල් ගැන අපි අධ්‍යයනය කරනවා නම් ඔහු ගැන තියෙන අපේ විශ්වාසය තවත් වැඩි කරගන්න අපිට පුළුවන්. (ගීතා. 19:1; යෙසා. 40:26) ඒ දේවල් අපි අධ්‍යයනය කරන්න කරන්න හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් කියලා අපිට තවත් තහවුරු වෙනවා. ඒ දේවල් අධ්‍යයනය කරන්න උදව් වෙන ලිපි ගොඩක් සංවිධානයෙන් අපිට දීලා තියෙනවා. සමහර වෙලාවට ඒ ලිපි තේරුම්ගන්න අපිට අමාරුයි කියලා හිතුණත් ඔයාට පුළුවන් විදිහට ඒවා තේරුම්ගන්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙවෙයි පහුගිය තුන්දින සමුළුවල පෙන්නපු දෙවියන්ගේ නිර්මාණ ගැන තියෙන ලස්සන වීඩියෝ ගොඩක් අපේ වෙබ් අඩවියේ තියෙනවා. ඒවා බලන්නත් අමතක කරන්න එපා.

10. නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා නිර්මාණවලින් ඔප්පු වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න. (රෝම 1:20)

10 යෙහෝවා දෙවියන්ගේ නිර්මාණ අධ්‍යයනය කරද්දී ඒවාවලින් ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. (රෝම 1:20 කියවන්න.) උදාහරණෙකට අපි හැමෝම දන්නවා ජීවය පවත්වගන්න අවශ්‍ය කරන ආලෝකය, උණුසුම වගේ හුඟක් දේවල් අපිට ලැබෙන්නේ සූර්යයාගෙන් කියලා. හැබැයි අපිට අහිතකර සමහර කිරණත් සූර්යයා නිපදවනවා. ඒවාවලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඕසෝන් වායුවෙන් හැදිලා තියෙන ආවරණයක් අපේ වායුගෝලයේ තියෙන නිසා ඒ කිරණවලින් අපිට ආරක්ෂාව ලැබෙනවා. ඔයා දැනගෙන හිටියාද සූර්යයාගෙන් එන අහිතකර කිරණ වැඩි වෙන්න වැඩි වෙන්න ඕසෝන් ස්ථරයේ ගනකමත් තව වැඩි වෙනවා කියලා? ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි ගැන සැලකිලිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕනෙ කියන එක නේද?

11. අපේ නිර්මාතෘ ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න උදව් වෙන තොරතුරු හොයාගන්න පුළුවන් කොහෙන්ද? (“ විශ්වාසය වැඩි කරගන්න උදව් වෙන දේවල්” කියන කොටුව බලන්න.)

11 නිර්මාතෘ ගැන අපිට තියෙන විශ්වාසය වැඩි කරගන්න උදව් වෙන තොරතුරු ගොඩක් ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන ප්‍රකාශනයෙන් සහ jw.org වෙබ් අඩවියෙන් ඔයාට හොයාගන්න පුළුවන්. සමහරවිට ඔයා ආස වෙයි මුලින්ම, “නිර්මාණයක්ද?” කියන කොටසේ තියෙන ලිපි සහ වීඩියෝ බලන්න. ඒවාවල සත්තු ගැන, ගස් ගැන ලස්සන තොරතුරු හරිම කෙටියෙන් තියෙනවා. ඒ වගේම පරිසරයේ තියෙන දේවල් අනුකරණය කරලා දේවල් නිර්මාණය කරන්න විද්‍යාඥයන් උත්සාහ කරලා තියෙන්නේ කොහොමද කියලත් ඒවාවලින් දැනගන්න පුළුවන්.

12. බයිබලය අධ්‍යයනය කරද්දී අපි හිතලා බලන්න ඕනෙ මොන දේවල් ගැනද?

12 බයිබලය අධ්‍යයනය කරන්න. මේ ලිපියේ මුලින් සඳහන් කරපු ජීව රසායනික විද්‍යාඥයාත් මුලින් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. නිර්මාතෘ කෙනෙක් ගැන විශ්වාසයක් ඇති වුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “විද්‍යාවේ තියෙන තොරතුරු වගේම බයිබලයත් ගැඹුරින් අධ්‍යයනය කරපු නිසා නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න මට පුළුවන් වුණා.” ඔයාට දැනටමත් බයිබලය ගැන හොඳ දැනුමක් ඇති. හැබැයි හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් කියන විශ්වාසය වැඩි කරගන්න නම් ඔයාත් දිගටම බයිබලය අධ්‍යයනය කරන්න ඕනේ. (යොෂු. 1:8; ගීතා. 119:97) ඒ නිසා ඔයා බයිබලය අධ්‍යයනය කරද්දී මේ දේවල් ගැන හිතන්න. අතීතයේ වුණ දේවල් ගැන බයිබලේ නිවැරදිව විස්තර කරලා තියෙනවා. බයිබලේ තියෙන අනාවැකි ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා. බයිබලේ තියෙන අදහස් එකිනෙකට ගැටෙන්නේ නැහැ. ඒ දේවල් ගැන හිතලා බලද්දී අපි ගැන සැලකිලිමත්, ප්‍රඥාවන්ත නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලත් බයිබලය ඔහුගේ වචනය කියලත් අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. *2 තිමෝ. 3:14; 2 පේතෘ. 1:21.

13. බයිබලේ තියෙන එක වටිනා උපදෙසක් ගැන පැහැදිලි කරන්න.

13 බයිබලේ තියෙන උපදෙස් කොච්චර වටිනවාද කියලා හිතලා බලන්න. උදාහරණෙකට කාලෙකට කලින් බයිබලේ කියලා තිබුණා සල්ලි පස්සේ යන එකෙන් ‘බොහෝ වේදනා අද්දකින්න සිද්ධ වෙනවා’ කියලා. (1 තිමෝ. 6:9, 10; හිතෝ. 28:20; මතෙ. 6:24) ඒ උපදෙස අද කාලෙටත් ගැළපෙනවාද? එක පොතක මෙහෙම කියනවා. “සල්ලි තමයි ජීවිතේ කියලා හිතන් ඉන්න මිනිස්සු ඉන්නේ සතුටින් නෙවෙයි. එයාලා ඉන්නේ ලොකු කනස්සල්ලකින්. එයාලා විතරක් නෙවෙයි ටිකක් හරි සල්ලි වැඩිපුර හම්බ කරගන්න උත්සාහ කරන අයත් ඉන්නේ ලොකු පීඩනයකින්. එයාලට අසනීපත් වැඩියි.” (The Narcissism Epidemic) සල්ලි ගැන බයිබලේ කියලා තියෙන දේ කොච්චර ඇත්තද! බයිබලේ තියෙන තව මොන උපදෙස්ද ඔයාට උදව් වෙලා තියෙන්නේ? බයිබලේ තියෙන වටිනා උපදෙස් ගැන හිතන්න හිතන්න යෙහෝවා දෙවියන් ඒවා දීලා තියෙන්නේ අපේම හොඳට කියලා අපිට තේරෙනවා. එතකොට කැමැත්තෙන්ම ඒවාට කීකරු වෙන්න අපි පෙලඹෙනවා. (යාකො. 1:5) එහෙම කරද්දී ජීවිතේ සතුටින් ගත කරන්න අපිට පුළුවන් වෙයි.—යෙසා. 48:17, 18.

14. බයිබලේ අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 බයිබලේ අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවියන් ගැන ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න. (යොහ. 17:3) එහෙම කරද්දී ඔහුගේ ලස්සන ගතිලක්ෂණ ගැන ඔයාට දැනගන්න පුළුවන්. දෙවියන්ගේ නිර්මාණවලිනුත් පේන්නේ ඒ ගතිලක්ෂණමයි කියලා එතකොට ඔයාට තේරෙයි. යෙහෝවා දෙවියන් කියන්නේ සැබෑ පුද්ගලයෙක් කියලා ඔයාටම තහවුරු කරගන්නත් ඒක උදව් වෙයි. (නික්. 34:6, 7; ගීතා. 145:8, 9) යෙහෝවා දෙවියන් ගැන දැනගන්න දැනගන්න ඔහු ගැන ඔයාට තියෙන විශ්වාසය, ආදරය තවත් වැඩි වෙනවා. ඒ වගේම ඔහුත් එක්ක තියෙන බැඳීම තවත් වැඩි කරගන්නත් ඔයාට පුළුවන් වෙයි.

15. දෙවියන් ගැන අනිත් අයට කියන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

15 දෙවියන් ගැන අනිත් අයත් එක්ක කතා කරන්න. එතකොට ඔයාගේ විශ්වාසයත් තව ශක්තිමත් වෙනවා. දෙවි කෙනෙක් ඉන්නවාද කියලා කෙනෙක් ඇහුවාම ඒ කෙනාට ඒක පැහැදිලි කරන්න ඔයා දන්නේ නැත්නම් මොනවාද කරන්න පුළුවන්? ඒ ගැන තියෙන ප්‍රකාශනවලින් තොරතුරු හොයලා එයාට ඒ ගැන පැහැදිලි කරන්න. (1 පේතෘ. 3:15) අද්දැකීම් තියෙන සභාවේ කෙනෙක්ගෙන් උදව් ගන්නත් ඔයාට පුළුවන්. ඔයා බයිබලෙන් පැහැදිලි කරන දේවල් ඔයාගෙන් ප්‍රශ්න අහපු කෙනා පිළිගත්තත් නැතත් ඒ තොරතුරු අධ්‍යයනය කරන එකෙන් ඔයාගේ විශ්වාසය ශක්තිමත් වෙනවා. එතකොට සමාජයේ උසස් කියලා සලකන අය නිර්මාතෘ කෙනෙක් නැහැ කියලා කිව්වත් ඒ දේවල්වලින් ඔයාගේ විශ්වාසය දුර්වල වෙන්නේ නැහැ.

ඔයාගේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න

16. ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගත්තේ නැත්නම් මොකක් වෙන්න පුළුවන්ද?

16 අපි කොච්චර කල් සත්‍යයේ හිටියත් යෙහෝවා දෙවියන් ගැන අපිට තියන විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න ඕනේ. එහෙම කළේ නැත්නම් අපේ විශ්වාසය දුර්වල වෙන්න පුළුවන්. මොකද මේ ලිපියේ සාකච්ඡා කරපු විදිහට අපි විශ්වාස කරන දේවලට ස්ථිර සාක්ෂි තිබුණත් ඒ විශ්වාස කරන හුඟක් දේවල් අපේ ඇස්වලට පේන්නේ නැහැ. ඉතින් ඒවා පේන්නේ නැති නිසා අපිට ඉක්මනින්ම අමතක වෙන්න පුළුවන්. ඒකයි පාවුල් දුර්වල විශ්වාසය “අපව පහසුවෙන් හසු කරගන්නා පාපය” විදිහට හැඳින්නුවේ. (හෙබ්‍රෙ. 12:1) එහෙනම් ඒ උගුලට අහුවෙන්නේ නැතුව අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න පුළුවන් කොහොමද?—2 තෙස. 1:3.

17. අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

17 නිතරම යෙහෝවා දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. විශ්වාසය කියන්නේ කෙනෙක් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වන ගුණාංගයක්. (ගලා. 5:22, 23) ඒ නිසා දෙවියන්ගේ බලය නැතුව ඔහු ගැන තියෙන විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න අපිට බැහැ. අපි දෙවියන්ගේ බලය ඉල්ලලා දිගටම ඔහුට යාච්ඤා කළොත් ඔහු අනිවාර්යයෙන්ම ඒක අපිට දෙනවා. (ලූක් 11:13) ඒ නිසා අපේ යාච්ඤාවලදී විශේෂයෙන්ම “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න” කියලා ඉල්ලන්න අපිට පුළුවන්.—ලූක් 17:5.

18. ගීතාවලිය 1:2, 3 අනුව අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ග මොකක්ද?

18 පුරුද්දක් විදිහට දෙවියන්ගේ වචනය අධ්‍යයනය කරන්න. (ගීතාවලිය 1:2, 3 කියවන්න.) මේ ගීතිකාව ලියවුණු කාලයේ දෙවියන්ගේ නීතියේ සම්පූර්ණ පිටපත හුඟදෙනෙක් ගාව තිබුණේ නැහැ. ඒත් රජටයි පූජකයන්ටයි ඒ නීතිය කියවන්න අවස්ථාවක් තිබුණා. හැම අවුරුදු හතකටම සැරයක් “පුරුෂයන්, ස්ත්‍රීන්, කුඩා දරුවන්” සහ විදේශිකයන් හැමෝම එකතු කරලා එයාලට ඇහෙන්න දෙවියන්ගේ නීතිය කියවන්න සැලැස්මක් තිබුණා. (ද්වි. 31:10-12) යේසුස්ගේ කාලේ වෙද්දී ශුද්ධ ලියවිල්ලේ පිටපත් සිනගෝගවල තිබුණත් ඒවාවල පෞද්ගලික පිටපත් තිබුණේ කීපදෙනෙක් ළඟ විතරයි. හැබැයි අද වෙද්දී හුඟදෙනෙක්ට මුළු බයිබයලයම හරි බයිබලේ කොටසක් හරි තමන්ගේ භාෂාවෙන් කියවන්න අවස්ථාව තියෙනවා. ඒක කොච්චර වටිනවාද! අපිට ලැබිලා තියෙන මේ වටිනා තෑග්ග අපි හුඟක් අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

19. විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

19 බයිබලය හැම දවසකම කියවන එකෙන් ඒ වටිනා තෑග්ග අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන්. අපි බයිබලේ කියවන්නේ විවේකයක් ලැබුණ වෙලාවට විතරක් නෙවෙයි. හැම දවසකම බයිබලය කියවන්න අපි වෙලාවක් වෙන් කරගන්න ඕනේ. අපි එහෙම කරද්දී අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න අපිට පුළුවන්.

20. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

20 මේ ලෝකේ ඉන්න ‘ප්‍රඥාවන්ත, බුද්ධිමත් අය’ දේවල් විශ්වාස කරන්නේ එයාලගේ දැනුමට අනුවයි. ඒත් අපි දේවල් විශ්වාස කරන්නේ බයිබලේ ඒවාට පැහැදිලි සාක්ෂි දීලා තියෙන නිසයි. (මතෙ. 11:25, 26) මේ පොළොවේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන්නේ ඇයි කියලත් දෙවියන් ළඟදීම කරන්න යන්නේ මොනවාද කියලත් අපි බයිබලෙන් දැනගත්තා. ඒක මොන තරම් සහනයක්ද! ඒ නිසා අපේ විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න අධිෂ්ඨාන කරගමු. ඒ වගේම අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් තරම් දෙනෙක්ට උදව් කරමු. (1 තිමෝ. 2:3, 4) ළඟදීම පොළොවේ ඉන්න හැම කෙනෙක්ම එළිදරව් 4:11 තියෙන මේ දේ කියලා අපේ නිර්මාතෘට ප්‍රශංසා කරයි. ‘අපේ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාව ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.’

ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි

^ 5 ඡේ. හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් කියලා බයිබලේ පැහැදිලිවම සඳහන් වෙනවා. හැබැයි අද ඉන්න ගොඩදෙනෙක් විශ්වාස කරන්නේ හැම දෙයක්ම ඉබේ ඇති වුණා කියලයි. දෙවියන් ගැනත් බයිබලය ගැනත් අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න අපි වෑයම් කරනවා නම් එයාලා කියන දේවල් නිසා අපේ විශ්වාසය දුර්වල වෙන්නේ නැහැ. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ 5 ඡේ. සමහර පාසැල්වල ගුරුවරු නිර්මාතෘවරයෙක් ඉන්න පුළුවන් කියලා උගන්වන්නේ නැහැ. මොකද එහෙම කළොත් දෙවි කෙනෙක්ව විශ්වාස කරන්න එයාලා ශිෂ්‍යයන්ට බල කරනවා කියලා එයාලා හිතනවා.

^ 7 ඡේ. නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන විද්‍යාඥයන් ඇතුළු ප්‍රවීණයන්ගේ අද්දැකීම් ගැන ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන ප්‍රකාශනයේ “විද්‍යාව සහ තාක්ෂණය,” “පිළිසඳරක්’ (‘පිබිදෙව්!’ ලිපි මාලාව)” යටතේ බලන්න.

^ 12 ඡේ. උදාහරණෙකට 2011 පෙබරවාරි ‘පිබිදෙව්!’ සඟරාවේ “විද්‍යාවේ සොයාගැනීම් බයිබලයට එකඟද?” කියන ලිපියත් 2008 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ “යෙහෝවා දෙවි පවසන දේ ඉටු වෙනවාමයි” කියන ලිපියත් බලන්න.