Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 38

දෙවියන්ගේ පවුලට තවත් ළං වෙමු

දෙවියන්ගේ පවුලට තවත් ළං වෙමු

‘මම මගේ පියාණන් හා ඔබේ පියාණන් ළඟට යනවා.’—යොහ. 20:17.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන් අපේ කවුද?

යෙහෝවාගේ පවුලට “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” වන යේසුස් සහ මිලියන ගාණක් දේවදූතයෝ අයිතියි. (කොලො. 1:15; ගීතා. 103:20) යේසුස් එක අවස්ථාවක ගෝලයන්ට කිව්වා දෙවියන් “මගේ පියාණන් හා ඔබේ පියාණන්” කියලා. (යොහ. 20:17) ඒකෙන් පැහැදිලියි දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට, ඔහුව අපේ තාත්තා විදිහට සලකන්න පුළුවන් කියලා. අපි යෙහෝවාට ජීවිතය කැප කරලා බව්තීස්ම වෙද්දී සහෝදර සහෝදරියන් දහස් ගාණක් ඉන්න පවුලකට අපි අයිති වෙනවා.—මාක් 10:29, 30.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 සමහර අයට යෙහෝවාව ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දකින්න අමාරුයි. තවත් අය සහෝදරයන්ට ආදරේ පෙන්නන්න දන්නේ නැහැ. යෙහෝවා දෙවියන් අපිට ළං වෙන්න පුළුවන් ආදරණීය තාත්තා කෙනෙක් කියලා තේරුම්ගන්න යේසුස් උදව් කළේ කොහොමද? යෙහෝවා වගේ අපේ සහෝදර සහෝදරියන්ට ආදරෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි බලමු.

ඔයා යෙහෝවාට ළං වෙනවාට ඔහු කැමතියි

3. යෙහෝවාට තවත් ළං වෙන්න යේසුස් කියලා දුන්න යාච්ඤාව අපිට උදව් වෙන්නේ කොහොමද?

3 යේසුස් කැමති වුණේ අපි යෙහෝවාව හැම තිස්සේම අණ දෙන, ගල් හිතක් තියෙන කෙනෙක් විදිහට දකිනවාට නෙවෙයි. ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දකිනවාටයි. යේසුස් ගෝලයන්ට කියලා දීපු යාච්ඤාවෙනුත් ඒක පැහැදිලියි. ඔහු ඒ යාච්ඤාව පටන්ගත්තේ “අපගේ පියාණෙනි” කියලයි. (මතෙ. 6:9) යේසුස්ට ඕනෙ නම් ‘සියලු බලැති දෙවියන්,’ නිර්මාතෘ, “සදාකාලික රජ්ජුරුවන්” වගේ බයිබලේ තියෙන අනිත් පදවි නම් පාවිච්චි කරන්න තිබුණා. (උත්. 49:25; යෙසා. 40:28; 1 තිමෝ. 1:17) හැබැයි යේසුස් දෙවියන්ට කතා කළේ “පියාණෙනි” කියලයි.

4. ඔයා යෙහෝවා දෙවියන්ට ළං වෙනවාට ඔහු කැමතියි කියලා කියන්න පුළුවන් ඇයි?

4 ඔයාගේ තාත්තා ඔයාට ආදරෙන් සලකලා නැත්නම් යෙහෝවා දෙවියන්ව ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දකින්න ඔයාට අමාරු වෙන්න පුළුවන්. දුක් වෙන්න එපා. ඔයාට දැනෙන විදිහ යෙහෝවා හොඳින්ම තේරුම්ගන්නවා. ඔහුට ඕනෙ ඔයාව ළං කරගන්න. ඒ නිසයි බයිබලේ කියන්නේ, “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා. (යාකො. 4:8) දෙවියන් ඔයාට ආදරෙයි. ඔහු තමයි ඔයාට ඉන්න පුළුවන් හොඳම තාත්තා.

5. ලූක් 10:22 අනුව යෙහෝවා දෙවියන්ට ළං වෙන්න යේසුස් අපිට උදව් කරන්නේ කොහොමද?

5 යෙහෝවා දෙවියන්ට ළං වෙන්න අපිට උදව් කරන්න පුළුවන් හොඳම කෙනා යේසුස්. මොකද යෙහෝවා ගැන හොඳින්ම දන්නේ ඔහුයි. ඒ වගේම යේසුස් හැම දේකදීම දෙවියන්ව ආදර්ශයට ගන්නවා. ඒක නිසයි “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියලා යේසුස් කිව්වේ. (යොහ. 14:9) පවුලක අයියා කෙනෙක් නංගිලා මල්ලිලාට දේවල් කියලා දෙනවා වගේ යේසුත් යෙහෝවා දෙවියන් ගැන අපිට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. උදාහරණෙකට දෙවියන්ට ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද, ඔහුව සතුටු කරන්න නම් නොකර ඉන්න ඕනෙ මොනවාද වගේ දේවල් යේසුස් අපිට උගන්වලා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම යේසුස් පොළොවේ හිටපු කාලය ගැන තියෙන බයිබල් වාර්තා කියවද්දී දෙවියන් කොච්චර ආදරණීය කෙනෙක්ද කියලා අපිට තේරෙනවා. (ලූක් 10:22 කියවන්න.) අපි දැන් ඒ ගැන තියෙන උදාහරණ කීපයක් බලමු.

ආදරණීය තාත්තා කෙනෙක් විදිහට යෙහෝවා දෙවියන් දේවදූතයෙක්ව එවලා ඔහුගේ පුතාව ශක්තිමත් කළා (6 ඡේදය බලන්න) *

6. යෙහෝවා දෙවියන් යේසුස්ට ඇහුම්කන් දුන්නා. උදාහරණ දෙන්න.

6 යෙහෝවා ඔහුගේ දරුවන්ට ඇහුම්කන් දෙන ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ කුලුඳුල් පුතාට ඔහු ඇහුම්කන් දුන්න විදිහ බලන්න. යේසුස් නිතරම ඔහුගේ තාත්තාට යාච්ඤා කළා. (ලූක් 5:16) බැරෑරුම් තීරණ ගන්න වෙද්දී, උදාහරණෙකට නියෝජිතයන් 12දෙනාව තෝරගද්දී හරි තීරණයක් ගන්න උදව් ඉල්ලලා ඔහු යෙහෝවාට යාච්ඤා කළා. (ලූක් 6:12, 13) යේසුස් කනස්සල්ලෙන් ඉද්දී කරපු යාච්ඤාවලටත් දෙවියන් ඇහුම්කන් දුන්නා. උදාහරණෙකට යූදස් ඔහුව පාවලා දෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී යේසුස් ටික වෙලාවකින් මුහුණ දෙන්න යන දේ ගැන දෙවියන්ට යාච්ඤා කළා. ඒ වෙලාවේ යෙහෝවා යේසුස්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නා වගේම තමන්ගේ ආදරණීය පුතාව ශක්තිමත් කරන්න දේවදූතයෙක්වත් එව්වා.—ලූක් 22:41-44.

7. යෙහෝවා දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

7 අදත් යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා. ඒ විතරක් නෙවෙයි හරිම වෙලාවට, හොඳම විදිහට ඒවාට උත්තරත් දෙනවා. (ගීතා. 116:1, 2) ඉන්දියාවේ ඉන්න සහෝදරියකට කාලයක් තිස්සේ ලොකු කනස්සල්ලක් දැනුණ නිසා එයා උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කළා. එයා මෙහෙම කියනවා. “2019 මැයි JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනේ කනස්සල්ලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන කතා කළා. ඒක නම් මට දැනුණේ යෙහෝවා මං වෙනුවෙන්ම දීපු දෙයක් විදිහටයි.”

8. යෙහෝවා දෙවියන් යේසුස්ට ආදරය පෙන්නුවේ කොහොමද?

8 යෙහෝවා දෙවියන් යේසුස්ව ආදරෙන් බලාගත්තා වගේ අද අපිවත් ආදරෙන් බලාගන්නවා. (යොහ. 5:20) යෙහෝවා යේසුස්ට දිගටම විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උදව් කළා. අධෛර්යය වෙලා ඉන්න වෙලාවලදී දිරිගැන්නුවා. ජීවත් වෙන්න ඕන කරන හැම දෙයක්මත් දුන්නා. ඒ වගේම තමන්ගේ පුතාට ආදරෙයි කියලා කියන්නත් ඔහු ගැන ගොඩක් සතුටු වෙනවා කියලා කියන්නත් දෙවියන් අදිමදි කළේ නැහැ. (මතෙ. 3:16, 17) තමන්ගේ ආදරණීය තාත්තා හැම තිස්සේම ළඟින් ඉඳන් උදව් කරනවා කියලා දැනගෙන හිටපු නිසා යේසුස්ට කවදාවත් තනිකමක් දැනුණේ නැහැ.—යොහ. 8:16.

9. යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරෙයි කියලා අපි දන්නේ කොහොමද?

9 යේසුස් වගේ අපි හැමෝම යෙහෝවා දෙවියන්ගේ ආදරය ගොඩක් විදිවලින් අද්දැකලා තියෙනවා. මෙහෙම හිතන්න. ආදරණීය සහෝදර සහෝදරියන් ඉන්න දෙවියන්ගේ පවුලට එකතු වෙන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා. අපි අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී අපේ ළඟින් ඉඳලා අපිට උදව් කරන්නේ එයාලා. (යොහ. 6:44) ඒ වගේම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම ඔහු අපිට දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කෑම බීම වගේ ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවලුත් ඔහු අපිට දෙනවා. (මතෙ. 6:31, 32) ඒ විදිහට යෙහෝවා දෙවියන් අපිට ආදරේ පෙන්නලා තියෙන විදිහ ගැන අපි කල්පනා කරද්දී ඔහු ගැන අපිට තියෙන ආදරය තවත් වැඩි වෙනවා.

සහෝදර සහෝදරියන්ට ආදරෙන් සලකන්න

10. අපේ සහෝදර සහෝදරියන්ට යෙහෝවා සලකන විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 යෙහෝවා අපේ සහෝදර සහෝදරියන්ට හුඟක් ආදරෙයි. හැබැයි අපිට හැම වෙලාවෙම එයාලට ආදරේ පෙන්නන එක ලේසි නැහැ. මොකද අපි හැදුණු වැඩුණු විදිහ, සංස්කෘතිය වෙනස් නිසා අපි හිතන පතන විදිහ වෙනස්. අනිත් අතට අපි හැමෝම පව්කාරකම උරුම කරගත්ත අය නිසා අනිත් අයගේ හිත රිදෙන, කේන්ති ගස්සන දෙයක් අපි අතින් වෙන්න පුළුවන්. හැබැයි යෙහෝවා දෙවියන් සහෝදරයන්ට ආදරේ පෙන්නන විදිහ අපි ආදර්ශයට ගන්නවා නම් එයාලට දිගටම ආදරේ කරන්න අපිට පුළුවන්. (එෆී. 5:1, 2; 1 යොහ. 4:19) යෙහෝවාගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැන් අපි බලමු.

11. යේසුස් යෙහෝවා දෙවියන්ගේ “අතිමහත් දයානුකම්පාව” ආදර්ශයට ගත්තේ කොහොමද?

11 යෙහෝවා දෙවියන් “අතිමහත් දයානුකම්පාව” පෙන්නන කෙනෙක්. (ලූක් 1:78) අනිත් අය දුක් විඳිනවා දකිද්දී දයානුකම්පාවෙන් වැඩ කරන කෙනෙක්ගේ හිත උණු වෙනවා. එයාලට උදව් කරන්න, එයාලව සනසන්න එයා තමන්ගේ උපරිමය කරනවා. යේසුස් යෙහෝවාව ආදර්ශයට අරන් මිනිසුන්ට ආදරය, කරුණාව පෙන්නුවා. (යොහ. 5:19) එක අවස්ථාවකදී මිනිසුන්ව දැක්කාම යේසුස් එයාලා “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින අය” බව තේරුම්ගත්තා. ඒ නිසා ඔහුට එයාලා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. (මතෙ. 9:36) ඒ විතරක් නෙවෙයි ඔහු එයාලට උදව් කරන්නත් පෙලඹුණා. යේසුස් අසනීප වෙලා හිටපු අයව සුව කළා. “වෙහෙස වූ බරින් පීඩිත වූ” අයට ලොකු සහනයක් වුණා.—මතෙ. 11:28-30; 14:14.

යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් ත්‍යාගශීලී වෙලා සහෝදර සහෝදරියන්ට උදව් කරන්න (12-14 ඡේද බලන්න) *

12. දයානුකම්පාව පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? උදාහරණ දෙන්න.

12 අපේ සහෝදර සහෝදරියන්ට දයානුකම්පාව පෙන්නන්න නම් ඊට කලින් එයාලා මුහුණ දෙන අභියෝග මොනවාද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. උදාහරණෙකට සහෝදරියකට දරුණු අසනීපයක් තියෙනවා වෙන්න පුළුවන්. එයා හැම තිස්සේම ඒ ගැන කියකිය ඉන්නේ නැහැ. හැබැයි කවුරු හරි එයාට උදව් කළොත් ඒක එයාට ලොකු සහනයක්. එයාගේ ගෙදර ටිකක් අස්පස් කරන්න, වේලක් දෙකක් උයලා දෙන්න ඔයාට පුළුවන්ද? තවත් සහෝදරයෙක්ට එයාගේ රස්සාව නැති වෙලා ඇති. අලුත් රස්සාවක් හොයාගන්න කල් වියදම් පියවගන්න එයාට උදව්වක් ඕනෙ වෙයිද? එහෙනම් දුන්නේ කවුද කියලා කියන්නේ නැතුව මුදල්වලින් යම් උදව්වක් කරන්න ඔයාට පුළුවන්ද?

13-14. යෙහෝවා දෙවියන් වගේ ත්‍යාගශීලී වෙන්න අපිට පුළුවන් කොහොමද?

13 යෙහෝවා හරිම ත්‍යාගශීලීයි. (මතෙ. 5:45) අපිත් යෙහෝවා දෙවියන් වගේ සහෝදර සහෝදරියන් අපෙන් උදව් ඉල්ලන කල් ඉන්නේ නැතුව අපිට පුළුවන් විදිහට එයාලට උදව් කරන්න ඕනේ. අපි දෙවියන්ගෙන් ඉල්ලුවත් නැතත් ඔහු හැමදාම අපිට අව්ව ලබා දෙනවා. ඒ වගේම ඉර පායන නිසා ප්‍රයෝජන ලැබෙන්නේ දෙවියන්ට ඒ ගැන ස්තුති කරන අයට විතරක් නෙවෙයි. හැමෝටම ප්‍රයෝජන තියෙනවා. ඒ විදිහට අපිට අවශ්‍ය හැම දෙයක්ම දෙන එකෙන් දෙවියන් පෙන්නන්නේ ඔහු අපිට ගොඩක් ආදරෙයි කියලා. අපි වෙනුවෙන් ත්‍යාගශීලීව දේවල් කරන යෙහෝවා ගැන ඔයාගේ හිතේ ලොකු ආදරයක් ඇති වෙන්නේ නැද්ද?

14 යෙහෝවා දෙවියන් වගේ අපේ සහෝදර සහෝදරියනුත් අනිත් අයට ත්‍යාගශීලීව උදව් කරන්න මුල් පියවර ගන්න එක ගැන අපිට හුඟක් සතුටුයි. උදාහරණෙකට 2013දී පිලිපීනයේ ඇති වුණ හයියාන් සුළි කුණාටුවෙන් ගොඩක් සහෝදරයන්ට එයාලගේ ගෙවල් දොරවල් නැති වුණා. හැබැයි ලෝකේ පුරාම ඉන්න සහෝදරයන් එකතු වෙලා එයාලට උදව් කළා. සමහර අය ඒ වැඩවලට සම්මාදම් කළා. තවත් අය කැඩුණු ගෙවල් දොරවල් ආපහු හදන්න උදව් කරන්න ආවා. ඒ හැමෝගෙම උදව් නිසා අවුරුද්දකටත් වඩා අඩු කාලෙකදි ගෙවල් 750ක් විතර අලුත්වැඩියා කරන්න හරි අලුතෙන්ම හදන්න හරි පුළුවන් වුණා. ඒ වගේම මේ කොරෝනා වසංගතය කාලෙදිත් අපේ සහෝදර සහෝදරියන් අනිත් අයට උදව් කරන්න ගොඩක් මහන්සි වුණා. ඒ විදිහට ඕනෙම වෙලාවලදි අපේ සහෝදරයන්ට ඉක්මනින්ම උදව් කරන එකෙන් අපි පෙන්නන්නේ අපි එයාලට ගොඩක් ආදරෙයි කියලයි.

15-16. ලූක් 6:36 අනුව අපිට අපේ ආදරණීය තාත්තාව ආදර්ශයට ගන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

15 යෙහෝවා දෙවියන් දයාවන්ත, සමාව දෙන්න කැමති කෙනෙක්. (ලූක් 6:36 කියවන්න.) ඔහු අපේ අතින් වෙන වැරදිවලට හැම දවසකම සමාව දෙනවා. (ගීතා. 103:10-14) යේසුත් පව්කාරකම උරුම කරගෙන හිටපු තමන්ගේ අනුගාමිකයන්ට දිගටම දයාව පෙන්නලා සමාව දුන්නා. ඒ විතරක් නෙවෙයි ඔහු අපි හැමෝම වෙනුවෙන් ඔහුගේ ජීවිතේ පූජා කළා. ඒ නිසා තමයි අපේ පව්වලට සමාව ලබාගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ. (1 යොහ. 2:1, 2) යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට කැමැත්තෙන්ම සමාව දීලා දයාව පෙන්නන විදිහ ගැන හිතද්දී එයාලට තවත් ළං වෙන්න අපි පෙලඹෙනවා නේද?

16 අපි සහෝදර සහෝදරියන්ට ‘කැමැත්තෙන්ම සමාව දෙද්දී’ අපි අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා. (එෆී. 4:32) හැබැයි සමහර වෙලාවට අනිත් අයට සමාව දෙන්න ලොකු වෑයමක් දරන්න වෙනවා. එක සහෝදරියකට “හදපත්ලෙන්ම සමාව දෙමු” කියන ‘මුරටැඹ’ ලිපිය ඒ දේ කරන්න ගොඩක් උදව් වුණා. * ඒ ගැන එයා මෙහෙම කියනවා. “අනිත් අයට සමාව දෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ මටමයි කියලා ඒ ලිපිය කියවද්දී මං තේරුම්ගත්තා. අපි කෙනෙක්ට සමාව දෙන්නේ එයාගේ වරද සැහැල්ලුවට ගන්න නිසාවත් එයා කරපු දෙයින් අපිට හානියක් වුණේ නැති නිසාවත් නෙවෙයි. ඒ වෙනුවට සමාව දෙන එකෙන් අපේ හිතේ තියෙන අමනාපය නැති කරගෙන දිගටම සතුටින් ඉන්න අපිට පුළුවන් වෙන නිසයි.” ඒ විදිහට මුළු හදවතින්ම සමාව දෙද්දී අපි සහෝදරයන්ට ගොඩක් ආදරෙයි කියලා පේනවා. ඒ වගේම අපේ ආදරණීය තාත්තා යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්නත් අපිට පුළුවන්.

දෙවියන්ගේ පවුලට එකතු වෙන්න ලැබුණ එක ගැන සතුටු වෙන්න

ලොකු පොඩි හැමෝම අනිත් සහෝදර සහෝදරියන්ට ආදරය පෙන්නලා තියෙනවා (17 ඡේදය බලන්න) *

17. මතෙව් 5:16 අනුව අපේ ආදරණීය තාත්තාට ගෞරව කරන්න අපිට පුළුවන් කොහොමද?

17 ලෝකේ පුරාම ඉන්න ආදරෙන් බැඳුණු පවුලක කොටසක් වෙන්න ලැබුණ එක ගැන අපිට ගොඩක් සතුටුයි. අපි හැමෝම කැමති තව හුඟදෙනෙක් අපිත් එක්ක එකතු වෙලා යෙහෝවාට නමස්කාර කරනවා දකින්නයි. ඒ නිසා යෙහෝවාගේ නමටවත් ඔහුගේ සංවිධානයටවත් අගෞරවයක් වෙන විදිහේ කිසිම දෙයක් නොකර ඉන්න අපි පරෙස්සම් වෙන්න ඕනේ. ඒ වෙනුවට අපිව දකින අය අපි කියන ශුභාරංචිය පිළිගන්න කැමති වෙන විදිහට ජීවත් වෙන්න අපි ලොකු උත්සාහයක් දරනවා.—මතෙව් 5:16 කියවන්න.

18. බය නැතුව සාක්ෂි දරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

18 අපි යෙහෝවාට කීකරු වෙන නිසා සමහර වෙලාවට අනිත් අය අපිව පහත් කරන්න හරි අපිට පීඩා කරන්න හරි ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවකදී අපේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන්න ඔයාට බයක් දැනුණොත් මොකද කරන්නේ? යෙහෝවා සහ යේසුස් ඔයාගේ උදව්වට එනවා කියලා මතක් කරගන්න. මතකද යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා ඒ වගේ වෙලාවලදී කියන්න ඕනෙ මොනවාද කියන එක ගැන වධ වෙන්න එපා කියලා? මොකද “ඔබ කිව යුත්තේ කුමක්ද කියා ඔබට ඒ අවස්ථාවේදීම දැනගන්න ලැබෙයි. ඔබේ පියාණන්ගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසා ඔබට හොඳින් කතා කරන්න හැකි වෙයි. එමනිසා ඒ අවස්ථාවේදී ඔබ කිසිවිටකත් අසරණ වන්නේ නැහැ” කියලා යේසුස් කිව්වා.—මතෙ. 10:19, 20.

19. නිර්භීතව දේශනා කරපු කෙනෙක්ගේ අද්දැකීමක් කියන්න.

19 රොබට් කියන්නේ දකුණු අප්‍රිකාවේ ජීවත් වෙන සහෝදරයෙක්. මේ සිද්ධිය වුණේ එයා බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්ත මුල් කාලෙදි. හමුදාවට බැඳෙන්න බැරි ඇයි කියලා උසාවියේදී පැහැදිලි කරන්න එයාට සිද්ධ වුණා. සහෝදරයන්ට තියෙන ආදරේ නිසා ඒ දේ කරන්න බැහැ කියලා එයා විනිසුරුවරයාට කිව්වා. එතකොට විනිසුරු ඇහුවා “කවුද ඔයාගේ සහෝදරයෝ” කියලා. ඒ වෙලාවේදී කියන්න ඕනෙ මොකක්ද කියලා රොබට් හරියටම දැනගෙන හිටියේ නැහැ. එතකොටම එයාට එදා තිබුණ දිනපදය මතක් වුණා. එදා තිබුණේ මතෙව් 12:50. එතන කියන්නේ, “මගේ සහෝදරයා හෝ සහෝදරිය හෝ මව හෝ වන්නේ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන තැනැත්තායි” කියලා. එයාට බයිබලේ ගැන ලොකු දැනුමක් තිබුණේ නැතත් ඒ ප්‍රශ්නෙට වගේම තවත් ප්‍රශ්න ගොඩකට හොඳින් උත්තර දෙන්න දෙවියන් එයාට උදව් කළා. එදා රොබට් ගැන යෙහෝවා කොච්චර සතුටු වෙන්න ඇද්ද! ඒ වගේ අපිත් අමාරු අවස්ථාවල නිර්භීතව සාක්ෂි දරද්දී දෙවියන් අපි ගැන ගොඩක් සතුටු වෙනවා.

20. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? (යොහන් 17:11, 15)

20 අපිට ගොඩක් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේම ආදරණීය සහෝදර සහෝදරියන් හුඟදෙනෙකුත් ඉන්නවා. ඒ පවුලේ කොටසක් වෙන්න ලැබුණ එක අපිට කොච්චර වටිනවාද! කවදාවත් ඒක සැහැල්ලුවට ගන්න එපා. යෙහෝවා දෙවියන්ගේ ආදරය ගැන අපේ හිතේ සැකයක් ඇති කරන්න සහ අපි අතර තියෙන සමඟිය නැති කරන්න සාතනුයි එයාගේ පැත්තේ ඉන්න අයයි හැම තිස්සේම උත්සාහ කරනවා. ඒක නිසා තමයි අපේ පවුලේ සමඟිය රැකගන්න උදව් කරන්න කියලා යේසුස් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළේ. (යොහන් 17:11, 15 කියවන්න.) යෙහෝවා ඒ යාච්ඤාවට ඇහුම්කන් දීලා අදටත් අපිට උදව් කරනවා. යේසුස් වගේ අපිත් කවදාවත් අපේ තාත්තාගේ ආදරය සැක නොකර ඉමු. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන්ට තව තවත් ළං වෙන්න අදිටන් කරගමු.

ගීතිකාව 99 දස දහස් ගණන් සොහොයුරන්

^ 5 ඡේ. ලෝකේ පුරාම ඉන්න ආදරෙන් පිරුණු පවුලක කොටසක් වෙන්න ලැබුණ එක ගැන අපිට ගොඩක් සතුටුයි. අපි හැමෝම කැමතියි අපි අතර තියෙන ආදරේ තවත් වැඩි කරගන්න. ඒක කරන්න පුළුවන් කොහොමද? එක විදිහක් තමයි අපේ ආදරණීය තාත්තා යෙහෝවා දෙවියන් අපිට ආදරේ පෙන්නන විදිහ ආදර්ශයට ගන්න එක. ඒ වගේම ඒ ගැන යේසුස්ගේ සහ අපේ සහෝදරයන්ගේ ආදර්ශයෙනුත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

^ 57 ඡේ. පින්තූරයේ අදහස:: ගෙත්සෙමන උයනේදී යේසුස්ව ශක්තිමත් කරන්න යෙහෝවා දෙවියන් දේවදූතයෙක්ව එව්වා.

^ 59 ඡේ. පින්තූරයේ අදහස:: කොරෝනා වසංගතය කාලෙදි සහෝදර සහෝදරියන්ට අවශ්‍ය කෑම බීම ලබා දෙන්න ගොඩක් අය මහන්සි වෙලා වැඩ කළා.

^ 61 ඡේ. පින්තූරයේ අදහස:: හිරේ ඉන්න සහෝදරයෙක්ට දිරිගන්වලා ලියුමක් ලියන්න අම්මා කෙනෙක් එයාගේ දුවට උදව් කරනවා.