Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 43

උත්සාහය අත්හරින්න එපා!

උත්සාහය අත්හරින්න එපා!

“එහෙයින් අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු.”—ගලා. 6:9.

ගීතිකාව 68 රාජ්‍යයේ බීජ වපුරමු

මේ ලිපියෙන් *

1. අපිට තියෙන්නේ මොන වටිනා අවස්ථාවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ලැබුණ එක ගැන අපි හැමෝම ගොඩක් සතුටු වෙනවා. අපි යෙහෝවාගේ සෙනඟයි. දෙවියන් ගැන සාක්ෂි දරන එකෙන් සහ යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන එකෙන් අපි අපේ නමට එකඟව වැඩ කරනවා. “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” කෙනෙක්ට සත්‍යයට එන්න උදව් කරද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. (ක්‍රියා 13:48) එක අවස්ථාවක යේසුස්ගේ ගෝලයන් සේවයෙන් ලබපු හොඳ අද්දැකීම් ගැන ඇවිල්ලා කියද්දී ‘දෙවිගේ බලය යේසුස් තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ අතර ඔහු මහත් සේ ප්‍රීති’ වුණා කියලා බයිබලේ කියනවා. (ලූක් 10:1, 17, 21) සේවේ හොඳ ප්‍රතිඵල ලැබෙද්දී අපිට දැනෙන්නෙත් යේසුස්ට දැනුණා වගේමයි.

2. දේශනා කරන එක අපි වැදගත් දෙයක් විදිහට සලකනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

2 ශුභාරංචිය දේශනා කරන එක අපි ගොඩක් වැදගත් දෙයක් විදිහට සලකනවා. පාවුල් තිමෝතිට කිව්වේ ‘ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත’ කියලයි. (1 තිමෝ. 4:16) ඉතින් අපි කරන්නෙත් ජීවිත ගලවන වැඩක්. දේවරාජ්‍යයේ යටත්වැසියන් විදිහට අපි වැඩ කරන විදිහ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද අපිට ඕනෙ දෙවියන්ගේ නමට ප්‍රශංසාවක් ලැබෙන විදිහටත් අපි කියන ශුභාරංචියට එකඟවත් වැඩ කරන්නයි. (ෆිලි. 1:27) සේවේ යන්න කලින් හොඳින් ලෑස්ති වෙන එකෙනුත් සේවයට දෙවියන්ගේ උදව් ඉල්ලන එකෙනුත් ‘උගන්වන දේ ගැන සැලකිලිමත් වෙනවා’ කියලා අපි පෙන්නනවා.

3. හැම කෙනෙක්ම අපේ පණිවිඩයට හොඳින් ඇහුම්කන් දෙයිද? උදාහරණයක් කියන්න.

3 දේශනා කරන්න අපි අපේ උපරිමය කළත් සමහරවිට මිනිස්සු අපිට ඇහුම්කන් දෙන එකක් නැහැ. 1929 ඉඳන් 1947 වෙන කල් අයිස්ලන්තයේ සේවය කරපු සහෝදර ගෙඕග් ලින්ඩාල්ගේ අද්දැකීම බලන්න. එයා සඟරා පොත් පත් දහස් ගාණක් බෙදාහැරියත් කවුරුත් සත්‍යයට ආවේ නැහැ. එයා මෙහෙම ලිව්වා. “එහේ හිටපු වැඩිදෙනෙක් සත්‍යයට ලොකු උනන්දුවක් පෙන්නුවේ නෑ. සමහර අය සත්‍යයට විරුද්ධත් වුණා. ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු මිෂනාරීන් කීපදෙනෙකුත් අයිස්ලන්තයට ගිහිල්ලා සේවය කළා. හැබැයි එයාලා ගිහිල්ලත් අවුරුදු නවයක් ගියාට පස්සේ තමයි අයිස්ලන්තයේ හිටපු කීපදෙනෙක් එයාලගේ ජීවිත යෙහෝවාට කැප කරලා බව්තීස්ම වුණේ.”

4. මිනිස්සු පණිවිඩයට හොඳින් ඇහුම්කන් දෙන්නේ නැති වෙද්දී අපිට දැනෙන්නේ කොහොමද?

4 යුදෙව්වන් යේසුස්ව මෙසියස් විදිහට පිළිගන්න අකමැති වුණාම පාවුල්ට “මහත් දුකක් හා වේදනාවක්” දැනුණා. (රෝම 9:1-3) අපේ පණිවිඩයට මිනිස්සු ඇහුම්කන් දෙන්නේ නැති වෙද්දී අපිට දැනෙන්නෙත් ඒ වගේ. ඔයා බයිබල් ශිෂ්‍යයෙක් වෙනුවෙන් කොච්චර මහන්සි වුණත් එයා වෙනුවෙන් කොච්චර යාච්ඤා කළත් එයා ජීවිතේ වෙනස් කරගත්තේ නැති නිසා පාඩම නවත්තන්න සිද්ධ වෙලා තියෙනවාද? ඔයාගේ කිසිම ශිෂ්‍යයෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න ඔයාට බැරි වෙලාද? ඒකෙන් අදහස් කරන්නේ ඔයා කරන සේවේ ගැන දෙවියන් සතුටු වෙන්නේ නැහැ කියන එකද? අපි මේ ලිපියෙන් ප්‍රශ්න 2කට උත්තර බලන්න යනවා. (1) අපේ සේවේ සාර්ථකත්වය මනින්න පුළුවන් කොහොමද? (2) අනිත් අයට දේශනා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

අපේ සේවයේ සාර්ථකත්වය මනින්නේ කොහොමද?

5. අපි මහන්සි වෙලා යෙහෝවා වෙනුවෙන් සේවය කළත් හැම තිස්සේම හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ ඇයි?

5 දෙවිගේ කැමැත්තට අනුව වැඩ කරන කෙනෙක් ගැන බයිබලේ කියන්නේ “ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය” කියලයි. (ගීතා. 1:3) හැබැයි අපි යෙහෝවා වෙනුවෙන් කරන හැම දෙයක්ම අපි බලාපොරොත්තු වෙන විදිහටම සාර්ථක වෙනවා කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. මොකද අපේ අතිනුත් අනිත් අයගේ අතිනුත් ගොඩක් වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන නිසා අපේ “ජීවිතේ දුක් කම්කටොලු වලින් පිරිලා” තියෙනවා. (යෝබ් 14:1) ඒ විතරක් නෙවෙයි අපේ පණිවිඩයට විරුද්ධ අය කරන දේවල් නිසා අපිට ටික කාලෙකට සාමාන්‍ය විදිහට සේවේ කරන්න බැරි වෙන්නත් පුළුවන්. (1 කොරි. 16:9; 1 තෙස. 2:18) එහෙනම් යෙහෝවා අපේ සේවේ සාර්ථකයිද කියලා මනින්නේ කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් දැන් අපි බලමු.

හම්බ වෙලා හරි ලියුමකින් හරි ෆෝන් එකෙන් හරි අනිත් අයට සාක්ෂි දරන්න අපි දරන වෑයම යෙහෝවා ගොඩක් අගය කරනවා (6 ඡේදය බලන්න)

6. දෙවියන් අපි කරන සේවේ සාර්ථකයිද කියලා තීරණය කරන්නේ කොහොමද?

6 යෙහෝවාට වටින්නේ අපි විඳදරාගෙන ඔහුට සේවය කරන්න දරන වෙහෙසයි. අපේ පණිවිඩයට අනිත් අය ඇහම්කන් දුන්නත් නැතත් අපි දෙවියන්ට තියෙන ආදරේ නිසා උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරනවා නම් යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ. ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.” (හෙබ්‍රෙ. 6:10) ඉතින් බව්තීස්මය දක්වා දියුණු වෙන්න කිසිම කෙනෙක්ට උදව් කරන්න අපිට බැරි වුණත් ‘ස්වාමීන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස නිෂ්ඵල වෙන්නේ නැහැ’ කියලා පාවුල් කියපු දේ මතක තියාගන්න අපිට පුළුවන්.—1 කොරි. 15:58.

7. සේවය ගැන පාවුල් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 පාවුල් දක්ෂ මිෂනාරිවරයෙක්. එයා කරපු සේවේ නිසා නගර ගොඩක අලුතින් සභා පිහිටුවන්න පුළුවන් වුණා. එක අවස්ථාවක සමහර අය පාවුල් දක්ෂ ගුරුවරයෙක් නෙවෙයි කියලත් ඒ අය පාවුල්ට වඩා දක්ෂයි කියලත් චෝදනා කළා. ඒ නිසා එයාට තමන් වෙනුවෙන් කතා කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ එයා සත්‍යයට තමන් කීදෙනෙක්ව ගෙනාවාද කියලා කියනවා වෙනුවට “මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය” කියලා කිව්වා. (2 කොරි. 11:23) ඒකෙන් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවියන්ට වැඩියෙන්ම වටින්නේ අපි අත්හරින්නේ නැතුව වෙහෙස මහන්සි වෙලා සේවය කරන එකයි කියලා පාවුල් තේරුම් අරගෙන තිබුණා කියලා. ඒ දේ අපිත් මතක තියාගන්න එක හරිම වැදගත්.

8. අපේ සේවේ ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

8 අපි කරන සේවය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා. එක් අවස්ථාවක යේසුස් රාජ්‍යය ගැන දේශනා කරන්න ගෝලයන් 70දෙනෙක්ව යැව්වා. එයාලා ආපහු හැරිලා ආවේ ලොකු ‘ප්‍රීතියකින්.’ එයාලා සතුටු වුණේ මොකක් ගැනද? ඒ ගැන එයාලා මෙහෙම කිව්වා. “අපි ඔබේ නාමය භාවිත කළ විට භූතයන් පවා අපේ අණට කීකරු වුණා.” හැබැයි එයාලා හිතන්න ඕනෙ හරි විදිහ තේරුම් කරලා දෙන්න යේසුස් මෙහෙම කිව්වා. “ඔබ ප්‍රීති විය යුත්තේ භූතයන් ඔබේ අණට කීකරු වන නිසා නොවෙයි. දෙවි ඔබේ නම් ස්වර්ගයෙහි සටහන් කර තිබෙන නිසයි” (ලූක් 10:17-20) ගෝලයන් සේවේ යන හැම දවසකම මිනිස්සු උනන්දුවෙන් එයාලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා යේසුස් දැනගෙන හිටියා. අනිත් අතට මුලින් ගෝලයන්ට ඇහුම්කන් දුන්න අයගෙන් ක්‍රිස්තියානීන් වුණේ කීයෙන් කීදෙනාද කියලා අපි හරියටම දන්නේ නැහැ. සේවයෙන් හොඳ ප්‍රතිඵල ලැබුණ එක ගැන ගෝලයන් සතුටු වුණ එක වැරදි නැහැ. ඒත් එයාලා වැඩියෙන්ම සතුටු වෙන්න ඕනෙ එයාලා වෙහෙස මහන්සි වෙලා කරන සේවය යෙහෝවා දෙවියන්ට කොච්චර වටිනවාද කියලා තේරුම්ගන්න එකෙනුයි.

9. අත්හරින්නේ නැතුව දිගටම සේවය කරද්දී අපිට ලැබෙන්නේ මොනවාද? (ගලාති 6:7-9)

9 අපි අත්හරින්නේ නැතුව දිගටම දේශනා කරද්දී අපිට සදාකාල ජීවිතය ලැබෙනවා. පාවුල් කිව්වා අපේ ‘ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහට වපුරන්න’ කියලා. අපි ගොඩක් මහන්සි වෙලා වපුරද්දී ඒ කියන්නේ දේශනා සේවය සහ මිනිසුන්ට උගන්වන වැඩේ කරද්දී අපි කරන්නෙත් දෙවියන්ගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන එකයි. ඉතින් එක් කෙනෙක්ටවත් බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න ඔයාට බැරි වුණත් “විඩාවට පත්වෙලා” දෙවියන්ට කරන සේවය නතර කරන්න එපා. එතකොට ඔයාට සදාකාල ජීවිතය දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා.—ගලාති 6:7-9 කියවන්න.

සේවය ගැන අපි තේරුම් අරන් ඉන්න ඕනෙ මොනවාද?

10. සමහර අය අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නෙත් තවත් අය ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් ඇයි?

10 මිනිස්සු අපේ පණිවිඩයට ප්‍රතිචාර දක්වන්නේ එයාලගේ හදවතේ තත්වය අනුවයි. ඒක පැහැදිලි කරන්න යේසුස් වපුරන්නෙක් ගැන උපමාවක් කිව්වා. වපුරන්නාගේ බීජ එක එක පස් වර්ගවල වැටුණත් හොඳ පලදාවක් ලැබුණේ සරු පස්වල වැටුණ බීජවලින් විතරයි. (ලූක් 8:5-8) ඒ පස් වර්ගවලින් නියෝජනය වුණේ එක් එක් කෙනා “දෙවිගේ පණිවිඩයට” ප්‍රතිචාරය දක්වන විදිහයි කියලා යේසුස් කිව්වා. (ලූක් 8:11-15) වපුරන්නාට කොච්චර පලදාවක් ලැබෙනවාද කියන එක එයාට පාලනය කරන්න බැහැ වගේ අපිටත් සේවයේදී ලැබෙන ප්‍රතිඵල පාලනය කරන්න බැහැ. මොකද ඒක තීරණය වෙන්නේ ඇහුම්කන් දෙන අයගේ හදවතේ තත්වයට අනුවයි. ඉතින් ප්‍රතිඵලය මොකක් වුණත් අපේ වගකීම තමයි දිගටම ශුභාරංචිය දේශනා කරන එක. පාවුල් කිව්වේ “ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නේ එකිනෙකා දැරූ වෙහෙසට අනුවය” කියලයි. එහෙම නැතුව අපි කීදෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කළාද කියන එක මත නෙවෙයි.—1 කොරි. 3:8.

නෝවා අවුරුදු ගාණක් විශ්වාසවන්තව දේශනා කළත් එයාගේ පවුලේ අය ඇරෙන්න වෙන කවුරුත් නැවට ඇතුල් වුණේ නැහැ. ඒ වුණත් දෙවියන් දුන්න පැවරුම නෝවා ඒ විදිහටම ඉටු කළා. (11 ඡේදය බලන්න)

11. මිනිස්සු නෝවාට ඇහුම්කන් දුන්නේ නැති වුණත් එයා කරපු සේවය ගැන යෙහෝවා සතුටු වුණේ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

11 අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන් දේශනා කරද්දී හුඟක් වෙලාවට මිනිස්සු එයාලට ඇහුම්කන් දුන්නේ නැහැ. උදාහරණෙකට නෝවා අවුරුදු ගාණක් තිස්සේ “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළා.” (2 පේතෘ. 2:5) එයා කියපු පණිවිඩයට මිනිස්සු ඇහුම්කන් දෙයි කියලා නෝවා බලාපොරොත්තු වෙන්න ඇති. හැබැයි එහෙම දෙයක් වෙනවා කියලා යෙහෝවා දෙවියන් කිව්වේ නැහැ. මොකද දෙවියන් එයාට කිව්වේ “ඔබද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද නැවට ඇතුල් විය යුතුයි” කියලයි. (උත්. 6:18) නැවේ දිග පළල ගැන යෙහෝවා දෙවියන් නෝවාට කියද්දී ඒකේ මිනිස්සු ගොඩදෙනෙක්ට ඉන්න ඉඩ නැහැ කියලා නෝවාට තේරෙන්න ඇති. ඒ නිසා එයා කියපු පණිවිඩයට හුඟදෙනෙක් ඇහුම්කන් දෙන එකක් නැහැ කියලා නෝවා තේරුම්ගන්න ඇති. (උත්. 6:15) බයිබල් වාර්තාවේ පෙන්නලා තියෙන විදිහට නෝවා කොච්චර මහන්සි වෙලා සේවය කළත් කවුරුත් එයාට ඇහුම්කන් දුන්නේ නැහැ. (උත්. 7:7) ඒ නිසා නෝවා කරපු සේවයෙන් කිසිම වැඩක් නැහැ කියලා දෙවියන් හිතුවාද? කොහොමටවත් නැහැ. නෝවා දෙවියන් කියපු හැම දෙයක්ම ඒ විදිහටම කරපු නිසා ඔහු එයා ගැන ගොඩක් සතුටු වුණා.—උත්. 6:22.

12. හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැතත් සතුටින් සේවය කරන්න යෙරෙමියාට පුළුවන් වුණේ කොහොමද?

12 අනාගතවක්තෘ යෙරෙමියා අවුරුදු 40ටත් වඩා වැඩියෙන් දේශනා කළා. ඒ කාලේ පුරාවටම හුඟදෙනෙක් එයාට ඇහුම්කන් දුන්නේ නැහැ. සමහර අය පීඩාත් කළා. යෙරෙමියා කොච්චර “නින්දාවටත් සමච්චලයටත්” ලක් වුණාද කියනවා නම් එක අවස්ථාවකදී එයා එයාගේ පැවරුම අත්හැරලා දාන්න හිතුවා. (යෙරෙ. 20:8, 9) හැබැයි අධෛර්යය කරන සිතුවිලිවලින් ගොඩ ඇවිත් දිගටම සතුටින් සේවය කරන්න යෙරෙමියාට පුළුවන් වුණා. එහෙම කරන්න එයාට උදව් වුණේ මොනවාද? යෙරෙමියා වැදගත් දේවල් දෙකක් මතක් කරගත්තා. (1) එයා කියපු පණිවිඩය නිසා මිනිස්සුන්ට “ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්” ලැබුණා. (යෙරෙ. 29:11) (2) දෙවියන් තමන්ගේ පණිවිඩය ගැන මිනිස්සුන්ට දේශනා කරන්න තෝරගෙන තිබුණේ යෙරෙමියාව. ඒ ගැන එයා ගොඩක් සතුටු වුණා. (යෙරෙ. 15:16) අද අපි කියන පණිවිඩය නිසාත් මිනිසුන්ට හොඳ බලාපොරොත්තුවක් ලැබෙනවා. ඒ වගේම යෙහෝවා ගැන අනිත් අයට කියලා දෙන්න ඔහු තෝරගෙන තියෙන්නේ අපිවයි. ඒක අපිට ලොකු ගෞරවයක්. ඉතින් අපි මේ වැදගත් කාරණා දෙක මතකේ තියාගද්දී මිනිස්සු මොන විදිහේ ප්‍රතිචාරයක් දැක්වුවත් සතුටින් දිගටම සේවය කරන්න අපිට පුළුවන් වෙනවා.

13. මාක් 4:26-29 යේසුස් කියපු උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

13 කෙනෙක්ට දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න කාලයක් යනවා. ඒක පැහැදිලි කරන්න යේසුස් බීජ වපුරලා නින්දට යන වපුරන්නෙක් ගැන උපමාවක් කිව්වා. (මාක් 4:26-29 කියවන්න.) ඒ උපමාවේ කියන විදිහට බීජ වැපුරුවාට පස්සේ පැළ වැඩෙන්නේ ටිකෙන් ටික. ඒ වගේම පැළ වැඩෙන එක ඉක්මන් කරන්න වපුරන්නාට බැහැ. ඒ වගේ අපේ බයිබල් ශිෂ්‍යයන්ටත් ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟාගෙන එයාලා ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්න කාලයක් යනවා. ඒක ඉක්මන් කරන්න අපිට බැහැ. ඒ නිසා ශිෂ්‍යයෙක් හිතපු තරම් ඉක්මනට බව්තීස්මය දක්වා දියුණු වුණේ නැත්නම් ඒ ගැන අධෛර්යය වෙලා අපේ උත්සාහය අත්හරින්න හොඳ නැහැ. ඒ උපමාවේ හිටපු වපුරන්නා ඉවසීමෙන් වැඩ කළා වගේ අපිත් අපේ ශිෂ්‍යයන්ට සත්‍යයේ දියුණු වෙන්න ඉවසීමෙන් උදව් කරමු.—යාකො. 5:7, 8.

14. සමහර වෙලාවට මිනිස්සු අපි කියන පණිවිඩයට ඇහුම්කන් දෙන්න කාලයක් යනවා කියලා පෙන්නන උදාහරණයක් දෙන්න.

14 සමහර ප්‍රදේශවල කොච්චර දේශනා කළත් අවුරුදු ගාණක් යන කල් කෙනෙක් සත්‍යයට එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මේ අද්දැකීම බලන්න. ග්ලැඩිස් ඇලන් සහ රූබි ඇලන් කියන්නේ එකම පවුලේ ඉන්න සහෝදරියන් දෙන්නෙක්. 1959දී කැනඩාවේ ක්විබෙක්වල තියෙන නගරෙක ස්ථාවර පුරෝගාමීන් විදිහට සේවය කරන්න එයාලට පැවරුමක් ලැබුණා. * කතෝලික පල්ලියෙනුයි ගමේ මිනිස්සුන්ගෙනුයි ආව බලපෑම නිසා කවුරුත් එයාලා කියපු ශුභාරංචියට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ ගැන ග්ලැඩිස් මෙහෙම කියනවා. “අපි අවුරුදු දෙකක් පුරා හැම දවසකම පැය අටක් ගෙයින් ගෙට ගියත් කවුරුත් එළියට ආවේ නැහැ. ඔවුන් දොර ළඟට ඇවිත් එබිකම් කරලා දොර වහගත්තා. නමුත් අපි අත්හැරියේ නැහැ.” ටිකෙන් ටික මිනිස්සු එයාලත් එක්ක හිතවත් වෙලා එයාලා කියපු පණිවිඩයට ඇහුම්කන් දෙන්න පටන්ගත්තා. දැන් ඒ නගරයේ සභාවන් තුනක්ම තියෙනවා.—යෙසා. 60:22.

15. මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩය ගැන 1 කොරින්ති 3:6, 7 කියන දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 කෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න සභාවේ හැමෝගෙම උදව් ඕනේ. (1 කොරින්ති 3:6, 7 කියවන්න.) හිතන්න සහෝදරයෙක්ට උනන්දුව දක්වන කෙනෙක්ව හම්බ වෙලා එයා ඒ කෙනාට පත්‍රිකාවක් හරි සඟරාවක් හරි දෙනවා. හැබැයි ඒ කෙනාව ආයෙත් බලන්න යන්න බැරි වෙයි කියලා තේරුම්ගන්න නිසා ඒ සහෝදරයා වෙන කෙනෙක්ට ඒ නැවත බැලීමට යන්න කියනවා. ඒ ප්‍රචාරකයාට උනන්දුව දක්වපු කෙනා එක්ක පාඩමක් පටන්ගන්න පුළුවන් වෙනවා. ඉතින් එයා පාඩමට යන හැම වතාවකම විවිධ සහෝදර සහෝදරියන්ව එක්කන් යනවා. ඒ හැම කෙනාම එක එක විදිවලින් ශිෂ්‍යයාට උදව් කරනවා. ඉතින් එහෙම බලද්දී ශිෂ්‍යයාට ශක්තිමත් විශ්වාසයක් ඇති කරගෙන සත්‍යයේ දියුණු වෙන්න සභාවේ හැමෝම උදව් කරලා තියෙනවා. ඉතින් කෙනෙක් බව්තීස්ම වෙද්දී යේසුස් කිව්වා වගේ බීජ වපුරපු කෙනාටයි අස්වැන්න නෙළපු කෙනාටයි ඒ කියන්නේ එයාට උදව් කරපු හැමෝටම ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.—යොහ. 4:35-38.

16. ඔයාට ඔයා කැමති තරම් සේවේ කරන්න බැරි වුණත් දිගටම සතුටින් සේවේ කරන්න පුළුවන් කොහොමද?

16 අසනීපයක් නිසා හරි ශරීරය දුර්වල වෙලා තියෙන නිසා හරි ඔයාට කලින් තරම් සේවයක් කරන්න බැහැ කියලා දැනෙනවාද? එහෙම දැනුණත් දැන් ඔයා කරන සේවය ගැන ඔයාට සතුටු වෙන්න පුළුවන්. අමලෙක්වරුන් දාවිත් සහ එයාත් එක්ක හිටපු මිනිසුන්ගේ පවුලේ අයව සහ එයාලට තිබුණ වස්තුව කොල්ල කාගෙන ගියාට පස්සේ වුණ සිද්ධියක් බලන්න. ඒ වෙලාවේ දාවිත් අමලෙක්වරුන්ට විරුද්ධව සටන් කරන්න යන්න තීරණය කළා. හැබැයි එයාත් එක්ක හිටපු අයගෙන් 200දෙනෙක් හොඳටම මහන්සි වෙලයි හිටියේ. ඒ නිසා එයාලා සටනට යන්නේ නැතුව එයාලගේ බඩු මලු බලාගන්න නැවතුණා. සටන දිනලා ආවාට පස්සේ දාවිත් සටනට ගිය අයටයි නැති අයටයි හැමෝටම කොල්ලය එක හා සමානව බෙදන්න කියලා අණ කළා. (1 සාමු. 30:21-25) අද අපි ලෝකේ පුරාම කරන සේවයත් ඒ වගේ. හැමෝම තමන්ට කරන්න පුළුවන් උපරිමය ඒ වෙනුවෙන් කරන නිසා කෙනෙක් සත්‍යයට ආවාම අපි හැමෝටම ඒ ගැන එක වගේ සතුටු වෙන්න පුළුවන්.

17. අපි දෙවියන්ට ස්තුති කරන්න ඕනෙ ඇයි?

17 අපේ ආදරණීය තාත්තා යෙහෝවා දෙවියන් අපි කරන සේවය හුඟක් අගය කරනවා. අපිට කරන්න පුළුවන් මොනවාද, බැරි මොනවාද කියලා ඔහු දන්නවා. කොච්චර මහන්සි වෙලා සේවේ කළත් දෙවියන්ට ළං වෙන්න කියලා මිනිසුන්ට බල කරන්න අපිට බැහැ. දෙවියන්ට තියෙන ආදරේ නිසා අපි කොච්චර මහන්සි වෙලා සේවේ කරනවාද කියලා ඔහු දකිනවා. ඒ වගේම ඔහු ඒකට ආශීර්වාද කරනවා. ඒ වගේම අපිට පුළුවන් උපරිමයෙන් සේවේ කරලා සතුටු වෙන්නේ කොහොමද කියලත් ඔහු අපිට කියලා දෙනවා. (යොහ. 14:12) යෙහෝවාට ස්තුති කරන්න අපිට කොච්චර හේතු තියෙනවාද? ඉතින් දෙවියන් වෙනුවෙන් සේවය කරන්න ඔයා දරන උත්සාහය කවදාවත් අත්හරින්න එපා!

ගීතිකාව 67 “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”

^ 5 ඡේ. අපි කියන ශුභාරංචියට මිනිස්සු හොඳින් ඇහුම්කන් දෙද්දී අපිට ගොඩක් සතුටුයි. හැබැයි අපේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැති වුණාම අපි කලකිරෙන්න පුළුවන්. ඔයාත් එක්ක බයිබලය පාඩම් කරන කෙනෙක් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නේ නැද්ද? ඔයාගේ බයිබල් ශිෂ්‍යයෙක් කවදාවත් බව්තීස්මය දක්වා දියුණු වෙලා නැද්ද? ඒ කියන්නේ ඔයා යෙහෝවා දෙවියන් වෙනුවෙන් හොඳ සේවයක් කරලා නැහැ කියන එකද? යෙහෝවා අපේ සේවේ සාර්ථකත්වය මනින්නේ කොහොමද කියලත් මිනිස්සු හොඳ ප්‍රතිචාරයක් දැක්වුවත් නැතත් දිගටම සතුටින් සේවේ කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා.

^ 14 ඡේ. ග්ලැඩිස් ඇලන්ගේ ජීවිත කතාව කියවන්න 2002 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “මම කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ!” කියන ලිපිය බලන්න.