Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 33

යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඔයාගේ උපරිමය කරලා සතුටු වෙන්න

යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඔයාගේ උපරිමය කරලා සතුටු වෙන්න

“ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය.”—දේශ. 6:9.

ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි

මේ ලිපියෙන් *

1. වැඩිපුර සේවයක් කරන්න හුඟදෙනෙක් ඉදිරිපත් වෙලා තියෙන්නේ කොහොමද?

විනාශය අත ළඟම ඉන්න අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. (මතෙ. 24:14; ලූක් 10:2; 1 පේතෘ. 5:2) උපරිමයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ආස නිසා හුඟදෙනෙක් වැඩිපුර සේවයක් කරන්න ඉලක්ක තියාගෙන ඉන්නවා. සමහර අය පුරෝගාමි සේවය කරන්න ආසයි. තවත් අය බෙතෙල් එකේ හරි ඉදි කිරීම් අංශයේ හරි වැඩ කරන්න කැමතියි. හුඟක් සහෝදරයන් සහායක සේවකයෙක් නැත්නම් වැඩිමහල්ලෙක් වෙන්න සුදුසුකම් අත් කරගන්න උත්සාහ කරනවා. (1 තිමෝ. 3:1, 8) කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන මේ අය දිහා බලද්දී යෙහෝවා දෙවියන්ට කොච්චර සතුටක් දැනෙනවා ඇද්ද!—ගීතා. 110:3; යෙසා. 6:8.

2. අපේ ඉලක්ක ජය ගන්න බැරි වුණාම අපිට හැඟෙන්න පුළුවන් කොහොමද?

2 කාලයක් ගියත් අපේ ඉලක්ක ජය ගන්න බැරි වුණාම ඒ ගැන අපිට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ වයස නිසා එහෙම නැත්නම් වෙනත් තත්වයන් නිසා අපි ආස කරන සමහර ඉලක්කවලට ළං වෙන්න අපිට බැරි වෙයි. (හිතෝ. 13:12) සහෝදරි මෙලීසා * බෙතෙල් එකේ සේවය කරන්න එහෙම නැත්නම් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යන්න හරිම ආසයි. ඒත් ඒ ගැන එයා මෙහෙම කියනවා. “වයසට ගිහිල්ලා ඉන්න මට ඒ වගේ ඉලක්ක දැන් හීනයක් විතරයි. ඒ ගැන හිතද්දී සමහර වෙලාවට මට ගොඩක් දුක හිතෙනවා.”

3. අමතර වගකීම් ලබාගන්න නම් සමහර අය දියුණු වෙන්න ඕනෙ මොන වගේ පැතිවලින්ද?

3 මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් යෞවනයන්ට අමතර වගකීම් දෙන්න නම් එයාලා අවබෝධයෙන් වැඩ කරන අය කියලා පැහැදිලිව පේන්න ඕනේ. ඒ යෞවනයන් දැනටමත් බුද්ධිමත්, උද්‍යෝගයෙන් වැඩ කරන අය වෙන්න පුළුවන්. හැබැයි ඉවසීමෙන්, වගකීමෙන් වැඩ කරන්න වගේම අනිත් අයට ගෞරව කරන්නත් එයාලා ඉගෙනගන්න ඕනේ. ඒ වගේ ගුණාංග වර්ධනය කරගන්න ඔයා උත්සාහ කරද්දී හිතන්නෙවත් නැති වෙලාවක ඒ වගකීම් ඔයාට ලැබෙයි. නික්ගේ අද්දැකීම බලන්න. එයාට වයස අවුරුදු 20දී සහායක සේවකයෙක් වෙන්න බැරි වෙච්ච එක ගැන නික් ගොඩක් දුක් වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මට සහායක සේවකයෙක් වෙන්න බැරි මගේ මොකක් හරි අඩුවක් තියෙන නිසා කියලයි මට හිතුණේ.” හැබැයි නික් අත්හරින්නේ නැතුව හොඳ ගුණාංග වර්ධනය කරගන්නත් උපරිමයෙන් සේවයේ හවුල් වෙන්නත් සභාවේ අයට උදව් කරන්නත් උත්සාහ කළා. දැන් එයා ශාඛා කමිටු සාමාජිකයෙක්.

4. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

4 ඔයා ආස කරන ඉලක්ක ජය ගන්න බැරි වුණ නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? එහෙනම් ඔයාට හැඟෙන විදිහ ගැන යෙහෝවා දෙවියන්ට කියන්න. (ගීතා. 37:5-7) ඔයාට දියුණු වෙන්න පුළුවන් මොන පැතිවලින්ද කියලා අද්දැකීම් තියෙන සහෝදරයන්ගෙන් අහන්න. ඊටපස්සේ එයාලා දෙන යෝජනා අදාළ කරගන්න උපරිමයෙන් වෑයම් කරන්න. එහෙම කරද්දී සමහරවිට ඒ ඉලක්ක ජය ගන්න ඔයාට අවස්ථාව ලැබෙයි. හැබැයි අපි කලින් සඳහන් කරපු සහෝදරි මෙලීසාට වගේ ඔයාගේ තත්වයන් නිසා ඒ ඉලක්කවලට ළඟා වෙන්න ඔයාට බැරි නම් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවකදී (1) ඔයාට සතුටු වෙන්න පුළුවන් මොනවා ගැනද? (2) ඔයාගේ සතුට වැඩි කරගන්න පුළුවන් කොහොමද? (3) ඔයාට තියාගන්න පුළුවන් සාධාරණ ඉලක්ක මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

ඔයාට සතුටු වෙන්න පුළුවන් මොනවා ගැනද?

5. සතුටින් ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (දේශනාකාරයා 6:9)

5 සතුටින් ඉන්න නම් අපි කරන්න ඕනෙ දෙයක් ගැන දේශනාකාරයා 6:9 කියනවා. (කියවන්න.) එතන කියන විදිහට “තමා සතු දෙයින් සෑහීමට” පත් වෙන කෙනා තමන් ගැන සතුටු වෙනවා. හැබැයි ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යන කෙනාට සෑහීමට පත් වෙන්න බැරි නිසා කවදාවත් එයාට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකක්ද පාඩම? දැන් කරන දේවල් ගැන සෑහීමට පත් වෙනවා නම් සාධාරණ ඉලක්ක තියාගන්නවා නම් අපිට දිගටම සතුටින් ඉන්න පුළුවන්.

6. අපි බලන්නේ මොන උපමාව ගැනද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 අපි දැනටමත් කරන සේවයෙන් අපිට ඇත්තටම සෑහීමට පත් වෙන්න පුළුවන්ද? හුඟක් අයට හිතෙන්නේ ඒක කරන්න බැරි දෙයක් කියලා. මොකද සාමාන්‍යයෙන් අපි හැමෝම ආසයි අලුත් දේවල් කරන්න. හැබැයි ඇත්තටම අපි “සතු දෙයින්” අපිට සෑහීමට පත් වෙන්න පුළුවන්. මතෙව් 25:14-30 යේසුස් තලෙන්ත ගැන ලස්සන උපමාවක් කිව්වා. ඒ උපමාව බලද්දී සතුටින් ඉන්න අපි  කරන්න ඕනෙ මොනවාද කියලත් අපේ සතුට වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලත් දැන් බලමු.

අපේ සතුට වැඩි කරගන්න පුළුවන් කොහොමද?

7. තලෙන්ත ගැන තියෙන උපමාව කෙටියෙන් පැහැදිලි කරන්න.

7 උපමාවේ ඉන්න ස්වාමියා දුර ගමනක් යන්න සූදානම් වුණා. එයා යන්න කලින් දාසයන්ට කතා කරලා එයාලගේ හැකියාවන් අනුව ව්‍යාපාර කරන්න තලෙන්ත දුන්නා. * පළවෙනි දාසයාට තලෙන්ත පහකුත් දෙවෙනි දාසයාට තලෙන්ත දෙකකුත් තුන්වෙනි දාසයාට එක තලෙන්තෙකුත් ස්වාමියා දුන්නා. පළවෙනි සහ දෙවෙනි දාසයා එයාලට ලැබුණ තලෙන්තවලින් ස්වාමියා වෙනුවෙන් මහන්සි වෙලා මුදල් හම්බ කළා. හැබැයි තුන්වෙනි දාසයා එයාට ලැබුණ තලෙන්තයෙන් කිසිම දෙයක් කළේ නැහැ. අන්තිමේදී ස්වාමියා ගමන ගිහින් ආවාට පස්සේ ඒ දාසයාව පන්නලා දැම්මා.

8. පළවෙනි දාසයාට සතුටු වෙන්න තිබුණ හේතු මොනවාද?

8 පළවෙනි දාසයාට ස්වාමියා තලෙන්ත පහක් දුන්න එක ගැන එයා ගොඩක් සතුටු වෙන්න ඇති. මොකද ඒ වගේ විශාල මුදලක් එයාට භාර දුන්නාම ස්වාමියාට එයා ගැන කොයි තරම් විශ්වාසයක් තියෙනවාද කියලා පැහැදිලි වුණා. හැබැයි දෙවෙනි දාසයාට ලැබුණේ තලෙන්ත දෙකක් විතරයි. ඕනෙ නම් ඒ ගැන හිතලා එයාට කලකිරෙන්න තිබුණා. හැබැයි එයා මොකද කළේ?

තලෙන්ත ගැන තියෙන උපමාවේ ඉන්න දෙවෙනි දාසයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1) එයාට ස්වාමියාගෙන් තලෙන්ත දෙකක් ලැබුණා. (2) එයා ස්වාමීන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. (3) ස්වාමියා දුන්න තලෙන්ත එයා දෙගුණ කළා (9-11 ඡේද බලන්න)

9. දෙවෙනි දාසයා කළේ නැත්තේ මොනවාද? (මතෙව් 25:22, 23)

9 මතෙව් 25:22, 23 කියවන්න. තලෙන්ත දෙකක් ලැබුණ නිසා දෙවෙනි දාසයා ඒ ගැන කලකිරුණා කියලවත් කේන්ති ගත්තා කියලවත් යේසුස් කිව්වේ නැහැ. ඒ වගේම එයා මේ විදිහට මැසිවිලි නැඟුවා කියලා යේසුස් කිව්වේ නැහැ. ‘තලෙන්ත පහක් ලැබුණ දාසයා වගේම මාත් දක්ෂ කෙනෙක්නේ. ඇයි ස්වාමියා මට තලෙන්ත අඩුවෙන් දුන්නේ? ස්වාමියාට මං ගැන අගයක් නැත්නම් මේ තලෙන්ත දෙක වළලලා දාලා මං මගේ වැඩක් බලාගන්නවා.’

10. දෙවෙනි දාසයා එයාට ලැබුණු තලෙන්තවලින් මොනවාද කළේ?

10 පළවෙනි දාසයා වගේම දෙවෙනි දාසයාත් එයාට ලැබුණ වගකීම සැහැල්ලුවට ගන්නේ නැතුව ස්වාමියා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. ඒ නිසා ස්වාමියා දුන්න තලෙන්ත දෙගුණ කරන්න එයාට පුළුවන් වුණා. ඒ ගැන එයාගේ ස්වාමියා කොච්චර සතුටු වුණාද කියනවා නම් එයාට ප්‍රශංසා කරලා තවත් වගකීම් භාර දුන්නා.

11. අපේ සතුට වැඩි කරගන්න පුළුවන් කොහොමද?

11 යෙහෝවා දෙවියන් දැනටමත් අපිට භාර දීලා තියෙන පැවරුම් අපේ උපරිමයෙන් කරනවා නම් අපේ සතුට වැඩි වෙනවා. උදාහරණෙකට දේශනා සේවය “වෙහෙස මහන්සි නොබලා” කරන්නත් සභාවේ වැඩවලට උපරිමයෙන් සහයෝගය දෙන්නත් අපිට පුළුවන්. (ක්‍රියා 18:5; හෙබ්‍රෙ. 10:24, 25) රැස්වීම්වලට හොඳින් සූදානම් වෙලා දිරිගන්වන අදහස් ඉදිරිපත් කරන්න. සති මැද රැස්වීමේ ලැබෙන පුංචි පැවරුමක් වුණත් උනන්දුවෙන් කරන්න. ඔයාට ලැබෙන ඕනම පැවරුමක් වෙලාවට ඉවර කරන්න. ලැබෙන කිසිම පැවරුමක් වැදගත් නැති, කාලය නාස්ති කරන දෙයක් කියලා හිතන්න එපා. ඔයාගේ හැකියාවන් දියුණු කරගන්න උත්සාහ කරන්න. (හිතෝ. 22:29) ඔයාට ලැබෙන පැවරුම්, වගකීම් වෙහෙස මහන්සි වෙලා කරද්දී යෙහෝවා දෙවියන්ට ළං වෙන්නත් ඔයාගේ සතුට වැඩි කරගන්නත් පුළුවන් වෙයි. (ගලා. 6:4) එතකොට ඔයා ආස කරන පැවරුමක් වෙන කෙනෙක්ට ලැබුණත් එයාත් එක්ක සතුටු වෙන්න ඔයාට පුළුවන්.—රෝම 12:15; ගලා. 5:26.

12. මෙලීසා සහ නික් එයාලගේ සතුට වැඩි කරගත්තේ කොහොමද?

12 කලින් සඳහන් කරපු සහෝදරි මෙලීසාට බෙතෙල් එකට හරි ශුභාරංචිය දේශනා කරන්නන්ගේ පාසැලට හරි යන්න බැරි වුණත් එයාගේ සතුට දිගටම තියාගත්තේ කොහොමද? ඒ ගැන එයා මෙහෙම කියනවා. “පුරෝගාමි සේවයේ උපරිමයෙන් හවුල් වෙන්නත් සේවයේ විවිධ අංග රස බලන්නත් මම උත්සාහ කළා. ඒකෙන් මගේ සතුට තවත් වැඩි වුණා.” සහායක සේවකයෙක් වෙන්න බැරි වුණ නිසා අධෛර්යය වෙලා හිටපු නික්ට උදව් වුණේ මොකක්ද? “දේශනා කරන එක, රැස්වීම්වල අදහස් දක්වන එක වගේ මට දැනටමත් කරන්න පුළුවන් දේවල් හොඳින් කරන්න මං උත්සාහ කළා. ඒ විතරක් නෙවෙයි මම බෙතෙල් ෆෝම් එකකුත් පුරවලා යැව්වා. ඊළඟ අවුරුද්දෙම මට එහේ සේවය කරන්න අවස්ථාව ලැබුණා.”

13. ඔයා දැනටමත් කරන පැවරුම් හොඳින් කළොත් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (දේශනාකාරයා 2:24)

13 ඔයාට දැන් තියෙන පැවරුම් මහන්සි වෙලා කළොත් ඉස්සරහට තවත් වගකීම් ඔයාට ලැබෙයිද? සමහරවිට සහෝදර නික්ට වගේ එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණේ නැති වුණත් වෙහෙස මහන්සි වෙලා දෙවියන්ට සේවය කරද්දී සහෝදරි මෙලීසාට වගේ ඒකෙන් ලොකු සතුටක් ඔයාට ලැබෙයි. (දේශනාකාරයා 2:24 කියවන්න.) ඒ වගේම අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ඔයා කරන දේවල් ගොඩක් අගය කරනවා කියලා කවදාවත් අමතක කරන්න එපා.

සාධාරණ ඉලක්ක තියාගන්න

14. ඉලක්ක තියාගද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

14 දැන් අපි කරන සේවය ගැන සතුටු වෙන්න ඕනෙ කියන එකෙන් අදහස් වෙනවාද සේවය වැඩි කරන්න ඉලක්ක තියාගන්න එක වැරදියි කියලා? නැහැ. අපි හැමෝම සේවේ තවත් දක්ෂ විදිහට කරන්න, සහෝදර සහෝදරියන් වෙනුවෙන් තවත් වැඩිපුර දේවල් කරන්න, ඉලක්ක තියාගන්න ඕනේ. අපි අපි ගැන හිතනවා වෙනුවට අනිත් අය ගැන හිතලා ඥානවන්තව, නිහතමානීව වැඩ කරනවා නම් අපේ ඉලක්ක ජය ගන්න අපිට පුළුවන් වෙයි.—හිතෝ. 11:2; ක්‍රියා 20:35.

15. ඔයාගේ සතුට වැඩි කරගන්න උදව් වෙන සමහර ඉලක්ක මොනවාද?

15 ඔයාට තියාගන්න පුළුවන් මොන වගේ සාධාරණ ඉලක්කද කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. (හිතෝ. 16:3; යාකො. 1:5) උදාහරණෙකට ඉදි කිරීම් අංශයේ සේවය කරන්න, බෙතෙල් එකේ සේවය කරන්න, සහායක නැත්නම් ස්ථාවර පුරෝගාමි සේවය කරන්න, ඔයාට පුළුවන්ද? එහෙම නැත්නම් අලුත් භාෂාවක් ඉගෙනගන්න හරි ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහිල්ලා සේවේ කරන්න හරි පුළුවන්ද? ඔයාට ඒ වගේ ඉලක්ක තියෙනවා නම් ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ පොතේ 10වෙනි පරිච්ඡේදය බලන්න. ඒ වගේම ඔයාගේ ඉලක්ක ගැන සභාවේ වැඩිමහල්ලන් එක්ක කතා කරන්න. * ඉලක්ක ජය ගන්න ඔයා මහන්සි වෙලා වැඩ කරද්දී ඔයාගේ දියුණුව හැමෝටම දකින්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයාගේ සතුටත් තව වැඩි වෙයි.

16. ඔයා ආස කරන ඉලක්කය ජය ගන්න බැරි නම් මොකද කරන්නේ?

16 කලින් ඡේදවල සඳහන් කරපු ඉලක්ක කොහොමටවත් ජය ගන්න පුළුවන් ඒවා නෙවෙයි කියලා ඔයාට තේරුණොත් මොකද කරන්නේ? ඔයාට තියාගන්න පුළුවන් සාධාරණ ඉලක්ක මොනවාද කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේ සමහර ඉලක්ක ගැන දැන් අපි බලමු.

ඔයාට ජය ගන්න පුළුවන් එක ඉලක්කයක් මොකක්ද? (17 ඡේදය බලන්න) *

17. 1 තිමෝති 4:13, 15 අනුව දක්ෂ ගුරුවරයෙක් වෙන්න සහෝදරයෙක්ට කරන්න පුළුවන් මොනවාද?

17 1 තිමෝති 4:13, 15 කියවන්න. ඔයා බව්තීස්ම වුණ සහෝදරයෙක් නම් කතා කරන්න, උගන්වන්න ඔයාට තියෙන හැකියාව දියුණු කරගන්න. එහෙම කරද්දී සභාවේ අයට ඔයාගෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙයි. ඒක කරන්න, ‘ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න’ පොතේ තියෙන කථික ගුණාංග වර්ධනය කරගන්න එක ඔයාට උදව් වෙයි. ඔයාට පුළුවන් එක වතාවකට එක කථික ගුණාංගයක් තෝරගන්න. ඊටපස්සේ ඒක හොඳට අධ්‍යයනය කරලා, පුහුණු වෙලා ඔයා කරන පැවරුම්වලට ඒ කථික ගුණාංගය අදාළ කරගන්න. ඔයා දියුණු කරගන්න ඕනෙ මොන වගේ පැතිද කියලා ඔයාගේ සභාවේ අමතර උපදේශකගෙන් එහෙම නැත්නම් “දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන” වෙනත් වැඩිමහල්ලන්ගෙන් අහලා බලන්න. * (1 තිමෝ. 5:17) ඔයා කොටසක් කරද්දී දක්ෂ විදිහට කථික ගුණාංග අදාළ කරගන්න විදිහ ගැන විතරක් හිතන්නේ නැතුව සභාවේ අයගේ විශ්වාසය ශක්තිමත් කරලා එයාලව ක්‍රියාවට පොලඹවන්නේ කොහොමද කියලත් හිතන්න. එහෙම කරද්දී ඔයාගේ වගේම අනිත් අයගේ සතුටත් වැඩි වෙයි.

ඔයාට ජය ගන්න පුළුවන් එක ඉලක්කයක් මොකක්ද? (18 ඡේදය බලන්න) *

18. සේවයේ දක්ෂ වෙන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

18 දේශනා කරන සහ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන පැවරුම අපි හැමෝටම තියෙනවා. (මතෙ. 28:19, 20; රෝම 10:14) ඒ පැවරුම තවත් දක්ෂ විදිහට කරන්න ඔයා ආසයිද? එහෙනම් ඒක කරන්න ‘උගන්වන’ සඟරාවේ තියෙන යෝජනා අදාළ කරගන්න එක ඔයාට උදව් වෙයි. ඒ වගේම ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ සහ සති මැද රැස්වීමේ පෙන්නන සාකච්ඡාවකට යෝජනා වීඩියෝවල තොරතුරු අදාළ කරගන්න ඔයාට පුළුවන්. එතකොට ඔයා සේවය කරන ප්‍රදේශයට ගැළපෙන්නේ මොන යෝජනාද කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ යෝජනා අදාළ කරගෙන දක්ෂ විදිහට දේශනා කරන්න පුළුවන් වුණාම ලොකු සතුටක් අද්දකින්න ඔයාට පුළුවන් වෙයි.—2 තිමෝ. 4:5.

ඔයාට ජය ගන්න පුළුවන් එක ඉලක්කයක් මොකක්ද? (19 ඡේදය බලන්න) *

19. දෙවියන් ආස කරන ගුණාංග වර්ධනය කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

19 දෙවියන් ආස කරන ගුණාංග වර්ධනය කරගන්න එක ඔයාට තියාගන්න පුළුවන් හොඳම ඉලක්කවලින් එකක්. (ගලා. 5:22, 23; කොලො. 3:12; 2 පේතෘ. 1:5-8) ඒ දේ කරන්න ඔයාට පුළුවන් කොහොමද? උදාහරණෙකට හිතන්න ඔයාට ඕනෙ විශ්වාසය කියන ගුණාංගය වර්ධනය කරගන්න කියලා. ඔයාට පුළුවන් ඒ ගැන තියෙන අපේ ලිපි කියවලා බලන්න. ඒ වගේම විවිධ අභියෝගවලට මුහුණ දෙද්දී දිගටම විශ්වාසවන්තව හිටපු සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනේ ඇවිල්ලා තියෙනවා. ඒවා බලලා ඒ අයව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද කියලත් හිතලා බලන්න.

20. අධෛර්යය නොවී දිගටම සතුටින් ඉන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

20 අපි හැමෝම ආසයි දැන් කරනවාට වඩා වැඩියෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න. ඒ දේ අපිට සීයට සීයක්ම කරන්න පුළුවන් වෙන්නේ පාරාදීසේ. ඒ වෙන කල් අපිට කරන්න පුළුවන් දේ අපේ උපරිමයෙන් කරනවා නම් අධෛර්යය නොවී දිගටම සතුටින් ඉන්න අපිට පුළුවන් වෙයි. වැදගත්ම දේ තමයි එහෙම කරන එකෙන් අපේ “ප්‍රීතිමත් දෙවි” යෙහෝවාට ගෞරවයත් ප්‍රශංසාවත් ලැබෙන එක. (1 තිමෝ. 1:11) ඉතින් යෙහෝවා දෙවියන් වෙනුවෙන් දැන් අපිට කරන්න පුළුවන් දේවල් ගැන සතුටු වෙමු!

ගීතිකාව 82 ‘ආලෝකය විහිදුවන්න’

^ 5 ඡේ. අපි හැමෝම යෙහෝවා දෙවියන්ට හුඟක් ආදරෙයි. අපිට ඕනෙ අපේ උපරිමයෙන් ඔහුට සේවය කරන්න. ඒ නිසයි වැඩිපුර සේවයක් කරන්න අපි ඉලක්ක තියාගන්නේ. හැබැයි අපි කොච්චර උත්සාහ කළත් ඒ ඉලක්කවලට ළඟා වෙන්න අපිට බැරි වුණොත් මොකද කරන්නේ? දැනටමත් අපි කරන සේවය දිගටම උද්‍යෝගයෙන්, සතුටින් කරන්න අපිට පුළුවන් කොහොමද? තලෙන්ත ගැන තියෙන උපමාවෙන් ඒ ප්‍රශ්නවලට උත්තර අපිට හොයාගන්න පුළුවන්.

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 7 ඡේ. පැහැදිලි කිරීමක්: තලෙන්තයක් කියලා කියන්නේ කම්කරුවෙක්ගේ අවුරුදු 20ක වැටුපට සමාන මුදලක්.

^ 15 ඡේ. බව්තීස්ම වුණ හැම සහෝදරයෙක්ටම සහායක සේවකයෙක් නැත්නම් වැඩිමහල්ලෙක් වෙන්න ඉලක්ක තියාගන්න පුළුවන්. ඒවාට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා දැනගන්න, ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ පොතේ 5 සහ 6 පරිච්ඡේද බලන්න.

^ 17 ඡේ. පැහැදිලි කිරීමක්: අමතර උපදේශක කියලා කියන්නේ සභාවේ බයිබල් දේශන දෙන එහෙම නැත්නම් ඉගැන්වීමේ කොටස් කරන සහායක සේවකයන්ට සහ වැඩිමහල්ලන්ට දියුණු වෙන්න ඕන පැති ගැන පෞද්ගලිකව මඟ පෙන්වීම් දෙන්න පත් කරලා තියෙන වැඩිමහල්ලාටයි.

^ 64 ඡේ. පින්තූරේ අදහස: දක්ෂ ගුරුවරයෙක් වෙන්න ඉලක්ක තියන් ඉන්න සහෝදරයෙක් අපේ ප්‍රකාශනයක් අධ්‍යයනය කරනවා.

^ 66 ඡේ. පින්තූරේ අදහස: අවිධිමත්ව සාක්ෂි දරන්න ඉලක්ක තියන් ඉන්න සහෝදරියක් වේටර්වරියකට කන්ටැක්ට් කාඩ් එකක් දෙනවා.

^ 68 ඡේ. පින්තූරේ අදහස: ත්‍යාගශීලීකම වර්ධනය කරගන්න ඉලක්ක තියන් ඉන්න සහෝදරියක් තවත් සහෝදරියකට තෑග්ගක් දීලා එයාව සතුටු කරනවා.