Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 37

“මම සියලු ජාතීන්ව සොලවන්නෙමි”

“මම සියලු ජාතීන්ව සොලවන්නෙමි”

“මම සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි.”—හග්. 2:7.

ගීතිකාව 24 එන්න දෙවිගේ කන්දට

මේ ලිපියෙන් *

1-2. අපේ කාලේ සිද්ධ වෙන්නේ හග්ගයි කියපු මොන අනාවැකියද?

“බලාගෙන ඉද්දිම වටේපිටේ තිබුණ බිල්ඩින් කඩාගෙන වැටුණා.” “මිනිස්සු හොඳටම කලබල වුණා. හුඟක් අය කිව්වේ භූමිකම්පාව තිබුණේ විනාඩි දෙකයි කියලා. හැබැයි මට නං දැනුණේ පැය ගාණක් ගියා වගේ.” එහෙම කිව්වේ 2015දී නේපාලයේ ඇති වුණ භූමිකම්පාවෙන් බේරුණ දෙන්නෙක්. ඔයාත් ඒ වගේ භයානක දේකට මුහුණ දුන්නා නම් කවදාවත් ඒක ඔයාට අමතක වෙන එකක් නැහැ.

2 සාමාන්‍යයෙන් භූමිකම්පාවකදී වෙන සෙලවීම බලපාන්නේ එක ප්‍රදේශයකට නැත්නම් එක රටකට විතරයි. හැබැයි හග්ගයිගේ අනාවැකියේ කියන සෙලවීම මුළු ලෝකයටම බලපානවා. ඒ වගේම ඒක මේ වෙද්දී දශක ගාණක් තිස්සේ සිද්ධ වෙනවා. අනාගතවක්තෘ හග්ගයි ඒ ගැන මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘තව කෙටි කලකින් මම නැවත වරක් අහසත් පොළොවත් මුහුදත් ගොඩබිමත් සොලවන්නෙමි.’”—හග්. 2:6.

3. හග්ගයිගේ අනාවැකියේ කියපු සෙලවීමයි භූමිකම්පාවකයි අතර තියෙන වෙනස මොකක්ද?

3 සාමාන්‍යයෙන් භූමිකම්පාවකදී සිද්ධ වෙන්නේ විනාශයක් විතරයි. හැබැයි හග්ගයිගේ අනාවැකියේ කියලා තියෙන සෙලවීමෙන් හොඳ දේවලුත් වෙනවා. ඒ ගැන යෙහෝවා දෙවියන් කිව්වේ, “මම සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි. ඒ කාලයේදී මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි” කියලයි. (හග්. 2:7) ඒ අනාවැකිය හග්ගයිගේ කාලෙදි ඉටු වුණේ කොහොමද? ඒක අපේ කාලෙදි ඉටු වෙන්නේ කොහොමද? ජාතීන් සොලවන වැඩේට අපිට හවුල් වෙන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැන් අපි බලමු.

හග්ගයිගේ කාලේ හිටපු අයට දිරිගන්වන පණිවිඩයක්

4. යෙහෝවා දෙවියන් හග්ගයි මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ව දිරිගැන්නුවේ ඇයි?

4 ක්‍රි.පූ. 537දී බැබිලෝනියේ ඉඳලා යුදෙව්වන් කණ්ඩායමක් යෙරුසලමට ආවා. පේන විදිහට එයාලා අතර හග්ගයිත් ඉන්න ඇති. ඇවිල්ලා ටික කාලෙකට පස්සේ ඒ සෙනඟ හරිම උද්‍යෝගයෙන් දේවමාලිගාව ගොඩනඟන්න පටන්ගත්තා. (එස්රා 3:8, 10) හැබැයි වැඩි කල් යන්න කලින් අවට ජාතීන්ගෙන් ආපු විරුද්ධවාදිකම් නිසා එයාලා අධෛර්යය වෙලා ඉදි කිරීමේ වැඩ නතර කළා. (එස්රා 4:4; හග්. 1:1, 2) ඉතින් දේවමාලිගාව හදලා ඉවර කරන වැඩේට සෙනඟව දිරිගන්වන්න, එයාලගේ උද්‍යෝගය තවත් වැඩි කරන්න ක්‍රි.පූ. 520දී යෙහෝවා දෙවියන් හග්ගයිව යැව්වා. *එස්රා 6:14, 15.

5. හග්ගයි කියපු පණිවිඩය සෙනඟට ලොකු දිරිගැන්වීමක් වුණේ ඇයි?

5 හග්ගයි කියපු පණිවිඩය නිසා යුදෙව්වන්ට යෙහෝවා දෙවියන් ගැන තිබුණ විශ්වාසය තවත් වැඩි වුණා. අධෛර්යය වෙලා හිටපු සෙනඟට හග්ගයි මෙහෙම කිව්වා. “‘දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වී දැන් වැඩ පටන්ගන්න’ කියා යෙහෝවා දෙවි පවසන්නේය. ‘මන්ද මම ඔබ සමඟ සිට ඔබට උපකාර කරන්නෙමි’ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි කියන්නේය.” (හග්. 2:4) “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි” කියන වචන ඇහෙද්දිම යුදෙව්වන්ගේ බිය සැක දුරු වෙලා යන්න ඇති. මොකද ඒකෙන් එයාලට මතක් වුණා යෙහෝවා දෙවියන් යටතේ ගණන් කරන්න බැරි තරම් ලොකු දේවදූත සේනාවක් ඉන්නවා කියලා. දේවමාලිගාවේ වැඩ සාර්ථකව කරන්න නම් එයාලට යෙහෝවා දෙවියන්ගේ උදව් නැතුවම බැහැ කියලත් එයාලා තේරුම්ගත්තා.

6. හග්ගයි කියපු අනාවැකිය නිසා වුණේ මොනවාද?

6 හග්ගයි මාර්ගයෙන් කියපු අනාවැකියෙන් යෙහෝවා දෙවියන් කිව්වා ඔහු සියලු ජාතීන්ව සොලවනවා කියලා. ඒකෙන් දේවමාලිගාව ගොඩනඟපු අය තේරුම්ගත්තා ගොඩක් ජාතීන් යටත් කරගෙන හිටපු පර්සියානු අධිරාජ්‍යය යෙහෝවා දෙවියන් සොලවන්න යනවා කියලා. ඒ සෙලවීම නිසා මොකක්ද වෙන්න යන්නේ? මුලින්ම දෙවියන්ගේ සෙනඟට දේවමාලිගාව හදලා ඉවර කරන්න පුළුවන් වෙනවා. ඊළඟට යුදෙව් නොවන අයත් යුදෙව්වන් එක්ක එකතු වෙලා අලුතෙන් හදපු දේවමාලිගාවේ යෙහෝවාට නමස්කාර කරන්න යනවා. ඒ පණිවිඩය නිසා සෙනඟ මොන තරම් දිරිගැන්වෙන්න ඇද්ද!—සෙක. 8:9.

අපේ කාලෙදි ඉටු වෙන විදිහ

මේ කාලේ සිද්ධ වෙන ජාතීන්ව සොලවන වැඩේට ඔයා උපරිමයෙන් හවුල් වෙනවාද? (7 සහ 8 ඡේද බලන්න) *

7. ජාතීන් සොලවන වැඩේට අපිට හවුල් වෙන්න පුළුවන් කොහොමද? පැහැදිලි කරන්න.

7 හග්ගයි කියපු අනාවැකිය අපේ කාලෙදි ඉටු වෙන්නේ කොහොමද? ආයෙත් වතාවක් යෙහෝවා දෙවියන් සියලු ජාතීන්ව සොලවනවා. මේ වතාවේ අපිත් ඒකට හවුල් වෙනවා. 1914දී වුණ දේ ගැන පොඩ්ඩක් හිතන්න. ඒ අවුරුද්දේ යෙහෝවා දෙවියන් යේසුස් ක්‍රිස්තුස්ව ස්වර්ගයේ රජ විදිහට පත් කළා. (ගීතා. 2:6) ඒක පොළොවේ හිටපු පාලකයන්ට නරක ආරංචියක් වුණා. මොකද දේවරාජ්‍යය පිහිටුවනවාත් එක්කම “ජාතීන් සඳහා නියමිත වූ කාලය” ඒ කියන්නේ යෙහෝවා දෙවියන්ව නියෝජනය කරන පාලකයෙක් මේ පොළොවේ නොහිටපු කාලය අවසන් වුණා. (ලූක් 21:24) ඒක තේරුම්ගත්ත දෙවියන්ගේ සෙනඟ විශේෂයෙන්ම 1919 ඉඳලා “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය” පොළොව පුරාම දේශනා කරනවා. (මතෙ. 24:14) මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ගේන්න පුළුවන් දේවරාජ්‍යයෙන් විතරයි කියලා එයාලා හැමෝටම දැනුම් දෙනවා. මේ දේශනා කිරීමේ වැඩේ නිසා මුළු පොළොවම සෙලවෙනවා කියලා කියන්න පුළුවන්.

8. ගීතාවලිය 2:1-3 අනුව හුඟක් අය ඒ පණිවිඩයට ප්‍රතිචාරය දක්වලා තියෙන්නේ කොහොමද?

8 හුඟක් අය දේවරාජ්‍යය ගැන කියන පණිවිඩය ප්‍රතික්ෂේප කරනවා. බයිබලේ කියන්නේ ඒ පණිවිඩය නිසා සියලු ජාතීන් කැලඹෙනවා කියලයි. (ගීතාවලිය 2:1-3 කියවන්න.) යෙහෝවා දෙවියන් පත් කරපු පාලකයාව පිළිගන්න එයාලා කැමැති නැති නිසා දේවරාජ්‍යය ගැන කියන පණිවිඩය එයාලට ‘ශුභාරංචියක්’ නෙවෙයි. අපේ පණිවිඩයට එයාලා කොච්චර අකමැතිද කියනවා නම් සමහර ආණ්ඩු දේශනා සේවය තහනම් කරලා තියෙනවා. ඒ පාලකයන් දෙවියන්ට සේවය කරනවා කියලා කිව්වත් දෙවියන් පත් කරපු රජට යටත් වෙලා එයාලගේ බලය, තනතුරු අත්හරින්න පොඩ්ඩක්වත් කැමති නැහැ. එයාලත් වැඩ කරන්නේ යේසුස්ගේ කාලේ හිටපු පාලකයන් වගේමයි. ඒ පාලකයන් යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා කරලා යෙහෝවා පත් කරපු රජ වන යේසුස්ට විරුද්ධව කැරලිගහනවා.—ක්‍රියා 4:25-28.

9. දේවරාජ්‍යයේ පණිවිඩය පිළිගන්නේ නැති අයට දෙවියන් අවස්ථාව දීලා තියෙන්නේ මොනවා කරන්නද?

9 යෙහෝවා පොළොවේ පාලකයන්ට මෙහෙම කියනවා. “රජවරුනි, අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න. පොළොවේ විනිශ්චයකරුවෙනි, මෙයින් පාඩමක් ඉගෙනගන්න. ගරුබිය ඇතුව යෙහෝවා දෙවිට සේවය කරන්න. ඔහුට ගැඹුරු ගෞරවය දැක්වීමෙන් ප්‍රීතිය ලබන්න. දෙවිව කෝප නොකරන පිණිසද ඔබ විනාශ නොවන පිණිසද ඔහුගේ පුත්‍රයාව පිළිගන්න. මන්ද ඔහුගේ උදහස වහා ඇවිළෙන්නේය. ඔහුගේ රැකවරණය සොයා එය ලබාගන්නෝ සන්තෝෂවත්ය.” (ගීතා. 2:10-12) පණිවිඩය පිළිගන්නේ නැති අයට දේවරාජ්‍යයට යටත් වෙන්න යෙහෝවා දෙවියන් කාලය දීලා තියෙනවා. හැබැයි අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” නිසා ඒකට තව වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. (2 තිමෝ. 3:1; යෙසා. 61:2) හැම කෙනෙක්ම සත්‍යය දැනගෙන යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න දැන්ම තීරණය කරන එක හරිම වැදගත්.

පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක්

10. හග්ගයි 2:7-9 කියන විදිහට පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙන්නේ කොහොමද?

10 අපේ පණිවිඩයට සමහර අය හොඳ ප්‍රතිචාරයක් දක්වනවා කියලා හග්ගයිගේ අනාවැකියේ සඳහන් වෙනවා. හග්ගයි කිව්වා යෙහෝවා දෙවියන් ‘සියලු ජාතීන්ව සොලවලා ඔවුන්ගේ වටිනා වස්තු’ ඒ කියන්නේ අවංක හදවත් තියෙන මිනිසුන්ව දෙවියන්ට නමස්කාර කරන්න රැස් කරනවා කියලා. * (හග්ගයි 2:7-9 කියවන්න.) හග්ගයි විතරක් නෙවෙයි “අවසාන කාලයේදී” ඒ වගේ දෙයක් වෙනවා කියලා යෙහෝවා යෙසායා සහ මීකා මාර්ගයෙනුත් කියලා තියෙනවා.—යෙසා. 2:2-4; මීකා 4:1, 2.

11. අපේ සහෝදරයෙක් මුලින්ම සත්‍ය පණිවිඩය අහපු වෙලාවේ කළේ මොනවාද?

11 ලෝක මූලස්ථානයේ සේවය කරන සහෝදර කෙන්ගේ අද්දැකීම බලන්න. මීට අවුරුදු 40කට විතර කලින් මුලින්ම සත්‍ය පණිවිඩය අහන්න ලැබුණාම එයාට දැනුණ විදිහ ගැන එයාට අද වගේ මතකයි. ඒ ගැන එයා කියන්නේ මෙහෙමයි. “මුලින්ම සත්‍ය පණිවිඩය අහපු වෙලාවේ මං දැනගත්තා අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියලා. මේ දුෂ්ට සමාජය තව වැඩි කල් තියෙන්නේ නෑ කියලා දැනගත්තාම මට දැනුණේ පුදුම සහනයක්. යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න නම් විනාශ වෙන්න යන මේ ලෝකෙන් ඈත් වෙලා ඔහුගේ පැත්ත ගන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා. ඒ නිසා මං යාච්ඤා කරලා ඉක්මනින්ම ජීවිතේ වෙනස් කරගන්න පටන්ගත්තා. මට ඇත්තටම ආරක්ෂාව ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් විතරයි කියන එක ගැන මට කිසිම සැකයක් තිබුණේ නැහැ.”

12. අවසාන කාලෙදි දෙවියන්ගේ සංකේතවත් දේවමාලිගාව තේජසින් පිරිලා තියෙන්නේ කොහොමද?

12 යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරලා තියෙනවා. මේ අවසාන කාලෙදි ඔහුට නමස්කාර කරන්න එකතු වෙන අයගේ ගණන දවසින් දවස වැඩි වෙන විදිහෙන් ඒක පැහැදිලි වෙනවා. 1914දී යෙහෝවා දෙවියන්ට නමස්කාර කළේ 5,100ක් වගේ හරිම පොඩි පිරිසක්. ඒත් අද ඒ ගාණ ලක්ෂ 80ත් පන්නලා. ඒ විතරක් නෙවෙයි හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරන්න තව මිලියන ගාණක් අපිත් එක්ක එකතු වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවියන්ට නමස්කාර කරන්න ඉස්සරහට තවත් අය එකතු වෙනවා කියන එකයි. සංකේතවත් දේවමාලිගාවේ පිටත මළුව ‘සියලු ජාතීන්ගේ වටිනා වස්තුවලින්’ පිරී ඉතිරී ගිහින් තියෙනවා. වෙන විදිහකින් කියනවා නම් දෙවියන්ට නමස්කාර කරන්න ඇති කරලා තියෙන සැලැස්මට පොළොවේ ඉඳන් සහයෝගය දක්වන අයගේ ගණන එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. ඒ අය අලුත් පෞද්ගලිකත්වය පැළඳගද්දී ඒ කියන්නේ බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවිතය වෙනස් කරගද්දී යෙහෝවා දෙවියන්ගේ නමටත් ලොකු ප්‍රශංසාවක් ලැබෙනවා.—එෆී. 4:22-24.

ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟ දේවරාජ්‍යය ගැන සතුටින් දේශනා කරනවා (13 ඡේදය බලන්න)

13. මේ කාලෙදි ඉටු වෙන තවත් අනාවැකි මොනවාද? (කවරයේ පින්තූරය බලන්න.)

13 යෙහෝවා දෙවියන්ගේ සෙනඟ එන්න එන්නම වැඩි වෙන නිසා ඒකෙන් තවත් අනාවැකි ඉටු වෙනවා. යෙසායා 60 තියෙන අනාවැකිය ඒකට එක උදාහරණයක්. යෙසායා 60:22 මෙහෙම කියනවා. “කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි. යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි.” ඒ පදයේ කියන විදිහට දහස් ගණනක් දෙවියන්ගේ සංවිධානයට එකතු වෙනවා. “වටිනා වස්තු” විදිහට හඳුන්වන ඒ අය, ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ උද්‍යෝගයෙන් දේශනා කරන්න එයාලට තියෙන හැකියාවන්, දක්ෂතාවයන් පාවිච්චි කරනවා. එහෙම කරද්දී “ඔබ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය” කියලා යෙසායා කියපු අනාවැකියත් ඉටු වෙනවා. (යෙසා. 60:5, 16) ඒ අයගේ උදව්වෙන් රටවල් සහ ප්‍රදේශ 240ක විතර දේශනා කරන්නත් භාෂා 1,000කටත් වැඩියෙන් ප්‍රකාශන පරිවර්තනය කරන්නත් පුළුවන් වෙලා තියෙනවා.

වැදගත් තීරණයක්

14. හැමෝම ගන්න ඕන වැදගත් තීරණය මොකක්ද?

14 මේ අවසාන කාලේ වෙන ජාතීන්ගේ සෙලවීම නිසා හැම කෙනෙක්ටම ගොඩක් වැදගත් තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒ තමයි එයාලා දෙවියන්ගේ රාජ්‍යයට සහයෝගය දෙනවාද නැත්නම් මේ ලෝකේ පාලකයන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවාද කියන තීරණය. යෙහෝවාගේ සේවකයන් එයාලා ජීවත්වන රටේ නීතිරීතිවලට, බලධාරීන්ට කීකරු වුණත් කිසිම විදිහකින් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. (රෝම 13:1-7) මොකද එයාලා දන්නවා මිනිසුන්ගේ ප්‍රශ්න ඇත්තටම විසඳන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා. ඒ රාජ්‍යය මේ ලෝකෙට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.—යොහ. 18:36, 37.

15. එළිදරව් පොතේ කියන විදිහට ළඟදීම අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන්නේ කොහොමද?

15 අවසාන කාලෙදි දෙවියන්ගේ සෙනඟගේ විශ්වාසවන්තකම සෝදිසියට ලක් වෙනවා කියලා එළිදරව් පොතේ පෙන්නලා තියෙනවා. ඒ කාලෙදි අපිට දරුණු පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මොකද ලෝකේ පාලකයන් ළඟදීම එයාලගේ පැත්ත ගන්න කියලා අපිට බල කරනවා. ඒකට කීකරු වෙන්නේ නැති හැම දෙනාටම ඒගොල්ලෝ දරුණු විදිහට පීඩා කරනවා. (එළි. 13:12, 15) “ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස හා නිර්දාසයන් යන සියලු තරාතිරම්වල මිනිසුන් තම දකුණතෙහි හෝ තම නළලෙහි සලකුණක් දමාගත යුතුයි කියා ඌ ඒ සියලුදෙනාට බල කරන්නේය” කියලත් බයිබලේ කියනවා. (එළි. 13:16) අතීතයේ හිටපු වහලුන් අයිති කාටද කියලා අඳුරගන්න එයාලගේ ඇඟේ ලකුණක් දැම්මා. ඒ වගේ අදත් අපේ අතේ හරි නළලේ හරි ලකුණක් දාගන්න මේ ලෝකේ පාලකයන් බල කරනවා කියලා එළිදරව් පොතේ කියනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි හිතන විදිහෙන් සහ වැඩ කරන විදිහෙන් අපි ඉන්නේ එයාලගේ පැත්තේ කියලා පෙන්නන එක එයාලා බලාපොරොත්තු වෙනවා කියන එකයි.

16. යෙහෝවා දෙවියන්ගේ පැත්ත ගන්න අපි දැන් ඉඳන්ම අධිෂ්ඨාන කරගන්න ඕනෙ ඇයි?

16 ළඟදීම ආණ්ඩුවලට පක්ෂයි කියන එක පෙන්නන සංකේතවත් ලකුණ දාගන්න කියලා පාලකයන් අපිට බල කරද්දී අපි මොනවාද කරන්නේ? ඒකට කීකරු වෙන්නේ නැති අයට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මොකද එළිදරව් පොතේ ඒ ගැන කියන්නේ ‘ඒ සලකුණ ඇති කෙනෙකුට මිස වෙන කිසිවෙකුට කිසිවක් මිලදී ගැනීමටවත් විකිණීමටවත් හැකියාවක් ලැබෙන්නේ නැත’ කියලා. (එළි. 13:17) හැබැයි දෙවියන් ඒ ලකුණ දාගෙන ඉන්න අයට කරන්න යන්නේ මොකක්ද කියලා එළිදරව් 14:9, 10 කියලා තියෙනවා. ඒ නිසා දෙවියන්ගේ සෙනඟ මෘගයාගේ ලකුණ දාගන්නවා වෙනුවට “මා යෙහෝවා දෙවිට අයිතිය” කියලා එයාලගේ අත්වල ලියාගන්න යනවා. (යෙසා. 44:5) ඒකෙන් පැහැදිලියි අපි දැන් ඉඳන්ම යෙහෝවා දෙවියන්ගේ පැත්ත ගන්න අධිෂ්ඨාන කරගන්න ඕනෙ කියලා. අපි එහෙම කරනවා නම් යෙහෝවා දෙවියනුත් අපි අයිති ඔහුටයි කියලා ආඩම්බරයෙන් කියයි.

අවසාන වතාවට ජාතීන්ව සොලවයි

17. අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

17 මෙච්චර කාලයක් යෙහෝවා දෙවියන් ඉවසීමෙන් බලාගෙන ඉන්නේ කවුරුත් විනාශ වෙනවාට ඔහු කැමති නැති නිසයි. (2 පේතෘ. 3:9) දෙවියන් හැමෝටම පසුතැවිලි වෙලා ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. හැබැයි ඒ අවස්ථාව හැමදාටම තියෙන්න යන්නේ නැහැ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැති අයට වෙන්නෙත් මෝසෙස්ගේ කාලේ හිටපු පාරාවෝට වුණ දේමයි. යෙහෝවා දෙවියන් පාරාවෝට මෙහෙම කිව්වා. “ඔබටත් ඔබේ සෙනඟටත් වසංගතයකින් පහර දී මේ පොළෝතලයෙන් ඔබව නැත්තටම නැති කර දමන්න මට හැකිකම තිබිණ. නමුත් මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.” (නික්. 9:15, 16) යෙහෝවා තමයි එකම සැබෑ දෙවියන් කියලා එදාට හැම කෙනෙක්ම දැනගනියි. (එස. 38:23) ඒක සිද්ධ වෙන්නේ කොහොමද?

18. (අ) ජාතීන්ව තවත් වතාවක් සොලවන්න යන්නේ කොහොමද? (හග්ගයි 2:6, 20-22) (ආ) හග්ගයිගේ අනාවැකියට තවත් ඉටුවීමක් තියෙනවා කියලා අපි දන්නේ කොහොමද?

18 හග්ගයි 2:6, 20-22 සඳහන් දේවලට අනාගතයේදීත් ඉටුවීමක් තියෙනවා කියලා පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ පැහැදිලි කළා. (කියවන්න.) පාවුල් මෙහෙම ලිව්වා. “නමුත් දැන් ඔහු, ‘මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි’ යන පොරොන්දුව දී ඇත. ‘නැවත වරක්’ කියා පැවසීමෙන් අදහස් කරන්නේ දෙදරුම් කන්නේ නැති දේවල් පැවතීම සඳහා දෙදරුම් කන දේවල් එනම්, දෙවි නොසෑදූ දේවල් ඉවත් කරනු ලබන බවය.” (හෙබ්‍රෙ. 12:26, 27) හග්ගයි 2:7 තියෙන අනාවැකියට වඩා හග්ගයි 2:20-22 තියෙන අනාවැකිය ගොඩක් වෙනස්. ඒ දෙදරුම් කෑමේදී පාරාවෝ වගේ දෙවියන්ව ප්‍රතික්ෂේප කරන අයව දෙවියන් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න යනවා.

19. කවදාවත් සොලවන්න බැරි දේ මොකක්ද? එහෙම කියන්න පුළුවන් ඇයි?

19 කවදාවත් සොලවන්න බැරි දේ මොකක්ද කියලා පාවුල් මෙහෙම පැහැදිලි කළා. “ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.” (හෙබ්‍රෙ. 12:28) දෙවියන් කරන්න යන අවසාන සෙලවීමෙන් පස්සේ ඉතුරු වෙන්නේ දේවරාජ්‍යය විතරයි. ඒක කවදාවත් විනාශ වෙන්නේ නැහැ.—ගීතා. 110:5, 6; දානි. 2:44.

20. හැම කෙනෙක්ම ගන්න ඕනෙ මොන තීරණයද? එයාලට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

20 විනාශය එන්න තව වැඩි කාලයක් නැහැ. දිගටම මේ ලෝකේ කොටසක් වෙලා ඉඳලා විනාශ වෙනවාද නැත්නම් දෙවියන් කැමති විදිහට ජීවිතේ වෙනස් කරගෙන සදහටම ජීවත් වෙනවාද කියන එක හැම කෙනෙක්ම ගන්න ඕන තීරණයක්. (හෙබ්‍රෙ. 12:25) අපේ උපරිමයෙන් දේශනා කරලා දේවරාජ්‍යයේ පැත්ත ගන්න අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන්. ඒ වගේම යේසුස් කිව්ව මේ වචනත් අපි දිගටම මනසේ තියාගමු. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙ. 24:14.

ගීතිකාව 40 ඔබ කා සතුද?

^ 5 ඡේ. හග්ගයි 2:7 කියන දේ ගැන අපිට තිබුණ අවබෝධය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? සියලු ජාතීන් සොලවන වැඩේට හවුල් වෙන්න අපිට පුළුවන් කොහොමද? සියලු ජාතීන්ව සොලවද්දී සමහර අය ඒකට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නෙත් තවත් අය ඒකට විරුද්ධ වෙන්නෙත් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 4 ඡේ. ක්‍රි.පූ. 515දී දේවමාලිගාව හදලා ඉවර කරපු එකෙන් හග්ගයි එයාගේ පැවරුම සාර්ථකව කළා කියලා අපිට තේරුම්ගන්න පුළුවන්.

^ 10 ඡේ. මේ ගැන අපේ අවබෝධය වෙනස් වෙලා තියෙනවා. කලින් අපි හිතුවේ අවංක අය සැබෑ නමස්කාරයට එන්නේ සියලු ජාතීන්ව සෙලවීමේ ප්‍රතිඵලයක් විදිහට නෙවෙයි කියලා. 2006 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගේ ප්‍රශ්න” කියන ලිපිය බලන්න.

^ 63 ඡේ. පින්තූරවල අදහස: උද්‍යෝගයෙන් දේවමාලිගාව ගොඩනඟන්න හග්ගයි සෙනඟව දිරිගැන්නුවා. අද ඉන්න දෙවියන්ගේ සේවකයනුත් උද්‍යෝගයෙන් දේශනා සේවේ හවුල් වෙනවා. යුවළක් අනාගතයේදී වෙන්න යන අවසාන සෙලවීම ගැන දේශනා කරනවා.