Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 49

ලෙවී කතාව පොතෙන් වටිනා පාඩම්!

ලෙවී කතාව පොතෙන් වටිනා පාඩම්!

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.”—ලෙවී. 19:18.

ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

මේ ලිපියෙන් *

1-2. අපි කලින් ලිපියේ බැලුවේ මොනවා ගැනද? මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් කීපයක් අපි කලින් ලිපියෙන් බැලුවා. උදාහරණෙකට 3වෙනි පදයේ යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා තමන්ගේ අම්මාටයි, තාත්තාටයි ගෞරව කරන්න කියලා. දෙමාපියන්ට අවශ්‍ය දේවල් ලබා දෙන එකෙන්, එයාලව දිරිගන්වන එකෙන්, දෙවියන් එක්ක එයාලට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන එකෙන් ඒ ප්‍රතිපත්තිය අදාළ කරගන්න අපිටත් පුළුවන්. ඒ වගේම ලෙවී කතාව 19:3 සබත ගැනත් කතා කරනවා. ක්‍රිස්තියානීන් විදිහට අද අපි සබත පැවැත්තුවේ නැතත් ඒකේ තියෙන ප්‍රතිපත්තියෙන් අපි මොනවාද ඉගෙනගත්තේ? යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපි හැම දවසකම කාලේ වෙන් කරන්න ඕනේ. ඒ දේවල් අපේ ජීවිතේට අදාළ කරගන්නවා නම් ලෙවී කතාව 19:2 සහ 1 පේතෘස් 1:15 කියන විදිහට දෙවියන් ඉදිරියේ ශුද්ධව ඉන්න අපිටත් පුළුවන්.

2 ආබාධිත අයට සලකන්න ඕනෙ කොහොමද? ව්‍යාපාර කටයුතුවලදී අවංක වෙන්න පුළුවන් කොහොමද? අනිත් අයට ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද? ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදය බලද්දී අපිට ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්. අපි ඒ ගැන මේ ලිපියෙන් බලමු. අපේ ශුද්ධ දෙවි යෙහෝවාව ආදර්ශයට අරගෙන ශුද්ධව ජීවත් වෙන්න ඒවා අපිට උදව් වෙයි.

ආබාධිත අයට කාරුණිකව සලකන්න

අන්ධ අයට සහ බිහිරි අයට සලකන්න ඕන විදිහ ගැන ලෙවී කතාව 19:14න් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (3-5 ඡේද බලන්න) *

3-4. අන්ධ සහ බිහිරි අයට සලකන්න ඕන විදිහ ගැන දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ මොනවාද? (ලෙවී කතාව 19:14)

3 ලෙවී කතාව 19:14 කියවන්න. ආබාධිත අයට කාරුණිකව සලකන එක යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලාපොරොත්තු වුණා. උදාහරණෙකට දෙවියන් එයාලට කිව්වා බිහිරි කෙනෙක්ට ශාප කරන්න එපා කියලා. ශාප කරනවා කියද්දී ඒකට තර්ජනය කරනවා නැත්නම් අපහාස කරනවා කියන අදහසත් ඇතුළත්. ඒක මොන තරම් පහත් දෙයක්ද! මොකද බිහිරි කෙනෙක්ට කිසිම දෙයක් ඇහෙන්නේ නැති නිසා තමන් වෙනුවෙන් කතා කරන්න එයාට බැහැ. එයා ඉන්නේ ගොඩක් අසරණ තත්වයක.

4 14වෙනි පදයේ මෙහෙමත් කියනවා. “අන්ධ මිනිසෙකු ඉදිරියේ බාධකයක් නොතැබිය යුතුයි.” එක පොතක මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල් දේශය අවට හිටපු ජාතීන් ආබාධිත අයට සැලකුවේ හරිම පහත් විදිහට. එයාලා ආබාධිත අයට ගොඩක් හිරිහැර කළා.” සමහරවිට එයාලා අන්ධ කෙනෙක්ට හිරිහැර කරන අරමුණෙන් එයාගේ ඉස්සරහින් මොකක් හරි බාධකයක් තියලා එයාව හිතාමතාම වට්ටන්න ඇති. එහෙමත් නැත්නම් අන්ධ කෙනෙක් වැටෙනවා බලන් ඉඳලා එයාලා පහත් විනෝදයක් ලබන්න ඇති. ඒක මොන තරම් අමානුෂික දෙයක්ද! දෙවියන් ඒ නීතිය දුන්න එකෙන් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කළා අවට ජාතීන් වගේ වෙන්නේ නැතුව ආබාධිත අයට ආදරෙන් සලකන්න කියලා.

5. ආබාධිත අයට කාරුණිකව සලකන්න අපිට පුළුවන් කොහොමද?

5 යේසුස් ආබාධිත අයට කාරුණිකව සැලකුවා. සමහර අවස්ථාවලදී ඔහු එයාලගේ ආබාධ සුව කළා. ඒ ගැන ඔහු යොහන් බව්තීස්තට මේ වගේ දෙයක් කියලා යැව්වා. ‘අන්ධයන්ට පෙනීම ලැබෙනවා. කොර වී සිටින අය ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව පවිත්‍ර කර තියෙනවා. බිහිරි වී සිටි අයට දැන් ඇසෙනවා. මිය ගිය අය නැවත ජීවත් වෙනවා.’ යේසුස් ආබාධිත අයට සලකපු විදිහ, එයාලගේ ලෙඩ සුව කරපු විදිහ දැකපු ‘මිනිස්සු දෙවිට ප්‍රශංසා කළා.’ (ලූක් 7:20-22; 18:43) සැබෑ ක්‍රිස්තියානීන් අද යේසුස් වගේ ආබාධිත අයට කාරුණිකව සලකනවා. එයාලගේ සීමාවන් තේරුම් අරන් එයාලත් එක්ක ඉවසීමෙන් වැඩ කරනවා. ඇත්ත, යේසුස්ට වගේ ආශ්චර්යවත් විදිහට ලෙඩ සුව කරන්න අපිට බැහැ. හැබැයි පාරාදීසයේදී කිසිම ආබාධයක් නැති කාලයක් එනවා කියලා එයාලට කියන්න අපිට පුළුවන්. අන්ධ අයට වගේම සාතන්ගේ මේ ලෝකය නිසා අන්ධ වෙලා ඉන්න අයටත් හොඳ බලාපොරොත්තුවක් දෙන්න අපිට පුළුවන්. (ලූක් 4:18) ඒ ගැන දැනගත්තාම එදා වගේම අදත් හුඟක් අය යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා.

ව්‍යාපාර කටයුතුවලදී අවංක වෙන්න

6. දසපනතේ තියෙන සමහර නීති තවත් හොඳින් තේරුම්ගන්න ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදය උදව් වෙන්නේ කොහොමද?

6 දසපනතේ තියෙන නීති අදාළ කරගන්න පුළුවන් තවත් පැති තේරුම්ගන්න ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදය අපිට උදව් වෙනවා. උදාහරණෙකට අටවෙනි පනත ගැන ටිකක් හිතන්න. එතන කියනවා “සොරකම් නොකරන්න” කියලා. (නික්. 20:15) සමහරවිට කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මං තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කළේ නැත්නම් මං ඒ නීතිය පිළිපදිනවා.’ හැබැයි සොරකම් නොකරන්න කියද්දී ඒකට ඇතුළත් වෙන තවත් දේවල් තියෙනවා.

7. සමහර ව්‍යාපාරිකයන් දසපනතේ අටවෙනි පනත කඩන්නේ කොහොමද?

7 ව්‍යාපාරිකයෙක්ට සමහරවිට හිතෙන්න පුළුවන් ‘මං කවදාවත් තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරලා නැහැනේ’ කියලා. හැබැයි ව්‍යාපාර කටයුතුවලදී එයා වැඩ කරන්නේ කොහොමද? බලන්න ලෙවී කතාව 19:35, 36 කියන දේ. ‘ඔබ දිග පළල මනින විට හෝ බර කිරන විට හෝ දියර මනින විට හෝ වංක ලෙස ක්‍රියා නොකළ යුතුයි. ඔබ හොර තරාදි හෝ හොර පඩි හෝ භාවිත නොකළ යුතුයි. වියළි ද්‍රව්‍ය සහ දියර මැනීම සඳහා නිවැරදි මිමි භාවිත කරන්න.’ මොකක්ද ඒකෙන් පැහැදිලි වෙන්නේ? කෙනෙක් ව්‍යාපාර කටයුතුවලදී මිනිසුන්ව රවට්ටලා එයාලට වංචා කරනවා නම් ඒකත් හරියට හොරකමක් වගේ. ඒක තවත් හොඳින් තේරුම්ගන්න ලෙවී කතාව 19 තව පද කීපයක් අපි දැන් බලමු.

ලෙවී කතාව 19:11-13 ඉගෙනගත්ත විදිහට ව්‍යාපාර කටයුතු කරද්දී ක්‍රිස්තියානියෙක් හිතලා බලන්න ඕනෙ මොන වගේ පැති ගැනද? (8-10 ඡේද බලන්න) *

8. අටවෙනි පනතේ තියෙන ප්‍රතිපත්තිය රකින්න ඊශ්‍රායෙල්වරුන්ට ලෙවී කතාව 19:11-13 උදව් වුණේ කොහොමද? ඒකෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

8 ලෙවී කතාව 19:11-13 කියවන්න. ලෙවී කතාව 19:11වෙනි පදය පටන්ගන්නේ “ඔබ සොරකම් නොකළ යුතුයි” කියලා. ඒ පරිච්ඡේදයේ 11වෙනි පදයට 13වෙනි පදයත් සම්බන්ධ කරලා තියෙනවා. බලන්න 13 පදයේ කියන දේ. “ඔබේ ආශ්‍රිතයාට වංචාවක් නොකරන්න.” ඒකෙන් පැහැදිලි වෙනවා හොරකමට වංචා කරන එකත් ඇතුළත් කියලා. දසපනතේ අටවෙනි පනතේ සඳහන් වුණේ හොරකම් නොකරන්න කියලා විතරයි. හැබැයි ලෙවී කතාව පොතේ යෙහෝවා දෙවියන් දුන්න නීතිවලින් අටවෙනි පනත අදාළ කරගන්න පුළුවන් විවිධ පැති ගැන තේරුම්ගන්න ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා. මේකෙන් අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? හොරකම, වංචාව ගැන යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න අපිත් පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා අපිට පුළුවන් අපෙන්ම මෙහෙම අහගන්න. ‘මම ව්‍යාපාර කටයුතු කරද්දී රස්සාව කරද්දී අනිත් අයට වංචා කරනවාද? ලෙවී කතාව 19:11-13 කියවද්දී මගේ පැත්තෙන් හදාගන්න ඕනෙ පැති තියෙනවා කියලා මට හිතෙනවාද?’

9. ලෙවී කතාව 19:13 සඳහන් නීතිය කුලීකරුවන්ට සහනයක් වුණේ කොහොමද?

9 ව්‍යාපාරිකයෙක් අවංක වෙන්න ඕන තවත් පැත්තක් ගැන ලෙවී කතාව 19:13 සඳහන් වෙනවා. එතන මෙහෙම කියනවා. “කුලීකරුවෙකුගේ දවසේ වැටුප පසුවදා උදෑසන වන තෙක් ඔබ ළඟ තබා නොගන්න.” ඊශ්‍රායෙල් කාලේ ගොඩක් අය කුලීකරුවන් විදිහට වතුවල වැඩ කළා. නීතියේ කිව්වා දවස අන්තිමට එයාලගේ කුලිය අනිවාර්යයෙන්ම එයාලට ගෙවන්න කියලා. ඒ ඇයි? බලන්න ඒ ගැන යෙහෝවා කියන දේ. “ඔහු අසරණව සිටින නිසා ඔහු ඔබ ළඟ වැඩ කරන්නේ කුලියක් බලාපොරොත්තුවෙන්.” (ද්වි. 24:14, 15; මතෙ. 20:8) මොකද ඒ ලැබෙන කුලියෙන් තමයි කුලීකරුවෙක් එයාගෙත් එයාගේ පවුලේ අයගෙත් ජීවිතේ ගැටගහගත්තේ.

10. ලෙවී කතාව 19:13 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 අද ගොඩක් වෙලාවට වැටුප් ගෙවන්නේ මාසෙකට සැරයක් නැත්නම් දෙසැරයක්. හැබැයි ලෙවී කතාව 19:13 තියෙන ප්‍රතිපත්තිය අදටත් අදාළයි. සමහර ව්‍යාපාරිකයන් එයාලා යටතේ වැඩ කරන අයට සාධාරණ පඩියක් ගෙවන්නේ නැහැ. ඒ අයගෙන් ගොඩක් වැඩ අරගෙන ගෙවන්නේ සොච්චමයි. එයාලා මිනිසුන්ගේ අසරණකමෙන් ප්‍රයෝජන ගන්නවා. වෙන විදිහකින් කියනවා නම් එයාලා කරන්නේ හරියට ‘කුලීකරුවෙක්ගේ වැටුප ළඟ තියාගන්නවා’ වගේ වැඩක්. හැබැයි සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි මේ කාරණය සැහැල්ලුවට ගන්නේ නැහැ. අපි මතක තියාගන්න ඕනෙ අපි යටතේ වැඩ කරන අයට සාධාරණ විදිහට වැටුප් ගෙවන එක යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා. දැන් අපි ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් දෙයක් ගැන බලමු.

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න”

11-12. ලෙවී කතාව 19:17, 18 උපුටලා අරන් යේසුස් කිව්වේ මොන වැදගත් කාරණයද?

11 යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට කිව්වේ අනිත් අයට හානියක් කරන්න එපා කියලා විතරක් නෙවෙයි. බලන්න ලෙවී කතාව 19:17, 18 කියන දේ. (කියවන්න.) එතන ඔහු පැහැදිලිවම කිව්වා “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියලා. යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න නම් සැබෑ ක්‍රිස්තියානීන් ඒ දේ කරන්නම ඕනේ.

12 ලෙවී කතාව 19:18 වැදගත්කම යේසුත් කාවැද්දුවා. සැරයක් පරිසිවරයෙක් ඔහුගෙන් ඇහුවා “නීතියේ උතුම්ම ආඥාව කුමක්ද?” කියලා. යේසුස් මෙහෙම කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි. උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි.” ඊටපස්සේ ලෙවී කතාව 19:18 උපුටලා අරන් ඔහු මෙහෙමත් කිව්වා. “දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (මතෙ. 22:35-40) අසල්වැසියාට ප්‍රේම කරන්න පුළුවන් පැති හුඟක් තියෙනවා. ඒක කරන්න පුළුවන් පැති කීපයක් ගැන අපි ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් බලමු.

13. ලෙවී කතාව 19:18 තවත් හොඳින් තේරුම්ගන්න යෝසෙප්ගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද?

13 අනිත් අයට ප්‍රේම කරන්න පුළුවන් එක විදිහක් ගැන ලෙවී කතාව 19:18 කියනවා. එතන කියනවා “පළි නොගන්න. ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න” කියලා. සමහරවිට අපි දැකලා ඇති අපේ වැඩපොළේ අය, ඉස්කෝලේ යාළුවෝ නැත්තම් නෑදෑයෝ කාලයක් තිස්සේ තව කෙනෙක් ගැන තරහක් හිතේ තියාගෙන ඉන්නවා. යෝසෙප්ගේ අයියලත් වැඩ කළේ ඒ විදිහටමයි. එයාලගේ හිතේ යෝසෙප් ගැන ලොකු තරහක් තිබුණා. ඒ තරහ නිසා අන්තිමට එයාලා පෙලඹුණා යෝසෙප්ට හානියක් කරන්න. (උත්. 37:2-8, 25-28) හැබැයි යෝසෙප් එයාලට වඩා කොච්චර වෙනස්ද! තමන්ගේ සහෝදරයන්ගෙන් පළිගන්න ඕන තරම් අවස්ථාව තිබුණත් යෝසෙප් එහෙම කළේ නැහැ. ඒ වෙනුවට එයා එයාගේ සහෝදරයන්ට කාරුණිකව සැලකුවා. ඇත්ත, යෝසෙප් ජීවත් වුණ කාලේ ලෙවී කතාව පොත ලියලා තිබුණේ නැහැ. හැබැයි එයා වැඩ කළේ ලෙවී කතාව 19:18 කියලා තිබුණ විදිහටමයි.—උත්. 50:19-21.

14. ලෙවී කතාව 19:18 තියෙන ප්‍රතිපත්තිය අද අපිටත් අදාළද? පැහැදිලි කරන්න.

14 තරහ හිතේ තියාගන්නේ නැතුව සමාව දෙන එක ගැන යෝසෙප් මොන තරම් හොඳ ආදර්ශයක්ද! යෙහෝවාව සතුටු කරන්න නම් අපිත් යෝසෙප් වගේ වෙන්න ඕනේ. යාච්ඤා කරන විදිහ ගැන උගන්වද්දී යේසුත් කිව්වා අපිට වැරදි කරන අයට අපි සමාව දෙන්න ඕනෙ කියලා. (මතෙ. 6:9, 12) පාවුල් කිව්වෙත් ඒ වගේම දෙයක්. එයා කිව්වා “හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න” කියලා. (රෝම 12:19) ඒ වගේම එයා මෙහෙමත් කිව්වා. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.” (කොලො. 3:13) ඒ දේවල්වලින් පැහැදිලියි ලෙවී කතාව 19:18 තියෙන ප්‍රතිපත්තිය අදටත් වෙනස් වෙලා නැහැ කියලා. ඇත්තටම කිව්වොත් දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

ලොකු තුවාලයක් වුණාම ඒක අල්ලඅල්ල ඉන්නේ නැහැ. ඒ වගේ, කෙනෙක් අපිට කරපු වරදක් ගැන ආයේ ආයේ මතක් කරකර ඉන්නේ නැතුව ඒක අමතක කරලා අපි එයාට සමාව දෙන්න ඕනේ (15 ඡේදය බලන්න) *

15. අනිත් අයට මුළු හදවතින්ම සමාව දෙන එකේ වැදගත්කම උදාහරණෙකින් පැහැදිලි කරන්න.

15 සමහර වෙලාවට හිතේ ඇති වෙන තුවාලත් ගතේ ඇති වෙන තුවාල වගේමයි. සමහර ඒවා පුංචියි. සමහර ඒවා ලොකුයි. උදාහරණෙකට මෙහෙම හිතන්න. ඔයා එළවළු කපද්දී පිහියට යාන්තමින් ඔයාගේ අත තුවාල වෙනවා. ඒ වෙලාවේ ඔයාට පොඩ්ඩක් රිදෙයි. හැබැයි දවස් දෙක තුනක් යද්දී කැපුණ තැනවත් හොයාගන්න නැහැ! ඒ වගේ සමහරවිට ඔයාගේ යාළුවෙක් හිතන්නේ නැතුව කියන දේකින් ඔයාගේ හිත රිදෙන්න පුළුවන්. හැබැයි ඔයා එයාට සමාව දීලා ඒක අමතක කරලා දානවා. ඊටපස්සේ ඔයාලා දෙන්නා වෙනදා වගේම ඉන්නවා. ඒත් හිතන්න, මොකක් හරි දේකට ඔයාගේ අත ගැඹුරටම තුවාල වුණා කියලා. ඒ වගේ වෙලාවට ඔයාට වෙනවා වෛද්‍යවරයෙක්ව හම්බ වෙලා මැහුම් දාලා ඒක බැන්ඩේජ්වලින් ඔතන්න. එහෙම වුණාම බැන්ඩේජ් එක ගලවලා නිතරම තුවාලේ අල්ලඅල්ල බලයිද? එහෙම කළොත් තුවාලේ සනීප වෙයිද? නැහැ නේද? ඒකෙන් වෙන්නේ තුවාලේ තව තවත් පෑරිලා වේදනාව දැනෙන එක විතරයි. ඒ වගේ, කෙනෙක් කියපු කරපු දෙයක් හිතේ තියාගෙන පැසව පැසව ඉන්නවා නම් ඒකෙන් වේදනාවක් දැනෙන්නේ, හානියක් වෙන්නේ අපිටමයි. ඒ වගේ වෙලාවට ලෙවී කතාව 19:18 තියෙන ප්‍රතිපත්තියට කීකරු වෙන එක කොච්චර වැදගත්ද!

16. ලෙවී කතාව 19:33, 34 කියන විදිහට ඊශ්‍රායෙල්වරු විදේශිකයන්ට සලකන්න ඕන විදිහ ගැන යෙහෝවා කිව්වේ මොනවාද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 අසල්වැසියන්ට ආදරය කරන්න කියලා කියද්දී ඊශ්‍රායෙල්වරු තමන්ගේ ජාතියට විතරක් නෙවෙයි විදේශිකයන්ටත් ආදරේ කරන එක යෙහෝවා එයාලගෙන් බලාපොරොත්තු වුණා. ඒ ගැන ලෙවී කතාව 19:33, 34 සඳහන් වෙනවා. (කියවන්න.) යෙහෝවා කිව්වා ‘විදේශිකයන්ට ඔබේම ජාතියේ කෙනෙකුට වගේ සලකන්න’ කියලා. ඒ වගේම ඔහු කිව්වා ‘ඔබට මෙන් ඔවුන්ටත් ප්‍රේම කරන්න’ කියලා. උදාහරණෙකට නීතියේ සඳහන් වුණා කෙතේ අත්හැරුණු කරල් දුප්පත් අය වෙනුවෙන් වගේම විදේශිකයන් වෙනුවෙනුත් ඉතුරු කරන්න කියලා. (ලෙවී. 19:9, 10) විදේශිකයන්ට ආදරය කරන්න කියන ඒ ප්‍රතිපත්තිය අද ඉන්න ක්‍රිස්තියානීන්ටත් අදාළයි. (ලූක් 10:30-37) ඒ කොහොමද? අදත් ලෝකේ පුරා මිලියන ගාණක් සෙනඟ වෙනත් රටවල්වලට ගිහිල්ලා පදිංචි වෙලා තියෙනවා. ඒ අයට ආදරෙන්, ගෞරවෙන් සලකන එක යෙහෝවා දෙවියන් අපෙනුත් බලාපොරොත්තු වෙනවා.

ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහක්!

17-18. (අ) ලෙවී කතාව 19:2 සහ 1 පේතෘස් 1:15 අපිට කාවද්දන්නේ මොනවා කරන්නද? (ආ) පේතෘස් දිරිගැන්නුවේ මොන වැදගත් වැඩේ කරන්න කියලද?

17 ලෙවී කතාව 19:2 සහ 1 පේතෘස් 1:15 කියන බයිබල් පද දෙකෙන්ම කාවැද්දුවේ දෙවියන්ගේ සෙනඟ විදිහට අපි ශුද්ධව ඉන්න එකේ වැදගත්කම ගැනයි. ශුද්ධව ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද, කරන්න හොඳ නැත්තේ මොනවාද කියලා ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු කීපයක් අපි මේ ලිපි දෙකෙන් බැලුවා. * ග්‍රීක ලියවිලිවල සඳහන් දේවල්වලින් පැහැදිලි වෙනවා අතීතයේ දෙවියන් දුන්න ඒ ප්‍රතිපත්ති අදටත් අදාළ කරගන්න එක ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා. අපි කරන්න ඕනෙ තවත් වැදගත් දෙයක් ගැන පේතෘස් කිව්වා.

18 සැබෑ ක්‍රිස්තියානීන් විදිහට යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපි ගොඩක් දේවල් කරනවා. ඒ වගේම අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරන්නත් අපි ගොඩක් මහන්සි වෙනවා. හැබැයි ඒ දේවලට වඩා අපි කරන්න ඕන වැදගත් දෙයක් ගැන පේතෘස් කිව්වා. එයා ඒක කිව්වේ ශුද්ධව ඉන්න කියලා කියන්න ටිකකට කලින්. ඒකෙන් පැහැදිලි වෙනවා ශුද්ධව ඉන්න නම් පේතෘස් කිව්ව මේ දේ කරන්නම ඕනෙ කියලා. ඔහු මෙහෙම කිව්වා. “වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහා ඔබේ මනස සූදානම් කරගන්න.” (1 පේතෘ. 1:13, 15) පේතෘස් එතන කතා කළේ මොන සේවයක් ගැනද? බලන්න එයා ඒ ගැන අභිෂේක ලත් සහෝදරයන්ට කිව්ව දේ. ‘ඔබව කැඳවූ තැනැත්තාණන්ගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කරන්න.’ (1 පේතෘ. 2:9) වෙන විදිහකින් කියනවා නම් පේතෘස් මෙතන කතා කරන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩේ ගැනයි. අපි අභිෂේක ලත් වුණත් නැතත් දෙවියන්ගේ සේවකයන් විදිහට ඒ වැඩේ කරන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. අනිත් අය වෙනුවෙන් යහපත්කම් කරන්න හොඳම විදිහ තමයි ශුභාරංචිය දේශනා කරන එක. දෙවියන්ගේ ශුද්ධ සේවකයන් විදිහට උද්‍යෝගයෙන් ඒ සේවයේ හවුල් වෙන්න ලැබිලා තියෙන එක මොන තරම් වටිනා අවස්ථාවක්ද! ඇත්තටම ඒක මිල කරන්න බැරි තෑග්ගක්. (මාක් 13:10) අපි කලින් ලිපියෙන් සහ මේ ලිපියෙන් බලපු විදිහට ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් යෙහෝවා දෙවියන්ට වගේම අනිත් අයට ආදරෙයි කියලා අපිට පෙන්නන්න පුළුවන්. එහෙම කරද්දී යෙහෝවාව ආදර්ශයට අරන් ජීවිතේ හැම පැත්තකින්ම “ශුද්ධව ඉන්න” පුළුවන් වෙනවා.

ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි

^ 5 ඡේ. ක්‍රිස්තියානීන් විදිහට අපි අද මෝසෙස්ගේ නීතියට යටත් නැහැ. ඒත් ඒ නීතිය අපිට උදව් වෙනවා අපි කරන්න ඕනෙ මොනවාද, කරන්න හොඳ නැත්තේ මොනවාද කියලා තේරුම්ගන්න. ඒ වගේම ඒ නීතිය නිසා අනිත් අයට ආදරය කරන්න පුළුවන් කොහොමද, දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලත් අපි ඉගෙනගන්නවා. මේ ලිපියෙන් අපි බලන්නේ ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගන්න පුළුවන් තවත් පාඩම් ගැනයි.

^ 17 ඡේ. අපි සාකච්ඡා කරපු නැති තවත් පැති ගැන ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. පැති ගන්න එක, කෙනෙක්ගේ නමට මඩ ගහන එක, රුධිරය පාවිච්චි කරන එක, භූතවාදය, පේන කියන එක, අනාචාරය ඒවායින් සමහරක්.—ලෙවී. 19:15, 16, 26-29, 31.—මේ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.

^ 52 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න බිහිරි සහෝදරයෙක්ට උදව් කරනවා.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් එයා යටතේ වැඩ කරපු කෙනෙක්ට පඩි ගෙවනවා.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: පුංචි තුවාලයක් වුණොත් ඒක ලේසියෙන්ම අමතක කරන්න පුළුවන්. හැබැයි ඒ තුවාලේ ගැඹුරුයි නම් මොකද කරන්නේ?