Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 50

උතුම් එඬේරාගේ හඬට ඇහුම්කන් දෙන්න

උතුම් එඬේරාගේ හඬට ඇහුම්කන් දෙන්න

‘මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා.’—යොහ. 10:16.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

මේ ලිපියෙන් *

1. යේසුස් තමන්ගේ ගෝලයන්ව බැටළුවන්ට සමාන කරන්න එක හේතුවක් මොකක්ද?

“උතුම් එඬේරා මමයි” කියලත් ගෝලයන් තමන්ගේ බැටළුවන් කියලත් යේසුස් කිව්වා. (යොහ. 10:14) ඇයි යේසුස් ඒ වගේ දෙයක් කිව්වේ? එඬේරෙක් සහ එයාගේ බැටළුවන් අතර හරිම කිට්ටු බැඳීමක් තියෙනවා. ගාලක ඉන්න බැටළුවන්ට උන්ගේ එඬේරාගේ හඬ අඳුරගන්න තියෙන හැකියාව හරිම පුදුමාකාරයි. ඒ ගැන එක සංචාරකයෙක් මෙහෙම කිව්වා. “අපිට ඕනෙ වුණේ බැටළුවන්ව අපේ ළඟට ගෙන්නගෙන උන්ව වීඩියෝ කරන්න. හැබැයි අපි කොච්චර කතා කළත් උන් නෙවෙයි ඔළුව උස්සලාවත් බැලුවේ. ඊට ටික වෙලාවකට පස්සේ පුංචි එඬේර කොල්ලෙක් ඇවිල්ලා උන්ට කතා කරපු ගමන් උන් වේගයෙන් එයාගේ පිටිපස්සෙන් දුවගෙන ගියා.”

2-3. (අ) යේසුස්ගේ අනුගාමිකයන් ඔහුගේ හඬට සවන් දෙනවා කියලා පෙන්නන්නේ කොහොමද? (ආ) මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 ඒ සංචාරකයා කියපු දේ අහද්දී යේසුස් කියපු දෙයක් අපිට මතක් වෙනවා. ඔහු කිව්වා ‘මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා’ කියලා. (යොහ. 10:16) ඒත් යේසුස් ඉන්නේ ස්වර්ගයේ. ස්වර්ගයේ ඉන්න කෙනෙක්ගේ හඬ කොහොමද අපිට ඇහෙන්නේ? බැටළුවන් තමන්ගේ හඬට කීකරු වෙනවා කියලා කියද්දී යේසුස් අදහස් කළේ යේසුස්ගේ අනුගාමිකයන් ඔහු කිව්ව දේවල්වලට සවන් දීලා ඒවා ජීවිතේට අදාළ කරගන්නවා කියන එකයි.—මතෙ. 7:24, 25.

3 මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් අපි බලන්නේ යේසුස්ගේ ඉගැන්වීම් කීපයක් ගැනයි. ඒ ඉගැන්වීම් අතර යේසුස් කරන්න එපා කියපු දේවල් වගේම ඔහු කරන්න කියපු දේවලුත් තියෙනවා. අපි මුලින්ම යේසුස් කරන්න එපා කියපු දේවල් දෙකක් ගැන මේ ලිපියෙන් බලමු.

“කනස්සලු වෙන්න එපා”

4. ලූක් 12:29 කියන විදිහට සමහර වෙලාවට අපි “කනස්සලු” වෙන්නේ මොනවා ගැනද?

4 ලූක් 12:29 කියවන්න. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා කන්නේ බොන්නේ මොනවාද අඳින්නේ මොනවාද කියලා හිතහිත ඒ ගැන “කනස්සලු වෙන්න එපා” කියලා. අපි දන්නවා යේසුස් කියපු දේවල් කවදාවත් වැරදිලත් නැහැ, වරදින්නෙත් නැහැ කියලා. ඒ නිසා අපිටත් ඕනෙ යේසුස් කිව්වා වගේ කනස්සලු නොවී ඉන්න. හැබැයි එහෙම වුණත් සමහර වෙලාවට ඒක කරන්න අපිට අමාරු වෙන්න පුළුවන්. ඒ ඇයි?

5. එදිනෙදා දේවල් ගැන ගොඩක් අය කනස්සලු වෙන්නේ ඇයි?

 5 කන්නේ බොන්නේ මොනවාද අඳින්නේ මොනවාද ගෙයක් දොරක් හදාගන්නේ කොහොමද කියලා සමහර අය කනස්සලු වෙනවා. ඒ ඇයි? සමහර වෙලාවට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ දුප්පත් රටක වෙන්න ඇති. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් වුණත් පවුලේ අයට දෙන්න ගොඩක් අමාරු ඇති. එහෙමත් නැත්නම් පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන කෙනා හදිස්සියේ මැරුණොත් පවුලේ අනිත් අය ගොඩක් අසරණ වෙන්න පුළුවන්. කොරෝනා වසංගතය නිසා සමහර අයට රස්සා නැති වෙලා තියෙනවා. ඒ නිසා එයාලට හරිහමන් ආදායම් මාර්ගයක් නැහැ. (දේශ. 9:11) ඔයාත් ඒ ප්‍රශ්නවලින් එකකට හරි මුහුණ දෙනවා නම් යේසුස් කිව්වා වගේ ඕනෑවට වඩා කනස්සලු වෙන්නේ නැතුව ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

කනස්සල්ල කියන සාගරේ ගිලෙන්නේ නැතුව යෙහෝවා දෙවියන් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න (6-8 ඡේද බලන්න) *

6. පේතෘස්ට මුහුණ දෙන්න වුණේ මොනවාටද?

6 දවසක් පේතෘස් අනිත් ගෝලයන් එක්ක ගලීල මුහුදේ ඔරුවක ඉද්දී ලොකු කුණාටුවක් ආවා. ඒ වෙලාවේ පේතෘස් දැක්කා යේසුස් වතුර උඩ ඇවිදගෙන එනවා. පේතෘස් මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඒ ඔබ නම් වතුර මත ඇවිදගෙන ඔබ ළඟට එන්න කියා මට කියන්න.” ඊටපස්සේ යේසුස් පේතෘස්ට “එන්න” කියලා කිව්වා. එතකොට පේතෘස් ඔරුවෙන් බැහැලා “වතුර මත ඇවිදගෙන යේසුස් වෙතට ආවා.” ඊළඟට වුණේ මොකක්ද කියලා බලන්න. “එහෙම ඇවිදගෙන යන අතරේ ඔහු කුණාටුව දැක භය වූ නිසා ගිලෙන්න පටන්ගත්තේය. ‘ස්වාමීනි, මාව බේරගන්න’ කියා ඔහු කෑගැසුවේය.” ඒ වෙලාවේ යේසුස් අත දීලා එයාව බේරගත්තා. මේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? පේතෘස්, යේසුස් දිහාම බලාගෙන ආපු නිසා තමයි එයාට වතුර උඩ ඇවිදින්න පුළුවන් වුණේ. හැබැයි එයා එකපාරටම කුණාටුවට අවධානය දුන්නාම බය වෙලා එයාව ගිලෙන්න පටන්ගත්තා.—මතෙ. 14:24-31.

7. පේතෘස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 පේතෘස්ට මුහුණ දෙන්න වුණ දෙයින් අපිටත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඔරුවෙන් බැහැලා මුහුදට අඩිය තියද්දී පේතෘස් කීයටවත් හිතුවේ නැහැ එයාගේ අවධානය බිඳිලා එයා ගිලෙයි කියලා. එයාට ඕන වුණේ දිගටම මුහුදේ ඇවිදගෙන යේසුස් ළඟට යන්න. හැබැයි එයාට ඒක කරන්න බැරි වුණා. අද අපිට වතුර උඩ ඇවිදගෙන යන්න වෙන්නේ නැහැ. ඒත් විශ්වාසය සෝදිසියට ලක් වෙන දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ඒවාට මුහුණ දෙන්න අපිටත් විශ්වාසය තියෙන්නම ඕනේ. හැබැයි අවධානය බිඳුණොත් අපිත් ගිලෙන්න පුළුවන්. යෙහෝවා අපිව බලාගන්නවා කියන පොරොන්දුව අපිට අමතක වෙන්නත් පුළුවන්. ඒ නිසා ජීවිතේට මොන කුණාටු ආවත් යෙහෝවාට මුල් තැන දීලා ඔහු දිහාම බලාගෙන යමු. ඔහුගේ පොරොන්දු ගැන විශ්වාසය තියමු. ඒත් කොහොමද අපි ඒක කරන්නේ?

8. අපිට අවශ්‍ය දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු නොවී ඉන්න උදව් වෙන්නේ මොනවාද?

8 අපිට අවශ්‍ය දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන්නේ නැතුව අපිට පුළුවන් යෙහෝවා ගැන විශ්වාසය තියන්න. මොකද ඔහු පොරොන්දු වෙලා තියෙනවා ජීවිතේ මුල් තැන ඔහුට දෙනවා නම් අපිට අවශ්‍ය හැම දේම ඔහු දෙනවා කියලා. (මතෙ. 6:32, 33) අතීතයේ ඉඳන්ම ඔහු තමන්ගේ සේවකයන්ව බලාගෙන ඒ පොරොන්දුව ඉෂ්ට කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඔහු කවදාවත් තමන් දුන්න පොරොන්දුවක් කඩ කරලා නැහැ. (ද්වි. 8:4, 15, 16; ගීතා. 37:25) හිතන්න තණ බිම්වල වැවෙන මල් ගැන, අහසේ පියාසර කරන කුරුල්ලන් ගැන. යෙහෝවා ඒ දේවල් බලාගන්නවා නම් ඔයාවයි, මාවයි බලාගන්නේ නැතුව ඉඳියිද? (මතෙ. 6:26-30; ෆිලි. 4:6, 7) දෙමාපියන් තමන්ගේ දරුවන්ට තියෙන ආදරේ නිසා එයාලට ඕන කරන හැම දෙයක්ම දෙන්න පෙලඹෙනවා. ඒ වගේ අපි ගැන තියෙන ආදරේ යෙහෝවාව පොලඹවනවා අපිට ඕන කරන දේවල් දීලා අපිව බලාගන්න. ඒ ගැන අපිට අබ මල් රේණුවක තරම්වත් සැකයක් නැහැ.

9. මේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

9 පුරෝගාමි සේවය කරපු යුවළකගේ අද්දැකීමක් බලන්න. දවසක් ඒ දෙන්නා එයාලගේ පරණ කාර් එකේ සරණාගත කඳවුරක හිටපු සහෝදරියන් කීපදෙනෙක්ව රැස්වීම්වලට එක්කන් ගියා. ඒ සහෝදරයා මෙහෙම කියනවා. “රැස්වීමෙන් පස්සේ අපි එයාලට කිව්වා අපේ ගෙදර කෑමට එන්න කියලා. හැබැයි පස්සේ තමයි මතක් වුණේ එයාලට දෙන්න කිසිම දෙයක් ගෙදර තිබ්බේ නෑ කියලා.” ඊටපස්සේ මොකද වුණේ? බලන්න ඒ සහෝදරයා කියන දේ. “අපි ගෙදර එද්දී අපේ දොර ළඟ බඩු පුරවපු බෑග් දෙකක් තිබ්බා. අපි දන්නේ නෑ කවුද ඒවා තියලා ගියේ කියලා. හැබැයි යෙහෝවා දෙවියන් ඕනම කරන වෙලාවට අපිට ඕන දේවල් දෙන විදිහ අපි එදා අද්දැක්කා.” ටික දවසකට පස්සේ එයාලගේ කාර් එකත් කැඩුණා. හැබැයි ඒක හදන්න එයාලා ගාව සල්ලි තිබුණේ නැහැ. ඒත් කෝකටත් ඒක හදන්න කීයක් විතර යයිද කියලා බලන්න ඒ සහෝදරයා කාර් එක ගෙවල් ළඟ ගරාජ් එකකට ගෙනිච්චා. එකපාරටම කෙනෙක් ඇවිල්ලා එයාගෙන් ඇහුවා “කාගෙද මේ කාර් එක” කියලා. ඊටපස්සේ අපේ සහෝදරයා කිව්වා “මේක මගේ. මං මේක ගෙනාවේ හදන්න” කියලා. එතකොට ඒ කෙනා මෙහෙම කිව්වා. “මගේ නෝනා හොයහොය හිටියේ මේ ජාතියෙම, මේ පාටම කාර් එකක්. ඔයා මේක හදන්න ඕනෙ නැහැ. මං ආසයි ඔයාගේ කාර් එක ගන්න. ඔයාට මේකට කීයක් ඕනෙද?” අන්තිමට අපේ සහෝදරයාට වෙන කාර් එකක් ගන්න සල්ලි හම්බ වුණා. එයා මෙහෙම කියනවා. “එදා මට දැනුණ සතුට විස්තර කරන්න වචන නැහැ. මේක කීයටවත් අහම්බෙන් වෙච්ච දෙයක් නම් වෙන්න බැහැ. මේක කළේ යෙහෝවාම තමයි.”

10. එදිනෙදා අපිට අවශ්‍ය දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු නොවී ඉන්න ගීතාවලිය 37:5 උදව් වෙන්නේ කොහොමද?

10 අපි අපේ උතුම් එඬේරාගේ හඬට කීකරු වෙලා අපිට අවශ්‍ය දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම කරද්දී යෙහෝවා දෙවියන් අපිට ඒ දේවල් දීලා අපිව බලාගන්නවා. (ගීතාවලිය 37:5 කියවන්න; 1 පේතෘ 5:7) මේ ලිපියේ  5වෙනි ඡේදයේ කතා කරපු අභියෝග ගැන හිතලා බලන්න. අපි ඒවාට මුහුණ දුන්නත් මේ වෙන කල් පවුලේ මූලිකයා මාර්ගයෙන්, අපේ රස්සාව මාර්ගයෙන් අපිව බලාගෙන තියෙන්නේ යෙහෝවා දෙවියන්. පවුලේ මූලිකයා හදිස්සියේ නැති වුණත් සමහරවිට අපේ රස්සාව නැති වුණත් යෙහෝවා වෙන විදිහකින් හරි අපිව බලාගනියි. ඒ ගැන අපිට කිසිම සැකයක් නැහැ. දැන් අපි අපේ උතුම් එඬේරා කරන්න එපා කිව්ව තව දෙයක් ගැන බලමු.

“අනිත් අයව විනිශ්චය කරන්න එපා”

අනිත් අයගේ හොඳ ගතිගුණ දිහා බලන එක එයාලව විනිශ්චය කරන්නේ නැතුව ඉන්න උදව් වෙනවා (11, 14-16 ඡේද බලන්න) *

11. මතෙව් 7:1, 2 කියන විදිහට යේසුස් කරන්න එපා කිව්වේ මොකක්ද? ඔහු කියපු දේට කීකරු වෙන්න අමාරු වෙන්න පුළුවන් ඇයි?

11 මතෙව් 7:1, 2 කියවන්න. පව්කාරකම උරුම කරගෙන ඉන්න අය විදිහට අපිට හැම තිස්සෙම අනිත් අයගේ වැරදි තමයි පේන්නේ. එහෙම වෙනවා කියලා අපේ උතුම් එඬේරාත් දන්නවා. ඒ නිසයි ඔහු කිව්වේ “තවදුරටත් අනිත් අයව විනිශ්චය කරන්න එපා” කියලා. ඒත් කොච්චර උත්සාහ කළත් ඒක කරගන්න බැහැ කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් මොකක්ද කරන්න පුළුවන්? උතුම් එඬේරාගේ හඬට කීකරු වෙන්න. අනිත් අයව විනිශ්චය කරන එක නවත්තන්න දිගටම උත්සාහ කරන්න.

12-13. යෙහෝවා දෙවියන් දාවිත් එක්ක වැඩ කරපු විදිහෙන් අනිත් අයව විනිශ්චය නොකර ඉන්න එක ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 යෙහෝවාගේ ආදර්ශය ගැන හිතන එක අනිත් අයව විනිශ්චය නොකර ඉන්න අපිට උදව් වෙනවා. යෙහෝවා දෙවියන් හැම තිස්සෙම බලන්නේ අනිත් අයගේ හොඳ දිහායි. ඔහු දාවිත් එක්ක වැඩ කරපු විදිහෙන් ඒක අපිට තේරුම්ගන්න පුළුවන්. දාවිත් බරපතළ වැරදි කරපු කෙනෙක්. උදාහරණෙකට එයා බැත්-ෂෙබාත් එක්ක අනාචාරයේ යෙදුණා. ඊටපස්සේ බැත්-ෂෙබාගේ සැමියාව මරලා දැම්මා. (2 සාමු. 11:2-4, 14, 15, 24) දාවිත් කරපු දේ නිසා එයාට විතරක් නෙවෙයි එයාගේ පවුලේ අයටත් එයාගේ භාර්යාවන්ටත් ගොඩක් දුක් විඳින්න වුණා. (2 සාමු. 12:10, 11) තවත් අවස්ථාවකදී දාවිත් දෙවියන්ට අකීකරු වෙලා එයාගේ සෙනඟව ගණන් කළා. සමහරවිට එයා එහෙම කරන්න ඇත්තේ එයාට කොච්චර ලොකු හමුදාවක් ඉන්නවාද කියලා ආඩම්බරයක් ඇති වුණ නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් එයාගේ හමුදාව නිසා එයාට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා හිතපු නිසා වෙන්න ඇති. දාවිත් යෙහෝවා දෙවියන්ට අකීකරු වුණ නිසා මොකද වුණේ? වසංගතයකින් ඊශ්‍රායෙල්වරු 70,000ක් මැරුණා.—2 සාමු. 24:1-4, 10-15.

13 ඒ කාලේ ඔයා හිටියා නම් දාවිත් ගැන ඔයාට කොහොම හිතෙයිද? ‘එයා නම් යෙහෝවාගේ අනුකම්පාව ලබන්න පොඩ්ඩක්වත් වටින්නේ නැහැ’ කියලා හිතෙයිද? හැබැයි යෙහෝවා දෙවියන් එහෙම හිතුවේ නැහැ. ඔහු බැලුවේ දාවිත් ජීවිත කාලේ පුරාම ඔහුට විශ්වාසවන්තව ඉන්න මොන තරම් දේවල් කරලා තියෙනවාද කියන එක ගැනයි. ඒ වගේම කරපු වැරදි ගැන දාවිත් පසුතැවිලි වුණ විදිහත් යෙහෝවා දෙවියන් දැක්කා. දාවිත්ගේ හිතේ ඔහු ගැන තිබුණ ආදරේ, හරි දේ කරන්න දාවිත්ට තිබුණ වුවමනාව යෙහෝවා දැක්කා. ඒ නිසයි බරපතළ වැරදි කළත් දෙවියන් එයාට සමාව දුන්නේ. යෙහෝවා දෙවියන් අපේ හොඳ ගතිගුණවලට විතරක් අවධානය දෙන එක ගැන අපි ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—1 රාජා. 9:4; 1 ලේක. 29:10, 17.

14. අනිත් අයව විනිශ්චය නොකර ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

14 අපි හැම දේම සීයට සීයක් හරියටම කරයි කියලා යෙහෝවා කවදාවත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් අපි අනිත් අයගෙන් ඒක බලාපොරොත්තු වෙන එක සාධාරණයිද? අනිත් අයගේ වැරදි දකින්න, ඒ ගැන කතා කරන්න හරි ලේසියි. හැබැයි යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න කෙනෙක් ඊට වඩා ගොඩක් වෙනස්. එයා අනිත් අයගේ වැරදි දැක්කත් ඒවා ලොකු කරගන්නේ නැතුව එයාලට ආදරෙන් සලකනවා. එයාලව තේරුම් අරගෙන එයාලත් එක්ක සතුටින් වැඩ කරනවා. මතක තියාගන්න, ඔප දාලා නැති මැණිකක් දැක්ක ගමන්ම එච්චර ලස්සන නැහැ. හැබැයි මැණික් ගැන දන්න කෙනෙක් තමයි තේරුම්ගන්නේ ඒක කපලා, ඔප දැම්මාට පස්සේ ඒක කොච්චර වටිනවාද කියලා. ඒ වගේ අපිත් අනිත් අයගේ ලස්සන ගුණාංග දිහා බලනවා නම් එයාලා කොච්චර වටින අයද කියලා අපිත් තේරුම්ගන්නවා. එහෙම කරද්දී යෙහෝවා දෙවියන්වයි, යේසුස්වයි ආදර්ශයට ගන්න අපිට පුළුවන්.

15. අනිත් අය මුහුණ දෙන දේවල් ගැන හිතන එක එයාලව විනිශ්චය නොකර ඉන්න උදව් වෙන්නේ කොහොමද?

15 අනිත් අයගේ හොඳ ගුණාංග දිහා බලනවාට අමතරව එයාලව විනිශ්චය නොකර ඉන්න උදව් වෙන තව දෙයක් මොකක්ද? එයාලා මුහුණ දෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද එයාලා ගෙවන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා හිතලා බලන්න. ඒක තේරුම්ගන්න එක උදාහරණයක් බලමු. දවසක් යේසුස් දේවමාලිගාවේ ඉද්දී වැන්දඹුවක් ඇවිල්ලා මුදල් බඳුනට එච්චර වටිනාකමක් නැති කාසි දෙකක් දැම්මා. යේසුස් ඒ වෙලාවේ කිව්වේ නැහැ “ඇයි එයා ඊට වැඩිය දැම්මේ නැත්තේ” කියලා. ඒ වෙනුවට යේසුස් බැලුවේ ඒ වැන්දඹුවට මොන වගේ ප්‍රශ්න තිබුණාද එයා ගත කළේ මොන වගේ ජීවිතයක්ද කියලයි. ඒ වගේම ඔහු අවධානය දුන්නේ එයාට තිබුණ හැම දේම දාන්න එයා පෙලඹුණේ ඇයි කියන එකටයි. ඒ නිසයි යේසුස් ඒ වැන්දඹුවව ගොඩක් අගය කළේ.—ලූක් 21:1-4.

16. සහෝදරි වෙරෝනිකාගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 සහෝදරි වෙරෝනිකාගේ අද්දැකීම බලන්න. එයාගේ සභාවේ එක සහෝදරියක් හිටියා. එයා මහත්තයාත් නැතුව තනියම තමයි එයාගේ පුතාව බලාගන්නේ. සහෝදරි වෙරෝනිකා එයා ගැන මෙහෙම කියනවා. “එයා සමහර දවස්වලට රැස්වීම් එන්නෙත් නැහැ, සේවේ එන්නෙත් නැහැ. ඉතින් මට හිතුණා ‘මෙයාට දෙවියන්ගේ දේවල් ගැන කිසිම අගයක් නැහැනේ’ කියලා. හැබැයි එයා සේවේ ආපු දවසක මං එයාත් එක්ක සේවේ ගියා. එතකොට තමයි මං දැනගත්තේ එයාට කොච්චර ප්‍රශ්න තියෙනවාද කියලා. එයාගේ පුතාට මානසික ලෙඩක් තියෙනවා. ඉතින් ජීවිතේ ගැටගහගන්න, එයාලට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න එයා ලොකු සටනක් කරනවා. එයා මට කිව්වා සමහර දවස්වලට පුතාගේ අසනීපේ නිසා රැස්වීම් එන්න බැරි වුණොත් එයා වෙන රැස්වීමකට යනවා කියලා. දැන් මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් තියෙනවා. මොකද මොන ප්‍රශ්නෙ තිබුණත් එයා යෙහෝවා වෙනුවෙන් උපරිමය කරන්න ගොඩක් මහන්සි වෙනවා කියලා මං දන්නවා.”

17. යාකොබ් 2:8 කියන්නේ මොකක්ද? ඒක අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද?

17 හිතන්න, සභාවේ කෙනෙක් ගැන ඔයාට හොඳ හැඟීමක් නැත්නම් එයාගේ වැරදිම පේනවා නම් මොකද කරන්නේ? සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න අපි බැඳිලා ඉන්නවා කියන එක කවදාවත් අමතක කරන්න එපා. (යාකොබ් 2:8 කියවන්න.) ඉතින් කෙනෙක් ගැන ඔයාට හොඳ හැඟීමක් නැත්නම් ඒ ගැන යෙහෝවාට කියන්න. අනිත් අයගේ හොඳ දකින්න උදව් කරන්න කියලා ඔහුට ආයාචනා කරන්න. හැබැයි යෙහෝවා දෙවියන්ට කියලා විතරක් මදි. ඔයාගේ පැත්තෙනුත් කරන්න ඕනෙ දේවල් තියෙනවා. ඒ කෙනාත් එක්ක කතා කරන්න, වැඩිපුර කාලය ගත කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් එයාත් එක්ක සේවේ හවුල් වෙන්න. එහෙම නැත්නම් එයාව කෑමකට ආරාධනා කරන්න. එයා ගැන දැනගන්න තරමටම යෙහෝවා සහ යේසුස් වගේ එයාගේ හොඳ දකින්න ඔයාට පුළුවන්. එහෙම කරද්දී අපේ උතුම් එඬේරාගේ හඬට කීකරු වෙලා අනිත් අයව විනිශ්චය නොකර ඉන්න ඔයාටත් පුළුවන්.

18. උතුම් එඬේරාගේ හඬට කීකරු වෙනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

18 බැටළුවන් උන්ගේ එඬේරාට ඇහුම්කන් දෙනවා වගේ අපිත් අපේ එඬේරා වන යේසුස්ට ඇහුම්කන් දෙනවා. එදිනෙදා ජීවිතේට අවශ්‍ය දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන එක, අනිත් අයව විනිශ්චය කරන එක නතර කරන්න අපි අපේ පැත්තෙන් මහන්සි වෙද්දී යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට ගොඩක් ආශීර්වාද කරයි. අපි “කුඩා රැළට” අයිති වුණත් “වෙනත් බැටළුවන්ට” අයිති වුණත් දිගටම අපේ උතුම් එඩේරා වන යේසුස්ගේ හඬට ඇහුම්කන් දීලා ඔහුට කීකරු වෙන්න අධිෂ්ඨාන කරගමු. (ලූක් 12:32; යොහ. 10:11, 14, 16) අපේ උතුම් එඬේරා වන යේසුස් අපිට කරන්න කියපු දේවල් දෙකක් ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු

^ 5 ඡේ. යේසුස්ගේ බැටළුවන් ඔහුගේ හඬට ඇහුම්කන් දෙනවා කියද්දී ඔහු ඒකෙන් අදහස් කළේ මොකක්ද? යේසුස් කිව්වේ ඔහුගේ ගෝලයන් ඔහුට කීකරු වෙලා ඔහු කිව්ව දේවල් ජීවිතේට අදාළ කරගන්නවා කියලයි. අපි මේ ලිපියෙන් බලන්නේ යේසුස් කරන්න එපා කිව්ව දේවල් දෙකක් ගැන. (1) ජීවිතේට අවශ්‍ය දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන්නේ නැතුව ඉන්න එක. (2) අනිත් අයව විනිශ්චය කරන්නේ නැතුව ඉන්න එක. යේසුස් කියපු ඒ දේවල් අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි බලමු.

^ 51 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක්ට එයාගේ රස්සාව නැති වෙනවා. ගෙදරට අවශ්‍ය කරන හැම දේම ගන්න එයා ගාව සල්ලි නැහැ. පදිංචියට වෙන ගෙයක් හොයාගන්නත් එයාට සිද්ධ වෙනවා. පරෙස්සම් වුණේ නැත්නම් ඒ ප්‍රශ්න ගැන ඕනෑවට වඩා කනස්සලු වෙලා යෙහෝවා දෙවියන්ට ජීවිතේ මුල් තැන දෙන්න එයාට බැරි වෙන්න පුළුවන්.

^ 53 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් රැස්වීමට එන්නේ පරක්කු වෙලා. හැබැයි එයාට ගොඩක් හොඳ ගතිගුණ තියෙනවා. එයාව මුණගැහෙන අයට එයා දෙවියන් ගැන දේශනා කරනවා, වයසක කෙනෙක්ට උදව් කරනවා, රැස්වීම් ශාලාවේ වත්ත පිරිසිදුව පිළිවෙළකට තියාගන්න එයා උදව් කරනවා.