Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 40

අවංකවම පසුතැවිලි වෙනවා කියන්නේ මොකක්ද?

අවංකවම පසුතැවිලි වෙනවා කියන්නේ මොකක්ද?

“මා ආවේ පව්කාරයන්ට පසුතැවිලි වෙන්න උපකාර කරන්නයි.”—ලූක් 5:32.

ගීතිකාව 36 අපේ සිත ආරක්ෂා කරගමු

මේ ලිපියෙන් *

1-2. ආහබ් සහ මනස්සේ අතර තිබුණ වෙනස මොකක්ද? මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

අතීතයේ හිටපු රජවරු දෙන්නෙක් ගැන දැන් අපි බලමු. එක් කෙනෙක් ගෝත්‍ර දහයෙන් හැදුණ ඊශ්‍රායෙල් රාජ්‍යය පාලනය කළා. අනිත් කෙනා ගෝත්‍ර දෙකකින් හැදුණ යූදා රාජ්‍යය පාලනය කළා. ඒ දෙන්නා ජීවත් වුණේ වෙනස් කාලවල් දෙකකදී වුණත් එයාලගේ ගොඩක් සමානකම් තිබුණා. ඒ දෙන්නාම යෙහෝවාට අකීකරු වෙලා බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. හුඟක් අයව මැරුවා. වැරදි කරන්න සෙනඟවත් පෙලඹෙව්වා. හැබැයි එක් කෙනෙක් එයාගේ වැරදි මාර්ගයෙන් හැරුණේ නැහැ. අනිත් කෙනා අවංකවම පසුතැවිලි වුණ නිසා එයාට යෙහෝවා දෙවියන්ගෙන් සමාව ලැබුණා.

2 ඒ රජවරු දෙන්නා කවුද? ඒ තමයි ආහබ් සහ මනස්සේ. ඇත්තටම පසුතැවිලි වෙන එක ගැන ඒ රජවරු දෙන්නාගෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (ක්‍රියා 17:30; රෝම 3:23) අවංකව පසුතැවිලි වෙනවා කියන්නේ මොකක්ද? ඒක පෙන්නන්න පුළුවන් කොහොමද? අපේ වැරදිවලට සමාව ලබාගන්න නම් ඒ ප්‍රශ්නවලට උත්තර අපි දැනගෙන ඉන්න එක හරිම වැදගත්. ඒ ප්‍රශ්නවලට උත්තර හොයද්දී ආහබ්ගෙන්, මනස්සේගෙන් සහ අකීකරු පුත්‍රයාගේ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි බලනවා.

ආහබ්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

3. ආහබ් මොන වගේ කෙනෙක්ද?

3 ආහබ් කියන්නේ ගෝත්‍ර දහයෙන් හැදුණ ඊශ්‍රායෙල් රාජ්‍යයේ හත්වෙනි රජ. එයා විවාහ වුණේ සීදොන් රජගේ දුව වන යෙසබෙල් එක්ක. සීදොන් කියන්නේ උතුරට වෙන්න තිබුණ ගොඩක් ධනවත් නගරයක්. ඒ විවාහය නිසා ඊශ්‍රායෙල්වරුන්ට එයාලගේ ව්‍යාපාර දියුණු කරගෙන තව පොහොසත් වෙන්න අවස්ථාව ලැබෙන්න ඇති. හැබැයි ඊශ්‍රායෙල් සෙනඟට දෙවියන් එක්ක තිබුණ බැඳීමට ඒකෙන් ලොකු හානියක් වුණා. මොකද යෙසබෙල් කියන්නේ බාල්ට නමස්කාර කරපු කෙනෙක්. එයාගේ කීම අහලා ආහබ් රට පුරාම බාල් නමස්කාරය පැතිරෙව්වා. බාල්ට නමස්කාර කරපු දේවාලවල පිරිමි සහ ගැහැනු ගණිකාවන් හිටියා. ඒ වගේම දරුවන්වත් පූජා කළා. යෙසබෙල් රැජින හිටපු කාලේ යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරුන්ගේ ජීවිත තිබුණේ ලොකු අනතුරක. මොකද එයාලගෙන් හුඟදෙනෙක්ව මේ රැජින මැරුවා. (1 රාජා. 18:13) “ආහබ් තමාට කලින් ජීවත් වූ සියල්ලන්ට වඩා යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය” කියලා බයිබලේ කියනවා. (1 රාජා. 16:30) ආහබ් සහ යෙසබෙල් කරපු හැම දෙයක්ම යෙහෝවා දෙවියන් දැක්කා. හැබැයි දෙවියන් අනුකම්පාව පෙන්නලා එයාලටයි සෙනඟටයි වැරදි මාර්ගවලින් හැරෙන්න අවස්ථාව දුන්නා. එලියා වගේ අනාගතවක්තෘවරුන් කීපදෙනෙක්ව යවලා එයාලට අනතුරු ඇඟෙව්වා. හැබැයි ආහබ්වත් යෙසෙබෙල්වත් ඒ අනතුරු ඇඟවීම් කනකටවත් ගත්තේ නැහැ.

4. යෙහෝවා දෙවියන් ආහබ්ට දෙනවා කියපු දඬුවම මොකක්ද? ඒක දැනගත්තාම ආහබ් කළේ මොකක්ද?

4 අන්තිමේදී යෙහෝවා දෙවියන් ආහබ්ටයි යෙසබෙල්ටයි දඬුවම් කරන්න තීරණය කළා. එයාලගේ මුළු පවුලම විනාශ කරන්න යනවා කියලා එලියා මාර්ගයෙන් යෙහෝවා කිව්වා. ඒක ඇහුවාම හිතපු නැති විදිහට ආහබ් “නිහතමානීව තම වරද පිළිගෙන” ඒ ගැන දුක් වුණා කියලා බයිබලේ කියනවා.—1 රාජා. 21:19-29.

මිකායාව හිරේ දාපු එකෙන් ආහබ් ඇත්තටම පසුතැවිලි වුණේ නැහැ කියලා පැහැදිලි වුණා (5 සහ 6 ඡේද බලන්න) *

5-6. ආහබ් රජ අවංකව පසුතැවිලි වුණේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?

5 මුලින් ආහබ් දුක් වුණත් පස්සේ එයා කරපු කියපු දේවල්වලින් පැහැදිලි වුණා එයා ඇත්තටම පසුතැවිලි වුණේ නැහැ කියලා. උදාහරණෙකට බාල් නමස්කාරය දේශයෙන් අයින් කරන්න එයා කිසිම දෙයක් කළේ නැහැ. යෙහෝවාට නමස්කාර කරන්න සෙනඟව දිරිගැන්නුවෙත් නැහැ. ඒ වගේම එයා ඇත්තටම පසුතැවිලි වුණේ නැහැ කියලා එයා කරපු තවත් දේවල්වලින් පැහැදිලි වුණා.

6 උදාහරණෙකට ටික කාලෙකට පස්සේ සිරියානුවන්ට විරුද්ධව යුද්ධ කරන්න ආහබ් තීරණය කළා. ඒ යුද්ධයට යන්න යූදා දේශය පාලනය කරපු යෙහෝෂපාට් රජට එයා එන්න කිව්වා. යෙහෝෂපාට් රජ යෙහෝවා දෙවියන්ට ළැදි කෙනෙක් නිසා මුලින්ම ඒ ගැන දෙවියන්ගේ අනාගතවක්තෘවරයෙක්ගෙන් අහලා බලමු කියලා කිව්වා. එතකොට ආහබ් මෙහෙම කිව්වා. “මේ ගැන යෙහෝවා දෙවිගෙන් අහන්න පුළුවන් තව එක මිනිසෙක් ඉන්නවා. නමුත් මම ඔහුට කොහොමටවත් කැමති නැහැ. ඔහු මා ගැන කියන්නෙම නරක අනාවැකි. ඔහු මා ගැන හොඳ අනාවැකියක් කියනවා මම අහලම නැහැ.” හැබැයි අන්තිමේදී එයාලා අනාගතවක්තෘ මිකායාගෙන් ඒ ගැන අහලා බැලුවා. මේ යුද්ධයෙන් ආහබ්ට ලොකු විපතක් වෙනවා කියලා මිකායා එයාලාට කිව්වා. ඒ ගැන ඇහුවාම පසුතැවිලි වෙලා යෙහෝවා දෙවියන්ගෙන් සමාව ඉල්ලනවා වෙනුවට ආහාබ් කළේ මිකායාව හිරේ දාන එකයි. (1 රාජා. 22:7-9, 23, 27) මිකායාව හිරේ දැම්මාට එයා කියපු අනාවැකිය ඉටු වෙන එක නතර කරන්න නම් ආහබ්ට බැරි වුණා. කියපු විදියටම ඒ යුද්ධයෙන් ආහබ් මැරුණා.—1 රාජා. 22:34-38.

7. ආහබ් මැරුණාට පස්සේ යෙහෝවා ආහබ් ගැන කිව්වේ මොනවාද?

7 යුද්ධයෙන් මැරුණ ආහබ්ව යෙහෝවා සැලකුවේ මොන වගේ කෙනෙක් විදිහටද? යුද්ධයෙන් ජීවිතය බේරගෙන ආපු යෙහෝෂපාට් රජට යේහු මාර්ගයෙන් යෙහෝවා මෙහෙම කිව්වා. “දුෂ්ටයන්ට උපකාර කරන එක හරි දෙයක් කියලා ඔබ සිතනවාද? යෙහෝවා දෙවිට ද්වේෂ කරන අයට ඇලුම් කරන එක සුදුසුද?” (2 ලේක. 19:1, 2) ටිකකට හිතන්න ආහබ් ඇත්තටම පසුතැවිලි වුණ කෙනෙක් නම් එයා තමන්ට ගොඩක් වෛර කරපු දුෂ්ට කෙනෙක් කියලා යෙහෝවා කියයිද? ආහබ්ට එයා කරපු වැරදි ගැන යම් දුකක් දැනුණත් ඇත්තටම පසුතැවිලි වුණේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි.

8. ආහබ් වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 යෙහෝවා දෙවියන් එලියා මාර්ගයෙන් ආහබ්ගේ පවුලට කරන්න යන දේ ගැන කිව්වාම ආහබ් නිහතමානීව එයාගේ වැරදි පිළිගත්තා. එහෙම කරපු එක හොඳ දෙයක්. හැබැයි එයා ඊටපස්සේ වැඩ කරපු විදිහෙන් පැහැදිලි වුණා එයා අවංකවම පසුතැවිලි වුණේ නැහැ කියලා. මොකක්ද පාඩම? ඇත්තටම පසුතැවිලි වෙනවා කියන්නේ කරපු වැරදි ගැන නිකම්ම දුක් වෙනවාට වඩා වැඩි දෙයක්. ඒක තේරුම්ගන්න තව රජ කෙනෙක්ගේ උදාහරණයක් බලමු.

මනස්සේගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9. මනස්සේ මොන වගේ කෙනෙක්ද?

9 ආහබ් ජීවත් වුණ කාලෙට අවුරුදු 200කට විතර පස්සේ මනස්සේ යූදා රාජ්‍යයේ රජ වුණා. පේන විදිහට එයා ආහබ්ටත් වඩා වැරදි කරපු කෙනෙක්. බයිබලේ කියන්නේ “ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය” කියලයි. (2 ලේක. 33:1-9) මනස්සේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න මුළු දේශය පුරාම පූජාසන ඉදි කළා. ඒ වගේම බොරු දෙවිවරුන්ට නමස්කාර කරන කුලුනක් දේවමාලිගාව ඇතුළටම ගෙනල්ලා තිබ්බා. ගොඩක් වෙලාවට ඒක කාමුකත්වය සංකේතවත් කරන කුලුනක් වෙන්න ඇති. ඒ වගේම එයා පේන කීම, මායා බන්ධන, මන්ත්‍ර ගුරුකම් වගේ දේවලුත් කළා. “නිර්දෝෂ මිනිසුන්” හුඟදෙනෙක්වත් මැරුවා. මනස්සේ කොච්චර දුෂ්ටද කියනවා නම් “තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය” කියලා බයිබලේ සඳහන් වෙනවා.—2 රාජා. 21:6, 7, 10, 11, 16.

10. යෙහෝවා මනස්සේට දඬුවම් කළේ කොහොමද? ඊටපස්සේ මනස්සේ කළේ මොනවාද?

10 මනස්සේ රජත් ආහබ් වගේම යෙහෝවා දෙවියන් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් දුන්න අනතුරු ඇඟවීම් ගණන් ගත්තේ නැති කෙනෙක්. ඒ නිසා ‘යෙහෝවා දෙවි ඇසිරියාවේ රජුට අයත් සෙන්පතීන්ව යූදාට විරුද්ධව යැවීය. ඔවුන් මනස්සේ රජුව අල්ලාගෙන තඹ විලංගු දමා ඔහුව බැබිලෝනියට’ අරගෙන ගියා කියලා බයිබලේ කියනවා. බැබිලෝනියේ හිරගෙදර ඉද්දී මනස්සේ එයා කරපු වැරදි ගැන ගොඩක් කල්පනා කරන්න පටන්ගත්තා. ඒ ගැන බයිබලේ කියන්නේ මනස්සේ රජ “තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ යටහත් වී ඔහුගේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කළේය” කියලයි. ඒ වගේම ඔහු ‘නොකඩවා දෙවිට යාච්ඤා කළා.’ මනස්සේ එයාගේ වැරදි ගැන දුක් වුණා විතරක් නෙවෙයි දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න එයාගේ පැත්තෙන් කරන්න ඕන දේවලුත් කළා.—2 ලේක. 33:10-13.

මනස්සේ බොරු නමස්කාරයට විරුද්ධ වුණ එකෙන් එයා ඇත්තටම පසුතැවිලි වුණා කියලා පැහැදිලි වුණා (11 ඡේදය බලන්න) *

11. මනස්සේ ඇත්තටම පසුතැවිලි වුණා කියලා පෙන්නුවේ කොහොමද? (2 ලේකම් 33:15, 16)

11 කාලයක් ගියාම යෙහෝවා මනස්සේගේ යාච්ඤාවලට උත්තර දුන්නා. මනස්සේ යාච්ඤා කරපු විදිහෙන් යෙහෝවාට තේරුණා එයා ඇත්තටම වෙනස් වෙලා කියලා. ඒ නිසා දෙවියන් එයාට සමාව දීලා ආපහු රජ වෙන්න අවස්ථාව දුන්නා. ආහබ් වගේ නෙවෙයි මනස්සේ ඇත්තටම පසුතැවිලි වුණා කියලා එයා කරපු දේවල්වලින් පැහැදිලි වුණා. එයා බොරු නමස්කාරයෙන් ඈත් වෙලා යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගත්තා. එහෙම කරන්න සෙනඟවත් දිරිගැන්නුවා. (2 ලේකම් 33:15, 16 කියවන්න.) ඒක කරන්න මනස්සේට ඇත්තටම ලොකු ධෛර්යයක් ඕනෙ වුණා. මොකද අවුරුදු ගාණක් තිස්සේ එයා එයාගේ පවුලේ අයව, රටේ ප්‍රධානීන්ව, සෙනඟව වැරදි මාර්ගයේ යන්න පෙලඹෙව්වා. ඒ වෙද්දී මහලු වයසේ හිටපු මනස්සේට එයා කරපු වැරදි දේවල් ආපහු හරිගස්සන එක කොච්චර අමාරු වෙන්න ඇතිද? හැබැයි එයා එහෙම කරන්න උත්සාහ කළා. පේන විදිහට එයාගේ මුනුපුරා වන යොෂියාට එයා හොඳ ආදර්ශයක් වුණා. යොෂියා රජ පස්සේ කාලෙක යෙහෝවා දෙවියන්ට ළැදි හොඳ රජ කෙනෙක් වුණා.—2 රාජා. 22:1, 2.

12. පසුතැවිලි වෙන එක ගැන මනස්සේගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 මනස්සේගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? කරපු වැරදි ගැන එයා දුක් වුණා. හැබැයි එතනින් නතර වෙන්නේ නැතුව තවත් දේවල් එයා කළා. බැගෑපත්ව සමාව ඉල්ලලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. කලින් කරපු වැරදි නිසා වුණ හානිය අඩු කරන්න ගොඩක් මහන්සි වුණා. එයා වගේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න අනිත් අයටත් උදව් කළා. මනස්සේගේ සිද්ධිය බරපතළ වරදක් කරපු කෙනෙක්ට සහනයක්. මොකද මනස්සේ එක්ක කටයුතු කරපු විදිහෙන් යෙහෝවා “සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්” කියලා පැහැදිලි වෙනවා. (ගීතා. 86:5) අවංකව පසුතැවිලි වෙන කෙනෙක්ව ආයෙත් ඔහුගේ ළඟට ගන්න දෙවියන් ආසාවෙන් බලන් ඉන්නවා.

13. අවංකව පසුතැවිලි වෙනවා කියන්නේ මොකක්ද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.

13 මනස්සේ ගැන අපි බලපු තොරතුරුවලින් අවංකව පසුතැවිලි වෙනවා කියන්නේ කරපු වැරදි ගැන දුක් වෙනවාට වඩා වැඩි දෙයක් කියලා අපි ඉගෙනගත්තා. ඒ ගැන තවත් පැහැදිලි කරගන්න මේ උදාහරණය බලන්න. හිතන්න ඔයා කඩේට ගිහිල්ලා කේක් එකක් ඉල්ලනවා. එතකොට කඩේ ඉන්න කෙනා ඔයාට පිටි දෙනවා. ඔයා ඒ ගැන සතුටු වෙයිද? නැහැ නේද? ඊළඟට කඩේ ඉන්න කෙනා මෙහෙමත් කියනවා. ‘කේක් හදන්න පිටි ඕනෙමයිනේ. ඒකයි මං පිටි දුන්නේ.’ දැන් ඒ ගැන ඔයා සතුටු වෙනවාද? ඒත් නෑ නේද? ඒ වගේ, කෙනෙක් වරදක් කළාම ඒ කෙනා අවංකව පසුතැවිලි වෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. ඉතින් කරපු වරද ගැන එයා දුක් වෙනවා නම් ඒක හොඳයි. මොකද ඒක පසුතැවිලි වෙන එකේ වැදගත්ම පියවරක්. හැබැයි ඒ විතරක් මදි. මොකද අවංකව පසුතැවිලි වෙන කෙනෙක් ඊට වඩා දෙයක් කරන්න ඕනේ. ඒ ගැන යේසුස් කිව්ව උපමාවක් දැන් අපි බලමු.

කෙනෙක් අවංකව පසුතැවිලි වෙලා කියලා දැනගන්නේ කොහොමද?

අකීකරු පුතා තමන් කරපු වරද තේරුම්ගත්ත ගමන් ලොකු දුරක් ගෙවාගෙන ආයෙත් තාත්තා ගාවට ආවා (14 සහ 15 ඡේද බලන්න) *

14. අකීකරු පුත්‍රයා පසුතැවිලි වෙන්න පටන්ගත්තා කියලා පැහැදිලි වුණේ කොහොමද?

14 අකීකරු වුණ පුතෙක් ගැන යේසුස් කියපු උපමාවක් ලූක් 15:11-32 සඳහන් වෙනවා. ඒ පුතා තාත්තාට අකීකරු වෙලා “දුර රටකට ගියා.” එහිදී දුරාචාර ජීවිතයක් ගත කරලා එයාට තිබුණ හැම දෙයක්ම නැති කරගත්තා. ජීවත් වෙන එක එන්න එන්නම අමාරු වුණ නිසා කාලයක් යද්දී එයා කරපු වැරදි ගැන එයා හිතන්න පටන්ගත්තා. තාත්තාත් එක්ක ඉන්නකොට තමන්ට කොච්චර හොඳ ජීවිතයක් තිබුණාද කියලා එයාට මතක් වුණා. ඒ ගැන කල්පනා කරපු නිසා ඒ පුතා “තමාගේ අඥානකම තේරුම්ගත්තා.” ඊටපස්සේ ගෙදර ගිහිල්ලා තාත්තාගෙන් සමාව ගන්නවා කියලා එයා තීරණය කළා. තමන් කොච්චර බරපතළ වැරදි කරලා තියෙනවාද කියලා ඒ පුතා තේරුම්ගත්ත එක හරිම වැදගත්. හැබැයි ඒ විතරක් ඇතිද? නැහැ. එයාට කරන්න තව දේවල් තිබුණා.

15. ඇත්තටම පසුතැවිලි වුණා කියලා පුතා වැඩ කරපු විදිහෙන් පැහැදිලි වුණේ කොහොමද?

15 අකීකරු පුතා ඇත්තටම පසුතැවිලි වුණා කියලා එයා වැඩ කරපු විදිහෙන් පෙනුණා. මුලින්ම ලොකු දුරක් ගෙවාගෙන එයා ආයෙත් ගෙදර ආවා. තාත්තාව හම්බ වුණාම එයා කිව්වා “මම මහ පව්කාරයෙක්. මම දෙවිටත් ඔබටත් විරුද්ධව බොහෝ වැරදි කළා. ඔබේ පුතෙක් කියා කියන්නවත් මම සුදුසු නැහැ” කියලා. (ලූක් 15:21) එයා කියපු දෙයින් පැහැදිලියි යෙහෝවා එක්ක ආයෙත් බැඳීමක් ඇති කරගන්න එයාට ඕනකමක් තිබුණා කියලා. එයා තාත්තාට කොච්චර දුකක් දුන්නාද කියලත් එයා පිළිගත්තා. තාත්තා ළඟ කුලීකරුවෙක් විදිහට වැඩ කරලා හරි එයාගේ හිත දිනාගන්න පුතාට ලොකු ඕනකමක් තිබුණා. (ලූක් 15:19) මේක හැඟීම්බර ලස්සන කතාවක් විතරක්ම නෙවෙයි. විශේෂයෙන් වැඩිමහල්ලන්ට මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද බරපතළ වරදක් කරපු කෙනෙක් ඇත්තටම පසුතැවිලි වෙනවාද කියලා තේරුම්ගන්න මේ කතාවේ තියෙන යන තොරතුරු එයාලට උදව් වෙනවා.

16. කෙනෙක් ඇත්තටම පසුතැවිලි වෙලාද කියලා තේරුම්ගන්න වැඩිමහල්ලන්ට අමාරු වෙන්න පුළුවන් ඇයි?

16 කෙනෙක් ඇත්තටම පසුතැවිලි වෙනවාද කියලා තේරුම්ගන්න එක වැඩිමහල්ලන්ට ලේසි නැහැ. මොකද අනිත් අයගේ හිත් කියවන්න එයාලට බැහැ. කෙනෙක් ඇත්තටම එයා කරපු වරද පිළිකුල් කරනවාද, එයා හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තියෙනවාද කියලා වැඩිමහල්ලන්ට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ එයා කරන කියන දේවල්වලින්. අනිත් අතට කෙනෙක් ඇත්තටම පසුතැවිලි වෙනවාද කියලා තේරුම්ගන්න අමාරු වෙන තරමටම ඒ කෙනා කරලා තියෙන වැරදි ගැඹුරටම මුල් ඇදලා තියෙන්න පුළුවන්.

17. (අ) කෙනෙක් වැරදි පිළිගත්තත් ඇත්තටම පසුතැවිලි නොවෙන්න පුළුවන්. උදාහරණයක් දෙන්න. (ආ) අවංකව පසුතැවිලි වෙන කෙනෙක් කරන්න ඕනෙ මොනවාද? (2 කොරින්ති 7:11)

17 මේ උදාහරණය බලන්න. එක සහෝදරයෙක් අවුරුදු ගාණක් තිස්සේ අනාචාරයේ යෙදෙනවා. එයා ඒ වරද බිරිඳගෙන්, යාළුවන්ගෙන්, වැඩිමහල්ලන්ගෙන් හංගනවා. දවසක් ඒ වරද ගැන වැඩිමහල්ලන්ට දැනගන්න ලැබෙනවා. වැඩිමහල්ලන් එයාව හම්බ වෙලා එයා කරපු වරදට සාක්ෂි තියෙනවා කියලා කිව්වාම එයා ඒ වරද පිළිගෙන ඒ ගැන ගොඩක් දුක් වෙනවා. හැබැයි ඒ විතරක් ඇතිද? එයා දුක් වුණ එක ඇත්ත. ඒත් වැඩිමහල්ලන් ඊට වැඩිය දෙයක් එයා ගැන හොයලා බලන්න ඕනේ. මොකද එයා කළේ වැරදි අශාවන්වලට අහු වෙලා හදිස්සියේම කරපු වරදක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ හිතාමතාම කරපු දුෂ්ට ක්‍රියාවක්. අනික එයාම ඉදිරිපත් වෙලා වරද පිළිගත්තෙත් නැහැ. ඒක වැඩිමහල්ලන්ට දැනගන්න ලැබුණේ වෙනත් අයගෙන්. එයා දැන් හිතන විදිහ, හැසිරෙන විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් කරගෙන තියෙනවා කියලා වැඩිමහල්ලන් පැහැදිලිව දකින්න ඕනේ. (2 කොරින්ති 7:11 කියවන්න.) එයාට ඇත්තටම පසුතැවිලි වෙලා ජීවිතය වෙනස් කරගන්න සෑහෙන කාලයක් යයි. මේ වගේ තත්වයකදී ඒ කෙනාව යම් කාලෙකට සභාවෙන් ඉවත් කරන්න ඉඩ තියෙනවා.—1 කොරි. 5:11-13; 6:9, 10.

18. අවංකව පසුතැවිලි වෙනවා කියලා සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ට පෙන්නන්න පුළුවන් කොහොමද? එයා එහෙම කරද්දී වෙන්නේ මොකක්ද?

18 අවංකව පසුතැවිලි වෙන කෙනෙක් වරද්දන්නේ නැතුව රැස්වීම් එනවා. අතපසු කරන්නේ නැතුව යාච්ඤා කරන්න, බයිබලය අධ්‍යයනය කරන්න කියලා වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා. ඒ වගේම එයාව ආයෙත් වරදකට පොලඹවන්න පුළුවන් දේවල්වලින් සම්පුර්ණයෙන්ම ඈත් වෙනවා. එයා ආයෙත් යෙහෝවා එක්ක බැඳීමක් ඇති කරගන්න එයාගේ උපරිමය කළොත් දෙවියන් අනිවාර්යයෙන්ම එයාට සමාව දෙනවා කියලත් වැඩිමහල්ලන් එයාව ආයෙත් සභාවට පිළිගනියි කියලත් එයාට නිසැක වෙන්න පුළුවන්. වැරදි කරපු අයත් එක්ක වැඩ කරද්දී ඒ එක් එක් කෙනාගේ තත්වයන් වෙනස් කියලා වැඩිමහල්ලන් තේරුම්ගන්නවා. වැඩිමහල්ලන් කවදාවත් කෙනෙක්ට ආයෙත් සභාවට එන එක තවත් අමාරු වෙන විදිහට වැඩ කරන්නේ නැහැ.

19. අවංකව පසුතැවෙන කෙනෙක් කරන්නේ මොනවාද? (එසකියෙල් 33:14-16)

19 අපි ඉගෙනගත්ත විදිහට අවංකව පසුතැවිලි වෙනවා කියලා කියන්නේ කරපු වරදට නිකම්ම සමාව ඉල්ලන එක නෙවෙයි. ඒ වෙනුවට අපි හිතන විදිහ වෙනස් කරගෙන අවංකවම පසුතැවිලි වෙනවා කියලා වැඩ කරන විදිහෙන් පෙන්නන්න ඕනේ. වැරදි මාර්ගවලින් සම්පුර්ණයෙන්ම අයින් වෙලා දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නත් ඕනේ. (එසකියෙල් 33:14-16 කියවන්න.) ඒ හැම දේටම වඩා අපි කරන්න ඕනෙ වැදගත්ම දේ තමයි ආයෙත් යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එක.

වැරදි කරපු කෙනෙක්ට පසුතැවිලි වෙන්න උදව් කරන්න

20-21. බරපතළ වරදක් කරපු කෙනෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

20 “මා ආවේ පව්කාරයන්ට පසුතැවිලි වෙන්න උපකාර කරන්න” කියලා යේසුස් කිව්වා. (ලූක් 5:32) ඔහු ඒක සැලකුවේ ඔහුට පැවරුණු වැදගත් කාර්යයක් විදිහට. පසුතැවිලි වෙන කෙනෙක්ට උදව් කරන්න අපිත් සූදානමින් ඉන්න ඕනේ. හිතන්න අපේ කිට්ටු යාළුවෙක් කරපු බරපතළ වරදක් ගැන අපි දැනගත්තා කියලා. අපි මොනවාද කරන්න ඕනේ?

21 අපි කවදාවත් අපේ යාළුවාගේ වරද හංගන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද යෙහෝවාගෙන් කිසිම වරදක් හංගන්න බැහැ. (හිතෝ. 5:21, 22; 28:13) වැඩිමහල්ලන් ඉන්නේ අපිට උදව් කරන්නයි කියලා යාළුවාට මතක් කරන්න. කරපු වරද ගැන වැඩිමහල්ලන්ට කියන්න එයා අකමැති වුණොත් ඔයා ගිහින් වැඩිමහල්ලන්ට ඒ ගැන කියන්න. එහෙම කරන එකෙන් ඔයා පෙන්නන්නේ යාළුවාට උදව් කරන්න ඔයාට ලොකු ඕනකමක් තියෙනවා කියලයි. මොකද වැඩිමල්ලන්ගෙන් එයාට උදව් ලැබුණේ නැත්නම් යෙහෝවා දෙවියන් එක්ක තියෙන එයාගේ බැඳීමට ලොකු හානියක් වෙයි.

22. ඊළඟ ලිපියෙන් අපි බලන්න යන්නේ මොනවා ගැනද?

22 කාලයක් තිස්සේ බරපතළ වරදක් කරපු කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන්න වැඩිමහල්ලන් තීරණය කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ වැඩිමහල්ලන් එයාට දයාව පෙන්නුවේ නැහැ කියන එකද? වැරදි කරන අයව හික්මවන එකෙන් යෙහෝවා දෙවියන් දයාව පෙන්නන්නේ කොහොමද කියලත් ඔහුව අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

^ 5 ඡේ. අවංකවම පසුතැවිලි වෙන්න නම් කරපු වරද ගැන දුක් වෙලා විතරක් මදි. ඒ ගැන ආහබ්ගෙන්, මනස්සේගෙන් සහ යේසුස් කියපු උපමාවේ ඉන්න අකීකරු පුත්‍රයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම බරපතළ වරදක් කරපු කෙනෙක් අවංකව පසුතැවිලි වෙනවාද කියලා තීරණය කරද්දී වැඩිමහල්ලන් සලකලා බලන කරුණු කීපයක් ගැනත් අපි බලමු.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: මිකායාව හිරේට දාන්න කියලා ආහබ් හරිම කේන්තියෙන් එයාගේ සෙබළුන්ට අණ කරනවා.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: මනස්සේ රජ දේවමාලිගාව ඇතුළට ගෙනත් තිබුණ බොරු දෙවිවරුන්ගේ රූප විනාශ කරන්න කියලා සේවකයන්ට අණ කරනවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: ලොකු දුරක් ගෙවාගෙන ඇවිත් හොඳටම හෙම්බත් වෙලා ඉන්න අකීකරු පුතාට ඈතින් එයාගේ ගෙදර දකිද්දී ලොකු සහනයක් දැනෙනවා.