Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 34

යෙහෝවා දෙවියන් යහපත් බව ඔයාම “රස බලා දැනගන්න”

යෙහෝවා දෙවියන් යහපත් බව ඔයාම “රස බලා දැනගන්න”

“ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය.”—ගීතා. 34:8.

ගීතිකාව 117 දෙවිගේ යහපත්කම

මේ ලිපියෙන් *

1-2. ගීතාවලිය 34:8 අනුව යෙහෝවා දෙවියන් යහපත් බව දැනගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

හිතන්න ඔයා කවදාවත් කාලා නැති කෑමක් කවුරු හරි ඔයාට කන්න දෙනවා කියලා. ඒකේ පාටින් සුවඳින් ඒක හදලා තියෙන දේවල්වලින් ඒක මොන වගේද කියලා දැනගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඒක කාලා තියෙන අයගෙන් ඒක රසයිද කියලා දැනගන්නත් පුළුවන්. හැබැයි ඒ රසට ඔයා කැමතිද නැද්ද කියලා හරියටම දැනගන්න නම් ඒක ඔයා කාලාම බලන්න ඕනේ.

2 අපි බයිබලය සහ අපේ ප්‍රකාශන කියවද්දී අනිත් අයගේ අද්දැකීම් අහද්දී යෙහෝවා දෙවියන් මොන තරම් යහපත් කෙනෙක්ද කියලා අපිට දැනගන්න පුළුවන්. හැබැයි හරියටම ඔහුගේ යහපත්කම තේරුම්ගන්න නම් අපිම ඒක “රස බලා” දැනගන්න ඕනේ. (ගීතාවලිය 34:8 කියවන්න.) උදාහරණෙකට මෙහෙම හිතන්න. ඔයා ආසයි පුරෝගාමි සේවය කරන්න. හැබැයි ඒක කරන්න නම් ඔයා ඔයාගේ ජීවිතය සරල කරගන්න ඕනේ. ඒ විදිහට දේවරාජ්‍යයට මුල් තැන දෙද්දී දෙවියන් අපිව බලාගන්නවා කියලා යේසුස් දුන්න පොරොන්දුව ඔයා දැනටමත් දන්නවා. හැබැයි ඔයා කවදාවත් ඔයාගේ ජීවිතෙන් ඒක අද්දැකලා නැතුව ඇති. (මතෙ. 6:33) ඒ වුණත් යේසුස් දුන්න පොරොන්දුව ගැන විශ්වාසය තියලා ඔයා වියදම් අඩු කරගෙන, රස්සාව කරන දවස් ගාණ අඩු කරලා, සේවෙට මුල් තැන දෙනවා. එහෙම කරද්දී දෙවියන් ඔයාව බලාගන්න විදිහ ඔයාටම අද්දකින්න පුළුවන් වෙනවා.

3. යෙහෝවා දෙවියන්ගේ යහපත්කම අද්දකින්න පුළුවන් කාටද? (ගීතාවලිය 16:1, 2)

3 යෙහෝවා දෙවියන් “සියල්ලන්ට” ඒ කියන්නේ ඔහුව දන්නේ නැති අයටත් යහපත් දේවල් දෙනවා. (ගීතා. 145:9; මතෙ. 5:45) හැබැයි යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, මුළු හදවතින්ම ඔහුට සේවය කරන අයට දෙවියන් විශේෂයෙන්ම ආශීර්වාද කරනවා. (ගීතාවලිය 16:1, 2 කියවන්න.) යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන යහපත් දේවල් කීපයක් දැන් අපි බලමු.

4. දෙවියන්ට ළං වෙන්න උත්සාහ කරන අයට ඔහු යහපත්කම පෙන්නලා තියෙන්නේ කොහොමද?

4 අපි යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්න උත්සාහ කරද්දී අපේ ජීවිතය හොඳ අතට හැරෙන විදිහ අපි අද්දැකලා තියෙනවා. උදාහරණෙකට අපි යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගෙන ඔහුට ළං වෙද්දී අපේ වැරදි සිතුවිලි වැරදි පුරුදු වෙනස් කරගන්න ඔහු අපිට උදව් කළා. (කොලො. 1:21) බව්තීස්ම වුණාට පස්සේ ඊටත් වැඩියෙන් ඔහු අපිට ආශීර්වාද කළා. පිරිසිදු හෘදසාක්ෂියක් තියාගන්න, ඔහුගේ කිට්ටු මිතුරෙක් වෙන්න දෙවියන් අපිට උදව් කළා.—1 පේතෘ. 3:21.

5. සේවේදී යෙහෝවා දෙවියන්ගේ යහපත්කම අද්දකින්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

5 අපි සේවේ හවුල් වෙද්දී යෙහෝවා දෙවියන්ගේ යහපත්කම අද්දකින්න අපිට පුළුවන් වෙනවා. අපෙන් හුඟදෙනෙක් අනිත් අයත් එක්ක කතා කරන්න ටිකක් ලැජ්ජයි. ඔයාත් ඒ වගේ කෙනෙක්ද? එහෙනම් හුඟදෙනෙක් වැඩිය අහන්න කැමති නැති පණිවිඩයක් අඳුරන්නේ නැති කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා කියන්න ඔයාට පුළුවන් වෙයි කියලා ඔයා කවදාවත් හිතුවේ නැතුව ඇති. හැබැයි දැන් ඔයා හැම සතියකම ඒ දේ කරනවා. ඒ විතරක් නෙවෙයි ඔයා ඒකෙන් ලොකු සතුටකුත් ලබනවා. තවත් හුඟක් විදිවලින් යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරලා ඇති. උදාහරණෙකට සේවේදී එන විරුද්ධවාදිකම්වලට සන්සුන්ව මුහුණ දෙන්න, උනන්දුව දක්වන කෙනෙක්ට පෙන්නන්න ඕන හරිම බයිබල් පදේ මතක් කරගන්න, පණිවිඩයට එච්චර උනන්දුවක් දක්වන්නේ නැති ප්‍රදේශයක සතුටින් සේවය කරන්න යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරලා ඇති.—යෙරෙ. 20:7-9.

6. යෙහෝවා දෙවියන් අපිට යහපත්කම පෙන්නලා තියෙන තවත් විදිහක් මොකක්ද?

6 සේවය කරන්න අපිව පුහුණු කරන එකෙන් යෙහෝවා දෙවියන් අපිට යහපත්කම පෙන්නලා තියෙනවා. (යොහ. 6:45) සති මැද රැස්වීමේදී මිනිසුන්ගේ හිතට කාවදින විදිහට දේශනා කරන්නේ කොහොමද කියලා අපිට කියලා දෙනවා. මුලදී ඒ යෝජනා අදාළ කරගන්න එක ටිකක් අමාරුයි කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ යෝජනා අපි සේවේදී පාවිච්චි කළාම ඒවා කොච්චර සාර්ථකද කියලා අපිට තේරෙනවා. රැස්වීම්වලදී, සමුළුවලදී අලුත් විදිවලින් සේවේ හවුල් වෙන්න කියලා අපිව දිරිගන්වනවා. මුලදී ඒවාට හුරු වෙන එක අපිට අමාරු වුණත් යෙහෝවා දෙවියන් මත විශ්වාසය තියලා ඒවා කරද්දී ඔහු අපිට ආශීර්වාද කරනවා. අපේ තත්වය මොකක් වුණත් වැඩිපුර සේවයක් කරන්න අපි උත්සාහ කරද්දී යෙහෝවා දෙවියන් අපිට ආශීර්වාද කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඒ වගේම සේවය වැඩි කරන්න අපිට තියාගන්න පුළුවන් ඉලක්ක මොනවාද කියලත් අපි බලමු.

යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන අයට ඔහු ආශීර්වාද කරනවා

7. අපි සේවේ වැඩි කරන්න උත්සාහ කරද්දී යෙහෝවා දෙවියන් ආශීර්වාද කරන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙනවා. බිරිඳත් එක්ක කොලොම්බියාවේ වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන සැමුවෙල්ගේ * අද්දැකීම බලන්න. මේ යුවළ සතුටින් පුරෝගාමි සේවය කරකර හිටියත් ප්‍රචාරකයන් අඩු සභාවකට ගිහිල්ලා සේවය කරන්න එයාලට ලොකු ආසාවක් තිබුණා. හැබැයි ඒක කරන්න එයාලට හුඟක් කැප කිරීම් කරන්න සිද්ධ වුණා. සැමුවෙල් මෙහෙම කියනවා. “අපි මතෙව් 6:33 අදාළ කරගෙන අනවශ්‍ය වියදම් කපලා දැම්මා. හැබැයි අපිට අමාරුම වුණේ අපේ ගේ දාලා යන එක. ඒක හදලා තිබුණේ අපි ආසම විදිහට. ඒකට ගත්ත ලෝන් එකත් අපි ගෙවලයි තිබුණේ.” අලුත් සභාවට ගියාම එයාලගේ වියදම් එයාලා කොච්චර අඩු කරගත්තාද කියනවා නම් කලින් හම්බ කරපු ගාණෙන් 16ක් වගේ පොඩි මුදලකින් ජීවත් වෙන්න එයාලට පුළුවන් වුණා. සැමුවෙල් මෙහෙම කියනවා. “අපේ යාච්ඤාවලට යෙහෝවා දෙවියන් උත්තර දෙන විදිහ, අපිට මඟ පෙන්නන විදිහ, අපිටම අද්දකින්න පුළුවන් වුණා. යෙහෝවා දෙවියන්ගේ ආදරය, සැලකිල්ල අපිට කවදාවත් මේ විදිහට දැනිලා නැහැ.” තවත් වැඩියෙන් සේවය කරන්න ඔයාටත් පුළුවන්ද? එහෙම කරද්දී ඔයා යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙයි. ඔහු අනිවාර්යයෙන්ම ඔයාව බලාගන්නවා කියන එකත් අමතක කරන්න එපා.—ගීතා. 18:25.

8. අයිවන් සහ වික්ටෝරියාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

8 සේවයෙන් ලැබෙන සතුට තවත් වැඩි වෙනවා. කිර්ගිස්තානයේ පුරෝගාමි සේවය කරන අයිවන් සහ වික්ටෝරියාගේ අද්දැකීම බලන්න. එයාලා ඉදි කිරීම් ව්‍යාපෘති වගේ ලැබෙන ඕනම පැවරුමක් භාරගන්න පුළුවන් වෙන විදිහට ජීවිතේ සරල කරගත්තා. අයිවන් මෙහෙම කියනවා. “අපිට ලැබුණ හැම පැවරුමක්ම අපි ගොඩක් මහන්සි වෙලා කළා. දවස ඉවර වෙද්දී හරිම මහන්සියි. හැබැයි අපි හැම දෙයක්ම කළේ යෙහෝවා වෙනුවෙන්නෙ කියලා මතක් වෙද්දී දැනෙන්නේ පුදුම සතුටක්. අපිට අලුත් යාළුවොත් හම්බ වුණා. ලබපු ඒ අද්දැකීම් අපට කවදාවත් අමතක වෙන්නේ නෑ.”—මාක් 10:29, 30.

9. අභියෝග තිබුණත් සහෝදරියක් එයාගේ සේවය වැඩි කරලා තියෙන්නේ කොහොමද? එයාට ලැබුණ ආශීර්වාද මොනවාද?

9 අභියෝග මැද වුණත් යෙහෝවා දෙවියන් වෙනුවෙන් මහන්සි වෙලා සේවය කරන එකෙන් අපිට ලොකු සතුටක් ලබන්න පුළුවන්. මීරා ඉන්නේ බටහිර අප්‍රිකාවේ. එයා මහලු වැන්දඹුවක්. වෛද්‍යවරියක් වුණ මීරා විශ්‍රාම ගියාට පස්සේ පුරෝගාමි සේවය පටන්ගත්තා. ආතරයිටිස් රෝගය දරුණුවට තිබුණ නිසා එයාට ගෙයින් ගෙට සේවය කරන්න පුළුවන් වුණේ පැයක් වගේ ටික වෙලාවක් විතරයි. හැබැයි ඊට වඩා වැඩි වෙලාවක් පොදු සේවය කරන්න එයාට පුළුවන් වුණා. එයාට ගොඩක් නැවත බැලීම් සහ බයිබල් පාඩම් තිබුණා. සමහර බයිබල් පාඩම් එයා කළේ ෆෝන් එකෙන්. වැඩි සේවයක් කරන්න මීරා පෙලඹුණේ ඇයි? “මං යෙහෝවා දෙවියන්ටයි යේසුස්ටයි හුඟක් ආදරෙයි. පුළුවන් උපරිමයෙන් සේවය කරන්න උදව් ඉල්ලලා මං යෙහෝවා දෙවියන්ට හැම දවසකම යාච්ඤා කරනවා” කියලා මීරා කියනවා.—මතෙ. 22:36, 37.

10. 1 පේතෘස් 5:10 කියන විදිහට යෙහෝවා දෙවියන් දෙන්නේ මොකක්ද?

10 අමතර පුහුණුවක් ලැබෙනවා. මුරුසියේ ඉන්න සහෝදර කෙනී සත්‍යය දැනගත්තාට පස්සේ විශ්වවිද්‍යාල ගමන නතර කරලා බව්තීස්ම වෙලා පුරෝගාමි සේවය පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “යෙසායා වගේ මට ලැබෙන ඕනම පැවරුමකදී ‘මම යන්න කැමති මාව යවන්න’ කියලා මම යෙහෝවා දෙවියන්ට කිව්වා.” (යෙසා. 6:8) ගොඩක් ඉදි කිරීම් ව්‍යාපෘතිවල වැඩ කරන්නත් පරිවර්තන වැඩවලට උදව් කරන්නත් කෙනීට අවස්ථාව ලැබුණා. එයාට ලැබුණු පුහුණුව ගැන කෙනීට හිතෙන්නේ මෙහෙමයි. “මගේ පැවරුම් හොඳින් කරන්න පුළුවන් වුණේ මට ලැබුණු පුහුණුව නිසයි. ඒ වගේම මගේ සීමාවන් අඳුරගන්නත් දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්නත් ඒ පුහුණුව උදව් වුණා.” (1 පේතෘස් 5:10 කියවන්න.) ජීවිතේ යම් වෙනස්කම් කරගෙන වැඩි සේවයක් කරන්න ඔයා ඉදිරිපත් වුණොත් ඔයාටත් අමතර පුහුණුවක් දෙන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්.

යුවළක් ප්‍රචාරකයන් අඩු පළාතක සේවය කරනවා. තරුණ සහෝදරියක් නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරන්න හවුල් වෙනවා. මහලු යුවළක් දුරකථනයෙන් සාක්ෂි දරනවා. එයාලා හැමෝම සේවයෙන් ලොකු සතුටක් ලබනවා. (11 ඡේදය බලන්න)

11. දකුණු කොරියාවේ ඉන්න සමහර සහෝදරියන් කළේ මොනවාද? ඒකෙන් ලැබුණු ප්‍රයෝජන මොනවාද? (කවරයේ පින්තූරය බලන්න.)

11 අලුත් විදිවලින් සේවය කරන්න උත්සාහ කරද්දී ඒකට පුහුණුවක් ලැබෙන එක හරිම වැදගත්. අවුරුදු ගාණක් තිස්සේ සේවය කරන අයට වුණත් ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. දකුණු කොරියාවේ එක සභාවක ඉන්න වැඩිමහල්ලන් එයාලගේ සභාවේ අද්දැකීමක් මේ විදිහට ලියලා එවලා තිබුණා. “අසනීප නිසා සේවේ හවුල් වෙන්න බැහැ කියලා හිතපු සමහර අය වීඩියෝ කෝල් අරන් දැන් හොඳට සේවේ හවුල් වෙනවා. අවුරුදු අසූ ගණන්වල ඉන්න සහෝදරියන් තුන්දෙනෙක් කොම්පියුටර් පාවිච්චි කරලා දැන් හැම දවසකම වගේ සේවේ හවුල් වෙනවා.” (ගීතා. 92:14, 15) ඔයාගේ සේවෙත් වැඩි කරලා යෙහෝවා දෙවියන්ගේ යහපත්කම රස බලා දැනගන්න ඔයාත් කැමතිද? ඒ ඉලක්කය ජය ගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන දැන් බලමු.

වැඩි සේවයක් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

12. දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරන අයට ඔහු පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද?

12 යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරන්න පුරුදු වෙන්න. දෙවියන්ව විශ්වාස කරලා උපරිමයෙන් සේවය කරන අයට ඔහු ගොඩක් ආශීර්වාද කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. (මලා. 3:10) ඒ පොරොන්දු ඉටු වෙන විදිහ ජීවිතෙන්ම අද්දැක්ක කෙනෙක් තමයි කොලොම්බියාවේ ඉන්න සහෝදරි ෆාබියෝලා. බව්තීස්ම වුණ ගමන්ම ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගන්න එයාට තිබුණේ ලොකු ආසාවක්. ඒ වුණත් මහත්තයායි දරුවෝ තුන්දෙනායි ජීවත් වුණේ එයාට ලැබෙන පඩියෙන් නිසා ඒ ආසාව ඉටු කරගන්න එයාට බැරි වුණා. හැබැයි විශ්‍රාම ගිය ගමන්ම එයා ඒ ඉලක්කය ජය ගන්න උදව් ඉල්ලලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් පෙන්ෂන් එකක් අනුමත වෙන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි මම ඉල්ලුම් කරලා මාසෙකින් මට පෙන්ෂන් එක හම්බ වුණා. ඒක නම් අදහාගන්නත් බැරි දෙයක්.” විශ්‍රාම අරන් මාස දෙකකට විතර පස්සේ එයා පුරෝගාමි සේවය පටන්ගත්තා. දැන් හැත්තෑ ගණන්වල ඉන්න ෆාබියෝලා අවුරුදු 20කටත් වඩා වැඩියෙන් පුරෝගාමි සේවය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අටදෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්නත් එයාට පුළුවන් වුණා. “සමහර දවස්වලට මට ගොඩක් මහන්සියි. ඒත් මගේ කාලසටහනේ විදිහට හැම දවසකම සේවය කරන්න යෙහෝවා දෙවියන් මට උදව් කරනවා” කියලා මේ මහලු සහෝදරිය කියනවා.

ආබ්‍රහම් සහ සාරා, යාකොබ්, යොර්දාන් ගඟ හරහා ගිය පූජකයන් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කළේ කොහොමද? (13 ඡේදය බලන්න)

13-14. වැඩිපුර සේවයක් කරන්න අපිට උදව් වෙන ආදර්ශ මොනවාද?

13 යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරපු අයව ආදර්ශයට ගන්න. යෙහෝවා දෙවියන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. ඒ අයගෙන් වැඩිදෙනෙක්ට යෙහෝවා දෙවියන් ආශීර්වාද කළේ එයාලා යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා මුල් පියවර ගත්තාට පස්සේ. උදාහරණෙකට යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට ආශීර්වාද කළේ එයා ‘තමන් කොතැනට යනවාද කියලවත් නොදැන’ ගෙවල් දොරවල් අත්හැරලා ආවාට පස්සෙයි. (හෙබ්‍රෙ. 11:8) යාකොබ්ට විශේෂ ආශීර්වාද ලැබුණේ එයා මුළු රැයක් පුරාම දේවදූතයෙක් එක්ක පොරබැද්දාට පස්සෙයි. (උත්. 32:24-30) ඒ වගේම පොරොන්දු දේශය ළඟටම ඇවිල්ලා හිටපු ඊශ්‍රායෙල්වරුන්ට යොර්දාන් ගඟ හරහා යන්න පුළුවන් විදිහට වතුර පාර නැවතුණේ පූජකයන් යොර්දාන් ගඟට අඩිය තිබ්බාට පස්සෙයි.—යොෂු. 3:14-16.

14 යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා සේවේ තවත් වැඩි කරපු අපේ සහෝදර සහෝදරියන්ගෙනුත් ඔයාට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. සහෝදර පේටන් සහ එයාගේ බිරිඳ ඩයනා දෙවියන්ට කැමැත්තෙන්ම වැඩි සේවයක් කරපු අයගේ අද්දැකීම් කියෙව්වා. උදාහරණෙකට “ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා” * කියන ලිපි මාලාව එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. පේටන් මෙහෙම කියනවා. “ඒ අද්දැකීම් කියවන කොට අපිට දැනුණේ කවුරු හරි රස කෑමක් කන දිහා අපි බලාගෙන ඉන්නවා වගේ. ඒ අද්දැකීම් කියවන්න කියවන්න ‘යෙහෝවා දෙවියන් යහපත් බව රස බලා දැනගන්න’ අපිට තිබ්බ ආසාව තවත් වැඩි වුණා.” වැඩි කල් යන්න කලින් පේටන් සහ ඩයනා ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහිල්ලා සේවය කරන්න පටන්ගත්තා. ඔයාත් ‘ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා’ කියන ලිපි මාලාව කියවලා තියෙනවාද? jw.org වෙබ් අඩවියේ තියන ‘හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - ඕස්ට්‍රේලියාව’ සහ ‘හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - අයර්ලන්තය’ කියන වීඩියෝ ඔයා බලලා තියෙනවාද? ඔයාගේ සේවය තවත් වැඩි කරන්න ඒවා ඔයාට හුඟක් උදව් වෙයි.

15. හොඳ යාළුවෝ ඉන්න එක වැදගත් ඇයි?

15 හොඳ යාළුවන්ව තෝරගන්න. අපි කාලා නැති කෑමක් අනිත් අය රසයි කියලා කියද්දී ඒක කන්න අපිටත් ආස හිතෙනවා. ඒ වගේ යෙහෝවා දෙවියන්ට සේවය කරන එකට ජීවිතයේ මුල් තැන දීලා තියෙන අයව අපි අපේ යාළුවෝ කරගන්නවා නම් යෙහෝවා දෙවියන්ට කරන සේවය තව වැඩි කරන්න අපිටත් ආස හිතෙයි. ඒක ඇත්ත කියලා කෙන්ට් සහ වෙරෝනිකාගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. කෙන්ට් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන්ට මුල් තැන දුන්න අපේ යාළුවෝ, පවුලේ අය අලුත් විදිවලින් සේවේ කරන්න කියලා අපිව නිතරම දිරිගැන්නුවා. ඒ නිසා අපි කවදාවත් කරලා තිබුණේ නැති විදිවලින් සේවේ කරන්න අපිට ආස හිතුණා.” කෙන්ට් සහ වෙරෝනිකා දැන් සර්බියාවේ විශේෂ පුරෝගාමි සේවය කරනවා.

16. මෝඩ ධනවතාගේ උපමාවට අනුව අපි කැප කිරීම් කරන්න කැමැත්තෙන් ඉන්න ඕනෙ ඇයි?

16 කැප කිරීම් කරන්න. අපි යෙහෝවා දෙවියන් වෙනුවෙන් අපිට තියන හැම දේම අත්හරින්න ඕනෙ නැහැ. (දේශ. 5:19, 20) හැබැයි කැප කිරීම් කරන්න තියෙන අකමැත්ත නිසා යෙහෝවා දෙවියන්ට වැඩියෙන් සේවය කරන්න තියෙන අවස්ථා අපි මඟහරිනවා නම් යේසුස් කියපු උපමාවේ ඉන්න ධනවතා කරපු වැරැද්දම අපේ අතිනුත් වෙන්න පුළුවන්. සැප පහසු ජීවිතයක් ගත කරන්න තිබුණු ආසාව නිසා එයා යෙහෝවා දෙවියන්ව ජීවිතයේ දෙවෙනි තැනට දැම්මා. (ලූක් 12:16-21 කියවන්න.) ප්‍රංශයේ ජීවත් වෙන සහෝදර ක්‍රිස්ටියන් මෙහෙම කියනවා. “ඒ කාලේ මගේ රස්සාව නිසා යෙහෝවා දෙවියන්ටයි මගේ පවුලේ අයටයි මං හරියට කාලේ දුන්නේ නැහැ.” හොඳට හිතලා බැලුවාට පස්සේ එයායි එයාගේ බිරිඳයි පුරෝගාමි සේවය කරන්න තීරණය කළා. හැබැයි ඒක කරන්න නම් එයාලා දෙන්නාටම එයාලගේ රස්සාවෙන් අයින් වෙන්න සිද්ධ වුණා. ජීවත් වෙන්න සල්ලි හොයාගන්න එයාලා පොඩි පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් පටන්ගත්තා. කලින් තරම් සල්ලි හම්බ වුණේ නැතත් ලැබෙන ගාණෙන් ජීවත් වෙන්න එයාලා පුරුදු වුණා. කරපු කැප කිරීම් ගැන එයාලා දුක් වුණාද? ක්‍රිස්ටියන් ඒ ගැන මෙහෙම කියනවා. “අපේ පාඩම්, නැවත බැලීම් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්නවා දකිද්දී අපි අපේ උපරිමයෙන්ම දෙවියන්ට සේවය කරනවා කියලා දැනෙද්දී අපිට දැනෙන සතුට වචනෙන් විස්තර කරන්න බෑ.”

17. අලුත් විදිවලින් සේවේ කරන්න අපි අදිමදි කරන්න ඉඩ තියෙන්නේ ඇයි?

17 අලුත් විදිවලින් සේවයේ රස බලන්න. (ක්‍රියා 17:16, 17; 20:20, 21) අපි හැමෝටම වගේ ඇමරිකාවේ පුරෝගාමි සේවය කරන ෂර්ලීටත් කොරෝනා වසංගතේ නිසා එයා සේවේ කරකර හිටපු විදිහ වෙනස් කරන්න සිද්ධ වුණා. මුලදී දුරකථනය හරහා සාක්ෂි දරන්න එයා අදිමදි කළා. හැබැයි චාරිකා සතියේදී ඒක කරන්න පුහුණුවක් ලැබුණාට පස්සේ එයා දිගටම ඒ විදිහට සාක්ෂි දරුවා. එයා මෙහෙම කියනවා. “මුලදී මං ෆෝන් එකෙන් සාක්ෂි දරන්න ගොඩක් බය වුණා. හැබැයි දැන් මං ඒකට හුඟක් ආසයි. මේ ක්‍රමය නිසා ඉස්සරටත් වඩා වැඩියෙන් අනිත් අයට ශුභාරංචිය කියන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.”

18. සේවය වැඩි කරන එක අභියෝගයක් වෙද්දී අපිට උදව් වෙන්නේ මොකක්ද?

18 සැලැස්මක් හදලා ඒකට අනුව වැඩ කරන්න. අභියෝගවලට මුහුණ දෙද්දී උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. ඒවා ජය ගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. (හිතෝ. 3:21) යුරෝපයේ රෝමනි භාෂාව කතා කරන කණ්ඩායමක ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවය කරන සෝනියා මෙහෙම කියනවා. “මගේ ඉලක්ක මං කොළයක ලියලා ඒක පේන තැනක අලවගන්නවා. ඒ වගේම පාරක් දෙකට බෙදිලා යන පින්තූරයක් මගේ කණ්ණාඩි මේසේ උඩ තියෙනවා. මං ගන්න තීරණ මගේ ඉලක්කවලට යන පාරේ යන්න මට උදව් වෙයිද කියලා ඒක දිහා බලලා මං හිතනවා. අභියෝග එද්දී මං උත්සාහ කරන්නේ ඒක බාධාවක් වෙන තාප්පයක් කියලා හිතන්නේ නැතුව මගේ ඉලක්කවලට යන්න උදව් වෙන පාලමක් කියලා හිතන්න.”

19. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

19 යෙහෝවා දෙවියන් අපිට හුඟක් ආශීර්වාද කරලා තියෙනවා. ඔහුට ප්‍රශංසාවක්, ගෞරවයක් ගේන විදිහට වැඩ කරන්න අපි උපරිමය කරද්දී දෙවියන් අප වෙනුවෙන් කරලා තියෙන දේවල් කොච්චර අගය කරනවාද කියලා පෙන්නන්න පුළුවන්. (හෙබ්‍රෙ. 13:15) ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි අලුත් විදිවලින් අපේ සේවය වැඩි කරන්න උත්සාහ කරන එක. ඒ නිසා හැම දවසකම “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න. එතකොට යේසුස් වගේ, “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි” කියලා කියන්න ඔයාටත් පුළුවන් වෙයි.—යොහ. 4:34.

ගීතිකාව 80 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

^ 5 ඡේ. හැම යහපත් දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන්. ඔහු හැම කෙනෙක්ටම, දුෂ්ට අයට පවා යහපත් දේවල් දෙන්න කැමතියි. හැබැයි විශේෂයෙන්ම ඔහුගේ සේවකයන්ට යහපත් දේවල් දෙන්න ඔහු ආසයි. යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට ඔහු ලබා දෙන හොඳ දේවල් මොනවාද? වැඩි සේවයක් කරන්න උත්සාහ කරන අයට විශේෂ විදිවලින් යෙහෝවා දෙවියන්ගේ යහපත්කම අද්දකින්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 7 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 14 ඡේ. කලින් ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණු මේ ලිපි මාලාව දැන් jw.org වෙබ් අඩවියේ පළ වෙනවා. අපි ගැන > අද්දැකීම් > ඉලක්ක ජය ගැනීම යටතේ බලන්න.