Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

අන්තිමට මං හොයපු දේ මට හම්බ වුණා!

අන්තිමට මං හොයපු දේ මට හම්බ වුණා!

ඒ වෙලාවේ මං හිටියේ මධ්‍යධරණී මුහුද මැද. මං හිටපු බෝට්ටුවේ හිල් වුණ තැනකින් වතුර ඇතුළට එන්න පටන්ගත්තා. මට කරකියාගන්න දෙයක් නැති වුණා. ඒ එක්කම මට තේරුණා ලොකු කුණාටුවක් එන්නයි යන්නේ කියලා. මං කොච්චර බය වුණාද කියනවා නම් එකපාරටම යාච්ඤා කෙරුවා. ඒ මං යාච්ඤා කෙරුවේ අවුරුදු ගාණකට පස්සේ. මෙහෙම කිව්වට ඔයාලට අගක් මුලක් තේරෙන්නේ නැහැනේ. ඉන්න මං ඔයාලට මුල ඉඳලාම කියන්නම්.

මට වයස 7දී. පවුලේ අයත් එක්ක බ්‍රසීලයේ හිටිය කාලේ

මං ඉපදුණේ නෙදර්ලන්තයේ, 1948දී. ඊළඟ අවුරුද්දේම අපි පදිංචියට බ්‍රසීලයට ගියා. මගේ අම්මායි, තාත්තායි ආගමට හරිම ළැදියි. අපි හැමදාම රෑ කෑමෙන් පස්සේ එකතු වෙලා බයිබලේ කියෙව්වා. 1959දී අපි ඇමරිකාවේ පදිංචියට ගියා.

අපේ පවුලේ ඔක්කොම 8දෙනයි. අපිට කන්න අඳින්න දෙන්න තාත්තා සෑහෙන්න මහන්සි වුණා. වෙළෙන්දෙක් විදිහට, පාරවල් හදන කම්කරුවෙක් විදිහට, ගුවන් සමාගමක වෙළඳ නියෝජිතයෙක් විදිහට එයා රස්සාවල් ගාණක් කළා. ගුවන් සමාගමේ රස්සාව හම්බ වුණාම නම් අපි හැමෝම සතුටු වුණා, මොකද අපිටත් එක එක රටවල්වලට යන්න පුළුවන්නේ.

ඉස්කෝලේ ලොකු පන්තිවල ඉද්දී ‘මොනවාද ඉස්සරහාට කරන්නේ’ කියලා මං හිතුවා. විභාගෙන් පස්සේ සමහර යාළුවෝ කැම්පස් ගියා. සමහරු හමුදාවට බැඳුණා. ගහගන්න පොඩ්ඩක්වත් කැමති නැති නිසා හමුදාවට බැඳෙන එක මගේ හිතේ කොනකවත් තිබුණේ නැහැ. හමුදාවට යන එක මඟහරින්න ඕනෙ නිසා මං කැම්පස් යන්න තීරණය කළා. ඒත් ජීවිතේට නියම සතුටක් ලැබෙන්නේ අනිත් අයට උදව් කෙරුවොත් විතරයි කියලා මගේ හිත නිතරම කිව්වා.

කැම්පස් ජීවිතේ

අවුරුදු ගාණක් ජීවිතේට අරමුණක් තියෙනවාද කියලා හෙව්වා

ජීවයේ ආරම්භය ගැන මට ගොඩක් ප්‍රශ්න තිබුණා. ඒ නිසා මං කැම්පස් එකේදී මානව විද්‍යාව ඉගෙනගත්තේ හරිම ආසාවෙන්. දේශකයන් අපිට පරිණාමවාදය ගැන ඉගැන්නුවේ ඇත්තක් විදිහට. හැබැයි ඒ සමහර කරුණු ගැන මට සැක හිතුණා. මොකද ඒවා පිළිගන්න සාක්ෂි තිබුණේ නැහැ. ඒවාට කිසිම පදනමක් තිබුණෙත් නැහැ.

කැම්පස් එකේදී අපිට හරි වැරැද්ද ගැන ඉගැන්නුවේ නැහැ. අපිට කිව්වේ මොනවා කරලා හරි විභාගේ ගොඩ දාගන්න කියලා විතරයි. ඒ දවස්වල මං පාටිවලට ගිහින් යාළුවෝ එක්ක හොඳට ජොලි කළා, කුඩු ගැහුවා. ඒ වෙලාවට ඉතින් ඉගිළෙනවා වගේ තමයි දැනුණේ. හැබැයි පහළට ඇදන් වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ‘මොකක්ද මේ ජීවිතේ’ කියලා මට හිතුණා.

පස්සේ මං වෙන කැම්පස් එකකට ගියා. ඒක තිබුණේ ඇමරිකාවේ බොස්ටන් නගරයේ. කැම්පස් ගාස්තුව ගෙවාගන්න නිවාඩු කාලේදී පොඩි රස්සාවකුත් කෙරුවා. මට මුල්ම වතාවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ව හම්බ වුණේ එතනදී. එයා මාත් එක්ක එකට වැඩ කළේ. එයා මට බයිබලේ තියෙන “කාලවල් සත” ගැන ලස්සනට විස්තර කෙරුවා. අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියලත් එයා මට තේරුම් කරලා දුන්නා. (දානි. 4:13-17) හැබැයි මේ සාකච්ඡාව දිගටම ගියොත් නම් ජීවත් වෙන විදිහත් වෙනස් කරගන්න වෙයි කියලා මට තේරුණා. ඉතින් මං එයාව පුළුවන් තරම් මඟහැරියා.

මට ලොකු වුවමනාවක් තිබුණා දකුණු ඇමරිකාවට ගිහින් දුප්පත් අයට උදව් කරන්න. ඒ හින්දා කැම්පස් එකේ ඒකට ගැළපෙන විෂයක් මං තෝරගත්තා. මං හිතුවේ සමාජ සත්කාර වැඩ කෙරුවොත් ජීවිතේ නියම සතුට, අරමුණ හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මං හෙව්ව දේ මට ලැබුණේ නැහැ. ඒ හින්දා නිවාඩුවෙන් පස්සේ මං කැම්පස් ගියේ නැහැ.

වෙන රටවලටත් ගිහින් හොයලා බැලුවා

1970 මැයිවල මං නෙදර්ලන්තයට ගියා. ඒ තාත්තා වැඩ කරපු ගුවන් සමාගමේම රස්සාවකට. ඒ නිසා අප්‍රිකාවේ, උතුරු සහ දකුණු ඇමරිකාවේ, යුරෝපයේ වගේම ආසියාවේ තියෙන රටවල් ගාණකට යන්න මට පුළුවන් වුණා. කොයි රටට ගියත් මට තේරුණා ඒ හැමෝම මුහුණ දෙන්නේ එකම ප්‍රශ්නවලට කියලා. ඒවාට විසඳුම් ඒ රටවල්වල ඉන්න පාලකයන් ගාවවත් නැහැ. ඉතින් මං තේරුමක් ඇති දෙයක් කරන්න ඕනෙ කියලා හිතාගෙන ආයෙත් ඇමරිකාවට ගිහින් බොස්ටන් නගරයේ මං කලින් ගිය කැම්පස් එකටම ඇතුල් වුණා.

වැඩි කල් යන්න කලින් මට තේරුණා මොන විෂය ඉගෙනගත්තත් ජීවිතේ අරමුණ ගැන එයාලා උගන්වන්නේ නැහැ කියලා. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි තැන මං මානව විද්‍යා මහාචාර්යවරයාව හම්බ වෙන්න ගියා. මං කියපු දේ අහන් ඉඳලා එයා කිව්වා “ඔයාට මෙහේ හරියන්නේ නැත්නම් අස් වෙන එකයි තියෙන්නේ” කියලා. මාත් හිටියේ ඒ වචන ටික ඇහෙන කල්. ඉතින් කැම්පස් ගමනත් එදාම නැවතුණා.

ජීවිතේ අරමුණ මොකක්ද කියලා මට ඒ වෙද්දීත් හොයාගන්න බැරි වුණා. ඒ නිසා මං අලුත් කණ්ඩායමකට එකතු වුණා. එයාලා හිතුවේ සාමයයි, ප්‍රේමයයි තියෙනවා නම් ඒ ඇති කියලා. එයාලා කැමති කැමති විදිහට ජීවත් වුණා. මං ඒ යාළුවෝ කට්ටියක් එක්ක සැරයක් ඇමරිකාව පුරාම සංචාරය කෙරුවා. අපි නැවතුණේ මෙක්සිකෝවේ. එහෙදී අපි “හිපි” මිනිස්සු එක්ක නැවතුණා. එයාලා කාටවත් යටත් නැති, කාටවත් බරක් නැති සැහැල්ලු ජීවිතයක් ගත කරපු කට්ටියක් කියලයි පෙන්නුවේ. ඒත් එයාලත් එක්ක ඉද්දී මට තේරුණා එයාලගේ ජීවිතවලත් කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියලා. එයාලා අනිත් අයව රවට්ට රවට්ට වංක ජීවිත ගත කෙරුවේ. මං හොයපු ජීවිතේ එතනිනුත් හම්බ වුණේ නෑ.

රුවල් නැවක ගිහින් ජීවිතේ අරමුණ හොයන්න හිතුවා

යාළුවෙක් එක්ක පාරාදීසයක් වගේ දූපතක් හොයන්න පටන්ගත්තා

ඔය අතරේ පොඩි කාලේ ඉඳලා මට තිබුණ හීනයක් ආයෙත් මතක් වුණා. ඒ නැවක නැඟලා ලෝකේ වටේ යන්න. නිකන් නෙවෙයි, නැවේ කැප්ටන් විදිහට. ඒක කරන්න පුළුවන් එකම විදිහ මටම කියලා රුවල් බෝට්ටුවක් ගන්න එකයි. ටොම් කියලා මට යාළුවෙක් හිටියා. එයාටත් ඒ ආසාවම තිබුණ නිසා අපි තීරණය කෙරුවා ඒක ඉටු කරගන්න. මට ඕනෙ වුණේ කාගෙවත් නීතියකට යටත් නැති මුහුද මැද තියෙන පාරාදීසයක් වගේ ලස්සන දූපතකට ගොඩබහින්න.

මං ටොම් එක්ක ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවර ළඟ තියෙන ආරිනෙස් දා මාර් කියන තැනට ගියා. අපි “ලීග්‍රා” කියන අඩි 31ක් දිග රුවල් බෝට්ටුව සල්ලිවලට ගත්තා. ඒක මුහුදු ගමන්වලට ඔරොත්තු දෙන විදිහට හදාගත්තා. ගමනාන්තයට ළඟා වෙන්න ලොකු හදිස්සියක් තිබුණේ නැති හින්දා අපි බෝට්ටුවේ එන්ජිම ගලවලා වැඩිපුර වතුර පටවගන්න ඒ හිඩස පාවිච්චි කළා. අඩි 16ක් දිග හබල් දෙකකුත් බෝට්ටුවට හයි කරගත්තා. එතකොට පුංචි ජැටිවලත් බෝට්ටුව නවත්තගන්න පුළුවන්නේ. අපිට ඕන වුණේ අප්‍රිකානු මහද්වීපයේ බටහිර වෙරළ තීරයට බර වෙලා ගිහින් දකුණු අප්‍රිකාවේ සුබ පැතුම් තුඩුව පහු කරලා ඉන්දියන් සාගරයේ තියෙන සෙෂල්ස් දූපතට යන්න. අපි පාර හොයාගන්න පාවිච්චි කෙරුවේ ඉස්සර කාලේ නාවිකයන් පාවිච්චි කරපු සරල උපකරණයකුයි, තරුවල පිහිටීම ඇඳපු සිතියම් සහ පොත් කීපයකුයි විතරයි. මුහුද මැද හරියටම ඉන්නේ කොතනද කියලා ඒ දේවල්වල උදව්වෙන් කියන්න පුළුවන් වුණ එක නම් හරිම පුදුමයි.

හැබැයි වැඩි දවසක් යන්න කලින් අපිට තේරුණා මේ බෝට්ටුව මුහුදු ගමන්වලට හරි යන්නේ නැහැ කියලා. පැයට වතුර ලීටර් 22ක් විතර බෝට්ටුවට පිරෙන්න ගත්තාම වෙන කොහොම හිතන්නද? ඔයාලට මතකද අර මං මුලින් කිව්වේ බෝට්ටුවට වතුර පිරෙන්න පටන්ගත්ත ගමන් මං හොඳටම බය වෙලා යාච්ඤා කෙරුවා කියලා? එදා මං දෙවියන්ට පොරොන්දු වුණා අපිව බේරගත්තොත් මං ඔහු ගැන හොයනවා කියලා. වැඩි වෙලා යන්න කලින් තද හුළඟ නැවතුණා. මාත් මගේ පොරොන්දුව ඉටු කරන්න අමතක කළේ නැහැ.

මධ්‍යධරණී මුහුද මැද බෝට්ටුවේ ඉන්න ගමන්ම මං බයිබලය කියවන්න පටන්ගත්තා. මුහුද මැද බෝට්ටුවක හාන්සි වෙලා ඩොල්ෆින්, පියාමැස්සන් වතුරෙන් උඩට පනින හැටි බලාගෙන ඉද්දී ඈත නිහඬ ක්ෂිතිජය දිහා බලද්දී රෑට ඉමක් කොනක් නැති අහසේ තරු රටා දිහා බලාගෙන ඉද්දී මේවා අහම්බෙන් ආවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්ද? අපිව නිර්මාණය කරන්න දෙවි කෙනෙක් ඉන්නම ඕනෙ කියලා මට තේරුණා.

මුහුදේ සති කීපයක් ඉඳලා අපි ස්පාඤ්ඤයේ ආලිකාන්තේ වරායට ආවා. එහෙදී අපි කතා වුණා මේ බෝට්ටුව විකුණලා හොඳ එකක් ගමු කියලා. විකුණන එක ලේසි වුණේ නැහැ. ඒක ඉතින් පුදුම වෙන්න දෙයක්ද? කවුද ඉතින් එන්ජිමක් නැති, වතුර ලීක් වෙන පරණ බෝට්ටුවක් ගන්නේ? හැබැයි ඔය අතරේ බයිබලේ කියවන්න මට ඇති තරම් කාලේ හම්බ වුණා.

බයිබලේ කියවන්න කියවන්න මට දැනෙන්න ගත්තා ඒක අපේ සතුටට ඕනෙ කරන මඟ පෙන්වීම්වලින් පිරුණ පොතක් කියලා. පිරිසිදු ජීවිතයක් ගත කරන්න ඕනෙ කරන සදාචාර ප්‍රමිති ගැන බයිබලේ කියලා තියෙන දේවල් තව කෙනෙක් තේරුම් කරලා දෙන්න ඕනෙ නැති තරම්. ඒවා සරලයි, පැහැදිලියි. ඒ වෙද්දී මමවත් නමට ක්‍රිස්තියානි කියාගන්න ආගම්වල අයවත් ඒ මඟ පෙන්වීම් ගණන් ගන්නේ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බැරි වුණා.

මං තීරණයක් ගත්තා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා කියලා. මං කුඩු ගහන එක නැවැත්තුවා. බයිබලේ තියෙන ප්‍රමිති රකින කවුරු හරි ඉන්න ඕනෙ කියලත් එයාලා එක්ක කතා කරන්න ඕනෙ කියලත් මට හිතුණා. ඉතින් මං දෙවියන්ට යාච්ඤා කරලා කිව්වා “දෙවියනි, එයාලාව මට හොයලා දෙන්න” කියලා. ඒ මං යාච්ඤා කරපු දෙවෙනි වතාව.

සත්‍ය ආගම හෙව්වා

සත්‍ය ආගම හම්බ වෙන කල් ආගම් එකින් එක ගැන හොයලා බලන එකයි මගේ තීරණය වුණේ. මං ආගමික ගොඩනැඟිලි පහු කරගෙන ආලිකාන්තේ ප්‍රදේශයේ පාරක් පාරක් ගාණේ ඇවිද්දා. ඒත් ඒ එකක්වත් හරියි කියලා මට හිතුණේ නැහැ. මොකද ඒවාවල පිළිම තිබුණා. ඒත් මං සත්‍ය ආගම හොයන එක නතර කෙරුවේ නැහැ.

එක ඉරිදා දවසක ඈතට වරාය පේන මානයේ තියෙන පොඩි කන්දකට නැඟලා මං බයිබලය කියෙව්වා. එදා කියෙව්වේ යාකොබ් 2:1-5. ධනවත් අයට විශේෂ සැලකිල්ලක් පෙන්වන එකට විරුද්ධව එතන අනතුරු අඟවලා තියෙනවා. ඒ කොටස කියවලා අපේ රුවල් බෝට්ටුව ගාවට යන ගමන් මං දැක්කා ආගමික රැස්වීම් පවත්වනවා කියලා හිතන්න පුළුවන් පොඩි ශාලාවක්. බෝඩ් එකේ ගහලා තිබුණා “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානය” කියලා.

මට මෙහෙම දෙයක් කල්පනා වුණා. ‘මං ගිහිල්ලා බලන්න ඕනෙ එයාලා මාව පිළිගන්නේ කොහොමද කියලා.’ මොකද මං එදා රැවුල වවාගෙන, ඉරිච්ච දිග කලිසමක් ඇඳගෙන, සෙරෙප්පුවත් නැතුව හිටියේ. කොහොමහරි මං ශාලාවට ඇතුල් වුණා. එතන හිටපු කෙනෙක් මාව සතුටින් පිළි අරන් ආච්චි කෙනෙක් ළඟින් වාඩි කෙරෙව්වා. ඒ ආච්චි කථිකයා කියපු බයිබල් පද පෙරළලා මටත් පෙන්නුවා. රැස්වීමෙන් පස්සේ හැමෝම මාව ආදරෙන් පිළිගත්ත විදිහ මගේ හිතට තදින් දැනුණා. එක පිරිමි කෙනෙක් මට කිව්වා බයිබලේ ගැන සාකච්ඡා කරන්න එයාගේ ගෙදරට එන්න කියලා. ඒත් ඒ වෙද්දී බයිබලේ සම්පූර්ණෙන්ම කියවලා හිටියේ නැති නිසා මං එයාට කිව්වා “මං තාම සාකච්ඡාවකට ලෑස්ති නැහැ, ලෑස්ති වුණාම එන්නම්” කියලා. ඒත් එදා ඉඳලා මං දිගටම රැස්වීම් ගියා.

සති කීපයකට පස්සේ මට එන්න කියපු කෙනාගේ ගෙදරට ගිහින් සාකච්ඡාවක් පටන්ගත්තා. මං අහපු ප්‍රශ්නවලට එයා බයිබලෙන් උත්තර දුන්නා. සතියකට පස්සේ එයා මට හොඳ ඇඳුම් පුරෝපු බෑග් එකක් දුන්නා. එයා කිව්වා ඒ ඇඳුම් හිරේ දාපු සහෝදරයෙක්ගේ ඒවා කියලා. එයාව හිරේ දාලා තියෙන්නේ හැමෝටම ප්‍රේම කරන්න කියලා බයිබලේ තියෙන අණට කීකරු වෙලා හමුදාවට බැඳුණේ නැති නිසා. (යෙසා. 2:4; යොහ. 13:34, 35) ඒ වෙලාවේ මට හොඳටම තේරුණා මේ තමයි මං හොයපු කට්ටිය කියලා. අන්තිමේදී පවිත්‍ර ජීවිතයක් ගැන බයිබලේ තියෙන පැහැදිලි මඟ පෙන්වීම් ඒ විදිහටම පිළිපදින සෙනඟව මට හම්බ වුණා! ඊටපස්සේ මං පාරාදීස දූපත හොයන එක නතර කරලා බයිබලේ ගැන ගැඹුරින් ඉගෙනගන්න පටන්ගත්තා. පස්සේ මං ආයෙත් නෙදර්ලන්තයට ගියා.

රස්සාවක් හෙව්වා

නෙදර්ලන්තයට ආවාට පස්සේ මං රස්සාවක් හෙව්වා. මං වඩු වැඩ කරන තැනක රස්සාවකට ඉල්ලුම් කළා. ඒ අයදුම්පතේ ආගම ගැන අහලා තිබුණ තැනට “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්” කියලා දැම්මා. ඒක දැක්කාම අයිතිකාරයාගේ මූණ වෙනස් වුණා. “ඔයාව ගන්නවා නම් මං කතා කරන්නම්කෝ” කියලා කිව්වාට එයා ආයේ කතා කළේ නැහැ.

මං තවත් තැනකට ගියාම එයාත් මගේ සුදුසුකම් ගැන ඇහුවා. මං එයාට කිව්වා මං රුවල් බෝට්ටුවක් අලුත්වැඩියා කරලා තියෙනවා කියලා. එයා මට මෙහෙම කිව්වා. “ඔයා අද දවල් ඉඳලා වැඩට එන්න. හැබැයි එක කොන්දේසියක් උඩ. මෙතන අනං මනං ප්‍රශ්න දාගන්න බැහැ, මොකද මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මං ජීවත් වෙන්නේ බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට එකඟව.” ඒක අහලා මාව උඩ ගියා. “ඉතිං මාත් සාක්ෂිකරුවෙක්නේ” කියලා මං කිව්වා. ඒත් කොණ්ඩෙයි, රැවුලයි දිගට වවාගෙන හිටපු නිසා එයා කිව්වා “මං කැමතියි ඔයාත් එක්ක බයිබලේ පාඩම් කරන්න” කියලා. මං එක පයින්ම කැමති වුණා. දැන් මට තේරෙනවා ඇයි අර කලින් වැඩපොළේ අයිතිකාරයා මට කතා කළේ නැත්තේ කියලා. යෙහෝවා මගේ හිතේ තිබුණ ආසාව ඉෂ්ට කෙරුවා. (ගීතා. 37:4) ඒ සහෝදරයාගේ වැඩපොළේ මං අවුරුද්දක් වැඩ කළා. ඒ අතරතුර එයා මාත් එක්ක පාඩමකුත් කෙරුවා. අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 1974 ජනවාරිවල මං බව්තීස්ම වුණා.

මං හොයපු ජීවිතේ මට හම්බ වුණා!

බව්තීස්ම වෙලා මාසෙකට පස්සේ මං අලුත් වැඩක් පටන්ගත්තා. ඒ පුරෝගාමියෙක් විදිහට සේවය කරන එක. ඒකෙන් මට හිතාගන්න බැරි තරම් සතුටක් ලැබුණා. අලුතෙන්ම පටන්ගත්ත ස්පාඤ්ඤ භාෂාව කතා කරන කණ්ඩායමට උදව් කරන්න මං ඊළඟ මාසේ ඇම්ස්ටඩෑම් නගරයට ගියා. ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂාවලින් බයිබල් පාඩම් කරන්න ලැබුණ අවස්ථාව ගැන මං හිටියේ හරිම සතුටෙන්. 1975 මැයිවල මට විශේෂ පුරෝගාමි සේවය කරන්න පැවරුමක් ලැබුණා.

එක දවසක් විශේෂ පුරෝගාමි සහෝදරියක් බොලීවියානු ජාතික කෙනෙක්ව අපේ ස්පාඤ්ඤ රැස්වීමට එක්කගෙන ආවා. ඒ සහෝදරියගේ නම කැතරිනා. ලියුම් මාර්ගයෙන් දෙන්නාට දෙන්නා අඳුරගන්න අපි කතා කරගත්තා. අපි දෙන්නාටම තිබුණේ එකම ඉලක්ක. 1976දී අපි විවාහ වෙලා දිගටම විශේෂ පුරෝගාමි සේවය කළා. 1982දී අපිට ගිලියද් පාසැලේ 73වෙනි පන්තියට ආරාධනාවක් ලැබුණා. අපිට පාසැලෙන් නැඟෙනහිර අප්‍රිකාවේ සේවය කරන්න පැවරුමක් ලැබුණාම කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. අපි කෙන්යාවේ අවුරුදු 5ක් සේවය කෙරුවා. 1987දී අපිව ටැන්සානියාවට යැව්වා. ඒ වෙද්දී එහේ අපේ සේවේට දාලා තිබුණ තහංචි අයින් කරලයි තිබුණේ. අපි එහේ අවුරුදු 26ක් සේවය කෙරුවාට පස්සේ ආයෙත් අපිව කෙන්යාවට යැව්වා.

නැඟෙනහිර අප්‍රිකාවේ අයට සත්‍යය කියලා දීලා මමයි, මගේ නෝනායි ලබන්නේ පුදුම සතුටක්

යෙහෝවා දෙවියන්ව හොයන නිහතමානී අයට සත්‍යය ගැන කියලා දෙන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකෙන් අපේ ජීවිතේට අරමුණක් ලැබිලා තියෙනවා. කෙන්යාවේදී මං කරපු පළවෙනි බයිබල් පාඩම ඒකට හොඳ උදාහරණයක්. මං ඒ කෙනාට සඟරා දෙකක් දුන්නාම එයා ඇහුවා “මේවා කියවලා ඉවර වුණාම මොකද කරන්නේ” කියලා. ඊළඟ සතියෙම ස්වහීලී භාෂාවෙන් ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක’ කියන පොතෙන් එයාත් එක්ක පාඩම් කරන්න පටන්ගත්තා. අවුරුද්දකින් එයා බව්තීස්ම වෙලා ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. එයායි, එයාගේ නෝනායි එකතු වෙලා මේ වෙද්දී සියදෙනෙක්ට විතර බව්තීස්ම වෙන්න උදව් කරලා තියෙනවා.

යෙහෝවා ඔහුගේ සෙනඟට අරමුණක් ඇති සතුටෙන් පිරුණු ජීවිතයක් ගත කරන්න ආශීර්වාද කරන විදිහ මායි, කැතරිනායි අද්දකිනවා

ජීවිතේ අරමුණ ගැන තේරුම්ගන්න පටන්ගන්නවාත් එක්කම වගේ මට හිතුණා මං හරියට වටිනා මුතු ඇටයක් හොයාගෙන ගිය සංචාරක වෙළෙන්දා වගේ කියලා. එයාත් ලැබුණ වස්තුව අත්හැරියේ නැහැ. (මතෙ. 13:45, 46) මටත් ඕනෙ මගේ ජීවිතේ තියෙන කල් ජීවිතේ නියම සතුට, අරමුණ හොයාගන්න අනිත් අයට උදව් කරන්න. යෙහෝවා ඔහුගේ සෙනඟට අරමුණක් ඇති සතුටෙන් පිරුණු ජීවිතයක් ගත කරන්න ආශීර්වාද කරලා තියෙන විදිහ මායි, මගේ නෝනායි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.